රාවය

කරුංකා ජාවාරමට අවසර දුන් බලවතා කවුද?

කරුංකා ජාවාරමට අවසර දුන් බලවතා කවුද?

ලසන්ත රුහුණගේ

පසුගිය සතියේ අප විසින් පළ කරන ලද ‘කැබිනට් නියෝගයට පිටින් කරුංකාවලට යළි බලපත්‍ර’ යන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ජාවාරමට සම්බන්ධ ව්‍යාපාරික ආයතන මෙන්ම ඊට අදාළ බලපත්‍ර නිකුත් කරන ශ්‍රී ලංකා රේගුවේ පිරිස් දැඩි කලබලයට පත්වී ඇති බව දැනගන්නට ඇත. අපගේ ඉහත ප්‍රවෘත්තියට අදාළ තොරතුරු අපට මුලින්ම හමුවූයේද ශ්‍රී ලංකා රේගුව තුළිනි. ඒ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් විමසන ලද ප්‍රශ්නයකට අදාළ ලිපිය හේතුවෙන්ය. එහිදී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් විමසා තිබුණේ කරුංකා ආනයනය සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් ලබාදී ඇති බලපත්‍ර සත්‍ය ඒවාද යන්න තමාට සහතික කර දන්වන ලෙසය.
කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ එම ලිපිය රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ලැබීමත් සමඟ මෙම කරුංකා ජාවාරම ගැන කරුණු දැන සිටි ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් විමතියට පත්වී ඇත. ඒ කරුංකා ආයතනය සඳහා නිකුත් කර තිබූ සියලු බලපත් 2014 වර්ෂයේදී කැබිනට් මණ්ඩල තීරණයක් අනුව අත්හිටුවා තිබීම හා එම බලපත් නැවත නිකුත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල තීරණයක් නැවත නොගැනීමේ තත්ත්වය තුළය.
කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාද සමාගම් තුනක් විසින් තමා වෙත ඉදිරිපත් කරන ලද ආනයනයට අදාළ TIEP  බලපතු (Temporary Importation for Export Perpose) . ගැන සැකයක් උපදවාගෙන ඇත්තේ අදාළ කැබිනට් තීන්දුව ගැනත්, ඉන්පසු එය වෙනස් කිරීමේ කැබිනට් තීන්දුවක් ගැනත් ඔවුන් නොදැන සිටීම නිසා වන්නට හැකිය.
කෙසේ වෙතත් 2014 වර්ෂයේදී කරුංකා ආනයන බලපත් අත්හිටුවීම සඳහා කැබිනට් මණ්ඩලය ගත් තීරණයට හේතු දෙකක් බලපා තිබුණි. ඉන් එකක් වූයේ කරුංකා ආනයනය මගින් ශ්‍රී ලංකාවේ තාල වර්ගයට අයත් වගාවන්ට යම් හෝ සම්පූර්ණ හානියක් සිදුවේද යන අනතුරය. කරුංකා ආනයනය මගින් තාල වර්ගයේ වගාවන්ට හානිකර යම් ජීවියෙකු රටට ඇතුළුවේද යන බිය එයට හේතුවිය. ශ්‍රී ලංකාවේ ශාක ආරක්ෂණ පනත අනුව ශාක හෝ ශාක කොටස් රටට ගෙන්වීම තහනම් වන අතර, ඒ සඳහා කාෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතනවලින් අවසර ලබාගත යුතුය. ශාක හෝ ශාක කොටස් රටට ගෙනඒමට අවසර ලැබුණේ විද්‍යාත්මක පර්යේෂණ සඳහා පමණය. එහිදීත් එම ශාක හෝ ශාක කොටස් රටට ගෙන ඒමේදී නිරෝධාන කටයුතු (යම් අහිතකර ජීවීන් හෝ වෙනත් යමක් ඇත්නම් ඒවා හඳුනා ගෙන විනාශ කිරීම) අනිවාර්යය විය. එහෙත් ඉන්දුනීසියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වා නැවත ඉන්දියාවට යවනු ලබන මෙම කරුංකා ජාවාරමේදී වසර පහකට ආසන්න කාලයක් තුළදී සිදුවී තිබුණේ එම නිරෝධාන කටයුතුවලින් තොරව ඉන්දුනීසියාවෙන් ගෙන්වන කරුංකා කොළඹ වරායේදී වෙනත් කන්ටේනර්වලට පටවා ඉන්දියාවට යැවීමය.
