අධ්‍යාපනයේ අ ර් බු ද ය


ivan

ෙකාළඹ විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යාව සඳහා බීඑස්සී උපාධියක් හිමිකරගෙන වැඩිදුර අධ්‍යාපනය සඳහා ඇමරිකාවේ හාවර්ඞ් විශ්වවිද්‍යාලයට ගොස් එම විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් හිමිකර ගනිමින් එම විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කටයුතුවල නිරත වූ භෞතික විද්‍යාඥයකු වූ රංග ඩයස් විද්‍යාත්මක තලයේ මහා පෙරළියක් ඇති කිරීමට හේතුවන සොයා ගැනීමක් කිරීමට සමත් වී තිබේ. ඔහු විසින් කර තිබෙන සොයා ගැනීම වී තිබෙනුයේ ලෝහ හා අලෝහ යන දෙවර්ගයේම ගුණ තිබෙන සැහැල්ලුම මූලද්‍රව්‍ය වායුවක් වන හයිඩ්‍රජන් ඝන ලෝහයක් බවට පත්කිරීමය. මෙම සොයා ගැනීම විද්‍යාත්මක තලයේ මහා පරිවර්තනයක් ඇති කිරීමට හේතුවන මහා සොයා ගැනීමක් ලෙස වාර්තාවේ. එහෙත් පුදුමයකට මෙන් එම තරුණ විද්‍යාඥයා ලංකාවේ ජනමාධ්‍යවලට හෝ ජනනායකයන්ට වැදගත් වී නැත. තවමත් ලංකාවේ ඔහු ගැන පළවී තිබෙනුයේ ලොකු නිහඬතාවකි.
අප දැවැන්තයන් ලෙස සලකන්නට හුරුවී තිබෙන්නේ නළු නිළියන් හෝ ගායක ගායිකාවන්ය. නැතහොත් ක්‍රීඩකයන්ය. ඒ ගණයෙහිලා සලකනු ලබන සියලු දැවැන්තයන් ලැබූ ජයග්‍රහණයන් එකට ගත්තද මේ තරුණ විද්‍යාඥයා ලබා තිබෙන ජයග්‍රහණය දැවැන්තය. සමහරවිට ඔහුට නොබෙල් ත්‍යාගය පවා හිමිවිය හැකිය. නළු නිළියන් ගායක ගායිකාවන් හෝ ක්‍රීඩකයන් ලබන ජයග්‍රහණවලදී අපේ රාජ්‍ය නායකයන් පවා එවැනි අයට කතා කොට ඔවුන්ට දුරකතනයෙන් සුබ පතන අවස්ථා එමටය. එවැනි සුබ පැතුම්වලට ජනමාධ්‍ය වලින්ද මනා ආවරණයක් ලබාදෙයි. එහෙත් රංගන ඩයස් නමැති තරුණ විද්‍යාඥයාට ලංකාවෙන් කිසිම පිළිගැනීමක් ලැබී නැත. ඒ සියල්ල එසේ වී ඇත්තේ ලංකාවේ නූගත්කම නිසාද? එසේ නැතිනම් ලංකාව විද්‍යාවට කිසිම වැදගත්කමක් ලබා නොදෙන අවිද්‍යාවේ රටක් බවට පත්ව තිබෙන නිසාද?
ලංකාවේ විද්‍යාව වෙනුවට රජ කරන්නේ මිථ්‍යාවය. රටේ සියලු කටයුතු සිදුවන්නේ සුබ නැකතටය. සුබ නැකත පමණක් නොව මරුවා සිටින දිශාවද රූපවාහිනී නාලිකා මගින් මහජනයාට දිනපතා කියා දේ. විභාග කොමසාරිස්වරයා විභාග පවත්වන්නේ ශිෂ්‍යයන්ට රාහු කාලයෙන් කරදරයක් ඇති නොවන ආකාරයටය. රජරට ජනතාවගේ ජීවිත කෙරෙහි බලපා ඇති හේතු සොයා ගත් වකුගඩු රෝගය පිළිබඳව නාමධාරී විශ්වවිද්‍යාලයක් සිය පර්යේෂණය පවත්වන ලද්දේ පේනකාරියකගෙන් ලබාගත් මගපෙන්වීම් ඔස්සේය. රටේ සියලු දේවල් සිදුවන්නේ සුබ නැකතට වුවද රටේ සියලු දේවල් තිබෙන්නේ කුණුවූ තත්ත්වයකය. මන්ත්‍ර කාරයන්, පේනකාරයන් රජකරන රටක ලංකාවේ රංග ඩයස්ට හිමිවී තිබෙන තත්ත්වය ගැන පුදුම විය හැක්කේ කෙසේද?

