ජාතිකවාදී ජාතිවාදී ආගම්වාදී ‘උදපාදී’


aloka

බූපති නලින් වික්‍රමගේ

සිනමා කෘතියක් ලෙස ඕනෑම නිර්මාණයක් යනු වාස්තවික ලෝකය පිළිබඳ නිශ්චිත මිනිස් සංජානන හැඩරටාවකි. තවත් විදියකට කිව්වොත් බාහිර ලෝකය පිළිබඳ මිනිස් විඥානය සටහන් කරගන්නා සංජානනයේ හැඩයකි. මේ අතර නියත පරතරයක් ඇත. මිනිස් සිතීමේ ඉතිහාස අරගලය වන්නේම මේ පරතර වෙනස් කිරීමට පවතින අරගලයයි.
ඉතිහාසය යනු ද අන්තර් මිනිස් බල ව්‍යාපෘතියේ සහතික ලද බලරාමුවකි. එහිද නියතියක් නැත. ඔබට කිසිදු මිනිස් කුලකයක ‘පරම ඉතිහාසය‘ යනුවෙන් සාරයක් හමුනොවේ. ලංකාව සැලකුවොත් චූලවංශයත් මහාවංශයත්, බෙල් හෝ පරණවිතානත්, අමරසේකර හෝ නිර්මාල්ද අතර හමුවන්නේ පරතර ය. එහෙත් මේ පරතර නිශ්චිත සමාජ දේශපාලන අවකාශවලදී මැකීයමින් පරමත්වයක් අත්පත්කරගනීමම යනු හුදු ලෝකය වටහාගැනීම පිළිබඳ ගැටලුවක් නොව, ඇතැම්විට මිනිස් ජීවිත ගණනාවක ඉරණම තීන්දු කරවන ගැටලුවකි.
සිනමාවත් ඉතිහාසයත් එකතුවීම මගින් ඉටුකරන්නේ බලව්‍යාපෘති අභ්‍යාසයක් මිස අහිංසක පුද්ගල අදහස් ඉදිරිපත් කිරීමක් නොවේ. ඊනියා ඉතිහාසවේදීන්ගේ තොරතුරු කේන්ද්‍රීය නිවැරදිභාවය වෙනුවට අප විමසිය යුත්තේම චිත්‍රපටයක් නිශ්චිත ආකෘතියකින් නිශ්චිත දේශපාලන අවකාශයක සිදුකරන කාර්යභාරයයි. ජැක්සන් ඇන්තනීකරණය වූ ‘ඉතිහාසය ඉතිහාසයේ තබා විමසීමේ’ තක්කඩි ව්‍යාපෘතියට එරෙහිව අපි ඉතිහාසය වර්තමාන ප්‍රතිවිරෝධතා මත තබා විමසමු.

අර්ථකථනයේ හිංසනය
චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කළ (සමන් වීරමන්ගේ තිරරචනය- දේශපාලන ව්‍යාපෘතිය ගොඩනැගෙන්නේ සමන් වටා මිස ලංකාව ‘ගේම් ඔෆ් ත්‍රෝන්කරණය’ කරනා චත්‍ර වටා නොවේ.) ‘ආලෝකෝ උදපාදී’ යනු එක අතකින් ලංකාවේ ජනප්‍රිය සරලකරණය වූ දෘෂ්ටාන්ත (්කකැටදරසජ්ක) සිනමාවේ කූටප්‍රාප්තියකි. රාජපක්ෂ රෙජීමයේ බලව්‍යාපෘතියේ කේන්ද්‍රීය දෘෂ්ටිවාද වූ ජාතිකවාදයත් (ජවිපෙ හා වීරවංශ ප්‍රමුඛ ජනිපෙන්) ජාතිවාදයත් (හෙළ උරුමය හා නලින්-අමරසේකර හවුල) ආගම්වාදයත් (ඥානසාර හා ගෝඨාභය හවුල) මහජාතිය කේන්ද්‍රීයව බලහවුලක් ලෙස ගොඩනැගීමේ කලා ව්‍යාපෘතියේ ප්‍රමුඛ කාර්යය කළේ සිනමාවයි. මීට රජකතා, රණකාමී කතා හා බෞද්ධ කතා ලෙස ප්‍රවර්ග තුනක චිත්‍රපට අඩංගු විය. රණකාමය ‘ගාමණී‘ (2011) හරහාද රජකතා ‘මහරජ ගැමුණු‘ (2015) හරහාද උත්කර්ෂයට නැංවිණ. මේ දෘෂ්ටිවාදී හවුලේ මූල තුනෙහිම කූටප්‍රාප්තිය හෙවත් පත අට එකට සිඳ දෙන සිනමාව වන්නේ චත්‍රගේ ‘ආලෝකෝ උදපාදී’ය.
