Untitled-1

Untitled-1

වැලිඔය ළමා විවාහ නම් ඛේදවාචකය


lama-vivaha

කේ.සංජීව ඡායා/රුවන් මීගම්මන

මුස්ලිම් ළමා විවාහ නීතිය වෙනස් විය යුතුයැයි පසුගිය කාලයේ සමාජය මත බරපතළ සාකච්ඡාවක් ජනිත විය. එහිදී සිංහල සමාජයට මුසල්මානු සමාජය පෙනුණේ තවමත් පරිණාමය වී නැති ගෝත්‍රිකයන් රංචුවක් ලෙසය. මුස්ලිම් ගැහැනු දරුවන් මත ක්‍රියාත්මක එම වහල් නීතිය වෙනස්විය යුතුය. එහි කතා දෙකක් නැත. දැන් සිංහලයන් ලෙස අප මෙසේ ඇසිය යුතුය. අපේ සිංහල සමාජය තුළ ළමා විවාහ සංස්කෘතියක් නැතිද? පිළිතුර සමහර සිංහල ප්‍රදේශ තුළ මුස්ලිම් සමාජයටත් වඩා ළමා විවාහ සංස්කෘතියක් ක්‍රියාත්මක බවය. මේ තිත්ත ඇත්තකි. විශේෂයෙන් මහවැලි යෝජනා ක්‍රමය ක්‍රියාත්මක ප්‍රදේශයන් තුළ ළමා විවාහ දුර්ලභ නැත. සුලභය.

වැලිඔයට යමු
ගිනිගහන කෂ්ටකයක අපි මුලතිව් දිස්ත්‍රික්කයේ පහළ කොණේ සම්පත් නුවරට සේන්දු වුණෙමු. වැව් බොහෝ ඇති එහෙත් ඒවායින් වතුර කුඹුරුවලට මුදාලන්නට ඇළවේලි නැති මේ බිමේ මිනිසුන්ට වගාවට තිබෙන්නේ එක කන්නයකි. ඒ මාස් කන්නයයි. මුලතිව් වැලිඔය කලාපය සුවිශේෂ බිම්කඩකි. ඒ මේ සිංහල ගම් පොකුර පාරම්පරික දෙමළ නිජබිමක් මත ඉදිකළ බැවින්ය. ඒ දෙමළ ජනයා පළවා හරිමින් සිංහලයා උතුරට ව්‍යාප්ත කිරීමේ ජෙනරාල් ජානක පෙරේරාගේ, ගාමිණි දිසානායකගේ උත්සාහ යන්ගේ ප්‍රතිඵල ලෙසය. එහෙත් මුලතිව් අනුරාධපුර මායිම් රේඛාවේ පදවිය, පරාක්‍රමපුර සිංහල ජනාවාසකරණය 1956 තරම් ඈත කාලයකට දුරය.
මුලින්ම අපි අතීතයේ කෙන්ට් පාම්, ඩොලර් පාම් ලෙස හදුනාගන්නා, දැන් ජානක පෙරේරා මහතාගේ බිරිඳගේ නමින් හඳුන්වන කල්‍යාණපුරට ගියෙමු.
“අපි මෙහෙට ආවේ 1956. ඒ අපේ අප්පච්චිලා එක්ක පරාක්‍රමපුරයට. එතකොට මේවායේ හිටියේ දෙමළ මිනිස්සු. පස්සේ ජේආර් මහත්තයාගේ කාලේ ඒ දෙමළ ගම්මාන සීමාවේ දරුණු හිරකාරයෝ ගෙනත් පදිංචි කළා. පස්සේ ඒ මිනිස්සුන්ට ආපු හිරිහැර එක්ක ඒ මිනිස්සු මේ ගම් අතඇරලා ගියා.”
මේ වැලිඔය කලාපයේ සිංහල ජනාවාසකරණයේ ඉතිහාසයයි. ඊට පසු පැමිණි සියලු පාලකයෝ තමන්ගේ කාලවලදී අඩුවැඩි වශයෙන් මේ බිමේ සිංහල ගම් ඉදි කළෝය. එහෙත් එලෙස පදිංචිකරන සිංහල දුප්පතුන්ට දෙකන්නයට කුඹුරු කරන්න වතුර දෙන්නවත් වැඩපිළිවෙළක් හෝ පාලකයන්ට තිබී නැත. ඒ නිසාම අද මෙහි ජනීජනයා අගහිඟකම් බොහෝමයකින් දුක්විදින මිනිසුන් කොට්ඨාසයකි. මුලතිව් දිස්ත්‍රික්කයේ අප මේ කතාකරන වැලිඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ජනගහනය 11640කි. ඒ 2016යේ සංගණනයට අදාළවය. ජනකපුර, කිරිඉබ්බන් වැව, ඇහැටුගස් වැව, නව ගජබාපුර, කල්‍යාණපුර, නිකවැව වම, නිකවැව දකුණ, ඇතාවැටුණ වැව, මොනරවැව ආදි ග්‍රාමසේවක වසම් 9කින් පොහොසත් මේ කලාපය තුළ දැන් වකුගඩු රෝගීන් 400ක් පමණ වාර්තා වන බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරති. මේ ගණනින් වාර්ෂිකව මියයන රෝගීන් ප්‍රමාණය 40කට වැඩිය. දුප්පත්කමේ පතුලේම ගිලී සිටින මේ මිනිසුන් අතරට වකුගඩු මාරයාද පැමිණි විට තත්ත්වය කෙබඳුදැයි ඔබට සිතාගැනීමට අසීරු නැත. ගොවිතැනද එක කන්නයකටය. ගොඩ ගොවිතැනද වතුර නැති නිසා සරු නැත. සාමාන්‍යයෙන් මෙහි පවුලකට මහවැලියෙන් ලබාදී තිබෙන මඩ ඉඩමක දිග පළල අක්කරයක් පමණ වනවිට ඒ අක්කරයට යැපෙන්නන් දහයක් දොළහක් සිටින විට මේ මිනිසුන්ගේ ජීවිතය ගැන කියන්නේ කුමක්ද?