මත්ද්‍රව්‍ය
පුනරුද ව්‍යාපාරයට එකතු වන්නන් අතර සිටින අධ්‍යාපනඥයන්ගේ ගණයට වැටෙන අයගේ අනුපාතිකය සියයට 20ක් හෝ සියයට 25ක් තරම් විශාල වේයැ’යි කිවහැකිය. ඒ අය අතර අධ්‍යාපනඥයන්ද, විදුහල් පතිවරුන්ද, ගුරුවරුන්ද සිටිති.
පොළොන්නරුව දිස් ත්‍රික්කයේ කරන ලද සංචාරයේදී මට එක්තරා විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන ශිෂ්‍යයකු සමඟ දීර්ඝ සාකච්ඡාවක නිරතවීමේ අවස්ථාව ලැබුණි. මා ඔහු සමඟ කතා කරන ලද විවිධ මාතෘකා අතර එක් වැදගත් මාතෘකාවක් වූයේ පාසල් ශිෂ්‍යයන් හා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අතර මත්ද්‍රව්‍ය භාවිතයයි. පාසල් ශිෂ්‍යයන් ගැන කතා කරන විට ඔහු කීවේ පිරිමි ශිෂ්‍යයන්ගෙන් වැඩි පිරිසක් සමහරවිට සියයට 80ක් තරම් ප්‍රමාණයක් විශේෂිත මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වී සිටින බවය. 9 වැනි වසරේ සිට එම ලක්ෂණය රට හැමතැනම පාහේ දක්නට තිබෙන බවද ඔහු කීවේය. පාවිච්චි කරන මත්ද්‍රව්‍ය විශේෂය කුමක්දැයි විමසූ විට ඔහු කීවේ මං හදාගත් ඉතාමත් අඩු වියදමකින් නිපදවා ගතහැකි මත්ද්‍රව්‍ය විශේෂයක් බවය. එම මත්ද්‍රව්‍ය විශේෂය ශිෂ්‍ය ප්‍රජාව අතර හැඳින්වෙන්නේ ටූල් යන නමිනි. ඒ සඳහා විශේෂ දුම්කොළයක් යොදා ගන්නා බවත්, දුම්කොළය මත හුණු තවරා එම හුණු අතුරන ලද දුම්කොළ ස්ත්‍රික්කයකින් මැදගෙන ඉන්පසු එම දුම්කොළය කුඩු කොට ඉන් සුළු ප්‍රමාණයක් යටිතොලේ මැද තබාගන්නා බවත්, ඒ මගින් ප්‍රබෝධජනක මතයක් ඇති බවත් ඔහු කීවේය. සමහර ශිෂ්‍යයන් ඔවුන්ට ඔවුන්ගේ මිතුරන්ට අවශ්‍ය ටූල් ඔවුන් විසින්ම නිපදවා ගන්නා බවත් තවත් සමහරවිට පැකට් කළ ටූල් පාසල් අවට විකුණන්නට තිබෙන බවත් ටූල් භාවිතය සඳහා යන්නේ ඕනෑම කෙනෙකුට දැරිය හැකි පුංචි වියදමක් පමණක් බවත්, එහෙත් සමස්ත පිරිමි ශිෂ්‍ය ප්‍රජාව මෙම මත්ද්‍රව්‍ය විශේෂයට තදින් ඇබ්බැහි වී සිටින බවත් ඔහු කීවේය.
