Untitled-1

Untitled-1

ජිනීවා: අන්තර් ජාතික බලපෑම්, සමරවීර සහ දෙමළ ප්‍රශ්න


sunanda

මේ දිනයන්හි ජීනීවාහි මුළුදෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි ශ්‍රී ලංකාව පිළිබඳ අවධානය එතරම් ඉහළ මට්ටමක නැති බව මුල් දින කිහිපය තුළ පැවැති රාජ්‍ය ප්‍රධානීන් සහභාගි වූ ඉහළපෙළේ අනුසැසිය තුළදීම පෙනෙන්ට තිබුණි. බොහෝ දුරටම ශ්‍රී ලංකාව ගැන කවර හෝ සාකච්ඡාවක් ඇතිවනු ඇත්තේ මහ කොමසාරිස්ගේ වාර්තාව ඉදිරිපත්වන 22දාය.
ඉහළ පෙළේ අනුසැසිය තුළදී ශ්‍රී ලංකාව ගැන සඳහනක් කළේ බි්‍රතාන්‍යය සහ ඇමෙරිකා එක්සත් ජනපදය පමණි. බි්‍රතාන්‍යය කීවේ මෙයයි: “අපි කවුන්සිලය සමඟ ශ්‍රී ලංකාවේ විදේශ ඇමැතිවරයාගේ සාධනීය ගනුදෙනුව සතුටින් පිළිගනිමු. මානව හිමිකම් කවුන්සිලයේ 2015 ඔක්තෝබර යෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සහ ශ්‍රී ලංකාවේ පශ්චාත් ගැටුම් ස්ථාවරභාවය, සහජීවනය සහ යුක්තිය ඇති කරනු පිණිස කවුන්සිලය ශ්‍රී ලංකාවට කාලය දිය යුතුය.”
බි්‍රතාන්‍ය මතයෙහි අලුත් සාධකයක් තිබේ. එනම් ශ්‍රී ලංකාවේ ස්ථාවරබව ඇතිකර ගැනීම සඳහාද කාලය ලබාදීම අවශ්‍ය බවයි.
2013 වසරෙහි සිට ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා ගෙනඒමට මූලික වූ ඇමෙරිකා එක්සත් ජනපදය සිය ප්‍රකාශයේ වැඩිම කොටසක් වැයකළේ ඊශ්‍රාලය සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ පිළිවෙත විවේචනය කිරීමටය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එරට කීවේ මෙයයි: “මානව හිමිකම් කවුන්සිලය නිවැරදිව ක්‍රියාකරන විට රාජ්‍යයන්ට සිය වගකීම් සහ යුතුකම් මතක්කර දීමට හැකියාව තිබේ. එලෙසින්ම ඒ සඳහා රටවල් වගවන ලෙස බැඳීමට එයට හැකිය. කවුන්සිලය නිසි පරිදි ක්‍රියාකරන විට එහි සාර්ථකත්වයන් මානව හිමිකම් ජයග්‍රහණයන් බවට පත්වෙයි. මේ සඳහා උදාහරණයක් නම් ශ්‍රී ලංකාවයි. මානව හිමිකම් කවුන්සිලයේ කටයුතු ශ්‍රී ලංකාවෙහි ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රගතියෙහි උත්ප්‍රේරකයක් බවට පත්වී පසුගිය (මානව හිමිකම්) කෙලෙසීම් සඳහා වගවීම වැඩි දියුණු කිරීම සඳහා එරටට තාක්ෂණික සහාය සැපයීමටත් එයට හැකිවිය.”
එනයින් ඇමෙරිකානු මතය වන්නේ ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලයේ සාර්ථක නිදර්ශනයක් බවයි. අද ඇමෙරිකාව හෝ බි්‍රතන්‍යය ලවා ලංකාණ්ඩුවට බලපෑම් කරවීමට සිතීම මිථ්‍යාවක සිරවීමකි.
