රාවය

දේශපාලන න්‍යාය පත්‍ර ගැන හිතමින් වන්දි ගෙව්වා ඇති | දඹර අමිල හිමි

දේශපාලන න්‍යාය පත්‍ර ගැන හිතමින් වන්දි ගෙව්වා ඇති | දඹර අමිල හිමි

තරිඳු උඩුවරගෙදර

ශ්‍රීලනිපයෙන් කියන්නේ අවසාන ජනාධිපතිවරණයේදී අලුත් ව්‍යවස්ථාවක් ගැන කතාකළේ නැති බවයි. ඒ ගැන අදහස මොකක්ද?
මෛත්‍රීපාල සිරිසේන මහත්තයා විහාරමහාදේවියේදී කළ ප්‍රකාශයයි, සංවිධාන 49ක් එක්ක අත්සන් කළ ගිවිසුමට අනුව, විහාරමහාදේවීයේදී කළ අවසාන ප්‍රකාශයයි, ජනාධිපතිවරයා මහනුවරදී කළ ප්‍රකාශයයි, රනිල් සහ මෛත්‍රී සහ එකඟතාවට ආ දෙය වගේම පොදුවේ සිවිල් සංවිධාන විසින් බලාපොරොත්තු වුණ කාරණාව තමයි විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුය කියන පදනම මත ඉඳගෙන නව ව්‍යවස්ථාවකට යන්න ඕනෑ කියන එක. ඔබට මතක ඇති එක්සත් ජාතික පෙරමුණ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එළිදැක්වුවා. ඒක පිළිගැන්වුවේ මට. ඒ වෙලාවෙ මටත් කතාවක් ලැබුණා. මම කීවේ නව ව්‍යවස්ථාවක් අනිවාර්යයෙන් අවශ්‍යයි කියලා. ඒකේ තිබුණේත් ඒක. සෝභිත හිමියන් බලාපොරොත්තු වුණේත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි. අනෙක් අතට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා සෝභිත හිමියන්ගේ මළගෙදරදීත් එය පොරොන්දු වුණා. ශ්‍රීලනිපයේ සුසිල් ප්‍රේම්ජයන්ත හරි ඩිලාන් හරි එස්බී වගේ කවුරුවත් ඔය අභ්‍යන්තර සාකච්ඡාවල හිටියේ නැහැ. එයාලා එදා හිටියේ මහින්ද රාජපක්ෂ ගාව. ඒ නිසා ඒ ගැන එයාලාට කියන්න අයිතියක් නැහැ. එයාලාට ඒ ගැන අවබෝධයක් නැහැ. එයාලා ඒ ගැන කතාකරන එක ඇසීමේ වැඩකුත් නැහැ. ජනමත විචාරණයකින් එය සම්මත නොවේවි කියලා එයාලාට කියන්න බැහැ. සිවිල් ව්‍යාපාරය මේකට මැදිහත් වුණේ කාගේවත් ආණ්ඩුවක් හදන්න නෙවෙයි. තියෙන ඒකාධිපති ආණ්ඩුව ඉවත් කරලා ක්‍රමය වෙනස් කරන්නට.

