Untitled-1

Untitled-1

අගවිනිසුරුතුමනි, බලාපොරොත්තු බොහොමයකි


jana

කේ.ඩබ්ලිව්. ජනරංජන

අගවිනිසුරු කේ සිරිපවන් විශ්‍රාම ගත්තේ පෙබර වාරි 28වැනිදාය. නව අගවිනිසුරුවරයා ලෙස පත්වනුයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පියසාත් ඩෙප්ය. නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටියදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරයකු හැටියට ඔහු පත්කරනු ලැබිණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ජනාධිපතිවරයා විසින් කරනු ලබන නාමයෝජනා, එම සභාව විසින් අනුමත කිරීමෙන් පසු ජනාධිපතිවරයා විසින් අගවිනිසුරුවරයා පත්කරනු ලැබේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නම් දෙකක් යෝජනා කළ අතර (අනෙක් නම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේටී චිත්‍රසිරිගේය.) ඉන් ඩෙප් විනිසුරුවරයාගේ නම ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපතිවරයා වෙත නිර්දේශ කර ඇත්තේ, දෙදෙනා අතරින් ජ්‍යෙෂ්ඨත්වය සලකා බැලීමෙනි.
විශ්‍රාම ගිය අගවිනිසුරු කේ සිරිපවන් නිහතමානි හා යහපත් කෙනකු ලෙස අධිකරණ ක්‍ෂෙත්‍රයේ නමක් දිනාගත්තෙකි. ඔහු පත්වන්නේ හිටපු 43වැනි අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක ඉල්ලා අස්වීමෙන් පසු හිස්වන ධුරයටය. කැළෑ උසාවියකින් කැළෑ නීතිය යටතේ නිලයෙන් පහකරන ලද ආචාර්ය බණ්ඩාර නායකගෙන් පසු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් අගවිනිසුරු ධුරයට පත්කරන ලද්දේ, කාල්ටන් නිවසේ අවුරුදු උත්සවයට සහභාගිවන මට්ටමේ තම මිතුරකු වූ මොහාන් පීරිස්ය. ජනවාරි 8 වැනිදා නව රජය බලයට පත්වුණු ගමන්ම මොහාන් පීරිස් අගවිනිසුරු ධුරයෙන් ඉවත්කෙරිණි. ඇත්ත වශයෙන්ම මොහාන් පීරිස්ගේ අගවිනිසුරු පත්වීමට කිසිම නීතිමය පදනමක් නොතිබිණි. ඒ නිසා, ඔහු ලංකාවේ 44වැනි අගවිනිසුරු නොවේ. ශිරාණි බණ්ඩාරනායක මහත්මිය නව රජය බලයට පත්වීමෙන් පසු නැවතත් සිය අගවිනිසුරුධුරයේ නිල කටයුතු අරඹා දිනක් තුළ ඉල්ලා අස්වීම නිසා ඊළඟට 44 වැනි අගවිනිසුරු ලෙස පත්වුණේ කේ සිරිපවන් මහතාය.
සිරිපවන් මහතාගේ නිල කාලය තුළ අධිකරණය පැවතියේ හොඳකුත් නැති නරකකුත් නැති තත්ත්වයේය. ඔහු පත්වන්නේ අධිකරණයේ විශාල කැළඹිලි සමයකට පසුවය. ඒ කැළඹිලි සමය තුළ රටේ මුළු අධිකරණ පද්ධතියම අවුල්වී තිබුණේය. දේශපාලනී කරණය අධිකරණය ගිලගෙන තිබුණි. ආණ්ඩුවේ දේශපාලකයන්ට හෝ වෙනත් බලවතුන්ට සමීප නම් මහේස්ත්‍රාත්වරුන් ලෙස පත්විය හැකි විය. ඊට අමතරව ඇහැට කනට පෙනෙන නීතිඥවරියන්ටද මහේස්ත්‍රාත්වරියන් වීමේ භාග්‍යය උදාවිය. පල්ලියට, හාමුදුරුවරුන්ට හා දේශපාලකයන්ට