රාවය

ජිනීවාහිදී පලාගිය වීරයා

ජිනීවාහිදී පලාගිය වීරයා

සුනන්ද දේශප්‍රිය/ජිනීවා සිට

අද්මිරාල් සරත් වීරසේකර ජිනීවාහි මානව හිමිකම් කොමිසමට පැමිණ වීර ක්‍රියාවක් කළ බවට දැන් අණබෙර ගසා තිබේ. එහෙත් ඇත්ත කතාව නම් ඔහුගේ පැමිණීම පුස්ස බිඳීමක් හා සමාන වූ බවයි.
ඔහු සමඟ මෙහි ගැවසුණ දිවයින මාධ්‍යවේදියා ලියා තිබුණේ ඔහු මානව හිමිකම් මණ්ඩලයේදී සරවනමුත්තුට පිළිතුරු දීමට පැමිණෙන බවයි. එසේ නමුත්, ඔහු මානව හිමිකම් මණ්ඩලයේ ගැවසෙමින් සිටි දින කිහිපය තුළ සිංහල සහ දෙමළ ලාංකික මානව හිමිකම් ක්‍රියාකාරි පිරිස් අදහස් දැක්වූ සමාන්තර රැස්වීම් තුනක්ම තිබූ නමුත් ඔහු ඉන් එකකට වත් පැමිණියේවත් නැත. සරවනමුත්තු කතා කළ සමාන්තර රැස්වීමට තානාපති ප්‍රජාව ඇතුළු 50 දෙනෙකු පමණ පැමිණ සිටි නමුත් සරත් වීරසේකර හෝ ඔහුගේ ජනමාධ්‍යවේදියා හෝ පැමිණ සිටියේ නැත.
ඇත්ත වශයෙන්ම නම් ඔහු දෙමළ ඩයස්පෝරා සංවිධානයක් විසින් සංවිධානය කළ එවැනි සමාන්තර රැස්වීමකට ගොස් ප්‍රකාශයක් කළේය. එවිට නැගීසිටි ඩයස්පෝරා සංවිධානයකින් පැමිණි අයෙක් සරත් වීරසේකර යුද අපරාධකරුවකු බවට චෝදනා කළේය. එම අවස්ථාවෙහි යම් කලබගෑනියක් ඇතිවිය. සරත් වීරසේකර එහිදී කළ අදහස් දැක්වීමෙන් ඇතිවූ බලපෑමක් නැත. සමාන්තර රැස්වීමකදී ඔහු ඇති කළ එකම අවුල එයයි. එදිනම සවස 1ට සරත් වීරසේකර කතා කිරීමට නියමිත වූ සමාන්තර රැස්වීමක් සංවිධානය කර තිබූ නමුත් ඊට සහභාගිවීමට ශ්‍රී ලාංකික මානව හිමිකම් ක්‍රියාකාරීන් හැර කිසිවකු පැමිණ සිටියේ නැත. රැස්වීමට නියමිත වූ අංක 15 දරන කාමරයට සරත් වීරසේකර හෝ ඔහුගේ මාධ්‍යවේදියා පැමිණියේ වත් නැත. අඩුම වශයෙන් රැස්වීම අවලංගු කළ බව දැන්වීමට හෝ එම සංවිධානය පියවරක් ගත්තේ නැත. වීරයා රැස්වීමෙන් පලා ගියේ එලෙසය.
සරත් වීරසේකර එදිනම මානව හිමිකම් මණ්ඩලය අමතා විනාඩි දෙකක ප්‍රකාශයක් කළ අතර එහි කිසිම තැනක ඔහු දේශපාලන ව්‍යාපාරයක් නියෝජනය කරන බවක් දක්වා නොතිබුණි. ඔහුගේ දිවයින මාධ්‍යවේදියා මානව හිමිකම් මණ්ඩලය තුළ අනවසරයෙන් වීරසේකරගේ ඡායාරූප ගැනීම නිසා ආරක්ෂක නිලධාරීන් විසින් ඔහුට තරවටු කර සියලු ඡායාරූප මකා දමන ලදි. ඊට හේතු වූයේ මෙම ජාතිවාදී බොරුකාර මාධ්‍යවේදියාට සිය පුවත්පතෙන් මානව හිමිකම් කවුන්සිලය සඳහා මාධ්‍යවේදී හැඳුනුම්පතක් දී තිබුණේ නැති නිසාය.
22වන දින බන්දුල ගුණවර්ධන සහභාගි වූ සියයක් පමණ පැමිණි රාජපක්ෂවාදී උද්ඝෝෂණයක් මානව හිමිකම් මණ්ඩලය ඉදිරිපිට පවත්වන ලද අතර ඊට සහභාගී වීමටවත් සරත් වීරසේකර පැමිණ සිටියේ නැත.
22වනදා පැවැති ශ්‍රී ලංකා වාර්තාව පිළිබඳ සාකච්ඡාව අවස්ථාවෙහි සිය අදහස් දැක්වීමට හෝ සරත් වීරසේකරට නොහැකි විය.
ඇත්ත කතාව එයයි.
ඔහුගේ පැමිණීම කිසිවකු ගණනකට නොගත් සිදුවීමක් විය. වීරසේකර ජිනීවාහිදී වීර ක්‍රියාවක් කළේ නම් මානව හිමිකම් මණ්ඩලයේ සැම සැසිවාරයකදීම දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් දැවැන්ත වීරයන් බවට පත් විය යුතුය.■