ආලෝකෝ මත ඇතිවන කතිකාව ක්‍රමයෙන් නිරීක්ෂණයේදී වැටහෙන මූලික ලක්ෂණය වන්නේ ඉතිහාසය අර්ථකථනයට ඇති අරගලයේ හිංසන යි. මහා ජාතිය හා මහා ආගම ඉතා සියුම් ලෙස උත්කර්ෂයට නංවන අතර ඊලාම් දමිළ අරගලයට සමාන්තර ඉතිහාසයක තබා මේ රජකතා මූට්ටු කිරීමට නොහොත් සීචනය මේ චිත්‍රපට සියල්ලේම යටි කළු ලුබ්ධි ආර්ථිකයයි. ආලෝකෝ චිත්‍රපටය නරඹන ඉතිහාසය හදාරා නැති ඊනියා ‘සාමාන්‍ය’ ප්‍රේක්ෂකයන් චෝල-සොලී කණ්ඩායම සමපාත කරගන්නේ ‘දමිළ’ අනන්‍යතාවකය. අවශ්‍ය නම් එය චිත්‍රපටයට ලද නිවැරදිම කියවීම ලෙසද සැලකුවාට වරදක් නැත. මන්ද, චත්‍ර-සමන් බල ව්‍යාපෘතියේ යටිපෙළ ඉතා නිවැරදිව කියවන්නේ මෙම ඊනියා සාමාන්‍ය ප්‍රේක්ෂකයායි. එමගින් ඉෂ්ටකරන මූලිකම කාර්යභාරයක් වන්නේ බුද්ධ දර්ශනය එහිම සාරාත්මක දර්ශනවාදයෙන් ගලවා රාජ්‍යයට බද්ධ කිරීමේ ව්‍යාපෘතියට සාධාරණීකරණයක් හෙවත් සුජාතකරණයක් හිමිකර දීමයි.
ඉහත ව්‍යාපෘතියෙන් විඥානයේ විමුක්තිය හෝ නිදහස උදෙසා පවතින විශ්වාස පද්ධතියක් රාජ්‍යයට පූට්ටු කරයි. එවිට රාජ්‍යය නිකම්ම රාජ්‍යයක් නොව ‘ධර්ම රාජ්‍යයකි.’ එමගින් විඥාන විමුක්තියේ සිට ජාතියක අනන්‍යතාව දක්වා අර්ථකථනයේ බලව්‍යුහය පළමුවෙන්ම එක් පාර්ශ්වයක් අතට පත්වේ. එවිට මෙම ආගමික රාජ්‍යය අභියෝගයට ලක්කරන ඕනෑම බලවේගයකට එරෙහිව එහි දාර්ශනික සාරයෙන් ඔබ්බට යෑමට බලපත්‍රයක් හිමිවේ. මෙමගින් එකිනෙකට සෘජු සබඳතා නැති අරමුණු දෙකක් උදෙසා ගොඩනංවන ලද පද්ධති දෙකක් (රාජ්‍යය හා ආගමික සංස්ථාව) අර්ථකථනය නොවූ රාමුවකින් අලවා දමයි. දෘෂ්ටිවාදයේ ආකෘතිය යනුම මෙම යාන්ත්‍රණයයි. එනම් පරතරය මැකීමයි. එය විමසන ඕනෑම අයෙකුට පිළිතුරු ලැබෙන්නේ අධිපති හිංසන පද්ධතියෙනි. සරත් වීරසේකර වැනි ජාතිවාදීන් කලාකරුවන් එල්ලාමැරීමට ගොඩනගනා අර්ථකථනයේ යාන්ත්‍රණය ඇත්තේ අර්ථකථනය කළ නොහැකි සාරයක රාජ්‍ය බලයට දක්වන ඉතිහාසවේදයක් වටා මිස ‘සත්‍යයක්’ වටා නොවේ. එය ‘ධර්මය’ වෙනුවෙන් පෙනීසිටිනා ‘දිව්‍යමය හිංසනයකි’ (ෘසඩසබැ ඩසදකැබජැ). එනිසාවෙන් ඉතිහාසය ජැක්සන්කරණයට එරෙහිව අප කළයුත්තේ කාලව්‍යතික්‍රමයකට (්බ්ජයරදබසිඑසජ) ඉතිහාසය කියවීමයි. සත්‍යය හෙළිකර ගැනීමේ එකම සත්‍යවාදී මග වන්නේ ඉතිහාසය සමකාලීනත්වයේ තබා කියවීමයි.!

