Untitled-1

Untitled-1

පියාපතක් දෙන්න ඈටමොහොතක්වත් පියාඹන්න


piyapth-denna

සටහන/ඡායා ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

ඇගේ කතාව කෙසේ පටන් ගෙන කෙසේ කිව යුතු දැයි නොදනිමි. මගේ ලියවිල්ලෙන් ඇගේ කතාවට යම් හෝ හානියක් වේ දැයි බියක් මා තුළ පවතියි. එහෙත්, ඇය ගැන කෙසේ හෝ කිව යුතුය. ඇගේ හැකියාවන් ලොවෙන් සඟවා තබන්නට නොවටී.

ෙකොළඹ සිට පැය පහකට ආසන්න වෙහෙසකර ගමනකින් පසු, ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටරයක පමණ තවත් දුෂ්කර මගක් ඔස්සේ ගොස් කඳු ගැටයක් මත පිහිටි ඇගේ නිවස වෙතට පිවිසෙමි. ඇය කවුදැයි හඳුනාගන්නට මදෙස බලා සිටින දැරියන් වෙත නෙත් යොමමි. එහෙත් එතැන ඇය නොසිටිය යුතුය. ඒ ඇගේ බාල සොයුරියන් දෙදෙනා බව පසුව දැනගතිමි.
අඩක් ඉදිවුණු කුඩා නිවසේ බිත්ති මත එල්ලුණු වර්ණවත් නිර්මාණ වෙත මගේ සිත ඇදෙයි. ඒවා නිහඬ කතාවක් කියන්නට මෙන් බිත්තියේ එල්ලී බලා සිටිතැයි මට සිතේ.
“මේ තමයි මගේ දුව” සොයුරියන් දෙදෙනා විසින් යාබද කාමරයේ සිට රැගෙන ආ කුඩා මේසය දක්වමින් ඔවුන්ගේ මව පවසයි. ඒ මත රැඳුණු මගේ නෙත් මට ඇදහිය නොහැක, ඒ රුව මට ඇදහිය නොහැක, ඒ හඬ මට ඇදහිය නොහැක.
“ආයුබෝවන්” ඒ ඇගේ හඬයි.
සැබැවින්ම ඇය මාදෙස බලමින් එසේ කියයි, සිනාසෙයි. ඒ දසුනින්, ඒ හඬින්, ඒ සිනහවෙන් මොහොතකට ගොළු වූ මම ඇයට ආයුබෝවන් කියමි. මා අසල තැබූ කුඩා මේසය මත හිඳ ඇය මදෙස බලමින් සිනාසෙයි. ඒ දෙනෙත් බුද්ධිමත්ය, විමසිලිමත්ය. ඇගේ මුහුණ ද පියකරුය. ඇගේ රූපකාය පිළිබඳ මා පැවසිය යුත්තේ එපමණ යැයි මට හැඟෙයි.
“ඔයාගේ නම මොකක්ද?”
“සමීරා” මාදෙස රැඳුණු නෙතින් ඇය හිනැහෙමින්ම පවසයි. ඇගේ මව පිළිගැන්වූ බිස්කට් බඳුන මම ඇය වෙත පිරිනමමි.
“ඔයා කන්න” ඇය පෙරැත්ත කරයි. ඇගේ නිවහන බවට පත්ව තිබෙන කුඩා මේසය මත නැගෙණියන් විසින් තැබූ අපූරු කොට්ට උර මෝස්තරය වෙත ඇය නෙත් යොමයි. මොහොතින් ඇය අසල වූ තීන්ත බඳුන්වලින් තෝරාගත් වර්ණ ටික ටික තවත් බඳුන්වලට වත්කරයි. විවිධ මාදිලියේ පින්සල් අතරින් ඇයට අවැසි පින්සලක් තෝරාගෙන එය ජලයේ පොඟවයි. විවිධ වර්ණ සංකලනය කරයි. වැඩි වේලා නොගොස් කොට්ට උර මෝස්තරය ඉතා සියුම් ලෙස වර්ණ ගැන්වෙයි. කිසිදු රේඛාවකින් පිටතට ඒ පින්සල් පහරවල් නොයයි. ඇය ඉතා කඩිසර ලෙස මෝස්තරය වර්ණ ගන්වයි, අපූරු වර්ණ සංකලනයන් ද යොදාගනියි.
