Untitled-1

Untitled-1

ශ්‍රී ලංකාවේ පොලීසිය හා අධිකරණය දෙකම සිරිසේනද?


sunnada

කිරි කළයට ගොම දා ගැනීමට සිරිසේන තරම් දක්ෂයෙකු මේතාක් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්වී නැත. දවසකට කතා තුන හතරක් කරන ජනාධිපතිවරයකුට ඉන්නේද ඔහුම පමණි.
චාරයක් නැති කතාකීම අතින් අද ලොව නම් දරා සිටින්නේ ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ය. මහ රෑ තුනට හතරට අවදිවී කිසිසේත්ම ජනාධිපතිවරයකුට නොහොබිනා ට්විටර් පණිවිඩ යැවීම ඔහුගේ හීනමාන මානසිකත්වයේ ලකුණක් බවට පත්ව තිබේ.
මෑතදී යැවූ එවැනි ට්විටර් පණිවිඩ ගණනාවක් මගින් ඔහු හිටපු ජනාධිපති ඔබාමාට චෝදනා කළේ තමාගේ දුරකථනයන්ට රහසේ සවන්දෙන ලෙස ඔබාමා නියෝගකර ඇති බවයි. ට්‍රම්ප් ටවර් නමින් ඇති ඔහුගේ විසල් හෝටලයේ සිට ට්‍රම්ප්ගේ සහචරයන් රුසියානු රහස් ඔත්තු නිලධාරීන් සමඟ සබඳතා පැවැත්වූයේද යන්න දැන් එරට තීරණාත්මක දේශපාලන සාකච්ඡාවක් බවට පත්ව තිබේ.
මෙම චෝදනාවට පිළිතුරු දුන් ඔබාමා කියාසිටියේ තමා එවැනි කිසිදු නියෝගයක් නොදුන් බවත් ඇමෙරිකානු නීතිය අනුව තමාට එවැන්නක් කළ නොහැකි බවත්ය. එවැනි සවන්දීමක් සහ පටිගත කිරීමක් කළ හැක්කේ ඇමෙරිකානු රාජ්‍ය බුද්ධි අංශයන්ට බවත් ඔබාමා තවදුරටත් කියාසිටියේය. කවරකු හෝ ඇමෙරිකානු රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වන සබඳතා පවත්වන්නේ නම් ඔහු හෝ ඇයගේ තරාතිරම නොබලා ඔත්තු සේවා හරහා කරුණු විමර්ශනය කිරීමට එරට බුද්ධි අංශයන්ට අයිතියක් තිබේ. ඇමෙරිකානු ජනාධිපතිවරණ සමයෙහි හිලරි ක්ලින්ටන් විසින් සිය පුද්ගලික මෘදුකාංග යොදාගෙන යවන ලදැයි කියන විද්යුත් ලිපි (ඊමේල්) පිළිබඳ පරීක්ෂා කිරීමට පෙඩරල් විමර්ශන බියුරෝව (එෆ්බීඅයි) පියවරගෙන තිබුණේද ඒ අනුවය. අප කව්රුත් දන්නා පරිදි ක්ලින්ටන් එවකට ජනාධිපති වූ ඔබාමා විසින් අනුමත කරන ලද අපේක්ෂිකාව විය. එය නොසලකා එෆ්බීඅයි ආයතනය ක්ලින්ටන් පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීය.
කවර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රටක හෝ අපරාධ විමර්ශනය බාරවන්නේ පොලිසියට සහ විශේෂ විමර්ශන ආයතනයන්ටය. ජනාධිපතිවරුන්ට හෝ ඇමැතිවරුන්ට නොවේ. ශ්‍රී ලංකාවේ නම් මේ තාක් එවැනි ක්‍රියාවන්ද තමන්ගේ සිතැඟි අනුව පාලනය කිරීමට බලයට පත්වන දේශපාලනඥයන්ගේ අයිතියක් විය. තමන් නියෝජනය කරන ආසනයේ පොලිසිවලට සිය ගැත්තන් පත්කර ගැනීම දීර්ඝ කාලයක් තිස්සේ මෙරට පැවැති අනීතියකි.
ජනාධිපති සිරිසේන පොදු අපේක්ෂකයා බවට පත්කොට අපරාජිත යැයි සිතා සිටි රාජපක්ෂ ගෙදර යැවූයේ එවැනි අනීතික ක්‍රියා නතරකර නීතියේ පාලනය පිහිටුවනු පිණිසය. නීතියේ පාලනය ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රමුඛ ලක්ෂණයයි. සෑම පුරවැසියකුම නීතිය ඉදිරියේ සමාන වන්නේ පුද්ගල පාලනය නොව නීතියේ පාලනය රජකරන විටය.
