රාජපක්ෂගේ ව්‍යවස්ථා ප්‍රකාශයට පිළිතුරක්


sunanda

හිටපු ජනාධිපති රාජපක්ෂ විසින් පසුගියදා ආණ්ඩුවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ සංක්‍රමණීය යුක්ති හෙළාදකිමින් දීර්ඝ ප්‍රකාශයක් නිකුත්කරන ලදි. මෙම ප්‍රකාශයෙහි කරුණු හරි වැරදි බැලීමට ආණ්ඩුව හෝ ආණ්ඩුවේ හවුල්කාර රාජ්‍ය නොවන සංවිධාන කිසිවක් තවම පියවර ගෙන නැත. 15වන බදාදා රාජපක්ෂගේ ප්‍රකාශයට විදේශ ඇමැති මංගල සමරවීර පිළිතුරක් දුන්නේය. ඔහු එම ප්‍රකාශයෙන් රාජපක්ෂ ව්‍යාජ තර්කයන්හි පදනමට පහර දී තිබීම සතුටට කරුණකි.
රාජපක්ෂගේ ප්‍රකාශයෙහි ඇති බොහෝ චෝදනා පදනම් වන්නේ අගමැතිවරයාගේ සංහිඳියාව හා සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ කාර්යසාධක බලකායේ වාර්තාව සම්බන්ධයෙනි. එම බලකායේ නායකත්වය දැරූ කිසිවකු මේ තාක් රාජපක්ෂගේ ප්‍රකාශයට පිළිතුරක් නොදීමද කනගාටුවට කරුණකි.
බලය බෙදීමට සහ සංක්‍රමණීය යුක්ති ක්‍රියාවලියට විරුද්ධව රාජපක්ෂ එල්ලකරන චෝදනා අප පරාජය කළ යුත්තේ එන්න එන්නම දූෂිත වෙමින් ඇති සිරිසේන-රනිල් ආණ්ඩුව ආරක්ෂා කිරීමට නොවේ. එම ක්‍රියාදාමය මගින් මෙරට දෙමළ ජනයා අපේක්ෂා කරන යුක්තිය ලබාදෙනු පිණිසය. රාජපක්ෂගේ දේශපාලනයෙහි ඇති ප්‍රධාන තේමාව වන බලය බෙදීමට සහ සංක්‍රමණීය යුක්තියට විරුද්ධවීම අපේ ප්‍රචාරක මතවාදී ව්‍යාපාරයන්හි තේමාවක් විය යුතුය.
රාජපක්ෂගේ ප්‍රකාශයෙන් පෙන්වන ප්‍රධාන අවුල නම් තවමත් 2015 ජනාධිපතිවරණයෙන් මෙරට ජනයා ඔහු පරාජය කළ බව පිළිගැනීමට බැරිකමයි. ඔහු මෙසේ කියයි: “දේශීය හා විදේශීය ඊළාම්වාදී පිරිස් ඇතැම් විදෙස් බලවතුන්ද සමග එකතුවී 2015 ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය විකෘති කරනු ලැබුවේ දශක හතරක ත්‍රස්තවාදයෙන් ලබාගැනීමට බැරි වූ දේ ඒ අයට ලබාදීමට සූදානම් ආණ්ඩුවක් බලයට ගෙනඒමටය.”
මෙරට ජනයා රාජපක්ෂ බලයෙන් පහකරන ලද්දේ ඔහුගේ දූෂිත සහ භීෂිත දේශපාලනය අතුගා දැමීමටය. ඒ බව පිළිනොගැනීමෙන් රාජපක්ෂ පෙන්වන්නේ ඔහු තවමත් ගමන් කරන්නේ එම භයානක මාවතෙහිම බවයි.
