මනෝරාජිකත්වයේ කෙළවර අරාජිකත්වයද?


victor

වික්ටර් අයිවන්

යහපාලන ආණ්ඩුව පිළිබඳව ජනතාව ඇති කරගත් බලාපොරොත්තු යථාර්ථවාදීද? එහි කෙළවර කුමක් විය හැකිද?
පසුගිය ජනාධිපතිවරණයේදී රාජපක්ෂ පාලනය පරාජය කිරීම යහපත් ඉදිරි ගමනක් සඳහා අවශ්‍ය වැදගත් පියවරක් වුවද එම ආණ්ඩු පෙරළියට නායකත්වය දුන් දේශපාලන නායකයන්ට හෝ සමාජ බලවේගයන්ට මනෝරාජික ඉදිරි දැක්මක් මිස යථාර්ථවාදී ඉදිරි දැක්මක් තිබුණේයැයි කිව නොහැකිය. එම දේශපාලන ආවේගය තුළ තිබුණු ප්‍රබලම ලක්ෂණය වූයේ රාජපක්ෂ පාලනය පරාජය කිරීම හා ඒ මගින් රටේ පාලනය බලය හිමිකර ගැනීමය. ලංකාව මුහුණ දී තිබුණ සංකීර්ණ අර්බුදය ජයගැනීමට අවශ්‍ය කරන යථාර්ථවාදී දැක්මක් හා ඒ සඳහා වන අධිෂ්ඨානයත් එම ආවේගය තුළ නොතිබුණි.

දැක්මේ සීමිතකම
ප්‍රභාකරන්ගේ කැරැල්ල පරාජය කරන අවස්ථාවක් වනවිට රට තිබුණේ සුන්බුන් ගොඩක් බවට පත්වූ රටක තත්ත්වයකය. දීර්ඝ කාලයක් තිස්සේ පැවති ප්‍රචණ්ඩ අරගල හා ඒවා මර්දනය කිරීමට දරන උත්සාහය තුළ ලක්ෂයකට වැඩි පිරිසක් මරණයට පත්ව තිබුණේය. කායික වශයෙන් ජීවත් වූ මිනිසුන්ද අඩු වැඩි ප්‍රමාණයකට ආධ්‍යාත්මික වශයෙන් මරණයට පත් මිනිසුන් බවට පත්ව තිබුණේය. ප්‍රචණ්ඩ රළ පහරට හසුවී බොහෝ දේ විනාශ වන විට මුළුමනින් විනාශ නොවී ඉතිරි වූ හැම දෙයක්මත් විකෘති දූෂිත හා ජරපත් බවට පත්වූ දේවල් බවට පත්ව තිබුණේය. ජනාධිපති ක්‍රමය, පාර්ලිමේන්තු ක්‍රමය, අධිකරණ ක්‍රමය, අධ්‍යාපන ක්‍රමය හා වෙනත් සියලු ආයතන ක්‍රම විකෘති වූ දූෂිත වූ හා ජරපත් වූ දේවල් බවට පත්ව තිබුණි. දේශපාලන පක්ෂ හා දේශපාලන නායකයන්ද, නිලධරතන්ත්‍රය හා නිලධාරීන්ද, ජනමාධ්‍ය ආයතන හා ජනමාධ්‍යවේදීන්ද, ආගමික ආයතන හා පූජකයන්ද පවුල හා සමාජයද එම මහා ප්‍රවාහයට හසුවී දූෂිත හා ජරපත් බවට පත්ව තිබුණි. රටේ ආර්ථිකයද පහසුවෙන් ගොඩගත නොහැකි ජරාජීර්ණ තත්ත්වයකට පත්ව තිබුණි.
රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රභාකරන් පරාජය කිරීමට සමත් වුවත් රට, රාජ්‍යය, සමාජය හා ආර්ථිකය ඇද වැටී තිබුණු සංකීර්ණ අර්බුදය ජයගැනීමට අවශ්‍ය කරන ශක්තිමත් හා යථාර්ථවාදී ඉදිරි දැක්මක් ඔහුට නොතිබුණි. සුන්බුන් ගොඩක් බවට පත්ව තිබූ රට උගසට තබා එහි යටිතල පහසුකම් නගා සිටුවීමට උත්සාහ කළා විනා අවුල් ජාලාවක් බවට පත්ව තිබූ රට රාජ්‍ය හා සමාජ ප්‍රතිනිර්මාණය කිරීම සඳහා අවශ්‍ය දැක්මක් ඔහුට නොතිබුණි. ප්‍රභාකරන් පරාජය කිරීමෙන් සිදුවූයේ අර්බුදයේ ස්වභාවය වෙනස්වීම පමණය. අර්බුදය තවදුරටත් වර්ධනය වෙමින් ඉදිරියට යමින් තිබුණේය. එහිම නොවැළැක්විය හැකි ප්‍රතිඵලයක් වශයෙන් රාජපක්ෂ ජනාධිපතිවරයාට බලය අහිමි කරගෙන ගෙදර යන්නට සිදුවිය. එහිම ප්‍රතිඵලයක් වශයෙන් විරුද්ධ පක්ෂ නියෝජනය කරන නව පාලක පක්ෂයක් බලයට පත්විය.
