මගේ හිත වෙනස් මගේ සිතුවිලි වෙනස්


sithuwili

රේඛා නිලුක්ෂි හේරත්

සංක්‍රාන්ති ලිංගිකත් වය ගැන ඕනෑම අයෙකු දන්නවා විය හැකිය. යම් පුද්ගලයෙකුට උපතින් සිරුරු දෙකක් හිමිවන බව වෛද්‍ය විද්‍යාව කියයි. භෞතික සිරුර හා මානසික සිරුර මේ සිරුරු දෙකයි. බහුතරයකට උපතින් හිමිවන සිරුර හා මානසික සිරුර සමපාත නොවේ. එකිනෙකට විරුද්ධ ලිංගිකත්වයන්ට අයත් සිරුරු දෙකක් ඇතැමෙකුට හිමිවෙයි. එවැන්නෙකු දෙස බාහිර සමාජය විසින් භෞතික සිරුර අනුව එක් ලිංගික අනන්‍යතාවක් ලබාදෙද්දී ඒ පුද්ගලයා තමන්ගේ මනසින් වෙනත් ලිංගික අනන්‍යතාවක් සමඟ ලොව දකියි. එවැන්නෙකුට සමබර ජීවිතයක් ගතකරන්නට නම් ලිංගික සිරුර සහ භෞතික සිරුර සමබර කරගත යුතුය. එවැනි කෙනෙකු මනසින් කාන්තාවක නම් ඇය කැමතිවනු ඇත්තේ කාන්තා සිරුරක් ලබාගැනීමට මිස පිරිමි මනසක් ලබාගැනීම නොවේ. මෙය විද්‍යාත්මකව ඔප්පු කළ හැක්කකි. මෙය බෝවෙන ලෙඩක්ද නොවේ. මේ ගැන ඕනෑ තරම් බණ කිව හැකිය. එහෙත් මේ සූදානම බණ කියන්නට නොවේ. ඔවුන’තරින් කිහිපදෙනෙකුගේ හඬට ඇහුම්කන් දීමටය.

ඇය
උපතින් පුරුෂ ලිංගයක් සහිතව ඉපදුණත් ඇය ඇයමය. සමාජයේ සංක්‍රාන්ති ලිංගිකයන්යැයි කී විට මුලින් සිහිවන්නේ ඇයයි. සමාජය තුළ වැඩිපුර අභියෝගවලට මුහුණ දෙන්නේත් ඇයමය. මාර්ගවල ලිංගික ශ්‍රමිකයන් බවට පත්ව සිටින්නේත් ඇයමය. ඇය වෙනුවෙන් අප සමඟ කතා කළ සකුණි මායාදුන්න මේ වනවිට සංක්‍රාන්ති ලිංගිකයන් සමඟ ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කරන්නීය. එමෙන්ම ලිංගික ශ්‍රමිකයන් ලෙස කටයුතු කරන සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් සමඟ ඇය සමීපව කටයුතු කරයි.
සකුණි මුණගැසුණු අපට සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් රැසක් මහමඟදී දකින්නට හැකිවිය. ඔවුන් මහමඟ සිටීම නිසා අප්‍රසන්න වචනවලින් ඔවුන්ට දමා ගසන්නට පුළුවන්ය. එහෙත් ඔවුන් මහමඟට වැටෙන්නට හේතු රැසක් ඇත.
සකුණිගේ මඟපෙන් වීමෙන් අපට මුණගැසුණු ෂෙරීන් මහමඟට වැටුණු සංක්‍රාන්ති ලිංගික කාන්තාවකි. ඇය නැටුම් සහ මනාලයන්ට ඇන්දීම වැනි විවිධ රැකියා කරන්නියකි. එහෙත් ඇය මහමඟ ලිංගික ශ්‍රමිකාවක නොවේ.