ශ්‍රී ලංකා විදේශ ඇමැතිවරයාගේ කතාවෙහි එතරම් අලුත් දෙයක් තිබුණේ නැත. එමෙන්ම 2015 සැප්තැම්බරයේදී මානව හිමිකම් කවුන්සිලය ඇමතූ අවස්ථාවෙහි ඔහු විසින් පෙන්නුම් කරන ලද විශ්වසනීය ශරීර භාෂාව මෙවර එලෙසම දක්නට තිබුණේ නැත. එහෙත් ඔහුගේ කතාවෙහි පළමු ඡෙදය බොහෝ දෙනෙකුගේ කතාබහට තුඩු දුන්නේය. ඒ මෙසේය:
“මා අද මීට සහභාගිවන්නේ, මානව හිමිකම්වල මූලික පදනම හා හරයන් පිළිබඳව ලොව පුරා රටවල් ප්‍රශ්න කරමින් සිටින අවධියකදීය. ජනතාවගේ ගැටලු විසඳීමට ඉදිරිපත් වන ජනතාවාදීන්ගේ නොදැනුවත්කම නිසා අප විසින් වැළඳගන්නා ලද බොහොමයක් විශ්ව වටිනාකම් ජනප්‍රියතාවාදය යන නාමයෙන් අභියෝගයට ලක්වී ඇත. මෙම සන්දර්භය අනුව, මෙම සංවිධානයේ කාර්යභාරය අන් කවරදාකටත් වඩා ඉතා වැදගත් තත්ත්වයකට පත්වෙමින් තිබේ.”
මෙම ඡෙදය එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුත්ත්‍රේස් සහ මානව හිමිකම් මහකොමසාරිස් සෙයිඞ් අල් හුසේන් කවුන්සිලය අමතා කරන ලද කතාවන්හි තේමාව හා සැසඳුණි. එමෙන්ම මෙම ඡෙදයෙන් වක්‍ර ලෙසින් ඇමෙරිකාවෙහි සහ බි්‍රතාන්‍යයෙහි අද සිදුවෙමින් යන ක්‍රියාදාමය ද විවේචනයට ලක් වෙයි. එමෙන්ම එය මෙරට රාජපක්ෂ දේශපාලනයටද විවේචනයකි.
ඔහු මෙසේද කීවේය:
“පාර්ලිමේන්තු ක්‍රියාවලිය හා ජනමත විචාරණය මේ සඳහා අත්‍යවශ්‍ය වේ. සම්මුතියෙන් හා අදහස් විමසීමෙන් තොරව එළඹි පෙර ව්‍යවස්ථා මෙන් නොව, 3 වන ජනරජ ව්‍යවස්ථාව වන මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ජනතාවගේ නියම අපේක්ෂාවන් පිළිබිඹු වනු ඇතැයි අපි විශ්වාස කරමු. ..එමගින් ජනතාවගේ සමාන අයිතිවාසිකම් ආරක්ෂා වන අතර බහුජාතික, බහුආගමික, හා භාෂා ගණනාවක් කථා කරන පුරවැසියෝ ජාතියක් වශයෙන් මෙම ක්‍රියාවලියට සහභාගි වී තම තමන්ගේ යහජීවිතය පිළිබඳ තීරණවලට එළඹී යළි ගැටුම් ඇති නොවන බවට වගබලා ගනු ලැබේ.”
සමරවීර එක්සත් ජාතීන්ට කියාසිටියේ පාර්ලිමේන්තුවෙන් පමණක් නොව ජනමත විචාරණයකින් ද නව ව්‍යවස්ථාව සම්මත කරගත යුතු බවයි. එමෙන්ම ශ්‍රී ලංකාව බහුජාතික, බහුආගමික හා බහුභාෂාමය එකක් බවත් ඔහු කියයි.
පොරොන්දු දීම සහ නිවැරදි දේශපාලන කතා පැවැත්වීම රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ ලකුණකි. ඒ අතින් සමරවීර ඉතා දක්ෂයකු බව ඔහු නැවත වතාවක් පසුගිය මාර්තු 01 දින ජිනීවාහි “ප්ලස් ඩි නැසියෝන්”හි පැවැති සමාන්තර රැස්වීමෙහිදීද පෙන්නුම් කළේය.
එහිදී ප්‍රශ්න ඇසූ දෙදෙනෙකු හැර අන් සියලු දෙනාම දෙමළ ජාතිකයෝ වූහ. ඒ අතර ශ්‍රී ලංකා දෙමළ ප්‍රජාවෙන් මෙන්ම ඩයස්පෝරා දෙමළ ප්‍රජාවෙන් පැමිණි පිරිස් වූහ. අඩුම වශයෙන් ඉන් දෙදෙනෙක් විදේශ ඇමැතිවරයා බොරු කියන බව නොකියා කීහ. සැර ස්වරයෙන් කතාකරමින් ඇමෙරිකාවෙහි පිහිටුවා ඇති අන්තර්කාලීන දෙමළ ඊළාම් ආණ්ඩුවේ ඇමැතිවරයකු කියාසිටියේ ශ්‍රී ලංකාවට දෙමළ ජනයාට යුක්තිය ඉටුකළ නොහැකි බවත් එබැවින් එය ජාත්‍යන්තර යුද අධිකරණයට පැවරිය යුතු බවත්ය. ඊට පිළිතුරු වශයෙන් සමරවීර කියාසිටියේ සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමය යටතේ පිහිටුවනු ඇති වගවීමේ යාන්ත්‍රණය සියලු දෙනාටම පිළිගත හැකි සහ ස්වාධීන එකක් බව බවට තමා සහතික වන බවයි. එය පිළිගැනීමට දෙමළ පිරිස් අතර සූදානමක් තිබුණේ නැත.
