රාවය

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයට නූතන කුමාරයෙකු ඕනෑ

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයට නූතන කුමාරයෙකු ඕනෑ

රුසියානු විප්ලවයේ සියවස් සැමරුම වෙනුවෙන් පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැති රැස්වීමේදී මුඛ්‍ය දේශනය කළේ මහාචාර්ය ජයදේව උයන්ගොඩය. දේශනයේ මාතෘකාව වුණේ, ‘පෙබරවාරියේ සිට ඔක්තෝබර් දක්වා, රුසියානු විප්ලවයේ උරුමය සහ අද ශ්‍රී ලංකාව’ යන්නයි. සිය දීර්ඝ දේශනයේ අවසන් භාගයේදී මහාචාර්ය උයන්ගොඩ ලංකාවේ රාජ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හා නව ව්‍යවස්ථාව පිළිබඳවද අදහස් දැක්වීය. මෙහි පළවන්නේ මහාචාර්ය උයන්ගොඩගේ දේශනයෙන් උපුටාගත් එම කොටසයි.

1917 පෙබරවාරි සිට ඔක්තෝ බර් දක්වා වූ මාස අටක් වැනි කෙටි කාලයක් තුළ රුසියානු දේශපාලනයේ සිදුවූයේ අතිමහත් පරිවර්තනයකි. ඒ අර්බුදකාරී පරිවර්තනය කෙළවර වූයේ ඔක්තෝබර් මාසයේ බෝල්ෂෙවික්වරුන් විසින් කෙරෙන්සිකිගේ තාවකාලික ආණ්ඩුව පෙරළා දමා, දේශපාලන බලය අත්පත් කර ගැනීමෙනි. සමාජවාදීන්ගේ දේශපාලන භාෂාවෙන් මෙම පරිවර්තනය විස්තර කර තිබෙන්නේ සමාජවාදී විප්ලවය විසින් ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය විස්ථාපනය කිරීම ලෙසයි. රුසියාවේ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේත් සමාජවාදී විප්ලවයේත් කාර්යයන් එකට සංයෝගවීමේ ඓතිහාසික මොහොතක් හැටියටද සමාජවාදීහු එය හඳුන්වති. ඒ පරිවර්තනය ගැන කෙටියෙන් හෝ විස්තර කිරීමට මෙය අවස්ථාව නොවේ. ඒ වෙනුවට වෙනත් ප්‍රශ්නයක්, ලංකාවේ වර්තමානයත් අදාළ වන ප්‍රශ්නයක්, මතු කිරීමට මා කැමතිය. පසුගිය අවුරුදු සියයක කාලය තුළදී රුසියාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදය පිළිබඳ අපේක්ෂා දෙකම බිඳවැටී ඇත. එම නිශේධනීය පසුබිම තුළ රුසියානු අත්දැකීම ලංකාවේ වර්තමානයට අදාළ වන්නේ කෙසේද? යනු එම ප්‍රශ්නයයි.
මට පෙනෙන හැටියට එම අදාළතාව ඍජු නොවන වක්‍ර එකකි. එම අදාළත්වය පවතින්නේ ප්‍රධාන කාරණා දෙකක් මතය. ඉන් පළමුවැන්න, දේශපාලන ප්‍රතිසංස්කරණයේ න්‍යාය පත්‍රය, දේශපාලන විප්ලවයේ න්‍යාය පත්‍රය වෙනුවට දේශපාලන පරිවර්තන ක්‍රියාවලියේ මධ්‍යය වෙතට පැමිණ තිබෙනවා පමණක් නොවේ. එය සංකීර්ණ, දුෂ්කර සහ පසුබෑම්වලට මුහුණ දෙන ගමන්ම නිරතුරුවම අලුත්වන්නා වූ ද න්‍යාය පත්‍රයකි. එහෙත් එම න්‍යාය පත්‍රය සාර්ථක ලෙස ඉදිරියට ගෙනයාමේ කර්තව්‍යය භාරගන්නා දේශපාලන කර්තෘක බලවේග පිළිබඳ ප්‍රශ්නය ලංකාවේ පසුගිය දශක දෙක තුන පුරා නැවත නැවතත් මතු වී තිබේ. දෙවැන්න, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස් කරණ සඳහා වරින්වර වේගයෙන් මතුවන දේශපාලන අභිලාෂ සංයුක්ත ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළක් බවට පත්කිරීම සඳහා අත්‍යවශ්‍ය දේශපාලන අධිෂ්ඨානය සහිත පරිවර්තන කර්තෘක බලවේග පිළිබඳ ප්‍රශ්නයයි. දේශපාලන කර්තෘකත්වය සහ දේශපාලන අධිෂ්ඨානය අසම්පූර්ණව පවත්නා ලංකාවේ අද පවත්නා බැරූරුම්තම දේශපාලන අභියෝගය වන්නේ ‘ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය’ ඉදිරියට ගෙනයෑමයි.
