ජීවිතය සහ සුරුවම


suruvama

ටිරන් කුමාර බංගගමආරච්චි

සුළඟ සීතල විය. අහස පැහැදිලි විය. මුහුද දිළිසිණි.
මේ මුහුද මෙහෙම්මය. සුනාමියෙන් පසුවද මෙය මෙසේමය. කිසිත් නොවූ ගාණට නැළවෙමින් පැද්දෙමින් ඔහේ සිටියි.
මා සිටිනුයේ මුහුදට මුහුණලා රැල්ල වදින බේරුවල වෙරළේය. බොහෝ දුක් කතාවලින් හද පුරවාගෙන වැල්ලේ එරීය.
බේරුවල ඛේදවාචකය සිදුව සත් දිනක් ගෙවෙන තැන වුව මුහුද කිසිත් නොවූ ගාණට නොදන්නා ගාණට වෙරළට පැමිණ දියඹටම ඇදෙයි. කඳුළු පරදා පෙණ කැටිති නංවයි. ඛේදවාචකද මේ රැල්ලම මෙනි. එයි. යයි. ජීවිතය වෙරළ මෙනි. ඒ රැළි කාගෙනම පවතී. වරෙක සෝදාපාළුවට ලක් වුවද නැවත පෙර සේමය.
කතාවේ අවසානය ආරම්භයේම තැබුවෙමි. මන්ද හැම අවසානයක්ම ආරම්භයක් සටහන් කරන බැවිනි.
ඛේදවාචකයක් වූ සැණින් ඇසෙනුයේ විලාපය. අඳෝනාය. දෙස්දෙවොල්ය. ඒ පිටවනුයේ ඛේදවාචකයේ ප්‍රතිඵලමය. එහෙත් දවසින් දවසට කාලය ගෙවෙන තැන මිනිස් හිතද වෙනස් වේ. ඔවුහු ඛේදවාචකයම වුව කපා කොටා සසඳා බලන තැනට පත්වෙති. මහා අඳෝනාවන් කෙඳිරිලි බවට පත්වී විලාපයන් දිගු සිසුම් බවට පෙරළාගෙන ජීවිත අහිමිවීම හරහාම ජීවිතයේ ගැඹුර සොයයි. එය මුහුදු පතුළට වඩා ගැඹුරුයැ’යි උපකල්පනය කරයි.
ඛේදවාචක වන් මොහොතේ මෙන්ම ඉන් දින ගණනකට පසුව මේ ජීවිත සොයා යා යුතුය. එය බොහෝ පාඩම් කියා දේ. දරා ගැනීම් උගන්වාලයි. අපි අහවර වූ හැම ඉලව් ගෙදරකටම නොයා ගයාන් සුජීවගේ ඉලව් ගෙදරට ගියෙමු. ඉලව් නිවසට ගෙනා ප්ලාස්ටික් පුටු එක තැනකට කඳු ගසාය. පුංචි සිරුර තබන්ට හිස් කළ සාලය තවමත් හිස්ය. මේ දිනවල ඔවුන්ගේ ජීවිතවල ඇති අපිළිවෙළ මුළු නිවසම කියා පාන අතර එහි ඇති මුස්පේන්තු ගතිය හැම මුහුණකටම ශෝකීව ඉන්නට බල කර ඇති ගානය. පාර අයිනේ ඇති සුජීවගේ නිවස පහු කරන අය තවමත් එම නිවසට ගොඩවී ඔහු අස්වසාලන වචනයක් දෙකක් දොඩා යති. එය ඇබ්බැහියක් මෙනි. සුජීවද එයින් ළය පුරවා ගනිමින් සිටී. මිනිස්සු නිවන්නට මෙන්ම නිවෙන්නට ගන්නා උත්සාහය වචනවලට පෙරළිය නොහැකිය. එහෙත් එය වටහාගත හැකිය. හෙළුෑ කඳුළුවලත්, සුසුම්වලත් තවම නිමාවක් නැත. ඒ මුහුණු මත තවමත් සිනහවක් නොපිපේ. එහෙත් දැන් පියවි තත්ත්වයට එමින් තිබේ. මේ තත්ත්වය බේරුවල බෝට්ටු අනතුරින් දිවි ගෙවූ හැම නිවසකම ජීවත් වන උන්ගේ තත්ත්වය බව සහතිකය.

