Untitled-1

Untitled-1

බලය බෙදීම තමයි නිවැරදිව සිද්ධවෙන්න ඕනෑ | දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක මනෝ ගනේෂන්


mano

තරිඳු උඩුවරගෙදර

මැතිවරණ ක්‍රමය ගැන විවිධ අදහස් ඉදිරිපත් වුණා. ඉක්මනින් මැතිවරණය පවත්වන්න ඕනෑ කියලාත් කියනවා. මේ සම්බන්ධයෙන් තාමත් එකඟතාවක් නැතිද?
මැතිවරණය ඉක්මනින් පවත්වනවා නම් අපට තියෙන එකම විකල්පය පරණ ක්‍රමයට මැතිවරණය පැවැත්වීමයි. කීර්ති තෙන්නකෝන් මහත්තයා අපට බැනලා තියෙනවා මේ යෝජනාව කළාම. පරණ ක්‍රමයට ඡන්දය පවත්වමු කියන එක වැරැද්දක් විදියට දැකලා තියෙනවා. ඔහු කියනවා කාන්තාවන්ට සීයට විසිපහක් වෙන්කළාලු අලුත් ක්‍රමයට. ඒක ප්‍රතික්ෂේප කිරීමෙන් කාන්තා නියෝජනයට හානි කරලා තියෙනවාලු. මට හිතෙන්නේ එයාලාට පිස්සුද කියලා. කාන්තා හෝ තරුණ නියෝජනයට වඩා වැදගත් වෙන්නේ සුළු ජාතික නියෝජනය. කාන්තා නියෝජනය එපා කියලා මම කියලා නැහැ. මගේ පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ. එහි දේශපාලන මණ්ඩලයේ සංඛ්‍යාව 18ක්. ඒකෙන් අටදෙනෙක් ඉන්නවා කාන්තාවන්. අපි ඉහළ ප්‍රතිශතයක් කාන්තාවන්ට දීලා තියෙනවා. අපි කතාකරන්නේ ප්‍රමුඛත්වය ගැන. ලෝකයේ ගත්තත් කාන්තා නියෝජනයට වඩා ප්‍රමුඛ වෙන්නේ සුළු ජාතික නියෝජනය. එක්සත් ජාතීන්ගේ සංවිධානය වුණත් වැඩියෙන් කතාකරන්නේ සුළුතර ජාතිකයන්ට වන හානිය ගැන. අපේ අය බුලට් එක අතෑරලා බැලට් එක ගන්නකොට ඒකත් සීමා කරනවා. කාන්තා සහ තරුණ නියෝජනය ලබාදෙන මුවාවෙන් සුළු ජාතිකයන්ට ඉතිරිවෙලා තියෙන නියෝජනයත් නැති කරන්න ගන්නා උත්සාහය ගැන මම කනගාටු වෙනවා.

ඔබලාට මේ ක්‍රමයේ ගැටලුව තියෙන්නේ කොතැනද?
අපට සීයට හැටක් කොට්ඨාස ක්‍රමයටත් සීයට හතළිහක් අනුපාත ක්‍රමයට කියලා තමයි කියලා තියෙන්නේ. පනතේ තියෙනවා හැත්තෑවක් තිහක් කියලා. හැබැයි කරද්දී හැටයි හතළිහයි විදියට කරමු කියලා කීවා. අපි විතරක් නෙවෙයි ජවිපෙත් මේකට එකඟ වුණා. දැන් වෙලා තියෙන්නේ හැත්තෑව තිහ විදියට ක්‍රියා කරන එක. අශෝක පීරිස් වාර්තාවේ බැලුවාම හැත්තෑව හැත්තෑහතට වැඩිවෙලා. තිහ විසිතුනට අඩුවෙලා. බලද්දී අඩු කරන්න හිටපු අනුපාතය වැඩිවෙලා. මේක මේ අය දන්නේ නැද්ද කියලයි මම අහන්නේ. මැතිවරණ නිරීක්ෂණය කරන සංවිධාන මැතිවරණය ඉක්මනින් පැවැත්විමට උනන්දුයි. ඒකට අපේ විරුද්ධත්වයක් නැහැ. හැබැයි අපට අසාධාරණයක් වෙන්න දෙන්න බැහැ. අපට ඇති ප්‍රශ්නය දන්නේ නැහැ වගේ හැසිරීම ගැන මට කණගාටුයි.