මෙම අභියෝගය ඉදිරියේ අප රටේ දේශපාලන බලවේග අලුත් ධ්‍රැවීකරණය වීමක් සහ දේශපාලන විවාදයේ පරාසය පටුවීමක් මේ දිනවල අපට නිරීක්ෂණය කළ හැකිය. මේ බව ඉතා හොඳින් ප්‍රකාශයට පත්වන්නේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය පිළිබඳ දැනට සිදුවන විවාදයෙහිය. දැනට විවාදයට භාජනය වී ඇති මාතෘකා අතර ප්‍රධාන එකක් වන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම “ජනමත විචාරණයක්” මාධ්‍යය කොටගෙන සිදුකළ යුතුද නැද්ද යන්නයි. මේ කරුණු මත ආණ්ඩුවේ ඇත්තේ එකිනෙකට පටහැනි ස්ථාවර දෙකක් බවට ජනමාධ්‍යයෙන් මහජනයාට ලැබී ඇති මතය ප්‍රතික්ෂේප වන ප්‍රචාරයක් ආණ්ඩුව පැත්තෙන් ලැබී නැත. විසඳෙන බවට ලකුණු නැති මෙම මතභේදය නිසා බොහෝවිට සිදුවීමට ඉඩ තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ප්‍රශ්නය, 2000 වසරේදී සිදුවූ ඉරණමට යළි ඇදවැටීමයි. එනම් යළිත් වරක් තීරණාත්මක පසුබෑමකට ගොදුරුවීමයි.
මට පෙනෙන හැටියට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය එවැනි ඛේදනීය ඉරණමකට පාත්‍රවීම වැළැක්වීමට නම් ඒ සඳහා අලුත් ප්‍රවේශයක් ගොඩනැඟීම අත්‍යවශ්‍ය වෙයි. ඒ සඳහා කරණු තුනක් යෝජනා කිරීමට මම කැමැත්තෙමි.
ඉන් පළමුවැන්න නම්, ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය, දැනට සිදුවී තිබෙන පටු, පක්ෂග්‍රාහී සහ තාවකාලික වාසි ලබන දේශපාලනීකරණයෙන් වෙන්කර අලුත් ආකාරයක සාධනීය දේශපාලනී කරණයකට පාත්‍ර කිරීමයි. ඒ සඳහා තර්ක දෙකක් ගොඩනැඟිය හැකිය. පළමුවැනි තර්කය නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය යනු ලංකාවේ නිම නොවූ “ප්‍රජාතාන්ත්‍රික විප්ලවය” ඉදිරියට ගෙනයෑමේ ඓතිහාසික කර්තව්‍යයක් යන්නයි. එය වනාහි අප රටේ ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අභිලාෂ මුදුන්පත් කිරීම සඳහා අද තිබෙන එකම “විප්ලවීය” ක්‍රියාමාර්ගය ද වන්නේය යන්නයි. දෙවැනි තර්කය නම්, ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යනු ලංකාවේ තවමත් සම්පූර්ණ වී නැති රාජ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කූටප්‍රාප්ත කිරීමේ ව්‍යාපෘතියක්ය යන්නයි. ලංකාවේ රාජ්‍යය ප්‍රජාතන්ත්‍රවාදය ලෙස යළි ගොඩනැඟීම, 1980 ගණන්වල සිටම ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම විසින් මෙරට පුරවැසියන් ඉදිරියේ ශපථ කරන ලද, එහෙත් ඉටුනොකරන ලද සහ කල්දමන ලද පොරෙන්දුවකි. ව්‍යාජ හේතු මත ඒ පොරොන්දුවට පිටුපෑමට යම් දේශපාලන පක්ෂ ඉදිරිපත් වන්නේ නම් එය වනාහි ලැජ්ජා විය යුතු ආත්මාර්ථකාමී ක්‍රියාවකි.
