Untitled-1

Untitled-1

මට සිනමාකරුවෙක් ලෙස පවතින්න ඕනෑ | සංජීව කුමාර


sanjeewa

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ දෙවන චිත්‍රපටය වන දැවෙන විහඟුන් (Burning Birds) මාර්තු මස ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙන 15වන අන්තර්ජාතික සිනමා උළෙල සහ මානව හිමිකම් සමුළුව සිනමා උළෙලේ තරගකාරි අංශයට තේරී තිබේ. මේ සංජීව පුෂ්පකුමාර සමග රාවය කළ සංවාදයකි.

ඔබ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයෙන්. අද ලබාගෙන තිබෙන ජයග්‍රහණයන් කරා ළඟාවීම දක්වා ඔබේ ගමන්මග වෙනසකට ලක්වන්නේ කොහොමද?
මම ත්‍රිකුණාමලයේ ඉඳලා කොළඹට ආවේ රූපවාහිනී නිවේදකයෙක් වෙන්නයි. මාධ්‍ය ආයතනවලට සම්බන්ධ වී කටයුතු කිරීමට ලැබුණත් ඒ අංශයේ ජයග්‍රහණ නොලැබීමත් සමග මට කිසියම් ආකාරයක කලකිරීමක් ඇති වුණා. බොහෝ දෙනා මාව පිළිගන්න සූදානම් නැති බව පෙනුණා. එයට හේතුව මම අදක්ෂ වීම නෙමෙයි. එයට ප්‍රධානම හේතුව ලෙස මම දැක්කේ මම ත්‍රිකුණාමලයේ සිට ආ කෙනෙක් වීම, මම ලොකු පාසලකින් ආ කෙනෙක් නොවීම, මම බොහෝ විට ඇන්දේ එකම ඇඳුමක් වීම, මම ආවේ වාහනයකින් නෙමෙයි වීම. ඒ වගේම මම ඔවුන් බලාපොරොත්තු නොවුණු විවිධ විෂයන් පිළිබඳ කතා කළා. ඒ අය ඒවා පිළිගන්න කැමති වුණේත් නැහැ.
ඒ අතරේ තමයි මට පුරහඳ කළුවර, පවුරු වළලු සහ මේ මගේ සඳයි චිත්‍රපට බලන්න ලැබුණේ. ඒ චිත්‍රපට මගේ සිත තුළ කිසියම් ආකාරයක පිබිදීමක් ඇතිකළා. ඒවායේ කතාකළ විෂය ක්ෂේත්‍ර මට සමීප දේ වුණා. මේ අධ්‍යක්ෂවරු කොළඹ අය, යුද්ධය පිළිබඳ සෘජු අත්දැකීම් නැති අය, හැබැයි මම අත්දැක්ක එම සිදුවීම් පිළිබඳව ඒ අය ඉතාම රමණීය ලෙස ප්‍රකාශ කරනවා. මම කොච්චර කතා දන්නවාද, ඇයි මට ඒ කතා මේ ලෝකෙට කියන්න බැරි කියන දේ තමයි මා තුළ ඇති වුණේ. ඒ හැඟීමත් එක්ක තමයි මම චිත්‍රපටි බලන්න පුරුදු වුණේ. ඉන්දියන් කල්චරල් සෙන්ටර්, ගොතේ, ඇමරිකන් සෙන්ටර් වගේ තැන්වලට ගිහින් මම චිත්‍රපටි බැලුවා. ඒ අතරේ මම චිත්‍රපට සංස්ථාවේ සිනමාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරුවා. එහෙම තමයි සිනමා ක්ෂේත්‍රය තුළ මගේ ගමන ආරම්භ වුණේ.

ජීවන අත්දැකීම් සෞන්දර්යාත්මක සිනමාවකට ගෙනඒමේ කාර්යය සිදුවන්නේ කොහොමද?
මම කළ චිත්‍රපට දෙකම සෘජුව හෝ වක්‍රව මගේ ජීවිතයත් සමග සම්බන්ධ වුණු සිදුවීම් එක්ක තමයි නිර්මාණය වුණේ. ඒවා සම්පූර්ණයෙන්ම ස්වයං චරිතාපදාන කියලා එයින් කියවෙන්නේ නැහැ. ඒ නිසා චිත්‍රපටය පටන් ගැනීමට මට හරිම පහසුයි. මගේ සැබෑ ජීවන අත්දැකීමෙන් පටන්ගෙන කිසියම් ආකාරයක සමාජ දේශපාලන පසුතලයක එම චිත්‍රපට දෙක පිහිටුවීමට මම උත්සාහ කළා. වෙන අයගේ කෝණ තුළින් එය සාර්ථක ද අසාර්ථක ද කියන්න මට අමාරුයි. ඒ චිත්‍රපට දෙක නිර්මාණය කිරීම තුළින් මට කිසියම් ආකාරයක චිත්ත සමාධියක් ලැබුණා. එය තමයි වැදගත්ම දේ.

