නාවික ‘රණවිරුවන්’ කළ අපරාධවල තවත් තොරතුරු |මරා, බඩ කපා, කම්බි කණු බැඳ, මුහුද මැදට දැමූ හැටි


navy

අරුණ ජයවර්ධන

කප්පම් ලබාගැනීම සඳහා අහිංසක යන් පැහැරගෙන ගොස් මරාදැමූ බවට චෝදනා ඇති නාවික හමුදා සාමාජිකයන් බේරාගැනීමේ මෙහෙයුම දිගින් දිගටම ක්‍රියාත්මක වෙයි. හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, වත්මන් නාවික හමුදාපති මෙන්ම ශ්‍රීලනිප ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකුද ඇතුළු පිරිසක් මේ සඳහා දිවා රෑ නොබලා වෙහෙස වෙමින් සිටිති. අතුරලියේ රතන හිමිද පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින්, මේ අපරාධ චෝදනා ලැබූවන් ආරක්‍ෂා කරගැනීමේ මෙහෙයුමට එකතු විය.
මේ චූදිතයන් බේරාගැනීමේ මෙහෙයුමේ පළමුවැනි පියවර, ඔවුන් රණවිරුවන් හැටියට වීරත්වයට නංවා, යුද්ධය කාලයේ අහවල් අහවල් ත්‍රස්තවාදීන්, අහවල් ඝාතන ප්‍රයත්නයන් හා අහවල් ආයුධ තොග සොයා ගැනීමට මේ අය මුල්වුණ බවත්, ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්නට හැකිවුණේ මේ වීරයන් නිසා බවත්, බොරු අපරාධවලට ඔවුන් පටලවා හිරගෙයි ලෑමට යන්නේ දේශද්‍රෝහී කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් හැටියට බවත් ලෝකයාට නැවතත් කියාපෑමය.
දෙවැනි පියවර, මේ අපරාධ ගැන පරීක්‍ෂණ පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ඉතා මත් දක්‍ෂ නිලධාරීන්, මේ පරීක්‍ෂණ පවත්වන්නේ කිසිවකුගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් හැටියටයැ’යි ලේබල් කොට ඒ නිලධාරීන් අධෛර්යමත් කර, පරීක්‍ෂණ පැවැත්වීමෙන් ඔවුන් ඉවත් කර තැබීමට හෝ මේ රාජකාරිවලින් ඔවුන් වෙනත් තැන්වලට මාරුකිරීමට හෝ උත්සාහ කිරීමය. ඔවුන්ට අනුව, එකී විමර්ශන නිලධාරීහු එල්ටීටීඊයේ හෝ දේශද්‍රෝහී කුමන්ත්‍රණකරුවන්ගේ බළල් අත්ය. ඉතාමත්ම භයානක තුන්වැනි පියවර නම්, පරීක්‍ෂණ සම්බන්ධයෙන් බලපෑමක් කළ හැකි රටේ දේශපාලන නායකයන් හා වෙනත් පුද්ගලයන් ලවා මේ අපරාධ පරීක්‍ෂණ අත්හිටුවන්නට බලපෑම් කිරීමය.
එහෙත්, මේ කර ඇත්තේ සමාව දිය හැකි අපරාධ නොවේ. යුද්ධයට හෝ එල්ටීටීයට හෝ ත්‍රස්තවාදයට හෝ කිසිම සම්බන්ධයක් නැති, පාසල් සමය නිමාකළ වහාම වයසේ හිරිමල් තරුණයන් ඇතුළු අහිංසකයන් පැහැරගෙන ගොස් රඳවාගෙන කප්පම් ලබාගැනීමේ නිහීන අපරාධයකි ඔවුන් කර ඇත්තේ.

