Untitled-1

Untitled-1

මේක අනුන්ගේ පව් සල්ලි දීලා ගන්න වැඩක් | ජනධිපති නීතිඥ ශ්‍රිනාත් පෙරේරා


srinath

නීතිඥයකු වන ආශාව පුංචි කාලෙම ඇති වෙච්ච දෙයක්ද?
පුංචි කාලේ හිතකවත් තිබුණේ නැහැ. පුංචි ළමයෙක් විදිහට මම කෝච්චිවලට ගොඩක් ඇලුම් කළා. ඉතින් කවදා හරි කොච්චි ඩ්‍රයිවර් කෙනෙක් වෙනවා කියලා තමයි හීන මැව්වේ. ඒත් ටිකක් ලොකු වෙනකොට සාම්ප්‍රදායක විදිහට වෛද්‍යවරයෙක් වෙනවා කියලා හිතුවා. ඒත් අන්තිමට නීතිඥයෙක් වෙලා නතර වුණා. නීතිඥයෙක් වීම තනිකරම අහඹුවක්.

ගම් පළාත කොහෙද?
තාත්තා කළුතර. අම්මා දොඩම්දූව. අපි නම් හැදුණේම කොළඹ. තැනක් කියලා නැහැ. කුලී ජීවිත.

කුලී ජීවිතයට හුරු වන්නේ මාපියන්ගේ රැකියා එක්කද?
නැහැ. පවුලේ ආර්ථික තත්ත්වය කඩා වැටීමත් එක්ක. මගේ අම්මා උපන් සල්ලිකාර කෙනෙක්. ලොකු ධනවත් පරිසරයක් අම්මට තිබුණා. ඒත් තාත්තා ඔහුගේ පවුල ගොඩනඟන්න අම්මගේ හැමදේම විනාශ කළා. ඔහුට අපිට වඩා ඔහුගේ අය ප්‍රධාන වුණා. ඒ නිසා අපි අන්ත අසරණ වුණා. තැනින් තැනට යාම පටන් ගන්නේ ඉන් පස්සේ. අපිව මේ තත්ත්වයට ගේන්න මගේ අම්මා සෑහෙන දුක් කන්දරාවක් වින්දා. ඒ කැප කිරීමට අපි අදටත් ණයයි. අනෙක අපි ගහක් විදිහට දළුලන්න පටන් ගන්න කොටම අම්මා නැති වුණා. ඒ නිසා ඇයගේ දුක් ගොඩට පුංචි සහනයක්වත් දෙන්න බැරි වුණා. ඒ දුක හරි ලොකුවට හිතේ අදටත් තියෙනවා.
ජීවිතය තැනින් තැනට යනකොට අධ්‍යාපනයත් එක තැන නතර වෙන්න විදිහක් නැහැ.
ඔව් ! මුලින්ම අඟුලාන මොන්ටිසෝරියෙන් පටන් ගත්තේ. ඊළඟට දෙහිවල සෙන්මේරිස් එකට ගියා. තුන් වන පන්තියේදී මට මරදාන සෙන්ජෝෂප් එකට යන්න පුලුවන් වුණා. ඒක අතඅරින්න කිසිම වුවමනාවක් තිබ්බේ නැහැ. අම්මට පස්සේ මම අදටත් ගරු කරනවා. කන්නංගර මහත්තයගේ නිදහස් අධ්‍යාපන ක්‍රමයට ඒක නොවන්න අද අපි මෙතන නෑ. ජෝෂප් වගේ පාසලක් මට කොහෙත්ම ලැබෙන්නේ නැහැ. ඉහළම සල්ලිකාර පවුල්වල අය මේ පාසලේ හිටියේ. අන්ත දුප්පත්ම ළමයා මම වෙන්න ඇති. හරියට අඳින්න ඇඳුම් සපත්තු මට තිබුණේ නෑ. එක ඉස්කෝලෙදී හරියට කැපී පෙනුණා. ඒ නිසා ළමයින්ගේ හිත්වල තිබුණා මම ඒ පාසලට ගැලපෙන්නේ නෑ වගේ ගතියක්.

