රාවය

ශ්‍රීලනිප මතය නැතිව ව්‍යවස්ථාව නවතී

ශ්‍රීලනිප මතය නැතිව ව්‍යවස්ථාව නවතී

තරිඳු උඩුවරගෙදර

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ශ්‍රීලනිපයේ මතය ඉදිරිපත් කිරීම සඳහා, එම පක්ෂය විසින් පත්කර ඇති කමිටුව වාර්තාවක් ලබා නොදීම සහ ජනාධිපතිවරයා විසින් සිය අදහස ඉදිරිපත් නොකිරීම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම තාවකාලිකව ඇනහිට ඇතැයි වාර්තා වේ.

ව්‍යවස්ථාව පිළිබඳව අනුකමිටු වාර්තා හය ඉදිරිපත් කළ පසුව පසුගිය දෙසැම්බර් 10 වනවිට මෙහෙයුම් කමිටු වාර්තාව ඉදිරිපත් කොට ජනවාරි මාසයේදී ව්‍යවස්ථාව පිළිබඳව විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබුණි.
එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රීලනිපය එකඟ වන අන්දමේ යෝජනා ඇතුළත් කෙටුම්පතක් ව්‍යවස්ථාව පිළිබඳ මෙහෙයුම් කමිටුව විසින් ඉදිරිපත් කළ යුතුව තිබුණු අතර මෙහෙයුම් කමිටුවේ සභාපතිවරයා වන අගමැතිවරයා පවසා තිබුණේ මෙහෙයුම් කමිටුව ඉදිරිපත් කරන ඕනෑම කෙටුම්පතකට එජාපය සහයෝගය දක්වන බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් තම පක්ෂයේ මතය ඉදිරිපත් කළ යුතු බව පවසා තිබූ අතර ශ්‍රීලනිපයට අදහස් ඉදිරිපත් කිරීම සඳහා පෙබරවාරි 10 අවසන් දිනය ලෙස ලබාදී තිබුණි.
එහෙත් එම දින පසුවී මාසයකට වැඩි කාලයක් ගතවී ඇති ශ්‍රීලනිපය තම මතය තවමත් ඉදිරිපත් කර නොමැත.
නිමල් සිරිපාල ද සිල්වා, ඩිලාන් පෙරේරා, මහින්ද සමරසිංහ, සුසිල් ප්‍රේම්ජයන්ත් යන ශ්‍රීලනිප ඇමතිවරුන්ගෙන් සමන්විත එම කමිටුව පසුගිය දින කිහිපයේ රැස්වීමක් හෝ පවත්වා නොමැති බව වාර්තා වෙයි.
ශ්‍රීලනිප සභාපතිවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් තම මතය ප්‍රසිද්ධියේ ප්‍රකශ නොකිරීමද ව්‍යවස්ථා සම්පාදන කටයුතු අඩාල කර ඇති අතර අගමැතිවරයා, සිවිල් සංවිධාන සහ 2015 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වෙනුවෙන් පෙනී සිටි නායකයන් සමඟත් මෑත කාලයේ පැවති අභ්‍යන්තර සාකච්ඡාවලදී පමණක් නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙනී සිටින බව ජනාධිපතිවරයා පවසා ඇත.
ව්‍යවස්ථාව පිළිබඳව මෙහෙයුම් කමිටුවේ සාමාජිකයන් කිහිපදෙනෙකුගෙන් ජනාධිපතිවරයා බලය බෙදීම පිළිබඳව යෝජනාවලියක්ද ලබාගෙන ඇතත් ඒ සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා නිසි ප්‍රතිචාරයක් දක්වා නැතැයි ආරංචි මාර්ග පවසයි. ■