එසේ නමුත් ජනාධිපති සිරිසේන මුළු රටෙහිම පොලිසි සහ අධිකරණය තමායැයි සිතාගෙන වහසිබස් දොඩවන තත්ත්වයට පත්ව තිබේ. ඔහු පසුගිය 4දා යාපනයේදී මෙසේ ප්‍රකාශකළ බවට විවිධ ජනමාධ්‍ය මෙන්ම ඔහුගේම පාලනය යටතේ ඇති වෙබ් සහ ම්‍රද්‍රිත ජනමාධ්‍ය විසින්ද වාර්තා කර තිබේ.
“විදේශීය සම්බන්ධතා මත කටයුතු කරන ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන කියන අන්දමට ආණ්ඩු කිරීමටවත් ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට චෝදනාපත්‍ර ගෙනඒමට හෝ නඩු ඇසීමට තමා සූදානම් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.
අපගේ රණවිරුවන්ට එරෙහිව විදෙස් විනිසුරුවරුන් ගෙන්වා නඩු ඇසිය යුතු බවට පසුගියදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා කරන ලද යෝජනාව තමා තරයේ ප්‍රතික්ෂේප කළ බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා මාතෘභූමියේ නිදහස උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් කැපවූ වීරෝදාර රණවිරුවන්ගේ ආරක්ෂාවත්, ගෞරවයත් වෙනුවෙන් තම ධුර කාලය තුළ වගකීමෙන් යුතුව පෙනීසිටින බවද අවධාරණය කළේය.” (ජනාධිපති මාධ්‍ය අංශය යටතේ ඇති නිව්ස්ඩොට්එල්කේ වෙබ් අඩවිය)
පසුගිය 6 දා ඉරිදා ලංකාදීප පුවත්පත මෙසේ වාර්තා කළේය:
“රාජ්‍ය නොවන සංවිධානවලට අවශ්‍ය අයුරින් ආණ්ඩු කිරීමට තමන් සූදානම් නැතැයි, එම සංවිධාන කියන අයුරින් හමුදාවට චෝදනාපත්‍ර දීමට තමන් සූදානම් නැතැයි කී ජනාධිපතිවරයා, හමුදාවට, පොලිසියට විරුද්ධව මොන චෝදනා ආවත් ඒවා ප්‍රතික්ෂේපකර ඔවුන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය.”
මෙම ප්‍රකාශ 2015 ජනාධිපතිවරණයෙන් පසු මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලවූ බරපතළම අභියෝගයයි. මෙම ප්‍රකාශ ජනාධිපතිවරයාට එරෙහිව අධිකරණයට සහ නීතිය සුරැකීමේ ආයතනයන්ට අනිසි බලපෑම් කිරීමේ චෝදනාව යටතේ දෝෂාභියෝගයක් ගෙනඒමට තරම් ප්‍රබලය.
මෙම ප්‍රකාශ අනුසාරයෙන් ප්‍රශ්න ගණනාවක් පැනනැගේ.
1. ඔහු චෝදනා කරන විදේශීය සම්බන්ධතා මත කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන මොනවාද? ඒවා විසින් කරන ලද යෝජනා මොනවාද? 2015 ජනාධිපතිවරණ සමයෙහි සිරිසේන මෙරට රාජ්‍ය නොවන සංවිධානද ඇතුළු සිවිල් සමාජ ව්‍යාපාර සමඟ අත්වැල් බැඳ නොගත්තේද? එවැනි සංවිධාන විසින් දෙන ලද යෝජනා සතුටින් බාර නොගත්තේද? දැන් රාජ්‍ය නොවන සංවිධාන සමඟ ආප්ප කෑම ඇතිවෙලාද?
2. ජනාධිපති සිරිසේන මෙහිදී අමූලික බොරුවක් කියයි. එනම් රණවිරුවන්ට එරෙහිව විදෙස් විනිසුරුවරුන් ගෙන්වා නඩු ඇසිය යුතු බවට පසුගියදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා යෝජනාවක් කළ බවයි. ඇත්ත නම් එලෙස යෝජනා කරන ලද්දේ රණවිරුවන්ට විරුද්ධව නොව යුද්ධ අපරාධකරුවන්ට විරුද්ධව නඩු ඇසීමට බවයි. දැන් සිරිසේනගේ ශබ්ද කෝෂය අනුව රණවිරුවන් සහ යුද්ධ අපරාධකරුවන් යනු එකම පිරිසක්ද? යුද සමයෙහි අමානුෂික ඝාතන සිදුනොවූයේද? 1988 – 90 සමයෙහි දකුණු ලංකාවෙහි යුදහමුදා විසින් කරන ලද ඝාතනද රණවිරුවන්ගේ ක්‍රියාද? 2015 ජනවාරි ජනාධිපතිවරණයෙන් සිරිසේන පැරදී ඔහුගේම වචනයෙන් අඩි හයක් යට යැවූයේ නම් ඒද රණවිරු ක්‍රියාවක්ද?