යහපාලන ආණ්ඩුවක වේශයෙන් බලයට ආවද ලංකාව මුහුණ දී තිබුණු විස්තීරණ අර්බුදය ජයගෙන රට රාජ්‍යය හා සමාජය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා අවශ්‍ය යථාර්ථවාදී දැක්මක් හෝ දේශපාලන අධිෂ්ඨානයක් නව පාලකයන්ටද නොතිබුණි. ඒ හැකියාව නව පාලකයන්ට තිබීමේ හැකියාවක්ද නොතිබුණි. ඒ සියලුදෙනාද මෙම ඓතිහාසික අර්බුදය තුළ විනාශ මුඛයට ජරපත් තත්ත්වයට පත්ව සිටි ඇය ලෙස සැලකිය හැකිය. ඔවුහු මෙම අර්බුදය හැදෑරීමට හෝ එය ජයගැනීමට අවශ්‍ය විසඳුම් ගැන උනන්දුවෙන් හැදෑරූ අය නොවෙති. රටේ සිදුවී තිබුණු විනාශය ගැන අවංක කම්පාවක් ඇති කරගත් අය ලෙසද සැලකිය නොහැකිය. ඔවුන්ගේ උනන්දුවට හේතුවී තිබුණේ බලය අල්ලා ගැනීම පමණය. මෙම අර්බුදය ජයගැනීම සඳහා වන කරුණු හැදෑරීමක් හෝ පෙර සූදානමක් ඔවුන්ට නොතිබුණු අතර බලය ලැබීමෙන් පසුද කරුණු සොයා බලන හෝ කරුණු හදාරන තැනකට නොගියේය. ඔවුහු මෙම අරමුණ හැදෑරූ අය නොවෙති. ඔවුන්ගේ අසාර්ථකභාවය ඓතිහාසික අර්ථයෙන් විකෘති වූ, දූෂිත වූ හා ජරපත් තත්ත්වයකට පත්ව සිටි අය ලෙස සැලකිය හැකිය. ඒ නිසා ඒ සියලුදෙනාද ඓතිහාසික අර්ථයෙන් මහින්ද රාජපක්ෂ සේ ම ඉතිහාසයේ කුණු කූඩයට ගමන් ගනිමින් සිටින්නේ යැයි කිව හැකිය. ලංකාව තම ඉතිහාසයේ අශීලාචාරත්වය රජ කළ එක් යුගයක් අවසන් කරමින් තිබෙන්නේ ඒ සමඟ වහාම ශීලාචාර නව යුගයක් කරා ගමන් ගන්නා ආකාරයට නොව පළමුව අරාජික තත්ත්වයක් කරා ගමන් ගන්නා ආකාරයටය. රටේ දේශපාලන ගමන් මග නිවැරදි ලෙස තේරුම් ගැනීම සඳහා රටේ දේවල් සිදුවෙමින් තිබෙන ආකාරය නිවැරදි ලෙස තේරුම් ගැනීම වැදගත්ය.

දේවල් සිදුවූ ආකාරය
රාජපක්ෂ පාලනය බිඳ වැටීමට ආසන්න කාලය වනවිට රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කිරීම සඳහා පොදු අපේක්ෂකයකු අවශ්‍ය වේයැ’යි කියන අදහසක් සහ ඒ සඳහා වන අතිසරල සූත්‍රයක් විරුද්ධ පක්ෂ ව්‍යාපාරවලට තිබුණි. එහෙත් පොදු අපේක්ෂකයා තෝරාගත යුතු ආකාරය හා එසේ තෝරාගන්නා පොදු අපේක්ෂකයාගේ කාර්යභාරය පිළිබඳව පැහැදිලි අර්ථ විවරණයක් හෝ ඒ සඳහා වන පොදු එකඟතාවක් නොතිබුණි. සදාචාරමය අර්ථයෙන් නම් පොදු අපේක්ෂකයා වීමේ වැඩි අයිතියක් තිබූ පක්ෂ නායකයා ලෙස සැලකිය හැක්කේ රනිල් වික්‍රමසිංහය. විරුද්ධ පක්ෂ අතර තිබුණු විශාලතම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය වන අතර විරුද්ධ පක්ෂයේ අන් සියලු පක්ෂ එකට එකතු කළද ඒවාට තිබූ ශක්තිය එජාපයට තිබුණු ශක්තියෙන් සියයට විසිපහක් තරම්වත් නොවීය. එහෙත් තමන්ගේ පක්ෂ නායකයා තරග කළහොත් ඔහුට මහින්ද පරාජය කළ හැකිද කියන සැකයක් එම පක්ෂයේ සමහර අය තුළ පැවති අතර එම ව්‍යාකූලතා නැති කොට ඉදිරියට ඒමට අවශ්‍ය ශක්තිමත් ඉදිරි දැක්මක් හා ආත්ම විශ්වාසයක් එම පක්ෂ නායකයාට නොතිබුණි.
ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන තුරුම්පුවට එකඟවනවා හැර තෝරා ගැනීමට ඔහුට වෙනත් විකල්පයක් නොතිබුණි. දේශපාලන මොළකාරයා තමා මිස පොදු අපේක්ෂකයා නොවන නිසා මහින්ද පරාජය කළහොත් පොදු අපේක්ෂකයාගේ කාර්යය නාමික වී රට පාලනය කිරීමේ පූර්ණ බලය තමන්ට ලැබෙනු ඇතැයි එජාප නායකයා විශ්වාස කළ බවද පෙනේ.
මෙවැනි විශේෂ අවස්ථාවකදී බලය බෙදී යායුතු ආකාරය හෝ බලය ලබාගැනීමෙන් පසු රටේ පාලන කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳව පොදු එකඟතා ගිවිසුමක් ඇතිකර ගැනීම සාමාන්‍යයෙන් සිදුවිය යුතුව තිබුණ දෙයක් වුවත් එජාප නායකයා ඒ බව තේරුම් ගත් බවක් පෙනෙන්නට නැත. ගිවිසුමක් නැතිව වුවත් පොදු අපේක්ෂකයා බලයට පත්වන්නේ ප්‍රධාන කොට සිය පක්ෂයේ බලයෙන් වන නිසා දේවල් පාලනය කිරීමේ බලය තමන්ට ලැබෙනු ඇතැයි එජා පක්ෂ නායකයා කල්පනා කළා විය යුතුය.

මනෝරාජිකත්වය
දින 100ක සීමිත ප්‍රතිසංස්කරණ වැඩසටහන ලබාගෙන තිබුණේ සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයෙනි. අනුන්ගෙන් ලබාගත් වැඩසටහනක් කරළියට ගන්නට පෙර එම වැඩසටහනේ ප්‍රායෝගිකතාව හොඳින් සලකා බැලිය යුතුව තිබුණි. එසේ වී නම් එම වැඩසටහනට ඇතුළත් ප්‍රායෝගික නොවන මනෝරාජික දේවල් වී නම් ඒවා ඉවත් කොට වැඩසටහන ප්‍රායෝගික වැඩසටහනක් බවට පත්කර ගැනීමට හැකිවන්නට ඉඩ තිබුණි. එම වැඩසටහනේ ප්‍රායෝගික නොවන දේවල් තිබුණි. ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසු ඉක්මන් පාර්ලිමේන්තු මැතිවරණයකට නොගොස් පරාජිත ජනාධිපතිවරයාට බලය තිබුණු පාර්ලිමේන්තුවක් සමඟ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයකට යෑම ප්‍රායෝගික දෙයක් නොවීය. ඉන් සිදුවූයේ ලොකු පාර්ලිමේන්තු බලයක් හිමිකර ගැනීමට තිබුණු හැකියාව නැතිකර ගැනීමය. ජනාධිපති ක්‍රමයක් සඳහා ගොඩනැගී තිබුණු පාර්ලිමේන්තුවට එසේ තිබියදීම ජනාධිපති ක්‍රමය අහෝසි කොට සියලු බලතල පැරණි පාර්ලිමේන්තුවට ලබාදීමද ප්‍රායෝගික නොවන විකාර අදහසක් විය. ජනමත විචාරණයකට නොගොස් ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ අදහසද ව්‍යවස්ථාවට අනුකූල නොවන මනෝරාජික අදහසක් විය. දූෂණයෙන් කුණුවී තිබුණු ආයතන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමකින් තොරව ස්වාධීන කොමිෂන් සභා ඇති කිරීමෙන් දූෂණයෙන් තොර කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇතිකර ගතහැකියැ’යි කියන අදහසද මනෝරාජික අදහසක් විය.
පොදු අපේක්ෂකයා කරළියට පැමිණි වහාම පරස්පර විරෝධී ගිවිසුම් දෙකකට අත්සන් තැබුවේය. එක් ගිවිසුමක් ඇතිකර ගන්නේ සෝභිත හිමියන් සමඟය. ඒ ගිවිසුමෙන් ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට සහතික විය. තවත් ගිවිසුමක් රතන හිමියන් සමඟ ඇතිකර ගත්තේය. එයින් සහතික වූයේ ජනාධිපති ක්‍රමය අහෝසි නොකොට එය ප්‍රතිසංස්කරණය කරන බවටය. එම ගිවිසුම් දෙකේ පරස්පර විරෝධී ස්වභාවය හා එම තත්ත්වය අනාගතය කෙරෙහි ඇති කරන්නට නියමිත අවුල කිසිවෙකුත් සැලකිල්ලට ගත්තේවත් සාකච්ඡාවට ලක් කළේවත් නැත. එජාප නායකයාද ඒ දෙස නිහඬවම බලා සිටියා මිස එම විසම තත්ත්වය නිවැරදි කිරීමට උත්සාහ කළේ නැත. සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය සේ ම මෙම ප්‍රවාහයට එකතු වී සිටි අනෙක් සිවිල් සංවිධානද ඒ ගැන කිසිවක් කතා කළේ නැත. ඒ සියලුදෙනා දැන හෝ නොදැන ලොකු අවුලක් ඇති වන්නට ඉඩ හැර බලා සිටියෝය. පොදු අපේක්ෂකයාටද තමන් අත්සන් කළ ගිවිසුම් දෙකේ ඇති පරස්පර විරෝධීභාවය නොතේරුණා විය නොහැකිය. ඒ නිසා එම දෙකෙන් තමන්ට කැමති දෙයක් තෝරා ගැනීමට ලැබෙන ඉඩ ගැන සලකා සතුටු වූවා විය යුතුය. දැන් ඇතිවී තිබෙන අවුල් පසුව ඇතිවී වර්ධනය වූ දේවල් නොව මුලදීම ඇතිවී පසුව වර්ධනය වූ දේවල්ය.

