වර්ගය ජාතිය හා යාපනය


ivan

වික්ටර් අයිවන්

පසුගිය සති අන්තයේදී පුනරුදයේ මත වාදය ලංකාවේ දෙමළ ජනයාගේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකිය හැකි යාපනය අර්ධද්වීපය වෙත රැගෙන ගොස් එය දෙමළ ජනයා අතර උරගා බැලීමකට ලක්කිරීමට අපට හැකිවිය. පුනරුද ව්‍යාපාරය සිංහල ජනතාව ජීවත් වන නානා විධ ප්‍රදේශ 50කට ආසන්න සංඛ්‍යාවක සාකච්ඡා සභා පවත්වා එය සිංහල ජනතාව අතරද උරගා බැලීමකට ලක් කර තිබුණේයැ’යි කිව හැකිය. එය මුස්ලිම් ජනතාව අතර උරගා බැලීම් ගණනාවකට යොමුකර තිබුණේයැ’යි කිව හැකිය. ත්‍රිකුණාමලයේදීද එය දෙමළ ජනතාවද සහභාගි වූ සාකච්ඡා සභාවක කිසියම් ප්‍රමාණයකට උරගා බැලීමකට ලක් කිරීමක් සිදුවී තිබුණද, එම මතවාදය බොහෝ දුරකට දෙමළ ජනයාට සීමාවූ දෙමළ ප්‍රදේශයක පැවැත්වෙන සාකච්ඡා සභාවක උරගා බැලීමකට ලක්වී ඉන් සමත් විය යුතුයි කියන අදහසක් පුනරුදය සංවිධානයේ ප්‍රධාන ක්‍රියාකරුවන් අතර ගොඩනැගී තිබුණි. ඒ නිසාම යාපනයේ හා කිලිනොච්චියේ කරන්නට නියම කරගෙන තිබුණු සාකච්ඡා සභා ඒ සියලුදෙනාගේ උනන්දුවට හා කුතුහලයට හේතුවී තිබුණි.

ජාතිය හා වර්ගය
පුනරුද ව්‍යාපාරයට ලංකාවේ සමාජ දේශපාලන හා ආර්ථික යන අංශවල ඇතිවී තිබෙන මහා බිඳ වැටීම හෝ පරිහානිය පිළිබඳව වෙනත් සියලු දේශපාලන ව්‍යාපාරවලට හා මතවාදී ව්‍යාපාරවලට වෙනස් අර්ථකථනයක් තිබෙන්නේය. ජනවාර්ගික අර්බුදය වශයෙන් සැලකෙන අර්බුදය ගැනද පුනරුද ව්‍යාපාරයට තිබෙන්නේ පිළිගත් මතවාදයන්ට වෙනස් අර්ථකථනයකි.
ජාතිය පිළිබඳව තිබෙන්නේද තමන් ජනවර්ග නොව ජාතීන් වේයැ’යි කල්පනා කරන අයගේ සතුටට හේතු නොවන මතවාදයකි. අප සිංහල ප්‍රදේශවලට ගිය විට සිංහලයන්ට කියන්නේ සිංහලයන් ලංකාවේ කොතරම් දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කීවද ඔවුන් ජාතියක් නොව ජනවර්ගයක් වන බවය. අපි මුස්ලිම් මිනිසුන් අතරට ගිය විට කියන්නේද එයමය. එනම් ලංකාවේ ජීවත් වන මුස්ලිම් ජනයා ජාතියක් නොව ජනවර්ගයක් වන බවය. අප යාපනේට හා කිලිනොච්චියට ගොස් දෙමළ ජනතාවට කීවේද එයමය. එනම් ලංකාවේ දෙමළ ජනයා ජාතියක් නොව ලංකාවේ ජනවර්ගයක් වන බවය. අප ඒ සියලුදෙනා අතරට යමින් එසේ කියන විට එසේ කියන්නේ අප කියන ඒ දේ ඔවුන්ගේ මනස්වල පැළපදියම් වී තිබෙන ජනප්‍රිය මතයට වෙනස් පරස්පර මතයක් වන බව හොඳින් දැනගෙන මිස දැන නොගෙන නොවේ. ඉන් අපේක්ෂා කරන්නේ වෙන් වෙන් වශයෙන් ඒ සියලුදෙනාගේ ඔළුවල තැන්පත් වී තිබෙන වැරදි හා ගැටුම් ඇති කිරීමට හේතුවන ආකල්පය වෙනස් කිරීමය.