ඒ නොගැලපීම ප්‍රශ්නයක් වුණාද?
තදින්ම. මට ජීවිතේ අමතක නොවන අත් දැකීමක් ඒ පාසල් ගමන. ධනවත් ළමයි පිටරටින් ගේන ලොකු යකඩ සපත්තු අඳින්නේ. ඒ අය ඒවා ඇඳලා මට ගහනවා. කකුල් කැඩෙනකම් මගේ අසරණකමට හිනාවෙලා. ඔවුන් හැම විටම හිතුවේ මම ඒ අයගේ පාසලට පන්තියට ගැලපෙන්නේ නෑ කියලා. මම කරන්නේ ඩෙස්ක් එකට ඔලුව ගහගෙන අඬන එක. ඒ මොකද ඒ වෙනකොටත් මට තේරිලා තිබුණා. මගේ පුංචි හිතට මම ගිහින් ගුරුවරුන්ට මේ ගැන පැමිණිලි කළත් අන්තිමට මේකේ වරද මගේ පිටටම පැටවෙන්න පුලුවන් කියලා. මොකද අර පන්තිය හරි ලොකුයි. ඒක තමයි තිත්ත ඇත්ත. අදටත් සත්‍යය. මම අනනත ඒ විදියට ගුටි කාලා ඇති. අඬලා ඇති. ඒ හැම වාරයකම මම අඬ අඬ හිතුවේ කවදා හරි මමත් ඒ පන්තියට එනවා කියලයි. පසුකාලීනව මට හිතුණා. එදා ඒ පහර දීම මාව නැඟිටුවා කියලා. මට පන්නරයක් දුන්නා කියලා.

ඔබගේ පවුලේ තව කට්ටිය හිටියද?
ඔව්! අක්කලා දෙන්නයි. අයියලා දෙන්නයි. මම බාලයා. අක්කලා දෙන්නා අද ජීවතුන් අතර නෑ. ලොකු අයියා නීතිඥයෙක්. ඔහු නීති දෙපාර්තමේන්තුවට බැඳිලා නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දක්වා ඇවිත් අධිකරණයට ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් විදිහට ඉඳලා මට මතක විදියට හතර, පස් වාරයක් වැඩ බලන අග්‍රවිනිශ්චයකාර ධුරයත් දරලා තමයි විශ්‍රාම ගියේ. අනෙක් අයියා විශේෂඥ වෛද්‍යවරයෙක්. අද විශ්‍රාමිකයි.

ඔබ නීති ක්‍ෂේත්‍රයට එන්නේ සහෝදරයා නිසාද?
නැහැ. ඔහු නිසා මට පෙළඹීමක් ඇති වුණාද කියන්න මම දන්නේ නැහැ. හැබැයි මේක මගේ ගමනක්. මම ඉස්කෝලෙන් අයින් වෙලා. නීති විද්‍යාලයේ විභාගය ලිව්වා. ලියලා සමත් වුණා. සමත් වෙලා නීති විද්‍යාලයට ඇතුල් වුණා. අවුරුදු තුනහ මාරක් නීති විද්‍යාලයේ හිටියා. අපි තමයි අධි නීතිඥයින් විදිහට සමත් වෙච්ච අන්තිම පිරිස. මොකද පිලික්ස් ඩයස් බණ්ඩාරනායක මහත්තයා ඒ වසරේ මේ අධි නීතිඥ කියන එක අයින් කරලා හැමෝම නීතිඥයන් බවට පත් කළා. එතකොට මගේ අයියා ජ්‍යෙෂ්ඨ සොලිස්ටර් ජෙනරාල්. ඒත් කවදාවත් මම එයාගේ පස්සේ ගිහිල්ලා කිසිම දෙයක් කරගෙන නෑ. මම පෞද්ගලිකව එක එක අය ළඟ වැඩ කළා. අපි ආධුනිකයන් නිසා ලේසි නෑ. කොහොම හරි ඉවසගෙන හිටියා. ඔය අතරේ තමයි නීතිපති දෙපාර්තමේන්තුවෙන් අධිනීතිඥ වරයෙක් විදියට තනතුරට ඉල්ලුම් කළේ. මාව කැදව්වා. ඉහළ නිලධාරීන් පස් දෙනෙක් හිටියා. මට අද වගේ මතකයි එතන හිටියා එවකට අපරාධ අංශයේ ප්‍රධානී ඊයන් වික්‍රමනායක. ඔහු එක පාරටම මගේ මුණ දිහා බලාගෙන ඉඳලා ඇහැව්වා ඔයාගේ ඥාතියෙක් හරි කවුරු හරි මෙහේ වැඩ කරනවද කියලා. මම කිව්වා. ඔව් මගේ සහෝදරයා අහවලා කියලා. එතන හිටියා සොලිස්ටර් ජෙනරාල් රිස්ටි ගුණතිලක මහත්තයත්. ඔහු එක පාරට කිව්වා. එහෙම කෙනෙක් ඉඳලත් ඒ ගැන සඳහනක් හෝ ඉඟියක්වත් ඔයා නොදක්වපු හින්දා ඒකම ඔයාට ලොකු සුදුසු කුමක්වෙනවා කියලා. මම මෙවැනි තනතුරකට ඉල්ලනවා කියලා මගේ සහෝදරයා දන්නේ වත් නෑ. මම හිතුවා මට ලැබෙයි මේ තනතුර කියලා. හිතුවාවගේම ලැබුණා. ඒ බැජ් එකට එකොළහක් ගත්තා. මම පහට හිටියා. පසුව අගවිනිසුරු වුණා අශෝක සිල්වාත් ඒ කාණ්ඩයේ හිටියා.

