ජනමත විචාරණයකට යන ලකුණු

මනුවර්ණගේ සතිය

ඌව වෙල්ලස්සේ කැරැල්ලට නායකත්වය දුන් මොනරවිල කැප්පෙටිපොළ ඇතුළු සිංහල කැරලිකාරයන් අසූ දෙදෙනකු රාජද්‍රෝහීන් ලෙස නම්කරමින් බි්‍රතාන්‍ය ආණ්ඩුව විසින් නිකුත්කරන ලද ගැසට් පත්‍රය මාර්තු 1වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහනුවරදී අවලංගු කළේය. ඒ මහානායක හිමිවරුන් ඇතුළු විශාල සංඝ සහභාගිත්වයක් ඇතිවය. මේ අවස්ථාව ජනාධිපති ලෙස සිටියදී තමාගේ කල්පනාවට ආවා නම් හොඳයැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට සිතෙන්නට ඇතිවාට කිසිම සැකයක් නැත.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ ක්‍රියාවෙන් බලාපොරොත්තු වන්නට ඇත්තේ තමන්ගේ ආණ්ඩුව කෙරෙහි කිසියම් නොපහන්කමක් දක්වන භික්‍ෂූන් වහන්සේලා යළිත් නම්මවා ගැනීමට විය හැකිය. මෙවැනි දේවල් විසින් ඒ සඳහා ඉතා සුළු බලපෑමක් කළ හැකි වුණත්, එය පහසු ක්‍රියාවක් නොවේ. වර්තමාන ආණ්ඩුවට බොහෝ භික්‍ෂූන් වහන්සේලා විරුද්ධව සිටින්නේ දේශපාලන වශයෙන් නිසාය. වෙනත් විදියකට කිව්වොත්, බොහොමයක් නායක හිමිවරුන්ද ඇතුළුව මේ ආණ්ඩුවට විරුද්ධ බොහෝ භික්‍ෂූන් ඍජුව හෝ වක්‍රව මහින්ද රාජපක්‍ෂගේ පාර්ශ්වයේ අයයි. මහින්දගේ ආණ්ඩුව කාලයේ, මේ භික්‍ෂූන්ට අවශ්‍ය පරිදි සිංහල බෞද්ධ අධිපති මතවාදය රටේ ඉහළින් නඩත්තු කළාට අමතරව, තෝරාගත් වෙහෙර විහාරවලට මුදල්, තීරුබදු රහිත වාහන බලපත්‍ර, අලිඇතුන්, ඇත්දළ, ඉඩකඩම් මෙන්ම ඉදිරිකිරීම්වලදී හා ආරක්‍ෂාවට හමුදාවේ ශ්‍රමයද යහමින් ලැබුණු බව රහසක් නොවේ. ඒ නිසා මහින්ද රාජපක්‍ෂ ගැන ඔවුන්ගේ ඇති පක්‍ෂපාතිත්වය මුළුමනින් වෙනස් කරන්නට මෙවැනි දේවලින් මෛත්‍රීපාල සිරිසේනට නොහැකි වනු ඇත. ඔවුන්, බෞද්ධ භික්‍ෂූන් වුණත්, අන් බොහෝ දේවල් සම්බන්ධයෙන් මෙන්ම මහින්ද රාජපක්‍ෂ සම්බන්ධයෙන්ද දක්වන්නේ අන්ධ භක්තියකි. කුමන අන්දමේ සටන් පාඨ වෙනුවෙන් පෙනීහිටියත් ඔවුන් සැමගේ අවසන් ප්‍රාර්ථනාව මහින්ද රාජපක්‍ෂ හෝ රාජපක්‍ෂ පවුලේ අන් අයකු යළිත් මේ රටේ නායකයා වනු දැකීමයි. ඒ අන්ධ භක්තිය නිසා ඔවුන්ට තර්ක වත්, තර්කානුකූලව කරන ක්‍රියා වත් විෂය වන්නේ නැත. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වරයාගේ ආරාධනයෙන්ම, මාර්තු 1වැනිදා උත්සවය සඳහා මහනුවර මහමළුවට පැමිණි බොහා් භික්‍ෂූන් හිතන්නට ඇත්තේ, අනේ අපේ මහින්ද රාජපක්‍ෂ හිටියා නම් මේක මෙහෙමද කරන්නේ, එහෙනම් මුළු රටම හොල්ලලා තමයි මේ වගේ දෙයක් කරන්නේ කියාය. එය ඇත්තය. යම් හෙයකින් මහින්ද රාජපක්‍ෂට සිය පාලන කාලය තුළ මේ අදහස ආවා නම්, ඒ උත්සවය පැවැත්වෙන මහා පරිමාණයත් ඊට කරන අතිවිශාල නාස්තිකාර වියදමත් ගැන හිතාගන්නට පුළුවන.
