රාවය

ක්‍රීඩාවේ අමුතු සුගතියක් ඇත

ක්‍රීඩාවේ අමුතු සුගතියක් ඇත

ටිරන් කුමාර බංගගමආරච්චි

එතෙක් පැවති දේශපාලන පරිසරය වෙනුවට යහපාලනයක් ප්‍රාර්ථනා කළවුන් ක්‍රීඩාවේද යහ පාලනයක් සිදුවනු ඇතැයි නිකමට හෝ සිතුවා නියතය. එහෙත් එය නිකමුංගේ සිතුවිල්ලක් ගාණට නිස්සාරණ වී ඇත.
යහපාලනයේ ක්‍රීඩාව පාලනය කරන සුක්කානම හිමිවූයේ දයාසිරි ජයසේකරටය. ඔහු මෙරට දොළොස්වැනි ක්‍රීඩා ඇමතිය. මෙවා ආයේ ආයේ මතක් කළැයි අමුතු සුගතියක් නැතත්, සුගති උද්‍යානයෙන් තෙරපන්නට පෙර මේවා නිරන්තර සිහි කැඳවීමට ලක් කළ යුතුමය. මන්ද එය කාට කාටත් යහපතක්ම විය හැකි බැවිනි. දයාසිරි ජයසේකර ඇමතිවරයා හෙට වුව අවංකව ක්‍රියා කරන්නේ නම් ඔහුට කළ හැකිදේද බොහෝය. එහෙත් එයට සූදානමක් ඇති බවක් නොපෙනේ. මන්ද දෙවසරක පේන මානයට එන මේ යහපාලන ක්‍රීඩා චාරිකාවේ ඉතිරිව ඇති මතකයන් කෙබඳුද? එහි ප්‍රධාන නළුවා වූ දයාසිරිගේ රංගනයන් කෙතරම් දුර්වලද දුබලද? එහෙත් ඒ පිළිබඳ කාට නම් වැඩක් වේද?
එන අය එන්නේ නම් කොරහත් බිඳගෙනමය. ඒ තරමට වැඩ කිරීමේ හදිසියය. වුවමනාවය. එහෙත් කල් කල් වත්ම ඒ අයගේ කල්කිරියාවද කල් ඉකුත් වන්නේ බලා සිටිත්දීමය. අලුත්ගමගේ සෑහෙන පරණ බව ඔහුගේ සෙල්ලං වැඩ දිහා බලද්දීම අපි කීවෙමු. ජයසේකර ආ කලද බොහෝ අය බොහෝ දේ කී මුත් අප කීවේ ඉක්මන් නොවිය යුතු බවය. දැන් ඉක්මනද ඉක්මනටම ගෙවී ගොස්ය. දෙවසරක් පේන මානයටද එය පැමිණ ඇත. එහෙත් වැඩ නම් මුකුත්ම නැතිය.
දයාසිරි වැඩ බාර ගනිමින් කීවේ තමන් සමඟ සෙල්ලම් බෑ කියාය. එහෙත් දැන් සිදුව ඇත්තේ කුමක්ද? ඔහු තනිවම සෙල්ලම් කිරීමය. අනෙක් අයට සෙල්ලම් බෑ කීව්වේ තමන්ට තනිව සෙල්ලම් කරන්නටද නැතහොත් වෙන අරුතකින්ද යන්න සෙවීම අපට අරුත් නොවේ. තමන් පස් අවුරුදු සැලැස්මක් ක්‍රීඩාව වෙනුවෙන් සකස් කරන බවත් රටේ සියලු දෙනා එක්වී රටේ ක්‍රීඩාව ගොඩ නැංවිය යුතු බවත් ඔහු ආ විගස කීවේය. එසේ කියා තකහනියේම සුගතදාස ක්‍රීඩාංගණය වටා පයින්ම ගොස් සියල්ල දෑහැටම දැක බලා ගත්තේය. ක්‍රීඩා සංගම් පිළිබඳ ස්වාධීනත්වයක් ඒවායේ අර්බුද පිළිබඳවත් තමන්ට අවබෝධය ඇතැයි ඔහු කතාවට කීවේය.
මේ සියලු කතාබතා අවසන ඔහු කීවේ තමන් කාගේ හෝ මපට් කෙනෙකු නොවන බවය. ඔහු දැන් තිලංග සුමතිපාලගේ මපට් කෙනෙකු වී නැතිද? රගර් සංගමයේ මපට් කෙනෙකු වී නොමැතිද?
ලංකාව ඇත්තේ ලෝකය තුළ විනා ලෝකය ඇත්තේ ලංකාව තුළ නොවන බවද ඔහු එදා සොයා ගත්තේය. එය තනිකරම දයාසිරි ඇමතිවරයා සොයා ගත්තකි.
එදා ඒ ලෙස කී ඇමතිවරයා දෙවසරකට කිට්ටු තැන අද කුමක් කර ඇතිද? ඒ කළේ කුමක්දැයි අපට කිව නොහැකි මුත් ඔහුටද කිව නොහැකි බව සහතිකය.
සංගම් කිසිවක් ස්වාධීන නැත. මේවා ස්වාධීනයැයි කීම විකාරය. කාලයක පටන් ක්‍රීඩා සංගම් ස්වාධීන යැයි කීවද ඒවා කිහිප දෙනෙකුගේ බූදලයක් වී ඇත. ඒවා පවුල්වල හවුල් ව්‍යාපාර වී ඇත. එවන් සංගම් මට්ටු කිරීමද ලේසි පහසු නැත.
