Untitled-1

Untitled-1

මට කාවවත් මගදාලා යන්න බෑ | කැලුම් ශ්‍රී මාල්


kalum-srilmal

ටිරන් කුමාර බංගගමආරච්චි

නිවේදකයෙක් විදියට උකහා ගත් දේවල්වලින් ඔබ ජීවිතයට එක්කර ගත්ත පාඩම මොකක්ද?
කෙටි බව. මම හිතනවා ඕනෑම දෙයක් කෙටි වෙන්න ඕනෑ. වැඩිය ඕනෑ නෑ, නිකමට හිතන්න සංසර්ගය වුණත් පැය දෙක තුනක් ඇදෙනවා කියලා. ඇත්තටම ඒක කොයිතරම් නීරස වෙයිද? ඒක තමයි ජීවිතයට ගතහැකි හොඳම උදාහරණය. උසස් රසවින්දනයක් ලබන්න දීර්ඝ වශයෙන් අත්විඳින්න පුළුවන්. ඒත් ඒ වෙනුවෙන් වුණත් දීලා තියෙන ප්‍රමාණය තේරුම් ගන්න ඕනෑ. මගේ නිවේදන කලාවත් ඒ වගේ අවශ්‍ය දේ කෙටියෙන් කියන්න ඕනෑ කියන තැන මම ඉන්නේ.

මාධ්‍යය ක්ෂේත්‍රයට සම්බන්ධවන්නේ කොහොමද?
මට හිතෙනවා හැම කෙනෙක්ගේම ජීවිත සකස් වෙලා තියෙන්නේ තමන් යන මාවත අනුව. දේවල් අහම්බයෙන් හරි වෙන්නේ ඒකයි. මොකද මගේ හිතේ කවදාවත් නිවේදකයෙක් වෙනවා කියලා අදහසක්වත් තිබුණේ නැහැ.
ගායකයෙක් වෙන්න තමයි ආශාව තිබුණේ. පාසලේ හිටපු හොඳම ගායකයාත් මම තමයි. මගේ අප්පච්චි ඒකට කැමති වුණේ නැහැ. ඔහු නිතර කිව්වේ කලාකරුවෝ හිඟන්නෝ. ඒ නිසා කලාව තෝරගෙන හිඟන්නෙක් වෙන්න එපා කියලායි. හැබැයි පොඩි කාලේ වෙලාව බැලුවාම කියලා තිබුණේ හිතුවක්කාරයෙක්. ලොකුවෙලා කලාවට සම්බන්ධ රැකියාවක නියැලෙනවා. ඒ වගේම අඩු වයසෙන්ම හිතුවක්කාර විවාහයක් කරගන්නවා කියලායි.

පාසල් ගියේ කොහෙද?
පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට.

තාත්තා විරුද්ධ වෙද්දී කලාව පැත්තට යොමුවුණේ කොහොමද?
පාසල් යන කාලේ ගායකයා. ඒ වගේම ලියන්න පුළුවන්කමකුත් මට තිබුණා. කොහොම වුණත් ඕලෙවල් කරලා ඉවර වුණාම මට ඒලෙවල් කරන්න වුණේ නෑ. රස්සාවක් හම්බ වුණා. මම හිතුවා උසස් පෙළ අතඇරලා රස්සාව කරනවා කියලා. රස්සාව හම්බ වුණේ දැන්වීම් ආයතනයක. ඒක තමයි ලොකු ගමනකට පාර කැපුවේ. දැන්වීම් කලාව ඇතුළේ රංජිත් කලංසූරිය, රිහංසි මදුරසිංහ සහ අනුර හෑගොඩ යන දක්ෂයන් මට හමුවුණා. දැන්වීම් ආයතනයක වැඩ නිසා දැන්වීම් අරගෙන නිතර නිතර ගුවන් විදුලියට යන්න අවස්ථාව මට ලැබුණා. ඒ යන එන ගමනේ ගොඩක් අය අඳුනාගන්න ලැබුණා. දවසක් ජයන්ත රෝහණ මට කිව්වා මල්ලි උඹේ හඬ හොඳයි, වරෙන් නිවේදන කටයුතුවලට කියලා. එහෙම කියලා නිකං හිටියේ නෑ. මට අවස්ථාවක් අරගෙනත් දුන්නා. ඒ කාලේ ෆෝන් නෑනේ. ඉතින් එන ලියුම්, පෝස්කාඞ් කියවන්න තමයි මට තිබුණේ. ඒ තමයි ආරම්භය.
ඔය අතරේ ක්‍රීඩා විකාශයටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. සමන් අතාවුදහෙට්ටි සහ අශෝක කරුණානායක තමයි ඒ අවස්ථාව අරගෙන දුන්නේ. දැන් ටික ටික දැන්වීම් වැඩෙන් මිදිලා මා තුළ සිටින මාධ්‍යවේදියා හොයාගෙන යන්න පටන් ගත්තා. ඔය ‘වාසනා චක්‍රය’ වැඩසටහනේ සම්බන්ධී කරණ නිලධාරියා හැටියටත් ඉන්න පුළුවන් වුණා. ඒ මම ඒජන්සියේ කර්තෘ හින්දා.

