රටේ අනාගතය අඳුරු කරන සාපරාධී කුමන්ත්‍රණ

මහාචාර්ය සරත් විජේසූරිය

එක්සත් ජනතා නිදහස් සන් ධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලි මේන්තුවට පත් කර තිබෙන මලිත් ජයතිලක මන්ත්‍රීවරයා බලය අවභාවිත කරන අන්දම අනාවරණය කිරීම මේ ලිපියේ අරමුණයි.
2015 ජනාධිපති වරණයෙන් අනතුරුව ජනාධිපතිවරයාට සමීපව කටයුතු කරන පුද්ගලයන් කිහිපදෙනා අතරින් මලිත් ජයතිලක මහතා ප්‍රමුඛයෙකි. ජනාධිපතිවරයා මුළා කරමින් ඔහු මේ වන විට සිදු කර තිබෙන කටයුතු අහිංසක ඒවා නොවන්නේය. ඒවා සැලසුම් සහගතව සිදු කර තිබෙන බරපතළ වැරදිය. දෙවතාවක් මා මෙතුමාගේ කටයුතු ‘රාවය’ ඔස්සේම පෙන්වා දී තිබේ. වික්ටර් අයිවන් මහතා ද මෙතුමාගේ දේශපාලන භූමිකාව තදින් විවේචනය කර ඇත.
මලිත් ජයතිලකගෙන් මට පෞද්ගලිකව කිසිම අනර්ථයක් සිදු වී නැත. ඔහු මා කෙරේ ඉතා ගෞරවනීය වූ පුද්ගලයෙකු ලෙසින් සිටි බව ද කියනු කැමැත්තෙමි. ඔහුගෙන් මා යම් උපකාරයක් ඉල්ලා සිටියහොත් එය උපරිම මට්ටමින් ඉටු කරන තරමට මා කෙරේ යම් බැඳීමක් තිබුණා යයි ද මම සිතමි. එබැවින් මගේ විවේචනයට අදාළ වන්නේ ප්‍රතිපත්තිමය කාරණා විනා පෞද්ගලික කාරණා නොවන බව දිවුරා පැවසීමට මට පුළුවන. දේශපාලනමය සංදර්භයක දී බොහෝ විට පුද්ගල සම්බන්ධතා පළුදු වන්නේ පෞද්ගලික හේතු සාධක නිසාය. මලිත් ජයතිලකගේ භූමිකාව මීට පෙර මා විවේචනයට ලක් කළේ පෞද්ගලික හේතු කාරණා මත නොවන බව මටත් වඩා හොඳින් මලිත් ජයතිලක දන්නවා විය යුතුය. මා අවධාරණයෙන් පවසන්නේ මලිත් ජයතිලක මන්ත්‍රීවරයා සම්බන්ධව මගේ හිත පළමුවෙන්ම දෙදරා ගියේ ඔහු විසින් ලියන ලද “මා දුටු ජනවාරි 08” නමැති කෘතිය කියවීමෙන් අනතුරුව බවයි.
දිවි පරදුවට තබා ජනවාරි 08 වෙනසට දායක වුණ පිරිස පමණක් නොව, හැට දෙලක්ෂයකට අධික ජනතාවගේ ප්‍රාර්ථනා පාවා දෙන සාහසික කුමන්ත්‍රණයක නිමග්න වූ මේ තරුණයා, අද මන්ත්‍රීවරයෙකු ලෙසින් සිදු කරන කටයුතු වඩාත් බරපතළය.

අභූත චෝදනා සහ සත්‍යය
මාර්තු 18 වෙනිදා උදෑසන පෙරවරු 7.45ට මාගේ ජංගම දුරකථනයට මලිත් ජයතිලක මන්ත්‍රීතුමාගෙන් ඇමතුමක් ලැබුණි. ඒ ඇමතුම ලබා දෙන්නට ඉවහල් වී තිබුණේ ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ පළ වී තිබුණ විමල් ධීරසේකරගේ ලිපියකි. ඒ ලිපියෙන් මලිත් ජයතිලක මහතා දැනට අත්අඩංගුවේ සිටින සිය හිතවතෙකු (නාවික හමුදාවේ නිලධාරියෙකු) බේරා ගැනීමට ගන්නා උත්සාහය විවේචනය කර තිබුණි. මලිත් ජයතිලකගේ එම නොමනා කටයුත්ත සම්බන්ධව මටත් බරපතළ විවේචනයක් ඇත. එනමුත් මා ඒ සම්බන්ධව කිසිම මාධ්‍යයකට මේ වනතුරු කිසිවක් ලියා නැත. මලිත් ජයතිලක උපකල්පනය කර තිබෙන්නේ විමල් ධීරසේකර නමින් ලිපි ලියන්නේ සරත් විජේසූරිය වන මා බවයි. එය මුග්ධ හිතලුවකි.
