අලුත් ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙනීසිටීමේ සදාචාරාත්මක වගකීම

මහාචාර්ය සරත් විජේසූරිය

ජනවාරි 08 වෙනිදා පැවති ජනාධි පතිවරණයෙන් පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කරවමින් නීති ගරුක පුරවැසියන් අපේක්ෂා කළේ කුමක් ද? අපේක්ෂා කළේ යහපත් දේශපාලන සංස්කෘතියකි. යහපත් දේශපාලන සංස්කෘතියක් ඕපපාතිකව පහළ වන්නේ නැති බව කිව යුතු නොවේ. ඒ සඳහා අවශ්‍යයෙන්ම සිදු කළ යුතු දේශපාලන ප්‍රතිසංස්කරණ තිබේ. ඒ ප්‍රතිසංස්කරණ සිදු කිරීමට පොදු අපේක්ෂකයා පැහැදිලිව හා නිරවුල්ව ජනාධිපතිවරණයට පෙරා තුව ප්‍රතිඥා ලබා දුන්නේය. ඒ ප්‍රතිඥා කෙරේ විශ්වාසය තබන ලද්දේ හැට දෙලක්ෂයකට වැඩි රටේ පුරවැසියෝ පමණක් නොවෙති. ජාත්‍යන්තර ප්‍රජාව ද ඒ ප්‍රතිඥා කෙරේ විශ්වාසය තබන ලදි. එබැවින් වත්මන් ජනාධිපතිවරයාට තමන් ලබා දුන් ප්‍රතිඥා ඉටු කිරීම වෙනුවෙන් තිබෙන්නාවූ සදාචාරාත්මක වගකීම සුළු පටු නොවේ. ඒ වගකීම ඉටු කිරීම හෝ නොකිරීම මත රටේ අනාගත ඉරණම තීන්දු වන බව ඉතා පැහැදිලිය.

විධායක ජනාධිපති පදවිය
විධායක ජනාධිපති පදවිය අහෝසි කළ යුත්තේ මන් ද? යන ප්‍රශ්නයට කදිම පිළිතුරක් මේ සංවාදය තුළ ඇත. හැත්තෑ අටේ ව්‍යවස්ථාවෙන් සිදු කර තිබෙන දේශපාලන පාදඩකරණයේ තරම විස්තර කළ නොහැකි තරම්ය. නායකයන් පමණක් නොව, දේශපාලන ක්‍රියාවලියෙහි නිමග්න ජනතාවගෙන් යම් පිරිසක් ද පාදඩකරණය වී ඇති අන්දම කනගාටුදායකය. වැල යන අතට මැස්ස ගැසීමය අද දේශපාලනයේ මූලික ලක්ෂණයක් වී තිබෙන්නේ. මේ අවලස්සණ තත්වයට රට පත් වන්නේ විධායක ජනාධිපති පදවිය ඔස්සේය. එබැවින් යහපත් දේශපාලන සංස්කෘතියක් මොනම ලෙසකින්වත් විධායක ජනාධිපති පදවිය තිබෙන තුරා රටට උරුම වන්නේ නැත. ඒ අන් කිසිවක් නිසා නොව ප්‍රජාතන්ත්‍රවාදයේ අගනා මූලධර්ම ‘වඳ’ කර දැමීමට විධායක ජනාධිපති වරයෙකුට හැකි බැවිනි. බලය විමධ්‍යගත වූ සංදර්භයක විනා, බලය එක් පුද්ගලයෙකු සතුව පවතින සංදර්භයක යහපත් දේශපාලන සංස්කෘතියක පැවැත්මක් නැත.