ටූල් ස්වල්පයක් යටිතොලේ තබා ගත් විට සියුම් කම්පන තරංග දෙකක් මුහුණ හා කන්දෙක හරහා මොළයට ගමන් කරන බවක් දැනෙන බවත් එම විශේෂ තත්ත්වය විශේෂ සුවයක් හා ප්‍රාණවත් බවක් ලබාදෙන බවත් කියා සිටියේය. මීට වසර කිහිපයකට ඉහතදී මා කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩ කරන ගුරුවරයෙකු සමඟ කරන කතාබහකදීද ඊට සමාන කතාවක් මා සමඟ කියා තිබුණි. ඔහු උගන්වන පාසලේ පන්තිවලට එන ළමුන්ගේ මුහුණුවල මත්වූ පෙනුමක් පෙනෙන්නට තිබෙන බවත් ඒ මුහුණුවල පෙනුම ස්වාභාවික නොවන බවත් ඔහු කීවේය. එම ශිෂ්‍යයන් පරිහරණයට ගන්නා මත්ද්‍රව්‍ය විශේෂය කුමක්ද කියා එම ගුරුවරයා කීවේ නැතත්, කරුණු සොයා බැලීමට ගියහොත් එම ජාවාරම්වලට සම්බන්ධ අයගෙන් එල්ල විය හැකි තර්ජන ගර්ජන නිසාත් ගුරුවරු එම ප්‍රශ්නයට මැදිහත්වන්නට කැමති නැති බව කීවේය.
නිකවැරටිය පැවති සාකච්ඡා සභාවේදී ඊට සහභාගි වූ ගෘහණියක අදහස් පළකරන අවස්ථාවේදී කීවේ තමන්ට ඉන්නේ එක් පුතෙකු පමණක් බවත් ඔහුගේ අනාගතය ගැන තමන්ට ඇත්තේ ලොකු බයක් බවත්, මේ කාලයේදී තාත්තලාගේ කාර්යභාරය විශ්වාසයට හේතු නොවන බවත් කියා සිටියාය. ඇය තුළ බියක් ඇති කිරීමට හේතුවන්ට ඇත්තේත් මත්ද්‍රව්‍ය විය හැකිය. කවදා හෝ තම පුතා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවහොත් ඇයගේ පුතාගේ ජීවිතය කාලකණ්ණි වනු ඇතැයි කියන බියක් ඇය සිත තුළ පවත්නා බව පෙනේ. විශ්වවිද්‍යාලවල පවත්නා තත්ත්වය ගැන මා එම විශ්වවිද්‍යාලයක ශිෂ්‍යයකු සමඟ කතා කළ විට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ද බහුතරයක් ටූල්වලට ඇබ්බැහි වී සිටින බවත් ඊට අතිරේකව සුළු පිරිසක් කේරළ ගංජාවලටද ඇබ්බැහි වී සිටින බවත් ඔහු කීවේය.

පාසල් ක්‍රමයේ අශීලාචාරත්වය
බැලූ බැල්මට පෙනෙන්නේ ටූල් නමින් භාවිත කරන මත්ද්‍රව්‍ය විශේෂය හෙරොයින් වැනි බිහිසුණු ප්‍රතිඵල ඇති කිරීමට හේතුවන මත්ද්‍රව්‍ය විශේෂයක් නොවන බවය. එහෙත් පාසල් ශිෂ්‍යයන් හා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විශාල පිරිසක් ටූල්වලට ඇබ්බැහි වී ඇත්නම් මනස මුල් කරගත් ලොකු සමාජ ප්‍රශ්නයක් රටේ ශිෂ්‍ය ප්‍රජාව අතර තිබෙන බව පෙනී යයි.