සැබැවින්ම මේ නෙත් අදහා ගත නොහැකි දසුනකි. යාන්තමින් චලනය වන්නේ ඇගේ හිස කොටස පමණි. මේ සියලු ප්‍රාතිහාර්යයන් ඇය කරන්නේ මුවිනි, සැබැවින්ම තොල් ආධාරයෙනි. ඇය පින්සල් හා වර්ණ මාරු කරමින් අපූරු ලෙස සිතුවම් වර්ණ ගන්වයි. නැවතත් පින්සල් අතර යමක් සෙවූ ඇය එහි නොවූ පින්සලක් ගැන සොයුරියකගෙන් විමසයි. ඒ විමසන්නේ ද ඇගේ යටි තොල මත තවත් පින්සලක් නොවැටී රඳවා ගනිමින්මය.
“වයස හයේ දී වගේ අපි දුවට චිත්‍ර පොතක් එක්ක ප්ලැටිග්නම් ගෙනත් දුන්නා. එයා ඒවායින් අඳින්න පටන් ගත්තා. ඊට පස්සේ මම මහද්දී ඉතිරි වෙන නූල් කෑලි ගම් එක්ක දුන්නාම මෙයා ඒවා රටාවලට ඇලෙවුවා. පාට පාට ඩස්ට් ගම් එක්ක කවලම් කරලා එයා එක එක නිර්මාණ කරන්නත් පටන් ගත්තා. අපිට තේරුම් ගියා ඒ වැඩ කරන විධියෙන් එයාට මෙහෙම දක්ෂතාවක් පිහිටලා තියනවා කියලා. පස්සේ මම කඩෙන් ග්ලිටර් ගෙනත් දුන්නා. එයා ඒවායින් අඳින්නත් පටන් ගත්තා.” සමීරාගේ මව තම වැඩිමහල් දියණියගේ මේ අපූරු හැකියාව හඳුනාගත් අයුරු සිහි කරයි. සමීරා කුඩා කාලයේ දී කළ නිර්මාණ සහිත පොත් ඇය මා වෙත දක්වයි.
සමීරාත් ඇගේ සොයුරු සොයුරියන් තිදෙනාත් උපත ලබන්නේ සවුදි අරාබියේය. ඒ ඔවුන්ගේ පියා රියදුරෙකු ලෙස රැකියාවක් ලබා මව ද සමග එහි යන නිසාය. පියා, මව සහ සොයුරු සොයුරියන් සමග සමීරා ලංකාවට එන්නේ වයස හයේදීය. ඇය පැමිණි කාලයේ සිටි වටරවුම් කුඩා මේසය තවමත් ගෙයි පසෙක ඇත. එය එහි සිටම ඇය එන විට රැගෙන ආවකි. කාලයත් සමග ඇගේ ප්‍රමාණය තරමක් විශාල වෙද්දී ඇය දැන් සිටින මේසයට මාරු කර ඇත. දැන් ඇය පසුවන්නේ විසිවන වියේ ය.
“ඉපදෙන්න කලියෙන් වෛද්‍යවරු අදාළ සියලු පරීක්ෂණ කළත් ඉපදෙන තුරුම මේ දරුවා මෙහෙම දරුවෙක් කියලා ඒ අයට සොයාගන්න බැරි වුණා. අස්ථි නොවැඩීමේ ගැටලුවක් නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. දරුවා ඉපදිලා දවස් තුනක් ගත වෙනකන් මට බලන්න දුන්නේ නැහැ. පස්සේ මම දවසක් නර්ස්ලාට කියලා යන්නම ඕනෑම කියලා මෙයාව බලන්න ගියා. මට පෙන්නුවේ නැති නිසා මම හිතුවේ මොකක් හරි හදවත් රෝගයක් හරි වෙන්න ඇති කියලායි. ඒත් දරුවා දැක්කාම මට කලන්තේ වගේ වුණා. මම කෑගහලා ඇඬුවා. මහත්තයා ඊට කලින් දරුවා දැකලා තිබුණා. එයා ඒ හැම දවසේම මම හොස්පිටල් එකේ ඉද්දී රෑ නිදා නොගනිමින් මට කතා කරමින් හිටියා. මම දරුවා දැක්කාට පස්සේ එයාත් රැකියාවටත් යන්නේ නැතිව අඬඅඬා මට කතා කරනවා. වෛද්‍යවරු මට කීවා, කැමති නම් දරුවා ගෙනියන්න නැතිනම් තියලා යන්න කියලා. එහේ මෙවැනි දරුවන් සිටින හොස්පිටල් එකක් තිබුණා. ඒත් අපි දරුවා තියලා යන්න කැමති වුණේ නැහැ. දෙවියන් තමයි අපට දිය යුතු දේ තීරණය කරන්නේ. අපිට අපේ දරුවා අත්හරින්න බෑ. අපි දරුවා අරන් ආවා. මම ටික ටික මගේ හිතේ දුකත් තියාගෙන මහත්තයාගේ හිතත් හදලා එයා ආව රැකියාව එයාට කරන්න උනන්දු කළා. අනිත් දරුවන් ඉපදෙද්දී මෙයාත් මම රැක බලාගත්තා.” සමීරාගේ මව කාලයෙන් වැසුණු අඳුරු මතකයන් යළි සිහිපත් කරන්නීය.