බලය බෙදා හදා ගෙන තිබෙන රාජ්‍ය පාලනයක් පවතින විට මනුෂ්‍ය සමාජයක් අදහස් අතින් වෙනස් වන්නේය. ශිෂ්ට සමාජයක් සඳහා එය අවශ්‍ය වන්නේය. රටේ සෑම පුරවැසියෙකුටම තමන් ජීවත් වන රට තුළ තමන්ගේ අනන්‍යතාව තහවුරු විය යුතුය. කතා කරන භාෂාව සහ අදහන ආගම හෝ වෙනත් සිරිත් විරිත් මත එක් කොටසක් උසස් වී හෝ අනෙක් කොටස පහත් වන්නේ නැත. එය මානව ධර්මතාවලට පටහැනිය.
පොලිස් බලතල, ඉඩම් බලතල, විධායක ජනාධිපතිට අවශ්‍ය අන්දමට පරිහරණය කිරීමට තිබෙන අයිතිය මතය රට නොබෙදී පවතින්නේ! මේ තර්කයෙන් සනාථ වන්නේ කුමක් ද? මහ ජාතිය සුළු ජාතීන් කෙරේ අවිශ්වාසයෙන් කටයුතු කරන මානසිකත්වයයි. මාව විශ්වාස කරන්නැයි, සිංහල භාෂාව කතා කරන පුද්ගලයෙකු දෙමළ භාෂාව කතා කරන පුද්ගලයෙකුට පවසයි. දෙමළ භාෂාව කතා කරන පුද්ගලයා ඇයි ඔබ මාව විශ්වාස නොකරන්නේ? යයි විමසන විට පිළිතුර කුමක් ද? ගැටුමක් උපදින්නේ මෙතන දී නොවේ ද?
විධායක ජනාධිපති පදවිය තව දුරටත් අවශ්‍ය වන්නේ සුළු ජාතීන් යටත් කර ගැනීමට නම්, ඔවුන්ගේ ආර්ථික හා සංස්කෘතික දියුණුව උදෙසා අවශ්‍ය නිදහස පාලනය කිරීමට නම්, ඒ රට විනාශය කරා ගමන් කරන රටකි. බලය ඉවහල් කරගෙන භූමිය සන්තක කර ගත් පමණින් රටක පුරවැසියන්ගේ අභිවෘද්ධියක් සිදු වන්නේ නැත. ප්‍රභාකරන් භූමිය සන්තක කර ගැනීමට කළ අරගලයෙන් දෙමළ ජනතාවට අත්වුණ සෙත කුමක් ද? අපට වැදගත් වන්නේ නොබෙදුණ රටක් නම්, රට නොබෙදා බලය බෙදීම යන්නේ තේරුම ගැඹුරින් වටහා ගත යුතුය. විධායක ජනාධිපති පදවිය තිබුණ පමණින් රටක සැබෑ සාමයක් පවතින්නේ නැත.

ආපස්සට ගමන් කිරීම
ජේ ආර් ජයවර්ධන, ආර් ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ යන විධායක ජනාධිපතිවරුන් සියලු දෙනාම, මෙරට දේශපාලන සංස්කෘතියෙහි විiමාන බරපතළ ගැටලුව වන ජනවාර්ගික ප්‍රශ්නය අබිමුව කල් මරන තැනකට යොමු වන්නේ ජාතිකවාදී දේශපාලන ක්‍රියාදාමයකින් උරුම කර ගත් බලය රැක ගැනීම සියල්ලට වඩා වැදගත් වීම නිසා බව පැහැදිලිය. ප්‍රශ්නය බැරෑරුම් බව වටහා ගත්ත ද අපේ නායකයන් ප්‍රගතිශීලී දේශපාලන ප්‍රතිසංස් කරණයක් වෙනුවෙන් නිර්භීතව අවංකව කැපවීමට දක්වා තිබෙන හා දක්වන මැළිකම සුව නොවන රෝගයක් වැනිය. ඒ ජාතිකවාදී දේශපාලනයේ දෘෂ්ටිමය ගැටලුව මිස අන් කිසිවක් නොවේ. එනිසා නූතන අතීතයේ අවස්ථා ගණනාවක දී සිදුව තිබෙන්නේ හැම ආණ්ඩුවක්ම “රාජ්‍ය බලය අහිමි වේ ය” යන භීතියෙන් “බලය බෙදා දීම” සම්බන්ධ කාරණාවේ දී අවංකව කැප නොවීම බව පැහැදිලිය. දිගින් දිගටම සිදු වී තිබෙන්නේ බලය වෙනුවෙන් බලය නොබෙදීමයි. අද අප සිටින්නේ මේ තත්වයෙන් මිදෙන්නට ලැබී තිබෙන අවසන් අවස්ථාව අබිමුවය. මේ සම්බන්ධයෙන් පියවර ගැනීමට තිබුණ වැදගත් අවස්ථාවක් ගිලිහී ගිය අන්දම ද මෙහිදී සලකා බලනු වටී.