අපට තිබෙන්නේ ළමා වයසේ ළමුන්ට ළමා ජීවිතයකට ඉඩ නොදෙන ළමා කාලයේ පටන්ම අනවශ්‍ය තරම් තරගකාරීත්වයකට ළමුන් තල්ලු කරන අධ්‍යාපන ක්‍රමයකි. ටියුෂන් පන්තිවලට ළමුන් යැවීම ආරම්භ කරන්නේ පහේ ශිෂ්‍යත්ව පන්ති කාලයේ සිටමය. අනාගතයේ තෝරා ගතයුතු වෘත්තිය හා ඒ සඳහා තෝරාගත යුතු විෂය ධාරාව ළමුන්ට නියම කරන්නේ අම්මලාය. එහිදී ළමයාට තිබෙන විශේෂ දක්ෂතා හෝ කැමැත්ත සැලකිල්ලට ගන්නේ නැත. අම්මාගේ සිහිනය සැබෑ කිරීමට දරුවාට යන්ත්‍රයක් ලෙස ක්‍රියාකරන්නට සිදුවේ. එම යාන්ත්‍රික ක්‍රියාවලිය දරාගත නොහැකිව රෝගීන් බවට පත්වන දරුවන්ගේ සංඛ්‍යාව අතිවිශාලය.
රටේ පාසල් ක්‍රමය සකස් කර තිබෙනුයේද උපරිම මට්ටමක අශීලාචා රත්වයක් කුළුගැන්වෙන ආකාරයටය. බිලිඳකු කුසේ පිළිසිඳගත් දා සිටම එම දරුවා යැවිය යුතු පාසල වෙනුවෙන් පිඹුරුපත් සකස් කරන්නටත් විවිධාකාරයේ දහංගැට ගසන්නටත් මාපියන්ට සිදුවේ. පාසල් ක්‍රමය තුළ ඇති කර තිබෙන උස් පහත් භේදය නිසා උසස් ගණයෙහිලා සැලකෙන පාසල් සඳහා සපුරාලිය නොහැකි ලොකු ඉල්ලුමක් ඇති කිරීමට හේතුවී තිබෙන අතර ඒ නිසා උසස් ගණයෙහිලා සැලකෙන පාසල්වලට ළමුන් ඇතුළත් කරගැනීම සඳහා අල්ලස් ලබාගැනීමේ ක්‍රමයක් ස්ථාපිත වී තිබේ.
පාසල් අතර පවත්නා පන්ති පරතරය නැති කොට සමාන තත්ත්වයක් ඇති පාසල් ක්‍රමයක් ඇති කළ හැකි බව ඒ ගැන කරන ලද අධ්‍යයනයන් ඔස්සේ මීට අවුරුදු 20කට ඉහතදී මම පෙන්වාදී ඇත්තෙමි. මාගේ යෝජනා ක්‍රමය අනුව රටේ තිබිය යුත්තේ ආණ්ඩුවේ පාසල් ක්‍රම තුනක් පමණය. 1 වැනි පන්තියේ සිට 5 පන්තිය දක්වා උගන්වන ප්‍රාථමික පාසල්ද, 6 වැනි පන්තියේ සිට 11 වැනි පන්තිය දක්වා උගන්වන අතරමැදි පාසල්ද, 12 සහ 13 පන්ති සඳහා උගන්වන උසස් පෙළ පාසල් ද වේ.
මා ගණනය කර තිබූ ආකාරයට එවැනි ක්‍රමයකට පාසල් ක්‍රමය ප්‍රතිසංවිධානය කළ විට මෙම තුන් වර්ගයට අයත් පාසල් 9662ක් රටේ තිබෙනු ඇත. ඉන් පාසල් 7000ක් 1-5 වසර පන්ති සඳහා උගන්වන ප්‍රාථමික පාසල්ද, තවත් පාසල් 2000ක් 6-11 යන වසර සඳහා උගන්වන මැදි පාසල්ද, ඉතිරි පාසල් 662 12-13 වසරවල් සඳහා උගන්වන උසස් පෙළ පාසල්ද වනු ඇත. 1-5 පාසලක අධ්‍යාපනය ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 250ක් පමණද, 6-11 පාසලක අධ්‍යාපනය ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 1000ක් පමණද, 12-13 පාසල්වලදී අධ්‍යාපනය ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 600ක් පමණ ද වනු ඇත. එම පාසල් ක්‍රමයේ ගුරුවරුන්ට අදාළ දත්ත මෙසේය.
ප්‍රාථමික පාසලට වැටෙන ගුරුවරු සංඛ්‍යාව 10කි.