මා කිසිම මාධ්‍යයකට මගේ නමින් හැර ආරූඪ නාමයකින් කිසිවක් කිසිම ආකාරයකින් ලියා නැත. මහින්ද රාජපක්ෂ ගැන, ගෝඨාභය රාජපක්ෂ ගැන, වත්මන් ජනාධිපතිවරයා ගැන, අගමැතිවරයා ගැන මගේ විවේචන මා විවෘතව හා ඍජුව ඉදිරිපත් කර ඇත. ලියා පළ කර ඇත.
මා ඔහුට වැදගත් අන්දමට කරුණු පැහැදිලි කළ ද, අවසන ඔහු සිය මතයේම එල්බගෙන මට නැඟූ සාවi චෝදනාව යළිත් නඟමින් සිය දුරකථනය විසන්ධි කළේය. අනතුරුව මා කල්පනා කළේ ජනාධිපතිවරයාට සමීපව සිටින මේ පුද්ගලයන් තම තම නැණ පමණින් සාවi උපකල්පනවල නිමග්නව ජනාධිපතිවරයා මොන තරම් අවිiාවක ගිල්වනවා ඇත් ද යන්නය.
මලිත් ජයතිලක මට නඟන ලද චෝදනාව සහසුද්දෙන්ම සාවiය. ඒ චෝදනාව සාවi බව පැහැදිලි කරමින් මම ඔහුට අභියෝගයක් කළෙමි. ඔහු එම අභියෝගය භාර ගන්නා බව 2017.03.21 වෙනි දින පෙරවරු 7.53ට මගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබා දෙමින් පැවසුවේය. මම එය සිදු කරන ලෙස පැවසීමි. දැන් තිබෙන්නේ මන්ත්‍රීතුමාගේ පරචිත්ත විජානන ඥානය විදහාපෑමට අවස්ථාවයි.
මගේ අභියෝගය නැවතත් අවධාරණය කරමි. ඊනිව්ස් වෙඞ් අඩවියට විමල් ධීරසේකර නමින් ලිපි ලියන්නේ මා බව සනාථ කරන්නේ නම්, මම කොළඹ විශ්වවිiාලයේ සිංහල අංශයේ මහාචාර්ය පදවියෙන් ඉල්ලා අස්වෙමි. ඒ ප්‍රමාණවත් නොවේ නම්, එතුමන්ලා රණ විරුවන් සේ සලකන මිනීමරුවෙකු ලවා මා ඝාතනය කිරීමට අවසරය මම ලියා අත්සන් කර දෙමි. අලුතෙන් මෙසේ ද පවසමි. වෙඩි උණ්ඩයක් වැය කිරීම අලාභයක් නම්, කැමති අයට රිසි අන්දමින් ගල් ගසා මරා දැමීමට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට ස්වකැමැත්තෙන් පැමිණ නිරුවතින් සිට ගෙන සිටිමි.

බල අරගලය
අද ආණ්ඩුව තුළ බල අරගලයක් පවතියි. ඒ බල අරගලය ඉබේ ඇතිවූ එකක් නොව, ඇති කරන ලද්දකි. මේ බල අරගලය උදෙසා මලිත් ජයතිලක වගකිවයුත්තෙකි.
ජනවාරි 08 වෙනිදා පැවති ජනාධිපතිවරණයට තරග කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා, ඉදිරිපත් වන්නේ එජාපයේ දේශපාලනය හෝ රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලනය ගැන අනවබෝධයකින් නොවේ. එතුමා දිවි පරදුවට තබා පෙරට එන්නේ රනිල් වික්‍රමසිංහ මහතා කෙරේ අසීමිත විශ්වාසයක් තබමිනි. අදටත් අප කල්පනා කරන්නේ යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් එතුමා නිර්භීත කැපකිරීමක් කළ බවයි.
අවසන් මොහොත වනතුරුම ජනාධිපති වරණයට ඉදිරිපත් වීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර සිටියේය. ඒ තීරණය වෙනස් කොට, පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කරන බවත්, එතුමාට සහාය ලබා දෙන ලෙසත් පැහැදිලි කොට, වික්‍රමසිංහ මහතා එකඟ කර ගන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියයි. ඒ අනුව එජාපයේ ඡන්දවලින් පොදු අපේක්ෂකයාගේ ජය ග්‍රහණයට පදනම දැමීමට රනිල් වික්‍රමසිංහ මහතා කැපවන බවට ගොඩ නැඟෙන්නේ විශ්වාසයකි. ඒ විශ්වාසය මත රාජපක්ෂ පාලනය පරාජය කිරීම උදෙසා එජාපයේ සහාය පොදු අපේක්ෂකයාට ලැබෙන්නේ පක්ෂයේ නායකයා ලෙස වික්‍රමසිංහ මහතා ගත් තීන්දුව නිසාය. එය මොනම අන්දමකින්වත් අවතක්සේරු නොකළ යුතුය.