මුහුදේ සෙත් පැතීමේ මංගල්‍යය
පහුගිය සතිය මේ ගමම මළගෙයක් බඳුය. කළුතර කටුකුරුන්ද මුහුද කළ විපත එයට හේතුවිය.
මුහුදේ ආශීර්වාද ලබා ගන්නට ගොස් මේ මිනිසුන්ට සිදුවූයේ මුහුදේ සාපය විඳින්නටය. ආශීර්වාද කරන්නෙත් සාප කරනුයේත් මේ මුහුදමය.
මුහුදු ආශීර්වාද ලබාගැනීමේ මංගල්‍යයට ඇත්තේ දිගු ඉතිහාසයකි. ධීවරයාත් කිතු දහමත් අතර ඇති සබැඳියාව නිසාම මෙරට ධීවර ප්‍රජාව බහුල ප්‍රදේශයන්හි පල්ලිවල මේ වාර්ෂික මංගල්‍යය නිත්‍ය අංගයක් වී ඇත. බේරුවල වරාය අසල ලාසරස් පල්ලියද මේ කාර්යය වාර්ෂිකව සිදුකරන්නේය. පල්ලියේ වත්පිළිවෙත් කොට ප්‍රතිමාව රැගෙන පෙරහැරේ පැමිණ ධීවර වරායෙන් බෝට්ටුවල නැගී බේරුවල කළුතර දක්වා මුහුදුබඩ මුහුදු තීරයේ දේවස්ථානවල ආශීර්වාද ලැබ කළුතර ලුර්දු මාතා දේවස්ථානය පෙනෙන දුරට පැමිණ මුහුදේ සිට නමස්කාර කොට ‘සින්ද්‍රාදි’ මෑණියන්ගේ ආශීර්වාද ලැබ නැවත බේරුවල ධීවර වරාය, පෙරහැර ගමන් මග වේ. මේ අතර සින්ද්‍රාදි දේව මෑණියන්ගේ සුරුවමක් මුහුදේ ගිල්වා ආශීර්වාද ලබාගැනීමද අත්‍යවශ්‍ය කොටසකි. දිගු කාලයක පටන් හැම වසරකම ලද ආශීර්වාදය මෙවර කෙළවර වූයේ ඛේදවාචකයකිනි. ඒ එදා සුරුවම ගිල්වනවා බලන්නට ගිය බෝට්ටුවක් පෙරළීම නිසා ජීවිත දහසයක් අහිමිවීම නිසාය. එදා දේව දානය වෙනුවට නිවෙස්වල මළබත ඉදෙන තත්ත්වයක් නිර්මාණය විය.
මේ සියල්ල සිදුවනුයේ පෙබරවාරි මස 19 වැනි ඉරිදාය. උදෑසන නවයට පමණය. වන්දනාවට පිටත් වූ බෝට්ටු ගණන දහනවයකි. බොහෝ පිරිසක් ගිලී නැසෙනුයේ පසුපසින්ම ගිය දහනව වැනි බෝට්ටුව පෙරළීම නිසාය. සුරුවම වෙනුවට මෙවර ගිලෙනුයේ මිනිස් ජීවිත පොකුරකි. සින්ද්‍රාදි මෑණියන්ගේ සුරුවම සේ ම ඔවුහුද ගිලුණෝය.
මෙම පූජාවට ජාති, ආගම් භේදයකින් තොරව සහභාගිවීම සාමාන්‍යයකි. ආශීර්වාද ලැබෙනුයේ නම් කොයි පන්සලත්, පල්ලියත්, කෝවිලත් එකය. බාල, මහලු, තරුණ මෙන්ම බඩදරු අම්මලාද, ළදරුවන්ද මේ වන්දනා ගමනට යෑම සිරිතකි. මෙවරද එම සිරිත එසේම සිදුවිය. වෙනදාට වඩා මෙවර සභභාගිත්වය අඩුවිණැයි මේ අයගේ මතයය. බෝට්ටු පනහ හැට යන ගමන මෙවර බෝට්ටු දහ නවයකට සීමාවුණැයි මොවුහු කියති. පෙර වසරවල කුඩා බෝට්ටු අධික සංඛ්‍යාවක් පෙරහැරේ යනමුත් මෙවර එය ඉතා සුළු ප්‍රමාණයක් වීම මේ මරණ ප්‍රමාණයක් වැඩිවන්නට හේතුවූ බවද මේ අයගේ මතයය. බෝට්ටුවක් පෙරළුණු විට ඒ අසලට ළඟාවිය හැක්කේ කුඩා බෝට්ටුවලට වුවත් මෙවර කුඩා බෝට්ටු අවම වීම මරණ වැඩිවීමට හේතුවූ බව මේ අය සිතන දෙයකි.