වැඩිම ප්‍රශ්න යොමුවූයේ විදේශ විනිසුරන් එවැනි වගවීමේ යාන්ත්‍රණයකට ඇතුල් නොකිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව ගෙන ඇති තීරණය පිළිබඳවය. රවිරාජ් ඝාතන සැකකරුවන් මෙන්ම කුමාරපුරම් නම් දෙමළ ගම්මානයේ කරන ලද ඝාතන සම්බන්ධයෙන් කිසිවකු වරදකරවකු නොකරන ලද ශ්‍රී ලංකා අධිකරණය පිළිගත නොහැකි බව ඔව්හු කීහ. සමරවීර කියාසිටියේ දේශීය යාන්ත්‍රණයකට විදේශීය විනිසුරන් සම්බන්ධ කර ගන්නා අන්දම දැන් සලකා බලාගෙන යන බවයි.
වසර විසිපහක් පුරා මෙරට දෙමළ ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජිනිවා මානව හිමිකම් කොමිසමට නිතිපතා පැමිණ ඇති කිරබාකරන් ඇමැති සමරවීරට කියාසිටියේ “ඔබේ කතා පැණි රස නමුත් උතුරු නැගෙනහිර මහපොළවේ යථාර්ථය ඊට සහමුලින්ම වෙනස් බව”යි. උතුරෙහි උග්‍ර සිංහලකරණයක් සහ බෞද්ධ සංස්කෘතික ආක්‍රමණයක් සිදුවන බව කී ඔහු සමරවීරට කියාසිටියේ සිහින දැකීම නතර කරන ලෙසයි.
එවැනි හැඟුම්බර ප්‍රකාශයන්ට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කියාසිටියේ දෙමළ ජන පිරිස්හි ඇති කෝපය සහ අවිශ්වාසය තමන්ට තේරුම්ගත හැකි බවයි. සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමය පමාවී ඇති බවත් අපේක්ෂිත වේගයෙන් ඉදිරියට යෑමට සමත් වී නැති බවත් ඔහු පිළිගත්තේය. එසේ නමුත් එවැනි ක්‍රියාදාමයන් තිබූ අනෙක් රටවල් මීට වඩා කාලයක් ගත් බවත් අද ශ්‍රී ලංකාවෙහි දෙපැත්තේම සිටින අන්තවාදී කොටස් සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමය ද්‍රෝහීන්ගේ වැඩක් ලෙස හෙළාදකින බවත් ඔහු කියා සිටියේය.
මෙම සාකච්ජා සභාවෙහිදී පෙනීගියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි නොකිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් නොකිරීම සහ යුද හමුදාව විසින් අල්ලාගෙන ඇති ඉඩම් යළි ඒවා හිමිකරුවනට ලබා නොදීම වැනි කරුණු උඩ දෙමළ සමාජය සහ ශ්‍රී ලංකා ආණ්ඩුව අතර ඇතිව ඇති පුළුල් අවිශ්වාසයි. සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමය පිළිබඳව විශ්වාසයක් දෙමළ ජනයා අතර ඇතිකිරීමට අවශ්‍ය නම් ආණ්ඩුව මුලින් කළ යුත්තේ එවැනි එදිනෙදා ප්‍රශ්නවලට විසඳුම් සැපයීමයි. ව්‍යවස්ථා ජනමත විචාරණයක් සඳහා දෙමළ ජනයාගේ කැමැත්ත ලැබෙනු ඇත්තේද මෙම විශ්වාසය යළි ගොඩනැගිය හැකි නම් පමණි.
රාජ්‍ය තාන්ත්‍රික කතා මගින් පමණක් දෙමළ ජනයා ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් ඇතිකර ගන්නේ නැති බව අමාත්‍ය සමරවීර නොදන්නවා විය නොහැක. වැඩ බලවත් කතා බවට පත්වනවා මිස කතා එවැනි වැඩ බවට පත්වන්නේ නැත.■