Untitled-1

Untitled-1

යුද්ධයේදී අබාධිතව දුම්රිය ස්ථානය ඉදිරිපිට අසරණ වීම


ranaviru

ටිරන් කුමාර බංගගමආරච්චි

කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උපවාස කළ ආබාධිත සෙබළුන් අප හමුවනුයේ ගිය ඉරිදාය. එනම් පෙබරවාරි 26 වැනිදාය. ඉල්ලීම් ගණනාවක් මුල් කරගෙන ඇරඹි මේ උපවාසයට එදින පිරෙනුයේ දොළොස්වන දිනය. දින දොළහක් ගෙවුණද තම ප්‍රශ්නයට රජයේ පාර්ශ්වයෙන් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නැති බව ඔවුන්ගේ අදහස වූ අතර එයට ප්‍රතිචාරයක් ලෙස එනම් පෙබරවාරි 27 වැනිදා තමන් රජයේ ඇස් ඇරෙන්නට යමක් කරන බවත් එය දැකබලා ගන්නට පහුවදා එන්නැයිද ඔවුහු අපෙන් ඉල්ලා සිටියහ. කල්තියා කරන දෑ කීම අවාසි සහගත බැවින් පැමිණම බලන්නැයි ඔවුහු අපෙන් ඉල්ලා සිටියහ.
අප පහුවදා ගමන නොගිය මුත් ප්‍රතිඵලය සැලවිය. එනම් රජයේ විසඳුමක් පතා උපවාසය මසකට කල් ගිය බවය. මේ දෙපාර්ශ්වයේ එකඟතාවක ප්‍රතිඵලයකි.
එතැන් සිට කතාවට එමු. යුද්ධයෙන් පාද අහිමිව රඳවා ගත් ව්‍යාජ කකුල් ගලවා මේ ප්‍රදර්ශනයට තබා තම දුක කියන මේ උපවාසය සැබෑවින්ම කටුකය. දුම්රිය ස්ථානය ඉදිරියෙහි බස් නැවතුම්පළක් ඉදිරිපිට වන මේ උපවාසය කාගෙත් ඇස ගැටෙයි. එහෙත් දිනක්, දෙකක්, දහයක්, දොළහක් වන විට එය සාමාන්‍ය තත්ත්වයකි. බොහෝ අය එය දැක්කද නොදැක්ක ගාණට යති. දැන් මෙය රණවිරුවන්ට කරන අගෞරවයක්ද? රණවිරුවන් නොසලකා හැරීමක්ද? ඔවුන් බේරා දුන්නායැයි කියන රට පාවාදීමක්ද?