ජනාධිපතිවරයා හෙළ උරුමය එක්ක ඇතිකරගත් එකඟතාව එක්ක වෙනත් අදහසක හිටියාද?
නැහැ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන මෛත්‍රීපාල සිරිසේන තරම් ලංකා ඉතිහාසයේ කිසිම ජනාධිපතිවරයෙක් ඉස්සරහට ආවේ නැහැනේ. විධායක ජනාධිපති ධුරයේ බලතල අඩු කරන්න ඔහු ගත්ත උත්සාහයේදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනමත විචාරණයක් අවශ්‍ය නැති බව කියූ සංශෝධන පමණක් ගෙනෙන්න වුණ නිසා තමයි දහනවවැනි සංශෝධනය ඔය විදියට සිද්දවුණේ. ඇත්තටම ජනමත විචාරණයකට නොයන සංශෝධන ගැන කීවේ දින සීයට අදාළවයි. ශ්‍රීලනිපයේ මහින්ද පිලේ කොටසකුත් එක්කනේ යන්න වෙන්නේ. ඉන්පස්සේ කළ යුතුව තිබුණේ නව ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීමයි. ඒක පැහැදිලිව කියලා තිබුණා. තුනෙන් දෙකකට යන ඒවා විතරයි කියලා කීවේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට ලබාදී තිබුණු පොරොන්දුව නිසායි. ඒ වෙලාවේ ව්‍යවස්ථාවක් හෝ ජනමත විචාරණයක් ආවා නම් විසුරුවාහැරීම කල් යන්න තිබුණා. අපි පිළිගන්නවා විධායක ක්‍රමය අහෝසි කිරීමෙන් පමණක් සියල්ල විසඳෙනවා කීවොත් ඒක වැරදියි. මැතිවරණ ක්‍රමය ඇතුළු ව්‍යවස්ථාවේ ව්‍යුහමය වෙනස්කම් රැසක් කරන්න ඕනෑ. ස්ථාවර ආණ්ඩු බිහිවීම කරන්න ඕනෑ. සුළු ජනවර්ග කීවා විධායක ජනාධිපති ක්‍රමය ඔවුන්ට හොඳයි කියලා. අනෙක් අතට යුද්ධය ඉවර කරන්නට විධායක ජනාධිපති ක්‍රමය උදව්වුණා කියලා අදහසක් තිබුණා. මේ සියලු ප්‍රශ්න ගැන සලකා බලලා ඒවා කළමනාකරණය කරගැනීමේ වැරැද්දක් නැහැ. බලය බෙදීමේදී විධායක ජනාධිපති ධුරය වැදගත් වෙනවා කියලා අදහසක් තියෙනවා. ඒ අයගේ අදහස එන්නේ කොහොමද කියලා විමසලා ඒ ප්‍රශ්නයට විසඳුමක් දීමේ වැරැද්දක් නැහැ.

ශ්‍රීලනිපය නව ව්‍යවස්ථාවකට විරුද්ධ වුණත් ව්‍යවස්ථාවක් සඳහා යෝජනාවට පාර්ලිමේන්තුවේදී සම්පූර්ණ එකඟතාවත් ලැබුණා, ලාල් විජේනායක කමිටුව සහ පාර්ලිමේන්තු අනුකමිටුත් පත්කළා. ඒ පැහැදිලිවම නව ව්‍යවස්ථාවක් සඳහා. ඉන්පස්සේ මේ වගේ තර්කයක් පැමිණීම ගැන අදහස මොකක්ද?
ඔබ කියන කාරණය පැහැදිලිවම පෙන්වනවා මෙතැන තියෙන ප්‍රශ්නය. දේශපාලනිකවයි මේ කාරණය මතුවන්නේ. පක්ෂයක න්‍යාය පත්‍රය නිසා තමයි දැන් එකපාරම වෙනස් අදහසක් ගෙනෙන්නේ.

