Untitled-1

Untitled-1

අන්නන් උඹ කොහේද?


sanjeewa

කේ. සංජීව

මූ තමයි එල්ටීටීඊ එක පුකේ හණ ගහපු අන්නන්. කෝ පුක පෙන්නපන් තාම තියෙයි නේ කැළල.” මේ තමයි මට මුලින්ම අන්නන් හම්බවෙන විදිහ. අන්නන් දෙමළ. කළුයි එච්චර උසත් නැති මිටිත් නැති අන්නන් යෝධයෙක් වගේ. යකඩයක් වගේ. දැන් මේ යකා ආගිය අතක් නැහැ. අන්නන් ගැන මට තියෙන්නේ ෆොටෝ මතකයක්. සතපහේ කාසිය දෙපැත්තෙන් ඇතුළට තැලුවා වගේ මූණක ඇස්දෙක ටිකක් යටට ඔබලා. බුරුසුවක් වගේ රැවුලක් නහයට යටින් තිරසට. පොලිස් පෙනුමක්. බැලූ බැල්මට මඩකළපු දෙමළ පෙනුමක් නැගෙනහිර හිංගල පෙනුමකට මුසුවෙලා වගෙයි. නිතරම නිහඬයි. හිටි ගමන් වක්කඩ කැඩුවා වගේ හිනාව දෝරේ ගලනවා. එතකොට අන්නන්ගේ කාසි මූණ කංචිකුඩිච්චි ආරු වැව වගේ. ඉතිං අන්නන්ගෙයි මගෙයි බැඳියාව ළැදියාවක් වෙලා අපි මිතුරෝ වෙන්නේ මහා කැලයක් මැද්දාවක. ඒ තමයි කංචිකුඩිච්චි ආරු කැලේ. නැත්තං ලාහුගල රක්ෂිතය කියලත් කියන්න පුළුවන් ද මන්දා.
මේ යුද්දේ ඉවර වුණා විතරයි කාලයක්. මට මතක විදිහට 2009 වෙන්න ඕනෑ. නාට්ටි කරන්න කොළඹ ඇවිත් ඒකත් හරි ගිහිං නැතුව එහෙට මෙහෙට විසිවෙවී ඉන්න කාලයක් මේ. මොනරාගලින් එහාට ගිහිං නැති මම පානම බස් එකට නගින්න රත්නපුරේ මල්ලිකා හෝටලය ළඟ ඉන්නවා. කටුබැද්ද ඩිපෝ එකෙන් තමයි මේ බස් එක දාලා තිබුණේ ඒ කාලේ.. මට මතක විදිහට උදේ 7 වෙනකොට මේ බස් එක රත්නපුරේ පහුකරනවා. ඉතිං උදේ හය හමාරට විතර මම ඉන්නවා පානම යන්න. පානම තියෙන්නේ මොනරාගලට එහා කියන එක විතරයි මම දන්නේ.
කැරලි දුම් ගුලි කෝච්චියක් වගේ අහසට විසිකරන සිගරැට් එකකුයි ඇවිදින්න හිත අස්සේ දඟලන ආසාවකුයි විතරයි මම ළඟ මේ වෙනකොට ඉන්නේ. මෙහෙම ඉන්න කොට බෑග් තඩියකුත් එක්ක කොල්ලෙක් ආපි.