දෙවැන්න නම්, “ජනමත විචාරණය” පිළිබඳ ඇති පටු විරෝධය මෙන්ම හුඹස් බියද අතහැර දමා ඒ සඳහා ආණ්ඩුව නොපැකිලව ඉදිරිපත් විය යුතුය යන්නයි. ලංකාවේ රාජ්‍යය හරයාත්මක ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට නම් සහ ජනවාර්ගික ගැටලුවට විසඳුම් සැපයිය හැකි කල් පවත්නා ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සිදුකිරීමට නම්, දැනට පවත්නා 1978 ව්‍යවස්ථාවේ සාපේක්ෂ වශයෙන් අනම්‍ය වගන්ති කිහිපයක්ම ප්‍රතිසංස්කරණය කළ යුතුව තිබේ. තුනෙන් දෙකක බහුතරයෙන් පමණක් කළ හැක්කේ 1978 ව්‍යවස්ථාවේ මතුපිට පැලැස්තර දැමීමක් පමණි.
ජනවාර්ගික ප්‍රශ්නය විසින් දශක ගණනාවක් තිස්සේ අවධාරණය කළ කරුණක් අපේ වෘත්තීය දේශපාලනඥයන් බොහෝ දෙනෙකුට දැන් අමතක වී තිබෙන බව පෙනේ. එනම් රටේ දේශපාලන යථාර්ථය, රාජ්‍යය ව්‍යුහය අබිබවා, ඉක්මවා ගොස් ඇති බැවින් දේශපාලන යථාර්ථයත් පවත්නා රාජ්‍ය ව්‍යුහයත් අතර සමනය කළ නොහැකි ප්‍රතිවිරෝධීත්වයක් ගොඩනැඟී ඇති බවයි. එම ප්‍රතිවිරෝධය සමනය කරන්නට නම් එක්කෝ දේශපාලන යථාර්ථය වෙනස්කළ යුතුය. නැතිනම් රාජ්‍යය රැඩිකල් ප්‍රතිසංස් කරණයකට භාජනය කළ යුතුය. පළමුවැන්න කළ නොහැකිය. දෙවැන්න කළ හැකිය. ඒ සඳහා ජනතාව සූදානම් වුවත්, වෘත්තීය දේශපාලනඥයන් පොරොන්දුවීමේ මිස, පොරොන්දු ක්‍රිියාත්මක කිරීමේ දේශපාලන අධිෂ්ඨානය අහිමි කරගෙන ඇති බව පෙනේ.
“දේශපාලන අධිෂ් ඨානය” යන සංකල්පයෙන් අදහස් වියයුත්තේ කුමක්ද යන්න කෙටියෙන් හෝ පැහැදිලි කරගැනීම මෙතැනදී අපට ප්‍රයෝජනවත්ය. එය නිට්ෂ්චියානු “බලය සඳහා වූ අධිෂ්ඨානය” යන සංකල්පය සමඟ මිශ්‍ර කළයුතු නැත. මන්ද බලය සඳහා වූ අධිෂ්ඨානය :උසකක එද ඡදඇර* යන්න ප්‍රජාතන්ත්‍ර විරෝධී, ප්‍රජාපීඩක, ඒකබලාධිකාරී පාලන තන්ත්‍රයක් සඳහා දේශපාලනඥයන් සතු අභිලාෂයන් සාධාරණය කිරීමට යොදාගත හැකි සංකල්පයක් නිසාය. අප උනන්දුව දැක්විය යුත්තේ “ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සඳහා වූ දේශපාලන අධිෂ්ඨානය” යන සංකල්පය පැහැදිලි කරගැනීමටයි. ලංකාවේ වර්තමාන දේශපාලන පසුබිම පදනම්කරගත් එවැනි දේශපාලන අධිෂ්ඨානයක පහත සඳහන් අංග සතර ඇතුළත් වියයුතු බව පෙනේ.
නොසැලෙන කැමැත්ත සහ හැකියාව: ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යය ප්‍රතිසංස්කරණ සඳහා සමාජය වෙතින් ගොඩනැඟී තිබෙන දේශපාලන කතිකාව සංයුක්ත දේශපාලන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් බවට පරිවර්තනය කිරීමේ කැමැත්ත හා ශක්‍යතාව නොසැලී පවත්වා ගැනීම.
මතවාදී හා බුද්ධිමය නායකත්වය සැපයීම: සමාජය දේශපාලන වශයෙන් තියුණු ලෙස බෙදී පැවැතීමේ පසුබිමක් තුළ, එම දේශපාලන බලවේගවල බහුතරය ප්‍රජාතාන්ත්‍රික රාජ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ පාර්ශ්වකරුවන් හා හවුල්කරුවන් බවට පරිවර්තනය කිරීමට සමත්වන මතවාදී හා බුද්ධිමය නායකත්වය සැපයීම.