ගෝදත්තගේ සිට
‘ආලෝකෝ උදපාදී’ චිත්‍රපටයේ නාමික කතානායකයා වළගම්බා වුවද චිත්‍රපටය තුළදී ඔහු සියලු දෙනා මත යැපෙන නිෂ්ක්‍රිය චරිතයක් බවට පත්ව ඇත. ව්‍යුහයක් ලෙස මෙය සමකාලීන සමාජ දෘෂ්ටිවාදයට චිත්‍රපටය අනුගතවන පළමු පදනම්සහගත පියවරයි. පිටපතේ හෝ රංගනයේ සෞන්දර්යාත්මක සීමාවක් වුවද නොවුවද මෙමගින් ඉතා සියුම් ආකාරයකට අප්‍රකාශිත අවධානය ‘ගෝදත්ත’ නම් ගෝල හිමිනමගේ චරිතයට මාරුවේ. ගෝදත්ත යනු ඉහත සලකුණු කළ ආකාරයේ දිව්‍යමය හිංසනයකට යොමුවන්නෙකි. බෞද්ධ දේශපාලනයට අදාළ දිගු ඉතිහාසයකට උරුමකම් කියනා ශාසනය රැකීම උදෙසා බුද්ධ ධර්මයේ මූලිකම ඉගැන්වීම් පවා අභියෝගයට ලක්වන පියවර ගෝදත්තගේ චරිතය ලවා ඉටුකෙරේ. රටත් ආගමත් වෙනුවෙන් සිවුරු හැර යුද්ධ කිරීම හා එය සමකාලීන සංඝ දේශපාලනයට දක්වන දෘෂ්ටිවාදී සම්බන්ධතාව තීරණාත්මකය. එක අතකින් බුදුදහමේ රැඩිකල්ම ඉගැන්වීම වන ‘මනුෂ්‍ය ආත්මයට සංගත, ඒකාත්මික පැවැත්මක් නොමැත’ යන වටහාගැනීමට වඩා බරපතළ ලෙස ඌනිත, පූර්වජ අදහසක් ලෙස ශාසනයේ ස්ථාවරත්වයක් හා ඉන් එහාටද ගිය ශාසනික රාජ්‍යයේ ස්ථාවරත්වයකට අර්ථකථනය මාරුවේ. බෞද්ධ දේශපාලනයේ ග්‍රන්ථාරූඪිත/ශාස්ත්‍රීය බුදුදහම හා භාවිත/ජනප්‍රිය බුදුදහම අතර පරතරය මතුවන්නේ මේ කලාපයෙනි. බුද්ධ දර්ශනයට අදාළ කතා පුවත් හා ත්‍රිපිටකයෙන් ප්‍රකාශිත ධර්මය අතර පරතරයේ අර්ථකථනය මෙලෙස වසාදමීම අප වටහා ගන්නේ කෙසේද? (බලන්න: බුදුදහම, රාජ්‍යය සහ භික්ෂු සමාජය, ප්‍රේමකුමාර ද සිල්වා, 2008, ස.වි.ස.). බෞද්ධ රාජ්‍යයකට අභියෝග වන ඕනෑම විටෙක ඊට එරෙහිව සටනට ‘හිංසනය’ භාවිතය සාධාරණීකරණය ගෝදත්ත හරහා චිත්‍රපටයේ කේන්ද්‍රය වී ඇත්තේ මෙම පසුබිමෙහිය.