අවස්ථාවාදය
එජාප නායකයා පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහණය සහතික කිරීම පිණිස තමන්ට කළ හැකි හැම දෙයක්මත් උපරිම මට්ටමකින් කරන බව පෙනෙන්නට තිබුණි. ඔහු පක්ෂයට තිබූ මහජන බලය පමණක් නොව ධන බලයද ඒ අරමුණ වෙනුවෙන් උපරිම මට්ටමකින් යොදා ගත්තේය. එජාප නායකයා එසේ කරන්නට ඇත්තේ පොදු අපේක්ෂකයා පෙරළා උපරිම මට්ටමකින් තමන්ට කෘතගුණ සලකනු ඇතැයි කියන විශ්වාසයකින් විය යුතුය. තරග කරන්නේ තමා නොවෙතත් ජයග්‍රහණයෙන් පසු නියම බලය ලැබෙන්නේ තමන්ට වන නිසා ඒ සියල්ල එසේ කිරීම අවශ්‍ය වේයැයි ඔහු කල්පනා කළා විය යුතුය.
පොදු අපේක්ෂකයාගේ කඳ තිබුණේ මහින්ද විරෝධී දේශපාලන ව්‍යාපාරය සමඟ වුවත් ජයග්‍රහණයත් සමඟ හදවත තිබුණේ ශ්‍රීලනි පක්ෂයත් සමඟය. එජාප නායකයා සහ එම පක්ෂය කෙරෙහි මතුපිටින් පෙන්වන විශ්වාසයක් මිස ස්ථිරසාර විශ්වාසයක් නොතිබුණි. මලිත් ජයතිලක ලියා තිබෙන දේවලට අනුව ජනාධිපතිවරණයෙන් ජය ලැබූ වහාම ජනාධිපතිවරයා මහජනයාට නොපෙනෙන ලෙස ශ්‍රීලනිපය සමඟ පස්සා දොරෙන් ගනුදෙනු කරන තැනකට ගියේය. ඉක්මන් පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමෙන් වැළකී සිටියේද අනවශ්‍ය තරම් බලයක් එජාපයට ලැබීම වැළකීම සඳහාය. ඉන් පෙනෙන්නේ ජයග්‍රාහී ජනාධිපතිවරයා තුළ එජාප කෙරෙහි හෝ එම පක්ෂ නායකයා කෙරෙහි අචල විශ්වාසයක් මුල සිටම නොතිබුණු බවය. බලයට පත් වහාම ජනාධිපතිවරයා තමන්ගේ තනිකම නැති කර ගත්තේද රනිල් විරෝධී ක්‍රියාකරුවන් තමන් වෙත එකතු කරගැනීමෙනි. යහපාලන ආණ්ඩුවේ නායකයන් දෙපළ අතර පවත්නා මෙම සීතල යුද්ධය සමස්ත රාජ්‍ය පාලනය අවුල් කොට රටේ තිබුණු අර්බුදය උග්‍ර කිරීමට හේතුවීයැ’යි කිව හැකිය.
යහපාලන ආණ්ඩුව පාර්ලිමේන්තු මැතිවරණයට ගියේ හුඟාක් ප්‍රමාද වීය. ජනාධිපතිවරයා ශ්‍රීලනිප සමඟ පස්සා දොරෙන් කරමින් තිබූ ගනුදෙනු එම ප්‍රමාදය කෙරෙහි බලපෑ වැදගත් සාධකයක් විය. ජනාධිපතිගේ දේශපාලන කණ්ඩායමේ දැක්ම වී තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ උපායික වශයෙන් නිහඬ කොට ඔහුට තිබුණු ජන බලය සමඟ ශ්‍රීලනිප තමන් වෙත හිමිකර ගැනීමය. ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයාට ප්‍රසිද්ධියේ පහර දෙන තැනකට ගියේ එම උපාය මාර්ගික වැඩසටහන අසාර්ථකවීමෙන් පසුවය. යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන නායකයන් දෙපළ අතර පැවති මෙම සීතල යුද්ධය පරාජිත ජනාධිපතිවරයාගේ පැවැත්ම ශක්තිමත් කළේය.