විනිසුරු වරුන් මාරු කිරීමටත්, මාරු නතරකිරීමටත් හැකි තත්ත්වයක් තිබිණි. මහින්ද රාජපක්‍ෂ මහතාගේ වුවමනාවට අධිකරණය ස්වේච්ඡාවෙන්ම නැටවෙන තත්ත්වයක් තිබුණු අතර, ඒ අණට කීකරුවන විනිසුරු වරුන්ගේ ‘අරලියගහ කල්ලිය’ක් සැලසුම් සහගතව අධිකරණ සේවා කොමිෂන් සභාවත්, කොළඹ ඇතුළු අනෙක් ප්‍රධාන නගරවල හා නීතිමය මර්මස්ථානවල උසාවිත් අරක්ගෙන තිබුණේය. විනිසුරුවරුන්ට අරලියගහ මන්දිරයෙන් ‘හැම්පර්ස්’ ලැබෙන තත්ත්වයක් තිබුණු බව පසුගිය දාක කීවේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාය. අරලියගහ කල්ලියට ඇතුළත් නැති ස්වාධීන විනිසුරුවරුන්ට හිමිවුණේ ඈත ප්‍රදේශවල, පහසුකම් අඩු ප්‍රදේශවල උසාවිය. කේ සිරිපවන් අගවිනිසුරුවරයාට සිදු වන්නේ මේ බරපතළ අවුල්සහගත තත්ත්වය සහිත අධිකරණ පද්ධතියක මුල් පුටුව හොබවන්නටය. එවැනි කැළඹිල්ලකට මුහුදේදී මුහුණ දුන් නැවක් ඉදිරියට මෙහෙයවීමේ වගකීම පහසු එකක් නොවේ. සාමාන්‍ය තත්ත්වයන් අබිබවා ගිය ශක්තියක් හා කැපවීමක් ප්‍රදර්ශනය කරන්නට එවැනි නැවක් පදවන කපිතාන්ට සිදුවෙයි. එහෙත්, අවාසනාවකට කේ සිරිපවන් මහතාට එවැනි ගාමක ශක්තියක් තිබුණේ නැත. ඒ නිසා එක් පැත්තකින් පවතින් තත්ත්වයන් එලෙසම පවත්වාගැනීමට කටයුතු කිරීමත්, තීරණ ගත යුතුම අවස්ථාවලදී පවා තීරණ නොගෙන සිටීමත් සිරිපවන් මහතා කෙරෙන් දර්ශනය වුණේ වඩා සුදුසු ක්‍රමවේදය එය යැයි ඔහු සිතූ නිසා විය යුතුය. මේ තත්ත්වය මත, සිරිපවන් මහතා අධිකරණ සේවා කොමිෂන් සභාවේ (මහින්ද රාජපක්‍ෂ කාලයේ පත්කරන ලද) සමහර නිලධාරීන් මත විශ්වාසය තැබූ අතර, ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ඒ අය වර්තමාන ආණ්ඩුව කාලයේදීද තමන්ට වුවමනා ලෙස අධිකරණය මෙහෙයවන්නන් බවට බවට පත්වූහ. ඒ කාලයේ පහළ අධිකරණ විනිසුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් හා උසස්වීම් කරන ලද්දේ බොහෝ දුරට මේ නිලධාරීන්ගේ රුචි අරුචිකම් අනුවය. ඔවුන්ගේ හිතවතුන්ට කොළඹ හා සැපපහසුකම් සහිත උසාවි ලැබුණු අතර එසේ නොවන අයට ලැබුණේ එසේ නොවන උසාවිය.
වරක්, අධිකරණ සේවා (විනිසුරුවරුන්ගේ) සංගමය විසින් සකස් කරන ලද, විනිසුරුවරුන්ගේ මාරුවීම් වලට අදාළවූ ලකුණු දීමේ සාධාරණ ක්‍රමවේදයක් සහිත යෝජනා මාලාවක් අගවිනිසුරු කේ සිරිපවන් වෙත ඉදිරිපත් කරන ලදි. ඉන් බලවත් සතුටට පත් සිරිපවන් මහතා, වහාම ඒ අනුව ඉදිරි විනිසුරු මාරුවීම් කරන්නට පොරොන්දුද වුණේය. එහෙත්, අදටත් ඒ ක්‍රමවේදය ක්‍රියාත්මක නොවේ. සිදුවුණේ පෙර කී අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිලධාරීන් ඒ මාරුවීමේ ක්‍රමවේදය සලකා බලනවායැයි කියමින් තමන්ගේ න්‍යාය පත්‍රයම ක්‍රියාවට නැංවීමය.
