Untitled-1

Untitled-1

ඇමතිගෙන් පිළිතුරක්


dayasiri

දයාසිරි ජයසේකර පා.ම. ක්‍රීඩා අමාත්‍ය

පෙබරවාරි 19 සහ 26 දිනයන්හි ක්‍රීඩා පිටුවල සඳහන්ව තිබූ වාර්තා පිළිබඳ කරුණු පැහැදිලි කිරීමයි
2017.02.19 සහ 2017.02.26 වන දින ඇතුළුව පසුගිය කාලය පුරා රාවය පුවත්පත්හි ක්‍රීඩා පිටුවෙහි ටිරාන් කුමාර බංගගමආරච්චි සහ ඒ. වික්‍රමසූරිය විසින් සාවද්‍ය කරුණු පදනම් කරගනිමින් ලියන ලද ලිපිවලට අදාළව මෙම පිළිතුරු ලිපිය ලියමි.
ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස මා පත්වූ පසු ටිරන් කුමාර බංගමආරච්චිට පෞද්ගලිකවම කතා කර අප අමාත්‍යාංශයේ කටයුතු පිළිබඳ තොරතුරු සොයාබලා ලියන ලෙසත් අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන මාධ්‍ය හමු සඳහා පැමිණ අප ප්‍රශ්න කර නිවැරදි කරුණු තුළින් විවේචනයන් කරන ලෙසත් ඉල්ලා සිටියෙමි. අද වනතුරුත් මේ පිළිබඳ ඔහු කිසිදු තැකීමක් නොකරන අතර කිසිදු අවස්ථාවක මාධ්‍ය හමුවකට සහභාගිවී නැත. ඒ වෙනුවට ගෙවුණු වකවානුව පුරාම ඔහු වාර්තාකරණයේ නියැළී ඇත්තේ හුදු ඕපාදූපකාරයන්ගේ මූලාශ්‍ර පමණක් පදනම් කරගෙන වීම පිළිබඳ කනගාටුවෙන් යුතුව සිහිපත් කරමි.
පෙර කී ලිපිවල අන්තර්ගත සාවද්‍ය කරුණු පිළිබඳ නිවැරදි කිරීම් මෙසේ පෙළගස්වමි.
ඉන් පළමුවැන්න නම් ක්‍රීඩා අමාත්‍යාංශයේත් මෙරට ක්‍රීඩාවේත් අප සිදුකර ඇති වැඩ කොටස කුමක්ද යන්නයි. උක්ත මාධ්‍යවේදීන්ට අනුව ගෙවුණු දෙවසරකට කිට්ටු කාලය පුරා අප කළ වැඩක් නැත. ඔවුන්ගේ දැනගැනීම පිණිස ප්‍රථමයෙන් මා අමාත්‍යවරයා ලෙස පත්වූ පසු කළ වැඩ කොටසෙන් යම් ප්‍රමාණයක් පමණක් මෙසේ ලියමි.
කෑගල්ල, මාතලේ, ගාල්ල, වවුනියාව, ගම්පහ සහ මන්නාරම යන දිස්ත්‍රික්කයන්හි නව ක්‍රීඩා සංකීර්ණ ඉදිකිරීමේ වැඩකටයුතු 2016 වසරේදී ආරම්භ කර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවන්ට අනුව අප රටේ බෝ නොවන රෝගවලින් පීඩා විඳින කාන්තා, පිරිමි සහ ළමා ජනගහන ප්‍රතිශත පිළිවෙළින් 33%, 18%ක් සහ 12%කි. මෙම තත්ත්වය වෙනස් කර ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයත් නගා සිටුවීමට දායක වෙමින් ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතියක්, විශේෂ දිනයක් ආරම්භ කර සියලුම පළාත්, දිස්ත්‍රික්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, රාජ්‍ය හා පෞද්ගලික ආයතන ආවරණය වන පරිදි ශරීර සුවතා වැඩසටහන් පසුගිය දෙවසරේදී අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇත. මෙය අමාත්‍යවරයා ලෙස මා පත්වූ පසු ආරම්භ කළ ව්‍යාපෘතියකි.