සිංහලයන් කල්පනා කරන්නට පුරුදු කර ඇත්තේ ලංකාවට අයිතිවාසිකම් කිවහැක්කේ තමන්ට පමණක් බවය. මේ රටේ ජාතිය කොට සැලකිය හැක්කේ සිංහලයන් වශයෙන් තමන් පමණක් වන බවය. අන් සියලුදෙනා පසුකලක මෙහි පැමිණි ලංකාවට හිමිකම් කිව නොහැකි පිටස්තරයන් බවය. එය අනගාරික ධර්මපාල සිංහලයන්ට උරුම කරදී තිබෙන ආත්මාර්ථකාමී හා භේදකාරී චින්තන විශේෂයක් ලෙස සැලකිය හැකිය. සිංහලයන් හැර මේ රටේ දීර්ඝ කාලයක් තිස්සේ ජීවත් වන අන් සියලුදෙනා නොවැදගත් පිටස්තරයන් බවට පත්කරන මෙම විශේෂ චින්තනයට එක්තරා ඓතිහාසික වකවානුවකදී දමිළ චින්තකයන් ප්‍රතිචාර දක්වන ලද්දේ තමන්ද මේ රටේ විශේෂ භූමි ප්‍රදේශයකට ජන්ම උරුමය ඇති ජාතියක් වේය කියන අදහස ඉදිරිපත් කරමිනි. එම අදහස වෙනුවෙන් පෙනී සිටි පොන්නම්බලම් රාමනාදන් තමන්ද සිංහලයන් මෙන් ජාතියක් වේයැයි කියන අදහස ඉදිරිපත් කිරීමෙන් නොනැවතී දෙමළ භාෂාව කතා කරන ලංකාවේ මුස්ලිම් ජනයාද දෙමළ ජාතියේම කොටසක් වේය කියන අදහසද ඉදිරිපත් කළේය. ඊට මුස්ලිම් නායකයන් ප්‍රතිචාර දක්වන ලද්දේ අප දෙමළ ජාතියේ කොටස් නොව සිංහල දෙමළ වැනි විශේෂ අනන්‍යතාවකට හිමිකම් ඇති ජාතියක් බව කියමිනි.

චින්තකයා හා චින්තනය
පුනරුද ව්‍යාපාරය මතවාදී තලයේ උත්සාහ කරමින් සිටිනුයේ ලංකාවේ ජාතිය භේද භින්න කිරීමට හා එකිනෙකා කෙරෙහි වෛරයක් ඇති කිරීමට හේතුවී තිබෙන මෙම ආකල්පයට දෘෂ්ටිමය වශයෙන් තිබෙන පිළිගැනීම නැති කොට ඔවුන් සියලුදෙනා ජාතීන් නොව විශේෂ අනන්‍යතාවන්ටද ඉතිහාසයන්ටද හිමිකම් ඇති පොදුවේ ලංකාවටද අයිතිවාසිකම් කීමට අයිතියක් ඇති ජනවර්ග බව ඔවුන්ට කියා දෙන්නටය. ඒ මගින් ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීමට අවශ්‍ය කරන ශක්තිමත් දෘෂ්ටිමය පදනමක් ගොඩනැගීමේ අරමුණින්ය. ඒ ගැන මෙසේ කියන්නට සිදුවූයේ රන්ජන් ප්‍රනාන්දු “සිංහල දෙමළ ජාතීන්ද, වර්ග යනු කිම” යන තේමාව යටතේ රාවයට ලියන ලද ලිපියක් මගින් (මාර්තු 05 වැනිදා) පුනරුද ව්‍යාපාරයේ එම ආස්ථානයට එරෙහිව විශේෂ වර්ගයේ දඟ පන්දුවක් එවා තිබුණු නිසාය.
ඔහුගේ අස්ථානය ඔහුගේ වචනවලින්ම ගෙනහැර දක්වා තිබුණේ මෙසේය.
වැදි ජනතාව හැරුණු විට ලංකාවේ ඇත්තේ ජාතීන් දෙකකි. එනම් සිංහල හා දෙමළ ජාතීන්ය. (ඒ ජාතීන් දෙකම අයත්වන්නේ නොකො සෙයිඞ් වර්ගයටය.) ඒ අනුව දෙජාතියටම අනන්‍ය වූ භූමි ප්‍රදේශයක්ද, සංස්කෘතියක්ද, නිෂ්පාදන ක්‍රමයක්ද ඇත. ඔවුන් යම් බල බෙදීමක් තුළ එකට සිටිය යුතුද නැත්නම් වෙන්වී සිටිය යුතුද යන කරුණ තීරණය කිරීමට ඒ දෙකොටසට අයිතියක් ඇත. (මුස්ලිම්, කතෝලික, බර්ගර් වැනි අය ජාතීන් නොව මෙම මූලික ජාතීන් දෙක තුළ වෙසෙන ජන කොටස්ය.)