දැන් ඔබ පාරට වැටුණා.
ඔව්! ඇසූ පිරූ මිනිස්සු ගොඩක් මැද මාත් වැඩෙන්න ගත්තා. ඔය අතරේ ‘තිරතරු’ පත්තරේ පටන් ගත්තා. ඒකට උදය තෙන්නකෝන් කතා කළා, වැඩ කරමු කියලා. ඔය යන අතරේ ලේක්හවුස් ක්‍රීඩා පත්තරේට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. සරත් ප්‍රේමතිලක මාර්ගයෙන්. ඒ සම්බන්ධයත් හැදුවේ සමන් අතාවුද තමයි. සමන් අයියා මගේ ගමනට සෑහෙන උදව් කළ කෙනෙක්. මෙහෙම ඉන්න කොට අතුල මහවලගේ හම්බවෙනවා. අතුල හරහා තමයි බන්දුල පද්මකුමාර හඳුනා ගන්නේ. අතුල මාව බන්දුලට හඳුන්වලා දුන්නාම ඔහු කිව්වා අලුත් පත්තරයක් පටන් ගන්නවා එන්න කියලා. ඒ තමයි ‘සමුදුර’. ඒක පටන් ගන්නකම් මම ‘අරලිය’ පත්තරේ වැඩ කළා. දැන් පත්තර ජීවිතේ නැගලා යනවා. මේ කාලේ ප්‍රදීප් කුමාර බාලසූරිය ළඟ සන්නස්ගල, මයිකල් ඇන්ජලෝ, කුමාර සිරිවර්ධන, රොහාන් බුලේගොඩ හිටියා.

නිවේදන වැඬේට මොකද වුණේ?
පත්තර වැඬේට හිරවෙලා ඉන්න කොට ඔය කාලේ මම දකිනවා සහන නිවේදකයන් බඳවාගන්න බවට පළවුණ දැන්වීම. මමත් ටක්ගාලා ඉල්ලුම් කළා. 1987දී මම සහන නිවේදකයෙක් බවට පත්වුණා. එතන ඉඳලා ටික ටික මගේ හැකියාවන් දියුණු කරගත්තා. 91 අවුරුද්දේ සාෆ් ගේම් ආවා. මම ‘අපේ කාලයේ කතාවක්’ කියලා විශේෂාංගයක් ලිව්වා. ඒක මටම කරන්න වුණා. එතැනින් අන්තිමට නිවේදන කටයුතුවලට සෑහෙන කැපවුණා.
සාෆ් ගේම්වලට විචාරකයන් සෑහෙන ප්‍රමාණයක් ඕනෑ. මාවත් එතැනට දැම්මා. එතැනදි ශ්‍රී ලංකා ගුවන් විදුලි අභ්‍යාස ආයතනයේ හොඳ පාඨමාලාවක් හැදෑරුවා. විස්තර විචාරකයෙක් කියන්නේ කවුද, විස්තර විචාරය කියන්නේ මොකද්ද, හොඳ අවබෝධයක් ලැබුණා. ඉන්දීය ජාතිකයෙක් මේ පුහුණුව ලබා දුන්නේ. මම ඒකෙන් ඉහළ සාමාර්ථයක් ලබා ගත්තා. මුලින්ම විස්තර විචාරය කළේ ටේබල් ටෙනිස් තරගාවලියක්. ඒ වැඩෙන් පස්සේ ක්‍රිකට් විස්තර විචාරය කරන්නත් ආරාධනා ලැබුණා. ප්‍රේමදාස කුසලාන තරගාවලියේ තරගයක් තමයි මුලින්ම විස්තර කළේ. ඒක තමයි පළමු ක්‍රිකට් විස්තර විචාරය.