ආරම්භය කරන්නාගොඩගේ
අපරාධ වැල ගැන තොරතුරු පෑදෙන්නේ එවකට නාවික හමුදාපති වසන්ත ජයදේව කරන්නාගොඩ, පොලිස් මූලස්ථානයේ අපරාධ කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති වෙත 2009 මැයි 28වැනි දින ලිඛිතව කරන පැමිණිල්ල නිසාය. සිය පුද්ගලික ආරක්‍ෂක නිලධාරියා වූ හිටපු ලුතිනන් සම්පත් මුණසිංහ නාවික හමුදාවේ සක්‍රිය සේවයේ යෙදී සිටිමින්ම එල්ටීටීඊය සමඟ ඍජුව හෝ වක්‍රව සම්බන්ධතා පවත්වන බවට වූ සැකයක් මත ඒ ගැන විමර්ශනයක් කරන ලෙස කරන්නාගොඩ කළ පැමිණිල්ල අනුව, කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශන ඇරඹීය. එහි ප්‍රතිඵලයක් ලෙස 2009 ජුනි 10වැනි දින සම්පත් මුණසිංහ සීඅයිඩීය විසින් අත්අඩංගුවට ගන්නා ලදි. ඒ වන විටත්, නාවික හමුදා මූලස්ථානයේ නිලධාරි නිවස්නයේ කාමර අංක 8 වන, සැකකරුගේ නිවස්නය නාවික හමුදාවේ විනයාරක්‍ෂක අංශය විසින් පරීක්‍ෂා කොට තිබුණු අතර, මීට ඉහත රාවයේ පළවී ඇති පරිදි ජාතික හැඳුනුම්පත්, විදෙස් ගමන් බලපත්‍ර, ජංගම දුරකථන, සහ ජීව උණ්ඩ යනාදි භාණ්ඩ එතුළ තිබී සොයාගෙන තිබුණි.
එහි තිබුණු ජාතික හැඳුනුම්පත් ගැන සොයා බැලූ විට දැනගන්නට ලැබුණේ ඒවා ඊට ආසන්න කාලයේදී කොළඹදී හා අවට ප්‍රදේශවලදී අතුරුදන් වුණු බවට පොලිසියට පැමිණිලි ලැබී ඇති පුද්ගලයන්ගේ හැඳුනුම්පත් බවයි.
ඉන් එක් හැඳුනුම්පතක් හා විදේශ ගමන් බලපත්‍රය, අංක 47/1, අරිප්පු, නැගෙනහිර අරිප්පු ලිපිනයේ පදිංචි රොෂාන් ලියොන්ගේය. එක්සත් රාජධානියට යෑම සඳහා වීසා ලබාගැනීමට මයික් හෝගන් නමැති විදේශිකයා සමඟ පැමිණ අංක 82/73සී, රාමනාදන් මහල් නිවාස, කොටහේන, කොළඹ 13 ලිපිනයේ පදිංචිව සිටියදී 2008 අගෝස්තු 25වැනිදා අවි ගත් නාඳුනන පුද්ගලයන් පිරිසක් විසින් ඔහු පැහැරගෙන ගොස් තිබුණි. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 21ක් පමණකි. ඔහු සමඟ එදින ඔහුගේ පියා වූ, අමලන් ලියොන්ද පැහැරගනු ලැබ තිබිණ. අමලන් ලියොන් ඒ වන විට සිටියේ 50වැනි වියෙහිය.
