Untitled-1

Untitled-1

අධ්‍යාපනයේ නිදහස සහ සයිටම් පටලැවිල්ල (1)


gamini

සයිටම් උපාධි ආයතනය යනු, එක පැත්තකින් යම් සමාජ අවශ්‍යතාවක් ද, තවත් පැත්තකින් අක්‍රමිකතා ගණනාවක ද සංයෝගයකි. එය ලියාපදිංචි කරන අවස්ථාවේ සයිටම් යන සංක්ෂිප්ත නාමයේ අවසාන අක්ෂරය වන ‘එම්’ යන්නෙන් කළමනාකරණය යන අරුත අදහස් කෙරී ඇති අතර පසුව එය ‘වෛද්‍ය විද්‍යා’ යන්නට මාරු වී ඇත. ඉංග්‍රීසි භාෂාවේ මේ වචන දෙකම පටන් ගැනෙන්නේ ‘එම්’ අක්ෂරයෙනි. මෙම අකුර මුලින් පෙනී සිටි වචනය මාරු කිරීම සයිටම් බලධාරීන් දැනුවත්ව කළ කූඨ ක්‍රියාවක් වීමට හොඳටම ඉඩ තිබේ.
ඊළඟට, මේ ආයතනය පිහිටුවන අවස්ථාවේ, පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය කෙරෙහි කිසි විරෝධයක්, වෛද්‍ය පීඨවලින්වත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන්වත්, ශිෂ්‍ය ප්‍රජාව අතරින්වත් මතු නොවීම හේතු කොටගෙන, සයිටම් බලධාරීන්ට හිතුමතේ වැඩ කිරීමේ අවසරයක් සැපයෙන්ටත් ඇති. ඊට වගකිව යුත්තේ, සයිටම් බලධාරීන් නොව, එදා මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂගේ යකඩ පාලනය යටතේ හීලෑ වී සිටි සහ එම පාලනයට ස්වේච්ඡාවෙන් අනුගතව සිටි වර්තමාන ‘වීරයන්’ ය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එහි දී කැපී පෙනේ. මහාචාර්ය කාලෝ ෆොන්සේකා, හිටපු ජනාධිපතිවරයා වරක් අරලියගහ මැදුරට කැඳවා ඔහු වෛද්‍ය සංගමයේ සභාපති වශයෙන් පත්කරන අවස්ථාවේ, සයිටම් ආයතනය බලාකියා ගැනීම සඳහා ඔහු එම තනතුරට පත්කරන බව පැහැදිලිව කියා සිටි බවට සාක්ෂි තිබේ. පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය හෝ සයිටම් ආයතනය, ක්‍රම-විරෝධී අසාධාරණ සැකැස්මක් නම් මහාචාර්ය කාලෝ ෆොන්සේකා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එදා එම මොහොතේම එය නොබියව කිව යුතුව තිබුණි. එහෙත් ඔහු කටක් ඇර ඒ ගැන කිසිවක් කියූ බවට සාක්ෂි නැත.
කෙසේ වෙතත්, සයිටම් අර්බුදය විසඳා ගැනීමේ අවස්ථා ගණනාවක් මීට පෙර උදාව තිබුණි. එම ආයතනය ලබා දෙන වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය, විශේෂයෙන් සායනික පුහුණුව එම ශිෂ්‍යයන්ට ප්‍රමාණවත් පරිද්දෙන් නොලැබීම ආදි කරුණුවලට විසඳුමක්, දස දහස් ගණන් දුප්පත් රෝගීන් දිනපතා ප්‍රතිකාර පතා පැමිණෙන, බරපතළ වෛද්‍ය හිඟයක් ඇති රජයේ රෝහල්වලින් ලබා දිය හැකිව තිබුණි. එහෙත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊට ඉඩ නොදුන්නේය. රාජ්‍ය සෞඛ්‍ය අංශයේම සේවය කරන හෙදියකට එම සේවයේ උපාධිධාරිනියක වීම දක්වා අධ්‍යාපනයක් ලබා දිය යුතු නැතැයි කියන වෛද්‍ය සංගමයකින් ඊට වැඩි දෙයක් අපට බලාපොරොත්තු වන්ට පුළුවන්කමක් ඇත්තේත් නැත.