කැබිනට් මණ්ඩල තීරණයට බලපෑ අනෙක් කාරණය වූයේ එම කරුංකා ශ්‍රී ලංකා ඉන්දියා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත කරුංකා වශයෙන් සඳහන් කර ඉන්දියාවට යවා මෙම ජාවාරම්කරුවන් බදු සහන ලබාගැනීමත් ඉන්දීය රජය ඒ පිළිබඳව අවස්ථා ගණනාවකදී ශ්‍රී ලංකා රජයට අවවාද සිදුකර තිබීමත්ය. එමගින් ඉන්දු ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ඉන්දියාවට යවනු ලබන ශ්‍රී ලංකාවේ අනෙකුත් කුළුබඩු වර්ගවලට තර්ජනයක් එල්ල වී තිබීමත්ය. පුදුමයකට මෙන් මෙසේ ඉන්දුනීසියාවෙන් ගෙන්වා ඉන්දියාවට යවන කරුංකා සඳහා ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත කරුංකා සහතිකය (Country of Origin) කර්මාන්ත අමාත්‍යාංශයෙන් කරුංකා ජාවාරම්කරුවන්ට එම සමයේ ලැබී තිබුණි.
ඉන්දු ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමට අයත් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත කරුංකා ඉන්දියාවට යැවීමේදී ඒ සඳහා බදු අයකිරීමක් සිදුනොකරන අතර ඉන්දුනීසියාවෙන් ඉන්දියාවට කරුංකා යැවීමේදී ඒ සඳහා බදු අයකිරීමක් සිදුකරයි. ඒ නිසා මෙම කරුංකා ජාවාරම සිදුවන්නේ ඉන්දුනීසියාවෙන් කරුංකා ශ්‍රී ලංකාවට ගෙන්වා ඒවා ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත කරුංකා වශයෙන් නම් කර ඉන්දියාවට යැවීම මගින්ය.
මෙතරම්ම සටකපට ජාවාරමක් නොවුණත් ඉන්දු ලංකා ගිවිසුම යටතේ පාම් ඔයිල් ඉන්දියාවට යැවීමේ ක්‍රමයක් මීට පෙර ඉතා සාර්ථකව ශ්‍රී ලංකාව තුළ සිදුවූ අතර පාම් ඔයිල් සඳහා ලබා දුන් එම සහනයද ඉන්දියාව අහෝසි කරනු ලැබූයේ ඉන්දීය ව්‍යාපාරිකයන් විසින් ශ්‍රී ලංකාවේ පාම් ඔයිල් කර්මාන්ත ශාලා ඇතිකර පාම් ඇට ශ්‍රී ලංකාවට ගෙන්වා ඒ මගින් පාම් ඔයිල් නිපදවා ඉන්දියාවට යැවීම අනාවරණය වීම නිසාය. එහිදී නම් ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවට වාසි කිහිපයක්ම අත්විය. එකක් එම ඉන්දීය ව්‍යාපාරික කර්මාන්ත ශාලා ආශ්‍රිතව ශ්‍රී ලාංකිකයනට රැකීරක්ෂා බිහිවීමය. ඒ මගින් ශ්‍රී ලංකා ආර්ථිකයට යම් දායකත්වයක් ලැබීමය.