රන්ජන් ප්‍රනාන්දුගේ මෙම තිසීසය ඓතිහාසික විරෝධී වනවා පමණක් නොව සිංහල වර්ගවාදය හා දෙමළ වර්ගවාදය පෝෂණය කරන්නෙකි. ඔහුගේ මෙම ප්‍රවේශය තුළ ස්ටැලින්ගේ හෙවණැල්ලක් සේ ම අනගාරික ධර්මපාලගේ හා පොන්නම්බලම් රාම නාදන්ගේ හෙවණැලිද දැකිය හැකිය.
මෙම ලියුම්කරු එක්තරා ප්‍රමාණයකට මමද දන්නෙමි. ඔහුගේ ලිපියක් රාවයේ පළවී තිබෙනු දුටු විට මට වහාම ඇතිවූයේ ලොකු සතුටකි. කිසියම් දීර්ඝ කාලයක් තිස්සේ ඔහුට රාවය පිළිබඳව ලොකු දුක්ගැනවිල්ලක් තිබුණි. රාවය තමන්ගේ අදහස් පළකිරීම්වලට කිසිම ඉඩක් නොදෙන බව ඔහු අවස්ථා ගණනාවකදීම මා සමඟ කියා තිබුණි. ප්‍රමාද වී හෝ ඔහුගේ ලිපියක් රාවයේ පළවී තිබෙන බව දුටු විට මා තුළ ලොකු සතුටක් ඇතිවිය.
ඔහුගේ ලියවිල්ල කියවූ විට මා තුළ ඔහු පිළිබඳව ඇතිවූ හැඟීම ප්‍රසාදජනක නොවූ බවද කිව යුතුය. හේතුව ඔහු මගේ හෝ පුනරුදය ව්‍යාපාරයේ වැදගත් න්‍යායික ආස්ථානයකට පහරදීම හෝ විවේචනය කිරීම නොවන බවද කිව යුතුය. එය වෙනත් විශේෂ හේතුවක් නිසා ඇතිවූ හැඟීමකි.

කුහකකමද? උද්දච්චකමද?
ලංකාවේ අර්බුදයේ ස්වභාවය හා එහි ඓතිහාසික වටාපිටාව පිළිබඳවත්, එම තත්ත්වය ජයගැනීම සඳහා සමාජ ව්‍යාපාරයක ඓතිහාසික අවශ්‍යතාව පිළිබඳවත්, ලංකාවේ ජාතිය හා ජනවර්ග පිළිබඳවත් මාගේ ආස්ථානය පළකර තිබෙනුයේ පුනරුදය ව්‍යාපාරය ඇතිවීමෙන් පසු එය හරහා නොව ඊට බොහෝ පෙරය. ‘ලංකාව ගලවා ගැනීම’ යන නමින් 2010 වසරේදී ලියා 2011 වසරේදී පළ කළ පොත ඒ ගැන වන මගේ දැක්ම විධිමත් ලෙස හා විස්තරාත්මක ලෙස පළකර තිබෙන ප්‍රධාන අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. ඒ දැක්මේ ඡායාවක් ඊට පෙර පළකරන ලද සමහර පොත්වලින්ද දැකිය හැකිය. ඉන්පසු 2013 වසරේදී මා විසින් ‘ජාතියේ ඛේදවාචකය’ නමින් ලියා පළ කර තිබෙන පොත් පිංච එම දැක්මේ දාර්ශනික අත්තිවාරම් පැහැදිලි කිරීම සඳහා ලියන ලද්දක් ලෙස සැලකිය හැකිය.
රන්ජන් ප්‍රනාන්දු මට කියා තිබෙන ආකාරයට හා ඔහු ලියා තිබෙන ආකාරයට ‘ලංකාව ගලවා ගැනීම’ යන පොත ලංකාවේ අර්බුදය ගැන ලියා තිබෙන වැදගත් කෘතියකි. එය ඉංග්‍රීසි භාෂාවෙන්ද පළ කළ යුතු වැදගත් කෘතියක් බව ඔහු එකවරක් නොව කිහිප වරක්ම මා සමඟ කියා තිබුණි. ඔහු එම පොත සැලකිල්ලෙන් කියවා තිබෙන බවද එය කියවීමේ වැදගත්කම වෙනත් අයටද කියන බවද ඔහු මට කීවේය.