“මල්ලී ගින්දර චුට්ටක් දෙන්න පුළුවන්ද” මේ තමයි අපි දෙන්නාගේ කතාවේ ආරම්භය. මේ යකා නිසා තමයි මට අර යකඩයා හම්බවෙන්නේ. ඒ කිව්වේ අන්නන්. මේ හාදයා රත්නපුරේ හිදැල්ලන. නම නම් දැන් මතකයට එන්නේම නැහැ. කොහේද මේ යන්නේ. පානම. මම පොතුවිල් බැහැලා කංචි යනවා. කංචි?. කංචිකුඩිච්චි ආරු. මල්ලිට මතකද නැගෙනහිර තිබුණ ලොකුම එල්ටීටීඊ කඳවුර.. ඒ මේ කැලේ තමයි තිබුණේ. කාන්තා බලකාය තමයි ඉඳලා තියෙන්නේ. අර පොලිස්සියේ දහස් ගාණක් ගෙනල්ලා පෝලින් කරලා වෙඩි තියලා මැරුවේ, ඒත් මේ කැලේ තමයි… ඉතිං අයියලා මොකෝ කරන්නේ නිධානයක්වත් ගන්න ට්‍රයි එකක්වත් දෙනවාද?… අපොයි නැහැ මල්ලී අපි වැවක් අරං කරනවා. බැසිල් මහත්තයා තමයි දුන්නේ. මේ කැලේ අස්සේ සෝමකුලම් කියලා වැවක් තියෙයි. දැන් ඒකේ වැව් බැම්ම කැඩිලා. අපි තමයි වැව ආයෙත් බඳින්නේ… මල්ලී පානම ගිහිං ගෙදර යන්න කලින් කැමති නම් එන්න. අපේ කවුරුහරි හැමදාම උදේට පොතුවිල් එනවා වාහනේ. ඒකෙම එන්න පුළුවන්… කෝල් කරන්නකෝ… මෙහෙම තමයි කංචි කැලේ අස්සට රිංගන්න පොටක් පෑදුණේ. කොහොම හරි අන්තිමට පානම යන ගමන පැත්තකට විසිකරලා මම මගේ අලුත් මිත්‍රයාත් එක්ක පොතුවිලෙන් වමට හැරුණා. ලංකාවේදී වමට හැරුණාම සාමාන්‍යයෙන් වෙන්නේ කෙළවෙන එකනේ.. හැබැයි මේ වමට හැරිල්ලෙන් මට පාඩුවක් වුණේ නැහැ. මට හොඳ මිත්‍රයෝ ගොඩක් හම්බ වුණා. ඒ මිනිස්සු මගේ පරණ ෆෝන් එකත් එක්කම දුරස්ථ වුණා. හැබැයි හැමදාම මතකයේ ඉන්නවා. ඉතිං කංචිවලදී මේ සෙට්වුණ මිත්‍රයෝ අස්සේ අන්නන් විශේෂයි.

අන්නන් යකෙක්..
“කෝ පෙන්නපන් උඹේ පුක අන්නන්.. මූ කොටින්ට විරුද්ධව එස්ටීඑෆ් එකට ඔත්තු දීලා අහුවෙලා ඔය කෑම්ප් එකේ යකඩ කටු කම්බි කූඩුවේ දාලා ඉඳලා.. කොටි කෙල්ලෝ මූ මකවන්න හදලා පස්සේ රැවුල ඉන්දියාවේ අර නළුවාගේ වගේ නිසා.. මොකාද මචං ඒ නළුවා.. පුකේ හණත් ගහලා තමයි නිදහස් කරලා තියෙන්නේ..”
මෙහෙම තමයි සිංහල මිත්‍රයෝ දෙමළෙක් වුණ අන්නන්ව මට හඳුන්වලා දුන්නේ. සිනා සාගරේක කිමිදිලා පියවි සිහියට ආවාට පස්සේ තමයි දැක්කේ යායට තැනි කුඹුරු. මේ කුඹුරු වටකරන් බලාගෙන ඉන්න කංචි මහා කැලේ. මම මෙතැනට යනකොට සෝමකුලම් වැව පොඩි දියකඳුරක් විතරයි. වැව පුරා හරක් දුවනවා. අපි ඒ මැදක වාඩි ගහගෙන ඩෝසර් වටකරගෙන වැඩ. මොකෝ මෙහෙම ඩෝසර් වටකරලා? මම අහනවා. රෑට බලපන් මගේ අලුත් මිත්‍රයෝ කියනවා. වාඩිය වටේට ඩෝසර් බැටරි දෙකකින් කරන්ට් දුන්න වයර් එකක් රවුමක් ඇඳලා. අන්නන් වරෙන්. යනවා.. අන්නන් මේක කරපං. මේක ගනින්. ගන්නවා.. ඒකයි මම මුලින්ම කිව්වේ අන්නන් කියන්නේ යකෙක්.. අන්නන්ට ඕනෑ වාහනයක් ගස් ගල් උඩ වුණත් අරගෙන යන්න පුළුවන්. ඩෝසරයෙන් පස් කපන්න පුරවන්න අම්මෝ ඒ ඕනෑ වැඩකට අන්නන් මාරයා.
“මහත්තයා පුළුවන්නම් මට ලයිසම අරං දෙන්න. මට මෙහේ වැඩක් කළාට පිට ගිහිං වැඩ කරන්න බැහැ. ලයිසන් නැති නිසා.”