ආණ්ඩුව ඒ ගැන දක්වන ප්‍රතිචාරය මොකක්ද?
ආණ්ඩුවට අපි අපේ ප්‍රශ්නය කියලා තියෙනවා. දැන් මන්ත්‍රී සංඛ්‍යාව වැඩිවෙනවා. හයදාහ එකොළොස්දාහ වෙලා තියෙනවා. දැන් ඒක දරාගන්න පුලුවන්ද කියලා ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා අපි කියනවා ඡන්දය ඕන කියලා. බැරිනම් පරණ ක්‍රමයට තියමු කියලා අපි කියන්නේ. පරණ ක්‍රමය අල්ලාගෙන ඉන්නවා නෙවෙයි. අසාධාරණයක් නොවන විදියට අලුත් ක්‍රමය හදාගන්න ඕන. ව්‍යවස්ථාව පිළිබඳ මෙහෙයුම් කමිටුවේදී දිනේෂ් ගුණවර්ධන මහත්තයා මේ කාරණය මතුකළා. ඡන්දය තියන්නේ කොහොමද කියලා. ඒ ගැන කතාකළ යුතුයි කියලා ඔහු කීවා. මමත් කතාකළා. අපේ තර්කය කීවා. ඒ අනුව අගමැතිතුමා කීවා ලබන සතියේ පක්ෂ නායකවරුන් ඔක්කෝම කැඳවලා සාකච්ඡා කරන්නම් කියලා. ඒකෙන් කොහොමද මේ සම්පූර්ණ ක්‍රමයට විසඳුමක් දෙන්නේ කියලා සාකච්ඡා කරන්න පුළුවන්.

ශ්‍රීලනිපය ඇතුළේ ප්‍රශ්නය නිසා ඔවුන් ඡන්දය කල් දාන්න උත්සාහ කරනවා නේද?
එවන් උත්සාහයක් තියෙන බව අපට තේරිලා තියෙන දෙයක්. ඒක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. පක්ෂයක අභ්‍යන්තර ප්‍රශ්න නිසා මැතිවරණය කල්දාන එකනම් පිළිගන්න බැහැ. අපේ කාරණය මතු කළාට පස්සේ ඉක්මනින් ඒ ගැන විසඳුමක් අරගෙන ඡන්දය පැවැත්විය යුතුයි. අපිත් බලාගෙන ඉන්නේ ඡන්දය එනකම්. අපේ විරෝධය ඉත්තෙක් කරගෙන ඡන්දය කල්දාන්න උත්සාහ කරනවානම් ඒක නින්දිත උත්සාහයක්. ඒකේ සාපය අපටත් වැදෙනවා. ඒක අපි හෙළාදකිනවා.

මේ සියල්ල මැද ව්‍යස්ථාවේ වෙනසක් කරලා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ශ්‍රීලනිපය විරුද්ධයි නේද?
විධායක ජනාධිපති ක්‍රමය අවසන් කිරීමටත් වඩා ව්‍යවස්ථාවෙන් සිදුවිය යුත්තේ බලය බෙදීම. අපි දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, මුස්ලිම් කොංග්‍රසය, ඊපීඩීපී ඇතුලු පක්ෂ කිහිපයක් විධායක ජනාධිපති ක්‍රමය ගැන ස්ථාවරය වෙනස් කරගෙන ඉන්නවා. අපි කියන්නේ බලතළ සම්පූර්ණයෙන්ම අඩු කරලා මහජන ඡන්දයෙන් පත්වන ජනාධිපතිවරයෙක් පත්කරන්න ඕන කියලයි. මොකද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළොත් රට අස්ථාවර වේවි කියලා අදහසක් තියෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය දිනන පක්ෂයට බෝනස් ආසන දහයකට වඩා ඕන කියලා කියනවා. හැබැයි ඒකෙන් හානි වෙන්නේ අපට තමයි. අපි කිව්වා එහෙමනම් අපට කමක් නැහැ විධායක ජනාධිපති ක්‍රමය තියාගමු කියලා. ජනාධිපති තනතුර බලතල සීමා කරලා තියාගමු කියලා අපි ඒ අනුව යෝජනා කළේ.