ජාතික ප්‍රශ්නය විසඳීමට අවශ්‍ය දේශපාලන විසඳුමක් වෙනුවෙන් මැදිහත් වුණ බර්නාඞ් සොයිසා මහතා එහිදී නායකයන් මුහුණ දෙන ගැටලුව මතු වෙන අන්දම දීර්ඝ වශයෙන් පැහැදිලි කර ඇත. ඒ අදහස් අදටත් අදාළ බවය පෙනෙන්නේ.
බලය බෙදීම අවංකව හා නිර්භීතව සිදු කළ යුතු කටයුත්තක් ලෙසය බර්නාඞ් සොයිසා පෙන්වා පෙන්වා දී තිබෙන්නේ. එය අවංකව සිදු කිරීමට රාජ්‍ය බලය හිමි පුද්ගලයන් පසුබට වූ අන්දමත් එතුමා පැහැදිලිව විස්තර කරයි. බලය විමධ්‍යගත කිරීම හා 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම අරභයා අදහසක් එතුමන් විග්‍රහ කර තිබෙන්නේ මෙසේය.
“13 වන වගන්තියේ දෙනවයි කියන බලතල මේකෙ තවම දීල නැහැ. ඒ නිසා මේ ගැන යම් බලපෑමක් කරන්න ඕනැ. බලතල විමධ්‍යගත කිරීම ගැන අරමුණු දෙකක් වෙනුවෙන් වෑයම් කරන්න සිද්ධ වෙනවා. පළමු එක මේ දීල තියෙන 13 වෙනි වගන්තියෙන් 13 වෙනි සංශෝධනයේ බලතල දෙන්න. මේ මසුරු සිටාණන් කෙනෙක් වගේ මේ තමන් ළඟ තියා ගන්න බලන්න එපා. දෙවනුව මීට වඩා පුළුල් ලෙස බලතල විමධ්‍යගත කිරීම. මේ දෙක තියෙනවා අපට අනාගතයට ඉස්සරහට සටන් කරන්න”
බර්නාඞ් සොයිසා මැතිතුමන් ජාතික ප්‍රශ්නය සම්බන්ධ සංවේදී වූ අන්දමත්, ඊට විසඳුමක් වෙනුවෙන් කැපවීමේ අවශ්‍යතාවත් එදා මේ අන්දමට විග්‍රහ කරන්නේ ජාතිකවාදී දේශපාලනයේ සීමාවන් තේරුම් ගනිමින් බව ද කිව යුතුයි.
එදා එසේ වුව අද තත්වය කෙසේ ද? බලය බෙදීම ජාතික ගැටලුව නිරාකරණය පිණිස සිදු කළ යුතු බවත්, ඒ සම්බන්ධ අවබෝධයකින් තමන් පසුවෙන බවත්, වත්මන් ජනාධිපතිතුමා දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර තිබේ. එතුමා ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂගෙන් වෙනස් දෘෂ්ටියක පිහිටා කටයුතු කරන බව ද සනාථ කර තිබේ. එනමුත් එතුමන් දේශපාලන විසඳුමක් සඳහා පියවර ගැනීමට එරෙහිව තමන්ගේ පක්ෂය ඇතුළෙන් මතු කරන ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට අසමත් බවක් පෙනී යයි. තමන් වෙත පැවරී තිබෙන වගකීම වෙනුවෙන් කිසියම් ප්‍රමාණයකට මැදිහත්වීමෙන් පමණක් එතුමාට නිදහස් විය හැකි ද? නොහැකිය. මේ තත්වය යළිත් විශද කරන්නේ ජාතිකවාදී දේශපාලනයෙහි ව්‍යා කූලතාමය.
