Untitled-1

Untitled-1

කීත් නොයර් පැහැරගත් හමුදා රණවිරුවෝ


aruna

අරුණ ජයවර්ධන

දත් ලෙරෝයි නොයර් ඒ කාලයේ නේෂන් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයාය. ඔහු පදිංචිව සිටියේ දෙහිවල, වෛද්‍ය පාරේ නිවෙසකය.
ඔහු පැහැර ගැනීමට ලක්වන්නේ 2008 මැයි මාසයේ 22වැනිදාය. එදින කීත් නොයර් සහ නේෂන් පුවත්පතේ කර්තෘ ලලිත් අලහකෝන්, රිවිර මීඩියා කෝපරේෂන් සමාගමේ විධායක නිලධාරි ක්‍රිෂාන්ත කුරේ යන තිදෙන රාත්‍රී 9ට පමණ සිය නිවෙස්වලට යෑමට පිටත් වුණේ, බම්බලපිටිය, ඩුප්ලිකේෂන් පාරේ ක්වීන්ස් කැෆේ අවන්හලේ සිටය. පුවත්පත් කාර්යාලයේ වැඩ නිමවා පැමිණ, රාත්‍රී ආහාරය තුන්දෙනාම එක්ව ගත්තේ ක්වීන්ස් කැෆේහිදීය.
ඉතිරි දෙදෙනා නිවෙස්වලට පිටත්වුණු පසු කීත් සිය පීසී2023 දරන කාර්එකෙන් දෙහිවල සිය නිවෙස බලා ගියේය. ඒ අතර වැල්ලවත්තේ සුපර්මාර්කට් එකකින් ගෙදරට අවශ්‍ය බඩුභාණ්ඩ කිහිපයක්ද ඔහු මිලදී ගත්තේය. කාර් එකෙන් බැස සිය නිවසේ ගේට්ටුව විවෘත කරද්දී පසෙක තිබුණු සුදුපාට වෑන් රියකින් බැස පැමිණි තිදෙනෙක් කීත්ට පහරදෙන්නට පටන් ගත්හ. පහර දුන්නේ පොලුවලින් හා පිස්තෝලයකිනි. කීත් හැකි තරමින් ඔවුන් සමඟ පොරබදන්නට උත්සාහ කළ නමුත් අසාර්ථක විය. ඔවුන් අතර සිටි ශක්තිමත් ශරීරයක් තිබෙන කෙනෙකු තමාට පිස්තෝලයකින් පහර දෙනවා කීත්ට මතකය.
අවසානයේදී ඔවුහු වෑන් රථයට කීත් ඇද දමා ගත්තෝය. කීත්ගේ නිවෙස ඉදිරිපිට පදිංචිකරුවකු පොලිසියට කියා තිබුණේ, තමා නිවස ගේට්ටුව ආසන්නයේ සිටින විට කීත්ගේ නිවස ඉදිරිපිට පොරබදන ශබ්දයක් ඇසුණු බවත්, ඉන්පසු කලබලයෙන් වෑන් එකක දොරවල් ඇරෙන වැසෙන ශබ්ද ඇසුණු බවත්, වෑන් එක වේගයෙන් වෛද්‍ය පාර ඔස්සේ දෙහිවල පැත්තට ගමන් කළ බවත්, ඒ සමඟම යතුරු පැදියක්ද පසුපසින් ගමන් කළ බවත්ය.
වෑන් රථය තුළදී ඔහුගේ ඇස් බැඳ, දෙඅත් පිටුපසට තබා මාංචු දමන ලදි. කලිසම් සාක්කුවේ තිබුණු මුදල් පසුම්බියද ඔවුහු ලබාගත්හ. එහි රුපියල් 2000ක් පමණ තිබිණි. කීත්ගේ ඇඟිල්ලක තිබුණු පවුමක් පමණ මුද්දද ඔහුට පහර දුන් ශක්තිමත් පුද්ගලයා ගලවා ගත්තේය.