ජනමත විචාරණයක් අනවශ්‍ය බවත් ශ්‍රීලනිපය කියනවා. එහෙත් විදේශ ඇමතිවරයා ජාත්‍යන්තරය ඉදිරියේ ජනමත විචාරණයක් පවත්වන බව කියනවා. මේ ගැන අදහස මොකක්ද?
බලය බෙදීම තමයි නිවැරදිව සිද්ධවෙන්න ඕන. බලය බෙදනකොට අලුත් ව්‍යවස්ථාවක් එන්න ඕන. අලුත් ව්‍යවස්ථාවක් ගේන්න නම් ජනමත විචාරණයක් ඕන. සංශෝධනයකින් බලය බෙදීමක් කළත් තුනෙන් දෙකෙන් සම්මත කරන්න බැහැ. ඒකට අනිවාර්යයෙන් ජනමත විචාරණයක් ඕන දැන් තියෙන ව්‍යවස්ථාව අනුව. ඒ නිසා ජනමත විචාරණයක් අනවශ්‍ය බවට කරන තර්කය ගැන අපට තියෙන්නේ දැඩි විරෝධයක්. මම ඉතා පැහැදිලිව කියනවා මේ අවස්ථාවේදී ජනමත විචාරණයකට යන එක තමයි සුදුසු. අනිත් මැතිවරණ කෝකටත් යන්න කලින් ජනමත විචාරණයක් තියලා ව්‍යවස්ථාව ඉවර කරගන්න පුලුවන්. එහෙම වුණොත් 2015 ජනවාරි අටවැනිදා එකතුවුණ බලවේග ඔක්කෝම එකතුකරගන්න පුළුවන්. මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ශ්‍රීලනිපය තියෙන හින්දා එදාටත් වඩා පුළුල් බලවේගයක් හදාගන්න පුලුවන්. ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානයත් ආණ්ඩුවේ කොටස්කාරයන් නෙවෙයි. හැබැයි ඔවුනුත් සහයෝගය දක්වයි. සිවිල් සංවිධාන සියල්ල එකතුවේවි. එහෙම වුණානම් ජනමත විචාරණයෙන් මහින්දව පරදවන්න පුළුවන්. එයාලා තනිවෙයි. ඒකෙන් පැරදුණාම මහින්දගේ පරාජයට අවසාන ඇණය වැදේවි.

මෛත්‍රී පිලට නැතත් මහින්ද පිලට මේ ගැන තක්සේරුවක් තියෙනවා වගේ නේද? ව්‍යවස්ථාවට අඩු ඉඩක් දෙමින් වෙනත් කරුණු දේශපාලන වේදිකාවේ ඉස්මතු කරන්නේ ඒ නිසා නේද?
ඒක පැහැදිලිව ඇත්ත. මේක දැනගෙන තමයි දයාන් ජයතිලක ජනමත විචාරණයට වැරදි අර්ථකතනයක් දෙන්නේ. එයා කියන්නේ ජනමත විචාරණය ඊළමට පවත්වන ජනමත විචාරණයක් ලෙස සලකයි කියලා. බ්‍රෙක්සිට් ජනමත විචාරණය වගේ මේකට දයාන් ටෙක්සිට් කියලා නමක් දාලා තියෙනවා. ටැමිල් එක්සිට් කියන එක. මට හිතෙන්නේ එයාට මොළේ නරක්වෙලා ඇති. එහෙම කරන්න ජාත්‍යන්තර වාතාවරණයක් නැහැ. බ්‍රෙක්සිට් සහ ලංකාවේ ජනමත විචාරණය සැසඳීම මෝඩයක් හෝ අවස්ථාවාදීන් කරන දෙයක්. අනික ජනමත විචාරණය වෙනුවෙන් ඡන්දය දෙන්නේ දෙමළ ජනතාව විතරක් නෙවෙයි. ශ්‍රිලනිපයට සම්බන්ධ, යූඇන්පී සිංහල ඡන්ද. ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂ ගේන්නේ දෙමළ ඡන්ද නෙවෙයි. ඒ නිසා මේ තර්කය කිසිම පදනමක් නැති එකක්. මෙහෙම එයාලා කියන්නේ ජනමත විචාරණයකට ගියොත් මහින්ද ගෙදර යන නිසා. ජාතිවාදී සහ භයානක ව්‍යවස්ථාවක් කොහොමත් වෙන්නේ නැහැ. එයාලාට මේකෙන් බොරු බයක් පතුරුවන්න පසුබිමක් නැහැ. ඒ ගැන ඔවුන් දන්නවා.