මා අමා්‍යවරයා ලෙස පත්වන තුරු දකුණු ආසියානු ක්‍රීඩා උළෙල උදෙසා පුහුණු සංචිත තිබුණේ නැත. එම සංචිත පිහිටුවා ඊට අවශ්‍ය සියලු පහසුකම් සැපයීම සිදුකළේ මා අමාත්‍යවරයා ලෙස පත්වුණු පසුවයි. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පහසුකම් ලබාදී ඕනෑම දුක්ගැනවිල්ලක් හෝ අවශ්‍යතාවක් ඍජුවම මා හමුවී කීමට හැකි පසුබිමද සකස් කළෙමි. අලුතින් හිමිවූ සියලු පහසුකම්වලින් ශක්තිමත් වුණු අප ක්‍රීඩක ක්‍රීඩිකාවන් සාග් ක්‍රීඩා උළෙලේදී පදක්කම් 186ක් දිනාගනිමින් පදක්කම් සටහනේ දෙවන ස්ථානයට පැමිණුණි. මෙම පසුබිම සැකසීම ගැන වචනයක්වත් නොලියූ ඇතැම් මාධ්‍ය මා ක්‍රීඩකයන් හා සිනාසෙන හැටි ඔල්වරසන් දෙන හැටි ගැන පමණක් විවේචනයේ යෙදුණි.
ළමා ක්‍රීඩකයන් මතුයම් දිනක ඔලිම්පික් මට්ටමට ගෙනයෑමේ කිසිදු වැඩපිළිවෙළක් කිසිදු දිනෙක ක්‍රීඩා අමාත්‍යාංශයේ තිබී නැත. 2024 හා 28 ඔලිම්පික් තරග ඉලක්ක කරගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශයත් සමග සාකච්ඡා කර ඕකැබඑ ෂාැබඑසසෙජ්එසදබ නම් වැඩසටහන ඇරඹුණේ මා අමාත්‍යවරයා ලෙස පත්වුණු පසුවයි. වයස අවුරුදු 13 පාසල් දරුවන් 375,000ක් ශරීර යෝග්‍යතා පරීක්ෂණයකට සහ මානව දේහලක්ෂණ පරීක්ෂණයකට යොමු කර ඔවුන් අතරින් ක්‍රීඩා දක්ෂතා ඇති සිසුන් 75,000ක් තෝරාගෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ ද සහායෙන් විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා ඇත. අධ්‍යාපන කොට්ඨාස 312න් පාසල් 312ක් මේ සඳහා තෝරාගෙන ඇති අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම ද මේවන විට සිදුවේ. ක්‍රීඩා ශක්ති වැඩසටහන තුළින් ක්‍රීඩා කුසලතා ඇති දරුවන්ට අනුග්‍රහය දක්වා ඇත.
15 වසරක් පුරා නවීකරණය වී නොතිබුණු රජය සතු එකම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණය වන සුගතදාස ක්‍රීඩාංගණය ද පූර්ණ නවීකරණයට අවශ්‍ය කටයුතු මේ වනවිට සාර්ථකව සිදුවේ. රුපියල් මිලියන 650ක් වැයකරමින් එහි ගාහස්ථ ක්‍රීඩාංගණය ශබ්ද විකාශන යන්ත්‍ර හා ක්‍රීඩාංගණයේ නවීකරණයන් සිදුවේ. ධාවන පථය සම්බන්ධව ඇති ගැටලුවත් ඉක්මනින් අවසන් කර එහි වැඩකටයුතු ද අවසන් කර ගැනීමට අප සියලු උත්සාහයන් මේවනවිට යොදා ඇත.
දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණය ක්‍රීඩා ඇකඩමියක් සහ අන්තර්ජාතික ක්‍රීඩාංගණයක් ලෙස සංවර්ධනය කරමින් පාසල්වලින් තෝරාගන්නා දක්ෂතම දරුවන් සඳහා වෙනම පාසලක්, ශ්‍රී ලාංකික ක්‍රීඩා සංචිතයන් සංචිතගත කරමින් ක්‍රීඩා විද්‍යායතනයක් සහ ක්‍රීඩා වෛද්‍යායතනයක් ඇතුළු අංගසම්පූර්ණ ක්‍රීඩා ඇකඩමියක් සැකසීමේ වැඩකටයුතු ආරම්භ කර ඇත. මේ සඳහා රුපියල් මිලියන 500ක් ද වෙන් කර ඇත.
ක්‍රීඩා පනත සහ ක්‍රීඩා රෙගුලාසි වෙනස්කරන බවට මින් පෙර සිටී ක්‍රීඩා අමාත්‍යවරුන් තිදෙනෙකු විසින් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට පොරොන්දුවී තිබිණි. එය නිසි පරිදි ඉටුනොවී තිබීම නිසා මා අමාත්‍යවරයා ලෙස පත්වන විට තිබුණේ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් අප බැඞ්මින්ටන්, පිහිනුම් වැනි ක්‍රීඩා සංගම් එකින් එක තහනම් කරන තත්ත්වයකයි. කෙටි කාලයකින් ජාත්‍යන්තරයට ගැළපෙන පරිදි ක්‍රීඩා රෙගුලාසි සංශෝධනය කිරීම සිදුකර ඇත. නීතිපති දෙපාර්තමේන්තුවෙන් කෙටුම්පත් සම්පාදක පාර්ශ්වයන්ගෙන් ආ සංශෝධන තුළින් යම් යම් අඩුපාඩුකම් මතුවූ අතර එම අඩුපාඩු ද සකසා නැවත ගැසට් කිරීම ද මේ වන විට සිදුව ඇත. ක්‍රීඩා පනත සංශෝධන සඳහා ඉදිරි මාස 06ක කාලය වෙන් කර ඇති අතර එම මාස 06 අවසානයේ ශ්‍රී ලංකාවට ගැළපෙන නවීන ක්‍රීඩා පනතක් පාර්ලිමේන්තුවට ගෙනඒමට කටයුතු කරන්නෙමු.
මීට අදාළව ක්‍රීඩා රෙගුලාසි සම්බන්ධයෙන් දින 40ක පරණ කතාවක් මතුකර ටිරන් කුමාර ලියා ඇති දැයින් ඔහුගේ නොදැනීම පෙන්නුම් කෙරෙයි. ඉකුත් පෙබරවාරි 13 වනදා මීට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇති අතර දැන් ඉතිරිව ඇත්තේ එය සම්මත කරගැනීම පමණි. ක්‍රීඩා සංගම් නිලවරණය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ගැටලුවක් මතු නොවී ඇති අතර නියමිත දිනයට පෙර එය අවසන් කරගත නොහැකි වේයැයි කියා ඇති අනියත බිය ටිරන්ගේ හිතේ ඇති බියක් මිස අපට අදාළ බියක් නොවන බව පවසමි. නිලවරණ සඳහා අවශ්‍ය වාතාවරණ සකසා තිබියදීත් එසේ නොවුණහොත් අමාත්‍යවරයා ලෙස ඊට එරෙහිව නිසි පියවර ගැනීමටද මම මැලි නොවෙමි.