තවත් හැඳුනුම්පතක් හිමි ත්‍යාගරාජා ජෙගන්ටය. ඔහු ත්‍රිකුණාමලයේ, ලිංග නගර්හි අංක 42 ලිපිනයේ පදිංචිව සිටියෙකි. කොළඹ 13, ස්වර්ණාභරණ වෙළෙඳ සැලක සේවය කරමින් සිටියදී 2008 අවුරුද්දේ ඔහුත් පැහැරගෙන ගොස් තිබුණි. පැහැරගෙන මාස 2කට පමණ පසු ත්‍රිකුණාමලයේ ඔහුගේ අම්මාගේ නිවෙසට කතාකළ අන්නාච්චි නම් පුද්ගලයෙක්, ත්‍යාගරාජා ජෙගන් තමන් භාරයේ සිටින බවත්, ඔහු මුදාහැරීමට දින දහයක් තුළ රුපියල් ලක්‍ෂ 10ක් දිය යුතු බවත් කීවේය. එක් අවස්ථාවක අන්නාච්චිගේ දුරකථනයෙන් සිය අම්මා ඇමතූ ජෙගන්, තමා නාවික හමුදා කඳවුරක රඳවා සිටින බව අම්මාට කීවේය. ඉල්ලන මුදලක් ලබාදී තමා බේරාගන්නා ලෙසද අම්මාගෙන් ඉල්ලා සිටියේය. ලක්‍ෂ 10ක් හොයාගන්නට තමන්ට හැකියාවක් නැති බව ජෙගන්ගේ මව අන්නාච්චිට කී විට ලක්‍ෂ 8කට ගණන අඩුකරන ලදි. මේ අම්මා, තමාගේද ඥාතීන්ගේද රත්තරන් බඩු උකස් කර හා පොලියට ලබාගත් මුදල් එකතු කර රුපියල් ලක්‍ෂ 5ක් හදාගෙන පුතා බේරාගැනීමට සූදානම් වුණේය. අම්මා ඇගේ දියණියත් සමඟ තඹලගමුවට ගියේ සල්ලි දී පුතා බේරාගෙන ඒමටය. එතෙක් ඇය ඇමතූ අන්නාච්චිගේ අංකයෙන්ම කතාකර තඹලගමුවේදී ඔවුන් හමුවට යතුරු පැදියකින් ආ දෙදෙනෙක් ගිනි අවි පෙන්වා රුපියල් ලක්‍ෂ 5 පැහැරගෙන ගියෝය. පුතා නොලැබිණි.
සම්පත් මුණසිංහගේ නිවස්නයේ තිබී හමුවුණු තවත් ජාතික හැඳුනුම්පතක හිමිකරු, කොළඹ 13, රත්නම් පාරේ පදිංචිව සිටි කස්තුරි ආරච්චිගේ ඇන්ටන්ය. වයස අවුරුදු 48කි. ඔහු කොළඹ ශාන්ත ජෝන් මාළු වෙළඳසැලේ සේවය කළේය. 2008 ඔක්තෝබර් 10වැනිදා, පාන්දර රැකියාවට යෑමට ඔහු සූදානම්වන විට, හමුදා ඇඳුමට සමාන කැළෑ ඇඳුම් ඇඳ සිටි පිරිසක් පැමිණ ඔහු කොටුව පොලිසියට රැගෙන යන බව පවසා ගෙනගොස් ඇත. කොටුව පොලිසියෙන් ඇන්ටන් ගැන විමසූ බිරිඳට දැනගන්නට ලැබුණේ එවැන්නකු එහි රැගෙන විත් නැති බවයි.
ඇන්ටන් පැහැරගෙන යෑමට මාසයකට පමණ පෙරදී ඔහුගේ පුත් කස්තුරිආරච්චිගේ ජෝන් රිඞ්ද පැහැරගන්නා ලදි. ඒ සිය පෙම්වතිය සමඟ 56-5539 දරන වෑන් රියෙන් ගමන්කරමින් සිටියදීය. වාහනයට නැගුණු පිරිසක් පෙම්වතිය අතරමග දමා ජෝන් රිඞ් පැහැරගෙන ගියෝය. පිය පුතු දෙදෙනාම පැහැර ගැනුණු පසු, ඇන්ටන්ගේ නිවෙසට, ඔහුගේ බිරිඳට දුරකථනයෙන් කතාකළ කිසිවෙක්, ‘ඔයාගේ මහත්තයායි පුතායි දෙන්නම අපි ළඟ ඉන්නවායැ’යි කියා ඇත. පුතා සමග කතාකිරීමට ඇය අවස්ථාවක් ඉල්ලා සිටි නමුත් ලැබුණේ නැත. එහෙත්, පසුදිනෙක නැවතත් ඇමතුමක් ලැබුණි. එදින ඇමතුම ගත් පුද්ගලයා, පසෙක සිටියායැයි සිතිය හැකි පුරුෂයා සහ පුතා සමඟ කතාකරනු ඇයට අසන්නට ලැබිණි.