“අපේ පවුලේ අය දුප්පත්. මම ඉගෙනගන්න දක්ෂ ළමයෙක්. විභාග කරගත්තා. හැබැයි අධ්‍යාපනයෙන් ඉහළට යන්න ඉඩක් ලැබුණේ නැහැ. මම පිරිමි ඉස්කෝලයක ඉගෙන ගත්තා. හැබැයි මට ඉස්කෝලෙන් ප්‍රශ්න ආවේ නැහැ. ඒත් සමාජයට මුහුණ දෙනකොට ප්‍රශ්නවලට මුහුණදෙන්න පටන්ගත්තා. මම වෙනම ජීවත්වෙන්න පටන්ගත්තා. අපි මහපාරේ ඉන්න ලිංගික ශ්‍රමිකයෝ නෙවෙයි. අපි මහපාරේ හිටියත් ඒකට වගකියන්න ඕනෑ මේ සමාජයම තමයි. අපට රැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉන්ටර්වීව් එකකට ගියත් කියන්නේ ඔයාට පිරිමියෙක් විදියට පෞරුෂයක් තියෙන්න ඕනෑ කියලා. ඒත් මම පිරිමියෙක් නෙවෙයි කාන්තාවක්. අන්තිමට රැකියාවක් නැති තැන සමාජය අපට කරන්න දෙයක් කියන්න ඕනෑ. එක්කෝ බඩගින්නේ මැරිලා යන එක. නැත්නම් මොනවහරි කරලා ජීවත්වෙන එක. අපිත් කැමතියි පුද්ගලයෙක් එක්ක විවාහ වෙලා සතුටින් ජීවත්වෙන්න. ඒත් අපට එහෙම ජීවිතයක් ගතකරන්න ඉඩ දෙන්නේ නැත්තේ කවුද?” ෂෙරීන් එසේ අසන්නීය.
මේ කාන්තාවන්ට තිබුණු ගැටලුව ලිංගික වෙනස සඳහා අවශ්‍ය සැත්කම් කරන්නට තරම් මුදල් නොතිබීමයි. පුරුෂ සිරුර කාන්තා සිරුරක් කරන්නට සැත්කම් සහ හෝමෝන ප්‍රතිකාර අවශ්‍යය. ලංකාවේ හෝමෝන ප්‍රතිකාර දැරිය හැකි මුදලකට කළ හැකිය. ඒ හරහා කාන්තා පියවුරු සහ කාන්තා පෙනුමක් ලැබෙයි. ලිංගේන්ද්‍රය වෙනස් කොට ස්ථීර වශයෙන් කාන්තා සිරුරක් ලබාගන්නට නම් විශාල මුදලක් වැයවෙන සැත්කම් කිහිපයක් කළ යුතුය. එවැනි සැත්කමකින් පසුව යම් කාලයක් ඇතුළත කාන්තා හැඳුනුම්පතක් ලබාගැනීමත් කළ හැකිය. එහෙත් ඒ සියල්ලෙන් පසුවත් කාන්තාවක ලෙස සමාජයේ ජීවත්වීමට ගැටලු රැසක් පැනනඟියි.
අපට මහමඟදී හමුවුණු සියලුදෙනාටම සැත්කම් කරගන්නට තරම් ආදායමක් තිබුණේ නැත. ඒ නිසා හෝමෝන ආධාරයෙන් කාන්තාවන් ලෙස ජීවත්වීමට ඔවුන්ට සිදුව තිබුණු අතර ඔවුන්ට නීත්‍යනුකූලව කාන්තාවක වීම සම්පූර්ණ කරගැනීමේ ඉඩක් නොතිබුණි.
මේ ගැන කතාබහකට පෙර සංක්‍රාන්ති ලිංගිකයකුගේ අත්දැකීම්වලට මඳක් සවන්දීම වැදගත්ය. සකුණි මායාදුන්නගේ කතාවට අපි ඇහුම්කන් දුන්නෙමු.

සකුණි
“මට අක්කලා හතරයි, නංගියි, මායි හිටියේ. මගේ ගම බොරැල්ල. මම ඉගෙනීමට දක්ෂ කෙනෙක්. තේරෙන වයස වෙනකොට මට ප්‍රශ්නයක් ඇතිවුණා අක්කලා නංගිලා වගේ ඇඳුම් අඳින්න මට බැරි ඇයි කියලා. මමත් පොඩි කෙල්ලෙක්නේ.
අවුරුදු නවයක් විතර වෙද්දී මට තේරෙන්න ගත්තා ගැටලුව. හැබැයි නිසි දැනුමක් තිබුණේ නැහැ. මම මිශ්‍ර පාසලක හිටපු නිසා ගෑනු ළමයි එක්ක හිටියේ. අවුරුදු දාසය දාහත පහුවුණත් මට තේරුණේ නැහැ මම අයිති මොන අනන්‍යතාවටද කියලා. ට්‍රාන්ස්ජෙන්ඩර් කියන්නේ මොකක්ද කියලා විද්‍යාත්මකව දැනගෙන හිටියේ නැහැ. අපව හැඳින්වුවේ වෙන කුණුහරුප වචනයකින්. මමත් හිතුවා මම අයිති ඒ කුණුහරුප අනන්‍යතාවට කියලා.