මහ බැංකුවේ බැඳුම්කර වංචාව පාර්ලිමේන්තු මැතිවරණ කාලයේදී මහජනයා අතර අවධානයට යොමුව සාකච්ඡා වෙමින් තිබුණු උණුසුම්ම මාතෘකාව වී යැයි කිව හැකිය. ඒ සිද්ධිය එජාප නායකයාට තිබුණු ප්‍රතිරූපය බොඳ කිරීමට හේතුවිය. බැඳුම්කර චෝදනාවක් නොතිබුණේ නම් එම මැතිවරණයෙන් එජාපයට ලැබෙන ආසන සංඛ්‍යාව ලබාගත් ආසන සංඛ්‍යාවට වඩා වැඩිවන්නට ඉඩ තිබුණි.
සිදුවී තිබෙන බැඳුම්කර වංචාව දෙස බලන විට පෙනෙන්නේ එය දේශපාලන අරමුණක් මත සිදුකර තිබෙන දෙයක් වන බවය. ජනාධිපතිවරණයේ මූල්‍ය බර මුළුමනින් කරගසන ලද්දේ එජාපය විසිනි. ඉදිරියේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයකට ලොකු වැය බරක් දරන්නට සිදුවන බව එම පක්ෂය දැන සිටියේය. මැතිවරණවලදී එජාපයට මහා පරිමාණයෙන් මුදලින් ආධාර කරන ව්‍යාපාරිකයන් වැඩි පිරිසක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ග්‍රහණයට ගෙන තිබුණු තත්ත්වය තුළ ජනාධිපතිවරණයේ වියදම් සඳහා අවශ්‍ය මුදල් ණයට ලබාගන්නා තත්ත්වයකට යන්නට එම පක්ෂයට සිදුවී තිබුණා විය යුතුය. ජනාධිපතිවරණයේ ජයග්‍රහණ යෙන් පසුව එම විශාල ණය බරෙන් නිදහස්වීමට පහසු මාර්ගයක් සොයා ගැනීමට එම පක්ෂයට අවශ්‍ය වන්නට ඇතිවා සේ ම පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අවශ්‍ය වියදම් සොයා ගැනීමේ වුවමනාවක්ද ඇතිවී තිබුණා විය හැකිය. ඒ සමඟ ඒ සියලු ප්‍රශ්න මහ බැංකුව ආශ්‍රයෙන් විසඳා ගැනීම වරදක් නොවේයැ’යි එම පක්ෂයේ නායකයන් කල්පනා කළා විය හැකිය. අර්ජුන් මහේන්ද්‍රන් කෙනෙකු මහ බැංකුවේ අධිපතිකමට ගන්නට අවශ්‍ය වන්නට ඇත්තේද ඒ නිසා විය හැකිය. එම විශේෂ තත්ත්වයෙන් මහ බැංකු අධිපතිගේ බෑණා උපරිම ලෙස වාසි ලබාගත්තාද විය හැකිය. සියල්ල අවසන් වූයේ කොළය ඉරා ගනිමින් හත්පළේම ගා ගත් තත්ත්වයක් ඇතිවීමෙනි. ඉන්ද පෙනෙන්නේ රටේ දේශපාලන පක්ෂ කුණුවී තිබෙන තරමය. මහ බැංකුවේ බැඳුම්කර ආරාවුල අවසන් වනු ඇත්තේ එක්සත් ජාතික පක්ෂ නායකයාට එම පක්ෂයට තිබෙන පිළිගැනීම මුළුමනින් නැතිභංගවී යන තත්ත්වයක් ඇතිවීමෙනි.

ව්‍යවස්ථා විවාදය
මේ වනවිට මෙම දේශපාලන නායකයන් දෙදෙනා අතර පවතින සීතල යුද්ධය කරළියට පැමිණ ඇත්තේ නව ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීම සඳහා කෙරෙන කඹ ඇදිල්ලක ස්වරූපයෙනි. ජනාධිපති වරයාගේ කණ්ඩායම ජනාධිපතිවරයාට තිබෙන දේශපාලන බලය හා ජනාධිපතිවරයාගේ දේශපාලන පැවැත්ම ආරක්ෂා කරගැනීමට උත්සාහ ගනිමින් සිටිනුයේ ජනාධිපති ක්‍රමය අහෝසි කරන ව්‍යවස්ථාවක් නීතිගත කිරීමෙන් වැළකීමෙනි. ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනමත විචාරණයකට යෑම අත්‍යවශ්‍යය. එම කණ්ඩායමේ මතය වී ඇත්තේ ජනමත විචාරණයකට ගොස් එය ජයගත හැකි වාතාවරණයක් රටේ නැති බවය. ජනමත විචාරණය පරාජය වුවහොත් ආණ්ඩුවේ පැවැත්මද අහෝසි වන නිසා ජනාධිපති ක්‍රමය අහෝසි කරන ව්‍යවස්ථාවක් මේ අවස්ථාවේදී කරළියට නොගත යුතු බවය. ඒ මගින් ජනාධිපතිවරයාට තිබෙන බලය අහිමි වන තත්ත්වයක් ඇතිවන්නට ඉඩ නොදී ජනාධිපතිවරයා දේශපාලන බලපිරමිඩයේ මුදුනේ සිටින තත්ත්වය ආරක්ෂා කරගැනීම ඔවුන්ගේ අපේක්ෂාව වී තිබුණු බව පෙනේ.