ඇත්ත වශයෙන්ම අප එක පැත්තකින් සතුටු විය යුත්තේ එවැනි යුගයක් අවසන් කරන්නට හැකිවීම පිළිබඳවය. අනෙක් අතින් කල්පනා කළ යුත්තේ හා වැඩ කළ යුත්තේ එවැනි යුගයක් යළි ඇති නොවන්නටය. වර්තමාන ආණ්ඩුව ගැන බොහෝ මැසිවිලි දැන් නැගෙමින් ඇත්තේ, ඉහත දෙවැනි කාරණය ගැන ප්‍රමාණවත් අවධානයකින් තොරව ආණ්ඩුව හැසිරෙන නිසාය.
පුළුවන් වුණත් බැරි වුණත්, ජනාධිපතිවරයා මේ උත්සාහ ගන්නේ රටේ සංඝයා වහන්සේලාගෙන් සැලකිය යුතු පිරිසකගේ සහාය තමන්ගේ ආණ්ඩුව වෙත ලබාගන්නට විය හැකිය. ඒ ඇයි? රටේ එදිනෙදා පාලනය ගෙනයන්නට නම්, භික්‍ෂූන් වහන්සේලාගේ විශේෂ සහායක් වැදගත් නොවේ. භික්‍ෂු සංස්ථාවේ සහාය හා අනුමැතිය අවශ්‍ය වන්නේ විවාදාත්මක කාරණාවලදීය. ඒ අනුව, ජනාධිපතිවරයා මේ උත්සාහ ගන්නේ, විවාදාත්මක හා වැදගත් කාරණයක් ගැන සංඝරත්නයේ අනුමැතිය ලබාගන්නට බව අපට සාධාරණ ලෙස උපකල්පනය කළ හැකිය. මේ මොහොතේ එවැනි වැදගත් නමුත් විවාදාත්මක කාරණයක් හැටියට පෙනෙන්නේ, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට ඇතුළත් විය යුතුව ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම, දෙමළ ජාතිකයන් සමඟ බලය බෙදාහදා ගැනීමකට යෑම, මැතිවරණ ක්‍රමය වෙනස්කිරීම යනාදි විධිවිධාන ගැන දැනටමත් වැදගත් විවාද පැවැත්වෙමින් තිබේ.
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ජනාධිපතිවරයාගේ අලුත් ස්ථාවරයක් ගැන දැනගන්නට නැත. එහෙත් සිය ධුරයට පත්වන්නට පෙරත්, ධුරයට පත්වුණු පසුව ගතකළ පසුගිය කාලයේත් ඔහු තිරසාරව සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකිරිම ඇතුළු ප්‍රතිසංස්කරණ රැගත් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඒමේ පදනම මතය. ඒ නිසා මේ මොහොතේ නිශ්ශබ්දව සිටින ජනාධිපතිවරයා තවමත් ඒ පැහැදිලි ස්ථාවරයේම සිටින බව සාධාරණ ලෙස කල්පනා කරන්නට අපට පුළුවන. එසේ නොවන්නේ නම්, ඔහු සිය වෙනස් ස්ථාවරය මහජනතාවට කල් නොයවා පැහැදිලි කළ යුතුය.