ඔබගේ පළමු සිනමා කෘතිය වන ඉගිලෙන මාළුවෝ ජාත්‍යන්තර අවධානයට හා ඇගයීමට පාත්‍ර වුවත් එයට ලංකාව තුළ ලැබෙන්නේ යහපත් ප්‍රතිචාරයක් නොවෙයි.
ඉගිලෙන මාළුවෝ ප්‍රධාන ධාරාවේ සිනමා ආඛ්‍යානයක් නියෝජනය කරන චිත්‍රපටයක් නෙමෙයි. එය තරමක් අපහසු සිනමා සෞන්දර්යවේදයක් මුල්කරගත් චිත්‍රපටයක්. ඒක මම මුල සිටම දැනගෙනයි කළේ. මොකද මම නරඹන්න කැමති චිත්‍රපටි තමයි එවැනි චිත්‍රපටි. මම ප්‍රියකරන සිනමා සෞන්දර්ය මූලධර්මයන් පදනම් කරගෙන තමයි මගේ පළමු චිත්‍රපටය නිර්මාණය කළේ. එය නිර්මාණය කිරීමේදී ගැටලු රාශියක් මතුවුණා. ලංකාව කලාව පිළිබඳව කිසිම වගකීමක් නැති සමාජයක්. ඒ සමාජය ඇතුළේ නිර්මාණයක් කිරීමට උත්සාහ කිරීම විශාල අරගලයක්. ඒ නමුත් කිසියම් විධියකින් මේ කතාව කියන්නම ඕනෑ කියලා මම හැම වෙලාවේම හිතුවා. බංග්ලාදේශය, නේපාලය වැනි රටවල් අපිට වඩා ආර්ථික මට්ටමින් ඉතා පහළින් තිබෙන රටවල්. කලාව වෙනුවෙන් දිය යුතු යටිතල පහසුකම් සමුදාය සපයා දිය යුතුයි කියන දේ එම රටවල් විශ්වාස කරනවා. එවැනි දේ අපේ රටවල නැහැ. එහෙම පසුබිමක් යටතේ තමයි එම චිත්‍රපටය නිර්මාණය වන්නේ.
ලෝකයේ බොහෝ අය එම චිත්‍රපටය පිළිගත්තත් ලංකාවේ එය පිළිගත්තේ නැහැ. එය පිළිනොගත්තේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට වඩා මෙහි සිටින ප්‍රගතිශීලී යැයි කියන පිරිස් විසිනුයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට තිබුණේ දේශපාලන බලය පිළිබද වුවමනාවක් සහ මුග්ධභාවයක් විතරයි.තවත් සිනමාකරුවකු ක්ෂේත්‍රයට පැමිණීම පිළිගන්න ඒ අය කැමති වුණේ නැහැ. ඒ කවුරුවත් අදටත් ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටයේ නියම පිටපත් දැකලා නැහැ. ඒ හැමෝම දැකලා තියෙන්නේ කොහෙන් හෝ පිටතට ගිය ඉතාම නරක ඩීවීඩී පිටපතක්. එය තමයි දැනට අන්තර්ජාලයේ තියෙන්නේ. එය නරඹලා තමයි ගොඩක් අය කතා කළේ. ඒ නමුත් චිත්‍රපටයක් කියන්නේ එහි තිබෙන කතාව පමණක් නොවෙයි, එහි තිබෙන අනෙකුත් සෞන්දර්යමය මූලධර්මයි. ඒ එකක්වත් ඒ කිසිවෙකුට නරඹන්න ලැබුණේ නැහැ. එහෙම තියෙද්දී තමයි එය විවේචනය කළේ. එයින් මට කිසිම ලාභයක් හෝ අලාභයක් වුණා කියලා මම හිතන්නේ නැහැ.

ලංකාව තුළ සිනමා කර්මාන්තය වෙනුවෙන් විධිමත් අධ්‍යාපනයක් තවමත් ඇති වී තිබෙනවා ද යන්න ගැටලුවක්.
අවුරුදු හැත්තෑවක් ගිහිල්ලාත් සිනමාව විෂයක් ලෙස හදාරන්න අපිට බැරිවෙලා තියෙනවා. පසුගිය අවුරුදු කීපය ඇතුළත නේපාලය, භූතානය, බංග්ලාදේශය වගේ රටවල් ඉතාම වේගයෙන් ජාත්‍යන්තර තලයේ ඉදිරියට අපේ රටේත් අතරින් පතර කීප දෙනෙක් මතු වුණා. ඒ නමුත් අපි සිනමාවක් ලෙස ප්‍රබලයි කියලා එයින් කියවෙන්නේ නැහැ. කොරියන් සිනමාව කීවොත් එයින් එක්කෙනෙක් අදහස් වෙන්නේ නැහැ, හැම අවුරුද්දකම සිනමාකරුවන් ගණනාවක් ක්ෂේත්‍රයට එනවා. අපේ රටේ හැම වෙලාවේම එක් එක් පුද්ගලයන් මත පමණයි මේක රැඳිලා තියෙන්නේ. ඒ අයට හැකි පමණින් උත්සාහ කර සිනමාව කරගෙන යෑම සහ ජයග්‍රහණ අත්පත් කරගැනීම මිසක් අපි ජාතියක් විධියට අත්පත් කරගන්නා ජයග්‍රහණ නොවෙයි.

