රාවය

සුරාව රසාලිප්ත මිනිසෙකුට වාජිකරණයක් | සංගීතවේදී නිමල් ගුණසේකර

සුරාව රසාලිප්ත මිනිසෙකුට වාජිකරණයක් | සංගීතවේදී නිමල් ගුණසේකර

නිමල් අබේසිංහ

වයලීන් වාදකයකු වුණු ඔබ ගායකයකු වුණේ කොහොමද?
ගුවන්විදුලියේදී කෙනෙක් මට පොඩි පාට් එකක් දැම්මා. එයා ගායකයෙක්. මට දාපු පාට් එකට මමත් බැන්නා. සිංහලෙනුත් බැන්නා. ඉංග්‍රීසියෙනුත් බැන්නා. මොකද මම දන්නවා එයාට ඉංග්‍රීසි බැරි විත්තිය. බැනලා ඉවරවෙලා මම කෙලින්ම ගියේ ලේක්හවුස් එකට. නිමල් ජුලිගේ මගේ යාළුවා. එයා වැඩකළේ ලේක්හවුස් එකේ. එයාට ගිහින් සිද්ධිය කිව්වාම නිමල් කීවා, හරි උඹත් සින්දු කියපන් රැකෝඞ් එකකුත් කරපන් මං සල්ලි දෙන්නම් කීවා. පස්සේ මම සින්දු හතරක රෙකෝඞ් එකක් කළා. සින්දු ලීවේ නිමල් ජුලිගේයි, කරුණාදාස සූරියආරච්චියි. ගායනය හා සංගීතය මගේ. පිටින් තමයි රෙකෝඞ් කළේ. කරලා ඉවරවෙලා ගුවන්විදුලියේ සමීක්‍ෂණ මණ්ඩලයට දුන්නා. අනුමත වුණා. ඊට පස්සේ ගුවන්විදුලියේ ප්‍රචාරය වෙන්න පටන්ගත්තා. විතරක් නෙමෙයි. ‘ආවාට තිබුණත්’ ගීතය නැගලා ගියා.
මුල් කාලෙදී ගුවන්විදුලියේ අයවත් දන්නේ නැහැ කියනවා නේද ඒ සින්දු කියන්නේ ඔබයි කියලා.
ඔව්. මම කාටවත් කීවේ නෑ. දවසක් කුසුම් පීරිස් අහලා තියෙනවා මේ සින්දු කියන්නේ වාදක මණ්ඩලයේ ඉන්න නිමල් ගුණසේකර නේද කියලා. ඊට පස්සේ තමයි වැඩිදෙනා දැනගත්තේ ඒ ගායකයා මමය කියන එක.
ඒ ජනප්‍රිය වීමත් සමඟ මොකද වුණේ.
කටින් කට පැතිරිලා ජනප්‍රිය වුණානේ. මට සංගීත සංදර්ශනවලට වැහි වැහැලා ආරාධනා එන්න පටන්ගත්තා. සංගීත අධ්‍යක්‍ෂණයටත් අවස්ථාව උදාවෙනවා. ඒ වගේම සින්දු ලියන්නත් පටන් ගත්තා.

ඔබ සිංදු ලියලා දුන්න ගායක ගායිකාවෝ කව්ද?
සෝමසිරි මැදගෙදර, ස්වර්ණලතා කවිශ්වර, කුවින්ටස් අධිකාරි, ජානක වික්‍රමසිංහ ඒ අතරින් ටික දෙනෙක්. ඒ විතරක් නෙවෙයි ලංකාවේ වැඩිම ආධුනිකයන් පිරිසකගේ ගීතවලට සංගීතය කළේත් මමයි. ඒ කාලේ ගුවන්විදුලියේ අය කියන්නේ ලංකාවේ ඕනෑ ගමකට ගියොත් නිමල් ගුණසේකර සංගීතය කරපු කොල්ලෙක් ඉන්නවා කියලායි. හැබැයි මම මේක කළේ ඔරොප්පුවට. අනෙක් අය ආධුනිකයන්ට එහෙම උදව් කළේ නෑ. වෙනත් නාලිකා තිබුණේත් නෑ. ඉතින් සමහරු ගණන් උස්සනවානේ. ඒක නිසායි මම එහෙම කළේ. ඒ විතරක් නොවෙයි. ආධුනික ගීත රචකයන්ටත් මම අත දුන්නා. ධම්මික බණ්ඩාර, විජිත් කණුගල, ප්‍රියාන් ආර් විජේබණ්ඩාර, රොඞ්නි විදානපතිරණ ඉන් කීපදෙනෙක්.