ඒ ඔබගේ මුල්ම රැකියාවද?
නෑ මගේ මුල්ම රැකියාව ලංකා බැංකුවේ ලිපිකරු තනතුර. පාසලින් අයින් වෙච්ච ගමන්ම ලංකා බැංකුවේ පුරප්පාඩු දැක්කා එකට දැම්මා. එයින් ලැබෙන මුදල් මම එකතු කළා. මොකද මුදලේ වටිනාකම මම පුංචි කාලේ ඉඳලම හොඳට දන්නවා. අවුරුද්දක් ඒ රස්සාව කළා. නීති විද්‍යාලයට තේරුණහම තමයි අයින් වුණේ දෙකම කරන්න බැරි නිසා.

නීතිපති දෙපාර්තමේන්තුවේ ඔබට ලැබුණ තනතුර මොකක්ද?
නීතිපති දෙපාර්තමේන්තුවේ රේගුව සම්බන්ධ වගකීම් තමයි මට ලැබුණේ. එතන වැඩ කරන්න ලේසි නෑ. නීතිපති දෙපාර්තමේන්තුවේ ඉතිහාසය තුළම ඒ ක්‍ෂේත්‍රයේ අවුරුදු දොළහක් නීතිපතිවරු හතර දෙනෙක් යටතේ වැඩ කළ කෙනෙක් හිටියනම් ඒ මම විතරයි. මම විශ්වාස කරනවා මම ඉතා අවංකව ඒ රාජකාරිය කළා කියලා.

එතරම් ගැටලුකාරී ක්‍ෂේත්‍රයක ඔබට ගැටලු ඇති වුණේ නැද්ද?
අපෝ ඇති වුණා. නීතිපතිවරු හතර දෙනාටම මට විරුද්ධව පෙත්සම් ගියා. ඒ හැම වාරයකම නීතිපතිවරු මාව කැඳවලා ඒ ලියුම මගේ අතට දෙන ගමන් කිව්වේ. මෙන්න ශ්‍රීනාත්ට නව සහතික ඇවිල්ලා කියලයි.
පෙත්සම් ගහන්න හේතුවත් කියන්නම්. එවකට රේගු පරීක්‍ෂකවරයෙක් හිටියා ගාමිණි රාජපක්‍ෂ කියලා. ඔහු ජනපති ප්‍රේමදාසගේ කිට්ටුමවන්තයෙක්. ඔහුට හැමෝම බයයි. ඒ නිසා. මම පළමු දවසේම කිව්වේ වැරදි වැඩ කරලා මගේ ළඟට එන්න එපා හැබැයි රාජකාරී නියම විදිහට කරලා ආවෝත් මොන කරදරයේදී වුණත් මම උදව් කරනවා කියලා. මේ තත්ත්වය උඩ තමයි පෙත්සම් වැදුණේ පෙත්සම්වල තිබුණේ මම ගාමිණි රාජපක්‍ෂගේ සාක්කුවේ ඉන්න මාස් පතා ඔහු මට ලොකු මුදලක් ලබා දෙනවා කියලයි. රේගුවෙන් පගා කන අයට තමයි ඔය පෙත්සම් ගැහැව්වේ. පෙත්සම් වැඩක් නොවන තැන පොස්ට්කාඞ්වල ලියලා එව්වා. ඉතින් පියන්ගේ ඉඳලා ලිපිකරුවා දක්වා ඒක කියලා තමයි අපිට එන්නේ. මම එහෙම නොවන නිසා ඒ කිසිදේකින් මම සැලුණේ නෑ.