එක දවසක් තාත්තා මට අඬගහලා ඇහුවා. මට හිතෙන්නේ අම්මායි තාත්තායි මං ගැන වාද කරගන්න ඇති. නෑදෑයෝ එහෙම මං ගැන අහන්න ඇති. තාත්තා කිව්වා ඔයා ලොකු ළමයෙක්, ඔයා හැසිරෙන විදිය වෙනස් කියලා. මට ඔයාට බලපෑම් කරන්න බැහැ, ඔයා කවුද කියලා තීරණය කරන්න කියලා එයා කිව්වා. මම කිව්වා තාත්තේ ඇයි එහෙම කියන්නේ මම ගෑනු කෙනෙක් කියලා. ඊට පස්සේ තාත්තා මගේ ලිංගේන්ද්‍රය පෙන්වලා කීවා ඔයාට තියෙන්නේ මේකක්නේ, ඇයි ඔයා එහෙම හිතන්නේ කියලා. මම කිව්වා තාත්තේ මගේ හිත වෙනස්. මගේ සිතුවිලි වෙනස් කියලා. තාත්තා කිව්වා හරි, ඔයා ඒක නොහිතා ඉගෙනගන්න කියලා. ඒ වෙද්දී මම ඒලෙවල් ලියන්න ළං වෙනවා. තාත්තා මං ජීවිතේට හානියක් කරගනියි කියලා බයවෙන්න ඇති. කොහොම වුණත් මම උසස් පෙළ කළේ නැහැ. මගේ පෞද්ගලික තීරණයක් නිසා. මම පාසල් යනකොට මට පේනවා මැදි වයසේ අයියා කෙනෙක් සැලූන් එකක් දාලා මනමාලියන්ට අන්දනවා. මම එයාට උදව් කළා. ඉස්කෝලේ කට් කළා. ඒ වෙද්දී මම ලිංගික අත්දැකීමුත් විඳලා තිබුණේ.
මම පාසලේ හිටපු වැඩිමහල් අයියා කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇතිකර ගත්තා. එයා ගැන මට ආදරයක් ඇතිවුණා. මම එයා දිහා බැලුවා. එයාටත් ඒක දැනුණා. මිශ්‍ර පාසලක් ඒක. හැබැයි මට ගෑනු ටොයිලට් එකට යන්න බැහැ. පිරිමි ටොයිලට් එකේදී අපි සෙක්ස් කළා. එයා මාව තේරුම් අරගෙන මට ආදරය කළා. ඒත් එක්කම මම පාසල් නොගිහින් නතර වුණා. සැලූන් එකේ වැඩකරන්න පටන් ගත්තා.”
සකුණිගේ කතාව මඳකට නැවැත්වූවෙමු. මෙය පැහැදිලි කළ යුතුය. අප මේ ලියන සටහන කාගේවත් පහත් ලිංගික ආශාවන් අවුස්සන්නට නොවේ. උඩින් සංක්‍රාන්ති ලිංගිකයන් වැඩි වැඩියෙන් පිළිකෙව් කරන අයම වුව යටි සිතින් මොනතරම් සංක්‍රාන්ති ලිංගිකයන්ට කැමතිදැයි අපි දන්නෙමු. සකුණි නවයොවුන් වියේදී තමාව සොයන්නට ගත් වෙහෙස ගැන මානුෂීයව කල්පනා කළයුතුය.
“උසස්පෙළ ඉවර වෙනකන්ම මම ට්‍රාන්ස්ජෙන්ඩර් ගැන දැනගෙන හිටියේ නැහැ. මට හිතුණා මම ගැහැනු කෙනෙක් කියලා. ඒ කාලේ මම දැක්කා අපේ ප්‍රජාවට අයිති පිරිසක් නත්තල් කාලෙට කැරොල් ඩාන්ස් විදියට ඇඳගෙන එනවා. එහෙම දවසට අම්මලා මාව ඇහැරවන්නැතුව කාමරේ තියනවා. මම ඒත් හොරෙන් බලනවා.
