හාමුදුරුවනේ, බුදු බණ ඉගෙනගන්න


kathu

අද පන්සල්වල තිබෙන්නේ බුදුදහම ද, හාමුදුරුවන් දෙසන්නේ බුදුදහම ද යන්න ගැන බුදුදහම ගැන මූලික අවබෝධයක් ඇති අයට පවා කුකුසක් තිබේ. ඒ තරමට බුදුදහමේ ඉගැන්වීම් පන්සල්වලින් විතැන් වී ය. බුදදහමේ ඉගැන්වීම් සංඝ ශාසනයෙන් විතැන් වී ය.
ඒ ගැන යළි සිතා බලන්නට හොඳ ම අවස්ථාවක් පහුගිය මාර්තු පළමු වැනි දා උදා විය. ඉංග්‍රීසි ආණ්ඩුව විසින් ගැසට් පත්‍රයක් මගින් රාජ්‍යද්‍රෝහීන් ලෙස නම් කළ ලංකාවේ පැරණි කැරලිකරුවන් පිරිසක් එම නාමකරණයෙන් ඉවත් කිරීමේ ‘උත්තමාභිවන්දනා’ වැඩසටහන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මහනුවර මඟුල් මඩුවේ දී පැවැත්වුණේ එදා ය. තවමත් හිටපු ජනාධිපතිවරයාගේ බල ලෝභී වුවමනාවන්ට අනුව හැසිරැවෙන මහනුවර එක් ප්‍රධාන සංඝ නිකායක, කාරක සංඝ සභාවේ ප්‍රධානී භික්‍ෂූහු හැකි තරම් වෙර යොදා, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම උත්සවයට වක්‍ර ලෙස බාධා කරන්නට කටයුතු කළ හ. ඒ බාධාවල ප්‍රතිඵලයක් හැටියට, උත්සවය මඟුල් මඬුවේ පැවැත්විය නොහැකි වනු ඇතැ’යි ද එනිසා රජය මෙම උත්සවය අත හැර දමනු ඇතැ’යි ද මේ නායක භික්‍ෂූන් කල්පනා කළා වන්නට පිළිවන. මේ, තමා ජනාධිපති ව සිටි කාලයේ මහින්ද රාජපක්‍ෂ මහතාට කළ නොහැකි වුණු දෙයකි.
අවලස්සණ සිදුවීම එය නොවේ. මඟුල් මඩුවේ පැවැත්වුණු එම උත්සවයේ දී සියම් නිකාය හැර බුද්ධ ශාසනයේ ම අනෙක් නිකායවල නාහිමිවරුන්ට දෙවැනි තත්ත්වයක ලා සැලකීමයි. රාමඤ්ඤ හා අමරපුර නිකායේ නායක හිමිවරුන්ට හා කාරක සංඝ සභා සාමාජිකයන්ට මඟුල් මඩුවේ ප්‍රධාන වේදිකාවේ අසුන් ගන්නට වත් ඉඩ නොදුන් අතර, මේ අවමානය අත් විඳින්නට සිදුවුණු ඒ සමහර නායක හිමිවරුන් වැඩි වේලාවක් උත්සවයේ ගත නොකර බැහැර ගිය බව ද වාර්තා විය.
රජයක් හැටියට ශාසනික කාර්යයන්වල දී නිකායික භේදභින්නකම් සැලකිය යුතු නොවේ. ඒ නිසා මඟුල් මඬුවේ පැවැත්වෙන මේ රාජ්‍ය උත්සවය සඳහා රජයේ ආරාධනය සිදු වුණේ සියලු නිකායික මහානායක හිමිවරුන්ට හා කාරක සංඝ සභාවල සාමාජිකයන්ට සමාන ව ය. එහෙත්, අස්ගිරි පාර්ශ්වයේ සංඝ සභිකයන්ගෙන් රජයට නියම කැරුණේ, සියම් නිකායේ අස්ගිරි හා මල්වතු පාර්ශ්වවලට පමණක් මඟුල් මඩුවේ දී ප්‍රමුඛත්වය හිමි විය යුතු බවට ය. උත්සවය මඟුල් මඬුවේ පවත්වන්නට නම්, මේ ආසාධාරණ හා අශික්‍ෂිත නියමයට අනුව වැඩ කරන්නට රජයේ නිලධාරීන්ට ද සිදුවිය.