නව අගවිනිසුරුවරයා ඉදිරියේ ඇති එක් අභියෝගයක් වන්නේ මේ මාරුවීමේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවා, තමන්ට සාධාරණයක් ඉටුවන්නේය යන අදහස විනිසුරුවරුන් තුළ තහවුරු කිරීමය. පහළ අධිකරණ විනිසුරුවරුන් තුළ ඇති තවත් මැසිවිල්ලක් වන්නේ, ඉහළින් පැමිණ අගවිනිසුරු ධුරයට පත්වන්නන්ට පහළ අධිකරණවල විනිසුරුවරුන් ‘විඳින දුක’ ප්‍රායෝගිකව නොතේරෙන බවය. පිටතට ගරුගාම්භිර ලෙස පෙනුණත්, මහේස්ත්‍රාත් වරුන් යනු පැය 24හිම රාජකාරියට නියමිතව සිටින පිරිසකි. ලංකාව පුරාම උසාවිවල සේවය කරන්නට බැඳීසිටින ඔවුන් බොහෝ දෙනකුගේ දරුවන්, බිරිඳ හෝ ස්වාමිපුරුෂයා සිටින්නේ වෙන වෙන තැන්වලය. නිල නිවාස නැති උසාවි මෙන්ම, තිබෙන නිල නිවාසවල බලවත් අඩුපාඩුකම් සහිත උසාවිද වෙයි. ඉතින්, පහළ විනිසුරුවරුන් ප්‍රාර්ථනා කරන්නේ, තමන්ගේ ගැටලු ගැන ප්‍රායෝගිකව අවබෝධයක් ඇතිව ඒවා විසඳන්නට මැදිහත්වන, ‘විනිසුරුවරයෝද මනුෂ්‍ය යෝය’ යන හැඟීමෙන් යුත් අගවිනිසුරුවරයෙකි. නව අගවිනිසුරුවරයා ඒ විශ්වාසය තමා කෙරෙහි පවත්වාගනීවිද?
රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිසුරුවරයකු හැටියට පත්කිරීම සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අවුල කෙසේ විසඳේදැයි කියන්නට බැරිය. කන්නන් මහතා පත්කිරීම සම්බන්ධයෙන් මේ තරම් විරෝධතාවක් ඇතිවන්නට විනිසුරුවරුන් තුළ තමන්ගේ අධිකරණ සේවය ගැන ඇති ඉහත කී නොකී නොපහන්කම්ද බලවත් හේතුවකි. තමන්ට හිමි සැලකිලිත් නොලැබෙන තත්ත්වයක් යටතේ, පිටතින් අධිකරණ ක්‍ෂෙත්‍රයට පැමිණෙන්නකු ස්වා භාවිකවම ඔවුන් දකින්නේ පසමිතුරු කෝණයකිනි. කන්නන් මහතාගේ පත්කිරීම පූර්වාදර්ශයක් වී පිටතින් විනිසුරුවරුන් පත්කිරීම ඉදිරියටත් වේදැයි සාධාරණ සැකයක් වර්තමාන විනිසුරුවරුන් තුළ පවතියි. විශේෂයෙන් ඉහළ අධිකරණවලට උසස්වීම් ලැබීමේ තමන්ගේ අවස්ථා එවැනි පත්කිරීම් මගින් අභියෝගයට ලක්වෙන බව ඔවුන්ගේ මතයයි.
අධිකරණ විනිසුරු වරුන් අතරම විවිධ චෝදනාවන්ට ලක්වුණු විනිසුරුවරුද සිටිති. සාමාන්‍යයෙන් විනිසුරු වරයකුට එරෙහිව පැමිණිලි කළ හැක්කේ අධිකරණ සේවා කොමිසමටය. එවැනි පැමිණිලි විභාග කෙරෙන කාර්යක්‍ෂම ක්‍රමයක් ඇතිවනු දැකීම විනිසුරුවරුන්ගේ ප්‍රාර්ථනාවයි. සමහර විනිසුරුවරුන් යෝජනා කරන්නේ අධිකරණ සේවා කොමිසම විසින් පත්කරනු ලබන විශේෂ කොමිසමක් වෙත එවැනි චෝදනා ඉදිරිපත්කිරීමට අවස්ථාව සලසාදී, ඒවා විභාග කළ යුතු බවයි. එවිට වැරදිකළවුන්ට නිවැරදි වීමේ අවස්ථාවක් හිමිවනු ඇත. අල්ලස්, වංචා හා පක්‍ෂපාතීත්වය වැනි විවිධ චෝදනාවලට ලක්වුණු, තමන් සමඟ එකට සිටින විනිසුරුවරුන් ඔවුන් දකින්නේ විනිසුරු වෘත්තියට අපකීර්තියක් ගෙන දෙන්නවුන් ලෙසය. ඒ නිසා චෝදනාලද්දවුන් සම්බන්ධයෙන් වේගයෙන් ක්‍රියාත්මක වන, වැරදිකරුවන් වන අයට දඬුවම් ලැබෙන ව්‍යුහයක් ක්‍රියාත්මක වුණොත්, නීතියට අනුව වැඩකරන තමන්ගේ නමත් වෘත්තියත් පිරිසිදු වෙතැයිද මේ විනිසුරුවරුන්ගේ මතයයි.