ලංකාවට පැමිණ වසර කීපයකට පසු සමීරාගේ පියා නැවත විදෙස්ගත වන්නේ ඔවුන් ජීවත් කරවීමට මුදල් සොයාගැනීමටය. ඔහු රියදුරු රැකියාවෙන් එවන මුදලින් දරුවන් තිදෙනාගේ අධ්‍යාපන කටයුතුත් ඉතිරි වැඩකටයුතුත් සිදු වෙයි. මුලින්ම ඔවුන්ගේ නිවස පුංචි කාමරයක් පමණි. දැන් යාන්තමට මෑතකදී තවත් කුඩා කොටස් කීපයක් එයට එක්ව ඇතත් ඒ කිසිත් තවම සම්පූර්ණව නැත. සියල්ල මැද සමීරා කුටියක මේසයක් මත වැතිරී තම දෙතොලේ වාරුවෙන් රටා මවන්නීය. සිනාසෙන්නීය.
විවිධ වර්ණයේ කඩදාසි පටි රෝල් කර නිර්මාණය කරන ලද සුබපැතුම් පත් රාශියක් සහ රාමුකරන ලද එවැනි නිර්මාණ කීපයක් සමීරාගේ මව මා අත තබයි. ඒවා ද සමීරාගේ හපන්කම්ය. අහළ පහළ නිවෙස්වල දන්නා අය ඉඳහිට පැමිණ ඒවා මිල දී ගන්නා බව ද ඈ පවසයි. ඇගේ නිර්මාණ වෙළෙඳසැලක අලෙවි කළ හැකි මට්ටමේ ඉතා ඉහළ ඒවා වුණත් එවන් කටයුත්තකට පහසුකමක් සමීරාට තවම නැත. දහසක් වැඩකටයුතු මධ්‍යයේ ඇගේ මවට වෙළෙඳසැල් සොයා යා නොහැකිය, නිවසේ සිට ප්‍රධාන මාර්ගයට ද දුරක් යා යුතුය. සමීරා ඇගේ මිතුරන්ගේ හා හිතවතුන්ගේ උපන්දින ආදියට ඒ නිර්මාණ සොයුරියන්ගේ උදවුවෙන් තැපැල් මගින් යවයි.
වර්ණය අනුව වෙන් වෙන්ව ඉතා සිහින් කඩදාසි පටි රඳවන ලද පෙට්ටියක් ඇය අසල වෙයි. ඒ අතරින් ඇය ඇයට අවශ්‍ය පටි තෝරා ගනී. ඒවා ඇගේ හිස අසල තබා ගනී. ඉන් එක් පටියක් තොල්වලින් අදිමින් අනෙක් පටි කැබලිවලට හෙමින් කටින් සුළං පිඹ පසෙකට කරයි. තෝරාගත් සිහින් කඩදාසි පටිය තොල්වල ආධාරයෙන් ඉතා සියුම් ලෙස රෝල් කරයි. ඇතැම් විට එය අපට දෑතින්වත් එතරම් සියුම් ලෙස කළ නොහැක. අසල බලා සිටින ඇගේ බාල සොයුරිය දෙස ඇය ඒ කාර්යයේ නියුතු වෙමින්ම බලයි. ඔවුනොවුන්ගේ නෙත් ගැටෙයි. බාල සොයුරියගේ සරදම් කතාවක් ඇයට සිහි වූවා විය යුතුය. දෙදෙනාගේම මුවගට සිනා නැගෙයි. ඒ සිනාව අතරින් සමීරාගේ ඇසට පුංචි කඳුලක් නැගෙනු පෙනෙයි. එවැනි කඩදාසි රෝල් ගණනාවක් සෑදීමට ඇයට ගතවන්නේ සුළු කාලයකි. ඒවා ටූත් පික් එකක ආධාරයෙන් ගම් තවරමින් ඇය අපූරු රටා නිර්මාණය කරයි. ඒවා අලංකාර කාඞ්පත් මත විසිතුරු රටා මවමින් ඇලවෙයි. ඒ සඳහා දිනෙන් දින ඇය නව මෝස්තර ද සොයා ගනී. ඊට නව තාක්ෂණය ද උපයෝගී කර ගනී. ඒ සඳහා ඈ උපයෝගී කරගත් දුරකතනය දින කීපයක සිට ක්‍රියාත්මක නොවෙයි. එබැවින් මම මගේ දුරකතනය සමීරා ඉදිරියේ තබමි. යටි තොල උල් හැඩයට හරවා ඇය දුරකතනයේ යතුරු පුවරුව මත ගෙනයයි. නිවැරදිවම එය මත ඇය විස්කම් පායි. සැණෙකින් ගූගල් වෙත පිවිසෙන ඇය එහි ච්චැර ුමසකකසබට ාැිසටබි ලෙස නිවැරදිව සටහන් කරයි. පසුව එහි ඉමේජ් සහ වීඩියෝ වෙත පිවිස ඒවා අධ්‍යයනය කරයි. ඒවා ඇගේ නිර්මාණවලට යොදාගනියි. ඇය එලෙස නව තාක්ෂණයද තම නිර්මාණ සඳහා මැනවින් භාවිත කරන අයුරු විස්මය උපදවයි.