අන්තර් ජාතික සිනමා උලෙළවල් සඳහා පමණක් චිත්‍රපට නිෂ්පාදනය කරන බවට ඇතැම් පිරිස් ඔබට චෝදනා කරනවා.
ප්‍රේමය නම් චිත්‍රපටය මෑත කාලයේ මම දැක්ක හොඳම චිත්‍රපටයක්. මම හිතන්නේ බඹර වළල්ලට පසුව හොඳම පිටපත තියෙන චිත්‍රපටය තමයි එය. අවුරුදු තුනක් හිර වෙලා තිබුණු ඒ චිත්‍රපටිය දැන් 4.15 දර්ශනයක පෙන්වනවා. කවුද එය නරඹන්න යන්නේ, කවුද ඒ වෙනුවෙන් මැදිහත් වෙන්නේ. චිත්‍රපටයක් කරන්න තියෙන අමාරුව දන්නේ අපියි. මුදල් සොයා ගැනීමේ අපහසුව දන්නේ අපියි. කතා කරන්න පුළුවන්, කරන්නයි අමාරු. මට සිනමාකරුවෙක් ලෙස පවතින්න ඕනෑ. මට යම රජ්ජුරුවෝ ඒ වෙනුවෙන් උදවු කරන්න කැමති නම් මම යම රජ්ජුරුවෝ එක්ක මගේ සිනමා කෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න කැමතියි.
අද වන විට එහි පවතින්න පුළුවන් මාවත් ගණනාවක් තියනවා. සිනමා උළෙල කියන්නේ ඉන් එක් මාවතක්. සමහර සිනමා උළෙල සඳහා චිත්‍රපටයක් ඉදිරිපත් කළාම එයින් යම් ගෙවීමක් උපයන්න පුළුවන්. ඊට අමතරව චිත්‍රපටය අන්තර්ජාතිකව මෙහෙය වීමට හොඳ විකුණුම් නියෝජිතයෙක් සිටිය යුතුයි. සිනමා උළෙලක් කැමති වුවොත් ඔවුන් එම චිත්‍රපටය උළෙලට දෙනවා. ඒ සඳහා සිනමා උළෙලින් තිරගත කිරීමේ මුදල ලෙස ඔවුන් මුදලක් අය කරගන්නවා. ඒ මුදල චිත්‍රපටයට ලැබෙනවා. අපි එය සිනමා ශාලාවල දර්ශනය කර උපයනවා වගේම සිනමා උළෙල කියන්නේ එක්තරා ආකාරයක වෙළෙඳපොළක්. එය අපට වියදම් වූ මුදලින් සුළු ප්‍රමාණයක් හෝ නැවත සොයාගැනීමට තියෙන මාවතක්. සිනමා උළෙලකට චිත්‍රපටයක් නිර්දේශ වීම ලොකු ජයග්‍රහණයක් වගේම ගෞරවයක්. මම කියන්නේ මට කියන්න ඕනෑ කතාව. ඒක කවදාවත් ෆෙස්ටිවල් එකකින් හෝ වෙන කවුරුන් හෝ කරන්න එපා කියන්නේ නැහැ.

දැවෙන විහඟුන් චිත්‍රපටය නිර්මාණය වන්නේත් ඔබේ ජීවන අත්දැකීම් පාදක කරගෙන විය යුතුයි.
ඒ චිත්‍රපටය පටන්ග ත්තේ මගේ පුද්ගලික අත්දැකීමකින්. පියා මියයද්දී මට අවුරුදු එකොළහයි. පවුලේ ළමයි අට දෙනෙක්. අපි ඉතාම දුෂ්කර ජීවිතයක් ගතකළා. මට ඕනෑ වුණා මේ ජීවන අත්දැකීම් කියන්න. මගේ පුද්ගලික අත්දැකීම අරගෙන එය දැන් තියෙන සහ එදා තිබුණු සමාජ දේශපාලන අවකාශයක් තුළ ස්ථානගත කරන්න මම තීරණය කළා.■