එබැවින් රනිල්-මෛත්‍රී සහ සම්බන්ධය ගොඩ නැඟෙන්නේ එකට එකතුව දුර ගමනක් යන්නට, පරමාදර්ශී වැඩ කොටසක් රට වෙනුවෙන් ඉටු කරන්නට බව අමතක නොකළ යුත්තකි. සියලු හොඳ නරක කුලගොත් දැනගෙන විවාහයක් සිදු කර ගැනීමෙන් අනතුරුව එකට වාසය කිරීම කළ යුතුය. නොඑසේ නම් නීතියෙන් වෙන් විය යුතුය. එහෙත්, දායාදය ලබාගෙන, දේපළ ලියා ගෙන, බිරිඳ බඩදරු කොට සැමියා නීතියෙන් වෙන්වීමට කල්පනා කරන්නේ නම් එය ශිෂ්ටසම්පන්න නැත. එවැනි අශිෂ්ට කටයුත්තට ජනාධිපතිවරයා තල්ලු කරමින් සිටින බව මේ වන විට රටට නොරහසකි. ඒ අවිනීත කටයුත්තේ මොළකාරයන් අතර තමන් පුරෝගාමියෙකු බව මලිත් ජයතිලක මහතාම සිය කෘතියෙන් අනාවරණය කර ඇත.
මේ රටේ රාජපක්ෂ පාලනය රටට හිතකර නැති බව අවබෝධ කර ගනිමින් ගොඩ නැඟුණ සිවිල් බලවේග, සමඟ එකතු වුණ වෙනත් දේශපාලන පක්ෂ ජනාධිපතිවරණයේ දී කැප වන්නේ එජාපයේ ජයග්‍රහණයක් වෙනුවෙන් නොවන බව පැහැදිලිව කිව යුතුය. සත්තකින්ම කැප වන්නේ රාජපක්ෂ පාලනය පරාජය කිරීම වෙනුවෙන් නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා වෙනුවෙනි. ඒ උදෙසා තම තමන්ගේ දේශපාලන මතවාද මෙන්ම, තම තමන්ගේ දේශපාලන පක්ෂවල කණ්ණාඩි ද ඇතැමුන් තාවකාලිකව ගලවා පැත්තකින් තැබීය. ඉනික්බිතිව පැවති මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ යළි නැඟිටින්නේ මලිත් ජයතිලකලාගේ සහායෙනි. ඔහු ප්‍රතිවිප්ලවයකට සූදානම් වූ බැවින් ඒ මැතිවරණයේ දී ජනවාරි 08 වෙනසට දායක වුණ සියලු බලවේග යළි කැප වන්නේ යළි රාජපක්ෂ පාලනයක් වෙනුවෙන් මඟ ඇහිරීමටය. ඒ වූ කලි එජාපය වෙනුවෙන් පෙනී සිටීමක් නොව, ජයග්‍රහණය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කැපවීමකි.
අද තත්වය කුමක් ද? මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් බඩ බැඳගෙන කැපවුණ පුද්ගලයන් ජනාධිපති වරයාගේ කරුණාව ලබාගෙන අහිමි බලයක් උරුම කරගෙන ත්‍රස්ත ප්‍රහාර එල්ල කරමින්, ජනවාරි 08 වෙනිදා ප්‍රතිඥාවලට ප්‍රතිවිරෝධීව අවලාද නැඟීමය. ජනාධිපතිවරයාට ශීලාචාර දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පියවර ඔසවන්නට බාධා කිරීමය. ඔවුන්ට එසේ කිරීමට සදාචාරාත්මක අයිතියක් නැත. එබැවින් ජනවාරි 08 ජයග්‍රහණයේ ගාමක බලවේගය ලෙස සැලකෙන සිවිල් සමාජයට මේ පසුබිමේ කරබා පැත්තකට වී සිටින්නට නොහැකිය. මලිත් ජයතිලක ඇතුළු කිහිප දෙනෙක් මේ තත්වය තමන්ගේ මට්ටමින් විවරණය කර ජනාධිපතිවරයාට ගතු කියන්නට උත්සුක වන්නේ දිරච්ච ලණු ගිල්වමිනි. ඔවුන්ගේ මූලික ප්‍රවාදය වී තිබෙන්නේ සිවිල් සමාජය එජාපයේ අතකොලුවකි. සිවිල් සමාජයේ උදවිය අරලියගහ මන්දිරයෙන් පඩි ලබන්නෝ වෙති. ජනාධිපතිවරයාට සමීපව සිටින මලිත් ජයතිලක ඇතුළු කිහිප දෙනෙකු මේ අමූලික ප්‍රවාද ගොඩ නඟා ඉදිරිපත් කරන බව මම දනිමි. මා එය දැන ගත්තේ මලිත් ජයතිලකගෙන්මය.
