චිත්‍රපට පෙන්වීමෙන් ඔබ්බට යහපත් මිනිස් අවකාශයක් අපි නිර්මාණය කළා | සුදත් මහදිවුල්වැව


sudath

සඳුනිකා රත්නායක

මෙයට මාස කිහිපයකට පෙර වන තෙක් සෑම බ්‍රහස්පතින්දා සැඳෑවකම ශ්‍රී ලංකා පදනම් ආයතනයේ එක් කුඩා කාමරයක ඩිජිටල් ෆිල්ම් ඇකඩමිය මගින් සංවිධානය කළ සිනමා දැක්මක් හා ඒ පිළිබඳව කියවීමක් සිදුවිය. එම කාර්යය සිනමාව රසවිදීමෙන් හා කියවීමෙන් ඔබ්බට ජීවිතයේ වෙනත් බොහෝදෑ පිළිබඳව අපූර්ව කතිකාවක් ඇතිකරන ලද්දකි. වර්තමානයේදී එය සිදුවන්නේ නැත. මේ ඒ පිළිබඳව විමසමින් එම කාර්යය ප්‍රධාන වශයෙන් මෙහෙයවූ චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් මහදිවුල්වැව සමඟ කළ සංවාදයකි.

කොහොමද මේ කාර්යයේ ආරම්භය සිද්දවෙන්නේ?
මේක ආරම්භ කරන්නේ ඩිජිටල් ෆිල්ම් ඇකඩමි පාඨමාලාවේ කොටසක් විදියට. මූලික අදහස වෙන්නේ සිනමාවේ භාවිතාව කොහොමද, සෞන්දර්යය කොහොමද, සිනමාව හැසිරෙන්නේ කොහොමද කියන එක පිළිබඳව භාවිත අර්ථයක් ලබාගැනීම. කලකට පස්සේ ප්‍රදානක ආයතනයක් අහනවා, මේ චිත්‍රපටි පෙන්නන එක පංති කාමරයේ ශිෂ්‍යයන් සඳහා කියන සීමාවෙන් එළියට ගෙනිහින්, සමාජ කතිකාවතක් ආරම්භ කරන්න සහ චිත්‍රපටිය සමාජ කතිකාවතක් ආරම්භ කරන මෙවලමක් විදියට පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. ඒක මම බොහොම කාලයක ඉඳන් හීන මවපු කාරණාවක්. එතෙක් කල් අපි කරගෙන ගියේ චිත්‍රපටිය රසවිඳින්නේ කොහොමද කියන එක ප්‍රගුණ කිරීම. මේක චිත්‍රපටිය රසවිඳිනවා කියන කාරණාවේ ටිකක් දියුණු අදියරක්. කොහොමද චිත්‍රපටය සමාජ දේශපාලන කතාබහක් ඇතුළට ගෙනෙන්නේ සහ චිත්‍රපටය හරහා කොහොමද සමාජයක් සවිඥානික කරන වැඩපිළිවෙළකට යන්නේ කියන එක. ඒක තමා අපි සාකච්ඡා කරලා එකඟ වෙච්ච දේ.
මේ ව්‍යාපෘතිය මෙහෙයවන්න පටන්ගත්ත දවසේ ඉඳලාම මම මොනම හේතුවක් හින්දාවත් ඒක ශ්‍රී ලංකා පදනම් ආයතනයේ නිල කළමනාකාරීත්වයට කරන්නේ මොකක්දද කියන එක ගැන පූර්ණ විස්තර කිරීමක් හෝ නිල අවසර ලබාගැනීමක් සිදුවුණේ නැහැ. මොකද අපි හිතාගෙන ඉන්න සාකච්ඡාව පවත්වන්න ඒ දේ බාධාවක් වෙන්න පුළුවන් නිසා. ශ්‍රී ලංකා පදනම් ආයතනය ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පවතින රජයේ ආයතනයක්. එතැනදී කුමන චිත්‍රපටිද පෙන්නන්නේ කියන එක ගැන තීරණය කරන කොට අර්බුද ගොඩක් ඇතිවෙන්න පුළුවන්. නමුත් නිල අවසර ගැනීම්, නිල මැදිහත්වීම්, නිල කඩදාසි ලේඛනගතකිරීම්වලින් අහකට ගිහිල්ලා අපට සම්පූර්ණයෙන්ම නිදහස ලැබුණා මේක අපට ඕනෑ විදියට භාවිත කරන්න. ඒ හින්දා අපි පරෙස්සම් වුණා චිත්‍රපටි තෝරද්දී හා ඒ දේවල් කරද්දී. ඒත් ඉතාම සතුටුදායක විදියට ටික කලකින්ම ප්‍රේක්ෂකාගාරය ශීඝ්‍රයෙන් වර්ධනය වුණා.

