Untitled-1

Untitled-1

පිට කොන්ද කියන්නේ වචන දෙකක් නොවේ


kathu

ජනාධිපතිතුමා තමාට ඇති පිට කොන්ද ගැනත්, අන් අයට නැති පිට කොන්ද ගැනත් පසුගිය සතියේ ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් ඉදිරියේ ශක්තිමත් කතාවක් කළේ ය. ඔහු පිට කොන්ද ගැන කීවේ, විදේශීය විනිසුරුවරුන් සහිත අධිකරණ යාන්ත්‍රණයක් ලංකාව සම්බන්ධයෙන් පිහිටුවිය යුතුයැ’යි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයා ජිනීවාහි පසුගිය සතියේ දී නැවතත් කළ අවධාරණය පැය විසිහතරක් තුළ ප්‍රතික්‍ෂෙප කරමිනි. තමා කොන්දක් ඇති බව එම ප්‍රකාශයෙන් කියන්නට තැත් කළ ජනාධිපතිවරයා, කොන්ද පණ නැති පුද්ගලයන් ගැන ද, කොන්ද පණ නැති පුද්ගලයන් සමඟ ඉදිරි ගමනක් නැති බව ද එහි දී කීවේ ය. කොන්ද පණ නැති පුද්ගලයන් කව්දැයි එතුමා නම් කර නොකී නිසා එය පැහැදිලි නැතත්, කතාවේ ගලා යෑම අනුව නම්, කොන්ද පණ නැති පුද්ගලයන් කියන්නට ඇත්තේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී විවිධ එකඟතාවලට ලංකාව වෙනුවෙන් ඇතුළු වන පුද්ගලයන් ගැන විය යුතු ය.
පුද්ගලයන් ගැන කතාව පැත්තකින් තිබ්බොත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියේ විවිධාකාර ජාත්‍යන්තර එකඟතාවලට අනුකූල වීම නම් කොන්ද පණ නැතිකමක් ලෙස නොසැලකිය යුතු ය. එක්සත් ජාතීන් සමඟ හෝ වෙනත් ජාත්‍යන්තර සාමූහිකයන් සමඟ හෝ ඇති කර ගන්නා එකඟතා කොන්ද පණ නැතිකමක් ලෙස සැලකීම පරණ ගෝත්‍රික ක්‍රමයකි. මහින්ද රාජපක්‍ෂ නමැති අත්තනෝමතික පාලකයා හරියටම වැඩ කළේ ඒ කියන මූලධර්මය අනුව ය. ඔහුත් ජාත්‍යන්තර එකඟතා අනුව වැඩ කිරීම දුටුවේ කොන්ද පණ නැතිකමක් ලෙස ය. කොන්ද පණ ඇති ආකාරයට කටයුතු කරන්නට ගොස්, ඔහුට අන්තිමේ සිංහාසනයෙන් ද බැස යන්නට සිදු විය. තව වාරයක් ඔහු රටේ ජනාධිපති වී නම්, ලංකාව එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල බලවත් අපකීර්තියට ලක්වන, සමහර විට ආර්ථික සම්බාධකවලට පවා ලක් වන අර්බුදකාරී රටක් බවට පත්වන්නට තිබුණි.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කර ගත් දේශපාලන බලවේග වනාහි ඒ රාජපක්‍ෂ ගමන් මාර්ගය පිළිකෙව් කළාහු ය. මහින්ද රාජපක්‍ෂ පිළිවෙත තවදුරටත් අනුගමනය කළේ නම් රටට විය හැකි විනාශය පෙර දුටු අය ය. දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ද මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ අදහස් හා වචන පුනරුච්චාරණය කරන විට, ඒ වෙනසක් පැතූ ජනතාවට දැනෙන්නේ පුද්ගලයා මාරු වූවාට චින්තනය මාරු වී නැති බව ය. එය අවාසනාවන්ත තත්ත්වයකි. එවැනි තත්ත්වයක් ලංකාවට නැවතත් උදා නොවිය යුතු අතර, එවැනි තත්ත්වයක් ඇති නොවීම සඳහා වැඩ කර පෙන්විය යුත්තේ ද ජනාධිපති සිරිසේන ම ය.
ජනාධිපති ධුරයට පත් වූ ආසන්නයේ විවිධ ජාත්‍යන්තර සාකච්ඡා මණ්ඩපවලදී තමාට ලැබුණු ඉහළ පිළිගැනීම ගැන ජනාධිපතිවරයා මහත් අභිරුචියෙන් කතා කර ඇත්තේ වරක් දෙවරක් නොවේ. ඇත්ත වශයෙන් ම ඒ බහුමානය ජනාධිපතිවරයාට ලැබුණේ ඔහුගේ මූලිකත්වයෙන් රට තුළ ඇති වුණු විවිධ ප්‍රජාතාන්ත්‍රික වෙනස්කම් නිසා ය. ආරම්භයේ ලත් ඒ බහුමානය තවදුරටත් ඔහු වෙත පවතිනු ඇත්තේ අනාගතයේදී ද ඒ ප්‍රජාතාන්ත්‍රික වෙනස්කම් වැඩිදියුණු කරමින් පවත්වා ගත හොත් පමණෙකි. ජාත්‍යන්තර එකඟතාවලට අනුකූල ව රටක් පාලනය කිරීම කොන්ද පණ නැතිකමක් නොවේ. එවැනි ආවේගාත්මක වචනවලින් විග්‍රහ කරන්නට බැරි තරමේ උසස් රාජ්‍ය තාන්ත්‍රික සම්ප්‍රදායකි. ඊටත් වඩා වචනවලින් නොව ක්‍රියාවෙන් ම ඔප්පු කළ යුතු දෙයකි.
කොන්ද පණ තිබෙන කිසිවකු මේ කාලයේ ලංකාවේ කළ යුත්තේ කුමක්දැ’යි කිසිවකු ප්‍රශ්න කළහොත් දිය හැකි පිළිතුරු කිහිපයකි. එකක්, පසුගිය කාලයේ ලංකාවේ අපරාධ, දූෂණ, වංචා හා මහජන දේපළ මංකොල්ලකෑම්වල යෙදී සිටි සියලුම පුද්ගලයන්, තමාගේ සමීපතමයන් ද, විරුද්ධකාරයන් ද යන්න නොසලකා නීතිය ඉදිරියට පැමිණවීම ය. අනෙක, රණවිරුවන් නමින් පෙනී සිටිමින් රටේ නීතිය කඩ කරමින් අපරාධ කළ අපරාධකරුවන් තරාතිරම නොබලා නීතිය ඉදිරියට ගෙනැවිත් දඬුවම් දීම ය. යුද්ධයෙන් පීඩාවට පත් වූ සියලු ජනකොටස්වලට යුක්තිය සාධාරණය ඉටු වන පරිදි කටයුතු කිරීම ය. දෙමළ ජනතාවට පිළිගත හැකි බලය බෙදා හදා ගැනීමක් ව්‍යවස්ථාගත කිරීම ය. ජනතාවට වුවමනා වූ පරිදි විධායක ජනාධිපති ධුරය අහෝසි කොට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට අවංක ව වැඩ කිරීම ය.■