ඇමෙරිකානු ජනයාගේ අයිතීන් එකින් එක කප්පාදු කරමින් නිරුවත් ජාතිවාදී ධනවාදයකට ඉඩහරිමින් සිටින ඩොනල්ඞ් ට්‍රම්ප් වන්දනා කරන රාජපක්ෂ, ට්‍රම්ප් මෙන්ම බොරු කීමෙන් ජනප්‍රියවීම සිය උපාය කරගෙන තිබේ. ඔහු මෙසේ කියයි: “මේ ලියවිලි සියල්ලේම පදනම වන්නේ 2015 ඔක්තෝබර් මාසයේදී ලංකාවේ යහපාලන ආණ්ඩුවේ උදව් සහ සමඅනුග්‍රාහකත්වයද සහිතව ඔබාමා පාලනය සහ යුරෝපීය බලවතුන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහිව සම්මත කරගත් යෝජනාවයි.”
ලංකාවට එරෙහිව යෝජනාව සම්මතවූයේ රාජපක්ෂ බලයේ සිටි 2014 මාර්තු මාසයේදීය. 2015 ඔක්තෝබර් යෝජනාව ශ්‍රී ලංකාවට වාසිදායක එකකි.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකිරීම 1992 සිට ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ ඉල්ලීමකි. ඒ කොතෙක්ද යත් රාජපක්ෂ පවා 2005 සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට එය ඇතුළත් කළේය. බලය බෙදීමේ අවශ්‍යතාව 1959 බණ්ඩරනායකගේ සිට 13 වන සංශෝධනයට වඩා බලය බෙදීමක් ලබාදෙන බවට තෙවරක් අන්තර් ජාතික ප්‍රජාව හමුවෙහි පොරොන්දුවූ රාජපක්ෂ දක්වා පිළිගත් දේශපාලන අවශ්‍යතාවකි. සංක්‍රමණීය යුක්තිය රාජපක්ෂ විසින්ම පත්කරන ලද එල්.එල්.ආර්.සී. කොමිසමේ සහ පරණගම කොමිසමේද පොදු අරමුණ විය. තමා යළි ජනාධිපතිවුවහොත් යුද සමයෙහි වූ මානව හිමිකම් කෙළෙසීම් සොයාබැලීමට නව යන්ත්‍රණයක් පත්කරන බවට රාජපක්ෂම පොරොන්දුවක් දුන්නේය.
ඉදින් වත්මන් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමය හුදෙක් මානව හිමිකම් මණ්ඩලයේ 30/1 දරන යෝජනාවට සම්බන්ධ කිරීම කොතරම් බොරුවක්ද? රාජපක්ෂට ඇති අසනීපයක් නම් තමාගේම ඉතිහාසය අමතක වීමයි.
රාජපක්ෂ මෙසේද කියයි: “අද වන විට මහා දේශපාලන පෙරළියක් සිදුවී ඔබාමා පාලනය අතුගෑවී ගොස් තිබුණද, ඇමරිකාවේ අලුත් ආණ්ඩුවට කතාකොට, මේ භයානක ලියවිල්ලේ වගන්ති වෙනස් කරගැනීමට ලංකාවේ ආණ්ඩුව කිසිදු උත්සාහයක් දරා නැති බව මෙහිදී ජනතාවට දැනුම් දීමට කැමැත්තෙමි.”
ඔබාමා පාලනය අතුගෑවී ගොස් ඇතැයි කියන රාජපක්ෂ සිය පරාජය හඳුන්වන්නේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙසය!
ට්‍රම්ප්ගෙන් සහායක් ලබාගත හැකිව තිබුණේය යන්න තවත් බොරුවකි. රාජපක්ෂ කියන පරිදි සිරිසේන ඩොනල්ඞ් ට්‍රම්ප්ට එවැනි ආයාචනයක් කරන ලද නමුත් ඊට සාධනීය පිළිතුරක් ලැබුණේ නැත. එපමණක් නොව පසුගිය 7දා මානව හිමිකම් මණ්ඩලයේ පැවැති ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව ගැන සාකච්ඡාවෙහිදී ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම්වරියක වන එරින් එම්. බාක්ලේ කියාසිටියේ 2015 වසරෙහි සම්මත කරන ලද 30/1 දරන යෝජනාව වෙනස් කිරීමට කිසිදු ඉඩක් නොමැති බවයි. ට්‍රම්ප් පාලනය යටතේද ශ්‍රී ලංකාවට කියාසිටින්නේ 2015 වසරෙහිදී සම්මත කරන ලද එම යෝජනාව ක්‍රියාත්මක කළයුතු බවයි.
