පොලිසිය නොරකින ඇමති හා පොලිස්පති


kathu

පසුගිය පාලන සමයේ දී රටේ පොදු නීතිය උල්ලංඝනය කරමින් කළ විවිධාකාර අපරාධ ගැන දැන් පරීක්‍ෂණ පැවැත්වෙන්නේ ය. පැවැති සාම්ප්‍රදායික අපරාධ විමර්ශන ආයතන හා ක්‍රියාවලිය ඒ බරපතළ අපරාධ විමර්ශනය කරන්නට නොසෑහුණු හෙයින් අලුත් අපරාධ විමර්ශන ආයතන පිහිටුවන්නට ද මේ ආණ්ඩුවට සිදු විය. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හා බරපතළ වංචා දූෂණ සෙවීම පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව එවැනි අලුතෙන් පිහිටු වූ ආයතන දෙකකි. ආයතන අලුතෙන් පිහිටුවීම පමණක් නොව, ඒවායේ සේවය කරන නිලධාරීන්ට, නව තත්ත්වයන්ට ගැළපෙන අපරාධ විමර්ශන කටයුතු පිළිබඳ ව පුහුණුවක්, පළපුරුද්දක් ලබා දීම ද අත්‍යවශ්‍ය විය. මන්ද යත්, ඒ අපරාධ වූ කලි ඉතාම සූක්‍ෂ්ම හා කපටි ඒවා වුණු නිසාය. ආණ්ඩුව ඒ අවශ්‍යතාව ද සැලකිල්ලට ගෙන, එම නිලධාරීන්ට පුහුණුව හා විශේෂඥතාව ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවූ අතර, එම නිලධාරීන් ප්‍රමාණවත් විශේෂඥතාවකින් යුතු ව දැන් ඒ විමර්ශන කටයුතුවල යෙදෙනු දකින්නට හැකි ය.
අපරාධ ගැන විමර්ශන සිදු වන විට, බලාපොරොත්තු විය හැකි ඊළඟ දේ වන්නේ, ඒ අපරාධවලට චෝදනා ලබා ඇති අය මේ අපරාධ විමර්ශනයන්ට එරෙහිව අවි අමෝරා ගැනීම ය. ඔවුන්ට අවශ්‍ය වන්නේ මේ විමර්ශන ආයතන හා නිලධාරීන් ගැන මහජන විරෝධයක් ඇති බව මවා පා, හැකි හැම පැත්තකින් ම බලපෑම් කර විමර්ශන අත්හිටුවා ගැනීමට කටයුතු යෙදීම ය. පසුගිය කාලය පුරා එවැනි වංක ප්‍රයත්නයන් කිහිපයක් ම අපට දක්නට ලැබිණි.
ඔවුන්ගේ එක් චෝදනාවක් වන්නේ, මේ විමර්ශන එක් පිරිසක් පමණක් ඉලක්ක කර ගෙන, ඔවුන්ගේ දේශපාලන ක්‍රියාකාරිත්වය අඩාල කිරීමට කරන ඒවා බව ය. තවත් චෝදනාවක් වන්නේ, මේ විමර්ශන යටි අරමුණක් සහිත ව කුමන්ත්‍රණයක ප්‍රතිඵල හැටියට සිදුවන බව ය. විශේෂයෙන් විමර්ශන පවත්වන නිලධාරීන්, දුෂ්ට අරමුණෙන් හා සැඟවුණු න්‍යාය පත්‍රයකින් යුතු ව එම විමර්ශන සිදුකරන බව ද ඔවුහු කියති.