මලිත් ජයතිලකගේ ඒකායන අභිප්‍රාය වී තිබෙන්නේ රාජපක්ෂවරුන් සමඟ සමගි සන්ධානයකින් ශ්‍රීලනිපය බලයට පත් කිරීම සඳහා ජනාධිපතිවරයා පොළඹවා ගැනීමය. සිවිල් සමාජයේ ඒකායන ප්‍රාර්ථනය වී තිබෙන්නේ රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර සහ සම්බන්ධය ආරක්ෂා කිරීමය. ජනාධිපතිවරයාගේ මනස දූෂණය කිරීමට ජනවාරි 08 එතුමා වෙනුවෙන් කැපවුණ සිවිල් බලවේග කිසිවක්ම කර නැත. මලිත් ජයතිලකලා විසි හතර පැයම කැප කරමින් කරන්නේ ජනාධිපති වරයාගේ මනස දූෂණය කිරීමටය.

අළු යට ගිනි
රාජපක්ෂ පාලනය දුර්දාන්ත පාලනයක් බව, පවුල් පාලනයක් බව, නීතියේ ආධිපත්‍යය කෙලෙසූ පාලනයක් බව වඩාත් හොඳින් රටට පැහැදිලි කළේ පොදු අපේක්ෂකයා වුණ මෛත්‍රීපාල සිරිසේන මහතාය. ඒ පාලනය පරාජය කිරීමටය ඔහු එජාපයේ නායකයා කෙරේ විශ්වාසය තැබුවේ. ඉන් යහපතක් මිස අයහපතක් සිදු වුණේ නැත. ඉන් මෛත්‍රීපාල සිරිසේන මහතාට පෞද්ගලිකව ද, රටට පොදුවේ ද කිසියම් යහපතක් සිදුවුණ බව පිළිගත යුතුය. ඒ නිසා එජාපය මිස වෙන පක්ෂයක් දේශපාලනයේ නිමග්න වීම අවශ්‍ය නැත යන්න කිසිවෙකුට පැවසිය නොහැකිය. එජාපයේ ප්‍රතිපත්ති කෙරේ එජාපයේ නොවන සියල්ලන්ම එකඟ විය යුතු ද නැත. වැදගත් වන්නේ මේ අවස්ථාවේ රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ප්‍රධාන පක්ෂ දෙක ගිරි දුර්ග වන පෙත් ඇතුළු සියලු බාධක මැදින් යා යුතු වෙහෙසකර ගමන යාමය. ඒ සඳහා අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර හොඳ හිත හා අන්‍යොන්‍ය විශ්වාසය අතිශයින් තීරණාත්මකය. අද හොඳ හිත හා අන්‍යොන්‍ය විශ්වාසය පළුදු වී තිබෙන බව පෙනේ. සැබවින්ම පළුදු කර තිබේ. ඒ වරද සිදු කිරීමට මලිත් ජයතිලක සිදු කර තිබෙන කටයුතු සුළුපටු නොවේ.
අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති පදවියට ගෙන ඒමෙන් අගමැතිවරයා කළ වරද බරපතළය. ඒ වරදට රටේ නීති ගරුක පුරවැසියන්ගෙන් සමාවක් නැත. අනාගතයේ ඒ වෙනුවෙන් විශාල වන්දියක් ගෙවීමට අගමැතිවරයාට සිදු වීම අනිවාර්ය වේ. ඒ අවාසනාවන්ත සිද්ධිය හේතුවෙන් ජනවාරි 08 ප්‍රාර්ථනා අද දෙදරා ඇත. මේ වූ කලි අවාසනාවන්ත තත්වයකි. ඒ වරද නිවැරදි කළ යුතුය. ඒ වරද ඔස්සේ දේශපාලන ප්‍රතිසංස්කරණ අඩාල කිරීමට ද ඉඩ දිය නොහැකිය.