රණවිරුවා
මුලින්ම ලිවිය යුත්තක් ලිපියෙහි මැද ලියමි. ඒ අප මේ අය ආබාධිත සෙබළුන් ලෙස නම් කිරීම බොහෝ දෙනාගේ හිතසුව නොවන බව දන්නා බැවිනි. අප ලියනුයේද සිටින්නේද මේ අය නිසා බව මේ සෙබළුන්ද පුනපුනා කියූ කරුණකි. ඒ බව සමහර පෑන්කාරයෝ රස කරකර ලියන්නෝය. මේ අය තමන් රණවිරුවන් බවත් අප රටක් ලෙස ඔවුන්ට ණය ගැති බවත් කියති. මේ ගැන වෙනම පිරිසක් ලියති. ඒ නිසාම මේ උපවාසයට අමුතු මානයක් ලැබී ඇත. එනම් රණවිරුවන් උපවාස කිරීමය. රණවිරුවන් වුවද මේ ඇස්, අත්, පා දන් දුන් රණවිරුවන්ය. එසේනම් රණවිරුවන්ගේ සමහර නිරුපද්‍රිත රණවිරුවන් පවා සිටිනුයේ මේ අය මේ පරිත්‍යාග කළ නිසාය. එසේනම් අප සැම ඔවුන්ට ණයය. මේ මහා අභිමානයද රැගෙන පාරට බහින සෙබළාට සාධාරණයක් නොකිරීම තරම් අසාධාරණයක් ලොවෙත් නැති බව සමහරු ලියති. දැන් හැමෝම ජීවත් වන්නේ ප්‍රශ්න කිහිපයක් මුල් කරගෙනය. කෙනෙකුට එය සයිටම්ය. තව කෙනකුට ව්‍යවස්ථාවය. ඒකාබද්ධ විපක්‍ෂයට මේ සියල්ලමය. දැන් කිසිදු අයිටම් එකක් නැත්තේ ජනතාවටය. එබැවින් ඔවුන් ජීවත් වුවද මළවුන් ගානය. රණවිරුවා යන නාමය ගැන ලියූවේ ආබාධිත සෙබළුන් පවා කතාකිරීමේදී ඔවුන්ගේ හැඳුනුම්පතට වඩා අනන්‍ය රණවිරු ලේබලය අප ඉදිරියේ තැබූ නිසාය. මෙය රාජපක්‍ෂලා ජනිත කළ නම්බුනාමයකි. යුද්ධයෙන් පසු රණවිරුවා තරම් වීරයෙක් නොවුණි. අප අද ජීවත්වනුයේ ඔවුන් නිසා යැයි මේ සෙබළු කියති. එසේනම් මේ කතා කරනුයේ ජීවත්වන අය ගැනය. යුද්ධයේ අවසානයට පෙර යුද්ධයේ නාමයෙන් මියගියවුන් මියගියේත් අප නිසාද? අපට අනුව නම්, මේ ද තවත් වෘත්තියකයන් පිරිසකි. ඔවුන් හමුදාවට බැඳුණේ රස්සාවටය. රස්සාවේ ස්වභාවය අනුව ආබාධයට නොව මරණයට වුව වටිනාකමක් ඇත. කම්කරුවකු කළු ගඟ ව්‍යාපෘතියේදී කළුගලකට යට විය. ඒ මරණය රට වෙනුවෙන් නොවේද? රටේ හෙට දවසේ සංවර්ධනය වෙනුවෙන් නොවේද? එය දිවි පිදීමක් නොවේද? තර්ක කරන්නේ නම් එය එසේ යැයි කිව නොහැකිද?
දැන් ඒ තැන එල්ලීමේ පලක් නැත. රණවිරුවන් අදහන අයට ඕනෑම කෙනෙකු රණවිරුවකු කර ගත හැකිය. අපට අනුව නම් මේ යුදසෙබළුය. ඔවුන් රැකියාවේ නියැලීමේදී අනතුරට ලක් වී ඇත. වෘත්තිකයන් ලෙස සලකා මොවුන්ට වී ඇති අසාධාරණය ගැන කතා කළ යුතුය.
අප සිටින මොහොතේම ටෙලිවිෂන් නාලිකාවක් කඩා පැන්නේය. ඒ සමඟම පිටුපසින් අවේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාය. ඔහු කැමරාව අමෝරාගෙන රණවිරුවන් අතර තවත් විරුවෙක් විය. ඊට පෙර මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මොවුන් බලන්නට පැමිණ තිබුණි. ඒ අනුව රණවිරු උපවාසයට රණවිරු අයිතිකාරයෝ ඇවිත් යැයි කාට හෝ උපකල්පනය කළ හැකිය. දේශපාලකයන් පාවිච්චි කරනුයේ මේ සෙබළුන්මය. ඒ නිසා දෙපැත්ත මොවුන්ගේ ප්‍රශ්නය හුදෙකලා කොට විකාර නවති.

