පාර්ලිමේන්තුව තවදුරටත් රටේ උත්තරීතර ආයතනයද?

මහාචාර්ය සරත් විජේසූරිය

දිනේෂ් ගුණ වර්ධන මන්ත්‍රී තුමා ස්වකීය දේශපාලන භූමිකාව අවසන් කිරීමට උත්සාහ ගන්නා අන්දම අතිශයින් ශෝචනීය වේ. මහින්ද රාජපක්ෂගේ යටත් වැසියෙකු නොවූයේ නම්, ජාතිවාදයට උඩ ගෙඩි දෙන්නෙකු බවට පත් නොවූයේ නම්, 2015 ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයා වන ලෙස ආරාධනා ලැබීමට වුව ගුණවර්ධන මහතාට දේශපාලන පසුබිමක් තිබුණි. එතුමාගේ ඛේදය ඇතුළෙන් විශද වන්නේ මහින්ද රාජපක්ෂ තම සමීපයට ගත් මහජන නියෝජිතයන් ස්වකීය වහලුන් බවට පත් කර ගෙන තිබෙන නින්දිත ස්වරූපයම මිස අන් කිසිවක් නොවේ. පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මර්වින් සිල්වා පරයමින් මරාගෙන මැරෙන සටනක් දියත් කිරීමට දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා කටයුතු කළේ කා වෙනුවෙන් ද? විමල් වීරවංශ වෙනුවෙනි. එය මොන තරම් අභාග්‍යයක් ද? පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ගැන පමණක් නොව, ලංකාවේ දේශපාලන සංස්කෘතිය තුළ මහජන නියෝජිතයන්ගේ පසුබිම හා වටිනාකම් හොඳින් දන්නා මහජන නියෝජිතයෙකු වන දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා, විමල් වීරවංශ වෙනුවෙන් දිවි පරදුවට තැබීමට උත්සුක වූයේ හෘදය සාක්ෂියට එකඟව ද? හෘදය සාක්ෂියක් තිබෙන ගෞරවනීය මහජන නියෝජිතයෙකුට, මහජන මුදල් සහ පොදු දේපළ අවභාවිත කළ, රාජ්‍ය බලය අව භාවිත කළ, පාර්ලිමේන්තු වරප්‍රසාද අව භාවිත කරන, අවිනීතයෙකු වෙනුවෙන් පෙනී සිටීමට පුළුවන් ද? දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා කළේ ඒකාබද්ධයේ නායකයා ලෙස තමන් සතු යුතුකමක් ද? යුතුකමක් ඉටු කිරීම සඳහා ආත්ම ගෞරවය පාවා දිය යුතු ද?
මා මීට පෙරත් සිහි කර තිබෙන කාරණාවක් යළි මෙහි සඳහන් කිරීමට කැමැත්තෙමි. එය නම්, වත්මන් පාර්ලිමේන්තු මන්දිරය විවෘත කළ දා සරත් මුත්තෙට්ටුවේගම මහතා දැක්වූ අදහසකි. එතුමා එදා මෙසේ පැවසීය.