ලංකාවේ ජාතිය ගොඩනගා ගැනීමේ ප්‍රශ්නය පිළිබඳවත් ලංකාවේ වර්ගය, කුලය හා ආගම යන සාධක පිළිබඳවත් පුනරුදය ව්‍යාපාරය හරහා මා පළකර තිබෙන අදහස් ඊට වඩා සවිස්තරාත්මකව ‘ලංකාව ගලවා ගැනීම’ පොතට ඇතුළත්ය. එහෙත් ඒ අදහස් ගැන රන්ජන් ප්‍රනාන්දුට මීට පෙර ලොකු විවේචනයක් තිබෙන බව පෙනෙන්නට තිබුණේ නැත. ඔහු මාගේ එම පොත විශේෂ වැදගත්කමක් ඇති පොතක් ලෙස සැලකුවේ නම් ජාතිය හා ජනවර්ග ගැන වන මාගේ ආස්ථානයේ බරපතළ දෝෂ තිබුණේ නම් ඔහුට ඒ අවස්ථාවේදීම ඒවා නොපෙනෙන්නට හේතුවක් තිබිය නොහැකිය. ඔහු ඒ ගැන විවේචනයක් ලියන්නට අවුරුදු 6ක් තරම් කාලයක් බලා සිටියේ ඇයිද කියා තේරුම් ගැනීම අමාරුය. ඔහු සාමාන්‍යයෙන් මා ලියන ලිපි ගැන දුරකතනයෙන් අදහස් පළ කරන පුද්ගලයෙකි. ඔහු තමන්ගේ එම විවේචනය මා වෙත පළ නොකළේ ඇයිද කියා තේරුම් ගැනීමද දුෂ්කරය. සමහරවිට රාවයේ ලිපියක් පළකරවා ගැනීමේ අරමුණින්ම එසේ කිරීම අවශ්‍යවේයැ’යි ඔහු සිතුවේද?
ඔහු ඉතාමත් සාමාන්‍ය ගණයේ පාඨකයකු නම් ඔහුගේ මෙම පරස්පරය නොසලකා සිටිය හැකිව තිබුණි. ඔහු සාමාන්‍ය ගණයේ පාඨකයකු නොව කිසියම් දීර්ඝ කාලයක් එක්සත් රාජධානියේ ජීවත් වී ඇති, ඔහුම කියන ආකාරයට බර්ට්‍රම් රසල්ගේ විරෝධතා ව්‍යාපාරවල ආධාරකරුවකු ලෙස ක්‍රියා කර ඇති ‘තමන් චින්තකයෙකු’ වේ යැයි තමන් විසින්ම හඳුන්වා ගන්නා විශේෂ ගණයේ පුද්ගලයෙකි. සියලු මිනිසුන්ට අදහස් ඇතත් අදහස් තිබූ පමණින් සියලු මිනිසුන් චින්තකයන් ලෙස හැඳින්වෙන්නේ නැත. චින්තකයකු ලෙස සැලකෙන්නේ චින්තන විෂයෙහි විශේෂ නිපුණතාවක් හා විශේෂ දායාදයන් ලබාදී තිබෙන පුද්ගලයන්ටය. බර්ට්‍රම් රසල් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම චින්තකයෙකි. ඒ සමඟ ඔහු දාර්ශනිකයකුද, ජීව විද්‍යාඥයකු, ගණිතඥයකු හා සමාජ විද්‍යාඥයකුද වේ. චින්තන විෂයෙහි ඔහු ලෝකයට දායාද කර තිබෙන දේවල ප්‍රමාණය බොහෝය. ලියා තිබෙන පොත්පත්වල ප්‍රමාණයද අතිවිශාලය.
