Untitled-1

Untitled-1

ඝාතනය සමයංට ලඝු නොකරමු


samayan

තරිඳු උඩුවරගෙදර

රජයේ රැඳවුම් භාරයේ සිටියදී ඝාතනයට ලක් වීමක් ගැන දෙවැනි සිදුවීම කළුතරදී බන්ධනාගාර බසයකට පහරදී පසුගිය 27 වැනිදා හත්දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමයි. ඝාතනයවූවන් අතර බන්ධනාගාර රඳවුවෝ පස්දෙනෙක් සහ බන්ධනාගාර නිලධාරීහු දෙදෙනෙක් වූහ. පුවත්පත් වාර්තා කළේ ඝාතන රැසකට සම්බන්ධ අපරාධකරුවෙකු වන සමයං මියගිය බවයි. ඇතැමුන් ඒ අසා සාධුකාර දුන්හ. ජේලර්වරුන් දෙදෙනෙකු මියගිය බව අසා කම්පනය වූහ. “පව් අසරණයෝ” යැයි කීහ.
මේ සියල්ල පසෙකින් තිබියදී අප තේරුම් ගතයුත්තේ රජයේ වගකීම යටතේ තිබුණු ජීවිත හතක් විනාශ වූ බවයි. සමයං හෙවත් අරුණ ශාන්ත පතිරණ ඝාතනය කරන්නට සැලසුම් තිබුණු බව අලුත් පුවතක් නොවේ. බන්ධනාගාර නිලධාරීන් එය දැන සිටිය යුතු විය.
වගකීම කාටද?
ඝාතන රැසකට සම්බන්ධ සමයං මියයයි යනුවෙන් ඇතැම් මාධ්‍ය වාර්තා කළ අතර සමයංගේ ජීවිත කතාව ඇතැම් මාධ්‍යවල පළවිය. මේ සියල්ල මැද අප සෙවිය යුත්තේ මෙය නිකන්ම පාතාල සටනක්ද කියාය. මෙය නිකන්ම පාතාල සටනක් නොවේ. රාජ්‍යය මෙහි පසෙකින් ඇත. බන්ධනාගාර දෙපාර්ත මේන්තුව මෙන්ම පොලීසිය සහ අධිකරණය මෙහි අනෙක් ප්‍රධාන පාර්ශ්වකරුවන්ය. ඒ නිසා මෙහි වගකීම අංගොඩ ලොක්කාට පවරා නිහඬ වීමේ අයිතියක් කිසිවෙකුටත් නැත.
දැන් බන්ධනාගාරය භාර ඇමතිවරයා සහ පොලීසිය භාර ඇමතිවරයා වගකීම සම්බන්ධයෙන් වාදයක පැටලී ඇත. මියගිය ජේලර්ලා දෙන්නා නොවන්නට මේ සිදුවීම කිසිදු ගැටලුවක් නැතිව පාතාල නායකයන් අතර ගැටුමක ගොඩට යනු ඇත. කෙසේ වෙතත් අපරාධකරුවෙකු වුණත් රජයේ භාරයේ සිටියදී මියගියහොත් රජය ඒ ගැන සම්පූර්ණ වගකීම ගත යුතුය. මිනිස් ජීවිතයක් යනු සෙල්ලමක් නොවන බව තේරුම් ගත යුතුය. නැත්නම් අපට සලකන්නට වෙන්නේ මෙය ආයුධ පෙන්වීමේම දිගුවක් බවටයි.
දැන් වන්දි ගෙවීමෙන් නැවතිය යුතු නැත. ත්‍රිපුද්ගල කමිටුවක් පත්කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි. පොලීසියත් පරීක්ෂණ ආරම්භ කර ඇත. ඒ පරීක්ෂණ අවසානයේ අංගොඩ ලොක්කා ගස් යැවීමෙන් නොනැවතී මෙවන් සිදුවීම් යළි නොවන අන්දමේ සැලසුමක් ආණ්ඩුව සකසාගත යුතුය.

පාතාල ගැටුමක ප්‍රතිඵලයක්
මෙම ඝාතනය තවත් පාතාල කණ්ඩායමක් විසින් සැලසුම් සහගතව සිදුකළ එකකි. ඒ ප්‍රහාරයට මුහුණදීමට කිසිදු හැකියාවක් බන්ධනාගාර නිලධාරීන්ට තිබී නැත. බන්ධනාගාර නිලධාරීන් යනු මේ ප්‍රහාරය වැනි සැලසුම්සහගත ප්‍රහාරයකට කිසිසේත් මුහුණදෙන්නට හැකියාවක් නොතිබුණු පිරිසකි. “එක ඇමිනියුෂන් එකයි ෆයර් කරලා තියෙන්නේ. ඒකත් විශ්වාස නැහැ. ටැමිල් විතරයි තුවක්කුව අතට අරන් තියෙන්නේ. අනෙක් අයට හිතන්නවත් අවස්ථාවක් ලැබිලා නැහැ.” සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියෙක් එසේ පැවසීය.
“පාතාල නායකයන් විශාල වශයෙන් මැඬ පවත්වන්න අපි කටයුතු කරලා තියෙනවා. කඩුවෙල නවගමුව පිට්ටුගල මාලබේ ප්‍රදේශයේ වැලි සහ කළුගල් ව්‍යාපාරිකයන්ගෙන් ආදායම් ලැබීමට සහ කුඩු ව්‍යාපාරවලට තමයි ඔය ඉතුරුවෙලා තියෙන අංගොඩ ලොක්කායි සමයනුයි කටයුතු කරන්නේ. පහුගිය කාලේ මේ දෙන්නා අතර ගැටුම් නිසා එක්කෙනෙක් බලවත් වෙද්දී අනෙකා දුර්වල වෙනවා. මිනීමැරුම් කිහිපයක් සිද්ධවුණා.
මේක ඇවිල්ලා කිහිපදෙනෙක් එකතුවෙලා හරියන්න හෝ වරදින්න කියලා උපරිමයෙන් සැලසුම් කරලා කළ ඔපරේෂන් එකක්. වාහනේ ගිහින් ප්‍රහාරය එල්ලකළ කණ්ඩායම තැන් තැන්වල බස්සලා තියෙන්නේ. අපි ප්‍රශ්නය විසඳන්න කටයුතු කරනවා. කෙසේ වුණත් සිද්ධියේ මුල විනාශ කරන්න ඕනෑ. පැලැස්තර අලවලා හරියන්නේ නැහැ.” මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කරන පොලිස් නිලධාරියෙකුගේ ප්‍රකාශයකි.