“…..වඩාත් වැදගත් වන්නේ මහජන නියෝජිතයන් එක් රැස් වෙන භෞතික ස්ථානය නොවේ. මහජන නියෝජිතයන් වාඩි වෙන ආසනවල තත්වය නොවේ. වඩා වැදගත් වන්නේ මහජන නියෝජිතයන් රට වැසියන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ගන්නා තීන්දු තීරණයි. මහජන නියෝජිතයන් ගන්නා තීන්දු තීරණ දෙස පොදු ජනතාව බලා සිටින්නේ ඉමහත් ගෞරවයෙන් බව අප කිසි විටෙක අමතක නොකළ යුතුයි. මහජනයාට වැදගත් වන්නේ අප ගන්නා තීරණයි…”
දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා වාමවාදී දේශපාලනඥයෙකු නොවුව ද, හෙතෙම සරත් මුත්තෙට්ටුවේගම අයත් වන වැදගත් මහජන නියෝජිතයන්ගේ තත්වයේ ලා සැලකිය හැකි දේශපාලනඥයෙකි. එහෙත් එතුමා රාජපක්ෂ පාලන සමයේ අවසන් භාගයේ ඉතා පැහැදිලිව ආවේගකාරීව පාර්ලි මේන්තුව තුළ දිගින් දිගටම කතා කළේ පොදු ජනතාව වෙනුවෙන් නොවීම නම් අභාග්‍යයකි. එතුමා කතා කළේ රාජපක්ෂ පාලනය සාධාරණීකරණය කිරීමටය. අද එතුමා වියරු වෙස් ගෙන හැසිරෙන්නේ පොදු ජනතාව වෙනුවෙන් ද? නැත, පොදු ජනතාව ප්‍රතික්ෂේප කළ දූෂිත රාජ්‍ය පාලනය වෙනුවෙනි. එහි අන්තේවාසිකයන් වෙනුවෙනි. මේ වූකලි රටේ වැදගත් නායකයන්ගේ ඛේදනීය ඉරණම ද? දිනේෂ් ගුණවර්ධන මහතාට හෘදය සාක්ෂියට එකඟව මහින්ද රාජපක්ෂගේ පාලන සමය සාධාරණීකරණය කළ හැකි ද? සැබවින්ම නොහැකිය.

හෘදය සාක්ෂියට එරෙහි වීම
රාජපක්ෂ පාලනය පැවති අවසන් කාලයේ ඒ පාලනය නොඉවසූ දේශපාලනඥයන් අතර පෙරමුණේ සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතා නොවේ. “මේ හැත්තට මොනවා හරි කරන්න ඕනැ, මේකලා තව කාලයක් බලයෙ හිටියොත් නම් රට ඉවරයි, මෙහෙම ගියොත් මිනිස්සු අපටත් සාප කරයි” යනාදි අදහස් පළ කළ ප්‍රබලයන් ගැන කුප්‍රකට රස රහස් රැසක් ඇත. උත්ප්‍රාසය නම් ඒ සියලු දෙනාම අන්තිම මොහොතේදී තව දුරටත් වහල් සේවයටම ජීවිතය කැප කිරීමය. ඇතමුන් විශාල ධනස්කන්දයන්ටය. තවත් අය කුප්‍රකට ෆයිල් කතාව ඔස්සේ කළ තර්ජනයන් නිසාය. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා ද එදා රාජපක්ෂ පාලනය නොඉවසූවෙකු බව මලිත් ජයතිලක මන්ත්‍රීතුමා වාර්තා කර තිබේ. ඒ මෙසේය.
“……භාරත අවමඟුල පැවති දින කිහිපය තුළ කොලොන්නාව ප්‍රදේශයම සැබෑ ජාතික අවමඟුලක ස්වරූපය ගත්තේය. ප්‍රදේශය පුරා රාජපක්ෂ විරෝධය පැතිර ගියේ ළැව් ගින්නක් මෙනි. විශේෂයෙන්ම මෛත්‍රී ඇමතිතුමා හා සුසිල් ඇමතිතුමා මෙම අවමඟුලේ කටයුතු ආණ්ඩුව දෙසින් භාරගෙන ක්‍රියා කළ අතර අරලිය ගහ මැදුරේ හිතවතුන් වූ ඩලස් ඇමතිතුමා වැන්නවුන්ට දේහයට ආචාර කිරීමට යාම පවා අසීරු විය. තවද මෙම අවමඟුලේ වගකීම් භාරගෙන කටයුතු කිරීම පිළිබඳ උදහසට පත් වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මෛත්‍රී ඇමතිතුමාට හා සුසිල් ඇමතිතුමාට දරුණු ලෙස බැණ වැදුණේය. මේ අතර සෝලංගගේ අවසන් මැතිවරණ රැළියේ දී භාරත කළ කතාව දිනයේ පැය විසි හතර පුරාම ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් විකාශනය වෙද්දී එය නතර කර දමන ලෙසට අරලිය ගහ මැදුරෙන් නියෝග ද ලැබිණි. සෝලංග අස්වසාලීමට මෙන් කතා කළ දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා, ‘පොඞ්ඩක් ඉවසල ඉන්න. මේවට මෙහෙම යන්න බෑ. තව අවුරුද්දකින් විතර මේ ක්‍රමය විනාශ වෙලා යනවා’ යනුවෙන් පැවසීය……”
රාජපක්ෂ පාලනයේ අශිෂ්ටත්වය ගැන කාටත් වඩා හොඳින් කතා කිරීමට දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමාට අවබෝධයක් තිබෙන බව නිසැකය. එතුමා උප කල්පනය කළ අන්දමටම අවුරුද්දකින් විනාශ වෙලා යන්නට නියමව තිබුණ රාජපක්ෂ පාලනය යළි ගොඩ නැඟීමට දර දිය අදින්නේ අව සිහියෙන් ද? එය කළ යුත්තක් ද? කිසිම ශීලාචාර දේශපාලනඥයෙකුට මිනීමරුවන් සමඟ අලුත් ගමනක් තිබිය නොහැකිය. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා විදහා පාන්නේ හෘදය සාක්ෂියක් තමන්ට නැති බව ද? එය කිසිවෙකු අහිමි කළ බව ද?