3. සිරිසේන කරන භයානකම ප්‍රකාශය ඉරිදා ලංකාදීප වාර්තාවෙහි එයි. එනම් “හමුදාවට, පොලිසියට විරුද්ධව මොන චෝදනා ආවත් ඒවා ප්‍රතික්ෂේප කර ඔවුන් ආරක්ෂාකිරීමට කටයුතු කරන බවයි.” මෙම ප්‍රකාශයට අනුව මෙරට යුද සමයෙහි කරන ලද කිසිදු අපරාධයක් වෙනුවෙන් යුද හෝ පොලිස් සාමාජිකයනට දඬුවම් විඳීමට සිදුවන්නේ නැත. ඊටත් වඩා ප්‍රශ්නය නම් එවැනි පොලිස් පරීක්ෂණයන්ට, නීතිපති දෙපාර්තමේන්තුවට සහ අධිකරණයට ඉහළින් එවැනි තීරණයක් ගැනීමට ජනාධිපති සිරිසේනට බලය දුන්නේ කව්ද යන්නයි. සිරිසේනගේ මෙ ප්‍රකාශය අනුව අපේ ජනමාධ්‍ය සගයන් වූ ප්‍රගීත්, ලසන්ත සහ කීත් නොයර් සම්බන්ධ නඩුවලින් වැඩක් නොවනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදයේ සහ යුක්තිය ඉෂ්ට කිරීමේ නාමයෙන් පීඩාවට පත් ජනතාවගේ ඡන්දයෙන් බලයට පැමිණ මෙවැනි තත්ත්වයකට පත්වීමට සිරිසේනට සිත් දෙන්නේ කුමන නම් කරුමයක් නිසාද?
ජනාධිපති සිරිසේන මෙම ප්‍රකාශය කළේ ජිනීවා මානව කොමිසම හමුවෙහි ඔහුගේ විදේශ ඇමැතිවරයා පැමිණ 2015 සැප්තැම්බරයේදී සම්මත කරන ලද ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව සම්මත කිරීමට තවත් වසර දෙකක් ඉල්ලා සිටීමෙන් දින තුනකට පසුය. එම යෝජනාවට අනුව ශ්‍රී ලංකාවෙහි පිහිටුවන බවට ලංකාණ්ඩුව පොරොන්දු වූ සංක්‍රාන්ති යුක්ති අපරාධ අධිකරණය සඳහා විදෙස් විනිසුරන් සහභාගි කරගත යුතුය. 2015 සැප්තැම්බරයේදී එකඟ වූ පරිද්දෙන්ම මෙවරද ශ්‍රී ලංකාණ්ඩුව තවත් වසර දෙකක් ඉල්ලා සිටින්නේ එම යෝජනාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමටය. එසේ නමුත් ඉහත ප්‍රකාශයෙන් පැහැදිලිවන පරිදි ජනාධිපති සිරිසේන එකී යෝජනාවට විරුද්ධය.
එනයින් දැන් අභියෝගය ඇත්තේ සිරිසේනගේ පිට්ටනියේය. ඔහුට දිව දෙකක් නැත්නම් මෙම දෙවරක් කල් ගැනීමේ යෝජනාව වහාම ප්‍රතික්ෂේප කළ යුතුය. එමෙන්ම කල් ඉල්ලා සිටි මංගල සමරවීර විදේශ ඇමැතිකමින් ඉවත් කළ යුතුය. වහාම සිය දූතයකු (ඩිලාන් පෙරේරා වැන්නකු) දැන් පැවැත්වෛන මානව හිමිකම් මණ්ඩලයේ සැසිවාරයට එවා මෙම යෝජනාවෙන් ඉවත්විය යුතුය.
එසේ නැත්නම් ජනාධිපති සිරිසේන නිකම් වචනාලංකාර කියන්නකු බවට පත්වනු ඇත. එවිට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව ප්‍රවිෂ්ටයක් අන්තර් ජාතික වශයෙන් ඇතිවනු නියතය.■