හොඳටම මිතුරු වුණ අන්නන් මට කියනවා. ඉතිං ලයිසන් එකක් ගන්න එක මහා කජ්ජක්ද? මම අහනවා.. පරිසරය නිහඬ වුණාට පස්සේ මට අකුරු බැහැනේ කියලා අන්නන් හෙමිහිට කියලා දානවා. “හරි මම බලන්නම්” මම කියනවා..
මම අදටත් තවම බලනවා. හැබැයි අන්නන් කොහේද මොනවද කරන්නේ කියලා මම දන්නේ නැහැ. අන්නන්ගේ ගම සංගමන් කන්ද. විහාර මහා දේවි ගොඩබැහැපු ජන කතාව අස්සේ තැනක කියනවා කෝ කුමාරී කියන එකෙන් තමයි කොමාරිය හැදුණේ කියලා. ඉතිං අන්නන්ගේ ගම කෝමාරියට ගොඩක් කිට්ටුයි. ඒ කතාවේම තියෙනවා කුමාරි මුහුදේ පාවෙලා එනකොට කට්ටිය අට්ටාල ගහගෙන බලං හිටියා කියලා. එතැනට තමයි අද අඞ්ආලච්චේනෙයි කියලා කියන්නේ. පොතුවිල් මුහුදු මහා විහාරය ළඟින්නේ මේ කුමාරිය ගොඩ බැස්සා කියලා මේ ජන කතාව කියන්නේ. ඉතිං ඒ ගම වටකර ගත්ත ගම් පොකුරක් අස්සේ තමයි අන්නන් හැදෙන්නේ. හොඳට සිංහල පුළුවන්. අන්නන්ගේ රස්සාව තමයි තුවක්කුවක් අරං රාත්‍රියට මුසල්මානු මිනිස්සුන්ගේ කුඹුරු අලින්ගෙන් ආරක්ෂා කරලා දෙන එක. ඒක ලේසි වැඩක් නෙවෙයි. එක ඇස් මානයට කැලේ තුරුලට යනකම්ම තියෙන කුඹුරු සාගරය හොඳට පේන තැනක උඩින් වාඩියක් අටවගන්න ඕනෑ. ඊළඟට අලිවෙඩි අඩුමකුඩුම එක්ක රෑ පහන් කරන්න ඕනෑ.

රාත්‍රිය
“මොකුත් නැහැ බීඩියක් පත්තුකර ගන්නවා ඊළඟට ඔහේ ඉන්නවා.. හොඳට සද්දේ අහගෙන ඉන්න ඕනෑ. අලි කියන්නේ හොර යක්කු. එනවා දැනෙන්නේ නැහැ. හැබැයි අවදියෙන් හිටියොත් සද්ද ඇහෙනවා. කන බෙල්ලේ වදිනවා අනිවාර්යෙන් ඇහෙනවා.”
ඉතිං අලින්ට වෙඩි තියලා තියෙයිද මම අහනවා.
‘අලියෙකුට කවදාවත් මැරෙන්න, හිතලා නම් වෙඩි තියලා නැහැ. බේරෙන්න බැරිම වුණොත් පස්ස පැත්ත පැත්තට එකක් තියනවා. හැබැයි මට දවසක් ඕක වැරදුණා. මගේ වාඩිය ළඟටම දවස් තුනක් අලියෙක් එක දිගටම ආවා. ඇවිත් හොරගල් ඇහිඳිනවා. මම දැනගත්තා ඊළඟ දවසේ මූ ආවොත් මම ඉවරයි කියලා. මම පස්සට දෙකක් ගැහැව්වා. (වෙඩි තිබ්බා). දවස් තුන හතරකට විතර පස්සේ කැලේ ගියා වල් මීයෙක් (මීමින්නා) ගහන්න හිතාගෙන. කුණු ගඳක් ඇවිත් බලනකොට අර අලියා මැරිලා හිටියා. දුකේ බැහැ. මම ඇඬුවා. සතියක් විතර කෑම කන්නත් බැරිව හිටියා. අලියා කියන්නේ කොච්චර ලස්සන සතෙක්ද.’