වසර තුනක පමණ කාලයක් මේ කාර්යය දිගහැරෙනවා. ඒ ගලායෑමත් ඒ සඳහා බලපෑ කරුණු කාරණාත් මොන වාගේද?
අපි චිත්‍රපටිවල විවිධත්වයක් ගෙනාවා. කතාකරන වස්තු විෂයේ විවිධත්වයක් ගෙනාවා. ඒ වස්තු විෂය ගැන කතා කරන්න පුළුවන් ලංකාවේ ඉන්න හොඳම සම්පත් දායකයාට අපි ඒ සඳහා ආරාධනා කළා. ඒ වගේම එකම අධ්‍යක්ෂවරයාගේ චිත්‍රපටයක් නැවත පෙන්නන්නේ නෑ කියලා පොඩි තීරණයකට ඇවිල්ලා හිටියා. මේ හින්දා ඉතා ඉක්මනින් අපිට පුළුවන්කම ලැබුණා කොළඹ ආශ්‍රිතව කෙරෙන සිනමාත්මක මැදිහත්වීමේ පළමු බලවේගය බවට පත්වෙන්න.
අපි පටන්ගත්තේ වෘතාන්ත චිත්‍රපටි පෙන්නන්න. පසුව වාර්තා චිත්‍රපට පෙන්නුවා. මුලින් ඒ පිළිබඳව සැකයක් තිබුණා, වාර්තා චිත්‍රපටියක් කියන්නෙ කම්මැලි නොතේරෙන දෙයක් කියලා ලංකාවේ ඉතාම වැරදි කියවීමක් තියෙන නිසා. එහෙත් පසුව කවදාවත්ම මෙහේ පෙන්නාවියැයි හිතාගන්න බැරි චිත්‍රපටි රැසක් මේ වාර්තා චිත්‍රපටි ගොනුව ඇතුළට ගෙනාවා. ඒ විතරක් නෙවේ මටත් හිතාගන්න බෑ කොහොමද වෘතාන්ත චිත්‍රපටවලට එන ප්‍රේක්ෂකාගාරය අතික්‍රමණය කරලා වාර්තා චිත්‍රපටවලට සෙනඟ ආවේ කියලා. ඒ සම්බන්ධව මට තියෙන හොඳම නිදර්ශනය තමයි අපි ‘කිලින්ග් මැෂින් එස් ටුවෙන්ටි වන්’ කියන චිත්‍රපටය පෙන්නුවා. මේක ලංකාවේ ඉතාම සීමිත දෙනෙක් බලලා ඇති. මේක එහෙම බලන්න වාණිජ වශයෙන් මුදාහැරුණු චිත්‍රපටයක් නෙවේ. ඊළඟට අපි චිත්‍රපටය ගැන කතාකරන්න ආරාධනා කළේ අනුර කුමාර දිසානායකට. ඒකට හේතුවක් තිබුණා. මොකද මේක ගැන කතා කරන්න පුළුවන් පාර්ශ්ව දෙකෙන් එක පාර්ශ්වයක් නියෝජනය කරන්නේ ඔහු. එදා පන්සිය දහඅටදෙනෙක් චිත්‍රපටිය බලලා තිබුණා. ඒක අපේ වාර්තාවක්.