මින් පෙර යුගයන්හි විදෙස් රටවල් සමග අත්සන් කෙරුණු ද්විපාර්ශ්වික ගිවිසුම්වල තිබුණේ ගිවිසුමේ තැනක නාමිකව මෙන් ක්‍රීඩා යන්න සඳහන් කර තිබීම පමණි. විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සමගද සාකච්ඡා කර මෙම තත්ත්වය වෙනස් කර විදේශ කටයුතු අමාත්‍යාංශයේ ීචදරඑි ෘසචකදප්ජහ නම් ඒකකය පිහිටුවීමට අවශ්‍ය කටයුතු යොදා ඇත. අප අමාත්‍යාංශයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මේ වන විටත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ එම ඒකකය හා බද්ධවෙමින් නව ගිවිසුම් තැනීමටත් පැරණි ගිවිසුම් ක්‍රියාත්මක කිරීමේ මට්ටමටත් ගෙනඒමට ක්‍රියාකරයි. පසුගියදා යෙදුණු ඕස්ටේ්‍රලියානු සංචාරයේදී ශ්‍රී ලංකාව හා ඔස්ටේ්‍රලියාව අතර සංවර්ධන සහයෝගීතාව සහ ක්‍රීඩා සහයෝගීතාව ශක්තිමත් කිරීමට ඕස්ටේ්‍රලියානු ක්‍රීඩා අමාත්‍ය ග්‍රෙග් හන්ට් මහතා සහ මා අත්සන් කළ අවබෝධතා ගිවිසුම ද එම වෙහෙසෙහි ප්‍රතිඵලයකි. එම ගිවිසුම පිළිබඳ වචනයක් හෝ රාවයේ ලියවී නැත. ඒ වෙනුවට ඇත්තේ නවසීලන්තයේ යන ගමනක් ගැන බොරුවක් පමණි. ටිරන් කුමාරගේ දැනගැනීම පිණිස අදාළ ගිවිසුමේද පිටපතක් මේ සමග අමුණා එවමි. එම ගිවිසුමට අදාළව අප රටට හිමිවන ප්‍රතිලාභ පිළිබඳව කියවා දැනුවත් වන මෙන් මම ඔහුගෙන් ඉල්ලා සිටිමි.
මා අමාත්‍යවරයා ලෙස පත්වන විට ක්‍රීඩා වෛද්‍ය ආයතනය තිබුනේ හිමොග්ලොබින් පරීක්ෂාවක්වත් කරගත නොහැකි තත්ත්වයකයි. ඒ කාලයේ නිකම්ම නිකං බෙහෙත් පෙති ටිකක් ගැනීමට පමණක් සීමාව තිබුණු එම ආයතනය අද වනවිට පුළුල් නවීකරණයකට ලක්කර ඇත. එහි සේවය ලබාදෙන වෛද්‍යවරුන්ගේ ප්‍රමාණය 10ක් දක්වා වැඩිකර ගැනීමට අවශ්‍ය බඳවා ගැනීම් කඩිනම් කර ඇත. භෞත චිකිත්සකයන්ගේ ප්‍රමාණය ද වැඩිකර ඇත. සම්බාහකයන් ලෙස දේශපාලන පත්වීම් ලබා නොතිබුණු සම්බාහනකරුවන් ඒ සඳහා කිසිදු පුහුණුවක් ලබා නොතිබුණු අතර ඔවුන්ව නවසීලන්තයට යවා පළමුවරට පුහුණුවක් ද ලබාදීමට කටයුතු කළෙමු. ක්‍රීඩා වෛද්‍යවරුන්ද ඕස්ටේ්‍රලියාවේ පුහුණුවකට යොමු කළ අතර මේ වන විට ඕස්ටේ්‍රලියානු විශේෂඥයන් ලංකාවට පැමිණ මෙරට වෛද්‍යවරුන්ට අවශ්‍ය පුහුණුව ලබාදීමට ද කටයුතු කරයි. මෙම ආයතනයට අවශ්‍ය ගොඩනැඟිලි දැනටමත් ඉදිවෙමින් පවතින අතර මේ වසරේ අගෝස්තු වන විට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා හඳුනාගැනීම සඳහා නවීන තාක්ෂණික උපකරණ භාවිතයෙන් (බයෝ මැකිනික්ස්) පරීක්ෂණාගාරයක් පිහිටුවා ජෛව යන්ත්‍ර විද්‍යාව මඟින් වර්තමාන තරගකාරී ක්‍රීඩා ලෝකයට ගැළපෙන පරිදි පර්යේෂණ හා සංවර්ධන අංශයක් ප්‍රථම වතාවට ස්ථාපනය වනු ඇත.