ඒවා අස්සේ මට උපත් පාලනය ගැන වැඩ කරන ආයතනයක් ගැන දැනගන්න ලැබුණා. මට මගේ අනන්‍යතාව සහ කොන්ඩම් ගැන දැනගන්න ලැබුණා. බෝවෙන රෝග ගැන. ක්ලිනික් ගැන මම ඇහුවා. ඒ වෙද්දීත් මම විවිධ අය එක්ක නිතර සෙක්ස් කළ කෙනෙක්. සෞඛ්‍යාරක්ෂාව ගැන අහන්න ලැබෙද්දී මම එතැනට සම්බන්ධ වෙන්න ඇහුවා. මම ගිහින් ටේ්‍රනින් එකක් ලැබුවා. පාස්වුණා. මාව එතැන වැඩට බාරගත්තා. ඒ එක්කම මම ගෙදරින් එළියට ගිහින් තනියම ජීවත්වෙන්න පටන් ගත්තා. කොණ්ඩය වවන්න ගත්තා. මට ඕනෑ වුණේ පාට්නර් කෙනෙක් එක්ක මගේ ජීවිතේ පටන් ගන්න. ඉතින් මම කාන්තා ජීවිතයක් හොයා ගත්තා.
රිවිරේ ගිය ආටිකල් එකක මගේ ඡායාරූපයක් දාලා තිබුණා. අන්ඩර්ග්‍රවුන්ඞ් ටොයිලට් ගැන, කොන්ඩම් දීලා සෙක්ස් ප්‍රමෝට් කරන කතා තමයි පත්තරේ ගියේ. හැබැයි අපි කළේ පාරේ ඉන්න මිනිස්සුන්ගේ සෞඛ්‍යාරක්ෂාවට කොන්ඩම් බෙදපු එක. මේ සියල්ල එක්ක මම වැඩකළ ආයතනය වහන්න වුණා. ආදායම නැතිවුණා. පාරට වැටුණා.
ඊට පස්සේ කාලෙක මම හෝමෝන අරන් කාන්තාවන් විදියට ලස්සනට ඉන්න විදිය දැක්කා. මමත් හෝමෝන ගන්න පටන් ගත්තා. දැන් මම හෝමෝනවලින් ජීවත්වෙන්නේ.”

සමාජය
සකුණි ඇතුළු පිරිස අපට වැඩිපුර පැහැදිලි කළේ සමාජය ඉදිරියේ විඳින්නට වන අපහසුතාවන් ගැනයි. විශේෂයෙන් සංක්‍රාන්ති ලිංගිකයන්ට තමන්ගේ නව ලිංගික අනන්‍යතාව අනුව හැඳුනුම්පතක් ලබාගත හැකිවුණත් අතුරු ගැටලු රැසක් තිබේ.
පළමුවැන්න උප්පැන්නයයි. උප්පැන්න සහතික ලබාදෙන්නේ නව සහතිකයක් ලෙස නොව පවතින හැඳුනුම්පතට සංශෝධනයක් ලෙසයි. උප්පැන්න සහතිකය දකින ඕනෑම අයෙකුට සංක්‍රාන්ති ලිංගිකයෙකුගේ පෙර අනන්‍යතාව දැකගත හැකිය. ඒ අනන්‍යතාව හඳුනාගතහොත් ආයතනයක් තුළ, සමාජය තුළ දරුණු කොන්වීමකට ලක්වෙන්නට සිදුවේ.
අනෙක් අතට සියලුදෙනාටම දිනකින් නව හැඳුනුම්පත ලබාගත නොහැකිය. දීර්ඝ කාලයක් ඒ වෙනුවෙන් බලාගෙන සිටින්නට සිදුවෙයි. ඒ අතරතුර කාලය අවුරුදු දහයක් දක්වා දීර්ඝ වෙන්නට වුව ඉඩ ඇත. සකුණි වසර ගණනාවක් තිස්සේ කාන්තා සිරුර ලබාගැනීම සඳහා සැත්කම කරන්නට මුදල් නොමැතිවීමේ අභියෝගයට මුහුණ දෙන්නියකි. ඒ සැත්කම කරන තෙක් ඇයට අනන්‍යතාව සම්පූර්ණ කරගන්නට නොහැකිය. කාන්තා පිරිමි ලෙස පොදු වැසිකිළිය, රෝහලේ වාට්ටුව, පොලිසියේ හිරකූඩුව, පාසල ඇතුළු සියල්ල බෙදා ඇති සමාජයක ඇයට තමන්ගේ තැන සොයාගැනීම අපහසු වී ඇත.