සම්මත අපොස උසස් පෙළ විභාගයෙන් වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්නා එක ශිෂ්‍යයෙකු හෝ එළියේ සිටියදී, ඔහුට වඩා අඩු ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නා වෙනත් කෙනෙකු විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගන්නා ක්‍රමයක්, ප්‍රමිතියේ ආදර්ශයක් වශයෙන් ගැනීම කුහකකමකි. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ‘ඒ’ තුනක් ලබා ගත් ශිෂ්‍යයෙකු වෙනුවට, මොනරාගල ‘බී’ තුනක් ලබා ගත් ශිෂ්‍යයෙකු වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීම, මූලික සමාජ අසාධාරණයක් නිවැරදි කර ගැනීමේ එල්ලය ඇතිව ගත්, එක්තරා ආකාරයක ‘සාධාරණ’ ක්‍රමයක් යැයි සිතාගත හැකිව තිබූ යම් කාලයක් තිබුණි. කොළඹ ආනන්දයේ පහසුකම්
මොනරාගල දුෂ්කර පාසලක නොමැති වීම ඇතුළු රජයේ පාසල් පද්ධතිය තුළ පැවති අසමානත්වයක් සමනය කර ගැනීම එහි අරමුණ විය. එහෙත් අද වන විට, කොළඹ ආනන්දයේ වේවා, වෙනත් හද්ද පිටිසරක වේවා, අපොස උසස් පෙළ ශිෂ්‍ය පරම්පරාව වූ කලි පෞද්ගලික ටියුෂන් පරම්පරාවක් වන හෙයින්, ඒ සියල්ලෝම, රාජ්‍ය අංශයට පිටතින් ‘සමානයන්’ බවට පත්ව ඇත්තාහ. අනිත් අතට, කොළඹ ආනන්දයෙන් කිලෝ මීටර් එකක විෂ්කම්භයක් තුළ, මොනරාගල පාසලක තරම්වත් පහසුකම් නැති පාසල් දුසිම් ගණනක් වුව සොයා දීමට පුළුවන්කමත් තිබේ. එම නිසා මොන අතකින් ගත්තත්, ඊනියා දුෂ්කර පළාත්වලට මේ තෝරා ගැනීමේදී විශේෂ සැලකිල්ලක් දැක්වීම, එදා කෙසේ වෙතත්, අද නම් නොම්මර එකේ තක්කඩි විකාරයක් වී ඇති බව කිව යුතුය. අද පාරවල් ගානේ මඩු ගහගෙන උපවාස කරන බොහෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, එකී ‘මොනරාගල වරප්‍රසාදය’ යටතේ විශ්වවිද්‍යාලයට තේරී පත් වූ ශිෂ්‍යයන් වන තත්වයක් තුළ, තමා නොවන අනිකා ‘හොර දොස්තරෙක්’ යැයි හෝ තමාගේ නොවන අනිත් අධ්‍යාපනික ආතයනයක් ’උපාධි කඩයක්’ යැයි ඇඟිල්ල දිගු කිරීම තුළ යම් අමානුෂිකත්වයක් ද තිබේ.
කෙසේ වෙතත්, අදාළ පරදු දරන්නන්ගේ (දොස්තර නෙවිල් ප්‍රනාන්දු, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ පොදුවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ) සමාජ සහ මානුෂීය ආකල්ප තුළ දක්නට ඇති ඉහත කී සීමාවන් ගැන කතා කිරීම දැනට අපි පසෙකින් තබමු. ඇත්ත වශයෙන්ම සැලකිල්ලට ගත යුතු ප්‍රශ්නය වන්නේ, ප්‍රතිපත්තිමය කාරණයකි. රාජ්‍ය ප්‍රතිපත්තියක් සැකසෙන්නේ පාලකයන්ගේ ආකල්පවලින් පමණක්ම නොවේ, රාජ්‍යයක් සතු ශක්තියත් රාජ්‍ය ප්‍රතිපත්තිවලට බලපායි. හෝඩියේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා විභාග සමත් වන සියල්ලන්ට නොමිලේ අඛණ්ඩ අධ්‍යාපනයක් සැපයීමට ශක්තියක් ප්‍රංශ රජයට තිබේ. එබැවින්, හෝඩිය පංතිය සමත් සියලු ශිෂ්‍යයන් දෙවැනි ශ්‍රේණියට ඇතුළත් කර ගන්නා පරිද්දෙන්ම, අපොස උසස් පෙළ සමත් සියලු ශිෂ්‍යයන් එම රටේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගනු ලැබේ. හෝඩියේ සිට අපොස උසස් පෙළ දක්වා ලංකාවේ තත්වයත් එයම වුවත්, එතැන් පටන් ලංකාවේ අපොස උසස් පෙළ සමත් 157000ක් වන ශිෂ්‍ය ප්‍රමාණයකින් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගනු ලබන්නේ 27,000 ක් පමණි. එනම්, අපොස සමත් එක්ලක්ෂ තිස් දහසක් හැම අවුරුද්දකම පාරට වැටෙන බව ය. මෙහි අරුත කුමක් ද? ලංකාවේ ‘නිදහස් අධ්‍යාපනය’ පවතින්නේ අපොස උසස් පෙළ දක්වා පමණක් වන බවයි.