ඔබ නීතිපති දෙපාර්තමේන්තුවේ කොච්චර කාලයක් හිටියද?
අවුරුදු 22ක් වැඩ කළා. ඊළඟට පෞද්ගලික අංශයේ ජනාධිපති නීතිඥයෙක් විදියට අවුරුදු 20ක් වැඩ කළා. තවමත් ඉවර නෑ.
ඔබට නීතිපති වෙන්න ඉඩක් ලැබිලා. ඔබ ඒක ප්‍රතික්‍ෂේප කළා කියලා මම අහලා තියෙනවා.
ඔව් ! එක ඇත්ත. නීතිපති කියන්නේ රාජ්‍ය නිලධාරි ක්‍ෂේත්‍රයේ තියෙන ඉහළම තනතුර. එතනින් ඊළඟට අග්‍රවිනිශ්චයකාර ධුරයට යන්න පුලුවන්. එහෙම අවස්ථාවක් කවුරුත් ලේසියෙන් අත අරින්නේ නෑ. ඒත් මම අත ඇරියා. චන්ද්‍රිකා කුමාරතුංග අගමැති වෙලා මාස දෙකක් යනකොට මට අඬගැහැව්වා. අරලිය ගහ මන්දිරයට අඬගහලා කිව්වා. අපි ඔබතුමා ගැන පැහැදිලා ඉන්නේ ඒ නිසා නීතිපති තනතුර භාර ගන්න කියලා. එතකොට මම නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් හතර දෙනාගෙන් කෙනෙක්. හැබැයි ජ්‍යෙෂ්ඨකම අනුව මම හතරවෙනියා. ඉතින් මට හිතුණේ නෑ. මට වඩා ඉහළින් තුන් දෙනෙක් ඉද්දී ඒ තනතුර ගන්න. මම චන්ද්‍රිකා මැතිනියට අනෙකවාරයක් ස්තුති කරලා. මේ තනතුරට උචිත මට වඩා ජ්‍යෙෂ්ඨ අය එහෙම තිදෙනෙක්ම ඉන්නවා. මට මේක ගන්න බෑ කියලා. මම එහෙම ක්‍රියා කරපු එක ගැන අදටත් සතුටු වෙනවා. මගේ බිරිඳ කිව්වා ඒක අරගෙන මාස හයක් කරලා එයින් ඉවත් වෙලා දේශපාලනය කළානම් ඔයාට ඔයිට වඩා තැනකට එන්න තිබුණා කියලා. ඒ කොහොම වුණත් මම විශ්වාස කරනවා. එදා මම කළ දේ හරි ඒ නිසා අදටත් මගේ වෘත්තිය ඇතුලේ කැතක් නැතිව මට ඉන්න පුලුවන් කියලා.

ඔබ දේශපාලනය තෝරා ගන්නේ ඇයි?
එතනදී මම නිතරම කල්පනා කළ දෙයක් තමයි මම පුංචි කාලේ ඉඳලා වින්ද පිඩනය. අදත් මේ මොහොතෙන් තව කවුරු හරි විඳිනවා කියන එක. මහා විප්ලවයක් නොවුණාට මට හිතුණ යමක් ජනතාවට කරනවා නම් කළ හැක්කේ දේශපාලනය හරහා කියලයි. ඒ විශ්වාසය අදටත් මට තියෙනවා. ඒත් මේ දේශපාලනය හරහා ඒක ලේසි නෑ. මේක වෙනස්කර ගන්න ඕන පුද්ගලික වශයෙන් හරි කියන තැනයි මම ඉන්නේ. මම 1996 දී ජ්‍යෙෂ්ඨතම අතිරේක සොලිස්ටර් ජනරාල් විදිහට ඉන්න කොටම තමයි මම ඒකෙන් අයින්වෙලා දේශපාලනයට ආවේ. පාර්ලිමේන්තු යන්න බැරි වුණත් පළාත් සභාවට දෙවරක්ම යන්න පුලුවන් වුණා. පාර්ලිමේන්තු යන බලාපොරොත්තුව තවම තියෙනවා.