අන්නන් මාත් එක්ක එක දිගට කතාව. සෝම කුලමට උඩ ආකාහේ දිලිහෙන හඳහාමිත් කතාව අහගෙන. එතකොට යාළුවෝ මේ කියන එල්ටීටීඊ කතාව මොකද්ද…?
‘මේ කැලේ තමයි ලොකුම කොටි කාන්තා කඳවුර තිබුණේ. මේ කුඹුරේ කෙළවර තමයි ගෑනු නාන ළිං පවා තිබුණේ. මහත්තයා මම හෙට උදේට කඳවුරට එක්කරගෙන යන්නම්කෝ. වාහන සුන්බුන් තවමත් තියෙනවා. ඉස්සර කරුණා අම්මාන් එහෙම නිතරම ඔය කඳවුරට එනවා. යුද්දේ තියෙන කාලේ මේ පැත්ත හරිම භයානකයි. ඒත් මම ඒ කාලෙත් කැලේ රිංගුවා. කැලේ රිංගලා දඩයමක් කරගත්තේ නැත්තං මට හරි අමාරුයි. මට හොඳට සිංහල පුළුවන් හින්දා කොටි හිතන්න ඇති මම ඔත්තු බලන්න කැලේට රිංගුවා කියලා. ඉතිං මාව හිරකරගෙන ඉඳලා නිදහස් කළා.’
මම එතැනින් එහාට අන්නන්ගෙන් ඒ ගැන ඇහැව්වේ නැහැ. හැබැයි 2007 නැගෙනහිර සම්පූර්ණයෙන්ම කොටි බලයෙන් මිදෙනකොට අන්නන් හංගලා තියෙන ආයුධ හොයන්න එස්ටීඑෆ් එකට ගොඩක් උදව් කරලා තියෙනවා. ඒ කංචි කැලේ හැම ගහක් ගලක්ම අන්නන්ගේ මැප් එකේ සදාකාලිකවම සලකුණු වෙලා තියෙන නිසා. කොහොම හරි අලි ඉන්න අලි සෙල්ලං ගොඩක් තියෙන කැලයක දඩයමක මම මුලින්ම ගියේ අන්නන්ට පිං සිද්දවෙන්න.

සෝම කුලමට උදැහැනක්
වැවේ මැද වාඩියේ අපි නින්දට ගියා. වටේටම අපේ ආරක්ෂාවට ටෙන් වීල් එස්කැවේටර් යකඩ යක්කු. ඊටත් එහායින් බැටරියෙන් ජවය දෙන විදුලි වැට. පහුවදා අරුමැක්කේ ඇහිපියන් ඇහැරවලා ඩෝසර් සත්තුන්ගේ ඇඟ උඩට නැගලා වටේට වටේට බලනකොට පනහක විතර අලි රංචුවයි. අලි බැලිල්ලයි බලි බැලිල්ලයි ඉවර කරන්න හිතෙන්නේ නැහැ කියන එක අම්මපා ඇත්ත. අන්නන් උදේට කන්න හදනකම් මම අලි සෙල්ලම් අස්සේ. ඊළඟට පොතුවිල් ගිහිං ඩීසල් අරං ආවා. එතැනත් ඩයිවර් අන්නන්. ඊළඟට ඩෝසරේ උඩත් අන්නන්. මේ මිනිහා නම් මාර මිනිහෙක්.
අපි පොතුවිල් ගිය වෙලාවේ මගේ මිත්‍රයා අද රාත්‍රියට කැලේ යමු කියලා ආකාශ මිටියකුයි ගිනිපෙට්ටි දුසිමකුයි ගත්තා. හවස් වෙනකොට තමයි තේරුණේ. අන්නන් සීරුවට වාඩියේ කොනක මුළු ගැහිලා බරටම භාවනාවක. හිස් පතුරොම් කොපුවලට ආකාස ගිනිපෙට්ටි වෙඩි බෙහෙත් පුරවනවා.
“සංජීව අනික් දවසේ මෙහේ එනවා නම් මේකට හිස් පතුරොම් කොපු ටිකක් හොයලා ගෙනත් දීපං.” පිරවෙන පතුරොම දිහාටම ඇස් විසිකරගෙන බලාගෙන ඉන්න මට මගේ අලුත් මිතුරෙක් යෝජනාවක් ගේනවා.