සියලුම ආගමික ශාස්තෘවරුන්ද, ආගමික අර්ථයෙන් සේ ම කිසියම් ප්‍රමාණයකට දාර්ශනික අර්ථයෙන්ද චින්තකයන් ලෙස සැලකිය හැකිය. එහෙත් බුදුන් වහන්සේ හෝ ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයන් චින්තකයන් ලෙස සැලකෙන්නේ නැත. ගාන්ධි ද චින්තකයකු ලෙස සැලකිය හැකි වුවත් ගාන්ධිගේ ව්‍යාපාරයේ සියලු අනුගාමිකයන් චින්තකයන් ලෙස සැලකෙන්නේ නැත. චින්තකයෙකු ලෙස විශේෂ කාර්යභාරයක් ඉටු නොකළ පුද්ගලයෙකු තමන් චින්තකයෙකු ලෙස හඳුන්වා ගන්නා විට ඔහුගේ චින්තනයේ ලොකු ආරාවුලක් තිබෙන බව අමුතුවෙන් කිවයුතු නැත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය
ඔහු එම ලිපියේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන ලියා තිබෙන දේවල් චින්තකයෙකු තබා සාමාන්‍ය දැනුමක් ඇති පුද්ගලයෙකුවත් නොලියව යුතුව තිබුණු අපභ්‍රංසයක් ලෙස සැලකිය හැකිය. ඔහුට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්සත් වර්ගයන්ගේ සංවිධානය ලෙස හඳුන්වා ගන්නේ නැත. ඒ වෙනුවට හඳුන්වා ගන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය වශයෙනි. එය ඔහු තමන්ගේ ජාතිය පිළිබඳ ස්ථාවරය සනාථ කරන වැදගත් තර්කයක් ලෙස යොදා ගනී.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සාමාජික ජාතීන් ලෙස සලකා ඇත්තේ රටවල් හෝ රාජ්‍යයන්ය. ඒ රටවල සිටින ජාතීන් හෝ ජනවර්ග නොවේ. එක්සත් ජාතීන් යන පදය යොදා ගන්නා විට ජාතිය වශයෙන් අදහස් කර තිබෙන්නේ ඒ රටේ ජීවත් වන සියලු ජනයා මිස ඒ රටවල ජීවත් වන විශේෂ ජාතීන් ලෙස සලකන හෝ විශේෂ වර්ගවලට අයත් ජනයා නොවේ. එක්සත් ජාතීන් යන යෙදුම යොදාගත් පළමුවැන්නා ලෙස සැලකෙන්නේ එවකට ඇමරිකන් ජනාධිපතිව සිටි ෆ්‍රැන්ක්ලින් රූස්වෙල්ට්ය. ඒ 1941දීය. ඔහු ඒ යෙදුම යොදාගත්තේ හිට්ලර්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කර තිබුණු රටවල් හැඳින්වීම සඳහාය. ඉන්පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය නමින් ජාත්‍යන්තර සංවිධානයක් පිහිටුවීමේ රූස්වෙල්ට්ගේ අදහස 1945 පෙබරවාරිවලදී යෝල්ටාවේ පැවති ඉහළ පෙළේ නායක සමුළුවේදී බි්‍රතාන්‍යයේ අගමැති වින්සන්ට් චර්චිල් විසින්ද සෝවියට් සංගමයේ නායකයාව සිටි ජෝසප් ස්ටාලින් විසින්ද නිල වශයෙන් අනුමත කළේය. ඉන්පසු 1946 ජූනිවලදී ජාතීන් 57ක නියෝජිතයන් ඇමරිකා එක්සත් ජනපදයේ සැන්ෆ්‍රැන්සිස්කෝ නගරයේදී රැස්වී එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ගැනීමේ ප්‍රඥප්තිය සම්මත කරගත්හ.
බි්‍රතාන්‍යයන් ලෙස සැලකෙනුයේ ජාති වර්ග ආගම් නොසලකා එක්සත් රාජධානියේ පුරවැසිභාවය හිමි සියලු මිනිසුන්ටය. ඇමරිකානුන් ලෙස සැලකෙනුයේද එවැනි බෙදීම්වලින් තොරව ඇමරිකාවේ පුරවැසියන් ලෙස සැලකෙන සියලුදෙනාය. ඉන්දියානුවන් ලෙස සැලකෙනුයේද ඉන්දියානු පුරවැසියන් ලෙස සැලකෙන සියලුදෙනාය. ශ්‍රී ලාංකිකයන් ලෙස සැලකෙනුයේද ශ්‍රී ලංකාවේ පුරවැසියන් ලෙස සැලකෙන සියලුදෙනා මිස ජාතියක් ලෙස සැලකිය හැකි විශේෂ ගණයට අයත් විශේෂ පිරිසක් නොවේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාතිකයෙකු ලෙස සලකන්නේ ජාතික රාජ්‍යයක පුරවැසියකු ලෙස සැලකෙන පුද්ගලයන්ය. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ 12(4) වගන්තිය අනුව විදේශගතවී සිටින ජාතිකයෙකුට තම ජාතික රාජ්‍යයට යෑමේ අයිතියක් තිබෙන්නේය.
යම් ජාතිකයෙකු කායික වශයෙන් තම රාජ්‍යයේ දේශසීමාවන්ට පිටතින් සිටියද එම රාජ්‍යයට එම ජාතිකයා කෙරෙහි අධිකරණ බලය ඇත්තේය. එසේම ජාතිකයා කොහේ සිටියද එම ජාතිකයාගේ රාජ්‍යය එම ජාතිකයාගේ ක්‍රියා සම්බන්ධයෙන් අනෙක් රාජ්‍යයන්ට වගකිව යුතුය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්වයං නිර්ණ අයිතිය ලෙස සලකන්නේද යටත්විජිත තත්ත්වයක තිබෙන රටකට එම ආධිපත්‍යයෙන් නිදහස්වීමට තිබෙන අයිතිය මිස සුළු ජාතියකට වෙනම රාජ්‍යයක් ගොඩනගා ගැනීමට තිබෙන අයිතිය නොවේ.

