Untitled-1

Untitled-1

රනිල්-සිරිසේන, ජිනීවා ඔබට ඇසෙනවාද?


sunanda

ජිනීවාහි මුළුදුන් මානව හිමිකම් කවුන්සිලයේ 34වන සැසිවාරය මෙම සිකුරාදායින් අවසන් වෙයි. මෙම සැසිවාරය ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ යුද සමයෙහි සිදුවූ මානව හිමිකම් කෙළෙසීම් සඳහා යුක්තිය ඉටුකැරෙන සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමය සඳහා ශ්‍රී ලංකාණ්ඩුව ඉල්ලා සිටි දෙවසරක කාලය එමගින් ලබාදෙන ලද නිසාය. ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂඥ වාර්තා සහ සමාන්තර රැස්වීම් ගණනාවක් විසින් එක්තරා අන්දමක ශ්‍රී ලංකා සැසිවාරයක් බවට එය පත්ව තිබුණි. 50කට ආසන්න දෙස්විදෙස් ශ්‍රී ලාංකික ක්‍රියාධරයන් පිරිසක් එයට සහභාගිවීමට පැමිණ තිබුණි.
හිමිකම් කොමසාරිස් සෙයිඞ් විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රගතිය පිළිබඳ ඉදිරිපත් කළ වාර්තාව පසුගිය බදාදා මානව හිමිකම් මණ්ඩලයේ සාකච්ඡාවට ගැනුණි. එය ශ්‍රී ලංකාව සම්බන්ධ උච්චාවස්ථාව බවට පත්විය. මෙම සටහන ලියැවෙන බදාදාට පසුදා ශ්‍රී ලංකාව සම්බන්ධ 34/1 දරන යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. එය ඒකමතිකව සම්මත වනු ඇත.
ශ්‍රී ලංකාවෙහි යම් යම් ක්ෂේත්‍රයන්හි මානව හිමිකම් ප්‍රගතියක් දක්නට ඇතත් සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමය සිදු නොවන තරම්යැයි සෙයිඞ් සාකච්ඡාව අරඹමින් ප්‍රකාශ කළේය. විවාදයට තුඩුදී ඇති දෙමුහුම් යුක්ති යාන්ත්‍රණයක අවශ්‍යතාව පිළිබඳ අදහස් දක්වමින් ඔහු කීවේ දණ්ඩ මුක්තිය අහෝසි කිරීමට ශ්‍රී ලංකාව දක්වන අකමැත්ත හෝ නොහැකියාව විසින්ම අධිකරණ යාන්ත්‍රණයක අන්තර් ජාතික සහභාගිත්වය අත්‍යවශ්‍ය කරන බවයි. එවැනි ක්‍රියාදාමයක කේන්ද්‍රය වන්නේ වින්දිතයන් බව කී සෙයිඞ් ඔවුනට යුක්තිය ඉටු නොකරන තාක් කල්පවත්නා සාමයක් උදා නොවනු ඇතැයි ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව පිළිබඳ සාකච්ඡාවට ආණ්ඩුවෙන් පැමිණ සිටි නියෝජ්‍ය විදේශ ඇමැති හර්ෂ ද සිල්වා කියාසිටියේ ශ්‍රී ලංකාව සැලකිය යුතු මානව හිමිකම් ප්‍රගතියක් ලබා ඇතත් එවැනි ගමනක් තවම යා යුතුව ඇති බව පිළිගන්නා බවයි. කිසිදු රටක මානව හිමිකම් සර්ව සම්පූර්ණ නැතැයි කී සිල්වා මානව හිමිකම් වනාහි දිගටම ප්‍රගතිය කරා යන ගමනක් බව ප්‍රකාශ කළේය.
හිමිකම් කොමසාරිස් සෙයිඞ්ගේ වාර්තාව හෙළා නුදුටු නියෝජ්‍ය විදේශ ඇමැති සිල්වා ඉතා වැදගත් ප්‍රකාශයක් කළේය: “මහ කොමසාරිස්වරයාගේ අදහස්, නිරීක්ෂණයන් සහ නිර්දේශයන් ශ්‍රී ලංකාවෙහි මානව හිමිකම්, යහ පාලනය, සහ නීතියේ පාලනය ශක්තිමත්ව ප්‍රවර්ධනය කරමින් ආරක්ෂා කිරීමට කටයුතු කිරීමෙහිදී අපට ප්‍රයෝජනවත් වනු ඇත.”
මහ කොමසාරිස්වරයාගේ වාර්තාවෙහි එන දෙමුහුම් යුක්ති යාන්ත්‍රණයක අවශ්‍යතාව පිළිබඳ නිර්දේශයට සිරිසේන සහ රනිල් එක දිගට ශ්‍රී ලංකාවෙහිදී බැටදෙන නමුත් ඔවුන්ගේ විදේශ අමාත්‍යාංශය ජිනීවාහිදි කියන්නේ වෙනම කතාවකි. ශ්‍රී ලංකාණ්ඩුවේ දෙබිඩි පිළිවෙත යළිත් වරක් පෙනීගියේ එලෙසය.
