රණවිරුවන්ගේ නාමයෙන් අපරාධකාරයන්ට රැකවරණය ලබා දෙන්නේ ඇයි?

මහාචාර්ය සරත් විජේසූරිය

ලංකාවේ දීර්ඝ කාලයක් තිස්සේ පැවති යුද්ධය නිමා කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කිරීම අවශ්‍ය විය. ඊට හේතු වන්නේ යුද බිමේ දී මිය යන සංඛ්‍යාව ඉහළ යාම නිසා දුර්වල වූ හමුදා සේවයට බැඳෙන සංඛ්‍යාව අඩු වීමය. මේ සංදර්භය තුළ හමුදා සේවය සඳහා තරුණයන් බඳවා ගැනීමට විවිධ ක්‍රියා මාර්ග ගැනිණ. එසේ ගන්නා ලද ක්‍රියා මාර්ග සාර්ථක විය. එසේ ගන්නා ලද එක් ක්‍රියා මාර්ගයකයකට අනුව ‘රණ විරුවන්’ යන යෙදුම නිර්මාණය වන්නේය. හමුදාකාරයා, සොල්දාදුවා යන යෙදුම්වල නොවූ ගෞරවනීයත්වයක් රණ විරුවා යන යෙදුමෙහි තිබිණි. යුද්ධයට ගොස් මිය යන ත්‍රිවිධ හමුදා සේවයේ නිරත කාටත් සමාජයෙන් හිමිවුණ ගෞරවනීය ප්‍රණාමය වේගයෙන් ඉහළට එසවීමට ද මේ යෙදුම වැදගත් විය. කෙසේ හෝ යුද්ධය නිම කිරීමට ත්‍රිවිධ හමුදාව සමත් වන්නේය. එහෙත් ලංකාවේ තරුණ ජනගහනයෙන් සැලකිය යුතු පිරිසකට යුද්ධය නිසා ජීවත්වීමේ අයිතිය නැති විය. තවත් පිරිසකට මියෙන තුරා ආබාධිත ජීවිත ගත කිරීමට ද සිදුවී තිබේ. මේ සියලු දෙනාටම රටවැසියන් ණය ගැතිය. එහි වාදයක් නැත. එහෙත් යුද්ධය නිසා හමුදා සේවයට බැඳී අවි පරිහරණයට පුහුණුවක් ලබා හමුදාවෙන් පැන ගිය කිසිවෙකුට රණ විරුවෙකුගේ ගෞරවන ීයත්වය හිමි වන්නේ නැත. එසේ නම්, ආණ්ඩුවේ උවමනාවට සේවයේ නිරතව සිටින අතරේම විවිධ අපරාද කළ, සාපරාධී මනුෂ්‍ය ඝාතන සිදු කළ, විශේෂයෙන්ම යුද්ධයෙන් අනතුරුව දේශපාලන නායකයන්ගේ උවමනාවට සිවිල් පුරවැසියන්ගේ ජීවත්වීමේ අයිතිය හා නිදහස අහිමි කළ කිසිවෙකුටත් රණ විරුවෙකු ලෙස බුහුමන් දැක්විය යුතු ද නැත.
පශ්චාත් යුද සමයේ දී විවිධ මට්ටමේ අපරාද කළ පුද්ගලයන් පිරිසක් අද හඳුනා ගෙන ඇත. මේ සංඛ්‍යාවෙන් ඉතා සුළු පිරිසකි. මේ පිරිස රණ විරුවන් ලෙස තක්සේරු කිරීම ත්‍රිවිධ හමුදාවේ සේවය කළ හා සේවය කරන සැබෑ රණ විරුවන්ට බලවත් අසාධාරණයකි. එය ඔවුන්ට කරන අවමානයකි.