දිගටම මේ පුද්ගලයා ඇය ඇමතූ අතර, දෙදෙනා මුදාහැරීමට ලක්‍ෂ 15ක් අවශ්‍ය බව ඔහු කීවේය. ලක්‍ෂ 5ක් නම් දිය හැකි බවට දැන්වූ විට, මුදල්ද ගෙන මාර්ග අංක 5 බස්රථයෙන් කුරුණෑගලට පැමිණෙන ලෙස දන්වා තිබේ. මිතුරු කාන්තාවක සමග කුරුණෑගලට ගොස් අදාළ දුරකථනයට ඇමතුමක් ගත්විට නාරම්මලට එන ලෙස දන්වා තිබේ. නාරම්මලින් කඩහපොලට ත්‍රීවීලරයකින් පැමිණෙන ලෙස දන්වා තිබේ. එහිදී රුපියල් ලක්‍ෂ 5 කිසිවකු පැමිණ ලබාගත් නමුත් පිය පුතු දෙදෙනා මුදාහැරුණේ නැත.
මීට පෙරද රාවය හෙළිකර ඇති පරිදි, මේ සැකකරුවන් විසින් පැහැරගන්නා ලද යෞවනයන් පස්දෙනාගෙන් රජීව් නාගනාදන්, කොළඹ 7, ග්‍රෙගරි පාරේ, කොළඹ ජාත්‍යන්තර පාසලෙන් උසස් පෙළ දක්වා ඉගෙනගෙන එක්සත් රාජධානියට වෛi විද්‍යාව හැදෑරීමට පිටත්ව යා යුතුව තිබුණේ 2009 සැප්තැම්බර් 18වැනිදාය. ඊට පෙර දින, 17වැනිදා, ඔහුත් සමඟ ඔහුගේ කළු පාට ටාටා ඉන්ඩිගෝ වර්ගයේ කාරයේ නැගී ගිය යහළුවෝ හතරදෙනාද දෙහිවලදී පැහැරගැනුණාහ. ඒ ඔවුන්ගේ වාහනයත් සමඟය. බම්බලපිටියේ ස්ලීක් සැලුන් වෙත යෑමට නිවෙසින් පිටත්වුණු මිතුරන් පස්දෙනා යම් මොහොතක දෙහිවලට ගියෝය. ඒ අලි අන්වර්ගේ කැඳවීමටය.

අලි අන්වර්
අලි අන්වර් හෙවත් හාජියාර් වෘත්තීය ඔත්තුකරුවෙකි. ඔහු නාවික හමුදාවට මෙන්ම පොලිසියටද ඔත්තු සැපයුවේය. අන්වර් නාවික හමුදාවේ මෙන්ම පොලිසියේද ‘ගෙවීම් ලැයිස්තුවේ (පේ ෂීට්)’ සිටි අයෙකි. ඔහු සම්බන්ධකම් පැවැත්වුවේ සම්පත් මුණසිංහ සමගය. අලි අන්වර්, රජීව් නාගනාදන්ගේ මිත්‍රයකු වූ මොහොමඞ් සාජින් (ඔහුද රජීව් සමඟම පැහැරගන්නා ලදි.) මාර්ගයෙන් රජීව් සමග මිත්‍රවිය. රජීව්ගේ තාත්තාට සල්ලි තියෙනවාද, ඔහු බිස්නස් කරනවාද යනාදි තොරතුරු ඒ යහළුකම හරහා ලබාගන්නට අන්වර් සමත් විය.