මරණයෙන් ගැලවුණු පසු
ගයාන්ගේ නිවසේ රැස්ව සිටි අය කියූ කෙරූ දේ එබඳුය. මේ මංගල්‍යයට ගියවුන් මෙන්ම වෙරළට වී බලා සිටියාහුද වෙත්. ගයාන්ට පෙර ඒ අය දන්නා සියල්ල වමාරනුයේ අඩු වැඩි වශයෙන් මොවුන්ද ඒ සිද්ධිය අත්දුටු නිසාය.
ගයාන්ගේ කතාව
ගයාන් සුජීව තිස්හත් හැවිරිදි තිදරු පියෙකි. ඒ පෙබරවාරි මස දහනව වැනිදා උදෑසනට පෙරය. දැන් ඔහු දෙදරු පියෙකි. ඒ මංගල්‍යය දා පෙරළෙන බෝට්ටුවේ සිට ඔහුගේ අට හැවිරිදි පුතාද මුහුදට බිලිවන නිසාය. ගයාන්ගේ වැඩිමහල් පුතණුවන් වූ සුනාල් යුද්මික සිල්වා අට හැවිරිදිය. ගයාන් බේරුවල ධීවර වරායේ මාළු වෙළෙන්දෙකි. ඔහුගේ පියා මෙන්ම සහෝදරයෝ දෙපළ ද පාරම්පරික ධීවරයෝය. ඒ නිසා මෙම මංගල්‍යය මේ පවුලට පවුලේම කොටසක්ද වන්නේය. එතැන් සිට ගයාන් කියූ ලෙස ලියමු.
“මේක හැම අවුරුද්දකම පවත්වනවා. මමත් දන්න කාලේ ඉඳලා යනවා. මගේ පුතා මේ ගියේ තුන්වෙනි පාරට. ආයේ එයා යන්නේ නෑ.”
(ඇස් දෙකෙන් කඳුළු උනමින් තිබේ.)
“පුතා ඇඟිලි ගැන ගැන හිටියේ මේ පාර යන්න. ආයේ ගණින්න ඒ ඇඟිලි නෑ.
මගේ බිරිඳට මුහුදු ගමන් යන්න බෑ. එයා පුංචිම දුව තියාගෙන ගෙදර හිටියා. මමයි පුතායි අනෙක් දුවයි මේ ගමන ගියා. හැම වසරෙම යන ගමනක් නිසා මේ ගමනේ විශේෂයක් තිබුණේ නැහැ. ගමනට සහභාගි වෙනවා වගේම ගමනට බෝට්ටුව ලබාදීමත් ආශීර්වාදය ලැබීමේ ලොකු අවස්ථාවක්. ඒ හින්දා බෝට්ටු මේ ගමනට පොර කකා එන්නේ.
සුරුවම ගෙනියන්න පවා තුණ්ඩු උඩ දානවා. තුණ්ඩුව හිමිවන බෝට්ටු හිමියා තමයි සුරුවම ගෙනියන්නේ. ඒක හමුවීමම ලොකු ආශීර්වාදයක්. හැමෝටම ඒ අවස්ථාව ලැබෙන්නේ නැති නිසා අනෙක් අය සෙනඟ පටවාගෙන ගමනේ යනවා. අපි වෙරළට ආවාම පොර කකා කට්ටිය බෝට්ටුවට නගිනවා. මේ බෝට්ටුවත් කතා කළා එන්න එන්න කියලා. අපිත් දුවලා ගිහිල්ලා නැග්ගා. මේවා පුරුදු වෙන්න යන ගමන් නෙමෙයි. මම පුංචි කාලේත් මගේ පුතා වගේම ගියා.