රාජපක්ෂ පාලන සමයේ දී රණ විරුවා යන යෙදුම දේශපාලන බලය උදෙසා අවභාවිත කිරීමක් සිදු වුණ බව පෙන්වා දෙන්නේ කීර්තිමත් හමුදා නිලධාරීන්ය. රණවිරුවන්ට සැලකීම හා සැමරීම යන දෙකම දේශපාලන බලය වෙනුවෙන් ඉවහල් කර ගත් අන්දම තුළ තිබුණ ව්‍යාපාර ගැන ද කියැවේ. රට වෙනුවෙන් දිවි පිදූ තරුණ ජීවිත පාවාඩයක් බවට පත් කර ගනිමින් ඇතැමුන් ඉහළ තානාන්තර ද, බලයෙන් හා ධනයෙන් ආඪ්‍ය වීම ද සත්‍යයකි. තතු කෙසේ වෙතත් ත්‍රිවිධ හමුදාවට මෙන්ම පොලීසියටත් රටේ නීතිය අදාළය. රටේ පොදු නීතියට අනුව නිරපරාදේ, සහේතුකව, හමුදා සේවයේ නිරත කිසිවෙකුට කිසිම වරදක් සිදු විය නොහැකිය. ඊට හේතුව නම්, ලංකාවේ ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට ලැබෙන පුහුණුව හා විනය හේතුවෙන් ප්‍රශස්ත මටට්මක් ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට තිබීම බව ද නොවළහා කිව යුතුය. මේ කිසිවක් නිවැරදිව තේරුම් නොගන්නා, දේශපාල නඥයන් රණවිරුවන්ගේ නාමයෙන් කොන්දේසි රහිතව අපරාදකාරයන්ට රැකවරණය සලසා දීම නරක ආදර්ශයකි. එසේ කරන්නේ හමුදා නිලධාරීන් තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර වෙනුවෙන් යොදා ගැනීමේ කූඨ අභිප්‍රායකින් ද?

ආණ්ඩුවේ තත්වය
අපරාද හා මනුෂ්‍ය ඝාතන සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ පරීක්ෂණ සිදු කිරීම පහසු කටයුත්තක් නොවේ. ඒ වෙනුවෙන් විiාත්මක පුහුණුවක් විධිමත්ව අදාළ අංශවලට ලැබී නැත. ඒ සඳහා අදාළ තාක්ෂණය ද තිබෙන්නේ දුප්පත් තත්වයකය. එසේ වුව සාපරාදී මනුෂ්‍ය ඝාතන සම්බන්ධ පරීක්ෂණ දිවි පරදුවට තබා සිදු කළ නිලධාරීන් පිරිසක් ලංකාවේ රහස් පොලීසියේ සිටින බවත්, ඔවුන් ඉතා සූක්ෂ්ම ලෙස අපරාදකාරයන් නීතිය අබිමුවට පැමිණවීමට කටයුතු සිදු කර තිබෙන බවත් දැන ගන්නට තිබේ. අභාග්‍යය වන්නේ ඒ කටයුතුවලට ආණ්ඩුව සහයෝගය දැක්වීම වෙනුවට ඒ කටයුතුවලට දිගින් දිගටම අවහිර කිරීමය. මේ මොන තරම් අවාසනාවන්ත තත්වයක් ද?
රාජපක්ෂ යුගයේ දී සිදු කළ අපරාදවලට දිගින් දිගටම චෝදනා ලබන්නේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සේවය කළ පිරිසකි. මේ පුද්ගලයන් හඳුනා ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ කීර්ති නාමය උදෙසා අවශ්‍ය බව නැවත නැවතත් කිව යුතු නැත. මේ කටයුත්ත හේතුවෙන් ජාතික ආරක්ෂාව බිඳ වැටේය යන මිථ්‍යාවක් සමාජ ගත කිරීම මුළින්ම සිදු කළේ රාජපක්ෂ පාර්ශ්වයෙන්ය. අවාසනාව වන්නේ ඒ මිථ්‍යාව ආණ්ඩුව වැළඳ ගැනීමය. ඊටත් වඩා ඛේදය වන්නේ එය ප්‍රචලිත කිරීමේ මුග්ධ තත්වයකට ද ආණ්ඩුව පත්ව සිටීමය. ත්‍රිවිධ හමුදාවේ විවිධ මට්ටම්වල නිලධාරීහු මේ සම්බන්ධයෙන් විමතිය පළ කරති. ඒ ඔවුන් සැබෑම රණ විරුවන් නිසා බව අවබෝධ කර ගැනීමට ආණ්ඩුව අසමත්ය. ආණ්ඩුව අවිචාරවත් ලෙස ඇතැම් සංඝයා වහන්සේලා පෙරට ගෙන කටයුතු කරන ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටීම අද වන විට පැහැදිලිවම දක්නට ලැබේ.