පිටතින් ජනාධිපති වරයාගේ නිශ්ශබ්දතාවක් තිබුණත්, ඇතුළතින් ව්‍යවස්ථා වෙනසක් ගැන ඔහු කටයුතු කරමින් සිටින බව වාර්තාවෙයි. විශේෂයෙන් එක්සත් ජාතික පක්‍ෂයේත්, දෙමළ ජාතික සන්ධානයේත් නායකයන් සමඟ ජනාධිපතිවරයා පසුගිය කාලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස්කම් ගැන විශේෂ සාකච්ඡාවක් පවත්වාගෙන ගියේය. එහි ප්‍රතිඵලයක් හැටියට, දෙමළ ජනතාව සමඟ බලය බෙදාහදාගැනීම ගැන කාරණා හතරක් ඔස්සේ සලකා බලන ලද අතර, ඒ සම්බන්ධ වාර්තාවක් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සඳහා වූ ලේකම් කාර්යාලය විසින් සකසන ලදුව ජනාධිපතිවරයාට භාරදෙන ලදි. 13වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ කළ හැකි වෙනස්කම් මොනවාද, 13ට එපිටින් කළ හැකි වෙනස්කම් මොනවාද, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් කළ හැකි වෙනස්කම් මොනවාද හා ජනමත විචාරණයක් අවශ්‍ය වන්නේ කුමන වෙනස්කම් සඳහාද යන කාරණා හතරක් යටතේ එම වාර්තාව සකස්කොට තිබේ. එය අගය කළ යුතු ඉදිරි පියවරකි.
එහෙත්, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්දන්ගේ පැහැදිලි ස්ථාවරය වන්නේ, තමන්ට ලැබෙන දේශපාලන විසඳුමක් රටේ බහුතර සිංහල ජනතාව විසින් අනුමත කළ එකක් විය යුතු බවයි. එහි තේරුම, ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුනෙන් දෙකකගේ කැමැත්තෙන් පමණක් ලැබෙන විසඳුමක් ගැන සැලකිල්ලක් නොදක්වන බවයි. එවැනි විසඳුමක් කල් පවත්නා එකක් හා දිගට පවත්වාගත හැකි එකක් නොවන බව ඔහු සාධාරණව කල්පනා කරනවා වෙන්නට පුළුවන. අනෙක් අතට, ඔහු කියන්නේ තමන්ට ලැබෙන දේශපාලන විසඳුම සඳහා රටේ සිංහල ජනතාව කැමැත්තක් දැක්විය යුතු බවයි. ඒ කියන්නේ තමන්ට ලැබෙන විසඳුමට සිංහල ජනතාවගේ කැමැත්ත අරගෙන දෙන්නට සිංහල දේශපාලකයන් හා සිංහල සමාජය කටයුතු කළ යුතු බවයි. එහි වැදගත් තර්කයක් තිබේ. අවාසනාවකට මෙන්, ඒ කැමැත්ත අරගෙන දෙන්නට සිංහල සමාජයේ දේශපාලකයන් තුළ තවමත් වුවමනාවක් හෝ ශක්තියක් හෝ පෙනෙන්නට නැත. ඔවුන්ගේ උපරිම වුවමනාව, හැකි තරම් ඒ ප්‍රශ්නය මඟහැර සිටීමටය.
එහෙත්, මංගල සමරවීර විදේශ ඇමතිවරයා පසුගියදා ජීනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී අවධාරණය කළේ, ලංකාව අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පවත්වන බවයි. මේ අලුත් ව්‍යවස්ථාව ජනතාවට වුවමනා පරිදි ජනතා අනුමැතියෙන් සකස් කෙරෙන බවයි. ඒ අතර ලක්‍ෂ්මන් කිරිඇල්ල උසස් අධ්‍යාපන ඇමතිවරයාද පසුගියදා නැවතත්, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනමත විචාරණයකට යොමු කොට මිසක සම්මත නොකෙරෙන බව අවධාරණය කළේය. පසුගිය කාලය පුරාම කිරිඇල්ල ඇමතිවරයා ඒ වෙනුවෙන් ඍජුව පෙනීසිටියේය. අගමැති වරයාද ඒ තරම් ඍජුව නොවුණත් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන පසුගියදා අලුතෙන් කතාකරන්නට පටන් ගත්තේය.
