රණවිරු ලේබලය අලවා අපරාධකරුවන් නිදහස් කළ යුතුද?


ranaviru

නිමල් අබේසිංහ

යුද සමයේදී මෙන්ම ඊට පසුවත් මේ රටේ සිවිල් පුරවැසියන් ශිෂ්‍යයන්, මාධ්‍යවේදීන් පැහැරගෙන යෑම අතුරුදන් කිරීම, ඝාතනය කිරීම හා ඔවුන්ට පහරදීම ඇතුළු විවිධ අපරාධයන්ට සම්බන්ධ සන්නද්ධ හමුදා සාමාජිකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමේ වාතාවරණයක් දක්නට තිබේ. එය එසේ වෙත්දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විවිධ අවස්ථාවන්හිදී රණවිරුවන් අත්අඩංගුවට ගැනීම, ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වැනි ක්‍රියාදාමයන් තමා අනුමත නොකරන බව ප්‍රකාශ කර ඇත. ඒ අතරේ අතුරලියේ රතන හිමියන්ද රණවිරුවන්ට එරෙහිව සිදුවන නීත්‍යනුකූල ක්‍රියාකාරකම් වහා නැවැත්විය යුතු බවත් එය රාජ්‍ය නොවන සංවිධානයන්හි යටිකුට්ටු වැඩපිළිවෙළක් බවත් මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණ.
මෙහිදී රණවිරුවා හා අපරාධකාරයා යනු දෙදෙනෙක් වුවද පසුගිය සමයේ සිදුවූ කප්පම් ගැනීම සඳහා සිවිල් පුරවැසියන් පැහැර ගැනීම වැනි අපරාධත් මාධ්‍යවේදීන් ඝාතනය කිරීම ඇතුළු නන්විද අපරාධත් සිදුකරන ලදැයි සැක කෙරෙන සන්නද්ධ හමුදාවල අපරාධකරුවන්, නිදහස්වීමේ ප්‍රවනතාවක් මෙතුළින් දැකගත හැකිය. එය ප්‍රජාතන්ත්‍රවාදී රටක යහපාලන පැවැත්මට දැඩිව බලපාන්නක් සේම රණවිරු ලේබලය අලවා අපරාධකරුවන් නිදහස් කිරීමේ තැතක් ලෙසද සැලකිය හැකිය. මේ සම්බන්ධයෙන් සිවිල් සංවිධාන ක්‍රියාකාරකයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, මාධ්‍ය සංවිධාන නියෝජිතයන් දක්වන අදහස්වල සංක්‍ෂිප්තයන් මෙහි පළවේ.