කොහොම හරි පුතයි මගේ වයිෆ්ගේ ඥාති පුතකුයි (ඔහුට වයස අවුරුදු හතයි) බෝට්ටුවේ කැබින් එකට දාලා මායි දුවයි බෝට්ටුවෙ එළියේ හිටියේ. මේ වෙලාවේ බෝට්ටුවේ උඩ හතර දෙනෙක් හිටියා. කොහොම හරි ඔක්කොම හතළිහක් විතර හිටියා. අනෙක් බෝට්ටු වගේ නෙමෙයි හරි හිමින් මේ බෝට්ටුව ගියේ. එදා අව්වත් නෑ. මම කිව්වා අද නම් වෙන කවදාරටත් වඩා හොඳයි. අව්ව නෑ. වෙනදාට පිච්චි පිච්චිනේ යන්න වෙන්නේ කියලා.”
ගයාන් බිම බලාගත් වනමය.
ඒ අද ඔහු හදවතින් පිච්චෙනා බැවිනි.
‘දුවට එළිය බලන්න ඕනෑ කියපු හින්දයි අපි කැබින් එකෙන් එළියට ආවේ. පුතාලා කැබින් එකට වෙලා කට්ටිය එක්ක ගීතිකා කිය කියා හිටියා. කැබින් එකේ හිටිය කාටවත් එළියට එන්න බැරිවුණා. බෝට්ටුවට නගිද්දී මමයි පුංචි එවුන් උස්සලා කැබින් එකෙන් තිබ්බේ. සෙනඟ වැඩියි කියලා අපේ අයියලා ටික දෙනෙක්ම බැස්සුවා. නාවික හමුදාවේ නිලධාරිනුත් ඇවිත් කට්ටියකට බහින්න කිව්වා. ඒ නිසා කොටසක් බැස්සා. විනාඩි හතළිස් පහක් විතර යනකොට බෝට්ටුව කළුතරට ළඟා වුණා. ඒ වෙලාවේ තමයි බෝට්ටුවේ හතර දෙනෙක් උඩට නැග්ගේ. එතකොටම වගේ බෝට්ටුව පැත්තකට බරවුණා. එතකොටම මම දුවව තුරුලු කරගෙන මුහුදට පැන්නා. අඩි දහයක් පහළොවක් මුහුද යටට ගියා. එතකොට දුව දඟලන්න ගත්තා. එතකොට මට පේනවා තව ගොඩක් අය බුබුළු දමදමා මුහුද යට ගිලෙනවා. මම මගේ ඇඟේ උපරිම ඩම් දාලා දුවත් අල්ලගෙන උඩට වෙරක් ගත්තා. ඒ පිම්මට මාව උඩට ආවා. ඒ එන ගැම්මට මට පේනවා මාළු ගොඩ බිම දඟලනවා වගේ මිනිස්සු වතුරට යට දඟලනවා. එක ගෑනු කෙනෙක් සෙම දාගෙන මගේ ළඟින්ම යටට යනවා. දුවගේ පස්සට අත තියලා උඩට තල්ලු කළා. දුව උඩට ගියා. මම අර ගෑනු කෙනාව කොණ්ඩෙන් අල්ලාගත්තා. ඒ අරගෙන උඩට එනකොට දුව යට යනවා. මම ආයේ යට ගිහින් දුව අරගෙන ආවා. එතකොටම පොඩි බෝට්ටුවක් තිබුණා. අර ගැහැනු කෙනාවත් ඒකට නග්ග ගත්තා. ඒත් දුව මාව අත අරින්නේම නෑ. මම කෑගැහැව්වා දුවේ අයියා යට, මම අයියව ගේන්න ඕනෑ කියලා. අනේ මෙයාත් අර බෝට්ටුවට පැන්නා. මම ආයේ පුතාව හොයන්න යට ගියා. තවමත් සමහරු දඟලනවා. සමහරු ගල් පිළිම වගේ හෙලවිල්ලක්වත් නැතිව යට යනවා. මම යට ගිහින් කැබින් එක දිහා බලනකොට මට පෙනෙනවා මගේ පුතා ඇතුළේ දඟලනවා. මේවා මම දැක්කා. එක අම්මා කෙනෙක් දරුවාව උඩටම ගෙනිහිල්ලා යට ගියා. මම දැක්කා, ඒ මැරිලාමයි. මම කැබින් එකේ වීදුරුව කඩන්න ගැහැව්වා. ඒත් හොලවන්නවත් බැරිවුණා. මගේ ශක්තිය හිඳිලා මාව ඉබේම උඩට ගියා. එතකොට උඩ බෝට්ටුවකින් මාව ඇදලා ගත්තා. මම ආයේ පනින්න හදනකොටම ඒ අය කිව්වා කට්ටිය යට හොයනවා. ඔයාට යන්න බෑ. ගියොත් ඔයාත් මැරෙයි. පුතාව බේරගෙන එයි. පිස්සු නටන්නේ නැතිව ඉන්න කියලා.