සිල්වාගේ අදහස් දැක්වීමෙන් පසු ශ්‍රී ලංකා වාර්තාව සම්බන්ධයෙන් රටවල් 20ක් පමණ අදහස් දැක්වූහ. ආසියාවෙන් කතාකළ චීනය, පකිස්ථානය, බංග්ලා දේශය, මාලදිවයින ශ්‍රී ලංකාවෙහි මානව හිමිකම් සුරැකීමට කළ යුතු ඉදිරි කාර්යයන් ගැන කතාකිරීමට වඩා කළේ ආණ්ඩුවට සහාය ප්‍රකාශ කිරීමයි. ජපානය ප්‍රගතිය ඉදිරියට ගෙන යා යුතු බව කියාසිටියේය.
අදහස් දැක්වූ යුරෝපා රටවල් 16ක්ද ඇමෙරිකාව සහ කැනඩාවද කියාසිටියේ ශ්‍රී ලංකාවෙහි මානව හිමිකම් වර්ධනයක් ඇතත් 2015 වසරෙහි මානව හිමිකම් මණ්ඩලයෙහි සම්මත කරන ලද යෝජනාව ක්‍රියාත්මක කිරීමෙහිලා ආණ්ඩුව අසමත්වී ඇති බවයි. ඕස්ටේ්‍රලියාව සහ නවසීලන්තයද දැක්වූයේ ඒ හා සමාන අදහස්ය.
කතාකළ බොහෝ රටවල් කියාසිටි මූලික කරුණක් වූයේ ඉල්ලා ඇති ඉදිරි දෙවසර තුළදී සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලිය ඉදිරියට ගෙනයන්නේ කෙසේද යන්න පිළිබඳව නිසි කඩඉම් සහිත මාර්ග සිතියමක් ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කළ යුතු බවයි. ජර්මනිය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, නොර්වේ, බි්‍රතාන්‍ය, ස්පාඤ්ඤය, අයර්ලන්තය සහ බෙල්ජියම අදහස් දැක්වූ යුරෝපා රටවල් අතර විය.
රාජපක්ෂ සමයෙහි එල්ඒල්ආර්සී වාර්තාව ක්‍රියාත්මක කළ යුතු බවට මානව හිමිකම් මණ්ඩලයෙහි ඒකමතිකත්වයක් ඇතිවූ පරිද්දෙන්ම මෙම ආණ්ඩුව යටතෙහි ඉදිරිපත්ව ඇති සංහිඳියා යාන්ත්‍රණ සඳහා වූ ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ වාර්තාවද රාජ්‍යයන්හි මහත් ප්‍රශංසාවට ලක් විය.
රාජ්‍යයන් අදහස් දැක්වීමෙන් පසු රාජ්‍ය නොවන සංවිධාන සඳහා අවස්ථාව ලැබුණි. ශ්‍රී ලංකාවෙන් පැමිණ සිටි ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් අදහස් දක්වමින් අන්තර් ජාතික යුද අධිකරණයට ඉදිරිපත් නොකර තවමත් ශ්‍රී ලංකාණ්ඩුව කෙරෙහි විශ්වාසයෙන් සිටින්නේ ඇයිදැයි සෙයිඞ්ගෙන් විමසා සිටියේය. සිය අවසන් අදහස් දැක්වීමෙහිදී එම ප්‍රශ්නයට කෙලින්ම පිළිතුරු දෙමින් සෙයිඞ් කියාසිටියේ ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වාසය අහෝසිවී නැති බවත් තමන් දිගටම ලංකාණ්ඩුව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවත්ය.
රාජ්‍ය නොවන සංවිධාන යටතෙහි අදහස් දැක්වූ පාක්‍යසෝති සරවනමුත්තු සහ නිමල්කා ප්‍රනාන්දු ලංකාණ්ඩුව මානව හිමිකම් පොරොන්දු ඉටු නොකිරීම සම්බන්ධයෙන් ප්‍රබල විවේචනයක් ඉදිරිපත් කරමින් කියාසිටියේ ඉදිරි දෙවසර තුළ අනිවාර්යයෙන්ම සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමය පෙරට ගෙන යායුතු බවයි. අන්තර් ජාතික මානව හිමිකම් සංවිධානද ඒ මතයම ප්‍රකාශ කළේය.
මීට අමතරව දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකික පිරිස් විසින් මානව හිමිකම් මණඩලයෙහි සංවිධානය කරන ලද සමාන්තර රැස්වීම් දුසිමකින් තරම් පසුගිය සති හතර පිරී තිබුණි. එ අතර වාරයෙහි ඇතිවූ සාමීචි කතාබහ බොහෝය.
දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් සමඟ එක්වූ යාපනයේ දෙමළ ජනතා මණ්ඩලයේ මතය දරන පිරිස් විසින් පවත්වන ලද එවැනි රැස්වීම්වල මූලික තේමාව වූයේ ශ්‍රී ලංකා ආණ්ඩුව කෙරෙහි කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බැවින් අන්තර් ජාතික යුද අධිකරණය හමුවෙහි ශ්‍රී ලංකාවට නඩු පැවැරීමට කටයුතු කළ යුතු බවයි. එම මතය ප්‍රකාශ කිරීම පිණිස දහපහළොස් දෙනෙකු පමණ උතුරුකරයේ සිට ජිනීවා කරා පැමිණ තිබුණි. එම ඉල්ලීම ප්‍රයෝගික වශයෙන් සිදුවීමට අල්ප ඉඩක්වත් නැති නමුත් එම මතයෙහි එල්බගත් පිරිස් සිටිත්.
එවැනි සමාන්තර රැස්වීම් සඳහා ජිනීවා තානාපති ප්‍රජාව කෙරෙන් ප්‍රතිවාරයක් තිබුණේම නැති තරම්ය. යම් බලපෑමක් ඇතිකළ හැකි සමාන්තර රැස්වීම් අඩුම වශයෙන් හතරක් තිබුණි. එම රැස්වීම්හි සත්‍යය, යුක්තිය, හානිපූරණය සහ යළි සිදුනොවීම සහතික කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු වන පබ්ලෝ ඩි ග්‍රීෆ්, සුළුජන අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනිය වන රිටා ඉසාක් න්ඩිආයේ සහ යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සහ එහි මානව හිමිකම් අංශ ප්‍රධානියකු වන බාබරා ලොක්බීලර් සහ ශ්‍රී ලංකාවේ සංහිඳියා යාන්ත්‍රණ සඳහා වූ ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ ලේකම්වරයා වූ පාක්‍යසෝති සරවනමුත්තු මූලික අදහස් දැක්වූහ.
මෙම සමාන්තර රැස්වීම්වලට සැලකිය යුතු ප්‍රමාණයක් තානාපති ප්‍රජාව සහභාගි වී තිබූ අතර වැදගත් සාධනීය යෝජනා එම සාකච්ඡා සභාවන්හිදී මතුවිය.
මෙකී සාකච්ඡාවන්හි පොදු තේමාව වශයෙන් දැකිය හැකිවූයේද පෙර කී කරුණය. එනම් 2015 දේශපාලන පෙරළියෙන් පසු ශ්‍රී ලංකාවෙහි ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් පැහැදිලිවම සිදුව ඇතත් විශේෂයෙන්ම සංක්‍රමණීය යුක්තිය ඉටුකිරීම අරභයා ශ්‍රී ලංකාණ්ඩුවේ වාර්තාව ඉතා දුර්වල බවයි. එමෙන්ම ලංකාණ්ඩුවට ප්‍රබල විවේචනයක් එල්ල නොවූ එකද රාජ්‍ය නොවන සමාන්තර රැස්වීමක් හෝ තිබුණේ නැත. 2014 වසරින් පසු ලංකාණ්ඩුව මානව හිමිකම් මණ්ඩලයේදී වැඩිපුරම විවේචනයට ලක්වූ සැසිවාරය මෙයයි.
ලංකාණ්ඩුව සැලකිල්ලට ගත යුතු කරුණ වන්නේ එය විසින්ම ඉල්ලා ලබාගත් ඉදිරි දෙවරසක කාල පරිච්ජේදය තුළ 30/1 දරන මානව හිමිකම් මණ්ඩලයේ යෝජනාව ක්‍රියාත්මක කළ යුතු බවට අන්තර් ජාතික ප්‍රජාව මෙන්ම ශ්‍රී ලාංකික මානව හිමිකම් ප්‍රජාව කෙරෙන් නැගී එන ප්‍රබල ඉල්ලීමයි. සංක්‍රමණීය යුක්ති ක්‍රියාවලිය අවංකව සහ කැපවීමෙන් පෙරට ගෙන නොගියහොත් සිරිසේන – රනිල් ආණ්ඩුවද අන්තර් ජාතික වශයෙන් අවඥාවට සහ අපවාදයට ලක්වනු ඇති බවට පෙරනිමිති මානව හිමිකම් මණ්ඩලයේ 34 වන සැසිවාරය පෙන්වා සිටියේය.
එනමුත් අඳ ගොලු බිහිරි ආණ්ඩුවක් බවට පත්වෙමින් යන සිරිසේන – රනිල් පාලනයට නැගීඑන මෙම කුණාටු පෙරනිමිති දැනෙනු ඇතැයි සිතීම දුෂ්කරය. අපේ කාරිය වන්නේ මෙම අදහස් සාධනීය ලෙස රට තුළ දෝංකාර නැවීමයි.■