“මම ජීවිතයටම එක පාරයි ඡන්දය දාලා තියෙන්නේ. මම මොන පෝලිමට ගිහිල්ලාද ඡන්දය දාන්නේ. මම පිරිමි පෝලිමේ හිටගත්තොත් කියනවා මිස් ගෑනු පෝලිමට යන්න කියලා. ගෑනු පෝලිමේ ගිහින් අයිඩෙන්ටි කාඞ් එක දුන්නාම හැමෝම මූණට හිනාවෙනවා. එක පාරක් එහෙම වුණාම මම හැරිලා ගියා. ආයේ ජීවිතේට ඡන්දය දාන්න ගියේ නැහැ. මම දන්න අපේ ප්‍රජාවට අයිති ගොඩක් අය ඡන්දය දාන්නේ නැහැ. අපි ලංකාවේ පුරවැසියන් වුණත් අපට ඡන්ද අයිතියවත් නෑ. අපි ඡන්දය දාන්න යන්න බයයි.
එක පාරක් මම කාඞ් එක බ්ලොක් වෙලා බැංකුවට සල්ලි දාන්න ගියා. ඒ වෙලාවේ මම අයිඩෙන්ටි කාඞ් එක දුන්නාම කිව්වා මිස් වැරදිලා මහත්තයාගේ අයිඩෙන්ටි කාඞ් එක ගෙනල්ලා කියලා. මම කිව්වා මේක මගේ කියලා. මිනිස්සු ඔක්කෝම බලාගෙන ඉන්නවා. අන්තිමේ මම කිව්වා මාව මැනේජර් ගාවට දාන්න කියලා. එහෙම මහන්සියක් වෙලයි සල්ලි ගන්න පුළුවන් වුණේ.” මේවා සකුණිට මුහුණදෙන්නට සිදුවූ ගැටලුය.

තීරණය ගත් පසු
සංක්‍රාන්ති ලිංගිකයෙකුට අපහසුවෙන් සමාජය තුළ සැඟව සිටින්නට ඉඩක් ඇත. තමන්ගේ අනන්‍යතාව හංගාගෙන තමාට අහිමි අනන්‍යතාවක් තුළ සමාජයේ සිටින්නවුන් බොහෝය. ඔවුන් තමන්ගේ අනන්‍යතාවට පැමිණීම ඉතාම බරපතළ තීරණයකි. මේ අප සමඟ කතා කළ එක් ලිංගික ශ්‍රමිකාවකගේ කතාව කෙටියෙනි.
“මම ගමෙන් ඇවිත් බැංකුවක වැඩකළේ. බැංකුවේ හිටියේ පිරිමියෙක් වගේ. මම කාන්තාවක් වගේ නෙවෙයි හිටියේ. එකම දේ නියපොතු වවලා විතරයි තිබුණේ. හැබැයි මාව එතැනින් බල්ලෙක් වගේ එළියට දැම්මා. දැන් මම ලිංගික ශ්‍රමිකයෙක් විදියට ඉන්නවා. මට වෙන මොකක්ද කරන්න ඉතිරි වුණේ? අපි පාරේ ඉන්නේ ඇයි කියලා හැමෝම අහනවා. අපට පවුල් නෑ. ඩාන්ස් වැඩ හැමෝටම එන්නේ නැහැ. හැම ට්‍රාන්ස්ජෙන්ඩර්ම උයන්න, නටන්න, අන්දන්න දන්නේ නැහැ. මේ ගොඩක් අය හොඳට ඉගෙනගත්ත ළමයි. නැත්නම් ඉගෙනගන්න පුළුවන්කම තියෙද්දී ඉස්කෝලෙන් දොට්ට වැටුණු ළමයි. ඒ අය පාරේ ඉන්නේ රස්සාවක් නැති තත්ත්වෙට එයාලාව සමාජයෙන් කොන් කළ හින්දා. කැමැත්තෙන් නෙවෙයි. ගෙවල් කුලී ගෙවන්නේ කවුද, කන්න දෙන්නේ කවුද?”
අනන්‍යතාව සඟවාගෙන සිටියදී මෙසේ නම් අනන්‍යතාව හෙළි කළ පසුව කෙසේ වනු ඇතිද.

නීතිය
නීතිය හැමවිටම සිටින්නේ ඔවුන්ට එරෙහිවය. පොලිසිය ඔවුන් උපකරණ ලෙස පාවිච්චි කරන බව ඔවුහු පවසති. දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඔවුන් අපරාධකරුවන් බවට පත්කර ඇත.