කොහොමහරි පුතාව ගොඩට ගෙනෙන කොටත් පණ තිබුණා. ඒත් රෝහලේදී නැතිවුණා. පුතා එක්ක හිටපු මගේ බිරිඳගේ පුංචි අම්මාගේ පුතාගේ දරුවා හම්බ වුණේ දවස් දෙකකට පස්සේ. මම එදා බේරගෙන තිබුණේ එයාගේ අම්මා.’

ආපස්සට සිතීම
ඔහු බොහෝ දෑ දොඩයි. එහෙත් දැන් එදාට වඩා ඔහු වෙනස් වී ඇත.
“එදා මම වෙරළට ඇවිල්ලා කෑගහලා තියෙනවා. සුරුවම කුඩු කරනවා කියලා කෑගහලා තියෙනවා. මගේ ආගමට බැනලා තියෙනවා. මම පිස්සෙක් වගේ හැසිරිලා.”
මේ ඒ ඔහුමය.
“මගේ පුතාගේ මරණයට දෙවියෝ පළි නෑ. ආගම පළි නෑ. දෙවියෝ අපි කාවත් දෙවියන්ගේ තුරුලට ගන්නවා. මගේ පුතා ඉක්මනට ගත්තා. එදා දෙවියෝ මගේ දුව මට ඉතුරු කළා. මගේ බිරිඳට දුවලා දෙන්නට මාව ඉතුරු කළා. ඕනෑ නම් මාව ගන්න තිබුණා. මාව ගත්තා නම් අද මේ පවුලම ඉවරයි. මම මගේ පුතා වෙනුවෙන් පින්කම් කරනවා. මේක තමයි ජීවිතේ හැටි. අපි ඒවාට මුහුණ දෙන්න ඕනෑ. මට අවුරුදු තිස්හතයි. මගේ නෝනාට තිස් හයයි. මම ආයේ දරුවෙක් හදනවා. දෙවියන් වහන්සේ ඒ අවස්ථාව මට දෙනවා කියලා මම දන්නවා. ඒ පුතෙක් කියලාත් මම දන්නවා. ඒ මගේම පුතා කියලාත් මම දන්නවා.”
ඉමක් කොනක් නොපෙනෙන සයුරත් එක්ක බැඳුණු මේ මිනිස්සු මුහුදේ තනිවන විට මිථ්‍යාව එක්ක තදින් බැඳෙති. ඒ අයට ලොකුම විශ්වාසය ජනිත කරන්නේ මේ මිථ්‍යාවය. සුරුවමය. ඊට හිනාවෙන්නට, එය පහත් කරන්නට හිතන අයට ලේසි පහසු නැත. සරලව වචනවලින් ඒවා කුඩු පට්ටම් කරන්න ලේසි වුණත් කුඩු පට්ටම් වුණ හිත් නැවත හැදෙන්නේත් මිථ්‍යාවෙන් විනා විද්‍යාවෙන් නොවේය. ඇත්ත එයයි.
‘එදා අපි දෙවියන්ට බැන්නා. එතකොට ගමේ අය කිව්වේ කරුමක්කාරයෝ. පව්කාරයෝ මැරුණා කියලා. මගේ පුතා කරපු පවක් නෑ. ඒ පොඩිවුන් දන්න දෙයක් නැ. එතකොට මැරෙන අය විතරද පව්කාරයෝ. අනෙක් අය මැරෙන්නේ නැද්ද? මේවා විකාර. මටත් ඒ මොහොතේ ආගම එපා වුණා. මම හැමදාම පාන්දර පහට ගෙදරින් පිටවෙන්නේ පහන තියලා. මම ෆාදර්ගෙන් ඇහැව්වා කෝ ෆාදර් දෙවියෝ මගේ ළමයා බේරුවේ නැද්ද කියලා. ඒක දැන් හිතන කොට තේරෙනවා පිස්සුවක්. මම ඒ වෙලාවේ පිස්සු වැටිලා හිටියේ.”
