රාවය

ජීවිතය පුරා ලලිත කලාව විමසූ කතාන්දරකාරයා ජෝන් බර්ජ(ර්)

ජීවිතය පුරා ලලිත කලාව විමසූ කතාන්දරකාරයා ජෝන් බර්ජ(ර්)

ගයා නාගහවත්ත සහ පියල් කාරියවසම්

මට හිතෙනවා මම කතාකාරයෙක් කියලා… එහෙම කතාකාරයෙක් වීම නිසා මම නව ආර්ථික ව්‍යුහය පවත්වාගෙන යන රාජ්‍යතන්ත්‍රයට භයානක චරිතයක් ලෙස පේනවා නං, මට ඒ ගැන ආඩම්බරයි.”: ජෝන් බර්ජ(ර්)
චිත්‍ර ශිල්පියෙකු, කලා විචාරකයෙකු, විශේෂාංග රචකයෙකු, නවකතාකරුවෙකු, කවියෙකු, තිර පිටපත් රචකයෙකු, මෙන්ම, රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකයෙකු වූ ජෝන් බර්ජ(ර්), පැරිසිය ආසන්නයේ සිය නිවහනේදී පසුගිය ජනවාරි 2 වනදා දිවියෙන් සමුගන්නා විට වයස අවුරුදු 90ක් විය.
1972දී විකාශය වූ නිරීක්ෂණ විලාස (Ways of Seeing) නම් වූ බී.බී.සී. රූපවාහිනී වැඩසටහන ඔස්සේ ජනප්‍රියත්වයට පත්වුණු ඔහු, ජීවිතය පුරා නවකතා 10ක්, නාට්‍ය 4ක්, කාව්‍ය පොත් 3ක්, සහ විවිධ විෂයන් යටතේ ලියවුණු පොත් 33කටත් වැඩි ප්‍රමාණයක්ද පළ කොට තිබිණ.
Ways of Seeing රූපවාහිනී වැඩසටහන ඔස්සේ එතෙක් කල් යුරෝපයේ මුල් බැස තිබූ චිත්‍ර කලා විචාරය පිළිබඳ යුරෝපීය ප්‍රභූවාදී සම්ප්‍රදායත්, යම් කලාකෘතියක් තුළ පවතින්නාවූ සමාජ දේශපාලනික අර්ථ බැහැර කිරීමේ විචාරවේදයත් ප්‍රශ්න කරමින් බර්ජ(ර්) බි්‍රතාන්‍ය නව වාමවාදී දැක්මකින් යුතුව ලලිත කලාවන් කියවීමේ අවශ්‍යතාව ස්ථාපිත කළේය.
ධනවාදයේ තුන්වන කාර්තුවේදී බැහැර කළ නොහැකි වන වෙළෙඳ දැන්වීම් කලාව සහ චිත්‍ර කලාව අතර සම්බන්ධය මෙන්ම, පසු-නූතනවාදී යුරෝපීය සමාජයේ ද්‍රව්‍යවාදයේ ජයග්‍රහණ ලෙස බිහිවූ රූප-ප්‍රතිරූපවල ගිලී ඇති ලෝකයක ‘උසස්’ කලාකෘතියක් ස්ථානගත කිරීමේ විද්‍යාව කලා පර්ෂද කථිකාවට රැගෙන ආවේය. තවද, සම්භාව්‍ය කලාව තුළ නිරුවත් රූපය භාවිතයේ ඇති ලෛංගික පක්ෂග්‍රාහිත්වය සංවාදයට ලක් කිරීමත්, යම් චිත්‍ර කලා භාවිතයක් ස්වාධීනව අර්ථ පළ නොකරන බවත් ඒවා ස්ථානගත කිරීම, ප්‍රතිනිෂ්පාදනය වැනි සංසිද්ධීන් ඔස්සේ ඒවායේ අර්ථ විපර්යාස්ථ වන අයුරුත් බර්ජ(ර්) විග්‍රහ කළේය.
මේ අතර, 1972දී පළ වූ ජෝන් බර්ජ(ර්)ගේ ‘ජී (G)’. නම්වූ නවකතාවට බුකර් සාහිත්‍ය සම්මානය ඇතුළු තවත් සම්මාන කිහිපයක් හිමිවිය. බුකර් සම්මානය ලබා ගනිමින් බර්ජ(ර්) කියා සිටියේ එම සම්මානයේ මූල්‍ය අනුග්‍රහය කැරීබියානු කලාපයේ උක් වගාව ඔස්සේ සූරාකෑමට ලක් වන කම්කරු ශ්‍රමය ඔස්සේ බිහිවූවක් හෙයින්, තම ත්‍යාගයෙන් අඩක් එකී කම්කරුවන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් දේශපාලනිකව ක්‍රියාකාරී වන ‘කළු දිවියා ව්‍යාපාරයට’ (Black Panther Movement)පිරිනමන බවයි. ත්‍යාගයේ ඉතිරි අඩ, සංක්‍රමණය සහ සංක්‍රමණිකයන් පිළිබඳ සිය පර්යේෂණ ව්‍යාපෘතිය සඳහා යෙදවූ ඔහු, එම ත්‍යාගයෙන් කිසිවක් සිය පෞද්ගලික සුඛ විහරණය සඳහා යෙදවූයේ නැත. මේ අනුව, අතිශයින් දේශපාලනික සහ විවාද සම්පන්න ප්‍රතිවිරෝධයක්, සාහිත්‍ය ත්‍යාග පිටුපස පවත්නා වූ ජනප්‍රිය තාරකාමය ගුණය ඛණ්ඩනය කරමින් ඉදිරිපත් කිරීමට ජීවිතයේ මුල් කාර්තුවේදීම බර්ජ(ර්) සමත් විය.