මා අමාත්‍යවරයා ලෙස පත්වන විට ක්‍රීඩා විද්‍යා ආයතනය විසින් පැවැත්විය යුතු පාඨමාලාවන් පැවැත්වූයේ පදනම් ආයතනය විසිනි. මා පත්වුණු පසු වෘත්තීය පුහුණු අධිකාරිය සමග ද සාකච්ඡාකර භඪූ 6වන මට්ටමේ සහතිකයක් හෝ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක් ලබාදිය හැකි ආයතනයක් බවට පරිවර්තනය කර ඇත. තවද ක්‍රීඩා පාඨමාලාවන් පවත්වමින් ක්‍රීඩා පුහුණුකරුවන් පුහුණු කිරීමට ප්‍රාදේශීය මට්ටමින් පුහුණු වැඩසටහන් පවත්වා ඇත. විදේශ පුහුණුකරුවන් දිවයිනට ගෙන්වා ක්‍රීඩා සඳහා සහජ කුසලතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්හට එම දක්ෂතා වර්ධනයට අතහිත ලබාදීම හා දේශීය හා විදේශීය විශේෂ පුහුණුව ලබාදීම හා ප්‍රාදේශීය මට්ටමේ ක්‍රීඩා පුහුණුකරුවන්හටත් ක්‍රීඩා ගුරුවරුන්ටත් පුහුණුව ලබාදීම සිදුකරමින් ඇත. පසුගියදා යෙදුණු ඕස්ටේ්‍රලියානු සංචාරයේදි එරට කැන්බරා විශ්වවිද්‍යාලය හා කළ සාකච්ඡාවකින් මෙම ආයතනය කැන්බරා විශ්වවිද්‍යාලය මඟින් පිරිනමන ක්‍රීඩා උපාධියක් ලබාදිය හැකි මට්ටමේ ආයතනයක් දක්වා වැඩිදියුණු කිරීමට කටයුතු කරමින් සිටී.
එමෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස මම වැඩ භාරගන්නා විට ක්‍රීඩා අමාත්‍යාංශයට හෝ ක්‍රීඩා දෙපාර්තමේන්තුවට ඒ ඒ දිස්ත්‍රික්වල ක්‍රීඩකයන්ගේ දක්ෂතා හෝ ඔවුන්ගේ පරිසාධන මට්ටම් පිළිබඳ දත්ත පද්ධතියක් නොතිබුණි. මේවන විට එම දත්ත පද්ධතියද සැකසීමේ කටයුතු සිදුකරමින් පවතින අතර එය ලංකාවේ ඕනෑම තැනක ක්‍රීඩකයන්ගේ දක්ෂතා සමග ස්වයං තොරතුරු ලබාගත හැකි දත්ත පද්ධතියක් වනු ඇත.
වසර ගණනාවක් ඇදී ඇදී තිබුණු නුවරඑළිය ඉහළ උන්නතාංශ ක්‍රීඩා සංකීර්ණය ඉදිකිරීම් සඳහා මුල පුරා ඇත. ඩොලර් මිලියන 80ක් වැයකරමින් ඉදිවන එම ඉහළ උන්නතාංශ ක්‍රීඩා සංකීර්ණය ආසියාවේ 4වන ඉහළ උන්නතාංශ ක්‍රීඩා සංකීර්ණය වනු ඇත. දේශීය හා විදේශීය ක්‍රීඩකයන්ගේ පුහුණුව සඳහා මෙය යොදා ගත හැකි අතර මෙය ක්‍රීඩා ආර්ථිකයක් ගොඩනැඟීමේ පළමු පියවරක් වනු ඇත.
දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩා සංගම්වලට මුදල් ආධාර ලබාදීමේ පසුවිපරම පිළිබඳ රාවය විසින් මින් පෙර ප්‍රශ්න කර තිබිණි. රාවය ඒ පිළිබඳ මගෙන් හෝ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් කිසියම් විමසීමක් කළා නම් අප ගත් පියවර පිළිබඳ නිවැරදි තොරතුරු ලබාදීමට ඉඩතිබුණි. අතුරු පාලක ක්‍රීඩා කමිටුව ලෙස පැවති ක්‍රීඩා සංගම්වල නිලවරණ පවත්වා එම කටයුතු විධිමත් කර ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමට ක්‍රීඩා සංගම්වල සහය ලබාගැනීම සිදුකර ඇත.
ශ්‍රී ලංකා උත්තේජක මර්දක නියෝජ්‍යායතනයේ නව කාර්යාල පරිශ්‍රයක් ඉදිකිරීම ආරම්භ කර ඇති අතර එය දකුණු ආසියාවේ තහනම් උත්තේජක පිළිබඳ නව පරීක්ෂණාගාරයක් බවට පත්කිරීම අප අරමුණයි. තහනම් උත්තේජක මර්දන වැඩසටහන් දිවයින පුරා පවත්වා ඇත.
නිසි වැඩපිළිවෙළක් නොතිබුණු ජාතික ක්‍රීඩා කෞතුකාගාරය ඉදිකිරීම් කඩිනම් කර 2018දී විවෘත කිරීමට සැලසුම් කර ඇත. ඒ යටතේ ත්‍රෛභාෂික ක්‍රීඩා ශබ්දකෝෂයක් සකස් කිරීම ආරම්භ කර ඇත. තවද ඒ යටතේම ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසය ග්‍රන්ථාරූඪ කිරීම ද ආරම්භ කර ඇත. මින්පෙර නොතිබුණු වාර්ෂික ක්‍රීඩා දින දර්ශනය පිළියෙල කර ඇත. ක්‍රීඩකයන්, පුහුණුකරුවන්, විනිසුරුවන් සහ තාක්ෂණික නිලධාරීන් සඳහා ජාතික ක්‍රීඩා හැඳුනුම්පත හඳුන්වාදී ඇත.
අනාගතයේදී වැඩි පදක්කම් ප්‍රමාණයක් දිනාගත හැකි බවට අප විශ්වාස කරන දුනු විදීම, වෙඩි තැබීම ක්‍රීඩාවන් සඳහා පළාත් මට්ටමින් පහසුකම් ගෙවුණු වකවානුවේදී මෙන්ම මින් ඉදිරියටත් සංවර්ධනය කෙරෙනු ඇත.
දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගන්නා අයුරින් ක්‍රීඩා රැසකින් යුක්තව වෝටර්ස් එජ්හි ඉදිවන ‘ලෙෂර් ස්පෝර්ට්ස් අයිලන්ඞ්’හි ප්‍රතිලාභ මෙරට ක්‍රීඩාවට පමණක් නොව සංචාරක ක්ෂේත්‍රයට ද මහඟු ප්‍රතිලාභ රැසක් අත්කර දෙනු ඇත. මෙහි ක්‍රීඩා 15ක් පමණ ස්ථාපනය වන අතර මින් මෙරට ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාවද ප්‍රචලිතවනු ඇත.
තවද ඉතිහාසයේ පළමුවරට ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල සංවිධානය කෙරුණේ ගිය වසරේදී බව සිහිපත් කරමි. පළමු වරට තිබුණු එම සම්මාන උළෙලෙදී ක්‍රීඩාවට කළ මෙහෙවර වෙනුවෙන් ඩන්ක්න් වයිට්ගේ සිට සියලුම ක්‍රිඩක ක්‍රීඩිකාවන් ඇගයීමට අපට හැකියාවක් තිබුණේ නැත. නමුත් ඉදිරි ජනාධිපති සම්මන උළෙලවලදී එම ඇගයීම් සිදුවනු ඇත. මේ සියලු වැඩසටහන්, ව්‍යාපෘතිවල යම් යම් අඩුපාඩු තිබිය හැකි බවත් එම අඩුපාඩු සාධනීය ලෙස විවේචනය සඳහා මාධ්‍යයට ඇති අයිතියත් මම පිළිගනිමි. එනමුදු එම අයිතිය අනිසි ලෙස උපයෝගී කරගනිමින් ජනාධිපති ක්‍රීඩා උළෙල වඩා ඉහළ තලයක් කරා ගෙනයාමට ඇති අරමුණ පසෙකලා හුදු අවලාද හා සාවද්‍ය තොරතුරු මින් පෙර ලියැවුණු ලිපිවල අන්තර්ගත වූ බව කනගාටුවෙන් පවසමි.
