දයාසිරි හීන දකින්න කලින් නිදාගන්න


dayasiri

ටිරන් කුමාර බංගගමආරච්චි

සෑම ක්‍රීඩා ඇමතිවරයෙකුම කරන්නේ හඹායෑමකි. එහෙත් හැඩය වෙනස්. කරන්නේ එකම දේය. අලුත්ගමගේගෙන් ජය සේකර වෙනස්වන තැනක් නැති බව ඔහු එවූ පිළිතුරෙන්ම සනාථ විය. අලුත්ගමගේගේ පිරිසම දයාසිරි වැළඳගත් පසු ලැබෙන හාදුවල වෙනසක් නැති බව අමුතුවෙන් කිව යුතු නැත.
ජයසේකර මහතා එවූ පිළිතුරට එක්කර තිබූ ව්‍යාජ සැරසිලි එකිනෙක කඩාබිඳ දැමිය යුතු යැයි අපගේ හැඟීමය.

පිට්ටනි
පිට්ටනි සැදීමේ ආදිනව ඇමතිවරයා ඉදිරිපත් කොට තිබුණි. මේ පින්කමට වත්මන් ඇමතිවරයාද අතගසනුයේ පෙර ඇමතිවරයා මේ පින්කමින් මහත් පල මහානිසංස ලැබූ නිසාවෙනි. එහෙත් පින වුව තනිව එක් රැස්කර ගැනීම බෙදාහදා ගැනීමට වඩා යහපත්ය. එබැවින් මේ ඇමති මහා පරිමාණව කෙරෙන කොන්ත්‍රාත් පෙර සිටි අයගෙන් මාරුකොට තමන් යටතට ගැනීමට පිඹුරුපත් සැකසීය. රාජපක්‍ෂලාගෙන් අකුරු කළ අලුත්ගමගේ ඒවා සකස් කර තිබුණේ තමන්ගේ ඇවෑමෙන්ද තම පිරිසටම ඒ දේ රැකෙන ආකාරයටය. ගිවිසුම් සකස්කර ඇත්තේ මාරුකළ නොහැකි මට්ටමින්ය. එහෙත් ඊටද විකල්ප නැතිවාම නොවේ. කෙනෙකු මොනතරම් පැටලුවද අනෙකා ඒවා තව තවත් පටලවා හෝ ලිහා ගැනීමට මාන බලන්නේය. ඒ හැටිය. ඒ අනුව නූතන විදිය නම් තනිව ගලවන්නට බැරි වූ ගිවිසුම කෑලි කිරීමය. ඒ අනුව ක්‍රීඩාංගණයේ කොටස් (පැවිලියන්, පිටිය සැකසීම) ඉහත අයගෙන් ගලවා තම යටතට ගැනීමය. දැන් දේවල් සමනයවී ඇත. ගෙඩි පිටින් ගත නොහැකි දේ කෑලි කර ගෙන ඇත. කොන්ත්‍රාත්කරුවෝ යහපතට වඩා ලාභයම හිතන්නෝය.
බිංගිරිය ජයසේකර ඇමතිවරයාගේ මැතිවරණ කොට්ඨාසය පළාතට එක් ක්‍රීඩාංගණයක් (සියලු පහසුකම් ඇතිව) ඉදිකිරීම බිංගිරියට යන්නේ ඒ නිසාය. බැලූබැල්මට මෙය සාමාන්‍යය. ඡන්දය වෙනුවෙන් ඡන්ද ගුණ්ඩුවකි. එහෙත් පොදුවේ වැඩකරන කල ආසනයට නොව රට ගැන සිතිය යුතුය. පළාතට ක්‍රීඩාංගණයක් නම් එය ඉදිවිය යුත්තේ පළාතේ පහසුකම් සපිරි වටපිටාවේය. එනම් එය කුරුණෑගල හෝ කුලියාපිටියේ ඉදිකිරීම උචිතය. ඒ අවට සියලු ප්‍රදේශවලට පහසු බැවිනි. මෙය එසේ නොවී බිංගිරියට ගිය කල දේශපාලන චරිතම පක්‍ෂ විපක්‍ෂ නැතිව විරුද්ධ වූහ. එහෙත් බිංගිරියම ජයගත්තේය. දැන් මේ දේවල් සිදුවන්නේ ක්‍රීඩාවේ යහපතටද, ඡන්ද පතාද. යටිතල පහසුකම් බහුල වටපිටාවේ ක්‍රීඩාංගණ නොසාදා මුල්ලක සඟවන්නට ගන්නා වෑයම කොතරම් හරිද?
මිට අමතරව ඉදිවන කුඩා පිට්ටනි කොන්ත්‍රාත් ගෙන ඇත්තේ කවුද? ඒ අයට ඇමතිතුමා සමඟ ඇති හිතවත්කම් අවංකව කිව හැකිද?