“මාව පොලිසියෙන් රෑක ඇල්ලුවා. ඒ කියන්නේ රෑ හතට විතර අල්ලලා පොලිසියට ගෙනිච්චා. ඊට පස්සේ දැම්මේ රෑ දහයට විතර හිටියා, අශෝභන ලිංගික ක්‍රියාවල යෙදුණා කියලා. පොලිසියේදී මට කිව්වා ඇඳුම් මාරු කරන්න කියලා. මම බෑ කිව්වා. මාව උසාවියට දැම්මා. මම උසාවියේදි කිව්වා ස්වාමීනි මම ගෑනියෙක්. මෙයාලා මම අයාලේ ගියා කියනවා නම්, මට තනියෙන් අනාචාරයේ හැසිරෙන්න බැහැනේ. කාත් එක්කද හැසිරුණේ කියලා මෙයාලා කියන්න ඕනෑ. මම වැරදිකරු කියලා පිළිගන්නම් මේ රාළහාමි එක්ක අනාචාරයේ හැසිරුණා කියලා දානවා නම්.” එක් කාන්තාවක් එසේ පැවසුවාය.
“මගේ යාළුවෝ කියන්නේ සමහර වෙලාවට පොලිසියේ අය එක්ක නිදාගන්න වෙනවා කියලා. විනාඩි දහයක් විස්සක් ඉඳලා එයාලා ගාණක් හොයාගන්න එකේ පොලිසිය එක්ක පැයක් හමාරක් ඉන්න ඕනෑ. සමහර වෙලාවට අල්ලන් ඉඳලා නටවනවා. පිරිමි සෙල් එකේ දානවා සමහර වෙලාවට. රෑ හිටියොත් සෙල් එකේ හිටපු අයත් රේප් කරනවා.” සකුණි එසේ පවසයි.

අමාලි
අමාලි කිහිප වතාවක්ම තමාට උපතින් ලැබී ඇති අප්‍රසන්න පුරුෂ ලිංගය කපාගන්නට උත්සාහ කළ තැනැත්තියකි. ඇයට ඕනෑවී තිබුණේ පුරුෂ ලිංගයක් නොවේ. ඇයට එයින් ලැබුණු කිසිදු සහනයක් නැත. ඇය අප අමාලි ලෙස හැඳින්වූවේ තමන්ගේ අනන්‍යතාව හෙළි කරන්නට අකැමති වූ නිසාය. ස්ත්‍රී හෝමෝන ශරීරගත කරවාගැනීම හරහා ඇයට පිරිපුන් දෙතනක් ලබාගත හැකි වුණත් ලිංගේන්ද්‍රය වෙනස් කරවා ගන්නට නම් සැත්කමක් කරගත යුතුය. එයට විශාල වියදමක් දැරිය යුතුය. එවැන්නකට අතේ මුදල් නැතිකමින් ඇය තමාගේ සිරුරේ තිබෙනු දකින්නට අකැමැති පුරුෂ ලිංගය හිරිවැටීම සඳහා එන්නතක් දී තමා විසින්ම පුරුෂලිංගය කපාගන්නට උත්සාහ කර ඇත.
තමා සුන්දර ස්ත්‍රියක වන තරමට තමාගේ සැමියා සොයාගැනීම පහසු වනු ඇත. ඒ සැමියා සමඟ ලිංගික ජීවිතයක් ගත කරන්නට පමණක් නොව ඇයට වුවමනා වුණේ. ඔහුගේ තුරුලේ නිදන්නට ඇයට වුවමනා විය. ඔහුගේ පපුවේ උණුසුම විඳින්නට ඇයට වුවමනා විය. එවන් වුවමනාවන් සහිත තවත් මිනිසුන් පිරිසක් ගැන කතාව තවත් බොහෝ දිගු එකකි. එයට පත්තර පිටුවක් ප්‍රමාණවත් නොවේ. පසුගිය සති කිහිපයක අප එකතු කරගත් අත්දැකීම් ඉදිරි සති කිහිපයේදී අකුරු කරන්නට අපි බලාපොරොත්තු වන්නෙමු. මේ එයට ප්‍රවේශයකි. පාසල, මාධ්‍ය, සෞඛ්‍යය, ආගම, සංස්කෘතිය මෙන්ම මාධ්‍ය කලාව අතරින් අපි ඔවුන්ගේ අනන්‍යතාවට ඇති ඉඩකඩ ගැන දීර්ඝ ලෙස කතා කරන්නට පටන් ගන්නෙමු.■