උක්ත ලිපිවල මා ඉලක්ක කර ගෙන ලේඛකයන් ලියූ, ඔවුන්ගේ සිතට නැඟුණු සිතුවිලි ගැන මම තැකීමක් නොකරමි. නමුත් අමාත්‍යාංශයේ නිලධාරීන් සහ උපදේශකයන් සම්බන්ධව නඟා ඇති පදනම් විරහිත කරුණු පිළිබඳ පමණක් සටහන් කරමි.
26 වන දින පළවූ ලිපියේ හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු වන උදය සෙනවිරත්න මහතා සඳහන් කරමින් ලේකම්වරුන් පත්කිරීම සම්බන්ධව ලියා ඇත. අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කිරීම අමාත්‍යවරුන්ගේ කාර්යයක් නොවන අතර එය ජනාධිපතිතුමන් සතු කාර්යයක් බව අදාළ මාධ්‍යාවේදියා නොදන්නවායැයි නොසිතමි. එසේ පත්කරන ලේකම්වරයා සමග කිසිඳු ගැටලුවකින් තොරව මම වැඩකරමි. අමාත්‍යවරයා ලෙස මාගේ දැක්ම සහ වැඩපිළිවෙළ ඉදිරියට කරගෙන යාමත් එහි පසුවිපරමටත් අමාත්‍යාංශ ලේකම්වරයාගේ සහ පෞද්ගලික ලේකම්වරයාගෙන් සහය ලැබෙයි. අනිකුත් සෑම අමාත්‍යාංශයකම මෙන්ම අප අමාත්‍යාංශයේ ද කටයුතු සාර්ථක කරගැනීමට මාගේ පෞද්ගලික ලේකම් සම්පත් දිසානායක මහතා මැදිහත්වන අතර එක් එක් නිලධාරීන් යටපත් කිරීමේ තරගයක් එහි නැත.
මිල්ටන් අමරසිංහ මහතා සම්බන්ධයෙන් ද ලියා ඇති දෑ මුළුමනින්ම පදනම් විරහිතය. එක් ලිපියක එක් තැනක මිල්ටන් මහතාගේ පෙර භුමිකාව සක්‍රීයයැයි කියා මල් මිටක් දී ටෙන්ඩර් සහ මගඩි ගැන ඇමතිට ඔහුගෙන් උපදෙස් ගත හැකියැයි ලියා ඇත. ටෙන්ඩර් සහ මගඩි යන වචන දෙකත් සමග මගේ නම මින් පෙර ඉතිහාසයේ ගෑවී ඇත්දැයි කියා මම අදාළ මාධ්‍යවේදියාගෙන් විමසමි. අභූත මගඩි ගැන කියමින් මට කරන අපහාසය යුක්ති සහගත ද කියා රාවය ප්‍රධාන කතෘවරයාගෙන් මම විමසමි. සමන් අමරසිංහ මහතාගේ පත්වීම මා විසින් කළ එකක් නොවන අතර මා එනවිටත් ඔහු ක්‍රීඩා කෞතුකාගාරය ව්‍යාපෘතිය භාරව කටයුතු කළේය. ඔහුගේ සේවා කාලය අවසන් වන්නේ එම ව්‍යාපෘති අවසන් වූ පසුවයි. අමරසිංහ මහතා සහ ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග ඇති පෞද්ගලික ප්‍රශ්න මා ප්‍රශ්නයක් කර නොගන්නා අතර ඔහුගෙන් අවශ්‍ය සේවය ලබාගැනීම පමණක් මම සිදුකරමි.