ශරීර සුවතා
මේ යහපාලනයේ අංක එකේ ප්‍රෝඩාවකි. සිනා සපිරි රස සාගරයකි. එසේ වනුයේ ඇයි? වසරකට දවසක් දෙකක් මහා පරිමාණ මුදල් නාස්ති කොට වැස්සකටවත් දිවගොස් නැති අය කැමරාව ඉදිරියේ රූකඩ නැටීම නිසාය. මේ වසරේද විඩීයෝවක් හරහා මේ වාර්ෂික ව්‍යායාම මංගල්‍යය දැකගත හැකිවිය. ඒ දෙවැනි වතාවටය. මෙහි මුඛ්‍ය අරමුණ බෝ නොවන රෝග වළකා ගැනීම යැයි කියමු. ඒ සැලැස්මේ ක්‍රමවේදය අනුව රාජ්‍ය අංශ, පෞද්ගලික අංශ, පාසල් නිවසේ සිට, විශ්‍රාමිකයන්ට කප්පරක් අය යොදා ගන්නා ක්‍රමවේද තිබුණි. කොටින්ම අමාත්‍ය මණ්ඩලයේ සිට ග්‍රාමසේවා මට්ටම් දක්වාය. දැන් දෙවසරක් ගෙවෙන තැන මෙය සියයට පහක්වත් ව්‍යාප්තද? ක්‍රියාත්මකද? ඒ ගැන කළ පසු විපරමක් ඇත්ද? අධීක්‍ෂණයක් ඇත්ද? මේ ආවාට ගියාට කෙරෙන අටමගලය. කොටින්ම ක්‍රීඩා අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල හෝ මේ දේ නියමාකාරයෙන් සිදු වන්නේද? අවුරුද්දටම සතියක් පමණ ටීෂර්ට්, බොටම් මසාගෙන කැමරාවට අතපය විසිකොට එදා දවසම එය හාස්‍යයට ලක්කරමින් එයින් ඉපදුණ වාත අමාරු ගැන කතාකරමින් කාලය කා දැමීම හැර එයින් වූ සුගතිය කුමක්ද? මේවා හුදු මාධ්‍ය සංදර්ශනය. අපට මෙවැනි විහිළු නොකරන්නැයි ඇමතිට කියමු. අපි මේවා කළා කියා මදිය ඒවා කෙරෙනවාදැයි අවංකවන්න. අපි දයාසිරිට විරුද්ධව ලියූවේ දේවල් නොදැන නොවේ.

Talmet Identification

මෙය හොඳ සංකල්පයකි. ලෝකයේ අත්හදා බලන අත්හදා බලා ක්‍රියාවට නඟන ලොකු සැලැස්මකි. එහෙත් අප ඉන් අල්ලාගත්තේ වලිගයය. ඒ අපගේ හැටිය. විද්‍යා, ජානමය ලක්‍ෂණ, තාක්‍ෂණය සකල විද දෑ යොදාගෙන අපේ ළමුන්ගේ මට්ටම් හඳුනාගැනීමත් එය ව්‍යාප්ත කිරීමත් මෙහි අරමුණය. එබැවින් ඉතා අගනේය. ඒ සඳහා විවිධ ක්‍රමවේද දොළහක් හඳුන්වා දුන්නාද මතකය.
එහෙත් ඒ සියල්ල මලල ක්‍රීඩාවටය. එසේ නම් අනෙක් ක්‍රීඩාවන්ට වන ඉරණම කුමක්ද? ජිම්නාස්ටික්, බොක්සිං, ජුඩෝ, අවශ්‍ය නැද්ද? මේ වැඩක භාගයකි. එහෙත් කතාව නම් එළිවෙනකම්ය. දැන් කයිවාරුවේ දිග පළල බලමු. වයස අවුරුදු 13 දරුවන් 375,000න් යෝග්‍යතා සහ මානව දේහ ලක්‍ෂණ පරීක්‍ෂාවට යොමු කොට සිසුන් 75,000 තෝරාගෙන තව විකාර කියා ඇත.
මේ වනවිට කොපමණ ප්‍රමාණයක් හඳුනාගෙන ඇත්ද? ඒ අය රඳවාගනුයේ කොහෙද? එලෙස ගන්නා අයගේ අධ්‍යාපනය සැකසීමේ සැලැස්ම කොබඳුද? ඒ අයට නේවාසික පහසුකම් සපයනුයේ කෙසේද?
කුරුණෑගල ගතහොත් ගල්ගමුව, මහව, ගිරිබාව, වැනි ප්‍රදේශවල අය කුරුණෑගලට කැඳවා ආරක්‍ෂා කර ගත හැකිද? ඊට අවැසි පහසුකම් වේද? සැලසුම් ඇත්ද?
ජාතික මහා ක්‍රීඩා උළෙලට කොළඹට එන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉන්න හිටින්න තැන් නැතිය. එහෙත් කතාව නම් දෝලාවෙන්ය. කතාවට කිව හැකි බොහෝ දේ ප්‍රායෝගිකව අපහසුය. අප දයාසිරි කළ දේ අහන්නේ ක්‍රියාවන් ගැන විනා කතා ගැන නොවේය. ක්‍රමවේද සැකසිය යුත්තේ රෝග නිදානයට විනා රෝග මූලයට නොවේ. ඒ නිසා මුලින්ම පටන් ගන්න. හීන දකින්න කලින් නිදාගන්න.