බුදුදුහම හැටියට අප දන්නේ මේ ලෝකයට කිසිම සීමාවක් නැති ව, අවිහිංසාවේ හා මෛත්‍රියේ, කරුණාවේ දහම දේශනා කළ ශාස්තෲවරයකුගේ දේශනාව හැටියට ය. බුදුහිමියන්ගේ දේශනාව තුළ සිටියෝ ‘සියලු සත්වයෝ’ පමණෙකි. උඩරටට පහතරටට වෙනස් විදියට සැලකීම, නිකායවලට හෝ කුලවලට වෙනස් විදියකට සැලකීම තබා, මිනිසුන් එකිනෙකා බෙදා දක්වන කිසිම සීමාවක් බුදුදුහමේ ඉගැන්වෙන්නේ වත් එයින් දිරි ගැන්වෙන්නේ වත් නැත. අවාසනාවකට මෙන්, ඒ දේශනාව ලංකාව තුළ අද පවත්වාගෙන යන්නේ එකී ඉගැන්වීම්වලට සපුරා පටහැණි ව ය. මේ දවස්වල බුද්ධ ශාසනයට හිමි තැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කරන්නට හදනවායැ’යි මහා රකුසකු මවන්නට පෙරමුණ ගෙන ඇත්තෝ ද මේ සමහර සංඝ නායකයෝ ය. සමහර නිකායවල කාරක සංඝ සභාවල සාමාජිකයෝ ය. එහෙත්, මේ ලජ්ජාසහගත සිදුවීම්වලින් පෙනෙන්නේ, පිවිතුරු බුද්ධ ශාසනයට හිමි තැන නසා දමන්නේ ඒවායේ ඉහළින් අරක් ගෙන සිටින ප්‍රභූ පන්නයේ මෙවැනි නායක හිමිවරුන් විසින් ම මිස අන් කිසිවකු විසින් නොවන බව ය. මහනුවර ප්‍රසිද්ධ ව ඇත්තේ බුදුන්ගේ දන්ත ධාතුව තැන්පත් කොට ඇති ස්ථානය වශයෙනි. බෞද්ධයන් දන්ත ධාතුවට සලකන්නේ ජීවමාන බුදුන්ට සලකන ආකාරයෙනි. ඒ දන්ත ධාතුව තැන්පත් කර ඇති තැනට අඩි කිහිපයක් මෙහා පැත්තේ ඇති මඟුල් මඬුවේ දී බුදුදහමේ සමානාත්මතාව හා අසීමිත අවිහිංසාව, මෛත්‍රිය මේ ආකාරයෙන් දූෂණය කැරෙන විට, තමන් අතින් ඝාතනය කැරෙන්නේ බුදුහිමියන් ම බව, කෙළෙසෙන්නේ බුදුහිමියන්ගේ උත්තම ධර්මය ම බව මේ ප්‍රභූ භික්‍ෂු සංඝයාට නොපෙනෙන්නේ ද?
තමන් වැනි ම බුද්ධ චීවරය දරා ගත් සහෝදර නිකායික භික්‍ෂු සංඝයාට මෙලෙස අවමානයෙන් සලකන භික්‍ෂූන්ගේ මුවෙන් සමානාත්මතාව වදාරන විට ඇති වන විකාර හැඟීම කෙබඳු ද?
එවැනි භික්‍ෂූන්ගෙන් සිංහල, දෙමළ මුස්ලිම් මිනිසුන් අතර ජාතිවාදයට, ආගම්වාදයට, අන්තවාදයට උඩගෙඩි දෙන දෙසුම් ම මිස කරුණාව, මෛත්‍රිය, සමානාත්මතාව ගැන අන් වදනක් පැතිය හැකි ද?■