එක්සත් ජාතික පක්ෂයේ න්‍යාය පත්‍රය අනුව ව්‍යවස්ථාව ගෙනෙනවා කියලා කියන අයත් ඉන්නවා නේද? අපි හැමෝටම වඩා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන කතාකළ වාසුදේව වගේ අයත් කියන්නේ රනිල් වික්‍රමසිංහ නැති දවසක විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමු කියලායි. ඒ ගැන අදහස මොකක්ද?
මේක මේ මොහොතේ බලය ගැන ඉලක්ක කරමින් තමයි සාකච්ඡා කරන්නේ. එක්සත් ජාතික පක්ෂයට බලය නොයන එක ඒකාධිපති තනතුරක් තියෙනවාටත් වඩා හොඳයි කියන තැන තමයි ඉන්නේ. පක්ෂය වැදගත් නැහැ. අපි ක්‍රමය හැදුණාම ඒකත් එක්ක යන්න වෙන්නේ. එජාපය එක් කාලයක දරුණු ජනතා විරෝධී ආණ්ඩුවක් වුණා. ශ්‍රීලනිපය තවත් කාලෙක ඒ වගේ ආණ්ඩුවක් වුණා. මේ දෙකම විධායක ජනාධිපති ක්‍රමය පාවිච්චි කළා. මේක කෝච්චි පාරක් වගේ. රියදුරුකම ඕනෑ කෙනෙකුට කරන්න පුළුවන්. හැබැයි අපි හදලා තියෙන පාර අනුව තමයි යන්න වෙන්නේ. රියැදුරුට ඕනෑ දිහාට හරවන්න බැහැ. යන වේගය, නවත්වන තැන් විතරයි තීරණය කරන්න පුළුවන්. රියැදුරු වැඩි වේගෙන් ගියොත් අපට කෝච්චියේ තියෙන බ්‍රේක් එක ඇදලා වෙන රියැදුරු කෙනෙක්ට වැඬේ බාරදෙන්න පුළුවන් වෙන්න ඕනෑ. ව්‍යවස්ථාව කියන්නේත් කෝච්චි පාරක් හදනවා වගේ වැඩක්. දෙදාහේදී යූඇන්පිය කර ඇරියා. දැන් ශ්‍රීලනිපය කර අරිනවා. යූඇන්පියට බලය යයි කියලා මේක අද නොකළාම හෙට යූඇන්පිය ශ්‍රීලනිපයට බලය යයි කියලා නොකර ඉන්න ඉඩ තියෙනවා. මේ දේශපාලන න්‍යාය පත්‍ර ගැන හිතමින් වන්දි ගෙව්වා ඇති. දැන් රට ගැන හිතන්න ඕනෑ.

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න කියනවා බලය බෙදීම පැත්තෙන් මේ ටික කරගන්න පුළුවන් සම්බන්ධන් මහත්තයා ඉන්නකම් විතරයි කියලා. දෙමළ දේශපාලන නායකයන්ගේ සහයෝගය ලැබෙන මේ අවස්ථාව ගැන හිතන්නේ මොකක්ද?
අපි දන්නවා උතුරේ දකුණේ හැමෝම ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගෙන ඇති කියලා. මේ ව්‍යවස්ථාව ගැනත් ක්‍රමය ගැනත් ඇති තරම් පාඩම් තියෙනවා. ලෝකය ඉස්සරහට යද්දී එක තැන පල්වෙන්න ගිහින් දැන් බැටකාලා පල්වෙලා තියෙනවා. දැන් කවුරුත් මැද තැනකට එන්න. එහෙම එන්න එකඟවෙලා තියෙනවා. විශේෂයෙන් උතුරේ බහුතර බලය දරන දෙමළ ජාතික සන්ධානය සහ විශේෂයෙන් එහි නායක සම්බන්ධන් සහ සුමන්තිරන් මහත්තයා. ඔවුන් දරන මතය ස්වර්ණමය අවස්ථාවක්. අපි මේ අවස්ථාව පාවිච්චි කරන්න ඕනෑ. මේ වෙලාවේ දෙමළ ජනතාවගේ විශ්වාසය කඩවුණොත් නැවතත් ඔවුන් වැරදි තැනකට තල්ලුවෙන්න ඉඩ තියෙනවා. ඔහු විපක්ෂ නායක වීම ඉතාමත්ම වැදගත් වෙනවා. දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීම වගේ තීරණයකට ලැබුණු ප්‍රතිචාරය දිහා බලන්න. විග්නේශ්වරන් මහත්තයා පෙන්වුවා අපි අඩියක් ඉස්සහරට ගියොත් ඔවුන් අඩි දහයක් ඉස්සරහට යනවා කියලා. ඔහු දැන් යම් ප්‍රකාශ කරනවා ජාතිවාදී පදනම් ඇතුළේ. හැබැයි හොඳ වෙනසක් කළොත් ඔවුන් ඒකට එකඟ වේවි. අපිත් ඒ කාලේ පළාත් සභාවලට තදින් විරුද්ධ වුණා ඒ කාලේ තිබුණු තත්ත්වයත් එක්ක. අපි කීවා එල්ටීටීඊය විනාශ කරන්න කියලා. දැන් අපි කියනවා වහාම උපරිම බලය බෙදාහැරීමක් වෙනුවෙන් පෙනී ඉන්න කියලා.
දැන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පක්ෂවලින් ආ අයටත් වඩා සිවිල් බුද්ධිමතුන්, මධ්‍යස්ථ මිනිසුන්ගේ මැදිහත්වීමෙන් බලයට ආ කණ්ඩායමක් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා මේ අවස්ථාව අපතේ යැවිය යුතු නැහැ.