වෑන් රථය තුළ ගමනේදී කීත්ට දිගින් දිගටම පහර කන්නට සිදුවිය. වෑන් රථය පැයක පමණ වේලාවක් ගමන් කළේය. වාහනය නැවතුණු පසු කීත්ගේ මාංචු ලා තිබුණු අත්දෙකට මැද්දෙන් පොල්ලක් දැමූ ඔවුහු කීත් වාහනයේ සිට ගොඩනැගිල්ලක් තුළට ඔසොවාගෙන ගියෝය. ගොඩනැගිල්ල ලොකු කාමර සහිත නිවෙසක් වැනි එකකි. එහිදි කීත්ට ඇඳුම් ගලවන ලෙස අණ කෙරුණු අතර නැවතත් පහරදීම ආරම්භ විය. ඔහු වේදනාවෙන් කෑගැසුවේය. ‘එල්ටීටීඊ එකත් එක්ක උඹේ සම්බන්ධය මොකක්ද? උඹට හමුදාව ගැන තොරතුරු දෙන්නේ කවුද? උඹේ මිනිය කොහේටද දාන්න ඕනෑ?’ වැනි ප්‍රශ්න ඔවුන්ගෙන් නැගුණේ පහර දෙන අතරවාරයේදීය.
පහරදීම දිගින් දිගට සිදුවන අතරේම තමන් අසළ සිටි කිසිවකුට දුරකථන පණිවුඩයක් ලැබෙනු දෑස් බැඳ සිටි කීත්ට ඇසුණි. යස් සර්, යස් සර්, හරි එහෙම කරන්නම් යනුවෙන් ඇමතුම ලබාගත් පුද්ගලයා පිළිතුරු දුන්නේය.
ඉන්පසු ඒ කතාකළ පුද්ගලයා තමා ළඟට පැමිණ ඇඳුම් ඇඳගන්නා ලෙසත්, මුහුණ කට අතපයේ තිබුණු මඩ සෝදාගන්නා ලෙසත් කියූ බව කීත්ට මතකය. මුද්දද නැවත ඔහුට දුන් නමුත් එය ඇඟිල්ලට දැමිය නොහැකි ලෙස තැලී තිබුණි. ඒ බව කී විට නැවත ඇදහැර මුද්ද කීත්ට දෙන ලදි. නැවතත් ඔහු වෑන් රථයකට නංවා ගන්නා ලදි. ඇස් බැඳ තිබිණි. කිසියම් තැනකදී ඔහු වෑන් රථයෙන් පිටතට ඇදදමනු ලැබිණි. ‘තොගේ ගෑනි, ළමයි ඉන්න තැන අපි දන්නවා. කාට හරි කියලා තිබුණොත් මරනවා.’ කියා ඔවුහු නික්ම ගියහ.
කීත් නොයර් මෙලෙස අතුරුදන්වූ බව වහාම දැනගන්නට ලැබුණේ අවසාන මොහොතේ ඔහුත් සමඟ සිටි ලලිත් අලහකෝන්ට හා ක්‍රිෂාන්ත කුරේටය. ලලිත් අලහකෝන් වහාම සිය ජංගම දුරකථනයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂට කතාකරන්නට උත්සාහ කළේය. ඔහු සම්බන්ධ කරගත නොහැකිවිය. ඉන්පසු ලලිත් ගෝඨාභය රාජපක්‍ෂගේ අංක 0773501626 දරන දුරකථනයට ඇමතුමක් ගත්තේය. දුරකතනය සම්බන්ධ විණි. ‘මම ලලිත් අලහකෝන් කතාකරන්නේ. නේෂන් පත්තරේ කර්තෘ කීත් නොයර්ව පැහැරගෙන ගිහින් තියෙනවා. …….. තමයි පැහැරගෙන ගිහින් තියෙන්නේ.’ ලලිත් කිව්වේය.
‘මගේ ……………… ට ඇඟිල්ල දික් කරන්න එපා. ඕක ගෑනු කේස් එකක්.’ ගෝඨාභය පූර්ව නිගමනයක සිටි අයුරින් වහාම පිළිතුරු දුන්නේය.
ඉන්පසු ලලිත් වහාම කීත්ගේ දෙහිවල නිවසට ආවේය. ක්‍රිෂාන්තද පැමිණියේය. තමන්ගේ සම්බන්ධකම් පාවිච්චි කරමින් ලලිත් හා ක්‍රිෂාන්ත හැකි සෑම දෙස් විදෙස් වැදගත් පුද්ගලයකුටම ඒ පැහැරගැනීම දැනුම් දුන්නෝය. සිද්ධියට උපරිම ප්‍රසිද්ධියක් ලබාදෙමින් ආණ්ඩුවට බලපෑමක් කිරීම හරහා කීත්ගේ ජීවිතය අවදානමෙන් බේරාගැනීම දෙදෙනාගෛ්ම බලාපොරොත්තුව විය. ඔවුන්ගේ දැනුම්දීම අනුව දෙස් විදෙස් මාධ්‍ය මෙන්ම දේශපාලන නියෝජිතයෝද කීත්ගේ නිවෙසට හැකි ඉක්මණින් පැමිණියෝය.