මැදි පාසලකට වැටෙන ගුරුවරු සංඛ්‍යාව 60-70 අතර වේ.
උසස් පාසලකට වැටෙන ගුරුවරු සංඛ්‍යාව 25-35 අතර වනු ඇත.
එවැනි පාසල් ක්‍රමයක් ක්‍රියාත්මක වන විට ලංකාවේ සියලු දරුවන්ට පළමු පාසල තෝරා ගැනීමේදී තමන්ගේ නිවසට ළඟම තිබෙන පාසල තෝරා ගැනීමට සිදුවනු ඇත. පාසල් සඳහා අල්ලස් ලබාදීමේ අවශ්‍යතාවද ඒ සමඟ නැතිවනු ඇත. පුංචිම ළමුන් පාසල් යැවීමට වාහන අවශ්‍ය නොවනු ඇත. එම තත්ත්වය රටේ මාර්ගවල තිබෙන වාහන තදබදය ලිහිල් කිරීමට හේතුවනු ඇත.
එවැනි පාසල් ක්‍රමයක් පාසල් කළමනාකරණය හා අධීක්ෂණය පහසු කරයි. සුදුසු විදුහල්පතිවරුන් හා ගුරුවරු බෙදාහැරීමද පහසු කරයි. අධ්‍යාපනය සඳහා සම්පත් බෙදාහැරීම හා නවීන ඉගැන්වීම් ක්‍රම යොදා ගැනීම පහසු කරයි. එවිට රටේ තිබෙන සියලු පාසල්වල ස්වභාවය එක සමාන වනු ඇත. විවිධ නාමවලින් පවත්වාගෙන යන නාමධාරී පාසල් ක්‍රමය අහෝසි වනු ඇත. ආගම්වල නාමයෙන් පවත්වා ගෙන යන පාසල් ක්‍රමයද අහෝසි වනු ඇත.
මා යෝජනා කර තිබුණු ආකාරයකට සමාන ආකාරයකට පාසල් ක්‍රමය ප්‍රතිසංවිධානය කිරීමේ වැදගත්කම ආචාර්ය ලාල් පෙරේරා ජාතික අධ්‍යාපන කොමිසමේ සභාපතිව සිටියදී රජයට යෝජනා කර තිබුණි. තමුන් ඉදිරිපත් කළ නිර්දේශ කෙරෙහි බලපෑ හේතු ඔහු වෙනත් පුද්ගලයෙකුට විස්තර කර තිබුණි. ඒ බව මට දැනගන්නට ලැබුණේ වෙනත් පුද්ගලයෙකුගෙනි. ආචාර්ය ලාල් පෙරේරාට අනුව ඔහු ඒ ක්‍රමය ලබාගෙන තිබුණේ මගෙනි. එය මගේ ක්‍රමයක් ලෙස නිර්දේශ නොකළේ අනවශ්‍ය ප්‍රශ්න ඇතිවීම වළකා ගැනීම සඳහාය.

ගුරුවරුන්ගේ කාර්යභාරය
පාසල්වල ගුරුවරුන්ගේ කාර්යභාරයද වෙනස් කළ හැකිය. විෂය නිර්දේශ හා පෙළපොත් සඳහා යොදා ගන්නා ක්‍රමවේද වෙනස් කළ හැකිය. ගුරුවරුන් අතර සියලු සුදුසුකම් තිබෙන දක්ෂ ගුරුවරුන් සිටිනවා සේ ම සුදුසුකම් නැති ගුරුවරුන් සේ ම සුදුසුකම් තිබුණද ඉගැන්වීමට දක්ෂ නැති ගුරුවරුන්ද සිටින්නේය. ගණිතය ඉංග්‍රීසි වැනි විෂයයන් සඳහා ප්‍රමාණවත් තරමින් දක්ෂ ගුරුවරුන් නැතිකමේ ප්‍රශ්නයක්ද ඇත්තේය.