එනයින් රාජපක්ෂ ට්‍රම්ප් පාලනයෙන් වාසි ලබාගැනීම ගැන කියන්නේද බොරුවකි.
තමා බලයට පත්වුවහොත් ගෙනයන මානව විරෝධි පාලනය පෙන්වා දෙමින් රාජපක්ෂ මෙසේ කියයි.
“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙනඒමට යන අලුත් නීතියට අනුව අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපති, මානව හිමිකම් කොමිසම හා එම පළාතේ මහේස්ත්‍රාත්වරයා අත්අඩංගුවට ගන්නා ත්‍රස්තවාදී සැකකරුවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කළයුතු වේ. රඳවාගැනීම් නියෝගයක් යටතේ සැකකරුවන් රඳවාගැනීම මාස 3 සිට දවස් 30 දක්වා අඩු වේ. රඳවාගෙන සිටිය හැකි උපරිම කාලය මාස 18 සිට මාස 6 දක්වා අඩු වේ. සැකකරුට එරෙහිව අවුරුද්දක් ඇතුළත නඩු ගොනු නොකළොත්, නැතිනම් නඩුවේ කාලය අවුරුදු දෙකකට වඩා දික් ගැස්සුණහොත්, සැකකරු ඇප මත නිදහස් කළයුතු වේ. ත්‍රස්තවාදී සැකකරුවන්ට උපරිම අවකාශය සලසන අතර රාජ්‍ය හමුදාවලට උපරිම ලෙස බාධා වෙන ආකාරයට මේ යෝජනා කෙටුම්පත් කර තිබේ.”
මෙන්න නියම රාජපක්ෂ. ඔහු කියාසිටින්නේ මෙම නීති අදාළ වන්නේ ත්‍රස්තවාදී සැකකරුවන්ට පමණක් බවයි. ඉන් ඔහු අදහස් කරන්නේ දෙමළ ජාතික පිරිස්ය. එහෙත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දකුණේ මානව හිමිකම් ක්‍රියාධරයන්ට එරෙහිව පමණක් නොව අත්අඩංගුවට ගැනුණු සොල්ලදාදුවන්ට එරෙහිවද යොදාගත් බව ඔහු වසන් කරයි. මෙම නව සංශෝධන මගින් ඉතා පැහැදිලිව පෙනෙන්නේ මෙය සැකකරුවන්ගේ අයිතීන් සුරැකීමට කැරෙන වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයක් බවයි. රාජපක්ෂට අවශ්‍ය වන්නේ මර්දනකාරී පාලනයක් ගෙනයෑමට බවට මීට වඩා සාක්ෂි අවශ්‍යද? අහෝ යළි මෙරට බලයට ඒමට වළිකන රාජපක්ෂ ‘අත්අඩංගුවට ගන්නා ත්‍රස්තවාදී සැකකරුවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කළ යුතු වේ’ යන වගන්තියටද විරුද්ධය. (මෙහි ඇති ත්‍රස්තවාදී යන වචනය රාජපක්ෂට විරුද්ධ වන සින්නතම්බිලාට, මොහොමඞ්ලාට මෙන්ම සුමනාවතීලාටද අදාළ බව අප අමතක නොකළ යුතුය.) රාජපක්ෂ තවමත් සිතාගෙන ඉන්නේ බලයට පත් වූ දිනෙක අත්අඩංගුවට ගන්නා විරුද්ධවාදීන් පරලොව යැවීමට බව මෙයින් නොපෙනේද?