අතීතයේ ඒ වෙනුවෙන් ගන්නා ලද උත්සාහයන් අසාර්ථක වූ අන්දම බර්නාඞ් සොයිසා පැහැදිලි කර තිබෙන්නේ මේ අන්දමටයි.
“බලතල විමධ්‍යගත කිරීමේ දී එක විශේෂ ගැටලුවක් මතු වුණා. 1987 දී මට මේක පෙනිලා මම ලිපියක් පළ කළා ඬේලි නිවුස් පත්‍රයේ. මම පෙන්නලා දුන්නේ රටේ නීති සම්පූර්ණයෙන්ම සකස් වෙලා තියෙන්නේ බලය විමධ්‍යගත කිරීම මත නොවේ, බලය මධ්‍යගත කිරීමට බව. එදා සිටි ජනාධිපති ජයවර්ධන මැතිතුමා මේ ගැන කලබල වෙලා කමිටුවක් පත් කළා. කමිටුව සාකච්ඡා කරල පනතක් හැදුවා. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරල සම්මත කරවා ගත්තා. නමුත් මේක සභාවට එන්න ඉස්සරවෙලා පාර්ලි මේන්තුව විසුරුවා හැරියා. ඉතින් මේක යට ගියා. අලුත් ආණ්ඩුවක් පත් වුණා. එතකොට මම ප්‍රශ්නය මතු කළා. ආයෙ කැබිනට් මණ්ඩලයට මේ පනත් ගෙනිච්චා. ආයෙත් සුප්‍රීම් උසාවියට යැව්වා. සුප්‍රීම් උසාවිය තීන්දු කළා පනතේ වරදක් නෑ කියලා. ඊට පස්සෙ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එතනදි අමුතු දෙයක් කළා. පක්ෂ නායකයින්ගෙ සාකච්ඡාවක් කැඳෙව්වා. එතනදි විපක්ෂයේ සමහරු කීවා අපට එකඟ වෙන්න බැහැ කියලා. මේකෙ වරදක් තියෙන නිසා නෙමෙයි ඒ. ඇත්තෙන්ම බලය විමධ්‍යගත කිරීමට විරුද්ධයි කියලා……”
මේ අදහස අදටත් වලංගු බවය පෙනී යන්නේ.

යළිත් ජනාධිපතිවරණයක් ද?
1995 ජනවාරි මස 06 වැනිදා පාර්ලිමේන්තුවේ නව සැසි වාරය විවෘත කරමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය පැවසූ අදහසක් මෙසේය. “අපේ ආණ්ඩුව ජනවාර්ගික ප්‍රශ්නයට සාමකාමී විසඳුමක් සැපයීම සඳහා කැපවී සිටී. සෑම ජන කොටසකටම ආරක්ෂා සහිතව ජීවත් විය හැකි මනුෂ්‍යත්වය අගයන අලුත් ව්‍යවස්ථාවක් සෑම පුරවැසියනටම එක හා සමානව සලකන ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ ඉදිරි දර්ශනයක් අපට තිබේ.”
මේ අදහස් ප්‍රගතිශීලී අදහස් වුණත්, එතුමිය මුහුණ දෙන්නේත් ජාතිකවාදී දේශපාල නඥයන් නිසි මතයකට එකඟ කරවා ගැනීමේ ගැටලුවටයි. මේ වූ කලි රටේ මහා අභාග්‍යයකි.