“යාළුවන්ගේ නෑදෑ හිතවතුන්ගේ උපන්දින දවසට හරියටම රෑ දොළහට මෙයා ඒ අයට කෝල් කරලා සුබ පතනවා. ඒ අය සමග චැට් කරනවා. මම එළියට ගිය වෙලාවක වුණත් මෙයා කෝල් කරලා අහනවා. කෙටි පණිවුඩ එවනවා. තාත්තාට කෝල් කරනවා, පේන්ට් කරන්න ඕනෑ වෙන දේවල් එවන්න කියනවා. ඒවා හොඳට දන්නවා. පුංචි කාලේ ගෙදර ෆෝන් එක දුන්නාම මෙයා ඒ දේවල් ඉක්මනින් පුරුදු වුණා. අනිත් අය කරන කියන දේ හොඳට බලාගෙන ඒ අයට වඩා හොඳට මෙයා ඒ දේවල් කරනවා. මෙහෙම හිටියත් හැමදේම හොඳට තේරුම් ගන්නවා. ඉංග්‍රීසි වචන දන්නවා. නංගිලා මල්ලිලා පාඩම් වැඩ කරද්දී මෙයා ඒවා අහගෙන ඉඳලා පුරුදු වුණා. එයා ඒවා ඉක්මනින් ඉගෙනගත්තා.” මව තම දියණියගේ මේ අපූරු දක්ෂතා ගැන පවසයි. කිසි දිනෙක පාසල් නොගියත් සමීරා ඇසෙන දකින දෙයින් බොහෝ දේ උගෙන ඇත.
“ඉස්සර නම් නංගිලා ඉස්කෝලේ යනවා දැක්කාම මටත් යන්න ආසයි. ඒත් දැන් නම් එහෙම ආස නෑ. දැන් මම ආස මේ වැඩ කරන්න” සමීරා මුමුණයි.
ඇගේ මුව අසලින් තැබූ පීරිසියේ වූ බිස්කට් ඇය ආහාරයට ගනී. එහි කැබලි කිසිවක් ඉවතට නොවැටෙයි. ඇගේ තේ කෝප්පයේ හැඬලයෙන් කටින් එය ඔසවන ඇය කෝප්පය ඉහළට ඔසවා හෙමි හෙමින් තේ කට තුළට හලා ගනියි. එක් බිඳුවක් හෝ බිම නොවැටෙයි. ඒ සියල්ල ඉතා සීරුවට සිදු කරයි.
පසුගිය දෙසැම්බරයේ ඇය දීර්ඝ චාරිකාවක් ද ගොස් තිබේ. පියා පැමිණි පසු පවුලේ අනෙකුත් ඥාතීන් සංවිධානය කළ දින හතරේ ඒ චාරිකාව යාපනයටය. මව සමීරා සමඟ නිවසේ රැඳෙන්නට මුලින් තීරණය කළත් අනෙක් අයගේ පෙරැත්ත මත ඔවුහු ද ඊට සහභාගි වෙති. ඒ ගමනේ දී බස්රිය තුළ සමීරාට විශේෂ අසුනක් පැන වී ඇත. සාමාන්‍ය අසුනක තැබුවොත් ඇයට අවට කිසිවක් නොපෙනේ. ඇගේ අසුන පැනවෙන්නේ බස් රථයේ රියදුරු අසුන අසල තිබෙන එන්ජිම මතය. එන්ජිම මත මෙට්ට, කොට්ට, ඇතිරිලි අතුරා ඒ මත ඇය යාපනයට යන්නීය. ඇය ඇවිදින්නට කැමතිය. ඒ ගමන් මතක් කරද්දී ද ඇගේ මුහුණ සතුටින් ආලෝකමත් වෙයි.
