රාවය

වමත්කරුවන්ට පීඩා කරන දකුණත් අධිපතිවාදය

වමත්කරුවන්ට පීඩා කරන දකුණත් අධිපතිවාදය

නාලක ගුණවර්ධන

සංඛ්‍යාත්මක බහුතරයක් සමා ජයක අධිපති වාදයක් ගොඩ නංවා ගැනීම ජාති හා ආගම්වලට පමණක් සීමා වූ සංසිද්ධියක් නොවෙයි. වෙනත් බොහෝ සාධක වටාද අධිපතිවාදයන් බිහිව තිබෙනවා.
තමන්ගේ සාමයික භේද පසෙකලා සියලුම ආගමිකයන් එක් පසෙකට වී නිර්ආගමික සුළුතරය හෙළා දැකීම හොඳ උදාහරණයක්. උපතේදී අහම්බෙන් ලැබුණු මවුපියන්ගේ ආගම, ජීවිත කාලය පුරාම කර ගසා ගෙන යාමට අවශ්‍ය නැති බවත්, තමන් කැමති ආගමක් ඇදහීමේ හෝ කිසිදු ආගමක් නොඅදහා සිටීමේ අයිතිය ඇති බවත් නිර්ආගමිකයන්ගේ ස්ථාවරයයි. එහෙත් මෙය ආගම් අදහන බහුතරයකගේ දැඩි විවේචනයට හා පීඩාවට ලක්වනවා. එය බෙහෙවින් අසාධාරණයි.
ලිංගික සුළුතරයන්ට එල්ල වන සමාජ පීඩනය ඊට වඩා දරුණුයි. මානවයන් අතර සැවොම නිශ්චිත ලිංගික අනන්‍යතාවක් සමඟ උපදින්නේ නැති බවත්, ගැහැනු හෝ පිරිමි අනන්‍යතාව සමඟ උපන් අය සැවොම විෂම ලිංගික (heterosexual) නැඹුරුවක්
නොදක්වන බවත් වෛද්‍ය විද්‍යාත්මකව දැන් තහවුරු වී තිබෙනවා.
එහෙත් සමරිසි, ලිංගික සංක්‍රාන්තික (transgender) හා ලිංගිකත්වය පිළිබඳ අවිනිශ්චිතව එය ප්‍රශ්න කරන සමාජයේ සංඛ්‍යාත්මක සුළුතරයන්ට (LGBTQI community) විෂම ලිංගික බහුතරය වෙතින් එල්ල වන්නේ නිර්දය හා අමානුෂික ප්‍රතිචාරයක්.
නීතියෙන් සැමට ලැබිය යුතු සමාන රැකවරණය, අපේ රටේ LGBTQI සුළුතරයන්
නොලබන අතර සමාජයීය, සංස්කෘතික හා අන් බොහෝ අන්දමින් කොන් කරනු ලබනවා. (මෙසේ කරන්නේ වික්ටෝරියානු අධිසුචරිත වාදය මත පදනම්ව අධිරාජ්‍යවාදීන් විසින් 19 වන සියවසේ හඳුන්වා දෙනු ලැබූ නීති රාමුවක් තව දුරටත් පවත්වා ගනිමින්. හැබැයි අපේ රට 1948 දී සුද්දාගෙන් නිදහස් වුණා කියලත් කියනවා!)
මෙතරම් දරුණු ලෙස මර්දනයට ලක් නොවූවත් සමාජ පීඩනයට ලක්වන තවත් සුළුතරයක් නම් වම් අත තමන්ගේ හුරු අත ලෙස උපතින්ම උරුම වූ අයයි.
සාමාන්‍යයෙන් ලොව පුරා සියයට 10-12ක් පමණ දෙනා වමත්කරුවන් බව හෙළි වී තිබෙනවා.