අගමැති රනිල් වික්‍රමසිංහගේ හිතවත් කණ්ඩායම කල්පනා කරන විදිය ඊට වෙනස්ය. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ ජනාධිපතිවරයාට තිබෙන බලය නැති කිරීමට හේතුවන ලෙස ජනාධිපති ක්‍රමය අහෝසි කොට අගමැතිවරයා දේශපාලන බලපිරමිඩයේ මුදුනට ගැනීමය. එය අගමැතිවරයාගේ දේශපාලන අපේක්ෂාව ලෙසද සැලකිය හැකිය. ජනමත විචාරණයකට ගොස් ඉන් පරාජය වුවද ඒ නිසා මැතිවරණයකට යන්නට සිදුවුවහොත් ශ්‍රීලනිප දෙකට බෙදී සිටින තත්ත්වයක් තුළ තම පක්ෂයට වැඩි බලයක් ලබාගත හැකිවේයැ’යි අගමැතිවරයා කල්පනා කරනවා විය යුතුය.
ජනාධිපති අගමැති ගැටුම තිබෙන්නේ පුපුරනසුලු තත්ත්වයකය. ජනාධිපති වරයාගේ දේශපාලන කණ්ඩායම නව ව්‍යවස්ථාව දකින්නේ ජනාධිපතිවරයාට තිබෙන බලය නැති කොට අගමැතිවරයා අතට සම්පූර්ණ බලය ලබාගැනීම සඳහා කරළියට ගෙන තිබෙන සටකපට වැඩපිළිවෙළක් ලෙසය. ඒ නිසා ජනාධිපතිවරයා හෝ ජනාධිපතිවරයාගේ හිතවත් කණ්ඩායම නව ව්‍යවස්ථාව සම්මත කරගැනීමට ඉඩදෙනු ඇතැයි සිතිය නොහැකිය. ඊට වෙනස්ව අගමැතිවරයා ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ව්‍යවස්ථාව නීතිගත කරවා ගැනීම සඳහා උපරිම ශක්තිය යොදා ක්‍රියාකරනු ඇතැයි සිතිය හැකිය. අවසාන විග්‍රහයේදී නව ව්‍යවස්ථාවක් අවශ්‍යයැ’යි කියන අදහස සේ ම නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැතැයි කියන අදහසද පොදු යහපත සඳහා කෙරෙන දෙයකට වඩා මෙම නායකයන් දෙපළගේ බල අරමුණු සපුරා ගැනීම සඳහා කෙරෙන දෙයක් බවට පත්වී තිබෙන්නේයැයි කිව හැකිය.

දර්ශනයේ අවුල
අගමැතිවරයාද ඇතුළුව දැන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී සිටින අයට ඒ සඳහා අවංක හා ඇත්ත වුවමනාවක් තිබුණේ වී නම් විධායක ජනාධිපති ක්‍රමයේ ආරක්ෂාව සඳහා පොදු අපේක්ෂකයා රතන හිමියන් සමඟ ගිවිසුමක් අත්සන් කරන අවස්ථාවේදී ඒ සියලුදෙනා එවැනි ගිවිසුමක් අත්සන් කරනවාට විරුද්ධ විය යුතුව තිබුණි. එහෙත් ඒ අවස්ථාවේදී කිසිවෙක් ඒ ගැන කතා කළේ නැත. ඔවුන් ඒ අවස්ථාවේදී සිය යුතුකම් ඉටු කළේ නම් පොදු අපේක්ෂකයා එවැනි ප්‍රතිපත්ති විරෝධී ගිවිසුමකට අත්සන් නොකරන්නට ඉඩ තිබුණි. විෂබීජ පැළ කරන්නට ඉඩ හැර ඒවා ලොකු ගස් බවට පත්වීමෙන් පසු ඒ ගැන හඬා වැලපීමෙන් ඇති ඵලය කුමක්ද?
නව ව්‍යවස්ථාවක් සඳහා වන ගැඹුරු හැඟීමක් හෝ දියුණු ඉදිරි දැක්මක් මුල සිටම යහපාලන ව්‍යාපාරයට නොතිබුණි. යහපාලන දේශපාලන නායකයන්ගේ පිළිගැනීමට හේතුවූ සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ සීමිත ප්‍රතිසංස්කරණ වැඩසටහන ඒ සඳහා දැක්විය හැකි හොඳම නිදර්ශනය ලෙස සැලකිය හැකිය. ව්‍යවස්ථා සභා ක්‍රමයක් යටතේ ඇති කරන ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයක් ඇති කිරීම ආයතන ක්‍රමයේ ඇතිවී තිබුණු කුණුවීමට තිබෙන හොඳම විසඳුම වේයැයි ඒ සියලුදෙනා විශ්වාස කළෝය. එම ප්‍රශ්නයට ඒ මගින් ලබාදී තිබෙන විසඳුම විසඳුමක් වී තිබේද? එය මහජනතාව මුලා කිරීමක් නොවේද? එම වැඩසටහනේ නිර්මාතෘවරු ජනමත විචාරණයකින් තොරව ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට අපේක්ෂා කළෝය. ඒ සියලු විකාර මතවාදයන් යහපාලන ව්‍යාපාරයේ දී සියලු නායකයෝද පිළිගත්තෝය. ඉන් ඔවුන් පෙන්නුම් කර තිබෙන්නේ ව්‍යවස්ථාමය ප්‍රශ්න පිළිබඳ තමන්ට තිබෙන දැක්මේ දුප්පත්කමේ තරම නොවේද?