සිවිල් සංවිධානවලින් ව්‍යස්ථාව පිළිබඳ සංවිධානයක් නිර්මාණය වෙන්නේ කොහොමද?
අපි දැනට අවුරුද්දක් හමාරක් විතර තිස්සේ කටයුතු කළා. ඒකට අදාළව ක්‍රියාමාර්ග ගනිමින් හිටියා. ලාල් විජේනායක කමිටුව හොඳට ක්‍රියාත්මක වුණා. වාර්තාව ඉදිරිපත් වුණා. මුළු පාර්ලිමේන්තුවම එකඟවෙලා ව්‍යවස්ථාදායක සභාවත් ඇතිකළා. පාර්ලිමේන්තුවේ මෙහෙයුම් කමිටුවක් පත්කළා. මේ සියල්ල ලොකු පියවර. කමිටු හයක් පත්කරලා වාර්තා පවා ඉදිරිපත් කළා. එකක සභාපති බන්ධුල ගුණවර්ධන, ධර්මලිංගම් සිද්ධාර්ථන් තවත් එකක සභාපති. ජාති ආගම් සහ පක්ෂ බේදයකින් තොරව ඒක ක්‍රියාත්මක කළා. විවිධ කමිටු වාර්තාවල තොරතුරු එක්ක මෙහෙයුම් කමිටුව මූලික සැලැස්මක් ව්‍යවස්ථාවට නිර්මාණය කරලා ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා වාදවිවාද කරලා ජනමත විචාරණයකට ගෙනෙන්නත් ඕනෑ. මෙතෙක් සිදුවුණ දේවල් හොඳ පියවර විදියට අපි දැක්කා. හැබැයි පහුගිය කාලයේ අපි දැක්කා මේක වෙන පැත්තකට ගෙනියනවාද කියන එක. ඒ නිසා අපි කල්පනා කළා සිවිල් බලවේගය නැවත වතාවක් බලගන්වන්න ඕනෑ කියලා. ඒ නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම වෙනුවෙන්. මේ වනවිට ඩිව් ගුණසේකර මහත්තයා එක්ක අපි සාකච්ඡා කළා. ඒ පක්ෂය දැඩිව මේ ක්‍රියාවට සහයෝගය පළකරන තැනක ඉන්නවා. ඔවුන් අපට සම්පූර්ණ සහයෝගය දෙනවා. සරත් අමුණුගම මහත්තයා එක්ක කතාකළා. එතුමා ඒ මතයේ ඉන්නවා. ඊපීඩීපී පක්ෂයේ ඩග්ලස් දේවානන්දා මහත්තයා එක්ක සාකච්ඡා කළා. ඔහු සම්පූර්ණ සහයෝගය දෙන්න එකඟ වුණා. ඒ සුළු ජාතිකයන්ගේ ගැටලුවලට විසඳුම ලැබෙන ව්‍යවස්ථාවක් වෙනුවෙන්. ඊට අමතරව අපි සරත් ෆොන්සේකා මහත්තයාව මුණගැහුණා. එයා සහයෝගය දක්වන බව කීවා. අපි ජේවීපිය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වගේ කණ්ඩායම් එක්කත් කතාබහ කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මංගල ඉදිරිපත් කිරීම පසුගිය සතියේ කළා. අපි ඉදිරියේදී ජනරැලි කරන්න බලාපොරොත්තු වෙනවා. ජනතාව දැනුවත් කරන්න ගමෙන් ගමට යනවා.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් අවංක මැදිහත්වීමක් නොදක්වන බව පෙනෙනවා නේද?