සංස්කෘතික දුප්පත්කම
ඉහත ප්‍රකාශිත සමාජ වටපිටාව මත හුස්ම ගන්නා මේ මිනිස් ජීවිතවලට සංස්කෘතික ජිවිතයක් නැති තරම්ය. ප්‍රදේශයේ පාසල්වල ගුරු හිඟය අහස උසටය. මේ පාසල්වල විද්‍යා, ගණිත, සෞන්දර්ය, ඉංග්‍රීසි ගුරුවරුන් දුලබය. ඒ නිසාම මෙහි ළමුන්ට ඒවා හොඳ නැත. පාසල්වල සිටින ගුරුවරුන්ද බොහොමයක් සිවිල් ආරක්ෂක සේවයේ සිට පැමිණි උදවියය. උපාධිකාරයෝ මෙන්ම පීඨකාරයෝද මේ පාසල්වල නියමිත ප්‍රමාණයට නැත. ආවත් අවුරුද්දෙන් දෙකෙන් ඔවුහු මේ ශුෂ්ක කතර හැර යති. පාසල් තුළ පුස්තකාල පහසුකම් නැත. මෙහි ළමුන් කියවීම කියා දෙයක් දන්නේ නැත. ඔවුන් දන්නේ හවසට ටෙලිවිෂනය ඉදිරියේ හිඳ ලාබ ටෙලි දකින්න පමණි. නැතිනම් එෆ්එම් කඩචෝරු කතා රසට අසන්නට පමණි. බොහෝ ගෙවල්වල පවුල් පවුල් ඉන්නේ එකටම රංචු රංචු ව ය. ඒ මහවැලිය නිසි ක්‍රමයකට අනුපවුල්වලට ඉඩම් ලබාදෙන්නේ නැති නිසාය. මහවැලි නිලධාරීන්ද බලධාරින්ද ඉඩම් පිරිනමන්නේ ඒ ඒ පවුලෙන් තමන්ට කිසියම් හෝ දෙයක් ලැබෙනවා නම් පමණි. ඒ නිසා යම් බලයක් සහිත මිනිසෙකුට හැර දුප්පතෙකුට මේ කලාපයෙන් ඉඩමක් ලබාගැනීම හරිම දුෂ්කරය. මෙවැනි වටපිටාවක දුප්පත්කමේ සෑම ප්‍රභේදයකින්ම මේ මිනිස්සු දුක්විඳිති. එහි ප්‍රතිඵල විසින් මේ මිනිසුන්ගේ ජීවිත මේ වනවිට ගෙන ගොස් ඇත්තේ මහා ඛේදවාචකයක් දෙසටය. මේ නිසා අද මෙහි ගැහැනු සල්ලි සොයා අරාබියට යන්නට පොරකති. ඒ නිසාම ඔවුන්ගේ දුවාදරුවන්ට උරුම වී තිබෙන්නේ දුකමය. විශේෂයෙන් ගැහැනු දරුවන් අනාරක්ෂිත තත්ත්වයට පත්වී තිබේ. ඔවුන් තම පවුල්වලම පිරිමින්ගේ අතවරවලට ලක්වීමේ ප්‍රවණතාව වැඩිවී ඇත. වැලිඔය කලාපයට අදාළ අධිකරණයේ විභාග වන නඩුවලින් වැඩි ප්‍රතිශතයක් මේ පසුබිම මත, ළමා අතවර පදනම් කොටගෙන ගොනුවී ඇති නඩුය. අනෙක් පැත්තෙන් අවුරුදු 40ට වැඩි පිරිමින් වකුගඩු මාරයාට ගොදුරුවීම නිසා බිරින්දෑවරුන් වැටී සිටින්නේ සෑහෙන්න අසරණ අඩියකටය. ඒ නිසාම අද ඔවුන් ලිංගික ශ්‍රමිකයන්ගේ තත්ත්වයට ද පත්වී ඇතැයි නොයෙක් තැන්වලින් අසන්නට ලැබේ.