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර හොඳ හිත පළුදු වීමට ප්‍රධාන හේතුව බැඳුම්කර ගනුදෙනුව නොවන්නේය. හේතු කිහිපයක් ඇත. ප්‍රධානතම හේතුව උග්‍ර රනිල් විරෝධියෙකු වන ශිරාල් ලක්තිලක ජනාධිපති වරයා ජනාධිපතිවරණයෙන් අනතුරුව තමන්ගේ සම්බන්ධීකරණ ලේකම් වරයා බවට පත් කර ගැනීමය. එය බරපතළ වරදකි. මේ සම්බන්ධව මාදුළුවාවේ සෝභිත හිමියෝ පැහැදිලිවම අප්‍රසාදය පළ කළහ. ඒ වැරදි තීන්දුව අගමැතිවරයාට එල්ල කළ අතුල් පහරකි.
දෙවන හේතුව වන්නේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර අවබෝධය හා සම්බන්ධය උදෙසා තීරණාත්මක චරිතය වුණ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය හා ජනාධිපතිවරයා අතර හොඳ හිත පළුදු කිරීමය. එය සිදු කළේ මලිත් ජයතිලකය. ඔහු ඊට නිර්මාණය කළ න්‍යායක් ඇත. ‘චන්ද්‍රිකා රනිල්ගෙන් ආණ්ඩුව එදා උදුරා ගත්ත එක ගැන දුක් වෙනවා. මේ අවස්ථාවෙ හදන්නෙ ඒකට වන්දි ගෙවන්න’. මෙවැනි හිතලු ඔස්සේ මේ පුද්ගලයා කරන්නේ රටේ අනාගතය අඳුරකට තල්ලු කිරීමට බව කියන්නට සාධක අපමණව ඇත.
මලිත් ජයතිලක ඇතුළු කිහිප දෙනෙකු කළ තවත් අවිනීත කටයුත්තක් වන්නේ මාදුළුවාවේ සෝභිත හිමියන් හා ජනාධිපතිවරයා අතර හොඳ හිත පළුදු කිරීමය. සෝභිත හිමියන් ඒ ගැන කනගාටු වුණේ ඉන් තමන් වහන්සේ නොසලකා හැරිය නිසා නොව, රටේ බලාපොරොත්තු ඉටු නොවන තත්වයකට බල අරගලයක් ඇති වෙන නිසාය. එදා උන් වහන්සේ කළ අනතුරු ඇඟවීම අද යථාර්ථයක් වී ඇත. ඒ ගැන වෙනම කතා කළ යුතුය.
මලිත් ජයතිලක සිදු කළ හා සිදු කරන අනෙක් දුෂ්ට කටයුත්ත වන්නේ, ජනවාරි 08 වෙනිදා ජයග්‍රහණයට කැප වුණ සිවිල් සමාජ බලවේග හා ජනාධිපතිවරයා අතර හොඳ හිත පළුදු කිරීමය. නුදුරු දිනෙක ජනාධිපතිවරයා ජනවාරි 08 වෙනිදා ජයග්‍රහණයට කැපවුණ සිවිල් බලවේග හෙළා තලා කතා කළත් පුදුම විය යුතු නැත.

ඝාතන සංස්කෘතිය
රාජපක්ෂ පාලන සමය පරාජය කිරීමට ප්‍රධාන සාධකයක් වුණේ සාපරාධී මනුෂ්‍ය ඝාතනයන්ය. ඒ මනුෂ්‍ය ඝාතන සමඟ යුද්ධයේ අදාළත්වයක් නැත. මේ සියලු මනුෂ්‍ය ඝාතන, පැහැර ගැනීම් හා අතුරුදන් කිරීම්, රටේ ජීවත්වීමේ අයිතිය අහෝසි කිරීම් සිදු කර ඇත්තේ රජයේ නිල හමුදාවල සාමාජිකයන් පිරිසක් මාර්ගයෙනි. සියලු හමුදාවලට සහ පොලීසියට අණ දෙන්නට හැකි අසාමාන්‍ය රාජ්‍ය බලයක් ගෝඨාභය රාජපක්ෂ හිමි කරගෙන සිටියේය. එබැවින් සාපරාධී මනුෂ ඝාතනවලට ඔහු වග කිව යුතු චරිතයකි.
ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ නීති ගරුක උසස් නිලධාරීන් පමණක් නොව, සෙසු නිලයන් නියෝජනය කරන බහුතරයක් පවසා සිටින්නේ මනුෂ්‍ය ඝාතනවලට අදාළ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි. අභාග්‍යය නම් ඒ හඬ ජනාධිපතිවරයාගේ සවනට යොමු නොවීමය. ජනාධිපතිවරයාගේ සවනට ඇසෙන්නේ රණවිරුවන් දඩයම් කරනවා යන මුග්ධ හිතලුය. ඒ නිසා ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇත යන අමූලික අසත්‍යයන්ය. මෙබඳු සංදර්භයක වරින් වර ජනාධිපතිවරයා පවසන්නේ රණ විරුවන්ට නඩු පැවරීමට තමා ඉඩ නොදෙන බවයි. ජනාධිපතිවරයා මෙහිදී නොතකා හරින වැදගත් කාරණාවක් ඇත. එය නම්, සැබෑ රණවිරුවෝ සැබවින්ම මිනීමරුවෝ නොවෙත්ය යන්නත්, මීනීමරුවෝ මොනම අන්දමකින්වත් රණවිරුවෝ ද නොවෙත්ය යන්නත්ය.
රණවිරුවන් සම්බන්ධ පරීක්ෂණවලින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් සිදුවේය යන භීතිකාව ජනාධිපතිවරයා තුළ ඇති කළේ කවුරුන් ද? තමන්ගේ පාසල් මිතුරෙකු නොවන්නේ ද? ඒ මිතුරාගේ කැරැට්ටුව ගැන ජනාධිපතිවරයා සැබෑ තතු නොදන්නේ ද? ඔහු අඟේ ඉඳගෙන කන කන අන්දම ජනාධිපතිවරයාට ප්‍රශ්නයක් නොවීම පුදුම සහගතය. ඔහු බරපතළ අපරාදයක් කරන බව රටේ නායකයා වටහා නොගැනීම නොවේද ජාතික ආරක්ෂාව සම්බන්ධ තර්ජනය වන්නේ?
යුද්ධය හා සම්බන්ධ කිසිදු සිදුවීමක් අරභයා කිසිම හමුදා නිලධාරියෙකුට සිදු කරන පරීක්ෂණවලින් අනර්ථයක් සිදු නොවන බව පැහැදිලි කාරණාවකි. ලංකාවේ රහස් පොලීසියේ ඉහළම ගණයේ විමර්ශකයන් සිටින බව නොරහසකි. අවම පහසුකම් යටතේ, කිසිදු වරප්‍රසාදයක් නොමැතිව, ජීවිත පරදුවට තබා කැපවී සේවය කරන මේ නිලධාරීන් රටේ දේශපාලනඥයන්ට වඩා උදාරය. ඔවුන් වැටුපක් ලබන රාජ්‍ය සේවකයන් පිරිසකි. ඔවුන්ගේ රාජකාරිවලදී ප්‍රශ්න කිරීමට සිදු වන්නේ, කවුරුන් සමඟ ද? හිටපු යුද හමුදාපතිවරුන් සමඟය. මැති ඇමතිවරුන් සමඟය. පොලීසියේ ඉහළම නිලධාරීන් සමඟය. රජයේ ඉහළම නිලධාරීන් සමඟය. හිටපු මහා බලසම්පන්න ආරක්ෂක ලේකම්වරයා සමඟය. මේවා මොනව අන්දමටවත් සරල සැහැල්ලු කටයුතු නොවේ. ආණ්ඩුව, විශේෂයෙන්ම ජනාධි පතිවරයා ඔවුන්ට සහාය දැක්වීම විනා ඔවුන් අධෛර්ය කිරීම නොකළ යුත්තකි. රටේ නායකයන් වැසිකිළියට යන්නටවත් විමල් වීරවංශගේ ඇඳුම් නොඇඳිය යුතුය.
මලිත් ජයතිලකට තිබෙන්නේ පෞද්ගලික න්‍යාය පත්‍රයකි. එහි ඉහළින්ම තිබෙන්නේ රාජපක්ෂ පවුල ආරක්ෂා කර ගනිමින් හෝ ශ්‍රීලනිපයේ බලය අත් පත් කර ගැනීමය. රටේ අනාගතයට හෙණ හත වැදුණත් ඔහුට කම් නැත. ඊළඟට තිබෙන්නේ එජාපයේ නායකයා සම්බන්ධව ජනාධි පතිවරයාගේ හිතේ වෛරය වැපිරීමය. එජාප නායකයා කරන සියලු කටයුතු නිවැරදි නොවේ. එහෙත් කඩා වැටුණ ආර්ථිකය ගොඩ ගැනීමට හා ජාත්‍යන්තර වශයෙන් අප රටට අත්ව තිබෙන ඉරණම යම් අන්දමකට හෝ වෙනස් තැනකට පත් කර ගැනීමට යම් හැකියාවක් තිබෙන්නේ ඔහුටය. එජාපයේ නායකයා සමඟ දේශපාලන සටනක් කළ යුත්තේ විවෘත අවකාශයකය. නිසි පරිදි මැතිවරණයක දීය. මැතිවරණයක දී ඔහු පරාද කිරීම එකකි, රාජ්‍ය පාලනය අර්බුදයකට තල්ලු කිරීම විනාශකාරී කටයුත්තකි.