ව්‍යවස්ථාව පිළිබඳව දැන් තියෙන තත්වය මොකක්ද?
මම ව්‍යස්ථාව පිළිබඳ මෙහෙයුම් කමිටුවේ ක්‍රියාකාරී සාමාජිකයෙක්. දැන් තියෙන තත්ත්වය මම කියන්නම්. උතුරු නැගෙනහිර පළාත් දෙකම ඒකාබද්ධ වෙන්නේ නැහැ. බෞද්ධාගමට තියෙන අවස්ථාව අහිමිවෙන්නේ නැහැ. ව්‍යවස්ථාවේ කොතැනකවත් ෆෙඩරල් කියලා කියැවෙන්නේ නැහැ. පළාත් සභාවක් වෙන්වෙන්න උත්සාහ කළොත් බලය මධ්‍යම ආණ්ඩුවට පවරාගන්න පුළුවන්. එහෙම ව්‍යවස්ථාවක් ගැන මෙයාලාට බොරු ප්‍රචාර යවන්න බැහැ. රට බෙදන ව්‍යවස්ථාවක් කියලා කියන්න බැහැ. ඒත් එයාලා කියයි මේක රට බෙදන ව්‍යවස්ථාවක් කියලා. හැබැයි ඒක පිළිගන්න ඉඩ තියෙන්නේ බොහොම සුළු පිරිසක්. ඉතින් ජනමත විචාරණය මහින්දගේ මිනි පෙට්ටියේ අවසන් ඇණය වේවි.

හැබැයි ශ්‍රීලනිපය හිතන්නේ මහින්ද පිලට ජනමත විචාරණයෙන් ව්‍යවස්ථා යෝජනාව පරාද කරන්න පුළුවන් වේවි කියලා නේද?
මම හිතනවා ශ්‍රීලනිපයේ ඇමතිවරුන්ගේ විශ්වාසය තියෙන්නේ කා ගැනද කියලා. එයාලා විශ්වාස කරන්නේ මහින්ද රාජපක්ෂවද මෛත්‍රීපාල සිරිසේනවද. පෙනෙන විදියට විශ්වාස කරන්නේ මහින්දව. දැන් දුමින්ද දිසානායක හැර කවුරුවත් ජනවාරි අටට කලින් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ළඟට ආවේ නැහැ. එයාලා විශ්වාස කළේ මහින්ද දිනයි කියලා. එහෙම දින්නානම් ඔය හැමෝම දැන් මහින්ද ළඟට වෙලා අපව පාගලා දානවා. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඔවුන් විශ්වාස කරපු දේ බොරු කළා. දැන් මෙහාට ඇවිත් මෙයලා ජනමත විචාරණය වෙනස් කරන්න උත්සාහ කරනවා. අපේ එකඟතාව ගැන වැරදි අදහසක් තියනවා. පොදු අපේක්ෂකයාගේ පොරොන්දු ගැන ඔවුන් දන්නේ කොහොමද. ඔවුන් අපි එක්ක හිටියේ නැහැ. මම ජනාධිපතිවරයා එක්ක උතුර නැගෙනහිර, කඳුකර, බස්නාහිර වගේ හැම තැනකම හිටියා. ඒ තැන්වල ජනාධිපතිතුමා දින සීයෙන් පස්සේ ව්‍යවස්ථාවක් ගේන බව කීවා. මෙයාලා ඒක දන්නේ කොහොමද. මෙයාලා හිටියේ මහින්දගේ වේදිකාවේ. අපට පොදු අපේක්ෂකයා ගැන කියලා දෙන්න එපා. දින සීයේ වැඩසටහන ඇතුලට ජනමත විචාරණයක් නොදැම්මේ මහ මැතිවරණය ප්‍රමාද වේවි කියලා. දින සීයක් තුළ ඒක විසුරුවිය යුතුව තිබුණා. ව්‍යවස්ථා සංශෝධන සහ පනත් කිහිපයක් ගේන්නත් දින සීයට වඩා ගතවුණ එකේ ව්‍යවස්ථාවක් ගෙනාවානම් තව කල් ගතවේවිනේ. හැබැයි මැතිවරණයෙන් පස්සේ අලුත් ආණ්ඩුව යටතේ නව ව්‍යවස්ථාවක් ගේන බව එදා ඉඳන්ම එකඟතාවක හිටියා.

