රාවය

බැසිල්ට, එෆ්සීඅයිඩී නඩු පෝලිමට එයි නඬේසන්ට නඩු

බැසිල්ට, එෆ්සීඅයිඩී නඩු පෝලිමට එයි නඬේසන්ට නඩු

තිවංක සපරමාදු

ගම්පහ මල්වානේ නිශ්චල දේපළක් අත්පත් කරගත් ආකාරය සම්බන්ධයෙන් හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂට හා ප්‍රකට ව්‍යාපාරික තිරුකුමාර් නඬේසන්ට එරෙහිව මාර්තු 9වැනිදා නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණයේදී අධිචෝදනා පත්‍රය ගොනුකර තිබේ.

රුපියල් මිලියන 200ක් වටිනා එම නිශ්චල දේපළ අත්පත් කරගත් ආකාරයට අදාළව මුදල් විශුද්ධිකරණ පනත යටතේ මුදල් විශුද්ධිකරණය හා ඊට ආධාර අනුබල දීම යන චෝදනා මත බැසිල් රාජපක්‍ෂ මහතාට හා තිරු නඬේසන් මහතාට එරෙහිව මෙම අධිචෝදනා ගොනුකර ඇත්තේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පැවැත්වූ විමර්ශනයක ප්‍රතිඵලය හැටියටය.
බැසිල් රාජපක්‍ෂ මහතා නඩුවේ පළමු විත්තිකරු වන අතර තිරු නඬේසන් මහතා දෙවැනි විත්තිකරු වෙයි. තිරු නඬේසන් මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිරූපමා රාජපක්‍ෂගේ ස්වාමි පුරුෂයා වන අතර, රාජපක්‍ෂවරුන්ගේ මෙන්ම වර්තමාන ආණ්ඩුවේ නායකයන්ගේද සමීපතම මිතුරෙකි. 2015 ජනවාරි 8 වැනිදා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ පරාජයෙන් පසු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බලය හුවමාරු කරගැනීමේ ක්‍රියාවලිය අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ සම්බන්ධීකරණය කළේ තිරු නඬේසන් මහතාය.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පසුගිය කාලයේ කළ විමර්ශනවල ප්‍රතිඵල ලෙස පසුගිය රජයේ ප්‍රධානීන් අයථා ආකාරයෙන් උපයාගත් රුපියල් බිලියනයක් පමණ වටිනා දේපළ නැවතත් අත්පත්කර ගැනීමට සමත්වී තිබේ. බැසිල් රාජපක්‍ෂ මහතා අයථා ලෙස උපයාගෙන ඇතැ’යි කියන ගම්පහ ඔරුතොට මිලියන 50ක් වටිනා දේපළක්ද මේ වන විට වෙන්දේසි කිරීම සඳහා අධිකරණය නියම කර ඇති අතර, මාතර බ්‍රවුන්ස් හිල්හි රුපියල් මිලියන 50ක් වටිනා දේපළක් සම්බන්ධයෙන්ද පරීක්‍ෂණ පැවැත්වෙයි.
පසුගියදා කොළඹ මහාධිකරණයේදී බැසිල් රාජපක්‍ෂ මහතාට තවත් නඩුවක අධිචෝදනා පත්‍රද භාරදෙන ලදි. ඒ රුපියල් ලක්‍ෂ 360ක් වටිනා ජීඅයි බට මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට යොදාගත හැකි වන සේ පළාත් පාලන ආයතනවලට රජයේ වියදමෙන් බෙදාදීම සම්බන්ධයෙනි. ■