ව්‍යවස්ථා සම්පාදන විෂයේදී අපට තිබෙන්නේ ගෞරවයට හේතුවන ඉතිහාසයක් නොව අපකීර්තිමත් හා අශීලාචාර ඉතිහාසයකි. නව ව්‍යවස්ථා සම්පාදනය එම අපකීර්තිමත් තත්ත්වයෙන් ඉවත් වී පොදු යහපත පිණිස සත්භාවයෙන් කරන දෙයක් බව සනාථ කිරීමට නව ව්‍යවස්ථා සම්පාදකයන් සමත් වී නැත. මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය සඳහා ඔවුන්ට කප්පම් ගෙවා කරවන ව්‍යවස්ථා සම්පාදනයන් යහපත් ව්‍යවස්ථා සම්පාදනයන් විය නොහැකිය. ජනාධිපති ක්‍රමය අහෝසි කොට සියලු බලතල පාර්ලිමේන්තුවට පවරන්නේ නම් මජර ගලන තරමට කුණුවී තිබෙන පාර්ලිමේන්තුව එම අවලස්සන තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා වන දර්ශනයක්ද ව්‍යවස්ථා සම්පාදකයන්ට තිබිය යුතුය. ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා හැරුණු විට කුණුවී ගඳ ගසන තත්ත්වයකට ජරාජීර්ණ වී තිබෙන පාර්ලිමේන්තුව එම අවාසනාවන්ත තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා වන ඉදිරි දර්ශනයක් ව්‍යවස්ථා සම්පාදකයන්ට තිබිය යුතුය. එහෙත් එවැනි දර්ශනයක් තමන්ට තිබෙන බව පෙන්නුම් කිරීමට මෙම ව්‍යවස්ථා සම්පාදනයේ න්‍යායවාදීන් සමත් වී නැත.
ලංකාවේ හැර පාර්ලිමේන්තු ක්‍රමයක් පවත්නා මොනම රටකවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආණ්ඩුව සමඟ ව්‍යාපාර කිරීමේ අයිතියක් නැත. එසේ කිරීම සලකන්නේ පුංචි වරදක් වශයෙන් නොව මන්ත්‍රීකම අහිමි කිරීමට හේතුවන තරමේ බරපතළ වරදක් ලෙසය. ඒ යහපත් සම්ප්‍රදාය 1977 වන තෙක් ලංකාවේද පැවතුණි. ඉන්පසු මන්ත්‍රීවරුන්ට ආණ්ඩුව සමඟ ජාවාරම් කිරීමට ඉඩදෙන පාර්ලිමේන්තු විරෝධී කැත සම්ප්‍රදායක් ඇතිවී තහවුරු වූ අතර වර්තමානයේ මන්ත්‍රීවරු ආණ්ඩුවේ කොන්ත්‍රාත්කරුවන් වශයෙන්ද මත්පැන් ඇතුළු විවිධ බලපත්‍රලාභීන් වශයෙන් ක්‍රියා කරති. මෙම අවලස්සන ක්‍රමය වෙනස් කිරීමේ කිසිම අභිලාෂයක් නව ව්‍යවස්ථා සම්පාදකයන් තුළ තිබෙන බවක් පෙනෙන්නට නැත. පිළිගත් පාර්ලිමේන්තු සම්ප්‍රදායක් තුළ එය ඉතාමත් බරපතළ වරදක් ලෙස සලකනු ලැබුවද ඒ ගැන කරන කිසිම කතාබහක් අසන්නට ලැබෙන්නේම නැති තරම්ය. නව ව්‍යවස්ථාවෙන් අපේක්ෂා කරන්නේ ජනාධිපති ක්‍රමය අහෝසි කොට සියලු බලතල පාර්ලිමේන්තුවට ලබාදෙන ආණ්ඩු ක්‍රමයක් ඇති කිරීම නම් පාර්ලිමේන්තුව දූෂිත හා ජරපත් කිරීමට හේතුවී තිබෙන සාධක ඉවත් කිරීමට හේතුවන දර්ශනයක් නැතිව හදන ව්‍යවස්ථාව යහපත් ව්‍යවස්ථාවක් විය හැක්කේ කෙසේද?