මෙරටට ක්‍රීඩාවේ ප්‍රගමණය වෙනුවෙන් අවශ්‍ය උපදෙස් විශේෂඥයන්ගේ ලබාගැනීමට මම මැළි නොවෙමි. අප මවුබිමට ඉමහත් කීර්තියක් අත්කර දුන් සුසන්තිකා ජයසිංහට ද උපදේශක තනතුරක් පැවරුණේ එහෙයිනි. ඒ උපදේශක තනතුරු ලබාගෙන එහි යුතුකම ඉටුනොකරමින් ඇය තැන් තැන්වල පවසන දෑ පිළිබඳ මම කනගාටුවෙමි.
රට සංචාර සම්බන්ධයෙන් ලියා ඇති කරුණු ද මුළුමනින්ම වැරදි සහගතය.
පසුගිය කාලයේ අප අමාත්‍යාංශය විසින් ක්‍රීඩකයන්, පුහුණුකරුවන් හා නිලධාරීන් විවිධ සංචාර සඳහා යවා ඇත. ඒ ක්‍රීඩා තරග සහ නිලධාරීන්ගේ දැනුම යාවත්කාලීන කිරීමට ඇති විවිධ පුහුණු වැඩසටහන් වෙනුවෙනි. ක්‍රීඩා 63ක් වෙනුවෙන් අප අමාත්‍යාංශය තුළ සේවයේ යෙදෙන්නේ ක්‍රීඩා නිලධාරීන් 16 දෙනෙකි. මෙහිදී එක් නිලධාරියෙකුට ක්‍රීඩා කිහිපයක කටයුතු සිදුකිරීමට සිදුවෙයි. තමන් යටතේ ඇති ක්‍රීඩා වෙනුවෙන් ඔවුන්ට විවිධ අවස්ථාවන්හි විවිධ සංචාරයන්ට යාමට සිදුවෙයි. මේ වන විට අප එම තත්ත්වයද වෙනස් කරමින් අදාළ ක්‍රීඩාව සම්බන්ධයෙන් ප්‍රවීණත්වයක් දක්වන පළාත් මට්ටමින් සිටින අදාළ සුදුසුකම් සම්පූර්ණ කර පුහුණුකරුවන්ටත් එම අවස්ථාව ලබාදී ඇත. එවන් සංචාර සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් සහභාගී කරවිම අප අමාත්‍යාංශයේ වගකීමක් ලෙස සලකන අතර අමාත්‍යාංශය ට්‍රැවල් ඒජන්සියක් ලෙස දැකීමට පෙර පැමිණ අදාළ නිවැරදි තොරතුරු ලබාගන්නා මෙන් මම ටිරන් කුමාරගෙන් ඉල්ලා සිටිමි.
මේ අයුරින් අදාළ ලිපි දෙකෙහෙි සඳහන්ව තිබූ සාවද්‍ය කරුණු පිළිබඳ සත්‍ය තත්ත්වය අවධාරණය කිරීමට මා සතු පිළිතුරු දීමේ අයිතිය පිළිගැනීම පිළිබඳ රාවය පුවත්පතට ස්තූතිවන්ත වෙමි. එක් එක් පුද්ගලයන් ලියන සාවද්‍ය ලිපිවලට පිළිතුරු ලබාදීම අමාත්‍යවරයා ලෙස මට සෑමවිටකම කළ නොහැක්කක් බවත්, ලිවීමට පෙර අදළ කරුණුවල සත්‍ය අසත්‍යතාව සොයා බැලීමට තම මාධ්‍යවේදීන් යොමුකරවන ලෙසත්, මම රාවය කතෘවරයාගෙන් ඉල්ලා සිටිමි. ■