සුධර්මාගේ කතාව
“මට දැන් වයස 35ක් වෙනවා. මම 16න් තමයි බැන්දේ. මට දැන් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මගේ මහත්තයා මට වැඩිය අවුරුදු 10ක් වයසින් වැඩියි. එයා අපේ ගෙදරට ආවේ ලොරිය එලවන්න. මට ලොකු ආසාවක් තිබුණා වාහන එලවන්න. ඉතිං එයා මට පුරුදු කළා. අන්තිමට අපි ගැන ගමේ කතාවක් හැදුණා. අයියා මට නිතරම මේ හින්දා ගැහැව්වා. මෙහෙම යනකොට එයා මට එයාත් එක්ක යන්න කතා කළා. මම ගියා. කසාදේ කියන දේ තේරුමවත් මම ඒ කාලේ දන්නේ නැහැ. මගේ ගෙදර මිනිස්සුන්ගේ කරදරේ නිසා තමයි මම පැනලා ගියේ. අන්තිමට 17 වෙනකොට මම අම්මා කෙනෙක් වුණා. දුක විතරයි අන්තිමට ඉතුරු වුණේ. එයාත් වෙනස් වුණා. එන්න එන්නම බේබද්දෙක් වුණා. ගෙදර බඩු පොඩි කරන්න පටන්ගත්තා. එයාට මාව සැකයි. අන්තිමට මමයි මගේ ළමයි දෙන්නායි අපේ අම්මලාගේ ගෙදර ගියා. දැන් දීගයක් නැහැ. මම මගේ ත්‍රීවීල් එක හයර් කරලා තමයි දරුවන්ට උගන්වන්නේ. උදේ 3ට බේකරියෙන් පාන් අදින ඕඩරයක් තියෙනවා. කිලෝමීටර් 20ක් විතර දුර දුවන්න ඕනෑ. උදේට අලි ඉන්නවා පාරේ. ඒත් මම දැන් සෑහෙන්න කාලෙක ඉඳලා මේක කරනවා. කාලයක් ස්කූල් හයර් එකකුත් කළා. එකෙන් මම හොඳටම නට්ටං වුණා. දැන් ආයෙත් හොඳ තත්ත්වෙක ඉන්නවා. දැන් නම් හිතෙන්නේ හෙට මැරුණත් හොඳයි කියලා.”
සුධර්මා අපට මුණගැසුණේ අහම්බෙනි. ඒ වැලිඔයට වැටුණු බස් එකේදීය. ඈ තමාගේ කතාව මුල මැද අග ගළපා අපට කීවාය. ඒ කතාව අප සොයා යන කතා ගොන්නට හොඳ ඇරඹුමක් ලබාදුන්නේය. ඊට පසු අපි වැලිඔය සිමාවේ හතරවරං ගැසුවෙමු. නෙක කතා ඇහින්දෙමු. ඒ සෑම කතාවකම දුප්පත්කමද එනිසාම මේ කාන්තාවන්ට උරුමවී තිබෙන අපා දුකද හොඳටම සිතුවම්වී තිබුණි.