දේශීය සංස්කෘතිය, දේශීය ඉතිහාසය හා දේශීය භූගෝලය යන විෂයන්වලදී හැර අන් සියලු විෂයයන් ලෝකයටම පොදුය. අපට විෂය නිර්දේශ පෙළපොත් හා පාඨමාලා පාසල් අධ්‍යාපනය උසස්ම තත්ත්වයකින් පවත්වාගෙන යන රටකින් කොපි කළ හැකිය. ඒ සඳහා අවශ්‍ය අනුමැතියද ලබාගත හැකිය. එවිට පෙළපොත් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් ඇති නොවේ. තෝරාගත් රටේ පෙළපොත් සිංහල භාෂාවට හා දෙමළ භාෂාවට පරිවර්තනය කොට මුද්‍රණය කිරීමක් පමණක් සිදුවනු ඇත. පාඨමාලා උගන්වන ක්‍රමද ඒ රටින්ම කොපි කළ හැකිය. හොඳ දෙයක් අනුන්ගෙන් ලබාගැනීමට ලැජ්ජා විය යුතු නැත. ගුරුවරයාගේ කාර්යභාරය පසුබිම් කාර්යයකට සීමා කොට පන්ති කාමරයේ ඉගැන්වීම නවීන තාක්ෂණයෙන් කරන දෙයක් බවට පත් කළ හැකිය. ඒ සඳහා අවශ්‍ය විද්‍යුත් පාඨමාලාද කොපි කළ හැක. නැතහොත් අලුතෙන් වුවද සකසා ගත හැකිය.
එවිට ඕනෑම විෂයක්මත් මුළු රටේම උගන්වන ක්‍රමය එක සමාන වනු ඇත. උගන්වන දේවල්ද එක සමාන වනු ඇත. දක්ෂ ගුරුවරුන් ඇතිකම හා නැතිකම නිසා ශිෂ්‍යයන්ට මුහුණ දෙන්නට සිදුවන අපහසුතා මුළුමනින් නැතිවී යනු ඇත. පාසල්වල භාවිත කෙරෙන විද්‍යුත් මාධ්‍යයෙන් උගන්වන ක්‍රම නිසා වඩා ප්‍රබල ආකාරයකින් ඉගෙන ගැනීමේ හැකියාව ශිෂ්‍යයන්ට ලැබෙනු ඇත. සියලුම පාසල්වල එකම විදියකට එකම කාලයකටම සියලු විෂය නිර්දේශ ආවරණය කිරීමේ හැකියාව ලැබේ. ඒ මගින් ටියුෂන් අධ්‍යාපනයට ලැබී තිබෙන අතිවිශාල වැදගත්කමද නැති කළ හැකිය. එවැනි ක්‍රමයක් නිසා පාසල් ශිෂ්‍යයන්ට අධ්‍යාපනයේ යෙදෙනවාට අතිරේකව ජීවිතය ගොඩනගා ගැනීමට බාහිර ක්‍රියාකාරකම්වල යෙදීමේ හැකියාවද ලැබෙනු ඇත.
විෂය අධ්‍යාපනය සඳහා යොදාගන්නා විද්‍යුත් පාඨමාලා උසස් ප්‍රමිතියකට නිපදවිය හැකිනම් අධ්‍යාපනය කෙරෙහි වන අලුත් ප්‍රබල උනන්දුවක් ශිෂ්‍ය ප්‍රජාව තුළ ඇතිවනු ඇති අතර අසමත්වන්නන්ගේ අනුපාතිකයේද යහපත් වෙනසක් ඇති කිරීමට හේතුවනු ඇත. හැම පාසලකම උගන්වන දේවල් එක සමාන අගයක් ගැනීම නිසා පාසල්වල ඇති පන්ති ස්වරූපය නැති කිරීමට එයද වැදගත් හේතුවක් ලෙස ක්‍රියාකරනු ඇත.