ජාතිවාදයට සේලයින් දීමක්
දුමින්ද සම්පත්/ වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම්
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ වාගේ කතාවක් කීවාට පස්සේ චෝදනාවලට ලක්ව අධිකරණයට ඉදිරිපත් කළ අය නිදහස ලබනවා. ඒ වාගේම ඒ අය නැවත සේවයෙත් පිහිටුවනවා. මේ නිසා අගතියට පත් පාර්ශ්වයන්ට සාක්‍ෂිකරුවන්ට බියෙන් ඉන්නයි සිදුවෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි. මෙම අපරාධ හෙළිදරව් කළ මාධ්‍යවේදීන්ට පවා දැනට සිදුවෙන අපරාධ වටපිටාව දිහා බලනකොට බියෙන සැකෙන් තමයි ඉන්න සිද්ධවෙලා තියෙන්නේ. ඒ නිසා මාධ්‍යවේදීන්ට තමන්ගේ පෑන නිදහසේ පෑන හසුරුවන්න බැරි ආකාරයේ තර්ජනයකුත් ඇතිවෙලා තියෙන්නේ.
මේ අය බලයට එන්න පෙර කීවේ සාධාරණ සමාජයක් වෙනුවෙන් පෙනී සිටිනවා කියන කතාව. ඒ විතරක් නෙවෙයි රටේ මාධ්‍යවේදීන් ඇතුළු අහිංසක සිවිල් පුද්ගලයන්ට සිදුවූ සියලු ආකාරයේ නොපනත්කම්වලට සම්බන්ධවූවන්ට තරාතිරම නොබලා අධිකරණය හමුවට ඉදිරිපත් කර දඬුවම් ලබාදෙන බවත් කීවා. එහෙත් මේ අය මේ පොරොන්දුව සහමුලින්ම අමතක කරපු බවයි මේ කතාවලින් ප්‍රදර්ශනය කරන්නේ. අපට පෙනෙන්නේ යහපාලනයක් ගේනවායි කියූ කෙනාම නැවතත් ජාතිවාදය ඇතිකරන්න සේලයින් දීමක් කරන බවයි. යුදසමයේදී හෝ ඉන් පස්සේ අතුරුදන් කිරීම්, ඝාතනය කිරීම්, පැහැර ගැනීම්, පහරදීම් පිළිබඳ චෝදනා සන්නද්ධ හමුදාවලට එල්ලවෙලා තියෙන අවස්ථාවක මේ අය කළයුත්තේ හරි නම් නියම වැරදිකරුවන් සොයා ඔවුන් අධිකරණයට ඉදිරිපත්කර නිසි දඬුවම් ලබාදීමට පියවර ගැනීමයි. එහෙත් සිද්ධවෙන්නේ එවැනි නීතිමය ක්‍රියාමාර්ගවලින් වැරදිකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම වාගේ තීරණාත්මක අවස්ථාවලදී දේශපාලන බලපෑම් එල්ල කිරීමයි. මෙය දුන් පොරොන්දු උඩුයටිකුරු කිරීමක්.

පෙනෙන්නේ යහපාලනයක් නැති බව
විදර්ශන කන්නන්ගර/ විචාරක
ජනාධිපතිවරයාගේ හෝ රතන හිමියන්ගේ කතාව අමුතු දෙයක් නොවෙයි. මේක තමයි සිංහල බෞද්ධකම උත්කර්ෂයට නැංවීමේ සංස්කෘතික උගුල. ජාතිවාදයේ අධිපති කතිකාවතේ උගුල. මෙයින් බැහැර යමක් ඔහුගෙන් බලාපොරොත්තු වෙන්නත් බැහැ.
දැන් ඔය ජනවාරි අටවෙනිදා වුණාය කියන පරිවර්තනය, එහෙම එකක් වෙලා නෑ. අධිපති දෘෂ්ටියේ වෙනසක් වුණේ නැහැ. සිද්ධ වුණේ බලය ලබාගැනීම අලුත් වටයකින් වීම පමණයි. නැත්නම් බලය හුවමාරුවක් සිදුවුණා. මෑත කාලීන යුද්ධය විශාල අපරාධ හා හිංසන මාලාවක් මුදා හැරියා. ඒක උතුරේ විතරක් නෙවෙයි දකුණෙත් සිද්ධ වුණා. ඒක අවිඥානිකව දකුණේ අය බෙදා ගත්තේ රතුපස්වල සිද්ධියත් එක්කයි. එතනදී අපි කතාකරනවා උතුරෙදීත් මෙහෙම තමයි කියලා. කිලර් කියන එන නැතිනම් නරුමවාදය දකුණේ ජනතාව පිළිගන්නවා.
මෛත්‍රීපාල සිරිසේනලා බලාපොරොත්තු වන්නේ 2020දී තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවන්න. ඒකට සිංහල බෞද්ධ මනස හඳුනාගැනීමේ උපක්‍රමයක් තමයි මේ. මේ හැර ඔහු කුමක් කියන්නද? ඒක තමයි ඔහුගෙන් බලාපොරොත්තු වන්න පුළුවන් දේ. කෑගහලා වැඩකුත් නෑ. අපි කළයුත්තේ රණවිරුවාදය සොල්දාදු අභිවාදනය ඛණ්ඩනය කිරීමයි. ඊට එරෙහි වීමයි. ඉදිරියේදී යහපත් ගමනක් සිදුවන්නෙත් නෑ. ඕනෑම අපරාධකරයෙකුට මේක ඇතුළේ ආරක්‍ෂා විය හැකියි. මේක වෙන්න තිබුණ දෙයක්. යහපාලනය තවදුරටත් වලංගු නෑ. හැබැයි මේ ක්‍රමය බිඳින්න අවශ්‍යයි.