වමත්කරුවන් ගැන කලෙක සිට විද්‍යාත්මක පර්යේෂණ කැරෙනවා. 2002දී Right Hand, Left Hand නමින් පොතක් ලියූ ලන්ඩන් යුනිවර්සිටි කොලීජියේ ක්‍රිස් මැක්මානස් (Prof Chris McManus) පෙන්වා දුන්නේ වමත්කරුවන්ගේ මොළයේ ව්‍යුහාත්මක වෙනස්කම් ඇති බවයි.
බුද්ධිය අතින් වමත්කරුවන් හා දකුණත්කරුවන් අතර පැහැදිලි වෙනසක් නැතත්, මොළයේ වෙනස්කම් නිසා වමත්කරුවන්ට වඩා ලෙහෙසියෙන් භාෂා හැසිරවීමට හැකියාව ලැබෙන බවත්, ගණිතය හා සංගීතය වැනි ක්‍ෂෙත්‍රවලදී මේ වාසිය වමත්කරුවන්ට තිබෙන බවත් ඔහු තර්ක කළා.
වමත්කරුවන් වඩාත් බුද්ධිමත්ද, නිර්මාණශීලීද හෝ කාර්යශූරද යන්න කලක සිට විවාද කරන්නක්. එය මුලිමනින්ම තහවුරු වූ කරුණක් නොවෙයි. එහෙත් ඉතිහාසය පුරා අසාමාන්‍ය චරිත අතර 10-12% ඉක්මවන තරමේ වමත්කරු නියෝජනයක් නම් තිබෙනවා.
ක්‍රිකට්, ටෙනිස්, බැඞ්මින්ටන් හා ටේබල් ටෙනිස් ක්‍රීඩාවල වමත් කරුවන්ගේ නියෝජනය හා කැපීපෙනීම ඉහළයි. සංගීතඥ බේතෝවන්, මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්, පුරෝගාමී මෝටර්රථ ව්‍යාපාරික හෙන්රි ෆෝඞ්, ටෙලිවිෂන් තරු ඔප්රා වින්ෆ්‍රි, නොබෙල් සාහිත්‍ය සම්මානලාභී ගීත රචක බොබ් ඩිලන්, පරිගණක නිපැයුම් ජගතා බිල් ගේට්ස් වැනි අය ප්‍රකට වමත්කරුවෝ. එසේම වින්ස්ටන් චර්චිල්, බිල් ක්ලින්ටන්, බරක් ඔබාමා වැනි දේශපාලන චරිතද වමත්කරුවන්.
මගේ තර්කය සරලයි. අසාමාන්‍ය දක්‍ෂයන් වූවත් නොවූවත් සියලු වමත්කරුවන්ට තම ජන්ම උරුම පවත්වා ගෙන යන්නට ශිෂ්ට සමාජයන්හි ඉඩකඩ තිබිය යුතුයි. ඔවුන් කොන් කිරීම්වලට හෝ අසාධාරණයන්ට ලක් නොවිය යුතුයි.
මෙතරම් ප්‍රශ්න ඇති රටක මෙවැනි දේ ගැන කථා කරන්නේ ඇයි දැයි යමකු ඇසිය හැකියි.
රටක් දියුණු වනවා කියන්නේ මතුපිට භෞතික සම්පත් වැඩිවීම හා ආදායම් ඉහළයාම පමණක් නොවෙයි. රටේ සමාජ සමානාත්මතාව හා මානව සංවේදීතාවන්ද වැඩිවීම අත්‍යවශ්‍යයි.
අපේ සමාජයේ වමත්කරුවන් විවිධ ආකාරයේ දුෂ්කරතාවලට මුහුණ දෙනවා. දකුණත් බහුතරය ඉලක්ක කර සැලසුම් කොට නිපදවන ලද එදිනෙදා භාණ්ඩ භාවිත කිරීමේදී වමත්කරුවන්ට ප්‍රායෝගික අපහසුතා ඇතිවනවා.