“ගිහින් ආවාට පස්සේ මගේ කන් දෙක ඇතුළේ එන්ජිමේ හඬ දවස් ගාණක්ම ඇහුණා” ඇය සිනාසෙමින් පවසයි. පියා පැමිණි අවස්ථාවල නෑදෑ හිතවතුන්ගේ නිවෙස් වෙත යද්දී කෝචිචියේ හෝ බස් රථයේ ඇය රැගෙන යයි. ඒ සැම විටම මව විසින් සමීරා ඔසවාගෙන යනු ලබයි.
“ඉස්සර නම් මම මෙයාව එක අතටත් උස්සාගෙන ඉක්මනින් දුවලා යනවා. ඒත් දැන් මෙයාගේ බරත් වැඩියි. මමත් අසනීප වුණාට පස්සේ දැන් එහෙම ගෙනියන්න අමාරුයි. ඒත් කොහොමහරි තාමත් උස්සන් යනවා.” මව පවසයි. සමීරා නිවසින් එළිමහනට ගොස් සිටීමට ද කැමතිය. එහෙත් දිනපතා එය කිරීම පහසු කටයුත්තක් ද නොවෙයි. බොහෝවිට ඇගේ මේසය කාමරය තුළය. ඇය ද එළියේ ශබ්දයන්ට කන් දෙමින් තමා වඩා ප්‍රිය කරන නිර්මාණයන්ගේ යෙදෙමින් කාලය ගෙවයි.
“නංගිලාට නිවාඩු වෙලාවට එළියට ගිහින් අපි සෙල්ලම් කරනවා” ඇය හිනැහෙමින් පවසයි. ඇය ද සෙල්ලම් කරයි, නංගිලා සමඟ ඉඳහිට රණ්ඩුසරුවල් ද වෙයි. ඒ සෙල්ලම් විවිධ වචන කියන සහ කාඞ්වලින් කරන සෙල්ලම්ය. නිවාඩු අවස්ථාවල නංගිලා සහ මල්ලී ඇය මේසය සමඟ ඔසවාගෙන ගෙමිදුලට ගෙන යති. එවන් දින ඇයට අපූරුම අවස්ථාවන්ය. ඇය තබා තල්ලුකරගෙන යා හැකි කුඩා දරුවන් ගෙන යන කරත්තයක් වැන්නක් තිබුණා නම් එය ඊට වඩා පහසු කටයුත්තක් වන්නට ඉඩ තිබුණි. දිනපතා ඇය සෝදා ඇගේ සියලු කටයුතු මව අතින් සිදුවේ. සොයුරියන්ගේ සහාය ද ඊට ලැබේ. ඒ කටයුතු අවසන් වූ පසු ඇය තම නිර්මාණ කටයුතුවල යෙදෙමින් දවස ගෙවයි.
පියාගේ රැකියා කාලය ද ඉක්ම යෑමට වැඩි කලක් නැති බව සමීරාගේ මව පවසයි. පියා ඔවුන් සමඟ ජීවත් වීමට රැකියාව නිමකර එන තෙක් සමීරා ද නොඉවසිල්ලෙන් බලා හිඳියි. දින දින ඇය නිර්මාණය කරන සුබ පැතුම්පත්, කොට්ට උර මෝස්තර, විසිතුරු කීටැග් හා ඉතාම අලංකාර මුදු රාශියක් එක් රැස් වෙයි. ඒවා ගේ මුල්ලක ගොඩගැසෙයි. ඇය දන්නා හඳුනන සීමිත පිරිසක් පමණක් ඉඳ හිට ඒවා නරඹා කීපයක් හෝ මිල දී රැගෙන යයි. ඇය අන්තර්ජාලයෙන් තව තවත් මෝස්තර සොයමින් අපූරු ලෙස රටා මවයි. එහෙත් ඒවා දකින්නේ අතළොස්සක් දෙනා පමණි.
ඇගේ සිනාව රැඳි මුහුණ මා වෙත යොමුව තිබෙද්දී මම ඇගෙන් සමුගනිමි. මේ ගතවන මොහොතේත් ඇය කුටිය තුළ කුඩා මේසය මතට වී කන්ද උඩ පල්ලියෙන් ඇසෙන අධාන් හඬට කන් දෙමින් අපූරු ලෝකයක් සිත්තම් කරමින් හිඳිනවාට සැක නැත.■