විද්‍යුත් පාඨමාලා තනා ගැනීමට අවශ්‍ය වියදම් පෙළපොත් හා නිල ඇඳුම්වලට කරන වියදමින් පියවාගත හැකිය. ශිෂ්‍ය ප්‍රජාවට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම රජයේ ප්‍රධාන වගකීම විය යුතුය. ළමුන්ට අවශ්‍ය පෙළපොත් හා නිල ඇඳුම් ලබාදීම මාපියන්ගේ වගකීමක් විය යුතුය. එම මූලික අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට බැරි අය සිටිත් නම් ඒ අයට පමණක් සහන ලබාදෙන ක්‍රමයක් ඇති කළ හැකිය. මුදල් ගෙවා ලබාගන්නා ටියුෂන් අධ්‍යාපනය අත්‍යවශ්‍ය නොවන දෙයක් බවට පත් කළ හැකි නම් හා රජයේ වියදමින් පාසල් යන ශිෂ්‍යයන්ට හොඳ ගුණාත්මක අධ්‍යාපනයක් ලැබෙන්නේ නම් අධ්‍යාපනය සඳහා අවශ්‍ය පෙළපොත් හා ඇඳුම් ලබාදීම මාපියන්ට ලොකු බරක් වන්නේ නැත.
හොඳ විද්‍යුත් පාඨමාලාවලින් සමන්විත පාසල් අධ්‍යාපන ක්‍රමයකට අපට මාරුවිය හැකි නම් ගුරුවරුන්ගේ කාර්යභාරයද බොහෝ වෙනස්වනු ඇත. විද්‍යුත් අධ්‍යාපන වැඩසටහන් කළමනා කරණය කිරීම එම අධ්‍යාපන වැඩසටහන්වල දුර්වලතා ඇතොත් ඒ ගැන අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම, වැඩසටහන අවසන් කිරීමෙන් පසු පන්ති කාමරයේ පැවැත්වෙන පොදු සාකච්ඡාවකට නායකත්වය දීම, ඔවුන්ට ගෙදර වැඩ සඳහා අභ්‍යාස ලබාදීම, ළමුන්ගේ මානසික සංවර්ධනය දියුණු තත්ත්වයක තබාගැනීම සඳහා ක්‍රියාකිරීම පාසලේ කළමනාකරණයට දායකවීම වැනි දේවලට ගුරුවරයාගේ කාර්යභාරය සීමා කළ හැකිය. ඒ මගින් ගුරුවරුන්ද තමන්ගේ දැනුම වර්ධනය කරගැනීමට උනන්දුවෙන් ක්‍රියාකරන, තෘප්තිමත්ව හා ආත්ම විශ්වාසයෙන් වැඩ කරන ගුරුවරුන් බවට පත් කළ හැකිය.
නූතන අර්ථයෙන් පාසල් අධ්‍යාපනයේ අරමුණ විය යුත්තේ දුෂ්කරතා ඇතොත් ඒවාට මුහුණදෙමින් ඉදිරියට යෑමට අවශ්‍ය ආත්ම විශ්වාසය ඇති, තමන්ගේ අයිතිවාසිකම්වලට පමණක් සීමා නොවී අන්‍යයන්ගේ අයිතිවාසිකම්වලට ගරු කරන බහුත්වවාදී ආකල්පවලින් යුතු තමන්ගේ රටේ පමණක් නොව ඕනෑම රටක වැඩ කිරීමට සූදානම් ඒ සඳහා අවශ්‍ය දැනුම ඇති දේශීය වශයෙන් පමණක් නොව ලෝක මට්ටමෙන්ද හොඳ සංස්කෘතික පුරවැසියන් බිහිකිරීමය.
නිදහස් අධ්‍යාපනය සඳහා කරන වියදම් නිදහස් අධ්‍යාපනය ලබාගත් පුද්ගලයන්ගෙන් ඔවුන්ගේ ඇඟට නොදැනෙන ලෙස කොටස් වශයෙන් ආපසු අයකර ගන්නා ක්‍රමයක් ඇති කළ හැකිය. ඒ මගින් අනාගත අධ්‍යාපනය දියුණු තත්ත්වයක පවත්වාගෙන යෑම සඳහා දැවැන්ත අරමුදලක් ඇති කරගත හැකිය. ඒ මගින් අධ්‍යාපනය සඳහා රජයට දරන්නට සිදුවී තිබෙන අතිවිශාල බරද සැහැල්ලු කළ හැකිය.■