ඔබගේ පළමු නිවේදන කාර්ය වුණේ මොකක්ද?
ඒකත් උදාකර දුන්නේ සමන් අයියා (සමන් අතාවුද) මම දවසක් තැටි වගයක් අරගෙන යනකොට සමන් අයියා හම්බවෙලා ඇහැව්වා පොඩි වැඩක් තියෙනවා කරමුද කියලා. මමත් ගත් කටටම හා කිව්වා. සමන් අයියා මෙවර නවකයන් අතරට හඳුන්වා දෙන තවත් නවකයෙක් කියලා මාව හඳුන්වා දුන්නා. සුගතපාල ද සිල්වා මහත්තයා හිටියේ. මමත් දන්න විදිහට වැඩසටහන කළා. ඔහුත් සෑහෙන සතුටු වුණා. ඒක තමයි මගේ පළමු අත්දැකීම.

සිංදු ලියන නිවේදකයෙක් වුණේ කොහොමද?
ඕකට නියම කතාවක් තියෙනවා. ඒ කාලේ පතාක චරිතනේ නිවේදන වෘත්තියේ හිටියේ. ඒ වගේම ඒ අය සිංදුත් ලිව්වේ තරගයට වගේ. දවසක් බණ්ඩාර කේ. විජේතුංග අයියා, මට කිව්වා උඹට නිවේදකයෙක් වෙන්න ඕනෑ නම් සිංදුත් ලියන්න පුරුදු වෙයන්. සිංදු නොලියා නිවේදකයෙක් වෙන්න බෑ කියලා. විහිළුවට කිව්වත් ඒ කාලේ ඒක ඇත්තක්. මටත් ඒක හිතට වැදුණා. මාත් සිංදු ලියන්න ගත්තා. (හිනා)

ඊට පස්සේ ගීත රචකයෙක් වුණා.
හා.. හා… (හිනා) අර ගැම්මට ඉවරයක් නැතිව ලියනවා. සිංදු ලියලා මුලින්ම ෂෙල්ටන් පෙරේරා මහත්තයා ළඟට අරගෙන ගියාම ඔහු කිව්වා මම දැන් සිංදු කරන්නේ නෑ. ඒත් මගේ ගීත බලලා කිව්වා ඔයාට හොඳ අනාගතයක් තියෙනවා. දිගටම ලියන්න කියලා. එඞ්වඞ් ජයකොඩි ළඟට අරගෙන ගියාම ඔහු සිංදුවක් ගන්නම් කිව්වා. ඒත් ගත්තේ නෑ. ඔය අතරේ අපේ ඉස්කෝලේ හිටියා සිරිල් කුරුවිට කියලා සර් කෙනෙක්. සරල ගී වැඩසටහනකට ඔහු කිව්වා මට ගීත ලියලා දෙන්න කියලා. මම ඩුවට් එකක් ලියලා දුන්නා. තිස්සසිරි පෙරේරා මියුසික් කළේ. යමුනා විනෝදනී තමයි කාන්තා හඬ.