පෑන්, සටහන් පොත්, හැඳි ගෑරුප්පු, කතුරු මෙන්ම කැමරා, වයලීන, ස්මාට්ෆෝන් ආදිය පවා නිමවී තිබෙන්නේ දකුණත්කරුවන්ගේ හැසිරවීමේ පහසුවට, වමත්කරුවන් මේවා භාවිත කරන විට මුහුණ දෙන නුහුරුබව දන්නේ ඔවුන් පමණයි.
දියුණු හා සමානාත්මතාව අගය කරන සමාජයන්හි නම් වමත් හුරු අයට කළ භාණ්ඩද වෙළෙඳපොළේ හමුවනවා. එහෙත් හැම විටම, හැම තැනම නොවෙයි.
පුටුවක වතෙහි සටහන් ලිවීමේ පහසුව සඳහා ලෑලි තැටියක් සවි කිරීම පාසල් හා සරසවිවල දැකිය හැකියි. මෙය සවි කර ඇත්තේ දකුණු පසින්. වමත්කරුවන්ට කොහෙත්ම හිතකර නෑ. මේ දුෂ්කරතාව අපේ රටේ මෙන්ම බටහිර සමහර රටවලද හමු වන බව මෑතදී මා ෆේස්බුක් හරහා කළ විමසීමකට වමත්කරුවන්ගෙන් ලද ප්‍රතිචාරවලින් පෙනී ගියා.
පාසල් ගුරුවරියක් කීවේ මෙයයි: “මම දකුණත්කරුවෙක්. ඒත් වමත හුරු පාසල් දරුවන් මුහුණ දෙන ගැටලු ගැන දන්නවා. උදාහරණයකට එයාලා සටහන් ලියා ගනිද්දී මටයි රණ්ඩු බේරන්න වෙන්නෙ. ඒ නිසා එයාලට පේලියේ විවෘත කොන අරන් දෙන්න මට සිද්ධ වෙනවා. පාසල් වාදක කණ්ඩායමේ ඉන්න වමත් වයලින් වාදකයා වයලින් වාදනය කරන හැටි බලා ඉන්නත් මට අපහසුයි. එයාලට වෙනම නිෂ්පාදනය වුණු වයලීන් ඇති/නැති බව දන්නෑ මම.”
බටහිර ක්‍රමයට හැඳි ගෑරුප්පුවලින් ආහාර ගන්නා විට ඒවා මේසය මත තබන හා ඇල්ලිය යුතු සම්ප්‍රදායන් තිබෙනවා. ඒත් ඒ සියල්ල බිහිව ඇත්තේ දකුණත්කරුවන් මුල් කර ගෙනයි.
ප්‍රකට බ්ලොග් රචකයකු මෙසේ විග්‍රහ කළා: “මම වමත්කරුවෙක්. කතුරකින් කපන්න ගියාම, ඉස්තිරික්ක මේසයේ සැකැස්ම අනුව රෙදි මදින්න ගියාම වගේ බොහෝ දේවලදී අපහසුවක් තමා දැනෙන්නේ. හැබැයි ඔය අතරේ සියුම් ලෙස නිරීක්ෂණයට ලක් විය යුතු වැඩවසම් දෘෂ්ටිවාදීමය කරුණක් කියන්නම්. ලංකාවේ නව-යටත්විජිත දෘෂ්ටිවාදය තුළ සුද්දන්ට වඩා ‘සුදු ලක්ෂණ’ වන්දනා කරනවා මිස ඒවා බුද්ධිමත් ලෙස කළමනාකරණය කර ගැනීමක් නෑ. විශේෂයෙන්ම හැඳි ගෑරුප්පු පාවිච්චි කරන්න ගියාම දකුණත හුරු බහුතරය විසින් සම්මත කරගෙන තියෙන හුරුපුරුදුවලටම අනුව ඒවා හසුරුවන්න යන එක වමත්කරුවෙකුට පහසු නෑ. ටේබල් එකක කන වෙලාවට මම නම් අනිත් අයව මම වමත්කරුවෙකු බවට දැනුවත් කරලා පැත්ත මාරුකර ගන්නවා.”