මේ විමර්ශනයේදී අන්වර්ගේ සහෝදරයකු වූ සිරාජ් අලි සීඅයිඩීයට ප්‍රකාශයක් කළේය. ‘2008-9 කාලයේ අන්වර් නිවෙසට වී කල්පනා කර කර හිටිය නිසා මම ඇයි කියලා ඇහුවා. සම්පත් සර්ට තොරතුරු දීලා කට්ටියක් අල්ලලා දුන්නා. ඒ කොල්ලෝ කට්ටිය අතර ඇමතිලා දන්න (එවකට ධීවර ඇමති ෆීලික්ස් පෙරේරා) කොල්ලෙක් ඉන්නවා. ඒ කොල්ලාව නිදහස් කරන්න කෝටියක් ඉල්ලනවා. මම ඒකට අකමැති බව කිව්වා. සම්පත් සර් කියනවා කෝටියක් අරගෙන බෙදාගනිමු කියලා අන්වර් මට කිව්වා.’
මේ සිදුවීමෙන් පසු අන්වර්ගේ සහෝදරයා සිංගප්පූරුවට ගියේය. යළි ආවේ 2009 මාර්තු 20වැනි දිනය. ඒ වන විට අලි අන්වර් අතුරුදන්ව සිටියේය. ඇත්ත වශයෙන්ම ඔහුද සම්පත් මුණසිංහ ඇතුළු කල්ලිය විසින් පැහැරගෙන ගොස් තිබුණි. මාර්තු 23වැනිදා සිරාජ්ගේ දුරකථනයට ඇමතුමක් අවේය. ඒ අලි අන්වර්ගෙනි. උඹ කොහේද ඉන්නේයැයි සිරාජ්, අලි අන්වර්ගෙන් ඇසුවේය. ‘ත්‍රිකුණාමලයේ නේවි බේස් එකේ. මුහුද යට තමයි මම ඉන්නේ. ලෙෆ්ටිනන්ට් සම්පත් මාව අල්ලාගත්තා. මාව කොහොම හරි බේරාගනින්. ඩීඅයිජී කමල්ඩීන් මහත්තයාට කියපං.’ අන්වර් කලබලයෙන් කීවේය. නැවතත් 2009 ජුනි 26දින අලි අන්වර් සිය සහෝදරයාට කතාකළේය. ‘මම කොල්ලෙකුගේ ෆෝන් එකකින් තමයි මේ කාටත් හොරෙන් කතාකළේ. මාව තියාගෙන ඉන්න අන්තිම දවස අදයි. මාව කොහොමහරි බේරා ගනින්යැ’යි කීවේය. ඉන්පසු ඔහුගෙන් ඇමතුම් නොලැබිණි. අන්වර්ගේ සහෝදරයා දෙහිවල පොලිසියට පැමිණිලි කළේ සහෝදරයා ඇතුරුදන්වීමට සම්පත් වගකිව යුතු බව කියමිනි.

ගන්සයිඞ් වධකාගාරය
පැහැරගනු ලැබූ මේ සියල්ලන්ම පළමුව කොටුව චෛත්‍ය පාරේ නාවික හමුදා කඳවුරේ සිරකුටියක සඟවා තබාගෙන පසුව, ත්‍රිකුණාමලයේ නාවික නෞකා පරාක්‍රම ආයතනනයේ විශේෂ ප්‍රදේශයක පිහිටි ගන්සයිඞ් නම් භූගත කාලතුවක්කු පතොරම් කුටිවල රඳවා තබාගෙන සිට ඇත. රජිව් නාගනාදන් හා ඔහුගේ මිතුරන් සිව්දෙනාද, ත්‍යාගරාජා ජෙගන්, අමලන් ලියොන්, රොෂාන් ලියොන්, කස්තුරි ආරච්චිගේ ජෝන් රිඞ්, කස්තුරි ආරච්චිගේ ඇන්ටන් සහ අලි අන්වර් යන එකොළොස් දෙනා එසේ රඳවාගෙන සිටිනු තමන් දැක ඇති බව එහි සේවය කළ නාවික හමුදා සෙබළු සීඅයිඩීයට කීහ. ඊට අමතරව, කෑගල්ල, අකිරියගල, ශාන්ත සමරවික්‍රම, ඉබ්බාගමුවේ ප්‍රදීප් සහ ගාන්ධි යන තිදෙනකුද එහි රඳවා සිටි බවට තොරතුරු ලැබී තිබේ.
