මීදුම් බාන බල්ලකැටුවේ මනුස්සකමේ උණුහුම


saroja

ලසන්ත ද සිල්වා

සරෝජා සිනමා ශාලාවේ ඉදිරිපස දැවැන්ත දොරටුව වසා දමා ඇත. උත්තුංග ගොඩනැගිල්ලක් වන එහි බිත්ති දුර්වර්ණ වෙමින් පැවතුණද සරෝජා සිනමා යැයි සඳහන් නම සාඩම්බරයෙන් ප්‍රදර්ශනය වෙමින් තිබේ. ඉස්සර බොහෝ සෙනඟ ගැවසුණු සිනමා ශාලාවේ මිදුලේ කිකිළියෝ යුවලක් නිදැල්ලේ ඇවිදිමින් අහුලාගන්නා ධාන්‍ය ඇටයක් හෝ වෙනත් යමක් කති. අලුත් සිනමාපට බදුල්ලේ හෝ බණ්ඩාරවෙල ශාලාවල පෙන්වන අතර නොවැදගත් පරණ සිනමා කෘති සරෝජා ශාලාවට එවීම නිසා හා සිනමාවෙන් ලාංකීය රසිකයා ඈත්වීම නිසා වැසුණු සිනමා ශාලාව එකම රිද්මයෙන් ගැහෙන හදවත් ඇති එහෙත් දෙබසකින් බෙණෙන මිනිසුන් පිරිසකගේ හමුවීමේ අවකාශය අහිමි කළේය. එහෙත් තවමත් පැරණි මතකයේ උණුසුම හදවත්වල රුවාගෙන සරෝජාවේ මිදුලේ සිට කතා කරන්නට ඔවුන් කැමති නිසා මේ කතාව ඇරඹිය යුතු වූයේ එතැනිනි.
සරෝජා සිනමා ශාලාව අයිතිකරුවා සිංහල මිනිසෙකි. එහි ප්‍රක්ෂේපණ යන්ත්‍ර ක්‍රියාකරන්නාද, කළමනාකරුවාද වූයේ දෙමළ මිනිසෙකි. මේ ශාලාවේ මාරුවෙන් මාරුවට සිංහල සහ දෙමළ චිත්‍රපට පෙන්වූ අතර දෙජාතියේම මිනිස්සු ඒවා බලා සතුටු වූහ. සිවාජි ගනේෂන් එක්ක මාලනී ෆොන්සේකා රඟන පයිලට් ප්‍රේමනාත්ද, එම්ජීආර්ගේ සිට රැජිනි කාන්ත් දක්වා නළුවන්ගේ දෙමළ චිත්‍රපටද, විජයගේ, ගාමිණිගේ චිත්‍රපටද ඔවුහු මහත් ආශාවෙන් නැරඹූහ. සිනමා ශාලාව වැසෙන්නට කලියෙන් සූරිය අරණ පෙන්වද්දී එය බලා සතුටු වන්නට දෙමළ ඉස්කෝලවල ළමයි වැල නොකැඩී ආහ. භාෂාව ඉක්මවා ගිය සතුටක සහෝදරත්වයක අපූර්ව රහසක් මේ සියල්ලෝ දැන සිටියහ. ඒ සෞන්දර්යය කෙරෙහි වන නැමියාව හා මනුස්සකම මත ගොඩනැගුණු නෑකම වන ඕනෑකමයි. රැජිනි කාන්ත් සටන් ජවනිකාවක වීරයා වන විට සිංහල රසිකයා විසිල් ගසද්දී, ක්ලීටස් මෙන්ඩිස්ට ඇදවැටෙන්නට විජය පහර දෙනවිට දෙමළ රසිකයා අසුන්වලින් නැගිට ඔල්වරසන් දුන්නේද එහෙයිනි.

සරෝජා නික්මගියද..
දැන් සිංහල දෙමළ යාකරන හදබස වූ සිනමාහල වැසී ගොස් තිබුණද ඒ තැන ගන්නට පන්සල හා කෝවිල ඉදිරිපත්ව ඇත. ඒවාද භාෂාව අනන්‍යතාවක් මිස ප්‍රශ්නයක් නොකොටගෙන සෞන්දර්යය හා මනුස්සකමේ ඕනෑකම සමග ජීවත්වෙන්නට අවශ්‍ය දිරිය ඔවුන්ට සපයා දෙයි.