එක අතකින් බෞද්ධ දේශපාලනයේ මෙම දෘෂ්ටිවාදය සාධාරණී කරණය ඉන්දියාවේ අශෝක රජු දක්වා දිවයයි. අශෝකගේ වෙනස වන්නේ ජන ඝාතනයකින් පසු ධර්මය භාරගැනීමයි. එහිදීද අශෝක ජනඝාතන වරදකාරිත්වයෙන් මුදවාගැනීමේ භූමිකාව රඟපෑවේ බෞද්ධ දේශපාලනයයි. එහෙත් ගැමුණු හෝ වළගම්බාද ඇතුළු, ඊටත් වඩා සෘජු සංඝ සමාජ නියෝජනයක් ලෙස ගෝදත්ත හරහා මෙම චිත්‍රපටය ඉතිහාසයේ අනුභාවයෙන් අවසර ලබාදෙන්නේ රාජ්‍ය අනුග්‍රහය සහිත ඝාතන, පින්/පව් භේදය පවා මකමින් ග්‍රන්ථාරූඪිත බුදුදහමේ හරයම උල්ලංඝනය කරමිනි. ආලෝකෝ චිත්‍රපටයේ බලව්‍යාපෘතියම වැටී ඇත්තේ මෙකී රාජ්‍යයක් ලෙස බෞද්ධ මූලික බලකේන්ද්‍රයක් ගොඩනැගීමකටය. අශෝකගේ දේශපාලනය හරහා ජාත්‍යන්තර ආගමක් වූ බුදුදහම ලංකාවේදී රාජ්‍යයට දක්වන සම්බන්ධය බරපතළය. එක අතකින් ජනප්‍රිය ඉන්දීය බෞද්ධ රජුන් වූ අශෝක, කණිෂ්ක හෝ හර්ෂ අතර පවා පොදු සාම්‍යයක් නැති බව ඉන්දීය ඉතිහාසවේදිනී උමා චක්‍රවර්තී සලකුණු කරයි. එසේම ඉන්දියාවේ බුද්ධකාලීන රාජ්‍යයේ ඉහල කුල නියෝජනය ප්‍රමාණාත්මකව ඉහළ වුවද ලංකාවේදී ශාසනය යනු කුලහීන, දරිද්‍රතාව හා බැඳි ආයතන ව්‍යුහයකි. ලාංකික සංයුතිය සැලකීමේදී ඉතිහාසයේ සිට ‘හතර කේන්දරය පාලු’ කතාවල සිට පහල කුල හෙවත් සමාජයේ ආන්තිකකරණය වූ නියෝජනයකින් සංඝ සමාජය සමන්විතය. ඒ හරහා බටහිර/ආසියාතික, මහායාන/ථෙරවාද, ලාංකික/විජාතික, උඩරට/පහතරට පමණක් නොව කුල ලෙසද බෙදීගිය සඟ සමාජය සලකද්දීද ඔවුන් රකින සමස්තය කුමක්දැයි සමාජ විද්‍යාත්මකව පදනමක් නැත.
ගැටලුව වන්නේම අතාර්කික, පදනම් විරහිත තැනකින් උපදින ‘බෞද්ධ රාජ්‍යය’ නම් දෘෂ්ටිවාදී බලව්‍යුහය අද වනතුරු ලංකාවේ බලදේශපාලනයේ තීරණාත්මක භූමිකාවක් නිරූපණයයි. ඊටම ආවේණික තර්ක ලෝකයක භ්‍රමණය වන ජාතිකවාදී හා ජාතිවාදී ලක්ෂණ රැගත් මෙම කතිකාව සයිකොටික (ඡිහජයදඑසජ) පැවැත්මක හිරවී ඇත. නලින් ද සිල්වාගේ අභියෝගය මෙන් ඔවුහු ‘නැති දෙයක් නැති ලෙස’ ඔප්පු කිරීමට දතකමින් සිටිති.

සෝමාරාමගේ සිට
‘මේ සිංහල ද්වීපයේ භාරකාරයා හැටියට කළයුතු දේ නොකළ යුතු දේ ඔබතුමා තීරණය කළ යුතුයි.’