නීතියේ ආධිපත්‍යය බිඳවැටීමක්
ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන
නීතියේ ආධිපත්‍යය ක්‍රියාවට නැංවීම රටක ඉතා වැදගත්. මෙතැනදී නීතියේ ආධිපත්‍යය පිළිබඳ ප්‍රශ්නයක් මේ අයගේ ප්‍රකාශවලින් මතුවෙනවා. නීතිය විෂම වීම පසුගිය රාජපක්‍ෂ කාලේ තිබුණා. රජු ඉහළ ඉඳන් වරප්‍රසාද ප්‍රදානය කරන විධියට නීතිය ක්‍රියාත්මක වුණ තත්ත්වයක්. ඉතින් හමුදාව හෝ වෙනත් ආයතනයක් වෙනුවෙන් ඒ අයට නීතිය ක්‍රියාත්මක නොකළ යුතුයි කියනවා නම් මූලික වශයෙන්ම එය යහපාලන විරෝධියි. පසුගිය දවස්වල ගෝඨාභයත් මේ වගේ ප්‍රකාශයක් කරලා තිබුණා. අපිට රැකෙන්න ලෝකයට බොරු කීවාට කමක් නැහැ. මේක සදාචාරය පිළිබඳවත් ප්‍රශ්නයක් වෙනවා. රතන හමුදුරුවෝ සම්බන්ධ නිසා බොරු කියලා, වංචාකරලා, ජීවත්වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නය අපට අහන්න වෙනවා. ඒකේ ප්‍රතිඵල රතන හාමුදුරුවෝ දැනගන්න ඕනෑ. මේ කියමන් තුළ නීතිය ආපස්සට යනවා. මානව සදාචාරය ප්‍රශ්නගත වෙනවා. ආණ්ඩුකරණය විනාශවෙනවා. සමාජ විඥානයට බරපතළ හානියක් සිද්ධවෙනවා. නායකත්වය අවංකව වැඩ කරන්නේ නැත්නම් රටේ මිනිස්සුත් අවංක වෙන්නේ නෑ.

කප්පම් ගත්තා නම් දඬුවම් දිය යුතුයි
කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප්
රටේ යුද්ධයක් සිද්ධවෙලා තියෙනවා. එතැනදී මිනිසුන් ඝාතනය වුණත් එය සිද්ධ වෙන්නේ පෞද්ගලික හේතු මත නෙවෙයි. එබඳු සංකීර්ණ වැඩකදී කරන්න තිබෙන හොඳම දේ වරදකාරයන් කව්ද කියලා හොයන්නේ නැතිව වහලා දැමීම. නැතිනම් එය පළිගැනීමේ ක්‍රියාදාමයක් බවට පත්වෙනවා. මහින්දගේ කාලේ දොළොස්දාහක් විතර එල්.ටී.ටී.ඊ සමාජිකයන් භාර වුණා. ඒ අය පුනරුත්ථාපනය කරලා සාමාන්‍ය සමාජයට නැවතත් එව්වා. තවත් පිරිසක් රඳවාගෙන සිටියා. ඒ අය පසුගිය කාලයේ නිදහස් කළාම ඒකාබද්ධ විපක්‍ෂය විරුද්ධ වුණා. මම කියන්නේ ඉතිරි පිරිසත් නිදහස් කරන්න ඕනෑ කියලායි. යුදමය තත්ත්වයකදී සිදු වූ දේවල්වලදී ඒ දෙපාර්ශ්වයටම සමාන ලෙස සැලකිය යුතුයි. යම් හමුදා නිලධාරියෙක් වෘත්තීමය කටයුතු කිරීම මත පුද්ගල ඝාතනයක් කිරීම වරදක් නෑ.
එහෙත් කප්පම් ගැනීමක් කළා නම් පුද්ගලික දේවල් කළා නම්, ඒක එයාට අයිති දේවල් නෙවෙයි. එවැනි දේවල්වලදී තරාතිරම නොබලා දඬුවම් කළයුතුයි. යුදමය වාතාවරණයක් පැවතුණා කියලා තම තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවන් මත ඒ කියන්නේ කප්පම් ගන්න වාගේ වැඩ සඳහා අපරාධ කර තිබේ නම් ඒ අයට දඬුවම් කිරීම වෙනම එකක්. එය කළයුත්තක්. රතන හිමිගේ ප්‍රකාශ දිහා බැලුවාම ඒවා එකිනෙකට පරස්පරයි. එක පැත්තකින් උතුරට පොලිස් බලතල දෙන්න ඕනෑ කියන ගමන් අපරාධ චෝදනාවලින් සන්නද්ධ හමුදා නිලධාරින් නිදහස් කරන්න ඕනෑ කියනවා.