ඒ විදියට පැවතුණ මේ කාර්යය නතර වෙන්නේ මොන හේතු කාරණා මතද?
මේක ආරම්භ වෙලා පැවතුණ විදියක් තියෙනවා. කලක් යනකොට මේක පදනම් ආයතනයේ තිබුණු ප්‍රධානම ආකර්ෂණීයම අංගය බවට පත්වුණා. ඉතාම මතභේදාත්මක චිත්‍රපටි අපි පෙන්නලා තිබුණා. උදාහරණයක් විදියට බ්ලු ඉස් ද වර්මස්ට් කලර්, සාලෝ වගේ ඒවා. සාලෝ කියන්නේ ලෝකෙ පුරා තහනම් වෙච්ච චිත්‍රපටයක්. එහෙත් මෙහි පරිපාලනය හෝ අපේ අනුග්‍රහයකයෝ ඒ ගැන කිසිවිටෙක ප්‍රශ්න කළේ නෑ. ඒත් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අලුත් පරිපාලනය ආවාට පස්සේ එයාලාගෙන්, චිත්‍රපටි පෙන්නන එකේ මොකද්ද වෙන සෙතේ වගේ ප්‍රශ්නයක් ආවාම, මං හිතනවා මට තවදුරටත් ඒක ඇතුළේ වැඬේ කරගෙන යන්න වලංගුතාවක් නෑ කියලා. ඒ පරිපාලනය ඇතුළේ පුටුවල තීන්දු තීරණ ගන්න අයට තේරෙන්න ඕනෑනේ මේක ඇතුළේ කිසියම් විශාල වැඩකටයුත්තක් වෙනවා කියලා. ඒක තේරුම්ගන්න බැරිවුණාම අනුග්‍රාහකයෙක් හිටියත් මේක ඉදිරියට කරගෙන යන්න බැරිවෙනවා. ඒ විදියට ඒක ස්වාභාවිකවම නතරවෙන තැනට ඇවිත් තිබුණා. මම ඒක නතර කළා.
මේ කතිකාවන් ඇතුළේ ඉඩ වෙන්වුණේ චිත්‍රපටිවලට විතරක් නෙවේ. පොත්පත්, සංගීතය ඇතුළු තව බොහෝමයක් වෙනත් දේ පිළිබඳව සංවාද පැවැත්වුණා,
ඒක තමයි අපේ තුන්වැනි ලොකුම ව්‍යාපෘතිය. කියවන කවය. අපි හැමවෙලාවෙම උත්සාහ කළා ප්‍රධාන ප්‍රවාහය ඇතුළේ වසා දැමූ, හැංගූ, එළියට ආවේ නැති නමුත් පුද්ගලිකව විශාල වැඩ කොටසක් කරන කලාකරුවෙකු ගෙන්නාගෙන ඒක තුළ විවිධත්වයක් තියාගැනීම. අපි කුමාරි කුමාරගමගේ, සර්පයා වගේ අය ගෙනාවා. මේ කියවන කවයේ අන්තිම වැඩසටහනේදී සයපෙති කුසුම චිත්‍රපටය හරහා සමලිංගික අයිතිය මානව හිමිකමක් වෙන්නේ කොහොමද කියන අදහස සාකච්ඡා කළා.

මේකට සම්බන්ධ වුණු ප්‍රෙක්ෂකාගාරය මොන වාගේද, මේ ගැන ඇල්මක් තිබුණු එක්තරා එකම පිරිසක්ද?
හැමදාම හමුවෙන මූණු කිහිපයක් තිබුණා. ඒ ගාන විසිපහක් කිව්වොත් තව හැත්තෑපහක් විතර හැමදාම අලුත් වෙලා තියෙනවා.
වරක් අපි ඉංග්‍රීසි ලෙඛිකාවක් වුණු අමීනා හුසේන් ගෙනාවා. අමීනා ඉස්සෙල්ලාම කිව්වේ මං කොහොමද දන්නෑ කතා කරන්නේ කියලා. මං කිව්වා අපි භාෂාව කියන එක ප්‍රශ්නයක් කරගන්නේ නැතුව ඉමු කියලා. ඒ වගේම සිංහල ඉංග්‍රීසි දමිල භාෂා තුන තුළම පරිවර්තනය කළ හැකි මිත්‍ර කණ්ඩායමක් අපට තිබුණා. එහෙත් මට ඕනෑ වුණා භාෂාවේ ඉර මකලා දාන්න. ඒ කියන්නේ අපි කතා කරන්නෙ භාෂාව නෙවේ ඊට එහා තියෙන ජීවිතය කියලා. අමීනා හුසේන් කැඩිච්ච සිංහලෙන් දුන්නු උත්තරයි භාෂා තුනෙන්ම විමසපු ප්‍රශ්නයි එක්ක ඒ සාකච්ඡාව ඉතාම අපූරු එකක් වුණා. ඒක ඉතාම දියුණු තත්ත්වයක්. ඒ වගේම වැඩසටහනේ අග හරියක මං සුමන්තිරන් ගෙනාවා. අපි දීපන් චිත්‍රපටය පෙන්නුවා. මට මතකයි සුමන්තිරන්ගේ කතාව පටන්ගත්තේ හරි අමුතු තැනකින්. ඒ සාකච්ඡාව වහා ගිනි ඇවිලෙනසුලුයි. එහෙත් කතාව ඉවරවුණේ ඉතාම ප්‍රශස්ත තැනකින්. මුළු ලංකාවම තේරුම්ගතයුතු තැනකින්. ඔහු කිව්වා යාපනයේ අන්තවාදීන් ලොකු වෙනවා උස යනවා මහත් වෙනවා. දකුණේ අන්තවාදීන් ලොකු වෙනවා. උස යනවා. මහත් වෙනවා. අපි දවසින් දවස චූටි වෙනවා. ඒ හින්දා මේ වගේ සාකච්ඡාවලදී අපි මුණගැහිලා තීරණයක් ගනිමු කියලා. ඒක ඉතාම බරපතළ, ප්‍රගතිශීලි කාරණයක්. යාපනයේ මනුස්සයෙක්. ඔහුට පුළුවන් වෙනවා කොළඹ සිංහල කතාකරන ප්‍රේක්ෂකාගාරයකට ආමන්ත්‍රණය කරන්න.