ඒ අතර, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ලලිත් අලහකෝන්ගේ දුරකතනයට ඇමතුමක් ගත්තේය. ‘මම ඔතනට සීසීඩී (කොළඹ අපරාධ කොට්ඨාසය) එකේ ඩිරෙක්ටර් එවනවා. එයා ඕක ගැන බලාවි.’ ජනාධිපතිවරයා කිව්වේය.
කීත් සමඟ ඔහුගේ ජංගම දුරකථනයද අතුරුදන්වී තිබුණි.
කීත්ගේ 0773688908 දුරකථනය ඒ වන විට ක්‍රියා විරහිතව තිබුණු නමුත්, දිගින් දිගටම එම දුරකථනයට එස්එම්එස් යැවීමට ක්‍රිෂාන්ත හා ලලිත් උත්සාහ කළහ. ඊට හේතුවක් තිබිණ. ඒ වන විට ක්‍රියා විරහිත කර තිබුණු කීත්ගේ දුරකථනය යළි ක්‍රියාත්මක කරන යම් මොහොතකදී එස්එම්එස් දුරකථනයට යන බැවින් ඒ හරහා සන්නිවේදන කුලුනු මාර්ගයෙන් දුරකථනය තිබෙන තැනක් සොයාගත හැකියැයි සිතූ බැවිනි.
ඒ අතර සීසීඩී අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුර සේනානායක කීත්ගේ නිවසට පැමිණියේය. ලලිත් අලහකෝන්ගෙන් විස්තර විමසීය. ‘ඔය මනුස්සයා පැය දෙකකින් විතර එයි. මම ඒකට ටීම් එකක් දාලා ඉන්වෙස්ටිගේෂන් කරනවා.’ ඔහු ස්ථිරවම කීවේය.
ලලිත් හා ක්‍රිෂාන්ත දෙහිවල පොලිස් ස්ථානයට ගොස් පැමිණිල්ලක් දැමූහ.
ඩයලොග් ආයතනයේ ප්‍රධානියකුට ක්‍රිෂාන්ත කතාකර තත්ත්වය කීවේය. උදව් කරන්නට ඔහු ඉදිරිපත් විය. ප්‍රධානියා ඩයලොග් ආයතනයේ තවත් නිලධාරියකු ක්‍රිෂාන්තට සම්බන්ධ කර දුන්නේය.
පසුව දුරකථන සමාගමෙන් දැනගන්නට ලැබුණේ, දෙකටන හා දොම්පේ යන ප්‍රදේශවල කීත්ගේ දුරකථනය ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. ඒ තොරතුර ඔස්සේ ක්‍රිෂාන්ත සමඟ සහකාර පොලිස් අධිකාරි නුවන් වෙදසිංහ ඇතුළු පොලිස් කණ්ඩායම් දෙකක් තම තමන්ගේ වාහනවලින් දෙකටන පැත්තට පිටත්ව ගියෝය. ඔවුහු දොම්පේ පොලිස් ස්ථානයටද ගොස් කාරණය සැලකළහ.
හෝඩුවාවකින් තොරව සෙවිල්ල දිගටම පවතිද්දී, පසුදින එනම් 23වැනිදා අලුයම හතරට පහට පමණ ක්‍රිෂාන්තගේ දුර කථනයට කතාකළ කිසිවකු කීත් යළි නිවෙසට පැමිණ සිටින බව දැනුම් දුන්නේය. ඉන් සෑශීමට පත්වී සෙවිල්ල අත්හැර දැමූ ඔවුහු ආපසු හැරුණාහ.
යළි නිවෙසට පැමිණි කීත් කළුබෝවිල මහරෝහලටත් ඉන්පසු කොළඹ මහ රෝහලේ ගෙවන වාට්ටුවකටත් ඇතුළු කරන ලදි. පසුව ඔහු මුළු පවුල පිටින්ම විදේශගත වුණේ මේ අත්දැකීමත් සමඟ හටගත් මරණ බිය නිසාය.
කීත් නොයර් නේෂන් පුවත්පතට ආරක්‍ෂක කොලමක් සෙන්පති නමින් ලිව්වේය. ඒ කොලමෙන් එවකට හමුදා ක්‍රියාකාරකම් හා නිලධාරීන් විවේචනය කරන ලදි. පැහැර ගැනීමට සුමාන දෙක තුනකට පෙර තමාගේ ගමන් බිමන්වලදී කිසිවකු තමන් පසුපසින් හඹා එනු කීත්ට දැනගන්නට හැකිවිය. මේ නිසා කාර්යාලයට යෑම අඩු කළ ඔහු නිවසේ සිටම ලිපි සකස්කර යැවීමද වරින් වර කළේය.