2015 ජනාධිපති වරණයෙන් ජය ලබන වත්මන් ජනාධිපතිවරයා චන්ද්‍රිකා මැතිනියටත් වඩා පැහැදිලිව ජනවාර්ගික ප්‍රශ්නය ගැන තමන් සංවේදී බව පාර්ලිමේන්තුවේ දී අවස්ථා කිහිපයකදීම තහවුරු කර ඇත. ඒ අදහස් අතිශයින් ප්‍රගතිශීලීය, මානවවාදීය. එහෙත් මේ වන විට එතුමා මුහුණ දී සිටින්නේ ද එදා චන්ද්‍රිකා මැතිණිය මුහුණ දුන් ගැටලුවටම බව පෙනේ. එනම් ජාතිකවාදී දේශපාලනඥයන් නිසි මතයකට එකඟ කරවා ගැනීමේ ගැටලුවටයි. මේ වූකලි රටේ ඉදිරිය අඳුරු කරන සදාකාලික අභාග්‍යය ද?
උතුරු නැගෙනහිර ප්‍රශ්නයට දේශපාලන විසඳූමක් ලබා දීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධි පතිනිය සමත් වනු ඇත යන බලාපොරොත්තුව එදා සිවිල් සමාජය නියෝජනය කරන අවංක මතධාරීන් තුළ තිබුණ බව පැහැදිලියි. ඒ බලාපොරොත්තුව ඊටත් වඩා සාධනීය මට්ටමකින් වත්මන් ජනාධිපතිතුමන් සම්බන්ධයෙන් තවමත් පවතින බව ද කිව යුතුයි. එදාට පොදු වූ කිසියම් තත්වයක් අදටත් පොදු ආකාරයකින් මෙහිදී මතු වෙමින් තිබීම ද අමතක කළ නොහැකියි. ඒ කුමක් ද? රටේ සමාජ ආර්ථික තත්වය අර්බුදයකට ලක්ව තිබීමයි. ආර්ථික අර්බුදය තුළ අලුත් ව්‍යවස්ථාව හා සම්බන්ධ ප්‍රශ්නය පටලවමින් ඉදිරි දේශපාලනය ගැන වැඩී වර්ධනය වන බල අරගලයක් අද ගොඩ නැඟී ඇත. එදා තත්වයත් මේ හා සමානමය. ජාතික ප්‍රශ්නය නිරාකරණය වෙනුවෙන් අවබෝධයක් චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධි පතිනිය සතු වූ බව විiමාන වූ කාරණාවක්. එහෙත් ඇය අසාර්ථක වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට එදා ඇය ගත් උත්සාහයට එක්සත් ජාතික පක්ෂයේ සහාය නොලැබුණ නිසාය. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට එක්සත් ජාතික පක්ෂය සහාය ලබා දීමට සූදානම් වුවත්, පොදු පෙරමුණ ඉදිරිපත් කළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් සහාය ලබා දීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් වූයේ නැහැ. එතන පැවතුණේ බල අරගලයක්ම බව පැහැදිලියි. මෙදා ශ්‍රීලනිපය විරුද්ධ වන්නේ බලය බෙදීමට බව පැහැදිලියි. ඔවුන් ඒ විරෝධය ගෙන එන්නේ ජනමත විචාරණයකට ඉදිරිපත්වීමට පොරොන්දුවක් නැත ප්‍රවාදය ඔස්සේය. ජනමත විචාරණයකට ගොස් ජය ගත නොහැකි වුවහොත් ඊළඟටත් ජනාධිපතිවරණයක් පැවැත්වීමට අනිවාර්යෙන්ම සිදු වේ. එය ජය ගන්නේ කෙසේ ද? මේ ආදි කාරණාවලින් විශද වන්නේ අපේ දේශපාලනඥයන් රටේ අනාගත අභිවෘද්ධියට වඩා දේශපාලන බලය දිවි තිබෙනතුරා භුක්ති විඳීමේ මානසිකත්වයකින් මඬනා ලද බව නෙවේ ද?