ජාතිය හා වර්ගය
ජාතිය හා වර්ගය පිළිබඳව පුනරුදය ව්‍යාපාරය දරන මතය සාකච්ඡා සභාවන්ට සහභාගි වන අය අතර බෙදා හරින ‘පුනරුද ව්‍යාපාරයේ දර්ශනය නමැති පත්‍රිකාවේ සඳහන්ව ඇත්තේ මෙසේය.
“9. නූතන අර්ථයෙන් සිංහලයන්, දමිළයන් හා මුස්ලිම්වරුන් වර්ග වශයෙන් මිස ජාතීන් ලෙස සැලකිය නොහැකිය. නූතන අර්ථයෙන් ජාතිය ලෙස සැලකෙන්නේ ජාතික රාජ්‍යයන් තුළ ජීවත් වන සියලු වර්ගවලට, කුලවලට හා ආගම්වලට අයත් සියලු ජනයාටය. එහෙත් යුරෝපා රටවල මෙන් නොව, ලංකාව වැනි යටත්විජිත රටවල ජාතිය ඉබේ ඇතිවන දෙයක් නොව ගොඩනගා ගත යුතුව තිබුණු සංකීර්ණ දෙයකි.
10. ජාතිය ගොඩනගා ගත හැක්කේ එම ජාතියට අයත් ජනයා අතර වර්ගය, කුලය හා ආගම නිසා ඇතිවී තිබෙන උස් පහත් භේද නැති කොට ඒ සියලුදෙනා සමාන අයිතිවාසිකම් හා සමාන මනුෂ්‍ය ගෞරවය ඇති අය බවට පත් කිරීමෙනි.
11. කුලභේදය මත පදනම් වූ උසස් පහත් භේදයක් ඇතිවිට එම උස් පහත් භේදය නැති කොට ඒ සියලුදෙනා සමාන මනුෂ්‍ය ගෞරවය ඇති මිනිසුන් බවට පත් කළ යුතුය. වර්ගය හා ආගම මත තිබෙන බෙදීම්වලදීද සියලු වර්ගවලට අයිති හා සියලු ආගම් අදහන ජනයා සමාන ගෞරවය හා සමාන අයිතිවාසිකම් ඇති සහජීවනයෙන් ක්‍රියා කරන තත්ත්වයකට ගැනීමෙනි. ජාතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇති කළ හැකි දෙයක් නොවන අතර එය බලවත් මතවාදී ව්‍යාපාරයක් ඔස්සේ ඇතිකර ගත යුත්තකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් කළ හැක්කේ එසේ ගොඩනගන ලද ජාතියට නෛතික පදනමක් ලබාදීම පමණය.
12. ඉන්දියාවේ නිදහස වෙනුවෙන් පෙනීසිටි නායකයන්ට වෙනස්ව ලංකාවේ නිදහස වෙනුවෙන් පෙනී සිටි නායකයන්ට ජාතික රාජ්‍යය පිළිබඳව හෝ එම ජාතික රාජ්‍යයේ යහපැවැත්මට අවශ්‍ය ජාතිය පිළිබඳව හෝ නිසි අවබෝධයක් නොතිබුණි. ඉන්දියානු නායකයෝ ඉන්දියානු නිදහස් අරගල ව්‍යාපාරය තුළ ‘ඉන්දීය ජාතිය’ ගොඩනැගූහ. එහෙත් එවැනි දෙයක් ලංකාවේ සිදු නොවීය.