ඔබ ගුවන්විදුලියට සම්බන්ධ වෙන්නේ කොහොමද?
මම මුලින් රජයේ ඉංග්‍රීසි ගුරුවරයෙක්. අනුරාධපුර ගල්කන්ද විදුහලට තමයි මුල්ම පත්වීම. මේ විදුහලේ විදුහල්පතිවරයාගේ බිරිඳත් තරුණ ගුරුවරියක්. ඇය තමයි මට කීවේ, නිමල් ගුවන්විදුලි වාදක මණ්ඩලයට කට්ටිය ගන්නවා, ඔයාත් ඇප්ලයි කරන්න කියලා. ඊට පස්සේ මමත් ඇප්ලිකේෂන් එකක් දැම්මා. පස්සේ සම්මුඛ පරීක්‍ෂණයට ලිපියක් ආවා. මමත් ගියා. අමරදේව මහත්තයා එහෙම තමයි පරීක්‍ෂණ මණ්ඩලයේ හිටියේ. ඒ කාලේ සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලේ අය පෙනෙන්න හිටියේ නෑ. තිරයකින් එහා පැත්තේ තමයි ඉන්නේ. ඔන්න මටත් අවස්ථාව ආවා. මම හින්දි සින්දුවක් වයලින් එකෙන් ගැහැව්වා. ඊට පස්සේ ඒගොල්ල සංගීත ඛණ්ඩයක් ගහන්න දුන්නා. ඒකත් ෆලෝ කළා. එතකොට අමරදේව තිරය පොඞ්ඩක් එහාට කරලා මම ප්ලේ කරනවා බලලා තියනවා. පස්සේ අමරදේව මාස්ටර් මගෙන් ඇහැව්වා කොහේ ඉඳලාද ආවේ කියලා. එතකොට මම හිටපු පාසල තිබෙන ගම කීවාට දන්න නැති නිසා ළඟම නගරය වුණ දඹුල්ලේ ඉඳලා කීවා. අමරදේව කීවා, ඊළඟ පාර එනකොට තලගොයිත් මරාගෙන එන්න කියලා. මට තේරුණා මාව තෝරාගෙන තිබෙන විත්තිය.

ගුරු ජීවිතය කොහොමද?
මකුළුගස්වැව ගල්කන්ද විදුහල තමයි පාසල. හරිම දුෂ්කර ප්‍රදේශයක්. මුළු පාසලේම ළමයි තිහක් විතර හිටියේ. අම්මලා තාත්තලා හේන්වලට යනකොට අපිට ළමයි බලාගන්න ඉස්කෝලෙට එවනවා. දවස ගානේ කලන්තේ හැදිලා ළමයි වැටෙනවා කෑම නැතිව. අපිට කරන්න දෙයකුත් නෑ. කුරක්කන් රොටියි, මුරුංගයි තමා හැමදාම කන්න තියෙන්නේ. ගමේ එක ගෙදරකවත් වැසිකිළි තිබුණේ නෑ.