යළි කතාවේ මුලට ගියහොත්, පොලිස් පරීක්‍ෂණවලදී දැනට හෙළිවී තිබෙන තොරතුරු මෙසේය. ඒ තොරතුරුවල පූර්වාපර ගළපාගන්නට උත්සාහ කරමු.
සිද්ධිය සැලවී ලලිත් අලහකෝන් මහතා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගේ 0773501626 දුරකථනයට ඇමතුමක් ගත්තේය. ඒ සිද්ධිය සැලවුණු වහාම, ජනාධිපති මහින්දට කතාකොට එය අසාර්ථක වුණු තැනය.
එදින රාත්‍රී 11.36ට, එවකට පොලිස්පති ජයන්ත වික්‍රමරත්නගේ අංක 0773263650 දරන දුරකථනයට ගෝඨාභයගේ ඉහත කී දුරකථනයෙන් ඇමතුමක් ගෙන තිබේ.

ඉන් විනාඩි තුනකට පසු 11.39ට, ගෝඨාභයගේ දුරකථනයෙන් එවකට ජාතික බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණගේ 0777562873 අංකය දරන දුරකථනයට ඇමතුමක් ලබාගෙන ඇත.
ගෝඨාභයගෙන් ඇමතුම ලද පොලිස්පතිවරයා, රාත්‍රී 11.51ට, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුර සේනානායකගේ නිවසේ දුරකථන අංක 0112867826ට කතාකොට ඇත.
රාත්‍රි 11.41ට, බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණගේ 0777562873 දරන දුරකථනයෙන් එවකට යුද්ධ හමුදා බුද්ධි අධ්‍යක්‍ෂව සිටි බි්‍රගේඩියර් අමල් කරුණාසේකරගේ 0773613496 දුරකථනයට ඇමතුමක් ලබාගෙන ඇත.
අමල් කරුණාසේකර රාත්‍රී 11.47ට, 0773501951 දරන දුරකථනයට ඇමතුමක් ගත්තේය. ඒ දුරකථනය, මරදානේ ටි්‍රපොලි කඳවුරේ යුද හමුදා කඳවුරේ පිහිටුවා තිබුණු යුද හමුදා බුද්ධි අනුඛණ්ඩයට නිකුත්කර තිබුණු දුරකථනයකි. ඒ වන විට එම දුරකථනය ක්‍රියාත්මකව තිබුණේ මල්වාන ඩයලොග් දුරකථන කුලුනෙන් ආවරණය වන ප්‍රදේශයකය.
අමල් කරුණාසේකර තමාගේ, 0773497107 දරන අනෙක් දුරකථනයෙන් (එය ඔහුට සපයා තිබුණේ යුදහමුදාවෙනි.) රාත්‍රී 11.48ට, 0773186436 දරන දුරකථනයට අමතා ඇත. එය අයිති, ටි්‍රපොලි කඳවුරේ බුද්ධි අනුඛණ්ඩයේ අණදෙන නිලධාරි මේජර් බුලත්වත්තගේටය. ඒ වන විට බුලත්වත්තගේ දුරකථනයද තිබුණේ, දෙකටන ඩයලොග් දුරකථන කුලුනෙන් ආවරණය වන ප්‍රදේශයකය.
මේ දුරකථන සම්බන්ධකම් ජාලය සැලකිල්ලෙන් විමර්ශනය කරන්නකුට සිදුවී ඇත්තේ කුමක්දැයි පැහැදිලි වනු ඇත. නිවසක රඳවා සිටියදී එහි සිටි අයකුට ආ දුරකථන ඇමතුම නොවන්නට අද කීත් නොයර් කෙනකු ජීවතුන් අතර නොසිටිනු ඇත්තේය. දැන්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, මේජර් බුලත්වත්ත සහ තවත් බුද්ධි අංශ නිලධාරින් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බන්ධනාගාරගත කර ඇත. ඔවුහුද ‘රණවිරුවෝ’ය. එහෙත් මාධ්‍යවේදීන් පැහැරගන්නෝය. වැදගත් වන්නේ ඔවුන්ට මේ පැහැරගැනීම සඳහා අණදුන් අය කවුදැයි දැනගැනීමය. දැන් පොලිස් පරීක්‍ෂණ ඒ දිසාවට පැවැත්වෙයි. රණවිරුවන්යැයි විච්චූර්ණ දමා අන්දවා හමුදා බුද්ධි අංශ නිලධාරීන් තමන්ගේ පෞද්ගලික ඝාතන වුවමනාවන් සඳහා යොදාගෙන ඇත්තේ කවුදැයි දැනගන්නට මහජනතාවට අයිතියක් තිබේ.