ව්‍යවස්ථාව ගැන කාරණයේදී ඔවුන් පවතින දේශපාලන තත්ත්වය උඩ තමන්ගේ වාසිය ගැන කල්පනා කරනවා නේද?
ඔබ ඇහුවා ශ්‍රීලනිපය පරාජයට බියෙන් ඡන්දය කල් දානවා නේද කියලා. එහෙම කල් දානවා කියලා හිතමු. ඡන්දයට ගියානම් දෙවැනි නෙවෙයි, තුන්වැනි තැනත් විශ්වාස නැහැනේ. ඉතින් ඒකට ඔවුන්ට තියෙන විකල්පය මොකක්ද. ඡන්දය කොච්චර කල් දැම්මත් මොන වෙලාවේ හරි තියන්න ඕන. එහෙම ගත්තත් ඔවුන්ට වාසි ඡන්දය කල් දැමීම නෙවෙයි. මම උඩින් කීව විදියට හැමෝගේම උදව්වෙන් ජනමත විචාරණයක් තියලා මහින්දව දුර්වල කරන එකයි. ශ්‍රීලනිපයට තියෙන එකම විකල්පය තමයි ජනමත විචාරණය.

අපි ඔවුන් එක්ක කතාකරද්දී කියන දේවල්වල හැටියට අපට හිතන්නේ ශ්‍රීලනිපය පළාත් සභා මැතිවරණය පැවැත්වීම වාසිදායක බව නේද?
ඔවුන්ගේ ඒ තර්කයට පදනමක් නැහැනේ. එහෙම හිතන්නේ කොහොමද. පළාත් පාලන මැතිවරණය පරදිනවානම් පළාත් සභා දිනන්න විදියක් නෑනේ.
පළාත් සභාවල මහඇමතිවරුන් සහ බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රීලනිප නායකත්වය එක්ක ඉන්න නිසා වාසිදායක බව ඔවුන් හිතනවා…..
එහෙම වෙන්නේ කොහොමද. ඔය මහඇමතිවරුයි මන්ත්‍රීවරුයි ඡන්දයක් ආපු ගමන් මහින්ද එක්ක යයි. ඉසුර දේවප්‍රිය විතරක් මෛත්‍රීපාල සිරිසේන එක්ක ඉන්න බව පේනවා. අනිත් ඔක්කෝම මෛත්‍රීපාල සිරිසේන එක්ක ඉන්නේ අවංකව නෙවෙයි. ශ්‍රීලනිපයට තියෙන ගැලවීමේ විසඳුම ජනමත විචාරණයකින් මහින්දව පරාද කරන එක.

හැබැයි ශ්‍රීලනිප නායකයන් මෙහෙම කියද්දී ජනාධිපතිවරයා නිහඬව ඉන්න එක ගැටලුවක් නේද?
ජනාධිපතිතුමාගේ නිහඬතාව ගැටලුවක් තමයි. හැබැයි මම ඒ ගැන කණගාටු වෙන්නේ නැහැ. ජනාධිපතිතුමා ව්‍යවස්ථාවක් ගේන බව මෑත කාලයේ නොකීවා වගේම ජනාධිපතිතුමා අලුත් ව්‍යවස්ථාවක් ගේන්නේ නැහැ කියලත් නැහැ. අන්තිමට ඔහු කියා තියෙන්නේ ව්‍යවස්ථාවක් ගේන බවයි. ඉතින් ඔබේ තර්කය උඩ දුක්වෙනවා වෙනුවට මම මගේ තර්කය උඩ සතුටුවෙනවා. දුක්වෙන්න වෙන්නේ ජනාධිපතිතුමා ව්‍යවස්ථාවක් ගේන්නේ නැති බව කීවොත්නේ.

ජනාධිපතිවරයා මේකට නායකත්වය දෙයි කියලා ඔබ විශ්වාස කරනවාද?
මම විශ්වාස කරනවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පොරොන්දු කඩ කරන්නෙක් නෙවෙයි කියලා. ඔහු ජනවරම පාවාදෙන ජාතියේ පහත් දේශපාලනඥයෙක් නෙවෙයි.■