තවත් අයකු මෙහි පරම්පරා පරතරයක් දකිනවා. “බොහෝ ස්ථානවලදී බරපතළ සංවාදයක් කරන්නත් සිද්ධ වෙනවා මට වම් අතින් කන්න තියෙන අයිතිය වෙනුවෙන්. නමුත් අලුත් පරම්පරාව ඒ පිළිබඳව තැකීමක් කරන්නෙ නෑ. වයසක අයයි වලියකට එන්නේ!”
දකුණු ආසියාවේ වමත්කරුවන්ට සිය පවුල්වලින්, පාසලින් හා සෙසු සමාජයෙන් විශාල පීඩනයක් එල්ලවනවා. වමතින් වැඩ කිරීම අසම්මත, අසුබ හා අශීලාචාර යැයි දුර්මතයක් අපේ සමාජවල තිබෙනවා. මෙය පතුරුවන්නේ දකුණත්කරුවන්ගේ අධිපතිවාදය මඟින්.
තුන් හැවිරිදි දැරියක් සිටින මගේ මාධ්‍ය සගයෙක් කීවේ සිය දියණිය වමතට හුරු බවට පෙර නිමිති පළ කරන බවයි. “මට නම් ඒක කිසිම ප්‍රශ්නයක් නොවෙයි. ඒත් මගේ බිරිඳ ඒ ගැන ළත වෙනවා. අපේ දරුවා අමුතු ළමයෙක් වේවිද කියලා.” ඔහු කියා සිටියා. ඔහුගේ බිරිඳ වෛද්‍යවරියක්. මානව දේහය ගැන එතරම් උගත්තද සමහරුන්ට ගතානුගතිකත්වයෙන් අත් මිදෙන්න බැරි පාටයි!
වමත්කරු කිහිප දෙනෙක් හෙළි කළේ තමන් කුඩා වියේදී වමත වෙනුවට දකුණතම භාවිත කරන්නට ගෙදරින් හා පාසලෙන් දැඩි බලපෑම් ලැබුණු සැටියි.
වැසිකිළි කාරියන්හිදී වමතත්, අන් බොහෝ කාරියන්ට දකුණතත් යොදාගත යුතුමය කියා සමාජ සම්මතයක් තිබෙනවාලු. ඉතින් වමත් හුරු අය මේ සම්මතය කනපිට හැරවූවොත් කිනම් හානියක්ද?
ඒත් මෙසේ විවෘතව හෝ නම්‍යශීලීව සිතන්නට ගතානුගතික පිරිස් සූදානම් නැහැ.
තනියම මේ අභියෝගවලට මුහුණදෙනු වෙනුවට සාමූහිකව එසේ කිරීම වඩාත් පහසුයි. වමත්කරුවන්ගේ සමිති, සංවිධාන හා ජාල විවිධ රටවල බිහිව තිබෙන්නේ ඒ සඳහායි.
ඉන්දියාව හොඳ උදාහරණයක්. වමත් කරුවන් මිලියන 100කට වඩා එරට සිටිනවා. සමාජයීය හා සංස්කෘතික වශයෙන් වමත්කරුවන්ට එල්ලවන පීඩනය ඉහළයි.
දකුණත්කරුවන්ගේ අධිපතිවාදයට බාලවියේ පටන්ම ඔවුන් මුහුණ දෙනවා.
සන්දීප් විශ්නොයි (Sandip Bishnoi) වමත්කරුවන්ගේ ස්වාභා වික උරුමය හා මානව අයිතීන් උදෙසා ක්‍රියාකරන වමත්කරුවෙක්. දැන් 39 හැවිරිදි ඔහු දරුවකු හා ළමයකු ලෙස මාපියන් හා ගුරුවරුන් වෙතින් ලොකු පීඩනයකට ලක් වූ සැටි සිහිපත් කරනවා.