රාජපක්ෂ පාර්ශ්වයෙන් බෙංගමුවේ නාලක හිමි, ඇල්ලේ ගුණවංශ හිමි යනාදි හිමිවරුන් රණ විරුවන් වෙනුවෙන් කෑ මොර දෙන්නේ ත්‍රිවිධ හමුදාවේ ගෞරවය වෙනුවෙන් නොවේ. ඊට මුල් වී තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂා කර ගැනීමේ අභිප්‍රායයි. මේ අභිප්‍රායම හිසින් ගෙන රතන හිමියෝ ද මේ ප්‍රතිගාමී කටයුත්ත සඳහා සාවi මතවාද පතුරුවා ලීම ඉතා නරක අන්දමට පටන් ගෙන සිටිති. උන් වහන්සේ පසු ගිය දිනෙක පැවසූ සියලු කාරණා සාවi වන්නේය. මේ සාවi කාරණ සමාජගත වීමට ඉඩ හැර පොලීසියේ අදාළ අංශ නිහඬව සිටීම අදාළ පරීක්ෂණ කටයුතු සිදු කරන නිලධාරීන්ට බලවත් අසාධාරණයකි. එපමණක් නොව එය ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජනයකි.
ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටීමට රතන හිමියන්ට අයිතියක් ඇත. එහෙත් සාපරාදී මනුෂ්‍ය ඝාතනවලට නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා පමුණුවාලීමට රතන හිමියන්ට කිසිම අයිතියක් නැත. ජනාධිපතිවරයාටවත් එබඳු අයිතියක් නැත. මහින්ද රාජපක්ෂ ඒ අයිතිය තමන් වෙත පවරා ගැනීමෙන් අත් කර ගත් ඉරණම කවුරුත් වටහා ගත යුතුය.

පොලීසියේ භූමිකාව
නීතිය යුක්තිය පසිඳලීම, අපරාදකාරයන්ට දඬුවම් නියම කිරීම, අධිකරණයේ කාර්යභාරය වන්නේය. අධිකරණයට ඒ කාර්යභාරය කළ හැකි වන්නේ අපරාද සම්බන්ධ සිදු කරන විමර්ශන ඔස්සේය. මනුෂ්‍ය ජීවිතවලට අදාළ රැකවරණය තහවුරු වන්නේ අපරාද සම්බන්ධ විමර්ශනය රටක ඉහළ මට්ටමක පවතින විටය. ලංකාවේ අපරාද සම්බන්ධ විමර්ශන සිදු කිරීම දේශපාලන මැදිහත්වීම්වලින් තොර නම් ප්‍රශස්තය. පොලිස් කොමිසම පිහිටුවා තිබෙන බැවින් පොලීසියට නීතියට අනුව රාජකාරි කිරීමට අවශ්‍ය මානසික නිදහස ඇත. මේ නිදහස පොලීසියට නීතිය හා සාමය උදෙසා කටයුතු කිරීමට උරුම වුණ බලයකි. ඒ බලය භුක්ති විඳීමට පොලීසිය සමත් විය යුතුය.

සිවිල් සමාජය රුචි නොවීම
සිවිල් සමාජය අද fදා්ෂාරෝපණයට ලක් කරන පිරිස් සියලු දෙනාම මතු වෙන්නේ රාජපක්ෂ වරුන්ගේ ලෝගු ඇතුළෙනි. ඔවුන් ප්‍රසිද්ධියේ මෙන්ම අප්‍රසිද්ධියේ පවසන්නේ රාජපක්ෂ පාලනය පරාජය කළේ සිවිල් සමාජය බවයි. පසු ගිය දිනක ගුවන් විදුලි නාළිකාවක විකාශය වුණ උදෑසන වැඩ සටහනකට දුරකථනයෙන් සම්බන්ධ වුණ පුද්ගලයෙකු දැඩි ලෙස සෝභිත හිමියන්ට fදා්ෂාරෝපණය කළේය. ඔහුගේ දෝෂාරෝපණයට පදනම් වූයේ මහින්ද මහත්තයා පරද්දන්න කෙනෙකු ගෙනඒම සෝභිත හිමියන් සිදු කළේය යන්නයි. ඒ අපරාදයට උන් වහන්සේ වග කිව යුතු බව ඔහු පැවසුවේ දැඩි ස්වරයකිනි.