මූලෝපායික දැක්ම: රාජ්‍ය ප්‍රතිසංස්කරණ යනු දේශපාලන බලවේග තියුණු ලෙස බෙදා, දේශපාලන ප්‍රතිවිරෝධතා යළි තියුණු කිරීමේ අනතුර නිසර්ගයෙන්ම හිමිකරගත් දේශපාලන ක්‍රියාවකි. එම අවබෝධය සහිත, රාජ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ගය නිසාම තියුණුවන දේශපාලන ප්‍රතිවිරෝධතා සාධනීය ලෙස සමනය කරමින් ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාමේ මූලෝපායික දැක්මක් වෙතින් මඟ පෙන්වා ගනු ලැබීම.
ප්‍රතිසංස්කරණ විරෝධී රාජ්‍ය යන්ත්‍රයට යට නොවීම: ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස් කරණ සම්බන්ධව තිබෙන අතිමූලික පරස්පරතාවක් වන්නේ ප්‍රතිසංස්කරණ සඳහා ඇති මහජන අභිලාෂය සහ රාජ්‍යයේ ආයතන සහ එම ආයතන මෙහෙයවන පිරිස් අතර ඇති ප්‍රතිසංස්කරණ විරෝධයේ නොපෑ හෙනකමයි. ලංකාවේ ඇත්තේ ප්‍රතිසංස්කරණ විරෝධී රාජ්‍ය ව්‍යුහයකි. මෙම පරස්පරතාව ජයගත හැකි ලෙස ප්‍රතිසංස්කරණ හිතකාමී මහජන බලවේගවල දේශපාලන විශ්වාසය සහ පාක්ෂිකත්වය නොසැලී පවත්වාගෙන යෑමේ කැපවීම. ප්‍රතිසංස්කරණ විරෝධී රාජ්‍ය ව්‍යුහයන්ගේම ගොදුරු සහ සිරකරුවන් නොවීමට දේශපාලන නායකත්වය වගබලා ගැනීම.
මෙතැනදී “ජනමත විචාරණය” පිළිබඳ ගැටලුව සම්බන්ධ නිරීක්ෂණයක් කිරීමට මම කැමැත්තෙමි. ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය, එම වගකීම නෛතික වශයෙන් භාරව සිටින මහජන නියෝජිතයන් අතර ඇති මතභේද සහ විවාදවල ගොදුරක් බවට පත්වෙමින් තිබෙන බව දැන් පැහැදිලිය.
මහජන නියෝජිතයන්ට ඒ සඳහා පාර්ලිමේන්තු ව්‍යවස්ථා සභාව නැමති අවකාශය තුළ එකඟවිය නොහැකි නම්, එයින් කියැවෙන්නේ කුමක්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන කාර්යයේ වගකීම පිළිබඳව පැහැදිලි තීරණයක් ගැනීමේ වගකීම මහජනතාව වෙත පැවරිය යුතුය යන්නයි. වෘත්තීය දේශපාලනඥයන් වන මහජන නියෝජිතයන් ඉටුකිරීමට අකමැති සහ ප්‍රතික්ෂේප කරන කාර්යය, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන බලයේ උල්පත වන මහජනතාව වෙතට බාරදීමයි. “ජනමත විචාරණය” අන් කවරදාටත් වඩා අද ලංකාවේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය වන්නේ එබැවිනි. තමන්ට ප්‍රජාතාන්ත්‍රික රාජ්‍ය ප්‍රතිසංස්කරණ අවශ්‍යද නැද්ද යන්න තීරණය කිරීමට රටේ මහජනතාවට අවස්ථාව ලබාදීම අත්‍යන්තයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවකි. මා ඉහතින් දැක්වූ ආකාරයේ දේශපාලන අධිෂ්ඨානයක් සහිත දේශපාලන නායකත්වයක් ඒ ගැන පසුබට විය යුතුද නැත.
තුන්වෙනුව, ප්‍රජාතන්ත්‍ර වාදී රාජ්‍ය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සාර්ථකත්වය කරා ඉදිරියට ගෙනයන්නට නම්, එම කර්තව්‍යයට කරගහන බර දරන්නෙකු සහ වීරයෙකු සිටිය යුතුය. එම බර දරන්නා නොසැලෙන අධිෂ්ඨාන යෙන් සිටිය යුතුවා පමණක් නොව තමන්ගේ පුද්ගලික දේශපාලන ඉරණම, ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ නායකත්ව කාර්යය සමග අනන්‍ය කරගත්තෙකු විය යුතුය. දේශපාලන සටනේදී එදිනෙදා මතුවන චූල දේශපාලන න්‍යාය පත්‍රවලින් තම ඉදිරි දැක්මට හානි පමුණුවන්නට ඉඩ නොතබන, තමා සතු ඓතිහාසික වගකීම පිළිබඳ සැක පහළ කර නොගන්නා “නූතන කුමාරයෙකු” (Modern Prince) විය යුතුය.■