“මා වමත්කරුවකු බව තේරුම්ගත් විට මගේ මව කම්පාවට පත් වුණා. දකුණ අත භාවිත කරන්න යයි මට නිතර අවවාද කළා. වමත් භාවිතය අසුබ බව කිව්වා. කලක් මගේ දකුණතෙහි බෑන්ඞ් එකක් බැඳ තැබුවේ එම අත පාවිච්චි කිරීමට මට මතක් කිරීමට” ඔහු ආවර්ජනා කරනවා.
පසු කලෙක ඔහු වමත්කරුවකුව සිටීම පවුලේ උදවිය පිළිගත් නමුත් තවමත් සමාජ සම්බන්ධතාවලදී ඇතැම් දෙනා එය ප්‍රශ්න කරනවා. “බහුතර සම්ප්‍රදායෙන් මඳක් හෝ වෙනස් වන ඕනෑම දෙයක් වැරදියි, අසුබයි, අශීලාචාරයි කියන ගතානුගතික සමාජයක අපි ජීවත් වන්නේ. එයින් වමත්කරුවන්ට එල්ල වන්නේ අසාධාරණ මානසික පීඩනයක්.”
ඉන්දියාවේ වමත්ක රුවන් ජාලකරණය විශ්නොයි ඇරැඹුවේ 2009දී. ඒ එවකට ඔහු රැකියාව කරමින් සිටි ගෝව ප්‍රාන්තයෙන්. කුඩාවට පටන්ගත් ඉන්දීය වමත්කරුවන්ගේ සංගමය අද රට පුරා ව්‍යාප්ත වී, වඩාත් සංවිධානගත වී තිබෙනවා.
www. indian lefthander club.com
වමත්කරු ළමයින් හඳුනාගෙන, ඔවුන්ට ආත්ම ශක්තිය හා ධෛර්යය ලබාදීම සංගමයේ ප්‍රධාන කාරියක්. “වමත්කරුවෝ දක්‍ෂයෝ” නම් තරගයක් හරහා කලාවට, ක්‍රීඩාවට හෝ පොතේ උගැන්මට දක්‍ෂ වමත්කරු ළමයින් හඳුනා ගන්නවා. ඔවුන් 5,000ක් දෙනාගේ විස්තර හා ඡායාරූප අඩංගු පොතක් වාර්ෂිකව පළ කරනවා.
ඉන්දියානු වමත්කරු සංගමය විධිමත් අධ්‍යාපන තන්ත්‍රය සමඟ සහයෝගයෙන් පාසල්වලට යනවා. පාසල් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් දැනුවත් කරනවා. වමත්කරු ළමයින්ට නිදහසේ සිටින්නට අවශ්‍ය පසුබිම සකස් කරනවා. පාසල් තුළ එම ළමයින්ට සම්මන්ත්‍රණද පවත්වනවා.
“අපි වමත්කරු ළමයින්ට අවධානය යොමු කරන්නේ ඔවුන් පවුලේ හා පාසලේ පීඩනයට ලක්වීමට වඩාත් ඉඩ ඇති නිසායි. උපතින් හුරු අත වමත වූවත් කෙසේ හෝ බලහත්කාරයෙන් එම ළමයින් දකුණතට හුරු කරන්නට සමහර මාපියන් හා ගුරුවරුන් දැඩි උත්සාහයක් ගන්නවා.” විශ්නොයි කියනවා.
වමත්කරුවන්ගේ සංගමය දක්‍ෂ වමත්කරු ළමයින්ට ශිෂ්‍යත්ව ලබා දෙනවා. ජාතික මට්ටමේ විභාගවලදී ඉහළ ලකුණු ගන්නා වමත්කරු ළමයින් ඇගයීමට ලක් කරනවා.
ඉන්දියාවේ ඕනෑම තැනෙක සිටින, ඕනෑම වයසක වමත්කරුවකුට කථා කළ හැකි දුරකථන උදවු සේවයක් (Helpline) සවස 6 සිට 8 දක්වා ඔවුන් පවත්වාගෙන යනවා. මෙයට මාසයකට ඇමතුම් 100ක් පමණ ලැබෙනවා.