කරුංකා ජාවාරමේදී මේ කිසිවක් සිදුවන්නේ නැත. රටේ රටවැසියන්ට ලැබෙන විශේෂ රැකියා අවස්ථා ප්‍රමාණයක් නැත. රටේ ආර්ථිකයට ලැබෙන විශේෂ දායකත්වයක්ද නැත. සිදුවන්නේ ජාවාරම්කාර අතරමැදි සමාගම් කිහිපයකට අයුතු ලාභ ලැබීමත්, ඒ සඳහා නීතියට පිටින් උදව් උපකාර කරන දේශපාලනඥයන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට එම වැඩකටයුතු වෙනුවෙන් අත යට මුදලක් ලැබීමත්ය.
අපනයන කටයුත්තක් සඳහා තාවකාලිකව ආනයන සඳහා වූ ටීඅයිඊපී බලපත්‍ර ලැබෙන්නේ ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය අධිකාරි ආයතනවල අවසර ලැබීමෙන් පසුවය. උදාහරණයකට කරුංකා සම්බන්ධ ටීඅයිඊපී බලපත්‍ර ගැන බැලුවහොත් ඒ සඳහා අනිවාර්යයෙන්ම අවසර ලැබිය යුතු ආයතන දෙකක් තිබේ. එකක් කර්මාන්ත අමාත්‍යාංශයය. එම අමාත්‍යාංශය සිදුකරන්නේ අදාළ ආනයනකරුට කරුංකා කොතරම් ප්‍රමාණයක් ආනයනයට අවසර ලබාදෙනවාද යන්න තීරණය කිරීමය. අනෙක කෘෂිකර්ම අමාත්‍යාංශයය. ඔවුන් කරන්නේ ශාක ආනයන බලපත්‍ර නිකුත් කිරීමය. සාමාන්‍ය ක්‍රමයට මෙම අවසර දෙකෙන් තොරව ශ්‍රී ලංකා රේගුවට කරුංකා සඳහා ටීඅයිඊපී බලපත්‍ර නිකුත් කිරීමේ හැකියාවක් නැත. මේ ආකාරයට ගෙන්වන කරුංකා නිරෝධායනයට ලක්කිරීමත්, ඒවා ඉන්දියාවට යැවීමට පෙර ශ්‍රී ලංකා නිෂ්පාදන වශයෙන් නාමකරණය කිරීමත් පසුව සිදුවන කටයුතුය.

karuna-ka-letter
මෙම ලිපියට පාදක වන කරුංකා ආනයන ටීඅයිඊපී බලපත්‍රවල ඇති සැකය ඉපැදී ඇත්තේ එම බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලියේ මුල් අවස්ථා සම්පූර්ණ නොවීමේ කරුණ මතය. ශ්‍රී ලංකා රේගුවේ කර්මාන්ත හා සේවා අංශයේ අධ්‍යක්ෂ පී. සමන් ද සිල්වා මේ ආකාරයට කරුංකා ආනයනයට ටීඅයිඊපී බලපත්‍ර අලුත් කර ඇත්තේ කොළඹ 10, ආනන්ද මාවතේ වයිට් පාක් ගාඞ්න්හි අංක 181/25 දරන ලිපිනයැති Commodities Importers, කොළඹ 03, ගාලු පාරේ අංක 377 a
F1 ලිපිනයැතිRM Holdings හා කොළඹ 12, වේල්ල වීදියේ, අංක 265 ලිපිනයැති Fancy Traders යන සමාගම් තුනටය. එම සමාගම් තුනට අදාළ බලපත්‍ර නිකුත් කර ඇත්තේ 2017 පෙබරවාරි 15 යන එකම දිනකදී වන අතර එම සමාගම් තුනම සිය බලපත්‍ර ඉල්ලීම් සිදුකර ඇත්තේද 2016 ඔක්තෝබර් 25 යන එකම දිනකදීය. එම බලපත්‍ර අනුව එම සමාගම් තුනට 2018 ජනවාරි 27 දක්වා කරුංකා ආනයනයට ඔවුන්ගේ බලපත්‍ර අලුත් කර ඇත.