රාජපක්ෂ සිය ප්‍රකාශයෙහි සහමුලින්ම මඟහරින කරුණක් නම් සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියට සත්‍යය සෙවීමේ කොමිසමක්ද ඇතුළත් වන බවයි. එවැනි කොමිසමක මූලික අරමුණ වන්නේ යුද සමයෙහි සිදුකරන ලද දරුණු මානව හිමිකම් කෙළෙසීම් පිළිබඳ සත්‍යය හෙළිදරව් කරගැනීමත් ඉන්පසු ඒ සඳහා සමාවදීමේ ක්‍රමවේදයක් සකස් කිරීමත්ය. රාජපක්ෂගේ ප්‍රකාශය යුදහමුදා පිරිස් බිය ගැන්වීමට උත්සාහ කරන්නේ එල්ටීටීඊ පිරිස්වලට සමාව දෙන අතර යුද හමුදා පිරිස්වලට දඬුවම් කරනු ඇති යන අභූත තර්කය මතය. එවැනි කරුණක් කාර්යසාධක බලකයේ හෝ නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනාවන්හි හෝ නැත. රාජපක්ෂ මෙසේද කියයි: “ඒ වෙනුවට කොටි සංවිධානයෙන් ඉවත් වී ආණ්ඩුව සමඟ එකතුවී කටයුතු කළ හිටපු කොටි නායකයන්ට එරෙහිව යුද අපරාධ විමර්ශන පැවැත්විය යුතු බවට අග්‍රාමාත්‍යවරයාගේ සංහිඳියාව පිළිබඳ කාර්යසාධක බලකාය කියයි.”
ඔහු මේ කියන්නේ කරුණා අම්මාන්, පිල්ලෙයාන් සහ කේපී නොහොත් කුමරන් පත්මනාදන් ගැනය. මෙම තිදෙනාම පසුකාලයෙහි රාජපක්ෂගේ මර්දනකාරී දේශපාලන ව්‍යාපෘතියෙහි කොටස්කරුවන්ව සිටියහ. ඒ කෙසේ වෙතත් ඔවුන් සම්බන්ධයෙන් පමණක් වෙනස් පිළිවෙතක් අනුගමනය කරනු ලබන්නේ නම් එය වරදකි. එවැනි යෝජනාවක් කොතැනක හෝ කෙරී නැත. දැනට හෙළිදරව් වී ඇති කරුණු අනුව කරුණා පාර්ශ්වයේ සහ පිල්ලෙයාන් පාර්ශ්වයේ සන්නද්ධ පිරිස් රාජපක්ෂ පාලනයෙහි මර්දනකාරී හස්ත ලෙස ක්‍රියාත්මකවී තිබේ. එසේ නම් ඔවුන්ට නඩු නොපැවරිය යුතුද? රාජපක්ෂගේ (සහ දැන් සිරිසේනගේද) තර්ක අනුව ලසන්ත ඝාතනය, ප්‍රගීත් පැහැරගැනීම, කීත් නොයර් පැහැරගෙන වධහිංසා පැමිණවීම් යනාදිය සම්බන්ධයෙන් යුදහමුදා පිරිස්වලට නඩු නොපැවරිය යුතුය. රාජපක්ෂ ඒ ගොඩට කරුණා අම්මාන්ගේ සහ පිල්ලෙයාන්ගේ කුලි භටයන්ද එකතු කරයි.
දැන් පිල්ලෙයාන්ට නඩු පැවරෙන්නට යන්නේ දෙමළ ජාතික සන්ධානයේ මඩකළපු නායක පාර්ලිමේන්තු මංත්‍රී ජොසප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙනි. රාජපක්ෂගේ දේශපාලන ව්‍යාපෘතියට සම්බන්ධ වූ නිසා පිල්ලෙයාන්ට ජෝශප් පරරාජසිංහම් ඝාතනය කිරීමට බලයක් ලැබුණේද? කරුණා අම්මාන්ගේ නායකත්වය යටතේ පොලිස් නිලධාරීන් 600ක් ඝාතනය කිරීම පරීක්ෂා නොකළ යුතුද?
මෙසේ වැදිබණ දෙසන රාජපක්ෂට දැන් අමතකවී ඇත්තේ ඔහු යුදසමයේ සිටි සේනාධිනායක පොන්සේකා කුදලා ගෙන ගොස් අවනඩුවක් පවරා සිරගත කර ජම්පර් ඇන්දවූ බවයි.■ මතු සම්බන්ධයි.