මේ චිත්‍රපටයේ මහනායක හිමි රජාට දෙන අවසරයයි. එනම් මහා අනෙකා සිය නීතිය උල්ලංඝනයට පූර්ණ අවසරය සපයන ආකෘතියයි. ‘මරන්න ඕනේ එකාලව මරන්න’යයි නොකියා කියන ක්‍රමයයි. මෙය අර්ථකථනයේ හිංසනයක් ලෙස සලකුණු කළේ එබැවිනි. කිසිදු කෘතියක්, චිත්‍රපටයක්, පුද්ගලයෙකු හෝ ඕනෑම පැවැත්මක් මතුපිට හෝ එළිපිට කිසිදු අන්තවාදයක් කිසිවෙකුටත් සොයාගත හෝ ඔප්පු කළ නොහැක. හිට්ලර්ගේ ‘මගේ අරගලය’ කෘතියේ කොතැනකවත් යුදෙව්වන් මරන්න කියා නැත. මිනිස් සන්නිවේදනය නිශේධනය වුවද ඊට වඩා නිර්මාණශීලීය. ඒ භාෂාව තුළ සැමවිටම ප්‍රකාශනයේ මතුපිටට වඩා ප්‍රකාශිත තලය ජීවමානය. ‘ආලෝකෝ උදපාදී’ තුළ රූපකයක් ලෙස ලංකාවේ කිසිදු චිත්‍රපටයක නොවූ තරම් සිවුරු ප්‍රමාණයක් රූපයට හසුකර ඇත. සාමණේර ඝාතනයේ සිට අහිංසක සිංහලයන් ඝාතනය, බත-බුලත වැනසීම, එකමුතුව නැසීම ආදිය හරහා අද දවසේ සිංහල දෘෂ්ටිවාදවලට අමතන දැක්මක් අඩංගු කර ඇත. මේ හැම රූපිකයක්ම ඉතිහාසයට වැඩි යමක් වර්තමානයට ඉඟිකරයි. ඒ තුළ මකා දමන සත්‍යයේ ඉතිරි අර්ධය කුමක්ද? රාජ්‍යයට බෞද්ධ ආයතන දක්වන සම්බන්ධය හරහා සංකල්පීයවද (කර්තෘලා නැති ඥාන බලක්ෂේත්‍රයකට ඌනනය) භෞතිකවද අතිරික්තය සූරාකෑමේ වැඩවසම් දේශපාලන ආර්ථිකය ඒ තුළ නැත. කුලහීන හා පහළ පන්තික ජන කොටස රාජ්‍යය තුළ ආන්තිකකරණයට බෞද්ධ සංස්ථාපිතයේ පිළිතුර ‘පවට’ හෝ ‘කරුමයට’ පුරුදු කරවනා අදේශපාලනීකරණයකි. එවිට යුද්ධවලින් මැරෙනා සතුරන් ‘අමනුස්ස’, ‘මිථ්‍යාදෘෂ්ටික’ හෝ ‘දේශද්‍රෝහීන්’ බවට ඌනනය කෙරේ.
එපමණකුදු නොව පළමු ජාතිකවාදී පියා වන බණ්ඩාරනායක ඝාතනය කර ලංකාවේ නූතන දේශපාලන ඝාතන ලැයිස්තුව ඇරඹූ තල්දූවේ සෝමාරාම හිමිනමක්ද? නැතිද? ඒ ඝාතනය දිව්‍යමය ඝාතනයක්ද? නැතිද? එවැන්නක් පවා වෙන්කිරීමට අදාළ සංකල්පීය නිර්ණායක ලාංකික සිංහල බෞද්ධ ආයතන පද්ධතියට නැත. එක පසෙකින් යටත්විජිත යුගයේ ප්‍රොතෙස්තන්ත බුදුදහම ලෙස පැවති ක්‍රිස්තියානි විරෝධය අද වන විට දෙමළාගේ සිට මුසල්මානුවා දක්වා සංක්‍රමණය වෙමින් ඇත. සමන්තභද්‍රලාගේ අධිසුඛෝපභෝගී හා අශ්ලීල රහත් ගොසිප් භාවිතයන් පාලනයට නොහැකි සංඝ සමාජය තම කුලකය වෙත විවේචනාත්මක වීම වෙනුවට තුරු අනෙකා මත හිංසනය මුදාහැරීම සිය භාවිතය කරගෙන ඇත. ලෙස්ලි රණවීර, ගණනාථ ඔබේසේකර, නිව්ටන් ගුණසිංහ, රන්ජිත් පෙරේරා, කුමාරි ජයවර්ධන හා ඩෙස්මන්ඞ් මල්ලිකාරච්චි වැනි පිරිස් රාජ්‍යය හා බුදුදහම අතර බල ව්‍යුහය මනාව විශ්ලේෂණය කර ඇත. ගැටලුව, සමාජයට චලනයක් අත්වන්නේ ඔවුන්ගෙන් නොව චත්‍ර-සමන් වැනි සරලමතිකයන්ගෙන් වීමයි.