සුගතදාස ක්‍රීඩාංගණය
ඒ ගැන ලිවීමත් නොවටිනා තරම්ය. කයිවාරු ඉවතලා සුගතදාස ක්‍රීඩාංගණය නිමකරන්න. මාධ්‍ය සංදර්ශන පවත්වා ගහකොළ ආයතනයට නඩු දමන බවත් තමා නීතිඥයකු බවත් කීවා මතකය. ඒ කතා කෝ. සමාවන්න ක්‍රියාවට නැගෙන්නේ කවදාද? ගහකොළ අය ක්‍රීඩා අමාත්‍යාංශයට එති. යති. කතාබතා පවත්වති. එපමණය. තවමත් පිට්ටනිය එසේමය. මේ ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ ඉල්ලමකි. එයින් ඉල්ලම් මතු කරගන්නෝ එමටය. තවමත් එය එසේමය.

කාර්ය මණ්ඩලය
ඇමති කාර්ය මණ්ඩලය පහළොවකි. සම්පත් දිසානායක පෞද්ගලික ලේකම්ය. ඊට අමතරව තව ආයතනයක සාමාන්‍ය අධිකාරිය. සුගතදාස ක්‍රීඩාංගණයේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයෙකි. වැටුප් තුනක් ලබාගැනීම පැත්තකින් තබමු. ඔහුට වැඩ කරන්නට කාලයක් වේද? එහෙත් ඔහු ක්‍රීඩා අමාත්‍යාංශයට වරුවකට හෝ එන්නේය. ඉතිරි අය එන්නේද? සමහරුන් කුරුණෑගල නිවෙස්වල සිට වැටුප් නොගත්තේද? මාධ්‍ය සාකච්ඡාවලට නොඑන එක කතා නොකර ඒ අය වැටුපට වැඩ කරනවාදැයි සෙවිය යුතු නැද්ද? සමහර ලේකම්වරුන් ක්‍රීඩා අමාත්‍යාංශය දැක ඇත්දැයි පවා සැක සහිතය.
තව කිව යුතු දේ බොහෝය. දැනට කැඩූ සැරසිලි අස්කරන්නට ඉඩහරිමු. අප දන්නා තරමින් ක්‍රීඩා අමාත්‍යාංශ මාධ්‍ය ලේකම් බන්දු නමැත්තෙකි. ඔහු දැක ඇත්තෙක්ද නැති තරම්ය. අධික කොන්ත්‍රාත් ගොන්නකට හිරවී ඇති නිසා ඊට අදාළ වැටුප ගන්නට ඔහුට වැඩ කරන්නට කාලයක් නැත. ඒ නිසා ප්‍රවෘත්ති නිලධාරියා ලෙස ලක්බිමෙන් ආ තරුණයාට වැඩ අධිකය. හෙට කනවා යැයි කීවාට අද බඩ පිරෙන්නේ නැත. එබැවින් අනාගත සිහින සාප්පු පසෙක ලා වැඩ කරන්නැයි අපි ඇමතිට කියමු. කරන්න සිටින මේ වැඩ හෝ උපරිම දායකත්වය යොදා කරන්න. මන්ද කියනවාට වඩා ක්‍රියාවට නැඟීම අපහසුය. දැන්ම මහන්සි වන්න. දැනට එපමණකි.■