සරෝජා සිනමා ශාලාවේ ඉදිරියෙන් ඇත්තේ සුගතාරාම විහාරයයි. නැතිනම් බල්ලකැටුවේ සිංහල මිනිස්සුන්ගේ පන්සලයි. එහි පසුපසින් ඇත්තේ දෙමළ ජනයා වන්දනාමාන කරන අයියප්පන් දෙවියන්ට හා පත්තිනි මෑණියන්ට පූජා පවත්වන කෝවිලයි. බල්ලකැටුව සෙනෙහසේ නගරයක් වන නිසාම කෝවිලට පූජා පවත්වන්නට බාරහාර වන්නට සිංහල ජනයා පැමිණෙන සේම පන්සලට දානය පූජා කරන එමෙන්ම දායක සභාවටද බැඳුණු දෙමළ ජනයා වෙති.
අයියප්පන් කෝවිලේ සාමි සුභාෂ් ය. හෙතෙම සිනමාහල බලාකියාගන්නා මිනිසාගේ වැඩිමල් පුත්‍රයාය. ඔහුට සිය කෝවිලේ ඉදිරි දොරටුවෙන් එළි බට විගස පෙනෙන්නේ පන්සලය. තාත්තා තමන් ජීවත් කරවන්නට රැකියාව කළ සිංහල මිනිසාගේ සිනමාහල සරෝජාව කෙරෙහි ඇති තරම්ම බැඳීමක් හා ඉන් එහා ගිය ගෞරවයක් ඇති ඔහු වෙනුවෙන් කතා කළේ ඔහුගේ මලයා වන කෝවිලේ සින්න සාමිය. ඔහු සුරේන්ද්‍රරාජා වේට්ටියක් හැඳ සිටි අතර උඩුකය නිරුවතිනි. පසුබිමෙන් පත්තිනි දෙවඟන උදෙසා ස්තෝත්‍ර වාදනය වේ. ඇය සිංහලයන්ගේ කිරි අම්මා ය. නවගමුවේ අයිතිකාරිය ය.
“මේ කෝවිලට බාර වෙන්න, පූජාව දෙන්න සිංහල මිනිස්සුත් ගොඩක් එනවා. අපේ රදම්වලට කෝවිලේ උත්සවවලට ආරාධනා කරනවා පන්සලටයි, පල්ලියේ ෆාදර්ටයි. ලොකු සාදු තමයි වතාවත් කරලා, ආශීර්වාද කරලා, පිරිත් කියලා මේ වැඩ පටන් ගන්න කියන්නේ. ඒක අපිට හයියක්. අපිට සවුන්ඞ්ස් තියෙනවා. පන්සලට නෑ. ඉතිං පන්සලේ උත්සවවලට සවුන්ඞ් ඕනෑ වුණොත් අපි දෙනවා.”
ඔහු අත දිගුකර කෝවිලේ අඳුරු මුල්ලක් පෙන්වයි. එතැන පුංචි පහේ රෙකෝඞ් බාරයක් වැනිය. විවිධ වර්ගයේ ශබ්ද විකාශන උපකරණ ගොඩගසා ඇත.
“පහුවදා තියෙන කෝවිලේ උත්සවයට රෑ ලෑස්ති වෙනකොට හාමුදුරුවො කාණ්ඩෙටම තේ හදලා දෙනවා. මහ රෑ රදම් කරත්තේ යනකොට ඕං හාමුදුරුවො සිංහල මිනිස්සු එක්ක එකතු වෙලා කෝපි හදාගෙන පාර අයිනෙ ඉන්නවා. මේ රදම් කරත්තවල ලයිට් ගලවලා අපි පෝය දවස්වල බෝධිය වටේ එල්ලලා දීලා තියෙනවා.”
කඳුකරයේ මේ කුඩා නගරයේ දෙමළ ජනයා සිංහල දනිති. එබැවින් දෙජාතියක මිනිසුන්ගේ අන්තර් සන්නිවේදනයට භාෂාව ගැටලුවක් නොවේ. කෝවිලේ යාතිකා, මන්ත්‍ර කියැවෙන්නේ සංස්කෘත මූල භාෂාවෙනි. එය වනාහි දෙමළ මෙන්ම සිංහල භාෂාවේද අම්මා කෙනෙකි. සුරේන්ද්‍රරාජාට අනුව කෝවිලට මිනිසුන් එන්නේ දෙවියන්ට දුක කියන්නටය. ඒ සිතේ ඇති දුකය. ඊට ජාතියක් ජම්මයක් නැත. භාෂාවක්ද නැත. එහෙයින් කාගේත් දුක දෙවියන්ට වැටහේ.
සුගතාරාමයේ වැඩ ඉන්නා බණ්ඩාරවෙල පඤ්ඤාසිරි හාමුදුරුවෝ මානව ප්‍රේමියෙකි. මේ කුඩා නගරයේ සිංහලයන් හා හරිහරියට ඉන්නා දෙමළ ජනයාද සිය දායකයන් බව කියන්නට පසුබට නොවන උන්වහන්සේ ඔවුන් හඳුන්වන්නට දෙමළ, ද්‍රවිඩ ආදි විශේෂණ යොදන්නට නොකැමතියෝ ය.