“ඔය තුවක්කුවත් හදලා තියෙන්නේ අන්නන්මයි. මිනිහට ඕනෑ තුවක්කුවක් කපන්න පුළුවන්. මාර වැඩකාරයා කොල්ලා.” මගේ දිහා හෙමින් එසවිලා බලන අන්නන් හිනාවෙනවා. කොහොම හරි අපි කඳවුර බලන්නයි දඩයමටයි සේරටමත් එක්ක හවස 2ට විතර කංචිකුඩිච්චි ආරු කැලේට රිංගුවා. බිම් බෝම්බ නැද්ද? මම අහනවා.
“ඇති. මම ඔයගොල්ලෝ එක්ක යන පාරේ ඒවා නැහැ. බයවෙන්න එපා.” අන්නන්ගේ උත්තරේ.
අපි යනවා. කොටි කෑම්ප් එකේ නම් දැන් නටබුන්. (මේ වෙනකොට නම් නටබුනුත් නැතිව ඇති) සේරම බලාගෙන අපි කැලේ අස්සේ සෑහෙන්න දුරක් ගියා. දැන් රාත්‍රිය. කෑලි කපන අඳුර අස්සේ දැන් අපි ඉස්සරහට එනවා. අපි කණ්ඩායම හතරයි. අන්නන් ටෝච් එක නළලේ ගැට ගහගෙන තුවක්කුවත් අතේ තියාගෙන ඉස්සරහට.
“මේ මෙච්චර ළඟින් එන්න එපා. අඩුම තරමේ දෙන්නෙක් අතරේ අඩි දහයක්වත් දුරක් තියෙන්න ඕනෑ” සමහර වේලාවට හිටිගමන් නතරවෙන අන්නන් කියනවා. මම අන්නන් ළඟින්ම පස්සෙන්. ටෝච් එක එල්ලගෙන ඉන්නේ ඇහැ ළඟින්ම ඇහැට සමාන්තරව. තුවක්කුව එසවිලා සැණෙකින් අන්නන්ගේ උරහිසට තදවෙනවා විතරයි. සද්දයක්.. ඊළඟට වැටිලා අවසන් ඔක්සිජන් ටිකත් උරාගන්න දඟලන මීමින්නෝ දෙන්නෙක්.
“වල් මීයෝ ජෝඩුව එකටම තමයි ඉන්නේ. මේකේ කැට රවුමකට තමයි යන්නේ. මේ බලන්න දෙන්නට කැට දෙකයි බැහැලා තියෙන්නේ.” අන්නන්ම පශ්චාත් මරණ පරීක්ෂණයත් කරනවා. වල් මීයෝ හතරක් දඬු කඳක එල්ලං අපි වාඩියට එනවා. අන්නන්ගේ අත ඉහළට ඉස්සෙනවා. අපි නතර වෙනවා. අලි රංචුවක් ළඟ ළඟම. ජීවිතේ පළමු අත්දැකීම. මරණ බය කියන්නේ මේ වගේ දෙයක් වෙන්න ඇති. මම හිතනවා. මොහොතකින් වෙඩිල්ලක්. හරක් දහස් ගාණකගේ කුර බිම වදින සද්දේ සුළිකුණාටුවක් වගේ. මී හරක් කුලප්පු උනාම අලි වෙන අතකට යනවා. මොකද ඕකුන් බය වුණාම දුවන්නේ අලිත් පෙරළාගෙන.
අපි මැදියමේ වාඩියට එනවා. එතැනින් පස්සේ මදු විතත් එක්ක වල් මීයාගේ මස් බඩට යනකම්ම වැඩකාරයා තමයි අන්නන්.. ඉතිං ඔන්න ඔහොමයි අන්නන් හම්බවුණේ.. ඔය ගමනට පස්සේ ආයෙත් දෙපාරක් විතර මම අන්නන් හොයාගෙන ගියා.. ඊට පස්සේ පරණ ෆෝන් එක තියෙන පරණ කාලේ අන්තිමට ආයෙත් දවසක අන්නන් මට කතා කළා.
“මහත්තයා මම දැන් ඉන්නේ කොළඹ.” හැබැයි මට අන්නන් හමුවෙන්න බැරිවුණා. අන්නන් ලයිසම ගත්තාද? නිතරම මට හිතෙනවා. අන්නන් ගන්න ඇති. මොකද මිනිහා යක්ෂයෙක්.. මම මටම කියාගන්නවා.■