අද වනවිට ඔබ දක්ෂ ගීත රචකයෙක්.
දක්ෂද නම් දන්නෙ නෑ. (හිනා) කොහොම වුණත් මම අපේ භාෂාවේ කළ හැකි උපරිමයන් කරන්න මම උත්සාහ කරනවා. ඒවා සෑහෙන සාර්ථක වෙලත් තියෙනවා. සිංදු කියන්න බැරි අයට මම සිංදු ලියන්නේ නෑ. ඒක මගේ ප්‍රතිපත්තියක්. සල්ලිවලටම මේ වැඬේ මම කරන්නේ නෑ. මේ වනවිට මම ගොඩක් අයට ගීත ලියලා තියෙනවා. ඒවා ජනප්‍රිය වෙලා තියෙනවා. සිංදු 2500ක් විතර මම දැනට ලියලා තියෙනවා. මට ඇහෙන දකින දේවල් මෙතෙක් සිංදුවලට නොගෙන ආ දේවල් මම ගීතය තුළට ගේනවා. පානදුර කසාය කඩය ඉස්සරහා සරුවත් කඩය තියෙනවා. මේක මට මාර රසවත්. ඉතින් මම දවසක් ගෙදර ගිහිල්ලා ලියනවා ‘කසාය නොව අද මම බොන්නේ සරුවත්’ කියලා. ඔය පද දෙකට තමයි කාලයක් ගියාම මම ළමාතැනී ගීතය ලියන්නේ.

ගීතයක් ලියන්න සෑහෙන කාලයක් යනවාද?
කේමදාස මාස්ටර් කියලා තිබුණා ගීතයක් හැදීමයි මරුවා එන වෙලාවයි දෙකම එක සමානයි කියලා. ඒ වගේ තමයි සමහර වචන ඇවිත් මාස ගණනක් ගිහින් තමයි ඉතිරි පද එන්නේ. ඒකට වෙලාවක් නෑ. කාලයක් නෑ.

ඒ කාලේ ගුවන් විදුලියේ හිටියේ ප්‍රබල චරිත. මේ ඇසුර ඔබව පුරවන්න ඇති.
ඇත්තටම. ඒ කාලේ ගුවන් විදුලි කොරිඩෝර් එකේ කෙනෙක් ඇඟේ හැප්පුණොත් ඒ මහා චරිතයක්. අපි පුංචි එවුන්. ඒත් ඒ අය ළඟ ඇසුරට වැටිලා, බොහෝ දේ ඉගෙන ගත්තා. ඒ වගේම ඒ අය ළඟ කිසිම ලොකුකමක් තිබුණේ නෑ. අපි නවකයෝද පොඩි එවුන්ද හැඟීමක් නෑ. එක මට්ටමේලා සැලකුවා. ඒ ඇසුර තමයි අපිවත් මේ තරම් දුර ගෙනාවේ.

පත්තර වැඬේ අත ඇරුණාද?
නෑ. ඒකත් කාලෙන් කාලෙට කළා. මම තමයි ලක්බිම පත්තරේ පළමු ක්‍රීඩා සංස්කාරක. මේ අතරේ මට තවත් චරිතයක් මුණගැහෙනවා. ඒ තමයි නිමල් ලක්ෂපතිආරච්චි. ඒකත් ගුවන් විදුලි යාළුකමක්. අපි අතරේ ලොකු බැඳීමක් තිබුණා. ඉතින් ඔහු යන තැනක් ඇත්නම් මට අඬගහනවා. ඉතින් සිරස පටන් ගන්නකොට ඔහු මට අඬගැහැව්වා. බන්දුල එපා කියද්දී මම නිමල් ළඟට ගියා. ඔහු සමඟ සෑහෙන වැඩ කොටසක් කළා. පිටපත් සෑහෙන ලිව්වා. ඒ අතර ක්‍රීඩා පැත්තට අලුත් දෙයක් කරන්න ඕනෑ කියලා හිතලා ‘සඳැල්ල’ කළා. ක්‍රීඩාවේ විවේචන අඩු නිසා විවේචන පැත්තට බර දාලා ‘ක්‍රීඩා පිටිය’ කළා. ඊට පස්සේ ‘රස රිසි ගී 20’ කළා.