ඔහු සමඟ කිසිදු තර්කයක නියැලීමේ වුවමනාවක් අපට නැත. ඇහුම්කන්දීම හැර උපදෙස්දීමක්ද නැත. රාමු කළ යුද්මිකගේ රුව ඔහු දෙඅතේ රඳවාගෙන සිටී. එදා විකල් වූ ඔහු කුමන හෝ මතයක එල්බ පොළොවේ පය ගැසීම මැනවිය. මන්ද කවුරු අහිමි වුවද මිනිසා පසුව එය දරා ගැනීමට පුරුදු පුහුණු වන බැවිනි. ඒ සඳහා එල්ලෙන තැන සෙවීම නොවැඩකි. අපි ඔහුට එක පැනයක් අවසාන වශයෙන් තැබුවෙමු.
ලබන වසරෙත් සුරුවම ගිල්වන්න මුහුදේ යනවාද?
“ඒක නතර වෙන්නේ නෑ. මම දිගටම යනවා. ළමයින්ගේ අම්මා දරුවෝ දුන්නොත් ඒ අයත් එක්ක ගෙන යනවා. ඒ නැති වුණොත් තනියම හරි දිගටම යනවා. දෙවියෝ කෙරෙහි අපේ විශ්වාසය අඩුවෙන්නේ නෑ.”
වරදක් පාපෝච්චාරණය කිරීමෙන් බාගෙට සහනයක් ලැබෙනවායැ’යි පොතක කියවූ මතකයක් ඇත.

මේ ඛේදවාචකයත් සමඟ බොහෝ දේ ප්‍රශ්න වන්නට විය. බෝට්ටුවේ අධික පිරිසක් රැගෙන යෑම ඒ අතර විය. එහෙත් මොවුන් කියන්නේ මේ ගිය ප්‍රමාණයටත් වඩා රැගෙන යා හැකි බවය. අඩුවකට වූයේ බෝට්ටුවේ යට තට්ටුව අයිස් වතුර ඉන්ධනවලින් පුරවාගෙන හොඳට බෝට්ටුව නොපිරී තිබීම බවය. ඒ කුමක්වත් දැන් කතා කිරීම පලක් නැති බව මොවුන්ගේ මතයය.
ආරක්ෂක කබා නොපැළඳ සිටීම ගැන බොරු තර්ක ගෙන එන බවත් බෝට්ටුවකට ඇත්තේ ආරක්ෂක කබා පහක් පමණක් බවත් හතළිහක් යන විට කබා දෙනුයේ කෙසේද යන්නත් ඔවුන්ගේ පැනයය.
මේ මියගිය අය ආරක්ෂක කබා පැළඳ සිටියද බේරීම ලේසි නැති බව ඔවුන් පවසන්නේ බෝට්ටුව පෙරළුණු ප්‍රදේශයේ දැල් එලා තිබූ බැවිනි. අතිදක්ෂ පිහිනුම්කරුවකු වුව දැලක පැටලුණු කල කළ හැකි කිසිවක් නැති බැවිනි. මේ මියගිය සියල්ලන් පාහේ දැල්වල පැටලී ඇති බැවිනි. එලෙස මියගිය අය අතර දක්ෂ පිහිනුම්කරුවන්ද සිටින බව මොවුන්ගේ අදහසය.
ඔවුහු අද කාටවත් ඍජුවම ඇඟිල්ල දික් නොකරති. පෙරළුණු බෝට්ටුවේ රියැදුරු මෙය ඕනෑකමින් කළ දෙයක් නොවන බැවින් ඔහුට චෝදනා කිරීමෙන්ද වැළකේ. එමෙන්ම නාවික හමුදාව එක හෙළාම මේ යෑම තහනම් කළේ නම් මේ විනාශය සිදුනොවන බව කියන අතරම නාවික හමුදාව එලෙස කළේ නම් ආගමික ප්‍රශ්නයක් නිර්මාණය වීමට ඉඩ තිබූ බවද කියති.
මේ සියලු තර්ක විතර්ක අස්සේ නැවත මේ ගමන්වලදී ආරක්ෂා වන්නට මොවුන් සිය දහස් වාරයක් සිතනවා නියතය. මේ මරණ ඉතිරි කළ ලොකුම හරය එයය. ඛේදවාචක කාලයෙන් කාලයට වෙයි. ඉදිරියේදීත් වනු ඇති. එහෙත් ඒවායෙන් ජීවත් වන අයට බොහෝ පාඩම් ඉගෙන ගත හැකිය. සුරුවමත් සමඟ ගිලුණු ජීවිත බේරුවලදී කීවේ එයය.■