ලංකාවට අලුත් ව්‍යවස්ථාවක් දැන් අවශ්‍ය නැති බවත්, ලංකාවේ මිනිසුන්ට ඇත්තේ එදිනෙදා ජීවත්වීම, කෑම බීම පිළිබඳ ප්‍රශ්නයක් බවත් පසුගියදා කීවේ බෙල්ලන්විල විමලරතන නායක හිමියන්ය. මේ නම්, අලුත් ව්‍යවස්ථාවක් ගැන අසන්නට හැකි, පහේ පන්තියේ එහෙත් සාහසික ප්‍රශ්නයකි. එය හරියට, මගේ සපත්තුවක් නැතිවෙලා, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මට අලුත් සපත්තුවක් ලැබෙනවාද වැනි ප්‍රශ්නයකි. ඇත්ත. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් අලුත් සපත්තුවක් ලැබෙන්නේවත්, එදිනෙදා කෑම මිල අඩුවන්නේවත්, එදිනෙදා ජීවන දුෂ්කරතාවලට පිළිතුරු ලැබෙන්නේවත් නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ පැය කිහිපයකින් රටක් කේතුමතියක් කරන කෝකටත් තෛලයක් නොවේ. එහෙත් මිනිසුන්ගේ දුෂ්කරතාවලට පිළිතුරු දිය යුතුය. මිනිසුන්ට කෑම බීම පිළිබඳව, ජීවත්වීම පිළිබඳව ප්‍රශ්න තිබේ නම් ඒවා විසඳාලීම ආණ්ඩුවේ වගකීමය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්නේ, එක පැත්තකින් මිනිසුන් දුකට පත්වන හා ඔවුන්ගේ අයිතිවාසිකම් අහිමි වන හේතුව හෙවත් දුකට හේතුව වෙනස් කරන්නටය. බුදු දහම අනුවත්, දුක වෙනස් කළ හැක්කේ දුකට හේතු හෙවත් සමුදය ආර්ය සත්‍යය අවබෝධ කරගැනීමෙනුත්, එය නැති කිරීමෙන් හෙවත් නිරෝධ ආර්ය සත්‍යය අවබෝධ කරගැනීමෙනුත්, දුක නැති කිරීමේ මාර්ගය හෙවත් මාර්ග ආර්ය සත්‍යය අනුගමනය කිරීමෙනුත්ය. බුදුදහමෙන් ජීවිතාලෝකය ලබන යමෙක් සිටිනවා නම් කල්පනා කළ යුත්තේ බුදුදහමේ කියන ඒ මාර්ගය ගැනය.
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එන විරෝධය විවිධ හේතු නිසා එයි. ඒ බොහෝ හේතු වැටී ඇත්තේ ඒ ඒ පුද්ගලයන්ගේ හෝ පක්‍ෂවල හෝ ආයතනවල පෞද්ගලික වුවමනා එපාකම් මතිනි. ශ්‍රීලනිපය පැත්තෙන් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට විරෝධයක් පැනනැගී ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් පවත්වා ගැනීමේ වුවමනාවෙන් බව නොරහසකි. ඊයේ පෙරේදා මාධ්‍ය ඇමතූ නියෝජ්‍ය ඇමති චන්දිම වීරක්කොඩිද, ජනාධිපතිවරයා ස්ථිරවම සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය මත පදනම් වනු ඇති බව කියා තිබුණි. (ඒ කියන්නේ ජනමත විචාරණයක් අවශ්‍ය දේවල් නොකරන බවය.) ඇමතිවරයා ජනාධිපති වරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ගැන කියන විට, ජනතාවට සිනා නැගෙනු ඇත්තේ ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය හදන විට ඔහු මහින්ද රාජපක්‍ෂගේ අන්තේවාසිකයකු හැටියට සිටි කාලය මතක් වීමෙනි. කොහොම වුණත්, ශ්‍රීලනිපයේ බලා පොරොත්තුව විධායක ජනාධිපති ක්‍රමය අඩු ගණනේ මේ තිබෙන ආකාරයෙන්වත් තවදුරටත් තබාගැනීමය. ඒ සඳහා රටේ දේශපාලන ස්ථාවරභාවය පිළිබඳ අමූලික තර්කයක් ගෙනහැර පානු ලැබේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට ඇතිකරන පාර්ලිමේන්තු පාලන ක්‍රමයක් තුළ රටේ දේශපාලන ස්ථාවරභාවයක් නැතිවේය යන්න මවාපාන බොරුවකි. ඉන්දියාවද ඇතුළුව ලෝකයේ බලවත් රටවල් බොහොමයක් පාර්ලිමේන්තු පාලන ක්‍රමයක් පවත්වාගෙන යන අතර, විශේෂයෙන් ඉන්දියාව ප්‍රාන්තවලට බලය විශාල වශයෙන් බෙදා ඇති තත්ත්වයකදීද ලෝක බලවතකු ලෙස නැගී සිටින්නේ පාර්ලිමේන්තු ක්‍රමයක් පවත්වාගෙන යමිනි.