‘විනිසුරුවරයෝද මනුෂ්‍යයෝය’ යන කෝණයෙන් බලන්නේ නම් ඔවුන්ගේ මානව අයිතිවාසිකම් රැකීමද වැදගත්ය. සමහර විනිසුරුවරුන්ගේ අදහස වන්නේ තමන් කෙරෙහි බලපාන පරිදි පනවා තිබෙන චක්‍රලේඛ හා රෙගුලාසි හරහා අදහස් ප්‍රකාශකිරීම ඇතුළු තමන්ගේ මානව අයිතිවාසිකම්ද බලවත් ලෙස සීමාවී ඇති බවයි. එවැනි චක්‍රලේඛ පැනවීම සඳහා පසුගිය කාලයේ සමහර විනිසුරුවරුන්ගේ ක්‍රියාකලාපයද බලපා ඇති නමුත්, සමස්තයක් ලෙස තමන්ගේ අයිතිවාසිකම් වලට, උදාහරණ ලෙස ප්‍රසිද්ධ ස්ථානවල පෙනීසිටීම, අදහස් පළකිරීම වැනි අයිතිවාසිකම්වලට දැඩි සීමා පැනවී ඇති බවද ඔවුන්ගේ මතයයි. විනිසුරුවරුන්ට අදහස් පළකිරීමේ තත්ත්වය තිබිය යුතු අතර, එලෙස අදහස් පළකිරීමේ වගකීම තමන්ටම පැවරෙන ආකාරයේ සැලකීමක්වත් තමන්ට හිමිවනු ඇතැයි විනිසුරුවරු බලා පොරොත්තු වෙති.
ශ්‍රේෂ්ඨාධිකරණය සම් බන්ධයෙන් සලකන කල වුවද, එහි ලේඛකාධිකාරිවරිය හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරයකු අතර ඇති ඥාති සම්බන්ධකම ගැන බොහෝ සාමාන්‍ය මිනිසුන් බලන්නේ සැකසහිතවය. යුක්තිය ඉටුවනු පමණක් නොව ඉටුවන බව දකින්නටද තිබිය යුතුය යන කියමනට එනිසා හානියක් සිදුවෙයි. මේ පසුබිම මත, පසුගිය කාලය පුරා ශ්‍රේෂ්ඨාධිකරණය ආශ්‍රිතව සිදුවූ යම් යම් ගනුදෙනුවල මුල් විමර්ශනය කිරීමේ පියවර නොගැනෙන බවද දැනගන්නට තිබේ. උදාහරණයක් හැටියට ඉහළ අධිකරණවල නඩු ‘ඊ-ෆයිලින්’ කිරීමේ ක්‍රමවේදය සඳහා පසුගිය කාලයේ යොදාගත් විශාල කොම්පියුටර් සංඛ්‍යාවට, එම ව්‍යාපෘතිය අසාර්ථක වූ තත්ත්වයක් යටතේ කුමක් විණිදැයි තවමත් ප්‍රශ්නයකි.
සුදුසුකම් නැති පුද්ගලයන් විනිසුරු වෘත්තියට පිවිසීම, ඔවුන්ගේ පක්‍ෂපාතීත්වය හා අකාර්යක්‍ෂමතාව මෙන්ම නඩු නොපැවරිය යුතු අවස්ථාවලදී නඩු පැවරීමද, ඒ නඩු කිසියම් පාර්ශ්වයකට වුවමනා පරිදි තීන්දු කිරීමද අඩුවැඩි වශයෙන් පසුගිය කාලය පුරාම දක්නට ලැබිණි. පහළ උසාවිවල මෙවැනි දේ සිදුවන විට, ඒවාට එදිනෙදා යන එන දකින ජනතාවගේ අධිකරණය කෙරෙහි ඇති විශ්වාසය බිඳවැටීම නවත්වන්නට බැරිය. අධිකරණ පද්ධතිය ගැන මෙහිදී වැඩි අවධානය යොමුකළේ මේ සියලු තත්ත්වයන් වෙනස්කිරීම දැන් අවශ්‍ය වන බව කියන්නටය. ලංකාවේ මිනිසුන්ට අධිකරණය තවමත් දෙවොලකි. සමස්තයක් ලෙස ඒ දෙවොලේ ගෞරවය ඉහළ නංවාගැනීම නව අගවිනිසුරුවරයා ඉදිරියේ ඇති වැදගත්ම අභියෝගය ලෙස අපි සිතමු. ඒ අභියෝග ජයගන්නට නව අගවිනිසුරුවරයාට හැකිවනු ඇතැ’යිද බලාපොරොත්තු සහගතව සිටිමු.■