බැවහැර ඥානයෙන් ගත් විට, ‘නිදහස් අධ්‍යාපනය’ යනුවෙන් ගැනෙන්නේ, නොමිලේ සැපයෙන අධ්‍යාපනයයි. නිදහස් අධ්‍යාපනයේ පියා වන කන්නන්ගර නිදහස් අධ්‍යාපනය යනුවෙන් අදහස් කෙළේ ඊට වඩා සංකීර්ණ දෙයකි. එදා, ශක්තිමත් මැද පංතියක් වර්ධනය වී නොතිබුණු තත්වයක් තුළ, ඉසුරුමත් පංතියකට පමණක් දැරිය හැකිව පැවති අධ්‍යාපන අවස්ථාව සියලු ජනතාවට ලබා දීම ඔහුගේ මූලික අරමුණ විය. මෙය හෝඩියේ සිට උපාධිය දක්වා සියල්ලන්ට එක සේ ක්‍රියාත්මක කිරීම මුලදී ප්‍රශ්නයක් නොවුණි. එහෙත්, ජනගහනය වැඩි වත්ම, රාජ්‍ය අංශයේ ප්‍රාථමික සහ ද්විතීයක අධ්‍යාපනයේ අවස්ථා පුළුල් වෙත්ම, ආර්ථික වශයෙන් නඩත්තු කළ නොහැකි බරක්, තෘතීය අධ්‍යාපනය තුළ වැඩෙන්ට විය. අනිත් පැත්තෙන් උසස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ ලද බහුතරය ආර්ථිකයට උරාගත නොහැකි මට්ටමක් කෙමෙන් වර්ධනය විය. ‘රැකියා විරහිත උපාධිධාරියා’ බිහි වීමත් සමග, නිදහස් අධ්‍යාපනය තුළ පැවති ප්‍රයෝජ්‍ය අරුතින් අඩක්ම විකෘති විය. 56 සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ විප්ලවය සහ මේ රැකියා විරහිත උපාධිධාරියා අතර සෘජු සම්බන්ධයක් තිබේ. අද වන විට, රජයේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලත් දහස් ගණන් තරුණ තරුණියන් රැකියා විරහිතව සිටියදී, පෞද්ගලික අංශයෙන් උසස් අධ්‍යාපනය ලද ශිෂ්‍යයෙකු වඩාත් පහසුවෙන් රැකියා වෙළඳ පොළට උකහා ගැනීමෙන් පෙනී යන්නේ එයයි.
ප්‍රංශයේ මෙන් ලංකාවේත් අපොස උසස් පෙළ සමත් වන සියලු සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට තව දශක කීයකින් හැකි වේදැ යි සැක සහිත ය. එය තීරණය වන්නේ රාජ්‍යයක් සතු ආර්ථික ශක්තිය මත ය. ලංකාවේ රාජ්‍ය ආදායම, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් අඩුම අගයක් පෙන්නුම් කරන රටකි. රජයේ ආදායමින් සියයට 90 ක් සැපයෙන්නේ බදුවලිනි. 1978 ලංකා රජයේ බදු ආදායම, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 24.2 ක් විය. මෙය, 2013 වන විට සියයට 11.6 දක්වා පහළ වැටුණි. බදු ආදායම් ප්‍රතිශතය මෙසේ පහළ වැටීමේ විවිධ හේතු ඇතත්, සාමාන්‍යයෙන් රටක සිද්ධ වන්නේ, සමස්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයත් සමග රජයක් උපයා ගන්නා බදු ආදායමත් ඉහළ යාමයි. එහෙත් ලංකාවේ සිදුව ඇත්තේ එහි අනෙක් පැත්තයි. 1995 දී ඩොලර් 720 ක් වූ ලංකාවේ ඒක පුද්ගල ආදායම, 2009 වන විට ඩොලර් 2053 ක් දක්වා වර්ධනය විය. එහෙත් මේ කාලය තුළ රජයේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 20.4 සිට 14.6 දක්වා පහළ වැටී ඇත. මේ සමග ප්‍රංශය සන්සන්දනයට ගතහොත්, එරට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් රජයේ බදු ආදායම සියයට 45 ක් වන්නේය. හෝඩියේ සිට උපාධිය දක්වා එරට අධ්‍යාපනය සැමට නිදහස් එකක් වීමට එක හේතුවක් එයයි.■
(ඉතිරිය ඉදිරියට)