මනෝ විද්‍යා පුහුණුව ලත් වමත්කරුවන් ඇමතුම්වලට උත්තර දෙනවා. බහුතරයක් ඇමතුම් එන්නේ වමත්කරු ළමයින්ගේ මව්පියන්ගෙන් මේ සොබාවික තත්ත්වය අස්වාභාවික යයි සිතමින්. පවුලේ හා පාසලේ බල කිරීම් නිසා වමත්කරු ළමයින් මානසික රෝගවලට ද ලක්වනවා.
දුරකථනයට කථා කළ එක් පාසල් ළමයෙක් කීවේ තමන් වමතින් ආගමික වතාවත් කළොත් පහර දෙන බවට තම පාසල් බෝඩිමේ භාර ආචාර්යවරයා තර්ජනය කළ බවයි. පසුව බෝඩිං මාස්ටර්ට ඇමතුමක් ගත් විශ්නොයි, හින්දු දේව පුරාණයේ හා රාමායනයේ ප්‍රකට වමත්කරුවන් ගැන සිහිපත් කළා. දෙවිවරුන් හා වීරයන් අතර දවමත්කරුවන් සිටියා නම් ඔබේ දරුවන් අතර වමත්කරුවන් සිටීම ප්‍රශ්නයක් කර නොගන්න යයි සෙමින් අවවාද කළා.
වමත්කරුවකු වීම නිසා විවාහ සහකරුවකු සොයා ගැනීම දුෂ්කරව සිටින අයගෙන්ද ඇමතුම් ලැබෙනවා. සංගමය ඔවුන්ට කියන්නේ වමත්කරුවන් මිලියන් 100කට වඩා සිටින රටේ ඔවුන්ට සහකරුවකු ඒ පිරිස අතරින්ම හමුවිය හැකි බවයි.
ඉන්දියාවේ සිටින ජනප්‍රියම පුද්ගලයකු වන අමිතාබ් බච්චන් වමත්කරුවෙක්. සංගමය ඔහු සමඟ වැඩ කරනවා. ටාටා සමාගමේ අධිපති රටන් ටාටාද සහයෝගය පළ කර තිබෙනවා.
රටම හඳුනන ගරු කරන වමත්කරුවන් හරහා සමාජයට සියුම් පණිවුඩ දීම සංගමයේ එක් අරමුණක්. වමත්කරුවන්ට ලෙහෙසි යෙන් භාවිත කළ හැකි එදිනෙදා භාණ්ඩ වෙළෙඳපොළට හඳුන්වා දී ප්‍රචලිත කිරීම විශ්නොයිගේ දිගු කාලීන අරමුණක්.
ශ්‍රී ලංකාවේ වමත්කරුවන් සංවිධානය වී, ජාලගත වී සිටී දැයි මට සොයා ගත නොහැකි වුණා. එහෙත් ඔවුන්ගේ දුෂ්කරතා හා අවශ්‍යතා ගැන සමස්ත සමාජය මීට වඩා දැනුවත් හා සංවේදී වීම අවශ්‍යයි.
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්‍ෂෙත්‍රයෙන් මෙය අරඹමු. පාසල් හා සරසවිවලට මේස පුටු තැනීමේදී වමත්හුරු සිසුන්ට ලෙහෙසියෙන් භාවිත කළ හැකි ආකාරයේ සැලසුම්වලට ද යම් ඉඩක් දෙන්න. (අඩුම තරමින් 10%ක් අවස්ථාවල). වමත් හුරු ළාබාල සිසුන් පීඩාවට පත් කරනු වෙනුවට ඔවුන්ගේ අනන්‍යතාවට ගරු කරන්න හා දිරි දෙන්න ගුරුවරුන් දැනුවත් කරන්න.
මානව විවිධත්වයට හා මානව සමානාත්මතාවට ගරු කරන සමාජයක් බිහි කිරීමට මුල් පියවර විධිමත් අධ්‍යාපනයෙන් තැබිය හැකියි.■