“උනුත් අපේ උන්නෙ මහත්තයා” හාමුදුරුවෝ එසේ කතාව ඇරඹූහ.
“අඹකුඹුරෙ තියෙනවා තව කෝවිලක්. ඒකෙ ගොඩනැගිල්ලක් හදන්න පටන් ගත්තේ අපිට එන්න කියලා පිරිත් කියවලා. අපි ඉතිං බොහෝම හැඟීමෙන් ආශීර්වාද කළා. ඔය කරගන් උත්සවවලට, රදම්වලට අපි උදව් කරන්නෙත් යුතුකමක් විදියට හිතලා. පහුගිය වතාවෙ රදම් එද්දී මං ඇහුවා නායක හාමුදුරුවන්ගෙන් අපි මොනවද කරන්නේ කියලා. හාමුදුරුවො කිව්වා දෙවියන්ට පූජා වට්ටියක් තියමු කියලා. ඒ වුණාට ගම් හතකින් කරත්ත හතක් සරසලා. අපි පෙරහැරේ කරඬුව වඩම්මනවා වගේ දෙවියො වඩම්මනවා. මං කිව්වා අපේ හාමුදුරුවනේ එක වට්ටියක් මදි නේද කියලා. ඔන්න අපි වට්ටි හතක් පූජා කළා. ඒත් හිතට මදි. මේ ඇත්තො දෙවියො වැඩම කරං එන්නේ අපේ පුංචි ටවුමට ආශීර්වාද කරන්න. ඉතිං පන්සල ඉස්සරහින් යද්දි අපි තව මොනවා හරි කරන්න ඕනෑ. රෑ දොළහට විතර රදම් පෙරහැර ආවෙ. අපි සව් කැඳ හැදුවා. මිනිස්සු දෙදාහක් විතර. මට ඒ වෙලාවෙ මතක් වුණා. අනේ මේ මිනිස්සු මටත් දානෙ වේල දීලා තියෙනවා නේද කියලා. ඕක තමයි සහජීවනය. තියෙන්නෙ හදවතේ.” පඤ්ඤාසිරි හාමුදුරුවෝ අවධාරණය කරන්නාහ.
උන්වහන්සේට අනුව හදවතේ භාෂාව පුබුදුවාගත් විට කෙනෙක් වහරන භාෂාව අනෙකාට අවබෝධ නොවීම ගැටලුවක් නොවේ. බල්ලකැටුව අවට වතුවල දෙමළ ජනයාගේ සියලු අවමංගල කටයුතුවලදී පන්සලේ වැඩ ඉන්නා දවසක නම් උන්වහන්සේ සහභාගී වෙති. සීනි, තේ කොළ මල්ලක් රැගෙන වඩින උන්වහන්සේ ඒ මිනිසුන්ට ප්‍රිය දසුනක් වන්නේ කහ සිවුරක් තමන්ගේ ලැයිම් නිවාස පේළි අතරින් දිස්වීමේ ආස්වාදය නිසාය.
“අපිට ආදරය කරන ඒ මිනිස්සු නිසාම මං දෙමළ ඉගෙනගන්න උත්සාහ ගන්නවා. ඒ සිරිත්විරිත්වලට ගරු කරනවා. ඒ උදවියත් තමන්ගේ දානයකදී හෙම අපිට පංගුවක් පූජා කරනවා. පන්සලේ පිංකම්වලට පිච්ච මල් ගේන්නේ දෙමළ මිනිස්සු මහත්තයා.”

බෝ සෙවණේදීය.
බෝ දනගේ පිදුම් ලබන සුගතාරාමයේ ඇසතු වෘක්ෂය පූජනීය ය. පැරණිය. එය අරමේද, කෝවිලේද, සරෝජාවේද කේන්ද්‍රයයි. මැදිවියේ නාදන් බෝ සෙවණේ වාඩිගෙන සිටියේය. උපතින් දෙමළ යැයි සලකුණු කෙරුණු ඔහු කිසියම් හේතුවක් නිසා කුඩා කලම නිවසින් පිටුවහල් වූයේ කාරුණික සිංහල යුවලකගේ නිවසෙහි දැඩි වූයේය. ලයිට් වයර් අමුණන්නට හා උත්සවවල සවුන්ඞ් දාන්නට නාදන් ඉගෙන ගත්තේ එහිදීය. දැන් ප්‍රදේශයේ නමගිය වයරිං කරන්නෙකුද වන ඔහු හැම පෝය දිනකම ඉන්නේ පන්සලේය. ඒ හාමුදුරුවන්ට ලවුඞ්ස්පීකර බැඳ දෙන්නට හා බෝ රුක වටා විදුලි බුබුලු එල්වන්නටත්ය. මේ පිංකම්වලදී ඔහු තමන් බලා හදාගෙන රස්සාවක්ද ඉගැන්නූ සිංහල යුවලටද පිංපෙත් අනුමෝදන් කරයි. ඔහුට සිංහල වහරන්නටද පුළුවන් වූයේ ඒ සිංහල මව්පිය යුවලගේ හදබස නිසාමය.