උපවාසයට හේතු
යුද්ධයේදී ආබාධිත වූ එහෙත් ත්‍රිවිධ හමුදාව තුළ වසර දොළහක සේවා කාලයක් සම්පූර්ණ නොකළ සෙබළුන් පිරිසක් ආබාධිත තත්ත්වය නිසාම වෛද්‍ය හේතුන් මත විටින් විට විශ්‍රාම ගැන්වීම පසුගිය කාලයේදී ත්‍රිිවිධ හමුදාව මඟින් සිදු කරනු ලැබිය.
එසේ විශ්‍රාම ගැන්වුවද ඔවුන්ට සෙසු ආබාධිත සෙබළුන්ට මෙන් දුබලතා විශ්‍රාම වැටුපේ හිමිකාරීත්වය හිමි නොවීය. ඒ අහිමි වූ විශ්‍රාම වැටුපේ හිමිකාරීත්වය ඉල්ලා ඔවුහු යහපාලන ආණ්ඩු සමයේ පාරට බැස්සෝය.
ඔවුන් මුලින්ම එලෙස උපවාස කිරීම ආරම්භ කළේ පසුගිය ජනවාරි මාසයේදීය. එහෙත් විසඳුමක් නොවුණු තැන ඔවුහු අරගල කරන්නට පෙළඹුණහ. එහිදී සෑම අරගලයක්ම උද්ඝෝෂණයක්ම කඳුළු ගැස් බැටන් පොලු වලින් නිවාරණය වන්නා සේම මෙයටද එය එසේම විය. මානුෂික ප්‍රහාර නොමැති නිසා මේ හැම මෙල්ල කිරීමක්ම අමානුෂික බව අමුතුවෙන් කිව යුතු නොවේ.
එහෙත් ප්‍රහාරයෙන් පසු උද්ඝෝෂණය මෙල්ල කිරීමෙන් පසු ආ විවේචන සුළු පටු නොවීය. ඒ මේ අය ආබාධිත නිසාය. ආණ්ඩුවට ද එය විලිලැජ්ජාවක් බව වැටහුණු පසු ඔවුන්ගේ දුබලතා විශ්‍රාම වැටුප ගෙවන බවට ප්‍රසිද්ධියේම එකඟ වන්නට සිදුවිය. මේ ආණ්ඩුව ප්‍රශ්න විසඳන හැටිය. මුලින් කළ යුතු දේ හත්පොළෙහිම ගාගත් පසු කරයි.

පොරොන්දු කඩවීම
පෙබරවාරි 9 වැනිදා ආණ්ඩුව කී ලෙස දුබලතා විශ්‍රාම වැටුප දෙන්නට කටයුතු කළද එහි අසමානතා ඇතැයි මේ අයගේ චෝදනාවය. ඒ අනුව පෙබරවාරි 14 නැවත ඔවුහු උපවාස පටන් ගත්හ. අප යනවිටත් පැවතියේ එයය. දැන් එය තවත් මසකට අකුලුවා ගෙන ඇත.
යෝජිත සේවා විශ්‍රාම වැටුපට අදාළ පාරිතෝෂිත දීමනාව අබාධිත සෙබළුන්ට ලබා දීම 2015. 07. 30 දිනට අදාළ චක්‍රලේඛයට අදාළ නොවූ දැනට සේවා කාලය වසර 12ක් සපුරා ඇති ආබාධිත සෙබළුන්ටද මෙම යෝජිත සේවා විශ්‍රාම වැටුප ලබාදීම, සේවා කාලය වසර 12ට අඩු එහෙත් වයස අවුරුදු 55ක් සපුරා ඇති වැඩිහිටි ආබාධිත සෙබළුන්ට හිඟ සේවා විශ්‍රාම වැටුප ගෙවීම මේ අතර වේ. එය සිදුකිරීමේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබෙනුයේ 2014.12.17 දිනට සියලු සෙබළුන් ලබමින් සිටි වැටුප පදනම් කර ගෙනය.
මේ අය මේ කියනුයේ දැන් තමන්ට අත් පා ඇස් කන් නෑ, වැඩක් පලක් කළ නොහැකි බැවින්ය. එමෙන්ම සියල්ල එක ලෙස යුද්ධයේදී කැප කළ අය නිසාද වර්ග කිරීමකින් තොරව සාධාරණ එක ප්‍රමිතියකට එන ලෙසය. එනම් මේ වර්ගකිරීම් යටතේ අයෙකුට හිඟ ගෙවීම් සමඟ රුපියල් හතළිස් දහක් ලැබෙන විට තවත් අයෙකුට ලක්‍ෂ දෙක තුනක් මිලක ලැබේ. එසේ නම් මේ එකඟතාව පහළ ගණනට විය නොහැකිය. සරත් ෆොන්සේකාට ජීවිතාන්තය දක්වා වැටුප් ගෙවන්නේ නම් තමන්ට එලෙස ගෙවිය යුතු නැද්දැයි සමහරු ප්‍රශ්න කරති. එහෙත් ඇත්ත නම් වැටුප මොවුන්ටද ගෙවීමය. එය රුපියල් 70,000-80,000ක් පමණ වන බව ඔවුන්ම පිළිගනිති. එවිට ඔවුහු පවසනුයේ වැටුප තම අයිතිය බවත් එය තමන්ට ලැබෙන බවත්ය. එසේනම් ඉහත උදාහරණ ගනුයේ ඇයිද යන්න පවා නොවැටහේ.