ගුවන් විදුලි ජීවිතය මොන වගේද?
අවුරුදු විසිහයක් ගුවන් විදුලියේ හිටියා. හැබැයි අනියම් සේවකයෙක් විදියට. හඞ්සන් සමරසිංහ සභාපති වුණාට පස්සේ මාව කොන්ත්‍රාත් පදනමට ගත්තා. මම ඒකත් එපා කියලා ලියුම ආපහු දුන්නා. මම ප්‍රේමකීර්ති ද අල්විස්, නිහාල් ජයවර්ධන, සුසිල් පියදාස, රෝලන්ඞ් ඩයස්.. අපේ පොඩි සංගමයක් තිබුණා. එන්ජින් කාමරේක අපි සැමදාම වගේ සෙට්වෙනවා. එතකොට එතැන එන්ජින් කාමරේ නෙවෙයි. රස ගුලාවක්. සාහිත්‍යය සංගීතය කලාව තමයි එතැනදිත් අපි කතාකරන්නේ. මම දවසක් ප්‍රේමකීර්තිට කීවා මචං මට සින්දුවක් ලියලා දීපන්කෝ කියලා. මිනිහා එකපාරටම කීවා අනේ පලයං බං යන්න උඹට මොන සින්දුද කියලා. එතකොට මම ගායකයෙක් වෙලා නෑ. මගේ හිතට හරි නෑ. ඔන්න මම ගායකයෙක් විදියට ප්‍රසිද්ධ වෙනවානේ. ප්‍රේමකීර්ති කියනවා මචෝ මම උඹට සින්දුවක් ලියලා දෙනවා කියලා. මමත් කීවා අනේ පලයං බං යන්න උඹේ සින්දු කියලා. මිනිහා මේකට පොඞ්ඩක් මගෙත් එක්ක අමනාප වුණා. කතා නොකර ඇරියා. ඔන්න දවසක් මම ගුවන්විදුලියට එනවා. ප්‍රේමකීර්තිත් ඉස්සරහින් එනවා. මචෝ සිගරට් එකක් දීපන්කෝ, ප්‍රේමකීර්ති කියනවා. මේ කාලේ සිගරට් හිඟයක් තිබුණා. තරහාකාරයන්ගෙන් සිගරට් ඉල්ලනවාද, මම ප්‍රේම්ගෙන් ඇහැව්වාම හරි හරි මම තරහකාරයානේ කීවා. ඇත්තටම මගේ ළඟ සිගරට් තිබුණේ නෑ ඒ වෙලාවේ. මම කීවා නෑ මචං ඇත්තටම සිගරට් නෑ කියලා. පේ්්‍රම් යන්න ගියා. ඒ තමයි ප්‍රේමකීර්ති මරන්න ඉස්සරින් දවස.
කොහොම වුණත් අපිට ඒ කාලේ ගුවන්විදුලිය රසගුලාවක්, ඒ වගේම විශ්වවිද්‍යාලයක්. අපිට ඇසුරු කරන්න ලැබුණේ උගතුන්, බුද්ධිමතුන්, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මහාචාර්ය කාලෝ පොන්සේකා වගේ හැම ක්‍ෂේත්‍රයකම දැනමුත්තෝ නිතරම ආව ගිය තැනක්. නිවේදකයෝ වුණත් දැනුමෙන් පරිපූර්ණ අය. ප්‍රේමකීර්ති, කේඩීකේ වගේ අය වාගේම සංගීතඥයන් වුණ කේමදාස, සෝමදාස ඇල්විටිගල, පීඑල්ඒ සෝමපාල, ආර් මුත්තුසාමි, ලයනල් අල්ගම වගේ හොඳ දක්‍ෂයෝ.
ජීවිත ගැඹුර හොඳටම විඳගන්නත් අපට හොඳ නිර්මාණවලට යොමුf වන්නත් මේ ඇසුර බලපෑවා. ඒ වාගේම ඒ කාලේ ගුවන්විදුලියේ දස්කොන්ලා ප්‍රමිලාවන් වැහි වැහැලා. ඒකත් සාමාන්‍ය දෙයක් වෙලා තිබුණා. කවුරුවත් ලොකුවට ගණන් ගත්තේ නැහැ.

ඔබට දස්කොන් භූමිකාව රඟපාන්න අවස්ථාවක් ලැබුණේ නැතිද?
කොක් හඬලා සිනාසෙයි.

නූතන සුභාවිත සංගීතයත් ගීයත් පසුබසිමින් තිබෙන විත්තියක් සමහරු කියනවා නේද?
වර්තමානයේ සංගීතයත් ගීතයත් ශ්‍රාවකයා හඳුනාගන්නේ නාලිකා හරහානේ. අලුතින් බිහිවුණු මේ නාලිකාවල ක්‍රියාකාරකම් දැක්කාම කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන්. එහෙත් සැබෑ සංගීතය ගීතය රසවිඳින කොටසක් මේ රටේ තවමත් ඉන්නවා. ඒගොල්ලෝ නාලිකාවලට සවන්දෙන්නේ නෑ. පැදුරු සාජ්ජ කියන සංකල්පය ආපහු ඇවිල්ලා තියෙන්නේ ඒ නිසායි. බොහෝ විට වෘත්තිකයන්ගේ සංගම්වලදී, ඉහළ පෙළේ ධනවතුන්ගේ සමාජයේදී ඒ අය අපිව කැඳවනවා. සර්පිනා, තබ්ලා, වයලීන් සමඟ සුභාවිත ගීත රසවිඳින්න. මේකෙන් අපිට හොඳ මුදලකුත් ලැබෙනවා. මේ වන විට එළිමහන් සංගීත සංදර්ශන රසවිඳින්න යන අය ඔල්මොරොන්දන් වෙලා ඉන්නේ.
හොඳ ගායකයෝ වැඩිදෙනෙක් දැන් මේවාට යන්නේ නැහැ. ඉස්සර නම් එහෙම අවුලක් තිබුණෙත් නෑ. මම වාගේ කීපදෙනෙක් තවම එළිමහන් සංගීත සංදර්ශනවලට යනවා. ආර්ථික ප්‍රශ්නත් එක්ක තමා ඒක වෙන්නේ. වික්ටර්ලා, එඞ්වඞ්ලා වගේ අය යන්නේම නෑ. ඉතින් සුභාවිත ගීතය සංගීතය ගැන කියන්න තියෙන්නේ, රැල්ල මතුපිටින් පෙනෙන එකනේ. ඒත් නියම ගඟ යටින් අපූරුවට ගලාගෙන යනවා.

