රාවය

ක්‍රීඩා ඇමති කෙනකු ඕනෑ කර තිබේ

ක්‍රීඩා ඇමති කෙනකු ඕනෑ කර තිබේ

ඒ වික්‍රමසූරිය

අප ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ඉලක්ක කොට දිගින් දිගටම ලියනුයේ ඇයි? ක්‍රීඩාවේ හැමදේටම වගකිව යුත්තේ ඔහු පමණක් ද? කෙනකුට හැමදේටම වගකීම ඔහු පිට පැටවීම අනුමත කළ නොහැකි දෙයක් විය හැකිය. එහෙත් කුමක් කරමුද? අප සැම කල්හිම ඉලක්ක කොට ගනුයේ ක්‍රීඩා ඇමතිය. එයට පත්වන කෙනාය. ඒ නිසා සෑම කාලයකම ක්‍රීඩා ඇමතිවන අය සමඟ අප ආරෝවක් තිබුණි. එය ක්‍රීඩාව වෙනුවෙන්ය. ඔවුන් සමඟ යාළුවී දුර ගමන් යා හැකි මුත් අිප ඊට වඩා කැමැත්තෙන් ප්‍රතිමල්ලව සෙල්ලම තෝරාගෙන ඇත්තෙමු.
මහින්දානන්ද අලුත්ගමගේ කාලයක් දැඩිව විවේචනය කළ අප අද සහ සුද්දෙන්ම ඔහු ක්‍රීඩාවට කළ විනාශය අත්විඳින්නෙමු. මේවා මේ ආකාරයට වන විට එදා අලුත්ගමගේ කීවේ අප ඔහුට නිකරුණේ චෝදනා නඟන බවය. අද එහි ප්‍රතිඵල ඇත. ක්‍රීඩාවට ඔහු කළ දෙයක් නැති තරම්ය. ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවට ඔහු කළේ එය විනාශ කිරීමය. ඒ අතීතය පීරන විට වත්මන් ඇමති දයාසිරි ජයසේකරට වුව අලුත්ගමගේගේ කාලයෙන් ගන්නට ඇත්තේ විනාශයේ ප්‍රතිඵලමය.
දැන් යටගියාව කතා කර පලක් නැත. එහෙත් වර්තමානයට කතා කළ යුතු දෑ එමට ඇත. මන්ද දයාසිරි ජයසේකර ද ගමන් කරනුයේ අලුත්ගමගේගේ පාරේම වන බැවිනි. එය එසේම යැයි වටහා ගන්නට ඊළඟ ක්‍රීඩා ඇමැත්තා එනකම් ඉන්නට සිදු වීම අභාග්‍යයකි. සෑම කල්හිම වූයේ එයය. තමන් ක්‍රීඩා අමාත්‍ය ධුරය දරන විට සැවොම සිතනුයේ තමන් මෙරට හොඳම ක්‍රීඩා ඇමති වන බවය. එලෙස යම් සුළු දෙයක් හෝ කර නම තබා ගත්තේ මෑතකදී එස්.බී. දිසානායකය. එහෙත් මේ විනාශයේ මුල් පසුබිම හැදුවේද ඔහුමය. එතැන් සිට ආ ගිය ක්‍රීඩා ඇමතිවරු එස්.බී. අබිබවා යනු වෙනුවට ඔහු එලු වැරදි මාවතේම වේගයෙන් දිව යන්නට වූහ. අලුත්ගමගේ එහි පෙරළිකාරයෙක් විය. දැන් දයාසිරි ජයසේකර උත්සාහ කරනුයේ ඔහු අබිබවා යන්නටය. එය ඉතා පහසුය. මේ ආකාරයටම තව වසරක් දෙකක් කල් ගෙවෙන විට දයාසිරි අලුත්ගමගේ අබිබවා යනු ඇත. දැනටමත් ඔහු ඒ කුසලතාව පෙන්වා ඇත.
මේ වසර ආරම්භයේදීම කරනවා යැයි කෑමෝර දුන් කිසිවක් කරන්න උත්සාහ ගැනීමක් තවමත් නැත. ඒ කයිවාරුම ඇදබාමින් සිටී.
ජාතික ක්‍රීඩාව වොලිබෝල් ලෙස කොතැනකවත් නීත්‍යනු කූලව පිළිගෙන නැතැයි කියන විට එය නිවැරදි කරන බවට මේ ඇමැත්තා කටමැත දොඩුවද ඒ සඳහා ගන්නා කිසිදු උත්සාහයක් නොපෙනේ.
ඔලිම්පික් ගොස් ආ නඩ පැත්තකින් තැබුවද ඊට පෙර සාග් ක්‍රීඩා උළෙලට ගිය සංගම්වලට ලබාදුන් මුදල් හරියාකාරව වියදම් කළාද යන්නටත් ඔහුට සොයා බැලිය නොහැකි විය.