ඇයි එජාපය තෝරා ගත්තේ.
පනස් හයේ ඡන්දයේදී මම අවුරුදු නවයක විතර කොලු ගැටයෙක්. කිසිම දේශපාලන අවබෝධයක් මට නැහැ. ඒත් මම අතට ජය වේවා ගගා ගේ හැම තැනම දිව්වා. බණ්ඩාරනායක මහත්තයා පත්වුණා. කිව්වම හරි සතුටු වුණා. ඒ කිසිම දේශපාලන අවබෝධයක් නැතිව. එත් දැනුම් තේරුම් ඇති වෙනකොට මට හිතුණා. පක්‍ෂ අතරින් හැම පක්‍ෂයම නරකයි. එයින් එජාපය අනෙක්වට වඩා නරක අඩුයි කියලා ඒකයි එක තෝරගත්තේ.

තවමත් එහෙමද හිතන්නෙ.
අනූ හය අවුරුද්දෙදි අපි ජාතික ජනතා පක්‍ෂය කියලා පක්‍ෂයක් බිහි කර ගත්තා. ඒක අදටත් අවලංගු නෑ. මට හිතෙනවා මම ඒ පක්‍ෂය දිගටම පවත්වාගෙන ආවනම් කියලා. එජාපයට බැඳීමෙන් මම කළේ මෝඩ වැඩක් කියලා අනන්ත වාරයක් හිතිලා තියෙනවා. ඒත් දැන් ඒක හිතලා වැඩක් නෑ කියලා ආයේ හිතෙනවා.

ඔබගේ උසාවී ඉතිහාසය තුළ ප්‍රිිය කරන නඩු ඇති ඔබ ඇසූ එකක් දෙකක් මතක් කරමුද?
නඩුනම් අනන්ත තියෙනවා. ඒත් එකක් දෙකක් කියනනම්.

පළමු නඩුව
මේක මම පරාදයි. මුලින්ම කියන්න ඕන ඒකයි. මම නීතිපති දෙපාර්තමේන්තුවේ රේගු සම්බන්ධව කටයුතු කරන නීති නිලධාරියාවෙලා ඉන්නකොට සර්වෝදයේ එ.ටී. ආරියරත්නට විරුද්ධව නඩුවක් ආවා. ඒ තමයි ඔහුගේ සර්වෝදය ව්‍යාපාරයට ගෙනා ප්‍රින්ටින් මැෂිමක් නියමිත වටිනාකමට නැතිව අවතක්සේරු කළා කියලා.
මේ වෙනකොට මේක මෙහෙම වෙනවා කියලා අපි කල් තියා දන්නවා. ඒ එතෙක් ළඟින් ඉඳලා එවකට ජනාධිපති ප්‍රේමදාස මහත්තයා සමඟ ආරියරත්න විරසක වෙලා හිටපු නිසයි. දැන් මැෂින් එක එන්න කලින්ම දන්නවා මේක රාජසන්තක වනවා කියලා. මට හිතට හරි නෑ. මේ තත්ත්වය දැන දැන රජය වෙනුවෙන් කතා කරන්න.
මම නීතිපතිට ගිහිල්ලා කිව්වා මේ තත්ත්වය කියලා මගේ හදවතට හරි නෑ කියලා. එතකොට ඔහු මගෙන් ඇහැව්වා, රජයේ මුද්‍රණාලාධිපති තහවුරු කරලා තියෙනවද මේක අවතක්සේරු වෙලා ඒ නිසා රාජසන්තක කළා කියලා. මම කිව්වා ඔව් කියලා. එතකොට නීතිපති කිව්වා එහෙනම් මට ඔයාගේ හදවතින් වැඩක් නෑ. නඩුව කතා කරන්න කියලා.
මම උපරිම කැප කරලා නඩුව කතා කළා ඒත් පැරදුණා. ඒකට හේතුව වුණේ ඊට ටික දිනකට කලින් මේ විදිහේම මැෂින් එකක් අවතක්සේරු කරලා ගෙනල්ලා තියෙනවා. ඒක රාජසන්තක නොකර රේගුව වැඩි තක්සේරුවක් ඇතුළත් කරලා ඊට වැඩි බදු ගහලා නිදහස් කරලා තිබුණා. ඒ හේතු මත නඩුව පැරදුණා. මේ නඩුවට එනවා ඒ දවස්වල ආරියරත්නගේ දුව. මෙය මම නීතිපති දෙපාර්තමේන්තුවෙන් අයින් වුණහම මාව හොයාගෙන ආවා. ඇවිත් ස්තූති කරන්න ආවේ කිව්වා. මම ඇහැව්වා ඇයි. මම ඔය ගොල්ලන්ට උදව් කළේ නෑ කියලා. උදව් කළේ නෑ. එත් ඒ මොහොතේ අපි ද්‍රෝහීන් කරලා තිබුණේ කවුරුත් අපිට හිටියේ නෑ. ප්‍රතිවිරුද්ධ නීතිඥයාවෙලත් ඔබ හැමදාම අපිත් එක්ක හොඳට හීනා වුණා. ඒකයි ස්තූති කරන්නේ කියලා.