සංගීත අංශයට පිවිසෙන්න ඔබේ පවුල් පසුබිමත් බලපාන්න ඇති නේද?
ඔව්. අපේ අම්මාට හොඳට සින්දු කියන්න පුළුවන්. ඇය කතෝලික ආගමේ. පල්ලියේ ආභාසය නිසා වෙන්න ඇති. සහෝදර සහෝදරියන්ටත් හොඳට සින්දු කියන්න පුළුවන්. රඹුක්කන හේවාදීවෙල තමයි අපේ ගම. ඒක කතෝලික සම්භවයක් තිබෙන ගමක්. හැබැයි අපේ තාත්තා බෞද්ධාගමේ. ඔහු විදුහල්පතිවරයෙක්. අම්මාට සින්දු කියන්න පුළුවන් වුණාට තාත්තාට නම් කවියක්වත් කියන්න බැහැ. ඒ වුණාට ඔහු හොඳ රසවතෙක්. බොන්න හපනා. තාත්තගේ හොඳ පුස්තකාලයක් තිබුණා.
පාසල් ජීවිතය කොහොමද ගෙවෙන්නේ.
කුරුණෑගල මලියදේව විදුහලේ තමයි මම ඉගෙනගත්තේ. ටීඑම් ජයරත්න, ලක්ෂ්මන් විජේසේකර, ටීබී ඒකනායක, කරුණාරත්න හඟවත්ත මගේ කාලේ තමයි මලියදේවෙ ඉගෙනගන්නේ. අපිට හොඳ සංගීත ගුරුවරයෙක් හිටියා. කේඑම් දයාපාල. පස්සේ මම සංගීතය ඉගෙන ගන්න මහනුවර සිරිල් පෙරේරා ගුරුතුමා ළඟට ගියා. එයා අපේ දයාපාල ගුරුතුමාගෙත් ගුරුතුමා. ඒ කියන්නේ සුරගුරු. සිරිල් පෙරේරාගේ හොඳම ගෝලයා වික්ටර් රත්නායක.

සංගීතයේ නියැලෙන අය මධුවිත සමඟත් අපූරුවට බන්ධනය වෙනවා. ඔබට ඒ ගැන හිතෙන්නේ කොහොමද?
සූරාව රසාලිප්ත මිනිහෙකුට වාජිකරණයක්. උපාසකයෙකුට කලාව කරන්න බෑ. රසවිඳින්නෙකුට තමයි කලාවේ නියැලෙන්න පුළුවන්. ඔමාර් ඛයියාම් කීවේ ඒකයි. සෙක්ස් වුමන් ඇන්ඞ් වයින් මේ රස තුනම විඳින්න ඕනෑ. මගේ “සුරා බඳුන සොයා යන මොහොතක” ගීතයට තේමා වන්නෙත් ඛයියාම්ගේ දර්ශනය. සිල් අරන් කලාව කරන්න නොහැකියි. ඩීඑච් ලෝරන්ස් කීවේ එව්රි තින්ග්ස් ඩිපෙන්ඞ් ඔන් සෙක්ස් කියලායි. සෙක්ස් කියන එක නැත්නම් කලාවක් නෑ. කලාව රඳාපවතින්නේ ලිංගිකත්වය දකින්න පුළුවන් නිසා. ඒගොල්ලන්ට තමා ලෝකේ ලස්සන දකින්න පුළුවන්. කෑම, බීම, ඇඳුම් පැලඳුම් වගේ දේවල් එවන් රසයක්. අපි රස හොයන්නේ ඇයි. ඒකේ යට තියෙන්නේ සෙක්ස්. රවි ශංකර් වයස හැත්තෑ අටේදී අවුරුදු විසිදෙකක විතර කෙල්ලෙක් බැන්දා. මොකක්ද ඒකේ වැරැද්ද. දැන් මේ වික්ටර්ටත් එහෙම ප්‍රශ්නයක්. ඇත්තටම ප්‍රශ්නය වික්ටර්ට නොවෙයි බලන් ඉන්න අයට. මම නම් ඒක වැරැද්දක් දකින්නේ නෑ.
ඔබ සංගීතය ගායනය මෙන්ම ගීත රචනයටත් යොමු වූ අයෙක්. ඒ සංගීත දිවියේ අමතක නොවන සිද්ධි එහෙම ඇතිනේ.
විජය කුමාරතුංගගේ සීන රැයේදී කැසට් එකට සංගීතය කළේ මම. විජයට මාව සම්බන්ධ කළේ බන්දුල පද්මකුමාර. ඒ වගේම ගුණදාස කපුගේ රචනා කළ එකම ගීතය ගායනා කළේත් මමයි. “අප දෙදෙනා – මේ යාමයේ, නිශාචරව ගොළුවන් සේ වැතිරී බලා හිඳිමි ඔබ බලා සිටින ලොව – බලාහිඳිමි ඔබ බලා සිටින දෙස.’ (ගීත ඛණ්ඩයක් ගායනා කරයි.)