කීත් නොයර් රඳවාගෙන සිටියායැයි සැකකෙරෙන ස්ථානය සෙවීමේදීද තවත් කරුණු හෙළිවී ඇත.
පාලුගම දොම්පේ, අංක 152 දරන තැන පිහිටි ලංසියාවත්ත නිවස 2007 අවසන් කාලයේ සිට 2008 මුල් කාලය දක්වා යුදහමුදා බුද්ධි අංශයේ සාමාජිකයන් පිරිසක් බදු ගෙන සිට ඇත. ඒ නිවසේ සිටියේයැයි පොලිසියට තොරතුරු ලැබි ඇති පිරිසගෙන් එක්කෙනෙකු නම්, අප මීට පෙර මේජර් බුලත්වත්තගේ ලෙස හඳුන්වා ඇති අයයි. ඔහුගේ නියම නම, බුලත්වත්තේ වලව්වේ දිසානායක මුදියන්සේ රාලහාමිගේ ප්‍රභාත් සීවලී බණ්ඩාරනායක දිසානායක බුලත්වත්තගේය. අනෙකා, පෝරුවල විදානගේ ධර්මසේනය. ගල්ලෙන වන්නිගේ ජයන්ත හා ගල්බිඳින ඇල්ලේ ගෙදර ප්‍රියන්ත, කුමාර සෝමසූරිය ඉතිරි අයයි. මේ අය මරදාන ටි්‍රපොලි යුද හමුදා බුද්ධි අනුඛණ්ඩයේ බුද්ධි නිලධාරීහුය.
මේ නිවසේ සිටි මේ පිරිස එහි බදු කාලසීමාව ඉවර වුණු පසුව, දොම්පේ ඉද්දමල් දෙණිය, බදුවත්ත වලව්ව බද්දට ගත්හ. 2008.03.14 සිට 2009. 03. 14 දක්වා කාලයකට මාසයකට රුපියල් 5000 බැගින් දී මේ නිවස ලබාගෙන තිබේ.
සාමාන්‍යයෙන් හමුදා භටයන් සිය කඳවුරෙන් බැහැරට යන විට ඒ පිළිබඳ විස්තර අදාළ පොත්වල සටහන් කළ යුතු වුණත්, 2008 මැයි 22වැනිදා යූඩී වීරරත්න හා එච්ඒඑච් පෙරේරා ඇතුළු බුද්ධි නිලධාරීන් ටි්‍රපොලි කඳවුරෙන් පිටට යන්නේ කිසිම සටහනක් නොතබාය. එදින ඔවුන් බැහැරට ගොස් රැඳී සිටි ප්‍රදේශවල, ඔවුන් සමඟම මේජර් බුලත්වත්තගේද රැඳී සිට ඇත්තේය. ඒ කුමක් සඳහාදැයි ඔවුන්ගෙන් පොලිසිය විමසූ කල පැහැදිලි කරන්නටද ඔවුහු අසමත්වූහ. විශේෂය වන්නේ මේ පිරිස කීත් නොයර් පැහැරගෙන ගිය දා සවස 6ට පමණ කඳවුරෙන් පිටත්වී එදිනම රාත්‍රී 10.45 පමණ වන විට නැවතත් කඳවුරට පැමිණීමය. කඳවුරෙන් පිටව ගිය ඔවුන්ගේ දුරකථන කුමන මාර්ගයක ගමන් ගත්තේදැයි සීඅයිඩීය විමර්ශනය කර තිබේ. ගමන මෙසේය. කොළඹ විශ්වවිද්‍යාලය, බොරැල්ල ජයරත්න මල් ශාලාව අවට ප්‍රදේශය, ක්වීන්ස් කැෆේ අවට ප්‍රදේශය, වැල්ලවත්ත අවට ප්‍රදේශය, දෙහිවල හා කොහුවල හරහා ගමන් කර අවසන්වී ඇත්තේ දෙකටන, මල්වාන අවට ප්‍රදේශයෙනිෟ