අලුත් රතන සූත්‍රයක්
ගාමිණි වියන්ගොඩ / ප්‍රවීණ ලේඛක
රණවිරුන් අධිකරණයට ඉදිරිපත්කරන්න ජනාධිපතිවරයා ඉඩදෙන්නේ නෑ කියනවා නම් එය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. කිසියම් අපරාධයකට සම්බන්ධ යැයි සැකකෙරෙන අයෙකු අධිකරණයට ඉදිරිපත් කරනවාද නැතිද යන්න තීන්දු කරන්නේ නීතිපතිවරයායි. ජනාධිපතිවරයා එහෙම කරනවා නම් ඔහු අධිකරණයටත් ඉහළින් ඉන්න ඕනෑ. එතකොට දහනමවැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවන ලද ස්වාධීන කොමිෂන්වල ක්‍රියාකාරිත්වය පවා ප්‍රශ්නගත වෙනවා. මෙවැනි ප්‍රකාශයක් කරන්න කලින් ජනාධිපතිවරයාට හිතලා බලන්න තිබුණා. දැන් ජනාධිපතිවරයාම ප්‍රකාශ කරනවා මේ රටේ යුද සමයේ සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් විනිශ්චය කිරීමට විදේශ විනිසුරුවරයන්ගෙන් සමන්විත යාන්ත්‍රණයකට තමන් විරුද්ධ බව. එයින් හැඟවෙන්නේ මෙරට අධිකරණය ස්වාධීන බව වුණත් ඔහුගේ මෙවැනි ප්‍රකාශවලින් එය ප්‍රශ්නගත වෙනවා. එක් අවස්ථාවක ජනාධිපතිවරයා ප්‍රකාශයක් කළා උතුරේ ජනතාව පෙඩරල් ඉල්ලන්නේ ඇයි කියන ප්‍රශ්නයට හේතු සොයන්න ඕනෑ කියලා. එහෙම නම් උතුරේ ජනයා විදේශ විනිසුරන් ඉල්ලන්නේ ඇයි කියන හේතුවත් හිතන්න ඕනෑ. හේතුව තමයි මෙරට අධිකරණය ගැන ඔවුන්ගේ විශ්වාසයක් නැතිකම. එතකොට අපරාධවලට සම්බන්ධ හමුදා සාමාජිකයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයන් ගන්නවාට ජනාධිපතිවරයා විරුද්ධ වෙනවාය කියන්නේම විදේශ විනිසුරන්ගෙන් සමන්විත අධිකරණ යාන්ත්‍රණයක් ඉල්ලීම සාධාරණීකරණය කිරීමක්. මෙයින් සිදුවන්නේ ජනාධිපතිවරයා විසින්ම ප්‍රකාශකරන යහපත් ප්‍රකාශයන් ඔහු විසින්ම දුර්වල කිරීමක්. අධිකරණය ස්වාධීන නොවේය කියන දෙයට සාක්‍ෂියක් තමා මේ ප්‍රකාශයෙන් ඔහු ලබා දෙන්නේ.
රතන හිමියන්ගේ ප්‍රකාශ ගැන කියද්දී ප්‍රථමයෙන් අහන්න සිද්ධවෙනවා රතනහිමි බෞද්ධ භික්‍ෂුවක්ද කියන ප්‍රශ්නය. රටක නීතිය ක්‍රියාත්මක නොකළ යුතුයැයි කිසිම අවස්ථාවක බුදුන් දේශනාකර තිබෙනවාද කියන එකත් ඔහුගෙන් අහන්න වෙනවා. රතන හිමි කියන්නේ මගේ ගෙදරට අපරාධකාරයෙකු පැනලා මගේ දරුවා පැහැරගෙන ගිහින් අතුරුදන් කරනවා නම් ඔහු රණවිරුවකු යැයි කියා නිදහස් කරන්න ඕනෑ කියලාද? අපරාධකාරයෙක් නම් ඔහු රණවිරුවෙක්ද සිංහලද දෙමළද කියන එක අදාළ නෑ. ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. රතන හිමි හදන්නේ මේ අලුතින් රතන සුත්‍රයක් හදන්නයි.