චිත්‍ර කලාව සම්බන්ධයෙන් නවතම කියවීම් මාලාවක් සනිටුහන් කළ Ways of Seeing”, පසුව පොතක් වශයෙන්ද පළවිය. චිත්‍ර කලා විචාර පර්ෂද තුළ සහ විද්‍යායතන තුළ භාවිත විචාර කෘතියක් ලෙස, Ways of Seeing” වර්තමානයේ පවා වැදගත්කමක් උසුලයි. ඊට අමතරව බර්ජ(ර්)ගේSuccess and Failure of Picasso, Portraits, Landscapes වැනි කෘති, මූලික වශයෙන් යුරෝපීය සහ ලෝක මට්ටමේ මූල චිත්‍ර කලා භාවිතාවන් සහ චිත්‍ර ශිල්පීන් විමසීමට ලක් කරයි.
ලලිත කලාව මාක්ස්වාදී විද්‍යාත්මක දෘෂ්ටියකින් විග්‍රහ කළ බර්ජ(ර්), නවකතාකරුවෙකු සහ කවියෙකු ලෙස භාෂාව හැසිරවීම තුළ ලබා ඇති ශික්ෂණයත්, කවියෙකු තුළ අත්‍යන්තයෙන් පවත්නා සංකේතාර්ථ භාවිතයත්, අවිඥානය උත්ප්‍රාසවත් ලෙස භාවිත කිරීමත්, පුහුණුව ලැබූ චිත්‍ර ශිල්පියෙකු වීමත් ඔස්සේ චිත්‍රයක් කියවීමේදී ඓතිහාසික මෙහෙවරක් ඉටු කළේය. විශේෂයෙන් ශාස්ත්‍රාලීය විෂයානුබද්ධ භාවිතය සහ 70 දශකයේ සිට ක්‍රමයෙන් වර්ධනය වූ යුරෝපීය ජනප්‍රිය සංස්කෘතික න්‍යායන් සුමට විප්ලවීය සන්දර්භයකින් නිරීක්ෂණය කිරීම බර්ජ(ර්)ගේ විචාර කලාවේ පවත්නා ගතිකත්වයකි.
බර්ජ(ර්)ගේ ‘විවාහ මංගල්‍යය වෙත (To the Wedding)’. නවකතාවේ ප්‍රධාන භූමිකාව – සිය ජීවිතයට අතිශය සමීප වූ පවුලේ ඥාති දියණියකට සිදුවූ පරිදි – ඒඞ්ස් රෝගයට ගොදුරු වෙයි. මෙම නවකතාවෙන් ඉපයූ සමස්ත ධනය, බර්ජ(ර්) ඒඞ්ස් රෝගීන් සඳහා අරමුදල් සපයන්නා වූ සංවිධානයකට ලබාදෙමින් රචකයෙකුගේ සහ විචාරකයෙකුගේ භූමිකාව ප්‍රායෝගික භාවිතාවන් කරා ගෙන යා යුතු බව නැවත නැවතත් විශද කළේය. තවත් ආකාරයකින් සාහිත්‍ය කෘතියක පවත්නා තොරතුරුමය සත්‍යය ඉක්මවා ප්‍රබන්ධ අවකාශය තුළ අත්පත් කරගනු ලබන නිදහස සහ සංකල්පමය සත්‍යතාව ඔහුගේ මෙම නවකතාව තුළින්ද නැවතත් තහවුරු කළේය.
චිත්‍ර ශිල්පියෙකු ලෙස සිය මූලික අධ්‍යාපනය සහ හැකියාව තිබියදීත්, සමාජ-දේශපාලනික වශයෙන් ලිවීමට ඇති දෑ අතිමහත් බව පැවසූ බර්ජ(ර්), සිය සමාජ වගකීම නිසාම හුදෙක් චිත්‍රකරණයේ පමණක් නියැලීම ප්‍රමාණවත් නොවන බව ප්‍රකට කරමින්, ලිඛිත අදහස් දැක්වීමේ වටිනාකම අවධාරණය කළේය. රචනයේ සහ විවේචනයේ වැදගත්කම වෙසෙසින් සනිටුහන් කරමින් මිය යන තෙක්ම එයට ඉහළ වටිනාකමක් දුන්නේය.
එසේම ගැටුම් සහිත සමයන්හිදී චිත්‍ර ශිල්පියාගේ වගකීම පිළිබඳව සංවාදයේ යෙදුණු බර්ජ(ර්), ඒ ඔස්සේ එවැනි අවස්ථාවන්හිදී විචාරකයාගේ භූමිකාවද සංවාදයට ලක් කළේය.
“මාසයෙන් මාසය මිලියන ගණනින් සිය නිජබිම් අතැර යති. ඔවුන් එසේ යන්නේ, එතැන්හි කිසිවක් – සිය සන්තකයම හැර කිසිවක් – නොමැති නිසාය. සිය සන්තකය තවදුරටත් තම දරුවන් පෝෂණය කිරීමට ප්‍රමාණවත් නොවේ. පෙර කලෙක එය ප්‍රමාණවත් වී තිබුණද තවදුරටත් එසේ නොවේ. නව ධනවාදයේ දුප්පත්කම මෙයයි.” Landscapes, ජෝන් බර්ජ(ර්)
(ජෝන් බර්ජ(ර්)ගේ Landscapes’, ‘Portraits’, Ways of Seeing’, යන කෘති සහ අන්තර්ජාලයේ ගාඩියන්, නිව්යෝක් ටයිම්ස්, බී.බී.සී. යන වෙබ් අඩවි ඇසුරින් පරිවර්තනය කොට සකසන ලදි.)