උත්ප්‍රාසය වන්නේ අලුත් පාලකයන් සෝභිත හිමියන් මෙන්ම සිවිල් සමාජය නොතකා හැරීම හා අවප්‍රමාණ කිරීමය. ජනාධිපතිවරයා පවා මේ ආස්ථානයට නැඹුරුව සිටින බව පසු ගිය දා පැවැත්වූ කතා දෙකකින් තහවුරු වෙන්නේය. ජනාධිපතිවරයාට අද දවසේ සිවිල් සමාජය රුචි නොවේ නම්, ඉන් දිරිමත් වන්නේ රාජපක්ෂ බලවේගයයි. ඉතා පැහැදිලිව කිව හැකි කාරණාව වන්නේ රාජපක්ෂ පාලන සමයේ මනුෂ්‍ය ඝාතන සිදු කළ හා අතුරුදන් කළ පුද්ගලයන් තවමත් නිදැල්ලේ සිටින බවයි. එපමණක් නොව ඔවුන් අතුරින් ප්‍රධාන චරිත කිහිපයක් විවිධ මාර්ගවලින් ජනාධිපතිවරයාට මේ වන විට ළංවී සිටිති. මේ ඇයි හොඳයිකම් වැඩී වර්ධනය වන්නේ ඉතා වේගයෙනි. මන් ද ඔවුන් විසි හතර පැයම තමන්ගේ රැකවරණය වෙනුවෙන් සැලසුම් සහගතව වැඩ කරන බැවිනි. මෙහි අවසානය කුමක් ද?
සෝභිත හිමියෝ ගිලන්ව අපවත් වූහ. උන්වහන්සේ සමඟ වැඩ කළ පුද්ගලයන් තවමත් උන්වහන්සේ ප්‍රාර්ථනා කළ ලෝකය වෙනුවෙන් සටන අත්හැර නැත. මේ සටන ඉවසා සිටින්නට අපහසු විය හැකිය. මන්ද ජනවාරි 08 වෙනිදා ප්‍රතිඥා දැන් වල දමන තත්වයක් විiමාන බැවිනි.
රාජපක්ෂ යුගයේ ඝාතනයට ලක් වූ පුද්ගලයන් අතර සිටි ලසන්ත වික්‍රමතුංග මහින්ද රාජපක්ෂගේ අතිජාත මිත්‍රයෙකුව සිටි බව නොරහසකි. ඝාතනයට ලක්වුණ වසීම් තාජුඩීන් නාමල් – යෝෂිත යන කුමාරවරුන්ගේ ගජමිතුරෙ කුව සිටි බව නොරහසකි. මෙබඳු පුද්ගලයන් ඝාතනය වුණේ කවර සාධක නිසා ද යන්න යළි යළිත් විස්තර කළ යුතු නැත.
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් හැකි තරමින් දරදිය අදින ලද සිවිල් සමාජය නියෝජනය කරන පුද්ගලයන්ගෙන් බහුතරයක් ජනවාරි 08 වෙනිදා ප්‍රතිඥා වෙනුවෙන් සටනකය. මේ සටන ජනාධිපතිවරයා ඉවසන්නේ නම්, ජනවාරි 08 ප්‍රතිඥා වෙනුවෙන් දැන් තමන් ගමන් කරමින් සිටින මාවතෙන් ඉවත් විය යුතුය. එසේ ඉවත් වීමට අදහස් නොකරන්නේ නම් ජනාධිපතිවරයාට ඉතිරි වන්නේ එකම කටයුත්තකි. ඒ කටයුත්ත නම්, සෝභිත හිමියන් ගිය තැනකට උන්වහන්සේ පසු පසින් ගමන් කළ, තවම පිට කොන්ද කෙළින් තබාගෙන සිටින අයද වහාම පිටත් කර හැරීමය. මේ වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ කෙනෙකු අවශ්‍ය නැත. රණ විරුවන්ගේ නාමයෙන් රැකවරණය ලබා සිටින පුද්ගලයන් කිහිප දෙනා සමඟ අප්‍රසාදය පළ කිරීම පමණි අවශ්‍ය වන්නේ. මේ වචන ලියන්නේ හුඹස් බියකින් නොව, කරුණු කාරණා ඇතිවය. මේ රටේ නීති ගරුක පුරවැසියන් නියෝජනය කරන පොදු ජනතාව වටහා ගත යුත්තේ එක දෙයකි. ඒ කුමක් ද? රාජපක්ෂ යුගයේ සිදු කළ සාපරාධී ඝාතනවලට යුක්තිය ඉටු නොවන්නේ නම්, සෝභිත හිමියන් පසු පස ගිය පුද්ගලයන් අතුරුදන් වූ විට හෝ, ඔවුන්ගේද දායකත්වයෙන් බලයට පත් කළ ආණ්ඩුව යම් විටෙක ඔවුන්ගේ ජීවත්වීමේ අයිතිය අවසන් කළ හොත් යුක්තිය පසිඳලීමට කිසිවක් කළ යුතු නැත.