මැතිවරණ ක්‍රමය සහ මහජන නියෝජිතයන්
පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම උදෙසා දිනේෂ් ගුණවර්ධන මහතා කැපවී කටයුතු කර තිබේ. ඒ කුමට ද? පවතින මැතිවරණ ක්‍රමය ඔස්සේ වැදගත් මහජන නියෝජිතයන්ට පාර්ලි මේන්තුවට පැමිණිය නොහැකි වීම ඊට අදාළ එක් හේතුවකි. ගුණවර්ධන මන්ත්‍රීතුමා තමන්ගේ දේශපාලන ජීවිතයේ අවසන් කාලය ගත කළ යුත්තේ පාර්ලිමේන්තුව උත්තරීතර ස්ථානය බවට පත් කිරීමටය. මතුවට පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා කාට වුව ආදර්ශයට ගත හැකි භූමිකාවක් නිරූපණය කරමිනි. ජ්‍යෙෂඨ මහජන නියෝජිතයෙකු ලෙස එතුමා අලුත් කෙනෙකුට දෙන ආදර්ශය කුමක් ද? පාර්ලිමේන්තුව තුළ තම නිරුවත විදහාපාන පුද්ගලයන් ශික්ෂණය කිරීමට හැකි දේශපාලනඥයෙකු එය සිදු නොකර, තමන්ට තරම් නොවන තක්කඩි කිහිප දෙනෙකුට අනුගතව තමන් ද නිරුවත් වීම ඔස්සේ රටේ උත්තරීතර ආයතනයට අත්වන ඉරණම කුමක් ද? තමන්ගේ දේශපාලන චරිතයේ අනාගත ඉරණම විසඳා ගැනීමට දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා තෝරාගෙන තිබෙන මාවත සාවi බව නීති ගරුක පුරවැසියන්ගේ පිළිගැනීමයි.

සරත් ෆොන්සේකා
රණ විරුවන් පාවා දෙන්නේය යන්න ආණ්ඩුවට තර්ජනය කරන බලවේගවලට නායකත්වය දෙන මහජන නියෝජිතයන්ගේ ද සටන් පාඨය වී ඇත. මේ සටන් පාඨය දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා ද නිතරම මොළවයි. රණවිරුවන් වෙනුවෙන් ද මේ හඬ තලන්නේ? යුද්ධය වෙනුවෙන් කළ සේවාව හා සම්බන්ධ කටයුතු වෙනුවෙන් ද මේ කෑ මොර දෙන්නේ? නැත. මේ හඬ නඟන්නේ බලය වෙනුවෙන් බලය පරිහරණය කළ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙනි. හෘදය සාක්ෂියක් තිබෙන නීති ගරුක පුරවැසියෙකුට ගෝඨාභයගේ භීම සමය අනුමත කළ නොහැකිය. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා වටහා ගත යුතු කාරණාවක් ඇත. එය නම්, රණවිරුවෝ මිනීමරුවෝ නොවෙති. මිනීමරුවෝ රණවිරුවෝ ද නොවෙති. මේ ඇත්ත වටහා ගැනීමට අසාමාන්‍ය ප්‍රඥා මහිමයක් කිසිවෙකුට හෝ අවැසි නැත.