නමට ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් කෙනකු පත් කරගෙන ඔහු පඹයකු ලෙස ඉන්දුවා පිටස්තර පුද්ගලයන් ළඟට ගෙන ක්‍රීඩාව කරවීම ඔවුන්ට බාර දී ඇත. මේ නම් ලැජ්ජා නැති වැඩය. ක්‍රීඩා අමාත්‍යාංශයක් ක්‍රීඩා ඇමති කෙනෙකු සිටිනුයේ ඇයි? ක්‍රීඩාව රැක ගන්නට නොවේද? මෙවර අයවැයෙන්ද ක්‍රීඩාව කරන්නට විශාල ධනස්කන්ධයක් වෙන් කළේය. එහෙත් ක්‍රීඩාවේ සංවර්ධනය වේද? සංවර්ධනය ඉබේ සිදු නොවේ. රට පුරා පිට්ටනි හැදුවද එය ඇති නොවේ. පිට්ටනි අත්‍යවශ්‍යය. එහෙත් පිට්ටනි තිබූ පළියට ක්‍රීඩාව උඩට එන්නේ නැත. පිට්ටනි හැදීම අද ක්‍රීඩා ඇමතිවරයාගේ සෙල්ලම වී ඇත. ඒ සෙල්ලමෙන් ඔහුට ජය ගත හැකි වුවත් ක්‍රීඩාවට අත්වනුයේ පරාජයමය.
සුගතදාස ක්‍රීඩාංගණය අපට ඇති ඉහළම සම්පතය. එහෙත් එය හොඳ මට්ටමින් සකස් කර ක්‍රීඩකයන්ට ලබාදීමට තවමත් මේ ඇමති අපොහොසත්ය.
අද සියලුම ක්‍රීඩා සංගම් පාහේ අයාලේ යයි. ඒ ඔවුන් පිළිබඳ නිසි අධීක්‍ෂණයක් කරන්නට ක්‍රීඩා අමාත්‍යාංශයට නොහැකි වී ඇති නිසාය. අද සංගම් බහුතරයක තනතුරු දරන්නේ කවුද යන්නවත් බොහෝ අය නොදනිති. ක්‍රීඩා හැටකට වැඩි ප්‍රමාණයක් තිබුණද කතාබහට ලක්වනුයේ අතේ ඇඟිලි ප්‍රමාණයටත් අඩු ක්‍රීඩා ගණනකි. අනෙක් සංගම් පවුල් කිහිපයක බුදලයක් වී ඇත.
මේ සියලු තත්ත්වයන් ක්‍රීඩාවේ බැස්මට බලපාන අතර ඒවා ඉදිරියට ගෙනඒම ක්‍රීඩා අමාත්‍යාංශය හිතා මතාම කර ඇර ඇත. ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට විශාල වැඩ කොටසක් ක්‍රීඩා සංගම් භාරව කළ හැකි වුවත් ඔහු නිකමකු වී ඇත. පරිපාලන වශයෙන් ලේකම්වරයාට බොහෝ තීරණ ගත හැකි වුවත් ඔහු එහෙයියකු වී ඇත. ඔහු වැඩකට නැති ලේකම් කෙනකු බවට පත් වී ඇත. මෙවන් පසුබිමක ක්‍රීඩාව නගා සිටුවන්නට ලේසි පහසු නැත.
ක්‍රීඩා කෞතුකාගාරයක් හදන මුවාවෙන් රිංගු සමන් අමරසිංහ සිටිනුයේ ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්ට වඩා උඩිනි. ඒ සැමට උඩින් සම්පත් දිසානායක සිටී. මෙවන් පසුබිමක ක්‍රීඩා අමාත්‍යවරයා නොකරනු යේම ක්‍රීඩාව දියුණු කිරීමය. එහෙත් ඔහුද කතාවෙන් ක්‍රීඩාව සැහෙන දියුණු කළ අයෙකි. කයිවාරුවලට ක්‍රීඩාවට කළ හැකි දෙයක් නැත.
අද ප්‍රධාන පෙළේ පාසල් සෑම එකකම පාහේ පිහිනුම් තටාක ඇත. එහෙත් පිහිනුම් ක්‍රීඩාවට අත්වී ඇති ඉරණම කුමක්ද? ක්‍රිකට් ක්‍රීඩකයන් ඇරුණුකොට සෙසු ක්‍රීඩාවල සිටින ක්‍රීඩකයකුගේ නමක් ජනතාවට මතකද? මතක හිටින්නට නම් ඔහු දක්‍ෂයකු වී ඇත. එසේනම් අපට දක්‍ෂයන් නැද්ද? දක්‍ෂයන් සිටින මුත් ඔවුන් ඉදිරියට ගන්නා යාන්ත්‍රණයක් නැත. එවන් යාන්ත්‍රණයක් නැතිවිට ක්‍රීඩාවෙහි දියුණුවක් නොපවතී.
දයාසිරි ජයසේකර අමාත්‍යවරයා කළ යුත්තේ ඒ පසුබිම හදන එකය. ඔහු නොකර සිටින්නේද එයමය. ඔහු ඊට අත පොවන තෙක් මේ ක්‍රීඩාව සංවර්ධනය නොවේ. සම්පත් දිසානායකගෙන් තම ක්‍රීඩා අමාත්‍ය ධුරය ඉල්ලාගත යුතුය. ඉල්ලාගෙන වැඩ පටන් ගත යුතුය. එසේ නොවන්න මේ ක්‍රීඩාවට ආත්මයක් නැත. ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර නිවිහැනහිල්ලේ සිතන විට පෙරහැර ගොස්ය. ක්‍රීඩාවට කිසිවක් නොකර මහා කප්පරක් කරන බවට මවාගෙන සිටීම ක්‍රීඩා ඇමතිවරයා ලැජ්ජා විය යුතු කරුණකි. අමාත්‍ය ධුරවල මාරුවක් වන්නේ නම් ක්‍රීඩා අමාත්‍ය ධුරයද මාරු කළ යුතුමය. මන්ද දයාසිරි ජයසේකර ක්‍රීඩා අමාත්‍ය ධුරය හොඳින් කළ නොහැකි බැවිනි.■