13. නිදහස ලැබීමට ආසන්න කාලයේදී ලැබෙන්නට යන නිදහස ගැන ඇති කරගත් බලවත් සැකයක් සුළු වාර්ගික නායකයන්ට සේ ම පීඩිත කුලවල නායකයන්ටද තිබුණි. නිදහස ලැබීමෙන් පසු සිංහල මහා වර්ගයට ලොකු දේශපාලන ආධිපත්‍යයක් ලැබී සුළු වර්ග පීඩාවට පත් කරන තත්ත්වයක් ඇතිවනු ඇතැයි කියන බිය සුළු වර්ග නායකයන්ට තිබුණි. නිදහස ලැබීමෙන් පසු ගොවිගම හා වෙල්ලාල කුලවලට ලොකු ආධිපත්‍යයක් ලැබී තමන් පීඩාවට පත් කරන තත්ත්වයක් ඇතිවනු ඇතැයි කියන බියක් පීඩිත කුලවල නායකයන්ටද තිබුණි. මේ නායකයන් දෙපිරිසම වෙන් වෙන්ව පළමුව ඩොනමෝර් කොමිසම වෙතත් දෙවනුව සෝල්බරි කොමිසම වෙතත් යමින් තමන් තුළ ඇතිවී තිබෙන එම බිය සැක එම කොමිෂන් සභා දෙක වෙත පළකර සිටියෝය. එම කොමිෂන් සභාවලින් ඔවුන්ට ඔවුන්ගේ දුක්ගැනවිලිවලට ප්‍රමාණවත් තරමේ විසඳුමක් නොලැබුණි.
14. ලංකාව නිදහස ලබාගත්තේ ජාතිය ගොඩනගා ගැනීමකින් තොරවය. නිදහස ලැබීමෙන් පසුද ජාතිය ගොඩනගා ගැනීමක් සිදු නොවීය. ඒ නිසා සුළු වර්ගවලට පීඩිත කුලවලට හා සුළු ආගම්වලට අයත් ජනයා අතර පැවති අසහනය විසඳුමකින් තොරව නොනැසී පැවතුණි. බලයට පත්වන ආණ්ඩුද ඍජු ලෙස හා අනියම් ලෙස ඔවුන් පීඩාවට පත් කළේය. ඒ නිසා වර්ධනය වෙමින් තිබුණු එම අසහනය මුලදී කලින් කල ඇතිවන කෝලාහල බවට පත්වෙමින් අවසානයේ එම කැකෑරෙන අසහනය දිග්ගැස්සෙන ප්‍රචණ්ඩ ගැටුම් බවට පත්වී ලංකාව මහා පරිමාණයෙන් ලේ හලන රටක් බවට පත්විය.
15. එසේ සිංහල හා දෙමළ ප්‍රදේශවල ඇතිවූ ප්‍රචණ්ඩ ගැටුම් කෙරෙහි වර්ගය, කුලය හා ආගම යන සාධක බලපෑවේය. උතුරේ දෙමළ කැරැල්ලේ සිංහල විරෝධී අන්තර්ගතයක් තිබුණා සේ ම දකුණේ සිංහල කැරලි දෙකේ ද දෙමළ විරෝධී අන්තර්ගතයක් තිබුණි. එසේම ඒ සියලු සිංහල දෙමළ කැරලිවල පීඩිත කුල සාධකයක්ද තිබුණි. දෙමළ කැරැල්ල හා එය මර්දනය කිරීමේදී දෙමළ ජනයාට අතිවිශාල හානියක් සිදුවූවා සේ ම එම කැරලිවලදී වැඩියෙන්ම පීඩාවට පත්වූයේද සිංහල දෙමළ කුලවල පීඩිත ජනයාය.”

යාපනේ ගමන
පුනරුද ව්‍යාපාරය වර්ගය, කුලය හා ආගම යන සාධක පිළිබඳවත් ජාතිය ගොඩනැගීමේ ප්‍රශ්නය පිළිබඳවත් දකින ආකාරය එම පත්‍රිකාවේ පැහැදිලිව සඳහන් වේ. පුනරුදය ව්‍යාපාරය ලංකාවේ සිංහල දෙමළ හෝ මුස්ලිම් ජනයා දකින්නේ ජාතීන් ලෙස නොවේ. ජනවර්ග ලෙසය. ජාතිය දකින්නේ තවමත් ගොඩනගා ගැනීමට සමත් වී නැති ගොඩනගා ගත යුතු දෙයක් ලෙසය.
අපි සිංහල ප්‍රදේශවලට යන හැමවිටකම ඔවුන් සමඟ කරන්නේ ශාඛාවක් පිහිටුවීමට අවශ්‍ය මූලික සාකච්ඡාවක් නම් සිංහලයන් ජනවර්ගයන් මිස ජාතියක් නොවන බව අපි ඔවුන්ට කියන්නෙමු. මුස්ලිම්වරුන් අතරට ගිය විටද ඔවුන් ජනවර්ගයක් මිස ජාතියක් නොවන බව ඔවුන්ට කියා ඇත්තෙමු. අපි යාපනයට හා පසුදින කිලිනොච්චියට ගිය විටද ලංකාවේ දෙමළ ජනයා ජනවර්ගයක් මිස ජාතියක් නොවන බව ඔවුන්ට කීවෙමු.