තත්ත්වය වඩාත් නරක වන්නේ, සන්නද්ධ හමුදාවල විවිධ නිලධාරීන් පසුගිය කාලයේ සම්බන්ධ වුණු මිනීමැරුම් හා අතුරුදන් කිරීම් ආදිය ගැන විමර්ශන සිදු කෙරෙද්දී ය. විමර්ශනය කෙරෙමින් පවතින ලසන්ත වික්‍රමතුංග ඝාතනය. ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යෑම. කීත් නොයර් පැහැරගෙන යෑම, උපාලි තෙන්නකෝන්ට පහරදීම වැනි අපරාධ යුද හමුදාවේ සහ නාවික හමුදාවේ බුද්ධි අංශ සාමාජිකයන් විසින් කරන ලද ඒවා බවට වැදගත් තොරතුරු දැන් හෙළිවී තිබේ. මේ අපරාධ මෙහෙයවන ලද්දේ බුද්ධි අංශවල ඉහල නිලධාරීන්ගේ අණ කිරීම මත බව ද හෙළිවෙමින් තිබේ. ඒ අතර, රාජපක්‍ෂ පාලන සමයේ දී රණවිරුවන් හැටියට උත්කර්ෂයට නංවන ලද මේ හමුදා සාමාජිකයන්, ඒ අපරාධ විමර්ශනවලින් ගලවා ගැනීමේ දිගුදුර මෙහෙයුමක් දැන් ක්‍රියාත්මක ය.
ඒ මෙහෙයුමේ ප්‍රතිඵලයක් හැටියට, පරීක්‍ෂණ පවත්වන ආයතනවලටත් ඒ පරීක්‍ෂණ පවත්වන නිලධාරීන්ටත් ප්‍රසිද්ධියේ අවලාද නැගීමත්, ඒ පරීක්‍ෂණ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයැයි හුවා දැක්වීමත්, විමර්ශන නිලධාරීන් අධෛර්යයට පත් කරන්නට හැකි තරම් බලපෑම් කිරීමත් පසුගිය කාලය පුරා ම දැක ගත හැකි විය. මේ දුෂ්ට බලපෑම් නිසා, විමර්ශන නිලධාරීන් අධෛර්යයට පත්වුණේ නැතත්, නිසි ලෙස රාජකාරි කරන තමන්ට එල්ලවන අවලාදවලට පිළිතුරු දීමට අවස්ථාවක් නොලැබීම ගැන ඔවුන් කනස්සල්ලෙන් සිටීම තේරුම් ගත හැකි ය. මාධ්‍ය ඉදිරියට පැමිණ තමන් රටේ නීතිය නිසි ලෙස ක්‍රියාවේ යොදවන අපක්‍ෂපාතී විමර්ශකයන් මිස කුමන්ත්‍රණකරුවන් නොවේ යැයි ද, තමන්ට කිසි ම සැඟවුණු න්‍යාය පත්‍රයක් නැතැ’යි ද කියන්නට ඔවුනට හැකියාවක් නැත.
ඒ කාර්යය භාර ගත යුත්තේ නීතිය හා සාමය විෂය භාර අමාත්‍යවරයා ය. නැතිනම් පොලිස්පති ය. තමන්ගේ යටත් නිලධාරීන්ගේ සුපිළිපන්භාවය හා විමර්ශනයේ අපක්‍ෂපාතීභාවය ගැන ප්‍රශ්නයක් නගන විට, එය එසේ නොවේ යැ’යි පිළිතුරු දිය යුත්තේ ඇමතිවරයා හෝ පොලිස්පතිවරයා ය. අවාසනාවකට මෙන් තමන්ගේ ආයතන හා නිලධාරීන්ට එල්ලවන චෝදනා ගැන නීතිය හා සාමය පිළිබඳ ඇමතිවරයාත්, පොලිස්පතිවරයාත් ඉන්නේ නොඇසූ කන් ඇති ව, නොපෙනෙන ඇස් ඇති ව මරණීය නිහඬතාවක ය. ඒ හැසිරීම, හරියට චෝදනාකරුවන් සමග එකට සිට ගැනීමක් වැනි ය. ඇමතිවරයාත්, පොලිස්පතිවරයාත් තමන්ගේ යටත් නිලධාරීන් ආරක්‍ෂා කර ගැනීමට ඉදිරියට එන්නේ කවදා ද?■