බලය බෙදාහදා ගැනීමකදී, වෙන්ව යෑමට ඉඩක් තිබේද යන සැකයක් ඇතිවීම ස්වාභාවිකය. එහෙත්, පාර්ලිමේන්තුවාදී පාලන ක්‍රමයක් තුළ වුණත්, ප්‍රාන්ත හෝ පළාත් සභා වෙන්ව යෑමේ ඉඩ ඇහිරිය හැකි ඉතාමත් විශ්වාසවන්ත විධිවිධාන ඇතුළත් කළ හැකිය. ශ්‍රිලනිපය පාර්ශ්වයෙන් ඉදිරිපත්වන තවත් තර්කයක් වන්නේ, මේ ප්‍රතිසංස්කරණ හරහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ බලය දුර්වල වී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා බලවත් වනු ඇති බවයි.
මෙයද පදනමක් නැති තර්කයකි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නම්, එය සිදුවන්නේ වර්තමාන ජනාධිපතිවරයාගේ විධායක ජනාධිපති ධුර කාලයෙන් පසුව බව දැනටමත් හැමෝම පිළිගන්නා පැහැදිලි කාරණයකි. ජනතා විමුක්ති පෙරමුණ වුණත්, පසුගිය ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියේදී පැහැදිලිව එකඟවී තිබුණු කරුණකි එය. එනිසා වර්තමාන ජනාධිපතිවරයාගේ කාලය තුළ රනිල් වික්‍රමසිංහට ඔහු අබිබවා යා හැකිවන පරිද්දෙන් පාර්ලිමේන්තු බලයක් ලැබෙන්නේ නැත. එහෙත්, ඊළඟ මැතිවරණය විවෘතය. ඒ විවෘතභාවය තුළ රනිල් වික්‍රමසිංහටත්, මෛත්‍රීපාල සිරිසේනටත් මෙන්ම මහින්ද රාජපක්‍ෂටත් තරග වාරයක් හිමිවෙයි. ඒ තරග වාරයේදී වැදගත් වන්නේත්, මෛත්‍රීගේත්, රනිල්ගේත් න්‍යාය පත්‍ර ජයග්‍රහණය කරවන්නේ කෙසේද යන්න නොව, මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ දූෂිත බලවේග යළි පාලන බලය අල්ලා ගැනීම වලක්වන්නේ කෙසේද යන කාරණයයි. එහිදී, 2015දී මෙන්ම, තමන්ගේ න්‍යාය පත්‍රයට වඩා පොදු න්‍යාය පත්‍රයක් ගැන සිතන්නට ප්‍රගතිශීලී බලවේගවලට සිදුවනු ඇත.
මේ ව්‍යස්ථාවව ‘රනිල්ගේ රට බෙදන ව්‍යවස්ථාවක්’ හැටියට දැනටමත් රාජපක්‍ෂ පාර්ශ්වය විසින් නම්කොට තිබේ. ඒ අදහස ගෙනෙන්නේ හුදෙක් රනිල් වික්‍රමසිංහට ප්‍රහාරඑල්ල කිරීමේ වුවමනාවෙන් පමණක් නොව, මෛත්‍රී-රනිල් සහයෝගය කඩා බිඳදමා ඔවුන් අතර විරසකයක් ඇතිකිරීමේ අරමුණෙන්ද බව ජනාධිපතිවරයා තේරුම් ගැනීම වැදගත්ය. ඒකාබද්ධ විපක්‍ෂයේ මේ සටන්පාඨය අඩුවැඩි වශයෙන් ජනාධිපතිවරයා සමඟ සිටින ශ්‍රීලනිප පාර්ශ්වයෙන්ද පැනනැගිය හැකිය. එවැන්නක් එන්නේ මොකටද යන්න ගැන පරෙස්සම් විය යුත්තේ ජනාධිපතිවරයාය.■