යුද්ධයක දී මනුෂ්‍ය ජීවිත විනාශ වන බව විස්තර කළ යුතු නැත. යුද්ධයක දී සතුරන් විනාශ වන්නේ යුද බිම තුළ දී පමණක්ම ද නොවේ. කවර විග්‍රහයන් යටතේ වුව එය එසේමය. එනමුත් යුද්ධයේ නාමයෙන් කිසිවෙකුට තමන් අකමැති පුද්ගලයන් නිල හමුදා ලවා ඝාතනය කිරීමට මොනම අන්දමක හෝ අයිතියක් නැත. එකල ආණ්ඩුවේ කවර හෝ බලවතෙකුගේ නියෝගය පිට ඝාතනයට ලක් වූ පුද්ගලයන් මහජන නියෝජිතයන්ට හෝ, භික්ෂූන් වහන්සේලාට හෝ, වෙනත් කාට හෝ වැදගත් පුද්ගලයන් නොවූ පළියට ඔවුන් මරා දැමීමට නොහැකිය. එය අපරාදයකි. ඔවුන් රටේ නීතියට පටහැනි කටයුත්තක නිමග්නව සිටියේ නම්, ඔවුන් සම්බන්ධ තීන්දුවක් ගැනීමටය රටේ අධිකරණයක් තිබෙන්නේ. අභාග්‍යය වන්නේ රාජපක්ෂ පාලන සමයේ අධිකරණයත් කටයුතු කළ යුතු වූයේ රාජපක්ෂවරුන්ගේ අභි මතයට අනුවය. මේ සම්බන්ධ හොඳම නිදර්ශනය යුද්ධයට නායකත්වය ලබා දුන් ප්‍රධාන රණවිරුවා වන සරත් ෆොන්සේකා සිරගත කිරීමට රාජපක්ෂවරුන් කටයුතු කළ අන්දමයි. දිනේෂ් ගුණවර්ධන හෝ බන්දුල ගුණවර්ධන හෝ ජී එල් පීරිස් හෝ, ඩලස් අලහප්පෙරුම හෝ අද රණ විරුවන් වෙනුවෙන් හඬා වැළපෙන එකම මහජන නියෝජිතයෙකු ඒ අශීලාචාර කටයුතත්ට විරුද්ධව කතා කළේ නැත. මාධ්‍ය හමු පැවැත්වූයේ නැත. මහජන විරෝධතා සංවිධානය කළේ නැත. ඉන් විදහා පාන්නේ ශීලාචාරභාවය හා අශීලාචාරභාවය අතර වෙනසයි.
සරත් ෆොන්සේකා යුද බිමේ දී මහා රණ විරුවාය. දේශපාලනයේ දී මහා ද්‍රෝහියාය. එතුමා ද්‍රෝහියා වන්නේ රටට ද? රාජපක්ෂවරුන්ට ද?

ශිරානි බණ්ඩාරනායක
අග විනිසුරුවරිය රාජපක්ෂවරුන්ට අවශ්‍ය තරමට හීලෑ නොවූ තැන ඇය පන්නා දැමීමට තීරණය කෙරිණි. ඒ කටයුත්ත කළේ ගෝත්‍රික ස්වරූපයකිනි. ඒ අශීලාචාර සාපරාධී කටයුත්ත වෙනුවෙන් දිනේෂ් ගුණවර්ධන මහතාගේ ලේ රත් නොවුණේ ඇයි? නීතිය පිළිබඳ මහාචාර්යවරයෙකු වූ ජී එල් පීරිස්ගේ පොතේ දැනුම ප්‍රාණවත් නොවූයේ ඇයි? අවම වශයෙන් ඒ සඳහා පත් කළ කමිටුවට විමල් වීරවංශ වැන්නෙකු පත් නොකරන ලෙස ඉල්ලීමක් කිරීමටවත් පිට කොන්දක් පාර්ලිමේන්තුව තුළ ආවේගකාරීව සටන් කරන සටන්කාමී මහජන නියෝජිතයන්ට තිබුණේ ද? නීතිය පිළිබඳ ආචාර්ය උපාධියක් හිමි, විශ්වවිiාලයක නීතිය පිළිබඳ මහාචාර්යවරියක වූ, පිළිගත් විශ්වවිiාලයක නීති පීඨයේ පීඨාධිපතිනිය වූ, අගවිනිසුරු ලෙස ප්‍රශස්ත සේවාවක නිමග්නවූ ශිරානි බණ්ඩාරනායක නෙරපා හැරීමට විමල් වීරවංශ වැන්නෙකු ද යොදා ගැනීම මොන තරම් අමානුෂික කටයුත්තක් ද? එය කිසිම ශීලාචාර මනුෂ්‍යයෙකුට අනුමත කළ හැකි කටයුත්තක් ද?
දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා ද්විභාෂික උගතෙකි. විiාත්මක අධ්‍යාපනයක් නිසි සම්ප්‍රදායන්ට අනුව ලබා ගත් උගතෙකි. දේශපාලනයට අදාළ කියවීමක නිමග්න වූ ප්‍රාමාණිකයෙකි. එවැනි කෙනෙකු පාර්ලිමේන්තුව තුළ වාද විවාදවල නිමග්න විය යුත්තේ විමල් වීරවංශගේ පුංචි මොළය ණයට අරගෙන ද? ඔහු අතැති මෙවලම් අත දරාගෙන ද?

කථානායකගේ භූමිකාව
පාර්ලිමේන්තුවේ කතා නායකවරයාගේ තීන්දු තීරණවලට ගරු කිරීම සෑම මහජන නියෝජිත යෙකුගේම වගකීමකි. කතානායකවරයා පාර්ලි මේන්තු සම්ප්‍රදායන් උල්ලංඝනය කරන්නේ නම්, එතුමාට අදාළව මහජන නියෝජිතයන් කටයුතු කළ යුත්තේ අදාළ ප්‍රතිපාදන යටතේය. වි. ජ. මු. ලොකු බණ්ඩාර මැතිතුමා, චමල් රාජපක්ෂ මැතිතුමා මෙන්ම වත්මන් කතානායක කරූ ජයසූරිය මැතිතුමාටත් පාර්ලිමේන්තුවේ ගැලරිය පාසල් දරුවන්ට නුසුදුසු තැනක් සේ තේරුම් ගෙන කටයුතු කිරීමට සිදු වී තිබේ. දීර්ඝ කාලයක් තිස්සේ පවතින මේ අසෝබන තත්වයට වගකිව යුත්තේ මහජනතාව නොව දේශපාලන පක්ෂවල නායකයන්ය. විශේෂයෙන්ම ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ නායකයන්ය.
පොදු මහජනතාව මැතිවරණයක දී ඡන්දය දෙන්නේ තමන් වෙනුවෙන් වැදගත් ආසනයක වාඩි වීමට සුදුසු පුද්ගලයාට නොව, ඒ අවස්ථාවේ තමන් නතු කර ගන්නා පුද්ගලයාටය. මේ නිසා අද කථානායකවරයෙකුට සිදුව තිබෙන්නේ ගවරැළක් දක්කාගෙන යන විලසින් සභා වාර පවත්වා ගෙන යාමටය. වත්මන් පාර්ලිමේන්තුවේ පවත්නා අසෝබන තත්වය ගැන අප්‍රසාදය පළ කරමින් විශ්‍රාමික, ජ්‍යෙෂඨතම සිවිල් නිලධාරියෙකු මා සමඟ පැවසුවේ, පාර්ලිමේන්තුව උදෙසා වැය කරන ධනයට සාධාරණයක් වීමට නම්, පාර්ලිමේන්තුව රටේ උත්තරීතර ආයතනය බවට පත් කර ගැනීමට නම්, අශීලාචාර හැසිරීම්වලින් වියුක්ත තත්වයක් පාර්ලිමේන්තුව තුළ ඇති කර ගැනීමට නම්, පාර්ලිමේන්තු සභාවාර ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වීම එකම විසඳුම බවයි. එය මොන කළ නොහැකි දෙයක් බව මා පෙන්වා දුන් විට එතුමා පැවසුවේ, එසේ නම් අඩුම තරමින් සිංහල භාෂාව වැදගත් අන්දමට පරිහරණය කළ යුතු අන්දම ගැන පුහුණුවක් සියලුම මහජන නියෝජිතයන්ට පාර්ලි මේන්තුවේ අසුන් ගැනීමට පෙර ලබා දිය යුතු බවයි.