ශාන්ත සමරවික්‍රම කොල්ලකෑම් හා මිනීමැරුමක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වී සිට, අලව්ව රෝහලේදී පොලිස් අත්අංඩංගුවෙන් පලාගිය අයෙකි. පසුව තමා පොලිස් ජීප් රියකින් මෙම වධකාගාරයට ගෙනා බව ශාන්ත නාවික හමුදා සෙබළුන්ට පවසා තිබේ.
මේ ගන්සයිඞ් නමැති භූගත කොටස, ඉංග්‍රීසීන්ගේ පාලන සමයේ ත්‍රිකුණාමලයේ රඳවා තිබුණු කාලතුවක්කුවල උණ්ඩ රඳවා තැබීමට නිර්මාණය කරන ලද්දකි. ගන්සයිඞ් මිනිස් වාසයට සුදුසු තැනක් නොවේ. අඳුරු, අපිරිසිදු එය වවුලන් සිය ගණනක් සිය වාසභූමිය කරගෙන තිබිණි. වවුල් ගඳ හා වසුරු නිසා මුළු කුටියම අපවිත්‍රවී තිබුණි. ඒ කොටස තිබුණේ, බුද්ධි අංශය භාරව සිටි ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් සුමිත් රණසිංහ යටතේය. ගන්සයිඞ් හැඳින්වුණේ ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් නාවික හමුදාව අත්අඩංගුවට ගන්නා සැකකරුවන් රඳවා තබාගන්නා ස්ථානයක් හැටියටය. ඒ ප්‍රදේශයට යෑමට කඳවුරේ භටයන්ට තහනම් කොට තිබුණු අතර, සුමිත් රණසිංහගේ අවසරය ලත් කිහිප දෙනකුට පමණක් ඒ පැත්තට යා හැකි විය.
එහෙත්, නාවික හමුදාවට පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමේ කිසිම නීතිමය බලයක් නැත. කිසිවකු අත්අඩංගුවට ගැනීමට ඔවුන්ට හැකි නමුත්, ඉන්පසු වහාම පොලිසියට බාර දිය යුතුය. අනෙක් අතට, ආරක්‍ෂක අංශ විසින් ඒ දිනවල අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් ගැන තොරතුරු මානව හිමිකම් කොමිසමට හා රතු කුරුස සංගමයට දැනුම්දිය යුතුවද තිබුණි. ගන්සයිඞ්හි රඳවාගෙන සිටි පුද්ගලයන් පිළිබඳව ඉහත ආකාරයේ කිසිම පියවරක් නාවික හමුදාව අරගෙන තිබුණේ නැත. ඒ නිසා ගන්සයිඞ්හි කළ රඳවාගැනීම සම්පූර්ණ යෙන්ම නීති විරෝධීය. එය භාරව සිටි පුද්ගලයන් ඒ වරදට වගකිව යුතුය.