අහිංසාගේ කතාව
“මට දැන් අවුරුදු 20ක් වෙනවා. මම බැන්දේ 17න්. දැන් මගේ දුවට අවුරුදු 3ක් වෙනවා. මගේ ගම නම් මෙහේ නෙවෙයි කුරුණෑගල. මට අවුරුදු 5ක් වෙනකොට මගේ තාත්තායි අම්මායි වෙන්වෙලා. අයියායි මායි හැදුණේ කිරිඅම්මා ළඟ. එයා මට පුදුම වදයක් දුන්නේ. අයියා උදවු කළා. ඒත් අයියා නිතරම ගෙදර නැති නිසා හරිම අමාරුවෙන් තමයි ජීවත් වුණේ. 11 වසරට වෙනකම් ඉස්කොලේ ගියා හැබැයි විභාගය කළේ නැහැ. අපේ කිරිඅම්මාගේ නෑදෑයෝ ඉන්නවා මෙහේ. දවසක් මෙහේ ඇවිත් ඉන්නකොට මහත්තයා හම්බ වුණා. අපි බොරු වයසක් දාලා බැන්දා.”
මේ ඇගේ මාගලක් වගේ දිග කතාවෙන් පුංචි කොටසක් ය. දැන් කිරිඅම්මා ළඟ ජීවත් වෙනවාට වැඩිය හොඳයිද? ඇගෙන් ඇසුවෙමු. මඳ නිහඬියාවකට පසුව.. “එහෙම කියලාත් කියන්න බැහැ.” ඇය කියන්නීය. ඊළඟට කකුලේ මාපටඟිල්ලෙන් පොළව හාරන්නීය. ඊළඟ ප්‍රශ්නය… දැන් මහත්තයා මොකද කරන්නේ?..
“එයා යාපනේ වැඩකරන්නේ. සති දෙකකට සැරයක් තමයි ගෙදර එන්නේ.”
කටු මැටි ගෙදර බලාගෙන සිටින්නේ තද සුළගකටත් උදුරා දමන්න පුළුවන් දොර කඩමාල්ල හායි ගා ඇරගෙනම ය. ඉතිං දරුවාත් එක්ක මේ ගෙදර තනියෙම. ළඟ ගෙදරක් ඇත්තෙත් නැහැ හදිස්සියකටවත් කතා කරන්න. මේ අපේ ඊළග ප්‍රශ්නයට ඇයගේ ප්‍රථම උත්තරය සිනහවක්ය.
“ඔව් ඉතිං කරන්න දෙයක් නැහැ. දොර වහගෙන තනියෙම ඉන්නවා. මොකක් හරි වුණොත් ළමයා බයිසිකලේ තියාගෙන ළඟ ගෙදරකට පදිනවා.” ඇය කියන්නී, හරිම සැහැල්ලුවට සිනාසෙන්නී.
ඇයට අවුරුදු 20ක් බව කීවත් එය විශ්වාස කරන්න බැරි තරම්ය. සෑහෙන්න කාලයකට කලින්ම ඇය මත්තට දුක පැමිණියත් ඒ දුකෙන් දියකර හැරි රූපකායක් ඇයට නැත. එහෙත් හිත පැදුරු කඩමාල්ලෙනුත් පහළට කඩාවැටී ඇති බව ඇයගේ මුහුණ මත ලියැවී තිබෙන සෙයකි. ඇයගේ ජීවිතය යහපත් පැත්තකට හරවන්න මේ රටේ දේශපාලකයන්ට දැක්මක් සහ හැකියාවක් තිබෙන්නේද? නැතිනම් සුළි සුළඟකට ගසාගෙන යන්න නියමිත ඇයගේ ජීවිතයට මෙන්ම ඇය වැනි මේ බිමේ අන් කාන්තාවන්ට ජීවිතයේ සතුට හිමිකරගන්නට තිබෙන මග කුමක්ද? මේ ප්‍රශ්නවලට අපේ රටේ තීන්දු තීරණ ගන්නා බලධාරීන් අත නම් විසඳුම් නැති බව සක්සුදක් සේ පැහැදිලිය.