මේ සම්බන්ධයෙන් සතියකට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳව මහතාගෙන් කරුණු විමසුවද ඔහු සාර්ථක පිළිතුරක් ලබා නොදුන් අතර පසුව ඔහු ප්‍රකාශ කළේ අදාළ රේගු අධ්‍යක්ෂවරයාට (සමන් ද සිල්වා) ලියුම්කරුට කතා කරන ලෙස දැනුම් දෙන බවය. ඒ සම්බන්ධයෙනුත් ප්‍රතිචාරයක් නොමැති විට කළ විමසීමකදී මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ පිළිතුර අවශ්‍ය ප්‍රශ්න ලිඛිත සටහනක් ලෙස ඔහුට යොමු කරන ලෙසය. ඒ අනුව අප ඇසූ ප්‍රශ්න දෙක මෙසේය.
1. කරුංකා ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් සමාගම් තුනකට ලබාදී ඇති ටීඅයිඊපී බලපත්‍ර සත්‍ය ඒවාද යන්න පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් ලිඛිතව කරුණු විමසා ඇත. ඒ සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ පිළිතුර කුමක්ද?
2. කරුංකා ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් අදාළ සමාගම් තුනට ටීඅයිඊපී බලපත්‍ර ලබාදී ඇත්නම් ඒ සඳහා කවර රාජ්‍ය අධිකාරියක් විසින් අනුමැතිය හෝ නිර්දේශ කරනු ලැබුවේද යන වග.
එම ප්‍රශ්න සම්බන්ධයෙන් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් පිළිතුරු ප්‍රමාද බැවින් අප ශ්‍රී ලංකා රේගුවේ කර්මාන්ත හා සේවා අංශයේ රේගු අධිකාරි අක්කාර් හසන් මහතාගෙන් ඒ පිළිබඳව විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ එය ඔහුට සම්බන්ධ නැති බැවින් ටීෆ් අංශයට කතා කරන ලෙසය. ටීෆ් අංශයේ දුරකතන අංක හෝ වගකිවයුත්තා කවුදැයි විමසුවද ඔහු ඊට පිළිතුරු නොදී දුරකතන සම්බන්ධතාව විසන්ධි කළේය. පසුව අප රේගුවේ කර්මාන්ත හා සේවා අංශයේ අධ්‍යක්ෂ සමන් ද සිල්වා මහතාට දුරකතන ඇමතුමක් ලබා ගත් අතර ඔහු ප්‍රකාශ කළේ අපගේ ප්‍රශ්න ඔහුට ලැබී ඇති බවත්, ඒ සඳහා ලබාදෙන පිළිතුරු රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා මගින් ලබාගත හැකි බවත්ය. දුරකතනය ඔස්සේ එම පිළිතුරු ලබාදෙන ලෙස ඉල්ලුවද ඔහු ඊට සාර්ථක ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.
කෙසේ වෙතත් මෙම කරුණ පිළිබඳව පසුගිය සතියේ ප්‍රවෘත්තියට අදාළව අප කරන ලද විමසීමකදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් බී. විජේරත්න ප්‍රකාශ කළේ කරුංකා ආනයනය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය කිසිදු නිර්දේශයක් කවර හෝ සමාගමකට ලබාදී නැති බවය. එමෙන්ම කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චින්තන එස්. ලොකුහෙට්ටි පැවසුවේද කරුංකා ආනයනය සඳහා කිසිදු අලුත් බලපත්‍රයක් එම අමාත්‍යාංශය ලබාදී නැති බවයි.