අපි මේ දෙදෙනා ගැන සාකච්ඡා කළ බව කිවයුතුයි. වෙන වෙනම මේ දෙදෙනා එක්ක සාකච්ඡා කළා. එතැනදී මම කෙළින්ම කීවා ඔය දෙන්නා එක තැනකට ඇවිල්ලා ප්‍රකාශයක් කරන්න කියලා. නව ව්‍යවස්ථාවක් ඇතිකරගැනීම ගැනත්, ඔවුන්ගේ ස්ථාවරය ගැනත් පැහැදිලිව කතාකරන්න කියලා අපි කීවා. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා නව ව්‍යවස්ථාවක් ගැන එකඟතාවකට ඇවිත් තියෙන කාරණා එළිදැක්වුවා. පළාත් සභාවක් බෙදීයාම ගැන කතාකළොත් එය සම්පූර්ණයෙන් අහෝසි කිරීම ගැන, ආරක්ෂාව, ඒකීයභාවය, බුද්ධාගමට ලැබෙන ප්‍රමුඛස්ථානය ආදි වශයෙන් කතාකළා. ග්‍රාම රාජ්‍ය සහ බලය බෙදන්නට බලාපොරොත්තු වන ආකාරය ගැන ජනාධිපතිවරයා කීවා. ඒ ඔවුන්ගේ යෝජනාව. ඒවා කතාකරන්න පුළුවන්. අපට එකඟ වෙන්න පුළුවන්. ව්‍යවස්ථාව ගැන මිථ්‍යා මත පතුරවන අයට පිළිතුරුත් ඒකේ තියෙනවා. ජනාධිපතිවරයා එක්ක සාකච්ඡා කරද්දී දුමින්ද දිසානායක මහත්තයා එක්කත් සාකච්ඡා කළා. ඔහුගෙන් දෙදාස් විස්සේ මෛත්‍රිපාල සිරිසේන මහත්තයාව ගෙනෙන බවට කී ප්‍රකාශය ගැනත් ඇහුවා. ඔහු පැහැදිලි කළා පක්ෂය පාක්ෂිකයා ගැන හිතමින් කළ ප්‍රකාශ තිබුණත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න පුළුවන් කියලා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත් නිහඬව ඉන්න බව කියන්නේ පක්ෂය පිළිබඳ කාරණය නිසා. කොහොම වුණත් ඔවුන් ඉදිරියේදී තමන්ගේ ස්ථාවරය හෙළිකරාවි. කරන්නට සිද්දවෙනවා. අලුත් ව්‍යවස්ථාවක් උදෙසා ජාතික ව්‍යාපාරය හැදුවේ මේ අය ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කටයුතු කරන්න පෙළඹවීමටත් අනෙක් පැත්තෙන් ඔවුන් මේක මඟහැරියොත් එහෙම නොකර ඉන්න බැරි බලවේගයක් නිර්මාණය කරන්නටත්. එහෙම නැත්නම් ඔවුන් කම්මැලිකමෙන් ඉන්නවා නම් ඒ කම්මැලිකම නැතිකිරීමට. අපි පක්ෂවල නායකයන්ගේ ස්ථාවරය දිහා අපි බලනවා. එහෙම නැත්නම් දේශපාලන පක්ෂ සහ සිවිල් බලවේග එක්ක කටයුතු කරමින් බලවේගයක් විදියට කටයුතු කරන්නත් බලාපොරොත්තු වෙනවා.■