කුරුටු සටහන්
මේ භූගත වධකාගාරය තුළදී අලි අන්වර් ඇතුළු එහි රඳවා සිටියවුන්ට පහරදෙන ලදි. රජීව් නාගනාදන්, තමාගේ ගෙදරට දුරකථනයෙන් කතාකළ අවස්ථාවක අලි අන්වර්ද එහි සිටින බවත් ඔහුට එල්ලා පහර දුන් බවත්, අලි අන්වර්ට පහර දෙන ලෙස තමාටද නාවික නිලධාරීන් කී බවත්, එහෙත් තමාට එය කළ නොහැකි බවත් කියා තිබේ. වරෙක අන්වර් මුහුණේ ප්ලාස්ටර් සමඟ සිටිනවා සමහර නාවික සෙබළුන් දැක තිබුණි. කුටියේ සිටි පුද්ගලයෝ සියලු දෙනාම දැඩි මානසික හා ශාරීරික පීඩනයන්ට මුහුණ දී සිටියෙයා්ය. ඒ මානසික පීඩනය ගැන කියන කුරුටු සටහන් කිහිපයක් වධකාගාරයේ බිත්තිවල තිබී විමර්ශන නිලධාරීන්ට දැකගත හැකි විය. ‘මගේ බුදු සමිඳුනේ’, ‘මගේ ජේසුනේ, මාව රැකගනු මැනවි.’, ‘ජේසුනේ මරියනේ මම නොකළ වරදින් නිදහස් කරන ලෙස කරුණාවෙන් බැගෑපත්ව ඉල්ලමි.’ වැනි වැකි ඒ අතර විය. ඊට අමතරව, ‘මේ බුදුන්ගේ දේශයයි’, ‘හිත හොඳ ගෑනි හැමදාම බඩින්’ වැනි වැකිද විය. ඉහත තැනක කී ශාන්ත සමරවික්‍රම, තමා රඳවා සිටි තැන බිත්තියේ, ‘කෑගල්ල 2010.07.25’ යනුවෙන් ලියා තිබුණේය.

ඝාතනය කිරීම
ගන්සයිඞ් වධකාගාරයේ රඳවා සිටි මේ පිරිස පොලිසියට හෝ කිසිම අධිකරණයකට හෝ නීතිය ක්‍රියාත්මක කරන ආයතනයකට ඉදිරිපත් කර නැති අතර, පුනරුත්ථාපනයට ලක්කරද නැත. ඔවුන් විදේශගතවී ද නැත. ඉන් පැමිණිය හැකි නිගමනය නම් කුමක්ද? නිසැකවම ඔවුන් ඝාතනය කර ඇති බවයි. කඳවුරේ සමහර සෙබළුන් කියන පරිදි, මේ අය වධකාගාරය තුළදීම වෙඩි තබා මරා, මළසිරුරුවල උදරය කපා, මළසිරුරුවලට වැටවල්වල කම්බි රැඳවීමට ගන්නා කම්බි කණු ගැටගසා බෝට්ටුවලින් ගෙනගොස් ත්‍රිකුණාමලයේදී මුහුද මැද දමා ඇත. ඒ කිසිදිනෙක මළසිරුරු ජලය මතුපිට පාවීම හෝ ගොඩට ගසාගෙන ඒම නොවනු පිණිසය. ගන්සයිඞ්හි සිට කළු පාට පොලිතින් උරවල දමන ලද මළසිරුරු කැබ් රථයක පිටුපස පටවාගෙන ගොස් තිබේ. මේ ගැන ඇසූ දුටු සාක්‍ෂි සීඅයිඩී විමර්ශන නිලධාරීන්ට හමුවී තිබේ.
රතන හිමියන් ඇතුළු සියලු දේශපාලකයන් හා අනෙක් අය විසින් රණවිරු ලේබලය අලවා දැන් බේරාගන්නට උත්සාහ කරන්නේ මෙවැනි සහගහන අපරාධවල යෙදුණු පුද්ගලයන්ය. යුද්ධයට මුවාවී බඩවඩා ගැනීම සඳහා මෙවැනි බිහිසුණු අපරාධවල යෙදුණු අතළොස්සක් වූ අය නීතිය ඉදිරියට ගෙන්වා දඬුවම් නොදිය යුත්තේ ඇයි? ඒ හරහා නාවික හමුදාවේ සිටින දහස් ගණනක් නීතිගරුක හා විනයවත් නිලධාරීන්ගේත් සමස්ත නාවික හමුදාවේත් ගෞරවය හා කීර්තිය ආරක්‍ෂා කර නොගත යුත්තේ ඇයි? යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිවරයා ඇතුළු වගකිවයුත්තන් තමන්ගෙන්ම ඇසිය යුතු ප්‍රශ්නය එයයි. ■