එවන් පසුබිමක ක්‍රීඩා අමාත්‍ය දයාසිරි එදා කීවේ නව වසරක පාර්ලිමේන්තු ඉතිහාසයක් ඇති තමන් ක්‍රීඩා පිළිබඳ ගැටලුවලදී පාර්ලිමේන්තුවේදී හඬ නැඟු බවය.
තමන් ක්‍රීඩා ප්‍රතිපත්තිය දෙවසරක් තුළ ඉදිරිපත්කර ලංකීකයා ක්‍රීඩාවෙන් යුක්ත ජාතියක් :ීචදරඑසබට භ්එසදබ* කරන බවට මහා පොර ටොක්ස් ද ඇද බෑවේය. එහෙත් දෙවසරකට කිට්ටු තැන ඔහු කොර වී සිටිනුයේ තම ඇමතිකමවත් හරියාකාරව කර ගන්නට නොහැකිවය. දැන් එයද ක්‍රියාත්මක කරනුයේ සම්පත් දිසානායක නමැති ඔහුගේ පෞද්ගලික ලේකම් තැනය. මේ ජී.එල්. නඩයේම දයාසිරිට උඩින් ජී.එල් ළඟ වැජඹුණු අයෙකි. මේ නිසා දයාසිරි ඇමතිවරයා සිය ඇමතිකම නමට තබාගෙන අද ක්‍රීඩා අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක බවට පත්වී ඇත. මාධ්‍යයට අදහස් දක්වනුයේ ඔහුය. එහෙත් වැඩ කරනුයේ සම්පත්ය.
අලුත්ගමගේ කළේ පිට්ටනි සැදීමේ ඇමතිකමය. ක්‍රීඩාවේ සංවර්ධනය යැයි ඔහු සිතුවේ පිට්ටනි සැදීමය. ඔහු කළේ එහි විනිවිදභාවය පෙන්වීමට පිට්ටනි සැදීමේ පරම බලය රජයේ ඉන්ජිනේරු සංස්ථාවට පැවරීමය. එවිට ඔහු නිදහස්ය. රජයේ වැඩ රජයේ ආයතනවලින්මය. එබැවින් රජයේ මුදල් රජයේම සැරිසරයි. එහෙත් එළියට පේන චිත්‍රය එලෙස වුවත් සිදුවනුයේ රජයේ ඉංජිනේරු සංස්ථාව පිට්ටනි සැදීම ඔවුන් උපකොන්ත්‍රාත්කරුවන්ට භාර දීමය. එවිට උපකොන්ත්‍රාත්කරුවන් වූයේ අලුත්ගමගේලාමය. ඒ සෙල්ලම මෙකලද එකල ලෙසම පවතී. එබැවින් ඉදිරියේදී මෙරට ක්‍රීඩකයන්ට වඩා පිට්ටනි තිබුණද පුදුම විය යුතු නොවේ.
පාසල් ක්‍රීඩාව අකිලගේ සූදුවක් වී ඇති කල ඉතිරි සමස්ත ක්‍රීඩාව දයාසිරිගේ සෙල්ලමක් වී ඇත. මේවා සෙල්ලං ලෙල්ලං වුවද ජනපතිට හෝ අගමැතිට වගේ වගක් නැත. එබැවින් හැම කල්හීම සිදු වූයේ ක්‍රීඩාව විනාශ වීම පමණක්මය. නව ක්‍රීඩා පනතක් ගේනවායි කීවද තවම ඒවා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට දී අනුමත කර ගැනීමට හැකියාවක් නැත.
කාගේ හෝ බහට වයස අවුරුදු හැත්තෑවට වැඩි අයට සංගම්වලට තරග කළ නොහැකි බව නීති ගෙනා මුත් දැන් සූදානම ඒවා ඉවත් කර ගැනීමටය. තමන් කිසි ලෙසටත් ඒවා වෙනස් නොකරන බවට සපථ කළ දයාසිරි දැන් ඒවා ඉවත් කර නොගන්නේ ද?
ක්‍රීඩා ඇමතිකමට එක් කයිවාරුකාරයෙක් පැමිණ ගිය පසු දැන් තවත් කයිකාරයෙක් පැමිණ ඇත. ඒ නිසා මාධ්‍යයට නම් පාළුවක් නැත මන්ද වැඩ නැතත් කතා නම් බොහෝය. අපමණය. යහපාලනය එන්නේම රටකට ඕනෑ අපමණ අගයක් කියමිනි. එය ක්‍රීඩාවටද වලංගුය. එසේනම් දැන් ක්‍රීඩාවට ලැබී ඇති අගය කුමක්ද? අපමණ අගයට සිනහ වූ අය පසුව පෙරළුණු පිට කියමින් අපමණ අගය නංවන්නට ආ කල වන සන්තෑසියට ක්‍රීඩාව ඇද වැටි ඇත.
රටේ නායකයා වන්නට සිහින මවන ක්‍රීඩා ඇමතිවරයාට ක්‍රීඩාව මෙතැන් සිට හෝ දැනෙන්නට කරන්නට ලැබේවායි පතමු. එහෙත් සැහෙන කලක සිට අප පැතුවාට සඵල වී නැත. ප්‍රාර්ථනාවන්ට වඩා ක්‍රියාවන් සිදුවීම වැදගත් බව අපට වැටහී ඇතත් ක්‍රීඩා ඇමතිවරු එය වටහා ගන්නේ නැත.■