සම්ප්‍රදායන් නොතැකීම
නූතනයේ සිදුවන ව්‍යවස්ථා සම්පාදනවලදී ව්‍යවස්ථා සම්පාදකයන් ආරම්භ කරන්නේ මූලධර්ම සඳහා ඇතිකර ගන්නා පොදු එකඟතාවකිනි. මූලධර්ම ලෙස සැලකෙනුයේ ව්‍යවස්ථාවක තිබිය යුතු ප්‍රධාන ලක්ෂණ හා එය ආශ්‍රයෙන් විසඳාගත යුතු මූලික ප්‍රශ්නවලටය. ඇති කරන්නට යන්නේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක්ද නැති නම් ජනාධිපති ක්‍රමයක්ද යන ප්‍රශ්නයට ලැබෙන පිළිතුර මූලධර්මයකි. ව්‍යවස්ථාදායකය ඒකමණ්ඩල ව්‍යවස්ථාදායකයක්ද, ද්විමණ්ඩල ව්‍යවස්ථාදායකයක්ද යන්න මූලධර්මවලට අදාළ ප්‍රශ්නයකි. බලය බෙදාහැරීමේ ප්‍රශ්නය වැනි ප්‍රශ්න සේ ම අධිකරණයට සමාලෝචන බලයක් තිබිය යුතුද වැනි ප්‍රශ්න මූලධර්මවලට අදාළය. දකුණු අප්‍රිකානු ව්‍යවස්ථා සම්පාදනය ආරම්භ වූයේ අන්තර්වාර ව්‍යවස්ථාවක්ද ව්‍යවස්ථා මූලධර්ම 34ක් සඳහාද පොදු එකඟතාවක් ඇතිකර ගැනීමෙනි. ව්‍යවස්ථාව සම්පාදනය කෙරුණේ එසේ එකඟතාව ඇති කරගත් මූලධර්ම 34ට අනුකූලවය. අධිකරණයේදී සමාලෝචනයට ලක්වූයේ කෙටුම්පත් කරන ලද ව්‍යවස්ථාව එම මූලධර්ම 34ට අනුකූලව සකස් කර තිබේද කියාය.
ව්‍යවස්ථා සම්පාදනය මෙවැනි ක්‍රමයකින් ආරම්භ කළ විට ගොඩ නගන්නට යන ව්‍යවස්ථාවේ සැකිල්ල ආරම්භයේ සිටම තේරුම් ගැනීමේ හැකියාව ව්‍යවස්ථා සම්පාදකයන්ට සේ ම මහජනයාටද ලැබෙන්නේය. ව්‍යවස්ථා සම්පාදකයන්ගේ සේ ම මහජනයාගේද අවසාන විග්‍රහයේදී අධිකරණයේද අවධානය යොමුවන්නේ එසේ ඇති කරගත් මූලධර්මවලට අනුකූලව ව්‍යවස්ථාව සම්පාදනය වී තිබේද කියාය.

මේ ක්‍රමය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ක්‍රමයක් වන අතර අපේ ව්‍යවස්ථා සම්පාදකයන් ඒ ක්‍රමයෙන් බැහැර වූයේ කෙසේද යන්න තේරුම් ගත නොහැක. එවැනි ක්‍රමයක් ඇති බව ඔවුන් නොදැන සිටියේද? එසේ නැතිනම් එසේ කළේ ඊටත් වඩා හොඳ ක්‍රමයක් ඔවුන්ට තිබුණු නිසාය.
හදන ව්‍යවස්ථාවේ ස්වභාවය ගැන මහජනයාට කිසිදු අවබෝධයක් නැත. මූලධර්ම සඳහා එකඟතාවක් ඇතිකර ගන්නේ නම් හා ඒ මූලධර්ම ප්‍රසිද්ධ කළේ නම් හදන ව්‍යවස්ථාවේ සැකිල්ල කුමක්ද යන්න කල්තියා දැනගැනීමේ හැකියාව මහජනයාට ලැබෙන්නේය. ඉන්පසු මහජනයා අදහස් පළකිරීම් කරනු ලබන්නේද ඊට අනුකූලවය.
ඒ ක්‍රමයෙන් බැහැරවීම නිසා හදන ව්‍යවස්ථාව ජනාධිපති ක්‍රමයෙන් බැහැර වන්නේද නැද්ද යන්න තවමත් විසඳාගත නොහැකි ප්‍රශ්නයක් බවට පත්වී තිබේ. ව්‍යවස්ථා සම්පාදනයකදී පිළිගත් ප්‍රතිපත්ති හා සම්ප්‍රදායක් ඇති අතර ඒවා නොසලකා හදන ව්‍යවස්ථාවක් හොඳ ව්‍යවස්ථාවක් ලෙස සැලකිය නොහැකිය. එම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියද ඉතිහාසයට එකතු වනු ඇත්තේ ඊට පෙර ව්‍යවස්ථා සම්පාදකවලදී ලංකාව අනුගමනය කර ඇති පටු බලලෝභී අරමුණ වෙනුවෙන් කෙරුණු ක්‍රියාදාමයක් ලෙසය. ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සහ ඒ ආශ්‍රයෙන් පැන නැගෙන ප්‍රශ්න රට අරාජිකත්වය කරා යන ගමන වේගවත් කිරීමට හේතුවනු ඇත.■