දෙවැනි නඩුව
කමලා රණතුංග කියන්නේ සිරිමාවෝ මැතිනියගේ කිට්ටුම හිතවන්තියක්. ජේ.ආර්. ජයවර්ධන බලයේ ඉන්න කාලේ මෙතුමිය ගම්පහදී අත්අඩංගුවට ගත්තා. බෝම්බයක් ළඟ තියාගෙන හිටියා කියලා. එතකොට මම ගම්පහ අපරාධ නඩු අධීකරණය කරන රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥයා මට සැල වුණ විදියට පොලිසියේ දොළහක් විතර ගිහිල්ලා ඇයගේ බෑගය අරගෙන අතින් අත මාරු කරලා තියෙනවා. අන්තිමයා බැග් එක ඇරලා බෝම්බයක් අරගෙන තියෙනවා. මෙවැනි සිද්ධියකට ඇප නෑ. වැරදිකරු වුණොත් අවුරුදු හතක් හිරේ.
ඒ කාලේ අධීක්‍ෂණ නිලධාරියා තීන්දු කරලා ඊට ඉහළ නිලධාරියාට යැවූ විට ඔහුත් නිදහස් කළ යුතුද අධි චෝදනා ගොනු කළ යුතුද කියන එක මතයේ හිටියොත් ඒක ක්‍රියාත්මක කරනවා. මත දෙකක හිටියොත් ඊට ඉහළ නිලධාරියාට යොමු කරනවා. පොලිසිය මේකට අධිචෝදනා ඉල්ලා සිටි විට මම කිව්වා නිදහස් කරන්න කියලා. මත දෙකක් ආවා. ඉහළ නිලධාරියා ළඟට ගියා. පහුවදා මට දැනුම් දුන්නා අධි චෝදනා ගොනු කළා කියලා. ඒත් එවකට මහාධිකරණය දවස් දෙකකින් ඇය නිදහස් කළා. මේක යම් හෙයකින් චන්ද්‍රිකා මැතිනිය මට නීතිපතිකම දෙන්න බලපෑවද කියලා මම වේලාවකට හිතනවා.
නඩු ගැන කතා කළොත් එළිවෙනකම් කතා කරන්න දේවල් තියෙනවා.

ඒත් මෑත කාලයේ ඔබට චෝදනා එල්ල වන නඩු දෙකක් තියෙනවා නේද?
ඔව් ! එකක් ජයන්ත කැටගොඩ වෙනුවෙන් පෙනී සිටිය එක. දැන් වාස් ගුණවර්ධනට අදාළ මාලඹේ ශිෂ්‍යයන්ට පහරදීමේ නඩුවේ පොලිස් නිලධාරීන් හතර දෙනා වෙනුවෙන් පෙනී සිටින නඩුව. මේ නිසා මගේ ඡන්ද අඩුවෙයි. ඒත් මම කරන්නේ කළ යුතු දේ.
ඔබ හිතනවද ඔබ අවංකව සේවය කළා කියලා.
අඩු පාඩු වෙන්න ඇති. ඒත් මම අවංකව මගේ රාජකාරිය කළා. මම මුදල් හම්බ කරනවා. ඒ මගේ සේවාවෙන්. ඒ ඇරෙන්න මම වංචාවෙන් මුදල් හම්බ කරලා නෑ. කරන්නෙත් නෑ.

සාමාන්‍ය මිනිහෙකුට නඩුවක් කියන්නේ වදයක්. නීිතිඥයකුට ඒක කොහොමද?
හා…. හා…. වදයක්ම තමයි. මේක ඇවිල්ලා අනුන්ගේ පව් සල්ලි දීලා ගන්නවා වගේ වැඩක්. ඇත්තටම වෙන්නේ ඒක.■