දයාන් ජයතිලක හොර පාරවල්වලින් පෙරමුණට කැඳවමින් තමන් ළඟ සිටින බඩියන් තමන්ගේ ආණ්ඩුවට පහර දෙන අශිෂ්ට කටයුතුවලට ජනාධි පතිවරයා ආශීර්වාද නොකළ යුතුය. ජනාධිපතිවරයාට අද ඉතා පැහැදිලිව ජාත්‍යන්තරයේ ගෞරවනීය පිළිගැනීමක් ලැබී තිබෙන්නේ දයාන් ජයතිලක දෙසන වැදි බණ නිසා නොවන බව ද පියවි සිහියෙන් අවබෝධ කර ගත යුතුය. ඒ පිළිගැනීම එක රැයකින් නැති කර දැමීමට දයාන් ජයතිලකට පුළුවන. එහි වන්දි ගෙවන්න සිදු වන්නේ රටටය.
මලිත් ජයතිලක නාවික හමුදාවේ සේවය කළ තම මිත්‍රයෙකු බේරා ගැනීමේ සටනක නිරතව සිටින බව දැන් අනාවරණය වී ඇත. ඔහු ඒ කටයුත්ත කරන්නේ මන්ත්‍රීවරයෙකු ලෙස තමන්ගේ වරප්‍රසාද අවභාවිත කරමිනි.
නාවික හමුදාවේ වැදගත් නිලයක් දරන මගේ මිතුරෙකු දිනක් මට පැවසුවේ මලිත් ජයතිලක මන්ත්‍රීවරයා සාපරාධී මනුෂ්‍ය ඝාතනවලට අදාළ පරීක්ෂණ අඩාල කිරීමට බලය අවභාවිත කරන බවය. ඔහුගේ ඇමතුමෙන් අනතුරුව මම මලිත් ජයතිලකට දුරකථනයෙන් කතා කළෙමි. ඔහු තමන්ගේ මිතුරෙකු නිදහස් කර ගැනීම වෙනුවෙන් පොලිස්පතිතුමා මුණගැසුණ බවත්, පොලිස්පතිතුමාගේ උපදෙස් මත අදාළ පරීක්ෂණය සිදු කරන නිලධාරියාගෙන් විස්තර විමසා සිටි බවත් පිළි ගත්තේය. පසුව මම පොලිස්පතිතුමා මුණගැසී මේ ගැන විමසුවෙමි. මලිත් ජයතිලක මන්ත්‍රීවරයා තවත් කෙනෙකු සමඟ තමන් මුණගැසීමට පැමිණි බවත්, තමන් ඔහුට අවශ්‍ය කරුණු දැන ගැනීමට අදාළ නිලධාරියා යොමු කළ බවත් පොලිස්පතිතුමා පැවසීය. මලිත් ජයතිලක සමඟ පැමිණ සිටින්නේ චෝදනාවට ලක්ව සිටින පුද්ගලයාගේ සහෝදරයා බව පොලිස්පතිතුමා නොදැන සිටි බවය ඔහුගේ අදහස්වලින් මට වැටහුණේ.
ජාතික ආරක්ෂාව සම්බන්ධ පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභාවේ සභාපතිවරයා ලෙස පත්වී සිටින්නේ මලිත් ජයතිලක මන්ත්‍රීවරයාය. මේ නෛතික බලය සාවi අන්දමට පරිහරණය කරමින් ඔහු පොලිස්පතිවරයා මුණ ගැසී තිබෙන්නේ චෝදනා ලැබ බන්ධනාගාරගතව සිටින නිලධාරියෙකුගේ සහෝදර යෙකු සමඟිනි. අදාළ පරීක්ෂණ සිදු කරන නිලධාරියාට පොලිස් පතිවරයාගේ නියමය මත මේ දෙදෙනා ඉදිරිපිට තම පරීක්ෂණ කටයුතු ගැන පැහැදිලි කිරීමට සිදු වී ඇත. එය මොන තරම් ඛේදයක් ද? ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මේවා මලිත් ජයතිලකට පවරා තිබෙන්නේ කවුරුන් ද? මේ බලය ඉවහල් කරගෙන ලබා ගන්නා තොරතුරුවලින් ගෝඨාභය රාජපක්ෂ නීතියේ රැහැනට හසු වෙන බව දැන ගෙන මලිත් ජයතිලක සිදු කරන්නේ ජනාධිපතිවරයා පඹ ගාලක පැටලවීම නොවේ ද?