ඒ අනුව බරපතළම ප්‍රශ්නය පැන නගින්නේ අදාළ සමාගම් තුනට කරුංකා ආනයනය සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් ටීඅයිඊපී බලපත්‍ර ලබා දුන්නේ කවර රාජ්‍ය අධිකාරියක නිර්දේශ මතද යන්නයි. එසේම තවදුරටත් ශ්‍රී ලංකා රේගුවේ අපගේ ආරංචි මාර්ග සනාථ කරන්නේ අදාළ සමාගම් තුනට කරුංකා ආනයනය කිරීම සඳහා මීට පෙරද ටීඅයිඊපී බලපත්‍ර නොතිබූ බවයි. එම සමාගම් සිදුකර ඇත්තේ වයඹ ටේ්‍රඩර්ස් ආයතනය ආනයනය කරන ලද කරුංකා ඉන්දියාවට පැටවීමේ හෙවත් අපනයනය කිරීමේ කාර්යය පමණය. ඒ අනුව එම සමාගම්වලට මීට පෙර තිබී ඇත්තේ කරුංකා අපනයනයවලට අදාළ ටීඅයිඊපී බලපත්‍ර පමණය. ඒ අනුව ගත් කල කරුංකා අපනයනකරුවන්ගේ බලපත්‍ර අලුත් වුවද ඒවා කරුංකා ආනයන බලපත්‍ර වශයෙන් අලුත් වීමට කිසිදු ඉඩකඩක් හෝ සාධාරණ හේතුවක් නැත.
ඒ නිසාම මෙම කරුංකා ආනයන බලපත් නිකුත් කිරීම එම ජාවාරම සඳහා යොදාගත් පළමු පියවරක් බව පැහැදිලිය. මෙවැනි ජාවාරම් මේ ආකාරයට බියෙන් සැකෙන් තොරව සිදුවන්නේ කුමක් නිසාද? පෙර සඳහන් කළාක් මෙන් පැහැදිලිවම එය ජාවාරම සඳහා සහාය දෙන සම්බන්ධ වන දේශපාලනඥයන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට තුටුපඬුරු හෙවත් සංතෝසම් හෝ ගිවිසගත් ලාභ හෝ කොමිස් මුදල් ප්‍රමාණය ලබාදීම යන අත යට ගනුදෙනු නිසා සිදුවන්නක්ය.
මෙම කරුංකා ජාවාරමේදී ඉන්දුනීසියාවෙන් කරුංකා ආනයනය එක් සමාගමක් විසිනුත් ඉන්දියාවට කරුංකා අපනයනය තවත් සමාගම් විසිනුත් සිදුකරන්නේ ඉන්දියාවේ උකුසු ඇසට මෙම ජාවාරම හසුවීම වළක්වනු සඳහාය. අපට ඇති තොරතුරු අනුව ඉන්දුනීසියාවේ සිට ශ්‍රී ලංකාවට කරුංකා එවනු ලබන්නේ ඉන්දීය ව්‍යාපාරිකයන් විසින්ය. කරුංකා ආනයනය කරනවායැ’යි කියන ශ්‍රී ලංකාවේ සමාගම් එම ආනයනයන්ට අදාළ මුදල් ඉන්දුනීසියාවට යවන්නේ නැත. ඒ වාගේම ඉන්දියාවට කරුංකා යැවීමෙන් රටට ලැබිය යුතු මුදල්ද රටට ලැබෙන්නේ නැත. අදාළ නාමික ආනයන අපනයන සමාගම්වලට ලැබෙන්නේ කොමිස් මුදලක් පමණය. මෙම කරුංකා ජාවාරම නිවැරදිව හෙළිදරව් කරගත යුතු නම් ශ්‍රී ලංකා රේගුවේ විමර්ශන අංශ හෝ රටේ අනෙකුත් විමර්ශන අංශ සිදුකළ යුත්තේ කරුංකා ආනයනය කළ තරමටම ඒ සඳහා වූ මුදල් අදාළ සමාගම් මේ රටින් ඉන්දුනීසියාවට යවා ඇත්ද යන්න හා කරුංකා අපනයනය කළ තරමටම ඒ සඳහා ලැබිය යුතු මුදල් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇත්ද යන්න සොයා බැලීමය.
කෙසේ වෙතත් අවසානයේ වත්මන් යහපාලන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයෙන් අපට අසන්නට ඇති ප්‍රශ්නය වන්නේ කැබිනට් මණ්ඩල තීරණයකින් තොරව කරුංකා ආනයනය සඳහා නීති විරෝධී අයුරින් හෝ වංචාසහගතව කවුරුන් හෝ අවසර ලබාදී ඇත්නම් ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද යන්නය.■