වෛරය ඇති නොවන සේ විසඳුම් දිය යුතුයි
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
මේ වාගේ ප්‍රශ්න දිහා ගැඹුරින් බලන්න ඕනෑ. මේ වාගේ ආයතනවල සාමාන්‍යයෙන් සිද්ධවෙන්නේ ප්‍රශ්නයක් වුණාම පහළ මිනිස්සුන්ගේ පිටින් යනවා. මේ ආයතන පවතින්නේ යම්කිසි ධුරාවලියක් මත. එතකොට පහළ නිලධාරියාට සිද්ධ වෙනවා යම් යම් දේ කරන්න. ඒක රාජකාරියට පිටින් සිද්ධවෙන්නක් ද කියන එක අහන්න බලන්න විධියක් ඒ අයට නෑ. තමන්ගේ රැකියාව බේරා ගැනීම, පැවැත්ම වාගේ දේවල් ඒ අයට හිතන්න වෙනවා. මේක සාධාරණ තර්කයක්. මේවායේ වැරදිකරුවන්ට දඬුවම් කරනවාට වඩා වැරැද්ද වුණේ කොහොමද කියන එකයි සොයලා බලන්න ඕනෑ. ඔවැනි වැඩවලට විසඳුම් සොයන්න පුළුවන් වන්නේ එතකොටයි. දඬුවම් කිරීම තුළින් දෙපිළක් හැදෙනවා. රණවිරුවන්ට කැමති අය, ඒ අයගේ පවුල්වල උදවිය එක කණ්ඩායමක්. එයට විරුද්ධ කණ්ඩායම තව පිරිසක්. මේ වගේ ප්‍රශ්නවලදී පුද්ගලික මිනීමැරුම්, මංකොල්ල කෑම් වගේ නෙවෙයි බලන්න ඕනෑ විදිය. හැබැයි හානිවුවන්ට ඒවාට සහනයක්, හානි පූරණයක් තිබෙන්න ඕනෑ. වැරදි කළ අපට වුණත් ස්වයං විවේචනයක් කරන්න පුළුවන් වන, තමන් කළේ කුමක්ද යන්න ගැන හැඟීමක් ඇතිවෙන විධියේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඕනෑ. අපි මේ සිදුවීම්වලට තවත් වටයකින් වෛරය ඇතිවෙන විධියට නොවෙයි විසඳුම් සෙවිය යුත්තේ.■