නිලධාරීන්ගේ කළකිරීම
“මීට කලින් මේ පාතාල සාමාජිකයාම එල්ල කරලා වෙඩි ප්‍රහාරයක් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී සිද්ධවුණා. වැලිකඩ බන්ධනාගාරය ඉස්සරහ කාන්තාවක් වෙඩි ප්‍රහාරයට ලක් කළේත් මේ සැකකාරයාවම ඉලක්ක කරලායි. එහෙම තියෙද්දී තමයි මේ සැකකරුව කළුතරට ගෙනෙන්නේ.
මේ සිදුවීම ගැනත් මේ සැකකරුවා ඝාතනය කරන්න තිබුණු උත්සාහය ගැනත් කළුතර බන්ධනාගාර අධිකාරීවරයා සහ ප්‍රධාන ජේලර්වරයා දැනුවත්ව සිටිය යුතුමයි. ඒ වගේම ආරක්ෂාව සපයන්න පියවර ගත යුතුව තිබුණා. ආරක්ෂාවක් නැති බව දැන දැනම පොලිස් ආරක්ෂාවත් නැතිව කටයුතු කිරීම ගැන බන්ධනාගාර අධිකාරීවරයා සහ ප්‍රධාන ජේලර්වරයා වගකිව යුතුයි. මීට කලින් මෙතැන සේවයේ සිටි ප්‍රධාන ජේලර්වරයා මේ වගේ සැකකරුවෙකුව ප්‍රවාහනය කරද්දී නිල ඇඳුම් තියෙන පොලිස් නිලධාරීන් පිරිසක් සහ නිල ඇඳුම් නැති පොලිස් නිලධාරීන් පිරිසක් යොදාගත්තා. අධිවේගී මාර්ගය හරහා සැකකරුවන් ගෙනගියා. මෙතැනදී එහෙම නොකිරීම ප්‍රශ්නයක්. අනෙක මේ වගේ විශේෂ සැකකරුවෙක් සම්බන්ධයෙන් බන්ධනා ගාරය තුළ තියෙන විශේෂ අධිකරණය යොදාගන්නත් තිබුණා.
මේ තරම් ප්‍රසිද්ධ මරණීය තර්ජන තියෙන සැකකරුවෙක් ප්‍රවාහනය කරද්දී අධිකරණය දැනුවත් කරලා බන්ධනාගාර මූලස්ථානය සහ අමාත්‍යාංශය දැනුවත් කරලා උපදෙස් ගන්න තිබුණා. පොලිස් ආරක්ෂාව ලබාගැනීම බන්ධනාගාරය සතුව තිබුණු වගකීමක්. අනෙක් අතට මේ වගේ ප්‍රවාහනය කරද්දී කිසිවෙකුට නොදැනෙන්න කරන්න උපක්‍රම ඕනෑ තරම් තිබුණා.
අපි වම්බොට්ටාව කොළඹ ඉඳන් තංගල්ලට ගෙනියන්න විශේෂ මෙහෙයුමක් කළා. ඒක හොඳම පූර්වාදර්ශයක් විදියට බන්ධනාගාර ඉතිහාසයේ තියෙනවා. ප්‍රින්ස් කොලම්වත් ගෙනියද්දී විශේෂ මෙහෙයුමක් කළා. සැලසුම් කරන වෙලාවට නොගිහින් නොසිතූ වෙලාවක යන්නත් ඔත්තුව හතුරන් අතට යන්න ඉඩ නොදෙන්නත් අපි පියවර ගත්තා. කොහොමහරි මේකෙන් වුණේ දරුපවුල් ඉන්න නිලධාරීන් දෙන්නෙකුගේ ජීවිත අහිමි වුණ එක.”
මෙය මේ සිදුවීම නිසා කම්පනයට පත්වූ බන්ධනාගාර නිලධාරීන් පිරිසක් වෙනුවෙන් අප වෙත අදහස් දැක්වූ එක් නිලධාරියෙකුගේ අදහස්වල සංක්ෂිප්තයකි.
සැබැවින්ම බන්ධනා ගාර නිලධාරීන් යනු යුද්ධ කිරීම වෙනුවෙන් පුහුණුව ලත් නිලධාරීන් පිරිසක් නොවේ. පූර්ව සූදානමක් නැතිව ගෙනයන ඕනෑම බන්ධනාගාර බස් රථයකට පහරදීමේ හැකියාවක් තිබේ. බන්ධනාගාර බලධාරීන් කළයුත්තේ සූක්ෂ්ම ලෙස කටයුතු කිරීමයි. ආණ්ඩුව කළයුත්තේ බන්ධනාගාර නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමයි.■