“ඒ මිනිස්සු මට තමන්ගෙ දරුවෙකුට වගේ සැලකුවා. මං අද වෙනකං අරක්කු සිගරට් බීලා නෑ. ඒකට හේතුව ඒ මිනිස්සු දුන්න අවවාද”.
සිංහල, දෙමළ මිනිස්සු මරාගන්න කාලෙත් අපි එකට හිටියා යැයි ඔහු පවසන්නේ තමන්ට ඔවුන් පිහිට වූ බවද සඳහන් කරමිනි. ඒ නිසාම තමන්ගේ පිහිට අවශ්‍ය අවස්ථාවලදී නාදන් පසුබට නොවේ. පන්සලේ පිරිත් උත්සවවල සවුන්ඞ්ස් සපයන ඔහු එළිවෙන තුරු පිරිත් අසන්නේ භක්තියෙනි. නාදන් වැනිම වූ දමිළයන් පන්සලට මුර දානය දෙද්දී රදම් පෙරහැර හා සීතලේ ගැහීගැහී එන පිරිසට හාමුදුරුවන් කළ සංග්‍රහ සත්කාර ඔහු අගයයි.
”ඒ හින්දා අන්තිමට තිබ්බ රදම්වලදී සුභාෂ් සාමිලයි, දෙමළ මිනිස්සුයි ලස්සන වැඩක් කළා. උත්සවේ පටන් ගත්තෙ හාමුදුරුවො වඩම්මලා පිරිත් කියලා. ඊට පස්සෙ පෙරහැර. මුලින් හේවිසි කණ්ඩායම. ඊට පස්සෙ පන්සලේ ධාතු කරඬුව, ඊට පස්සෙ මෝලම් එක්ක පත්තිනි අම්මා ඉන්න කරත්තෙ, පස්සෙ අයියප්පන්, ඊට පස්සෙ කතරගම දෙයියො වෙනුවෙන් කටු ගහපු අය. තව නැටුම් කණ්ඩායම් මේ පෙරහැර මුලින්ම ගියේ සිංහල මිනිස්සු ඉන්න ගමට. එයාලාට ආශීර්වාද කළාට පස්සෙ වත්තට.“ නාදන් ඇසතු රුක සෙවණේ විචිත්‍රවත් පෙරහැරක් මැවුවේය.
බෝ සෙවණේ සංහිඳියා පෙරහැරට සාක්කි කියන්නට නිමල් වික්‍රමසිංහද එක්ව සිටියේය. ඔහුට අනුව දන්නා කාලේ සිටම සිංහල හා දෙමළ මිනිස්සු යාලුකමේ ප්‍රීතිය භුක්ති විඳින නගරය බල්ලකැටුවයි.
“අපේ හාමුදුරුවො දෙමළ ගේකට වැඩිය හැටියෙ ඒ අය සුදු රෙද්දක් එළලා සිරිතෙ හැටියට කටයුතු කරනවා. මේ නාදන් පන්සලට ලයිට් දානවා වගේම බෝ මළුව අතුගාන්න එන දෙමළ අය ගොඩක් ඉන්නවා. අර අපේ සබාපතිගේ පිච්ච මල්නෙ පූජා කරලා තියෙන්නෙ”. ඔහුට අනුව සරෝජාවේ නැගලා යන ෆිල්ම්ස් පෙන්නූ කාලේ හැමෝම එකම තානයකට විසිල් ගැසූහ.
බෝ සෙවණේ හිඳසිටි සාන්ත මල්ලි කී අන්දමට හැන්දෑවට බොහෝ දෙමළ ජනයා පන්සල් බිමට පැමිණෙති. ඒ හඳුන්කූරු දල්වන්නටය. ඒවායින් නික්මෙන මනුස්සකමේ සුවඳ හවසට මීදුම් බාන නගරය වෙලාගෙන පැතිර යනු ඇත. එවිට සරෝජාවේ පෙන්නූ ලස්සන පික්චර් මතක් වෙන ඔවුන්ට ජාතිය බෙදන භාෂාවන් ඉක්මවා මනුස්සකමේ හද බසද හුරුවෙනු ඇත.■