මෙවැනි කියවීමක, විඳීමක අවශ්‍යතාව මේ සමාජ සංස්කෘතික වපසරිය තුළ මොන වාගේද?
ලොකු අවශ්‍යතාවක් තියෙනවා. මං හිතන්නේ අපි මේ මුණගැහීම කරන්නේ නැතුව තැන් තැන්වල ඉඳලා ඊමේල් ටෙක්ස්ට් දාන එකෙන් තමයි හානි ගොඩක්ම ඇතිවෙන්නේ කියලා. මුණගැසීමේ අවකාශය නැතිවෙනවා කියන්නේ රටක් හැටියට ඉතාම බරපතළ කාරණාවක්. මුණගැහුණොත් තමයි අපි සාකච්ඡා කරන්නේ, බෙදාහදාගන්නේ, ගැටලුවක් තියෙනවා කියලා දැනගන්නේ. ඒක චිත්‍රපටියක් බලලා කතා කරනවා කියන කොටසට එහා ගිය විශාල මිනිස් අවකාශයක්. ඒක තමයි අපි නැති කරගත්තේ. උදාහරණයක් විදියට සුමන්තිරන් ආ සාකච්ඡාවේ ඔහු, ඔහු හිටපු මතයේම තමා කතාකළේ. හැබැයි ඒ මතය සාකච්ඡාව ඇතුළට ආවාට පස්සේ අප තේරුම්ගත්තා ඔහු කියන කාරණය හා කවුරු හරි අන්තවාදී කෙනෙක් හිටියා නම් ඒ අතරතුර මැද හිස් තැන අපි ඉක්මනින් පුරවාගන්න ඕනෑ කියලා. ඉතින් ඒක නේද අපට අවශ්‍ය දේ.

ගැළපෙන අවකාශයක් හමුවුණොත් මේ කාර්යය නැවත ඇරඹීමේ බලාපොරොත්තුවක් තියෙනවාද?
මම ආපහු පටන්ගන්නවා නම් මෙයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වැඩක් පටන්ගන්න ඕනෑ. මොකද මටත් ඒක ඇතුළේ ආනන්දයක් තියෙන්න එපැයි. එහෙත් මේ අවකාශය නැවත ස්ථාපිත කරන එක විශේෂයෙන්ම කොළඹට පිටතින් ඉතා වැදගත් කාරණාවක්. මොකද මං හිතනවා මේ වැඬේදී බොහෝ දේවල් තුළ චිත්‍රපට පෙන්වීමෙන් ඔබ්බට විශාල දියුණු යහපත්වූ මිනිස් අවකාශයක් අපි නිර්මාණය කළා. ඒක චිත්‍රපටියක් පෙන්නනවාට වඩා විශාලයි.■