එදා චන්ද්‍රිකා මැතිනියට තිබුණ ප්‍රධාන ගැටලුව වූයේ ආණ්ඩු බලය එක් වැඩි ඡන්දයකින් පැවතීමයි. ආණ්ඩුව කඩා වැටෙන්නට තිබුණ අවකාශය බලවත් වූ නිසා නිහඬ වීමට එතුමිය තීරණය කළ බව පැහැදිලියි. එහෙත් දෙවන වතාවටත් ජනාධිපති පදවිය වෙනුවෙන් ඡන්දයට ඇය ඉදිරිපත් වන්නේ උතුරු නැගෙනහිර ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දීමට බලය ඉල්ලා සිටිමිනි. ඒ අවස්ථාවේ ද බලය ලැබුණත් පොරොන්දුව ඉටු වන්නේ නැත. මෙහිදී ජනාධිපතිනිය මුහුණ දෙන ප්‍රධාන ගැටලුව වන්නේ දේශපාලන විසඳුමක් වෙනුවෙන් තම ආණ්ඩුව තුළ බහුතරය අවබෝධයකින් හා අවංක සූදානමකින් අවදි කර ගැනීමට තිබුණ අපහසුතාවයි. එහිදී පොදු පෙරමුණ තුළ දේශපාලනයේ නිමග්නව සිටි බහුතරයකට න්‍යායාත්මක දේශපාලන දැක්මක් තිබුණේ නැති බව ඉතා පැහැදිලියි. ඇයට සිදු වන්නේ තනිවම සටනට බැසීමටයි. එහෙත් ඒ වන විට ආණ්ඩුව පැවතුණේ මහජන ප්‍රසාදය නැති තැනකය. දූෂණය සහ භීෂණය නිසා දැඩි කලකිරීමක් පොදුවේ රටේ ප්‍රබලව පැවතුණි. ප්‍රභාකරන් බලසම්පන්නව සිටීම ද තවත් බරපතල ප්‍රශ්නයකි. ජාත්‍යන්තර ප්‍රජාව ප්‍රශ්නයට උවමනාවෙන් අවධානය යොමු කර තිබීම ද බරපතල විය. වෙනම රාජ්‍යයකින් මෙපිට වෙනත් දේශපාලන විසඳුමකට ප්‍රභාකරන් සූදානම් නැති තත්වය මහ ජාතිය තුළ බලවත් ආරෝවක් ඇති කළ අතර එය වඩාත් උත්සන්න කිරීමට ද පසුබිම සකස් වී තිබුණි. මෙහි දී චන්ද්‍රිකා මැතිනියට සිදු වන්නේ ඇගේ පියාට මෙන්ම ආණ්ඩු බලය රැක ගැනීමට අවධානය යොමු කිරීමටයි. නිර්භීත තීන්දුවකට යාමට ඇය අසමත් වීම දෛවයේ සරදමක් විය.
එහෙත් අද තත්වය කුමක් ද? අද දේශපාලන භූමියේ සුළුකොට තැකිය නොහැකි සාධනීය කාරණා ඇත. ඉන් පළමුවැන්න යුද්ධය අවසන්ය. දෙවැන්න දෙමළ ජනතාව දේශපාලන විසඳුමකට සූදානම්ය. තුන්වැන්න පාර්ලිමේන්තුවේ බලය අතීරණාත්මක නොවීමය. මේ ඉතිහාසයේ පළමු වරට උදා වී තිබෙන අවස්ථාවකි. මෙහිදී අවශ්‍ය වන්නේ, ජාතික ගැටලුව විසඳීමට අවශ්‍ය නම්‍යශීලී කැපකිරීම්ය. එහෙත් බලය අබිමුව සසල වන ජාතිකවාදී දේශපාලනඥයන් නිසි හා අවශ්‍ය කැප කිරීම් කරන්නට සූදානම් නැතිනම් යළිත් අර්බුදයකි. “නිසි දැක්මකින් හා කැපවීමකින්” කටයුතු කිරීමේ දේශපාලන ක්‍රියාදාමයක් රට තුළ ගොඩ නොනැඟීම මහා අවාසනාවක් නොවේ ද?■