විනයක් නැති මහජන නියෝජිතයන්ගෙන් සැදුම් ලත් පාර්ලිමේන්තුවක කතානායක පදවිය චමල් රාජපක්ෂ මහතා ඉතා සැහැල්ලුවෙන් ඉසිලූ බව ද මා සමඟ කතා කළ සිවිල් නිලධාරී තැන පැවසීය. ඊට ප්‍රධානතම හේතුව මහින්ද රාජපක්ෂ තමන්ගේ මහජන නියෝජිතයන් විවිධ අන්දමින් හීලෑ කර තිබීමෙන් සියලු දෙනාගේම ස්වාධීනත්වය අහිමි කර දැමීමය. රාජපක්ෂ පාලන සමයේ වහලුන් ලෙස කටයුතු කළ පිරිසක් අද අවිචාරවත් ලෙස හැසිරෙමින් විදහා පාන්නේ දීර්ඝ කාලයක් තිස්සේ විඳි පීඩනය බව එතුමා මැනවින් විග්‍රහ කළේය.
ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටිමින් අද පාර්ලිමේන්තුව මඩ ගොහොරුවක් බවට පත් කිරීමට වෙර දරන්නේ එදා වහල් සේවයේ නිමග්නව සිටි වහලුන් පිරිසක් බව කනගාටුවෙන් වුව පැවසිය යුතුය. මේ පුද්ගලයන් බලසම්පන්න කිරීමේ කටයුත්ත අද දෙපැත්තකින් සිදු වේ. එක් පැත්තක සිටින්නේ මහින්ද රාජපක්ෂය. අනෙක් පැත්තේ සිටින්නේ අගමැතිවරයාය. මෙහි ගොදුර බවට පත්ව තිබෙන්නේ කතානායක වරයාය. මෙබඳු යථාර්ථයක් තුළ පාර්ලිමේන්තුව රට වැසියන්ට උත්තරීතර ආයතනය ලෙස තව දුරටත් සැලකිය හැකි ද? මේ තත්වය වහාම වෙනස් විය යුතුමය.
ජනවාරි 08 වෙනිදා හැට දෙලක්ෂයකට අධික පුරවැසියන් අපේක්ෂා කළේ ශීලාචාර රාජ්‍ය පාලනයකි. නීතිය මත පාලනය වන රටකි. අගෝස්තු 17 මැතිවරණයෙන් නීති ගරුක මහජන නියෝජිතයන් පත් කර ගන්නා ලෙස මහජනතාවට මාර්තු 12 ව්‍යාපාරය හොඳින් පැහැදිලි කර සිටියේය. එහිදී ඡන්දදායකයෝ අසාර්ථක වූහ. ජනතාව තෝරා පත් කළ උදවිය අතුරින් බහුතරය සොරු, තක්කඩි, මිනීමරුවෝ වෙති. වත්මන් පාර්ලිමේන්තුව තුළ බන්ධනාගාර ගත වී ඇප ලබා සිටින පුද්ගලයෝ සිටිති. අධිකරණයේ විභාග වන දූෂණ වංචාවලට අදාළ නඩුවලට පෙනී සිටින පුද්ගලයෝ වෙති. මනුෂ්‍ය ඝාතනවලට චෝදනා ලැබුවෝ වෙති. මෙබඳු සාධක ගැඹුරින් සලකා බලන විට අපේ පාර්ලිමේන්තුව රටේ උත්තරීතර ආයතනය ලෙස අපට තව දුරටත් සැලකිය හැකි ද?■