අමිලාගේ කතාව
අමිලා දහසය හැවිරිදි බවද ඇය කරකාරේ බැඳ වැඩි දොහක් නැති බවද අපට ලැබුණු ඔත්තුවකට, අපි අමිලා සොයා ගියෙමු. “අමිලා දුවේ වරෙන්” නැන්දම්මාගේ කටහඬට ඇය දොර රෙද්දෙන් එබුණාය. අම්මෝ මෙයාට නම් 13ක් ඇති අපට සිතිණි. ඇය ඊළඟට අප ඉදිරිපිට සැටියේ වැටුණාය.
“මගේ පුතා හමුදාවේ. එයා තමයි මේ කෙල්ලව ඇරගෙන ආවේ. අපි වයස සම්පූර්ණ වෙනකම් ඉන්න ඉඩ දීලා තියෙන්නේ. වයස හරි ගියහම කසාදේ කරලා දානවා. මේවා කොළඹට අරුමයක් වුණාට මෙහෙට සාමාන්‍ය දේවල් මහත්තයෝ.” අමිලාගේ නැන්දම්මා කියන්නීය. නැන්දම්මාගේ කතාවට පසුව අමිලා කතා කළාය.
“තාත්තා කුලී වැඩ තමයි කරන්නේ. මමත් එක්ක අපි හතරක් තාත්තාට ඉන්නවා. අම්මා වකුගඩු රෝගයත් එක්ක අවුරුදු 25ක් ජීවත්වෙලා මේ ළඟදී නැතිවුණා. අපේ පවුලම හොඳටම අසරණ වුණා. තාත්තාත් හොඳටම වැටුණා. ඉතිං මම මේ අයියාත් එක්ක ආවා. මෙහේ මට ගෙදරට වැඩිය හොඳයි. වයස සම්පූර්ණ වෙනකම් ඉඳලා බඳින්න හිතාගෙන ඉන්නේ.”
වයස දහතුනක පෙනුම තියෙන මේ චූටි කෙල්ල අපට කියන්නීය. එහෙත් මෙවැනි බොහෝ කසාද නිසි වයස එන්නත් කලින්ම, ආණ්ඩුවේ පොතේ ලියවෙන්නත් කලින්ම කෙලවර වී තිබෙන තත්ත්වයක් අපට වැලිඔයේදී දකින්න ලැබිණි. ඒ බොහෝ තැන කුඩා දරුවෙකුත් සමඟ අම්මා තනිවී ඇත. තවත් තැනක නිසි වයසට එනවිට ඒ කාන්තාව විවාහ කිහිපයක නිමග්නව සිට ඇත. මේ බාල වයස්කාර විවාහවලට හේතුව දුප්පත්කම හැර අන් දෙයක් නොවන බව කිව යුතුමය. ඒ දුප්පත්කමට හේතුව ආර්ථික අහේනියම නොවේ. සංස්කෘතික ජිවිතයක් උරුම නොවීමද හේතුවකි. කනවා බොනවා නිදියනවා ළමයි හදනවා කියන සරල කාරණා ටිකකට විතරක්ම කොටුවුණ මේ ජීවිතවලට යහපත් හෙට දවසක් හදන්නට නම් ඇළවේලි කපා දෙකන්නය වගාකරන්න වතුර දුන්නාට මදිය. ඔවුනට කුඩා කල සිටම පොහොසත් සංස්කෘතික ජීවිතයක්ද උරුමකර දිය යුතුය.■
(මෙහි ඇති නම් ඇත්ත නම් නොවන බව සලකන්න)