නායකයන්ගේ අර්බුදය
ඉතා කනගාටුවෙන් වුව කිව යුතුව තිබෙන්නේ වත්මන් ජනාධිපතිවරයා තමන් සමීපයට ගෙන තිබෙන්නේ හා විශ්වාසය තබා තිබෙන්නේ රාජ්‍ය පාලනය උදෙසා සහායක් ලැබීමට අවශ්‍ය ප්‍රඥාවක් ඇති පුද්ගලයන් නොවේය යන්නයි. ඒ සඳහා අවශ්‍ය බුද්ධිමය ගැඹුරක් හා රට වෙනුවෙන් අවංකව කැපවීමට සමත් පුද්ගලයන් නොවේය යන්නයි. ජනාධිපතිවරයාට සමීපව සිටින්නේ ඉතා නරක අන්දමේ පටු හා පෞද්ගලික න්‍යාය පත්‍රයන් අතැති පුද්ගලයන්ය. මේ පුද්ගලයන් පවසන්නේ අප නඟන මේ චෝදනාවන් සාවi බවයි. ඔවුන් පෙරළා විමසන්නේ, දීර්ඝ කාලීන දේශපාලන අත්දැකීම් තිබෙන නායකයෙකුට අප වැනි පොඩියන්ලාට බලපෑම් කළ හැකි ද යන්නයි. නායකයන් ද එවැනිම බසකි කියන්නේ. එහෙත් මහ පොළොවේ යථාර්ථය ඊට වෙනස්ය.
ජනවාරි 08 වෙනිදා වෙනසට ප්‍රධාන සාධකය වූයේ මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙකු ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වීමය. ඒ වෙනස සිදු වුණේ මලිත් ජයතිලකගේ ප්‍රසන්ටේන් විග්‍රහය නිසා නොවන බව ද අවධාරණයෙන් පැවසිය යුතුය. මාදුළුවාවේ සෝභිත හිමියන් සමාජ ව්‍යාපාරයක් ගොඩ නැඟුවේ මලිත් ජයතිලකගේ ප්‍රසන්ටේන් විග්‍රහය ඇසින් දැක හෝ කනින් අසන්නේවත් නැතිවය.
ලංකාවේ රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් වැදගත් බලපෑම් සිදු කළ ප්‍රධාන දේශපාලන පක්ෂයක් ලෙස සැලකිය හැකි ශ්‍රීලනිපය සතු වටිනා ධර්මතා සියල්ල මහින්ද රාජපක්ෂ විනාශ කළේය. ජනාධිපතිවරයා නායකත්වය දෙන්නේ, බලය තහවුරු කර ගැනීමට වෙර දරන්නේ බණ්ඩාරනායක මහතා ගොඩ නැඟූ ශ්‍රීලනිපයට නොවේ. අද තිබෙන්නේ මහින්ද රාජපක්ෂ ඩී ඒ රාජපක්ෂගේ පක්ෂය ලෙස බෞතීස්ම කළ ශ්‍රීලනිපයකි. මේ පක්ෂය යථා තත්වයට පත් කිරීමට නම් බරපතළ අන්දමේ ප්‍රතිසංවිධානයක් කළ යුතුය. මලිත් ජයතිලක දිවි හිමියෙන් කැපව සිටින්නේ මහින්ද රාජපක්ෂ බැරි නම් ගෝඨාභය රාජපක්ෂ හෝ පෙරටු කර ගෙන ඩී ඒ රාජපක්ෂගේ පක්ෂය බවට විනාශ කළ ශ්‍රීලනිපයම රැක ගැනීමටය. මෙහි වරද පෙන්වන සියලු දෙනාම අර්ථ කථනය කරන්නේ යූ ඇන් පී ගැත්තන් ලෙසය. යූ ඇන්පියෙන් පඩි ලබන්නන් ලෙසය.
මලිත් ජයතිලක වහාම කළ යුත්තේ හිතලුවලින් රටේ අනාගත අභිවෘද්ධියට අකුල් හෙළීම නොව, කරුණු සහිතව යූ ඇන්පියේ ගැත්තන් සහ පඩි ලබන්නන් සාධක සහිතව හෙළි කිරීමය. ඉන් ජනාධිපතිවරයා ද, නීති ගරුක පුරවැසියන් ද ප්‍රඥා සම්පන්න වනු ඇත.■