රජයේ මැදිහත් වීම
මෙලෙස විශ්‍රාම වැටුප ඉල්ලා සිටින ආබාධිත සෙබළුන් ගණන 2295කි. මේ ගණනට පෞද්ගලික වන හා අනෙක් අයට පූර්වාදර්ශයක් නොවන ලෙස කටයුතු කළ යුතුය යන්න මොවුන්ගේ ඉල්ලීමය. එබැවින් මෙම නිලධාරීන් ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් විශ්‍රාම ගන්නා අවස්ථාව වන විට සේවා කාලය වසර 10ක් සපුරා නොමැති මුත් 2014.05.18 දිනට වසර 10ක් සේවා කාලයක් සම්පූර්ණ කර ඇති නිලධාරීන් හා සේවා කාලය වසර 12ක් ඇති සෙසූ නිලධාරීන් සඳහා 2014.05.18 දින සිටද කිසිදු හිඟ විශ්‍රාම වැටුප් ගෙවීමකින් තොරව විශ්‍රාම වැටුප් හිමිකම් ලැබේ යන්නය.
කෙසේ වෙතත් මේ තත්ත්වයන්ට අනුකුලව ගෙවීමේදී නැවත ප්‍රශ්න මතුවී ඇත. එබැවින් නැවත උපවාසය ඇරඹිණ. එයට ප්‍රතිචාර ලෙස තව මසක් කල් දී ඇත. තම ප්‍රශ්නය ඉටු නොකළහොත් තමන් මේ උපවාස අත්නොහරින බව මොවුන්ගේ අදහසය. යුද්ධයට වියදම් කරන විශාල ධනස්කන්ධයක් ඉතිරි වී ඇති බැවින් ආබාධිත සුළු පිරිසකට මෙය ලබාදිය නොහැක්කේ මන්ද යන ප්‍රශ්නයත් මොවුහු නගති.
මේ වන විට මෙය දේශපාලන සෙල්ලමක් වී ඇත. එනම් සෙබළා වෙනුවට පිරිසක් රණවිරුවන් කර තබාගෙන යෑම නිසාය. එයින් උපරිම ඔවුන්ද තේජස් වී ඇත. ආබාධිත සෙබළුන් යුද්ධයේදී අත්පා අහිමි කර ගත් බව සැබෑය. එහෙත් රණවිරු ලේබලය පෙන්නා ඔවුන් මුලාකිරීම කුට දේශපාලකයන් නොකළ යුතුය. මොවුන් කියනුයේ තමන් විශ්වාස කරනුයේ ජනපති පමණක් බවය. ඒ ඇයි? රණවිරු චින්තනයට ගැළපෙන චින්තනය ඇත්තේ ඔහු තුළ පමණක් බැවින්ද? එතකොට මේ ආණ්ඩුව කාගේද?
කුමක් වුවද නැවත ඔවුන් කොටුව දුම්රිය ස්ථානය තුළ නොදකීවා යන්න අපගේ අදහසය. ඔවුන්ට සාධාරණ විසඳුමක් ලැබිය යුතුය. ඒ ඔවුන් විරුවන් නිසා නොව සෙබළුන් නිසාය. වෘත්තියමය වශයෙන් සිය රාජකාරිය අකුරට කළ නිසාය.■