යාපනයේ සාකච්ඡාව සංවිධානය කර තිබුණේ යාපනයේ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන සාමිනාදන් විමල් හා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වන සරත්චන්ද්‍ර චන්ද්‍රජීව යන දෙදෙනාය. ඔවුන් දෙදෙනා සාකච්ඡාවට ආරාධනා කළ හැම කෙනෙකුටම ‘පුනරුද ව්‍යාපාරයේ දර්ශනය’ නමැති පත්‍රිකාවේ දෙමළ පිටපත ලබාදී තිබුණි. සාකච්ඡාවට සහභාගි වූ හැම කෙනෙකුම එම පත්‍රිකාව කියවා තිබූ බවද ඔවුන් අසන ලද ප්‍රශ්නවලින් පැහැදිලිව පෙනෙන්නට තිබුණි.
යාපනයේ සාකච්ඡාවට සහභාගි වූ අයගේ සංඛ්‍යාව 40කට තරමක් වැඩිවිය. පැමිණි අය අතර විශ්වවිද්‍යාල ගුරුවරුන්ද, බැංකුකරුවන්ද, ව්‍යාපාරික යන්ද, කලාකරුවන්ද විවිධ සංවිධානවලට සම්බන්ධ අයද වූහ. උතුරට ගිය ගමනට පුනරුදය සංවිධානයෙන් සහභාගි වූ අය අතර කළුතර දිස්ත්‍රික්කයෙන් සෝමානන්ද හිමි, මතුගම චන්දන හා තිලක් සිල්වාද, නුවර දිස්ත්‍රික්කයෙන් නවරත්න බණ්ඩාද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් දොස්තර සුගත් හා උදය කුමාරද, පුත්තලම දිස්ත්‍රික්කයෙන් වෙන්නප්පුවේ සරත් හා උදයංගද, කොළඹින් විජය උඳුපිටියද, පරිවර්තකයා ලෙස සිවගුරුනාදන්ද සහභාගි වූහ.
කිලිනොච්චිය සාකච් ඡාව පවත්වන ලද්දේ පසුදිනය. එය සංවිධානය කර තිබුණේ “මාවම හොයනවා. මම ‘එළිය නම් අඳුරේ’ යන පොත ලියන ලද රාධිකා පද්මනාදන් නමැති තරුණ ලේඛිකාව විසින්ය. ඇය උසස් අධ්‍යාපනයේ යෙදී සිටියදී බලහත්කාරයෙන් එල්ටීටීඊ යට බඳවා ගනු ලැබූ තරුණියකි. එම සාකච්ඡාවට තමලිනීගේ ස්වාමි පුරුෂයාද, ‘මතක වන්නිය’ නමැති කෘතිය ලිව් කරුණාකරන්ද, වෙනත් සමාජ ක්‍රියාකරුවන් ගණනාවක්ද සහභාගි වූහ.
මෙම සාකච්ඡා සභා දෙකම දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කළ දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුවූ සාකච්ඡා සභා ලෙස සැලකිය හැකිය. මම එහිදී සිංහලයන් හා ඔවුන්ගේ නායකයන් පමණක් නොව දමිළයන් හා ඔවුන්ගේ නායකයන්ද විවේචනයට ලක් කළෙමි. රටේ ඇතිවී තිබෙන මහා විනාශය කෙරෙහි සිංහල වර්ගවාදය පමණක් නොව එයට ප්‍රතිචාරයක් වශයෙන් ඇතිවූ දෙමළ බෙදුම්වාදයද බලපා තිබෙන බව කීවෙමි. සියලු සිංහල නායකයන් පමණක් නොව සියලු දෙමළ නායකයන්ද අසාර්ථක නායකයන් ලෙස සැලකිය හැකි බවත් මේ රටේ ඇතිවී තිබෙන මහා විනාශයට ඒ සියලුදෙනා වගකිවයුතු බවත් කීවෙමි. ඔවුන් දීර්ඝ වශයෙන් තමන්ගේ අදහස් පළකරන තැනකට ගියත් පුනරුද ව්‍යාපාරයේ මතවාදය ඔවුන්ගේ විශ්වාසයට හේතුවූවා මිස විරෝධයට හේතුවූයේ නැත. පුනරුද ව්‍යාපාරය උතුරේ දෙමළ ජනතාව අතරද සාර්ථක උරගා බැලීමකට ලක්වී එයින් සමත් වී ඇතැයි කිව හැකිය. යාපනේ ගමනින් පසු අපට යාපනෙන් ලැබෙමින් තිබෙන ප්‍රතිචාර ඉතාමත් යහපත් තත්ත්වයක පවත්නා බවද කිව යුතුය.■