ඥානසාර දක්වා
බුද්ධ දර්ශනය ලොව ධනපති ව්‍යාපාරිකයන්ගේ (බිල් ගේට්ස්, ස්ටීව් ජොබ්ස්, ටයිගර් වූඞ්ස් සිට ධම්මික පෙරේරා දක්වා) දහමක් වෙමින් පවතී. අපගේ ක්‍රියාව මොනතරම් අශිෂ්ට, හිංසනීය වුවද ඉන් පිටත පිරිසිදු ආත්මයක් පවත්වා ගැනීමේ ක්‍රමවේදය මෙමගින් පශ්චාත් නූතන සමාජයට උගන්වන්නේද? පුනරාවර්තී පුරුදු පමණක් ඉතිරිව මහා අනෙකාට සියල්ල බාරදීමේ වත්පිළිවෙත් බවට ඌනනය වෙමින් ලෝක හොරු දායකයන් කරගන්නා ආයතන බවට සංඝ සමාජය පත් වී ඇත. ක්‍රියාවත් සිතුවිල්ලත් අතර නරුම පරතරය පවත්වා ගැනීමේ දහමක් බවට මෙය පත්වෙමින් තිබෙන්නේද? ඊට බුදුන්ගේ ලේ නෑකම් සිට ජාතියක සුපිරිසිදු පැවැත්ම දක්වා දෘෂ්ටිවාද සම්මිශ්‍රණය කරමින්ද සිටී.
ගැටලුව වන්නේ බුද්ධ දර්ශනය හැර වෙනත් කිසිදු චින්තන මාදිලියක් ජනගත වී නැති තත්ත්වයක ලංකාවේ ඡන්ද ගුණ්ඩු දේශපාලනයට තව දශක කීයක් ‘බෞද්ධ රාජ්‍ය’ දෘෂ්ටිවාද සමඟ සියලු දෙනාගේ ජීවිත කරකැවිය හැකිද යන්න පමණි. නලින් ද සිල්වා නාමල් ඉදිරියේ වැඳ නමස්කාර කරන ඡායාරූප අපට ඉඟි කරන්නේ සයිකොටික තර්කනවලට යථාර්ථ සාධක දැක්වීම අදාළ නැති බව පමණද? කිසිවෙකු කිසිවෙකුගෙන් අව්‍යාජ පැවැත්මක් හෝ පෙනීසිටීමක් කිසිදු කාරණයක් සම්බන්ධව ඉල්ලා නොසිටින යුගයක අශ්ලීල ආර්ථික ජීවිත හා පාතාල භාවිතා අතර සම්බන්ධය දිව්‍යමය හිංසනයකින් ලැබෙනා සුජාතභාවය යුගයේ දෘෂ්ටිවාද වී ඇත. ‘ආලෝකෝ උදපාදී’ එක අතකින් රට ජාතිය පිළිබඳ ජාතිකවාදයක්ද චෝල-සොලී හරහා සියුම් ජාතිවාදී යටිපෙළක්ද ධර්මය වෙනුවෙන් ධර්ම යුද්ධය සාධාරණීකරණය කරමින් (ගෝදත්ත නැවත මහණ වී) ආත්මයත් ක්‍රියාවත් අතර සහ සම්බන්ධය නව මානයක ආගමික අන්තවාදයකට යොමුකරමින් යුගයේ කාර්යභාරයක් ඉටුකොට ඇත.
දේශීයත්වය වරනගන චිත්‍රපටයක මේ තරම් බටහිර සෞන්දර්ය රූපරාමු අමුඅමුවේ පවතින්නේ කෙසේදැයි කිසිවකුත් නොවිමසිය යුතුය. දේශීය නිෂ්පාදන හා ජාතික රාජ්‍යය පූර්ණ ලෙස දියවෙමින් කළු ආර්ථිකයක් හා පරිභෝජනවාදයක් පමණක් ඉතුරුවී ඇති සමාජයකදී මේ තරම් බෞද්ධ ප්‍රබෝධයක් ඇතිවන්නේ ධනේශ්වරය හා බෞද්ධ ඉගැන්වීම් අතර ඇති තියුණු සාම්‍යයක් නිසාදැයිද නොඅසනවානම් වඩා හොඳය!
‘ආලෝකෝ’ යනු ඥානයයි. එහෙත් ඥානය ඉපදීමක් වෙනුවට යුගයෙන් යුගයට හිංසනය ඉපදීමක් හා එය සුජාතකරණයක් පමණක් උරුම කර ඇති ලාංකික බෞද්ධ රාජ්‍ය්‍ය සයිකොටික චක්‍රයට සෘජු දේශපාලන ඇමතීම් නොඇසෙනා බවත් ඒ හා සංවාදය උභාතෝකෝටිකයක් බවත් ඔප්පු වෙමින් පවතී. මෙවන් යුගයක දේශපාලනය යනුම කුමක්ද? දේශපාලනය යනු සමාජ නිශේධනය බහිෂ්කරණය හෙවත් ඉවත හෙලීමද? නැතිනම් එයද ඇතුළත් විනිවිදීමද? මේ සමකාලීන දේශපාලනයේ ක්ෂිතිජයයි.■