මොකක්ද අර මිනීකාමර කතාව
හැත්තෑ එකේ කැරැල්ල වෙන කාලේ අපි හිටියේ හතරලියැද්දේ. පසුකලෙක ගුවන්විදුලියටත් ආව ආචාර්ය නන්දන කරුණානායක ඒ කාලේ එහේ පීඑච්අයි. වැලිගෙපොල තැපැල් කන්තෝරුවට අල්ලපු කාමරේ තමයි එයා නතරවෙලා හිටියේ. ටීබී ඉලංගරත්නගේ ගෙදරත් ඒ ළඟ. අපේ අම්මා මිඞ්වයිෆ් කෙනෙක්. මේ නිසා අපි නන්දනව හඳුනනවා. එයා තමයි ඒ කාලේ ඒ පැත්තේ ජේවීපී නායකයා. මූලික සාකච්ඡාවට මමත් ගියා. හැබැයි සාමාජිකයෙක් වුණේ නෑ. හිතවතෙක් විදියට හිටියා. මොකද මම ඒ වෙනකොටත් කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයෙක්. අනෙක සන්නද්ධ අරගලවලට සහභාගි වෙන්න බියකුත් තිබුණා. ඒ හින්දා ඈතින් තමයි හිටියේ. අපිට වැලිගෙපොල රෝහලේ ක්වාටස් තිබුණා. රෝහලේ මිනී දාන කාමරයක් තිබුණාට ඒක කවදාවත් පාවිච්චි කළේ නෑ. මම ඔය කාමරේට ඇඳන් දෙකක් ගිහින් දාලා පදිංචි වුණා. යාළුවොත් එක්ක වයලින් ගගහා හිටියා. සින්දු කිය කියා හිටියා. එක දවසක් කාමරේට පොලිසියෙන් පැන්නා. කවුරු හරි ඔත්තුවක් දීලා මේක වුණේ. සෙනෙවිරත්න කියලා එස්අයි කෙනෙක් තමා එදා ආවේ. මිනිහා මාත් එක්ක කතා කළා. එයාත් සංගීතයට ළැදි කෙනෙක්. තවත් ටිකක් කතාකරගෙන යනකොට කුරුණෑගල. මගේ යාළුවෙක්ගේ හොඳම යාළුවෙක්. එයා ජීඑම් ජයතිලක කියන ලෝයර්. මම එයාගේ නාට්‍යයකට සංගීතය සපයලා තිබුණා. ඉතින් සෙනෙවිරත්න මට සින්දුවක් කියන්න කීවා. මමත් කීවා .මිනිහට අල්ලලා ගියා. එයා මාරුවෙලා යනකල්ම නිතර නිතර මාව හමුවෙන්න මෝචරියට ආවා.

ඔබ කාලයක් සංගීත කණ්ඩායමකුත් හදාගෙන හිටියා නේද?
ඕව්. ඒ අපි පොතුහැර ඉන්න කාලේ. ඔය ඉරිදා ලංකාදීප පත්තරේ ප්‍රධාන කර්තෘ දොඹගහවත්ත තමයි අපේ බෑන්ඞ් එකේ බයිලා ගායකයා. සංගීතය සම්බන්ධයෙන් මම පොතකුත් ලියලා තියෙනවා. නම “මියැසි මඟ.” මේක විශ්වවිද්‍යාලයේ පවා භාවිත කරන පොතක්. කැලණි කලා සංසදයෙන් මගේ ගැනත් පොතක් ලියලා තියෙනවා.

ජීවිතය ගැන ඔබ හිතන්නේ කොහොමද?
මම ජීවිතයේ කිසිම දවසක බරක් ගත්තේ නෑ. ගන්නේත් නෑ. බරක් ගත්තා කියලා කරන්න දේකුත් නෑ. සුබවාදීව තමයි හිතන්නේ.■