අපරාදය සහ දඬුවම
රාජ්‍ය පාලනයට වරමක් ලබා ගැනීමට දායක වුණ පුද්ගලයන්ට කෘත ගුණ දැක්වීම රාජ්‍ය පාලනයට වරමක් ලැබුණ පසු නායකයන් විසින් සිදු කරනු ලබන්නකි. එසේ නොකළ හොත් නායකයන් පසු පස ගොස් තමන් කළ සේවයට කෘතගුණ සලකා ගැනීමක් සිදු කර ගන්නේය. මේ තත්වය ජනාධිපති වරණයෙන් අනතුරුව පෙර පරිදිම නොවීය. සියලු දෙනාටම වාගේ නායකයන් කෘත ගුණ දැක්වීමට සූදානම් වුව බොහෝ දෙනා ගෞරවනීය ලෙස වරදාන වරප්‍රසාද ඇතුළු සියලු දේ ප්‍රතික්ෂේප කළහ. ඒ අවකාශය තුළ මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් දරදිය අදින ලද පුද්ගලයෝ පෙරට පැමිණියහ. කල දුටු කල වල ඉහ ගත්හ. ගණන් බැලුවහොත් රාජපක්ෂ පාලන සමයේ සිටි සිවිල් චරිතවලින් වැඩි සංඛ්‍යාවක් ජනාධිපතිවරයාගේ පා සෙවණේය. දැන් ජනාධිපතිවරයාට තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය වෙනුවෙන් සැදී පැහැදී කටයුතු කිරීමට පිරිසක් සිටිති. එබැවින් ජනවාරි 08 පෙර සිටි පිරිස අවශ්‍ය නැත. මේ ප්‍රහසනය තුළ අපරාදකරුවන් පැහැදිලිය. ඔවුන්ට දඬුවම් නියම කිරීමට සිටින පුද්ගලයන් ද පැහැදිලිය.
ලංකාවේ අනාගතය සම්බන්ධයෙන් ඉදිරි දෙවසර ඉතා තීරණාත්මකය. එක්කෝ ශීලාචාර රාජ්‍ය පාලනයක් වෙනුවෙන් පදනම ඉදිරි දෙවසර තුළ දී ශක්තිමත් වනු ඇත. නැතහොත් යළිත් අන්ත අශීලාචාර රාජ්‍ය පාලනයක් වැඩී වර්ධනය වනු ඇත. මේ දෙකට අතර තත්වයක් නැත.
රටක් පාලනය කළ යුත්තේ නීතිය මතය. රටක පාලකයා නීතියට ඉහළින් සිටිය යුතු නැත. එවැනි රටක් ශීලාචාර රටක් වන්නේ නැත. ඒ රට දියුණු රටක් බවට පත් වන්නේ ද නැත.
මේ රටේ සියලු පුරවැසියන්ට රටේ පිළිගත් නීතිය එක හා සමානව අදාළ විය යුතුය. සංඝයා වහන්සේලා සමබන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන්නේ එක විදිහකටය. රණ විරුවන් සමබන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන්නේ තවත් විදිහකටය. දේශපාලනඥයන් හා ඔවුන්ගේ ගජ මිතුරන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වන්නේ ඒ දෙකටම වෙනස් විදිහකටය. රටේ නීතිය සාමාන්‍ය ජනතාවට පමණක් ද, පිළිගත් සම්ප්‍රදායන් මත ක්‍රියාත්මක විය යුත්තේ?
නැවතත් අවධාරණය කළ යුතුව තිබෙන්නේ එකම දෙයකි. ඒ කුමක් ද? රාජ්‍ය පාලනය නීතිය මත දේශපාලනඥයන් සිදු කරන්නේ නම් ඉන් සියලු පුරවැසියන්ට අත්වන්නේ යහපත් ප්‍රතිඵලය. දේශපාලනඥයන් පෞද්ගලික න්‍යාය පත්‍ර ඔස්සේ නීතිය හැසිරවීමට කටයුතු සිදු කරන්නේ අවසාන විග්‍රහයේ දී සියලු පුරවැසියන්ට අත්වන්නේ ශෝචනීය අත්දැකීම්ය.■