ගුවන් විදුලියෙන් රූපවාහිනියට ගියේ කොහොමද?
ගුවන් විදුලිය ළඟමනේ රූපවාහිනිය තිබ්බේ. ඉතින් රූපවාහිනියට දැන්වීමක් දීලා එන්න කිව්වාම කැමැත්තෙන්ම දුවලා යනවා. ඒ යන එන අතරේ ඒකේ වැඩවලටත් හවුල්වෙන්න ලැබුණා. සමන් අයියා තමයි ඒ ඉඩ හැදුවෙත්. ජේ.එච්. විල්සන් මහත්තයා තමයි ක්‍රීඩා වැඩසටහන් කළේ. සමන් අයියාගේ මාර්ගයෙන් එයා අඳුනගෙන ඔහුත් එක්ක ක්‍රීඩා වැඩසටහනක් කළා. ඒකෙන් රූපවාහිනී අභ්‍යාස ආයතනයේ මාස තුනක පාඨමාලාවක් කළා. ලෝකේ ඉන්න දක්ෂ අය පාඨමාලාව මෙහෙයවූවේ. ඒ ගත්ත දැනුම සිරස තුළ යමක් කරන්නත් උපකාරී වුණා.

ගායකයා වෙනවාට විරුද්ධ වෙච්ච තාත්තා ඊළඟට මොකද කිව්වේ?
තාත්තා තමයි මගේ වීරයා. මේ ගමනේ ආරම්භකයා. ඔහු එදා ගායකයෙක් වෙනවාට විරුද්ධ වුණාට කලාව පැත්තට මාව යොමු කළේත් ඔහුම තමයි. ඔහු ගාමිණී ෆොන්සේකාට පිස්සු වැටිලා හිටියා. පොඩි කාලේ ගාමිණීගේ පිච්චර් බලන්න මාව එක්ක යනවා තනියට. තාත්තා කට ඇරගෙන බලා ඉන්නවා මට අදටත් මතකයි. පස්සේ සිරස හරහා මට ගාමිණී මහත්තයාට කිට්ටු වෙන්න ලැබුණාම ඔහු සෑහෙන සන්තෝෂ වුණා. මගේ තාත්තා මට නිතර කියපු දෙයක් තමයි කවදාවත් මගේ පුතා කියලා ඔයා හඳුන්වනවාට මම ආස නෑ, ඔයාගේ තාත්තා කියලා සමාජයට මාව කියන විදිහටයි නම හැදෙන්න ඕනෑ කියලා. මම හිතන්නේ මම ඒ දේ කළා. තාත්තාට හොඳට සිංදු කියන්න පුළුවන්. ඒ ආභාසය තමයි මට ආවේ. ඔහුට රඟපෑමට අවස්ථාව ලැබුණාම සීයා ඒ අවස්ථාවට ඉඩදීලා නෑ. ඔහු තමයි මාව මේ තැනට තල්ලු කළේ. ඔහු සෑහෙන සතුටු වුණා මගේ ගමන දැකලා.

තාත්තා මොනවද කළේ රැකියාවට?
තාත්තා තමයි අපේ ගමේ ආණ්ඩුවේ රැකියාවක් කළ මුල්ම කෙනා. සීයා මාළුකාරයෙක්. අපේ මහ ගෙදර වත්ත පුරාම තිබුණේ මාළු. පොඩි කාලේ ඉඳලා මම දකින්නේ මාළු. මට මේ පිළීගඳ උහුලාගන්න බැරිවුණා. ඒ වාගේම මගේ සීයා ඒවා විකුණලා දැම්මා. ඒ වගේම සීයා නිතරම හිතුවා තාත්තා ඉගෙනගෙන හොඳ රැකියාවක් කරන්න ඕනෑ කියලා. ගෙදරින් තමයි මම ඉගෙන ගත්තේ මදින්නාගේ පුතා මදින්න වෙන්න ඕනෑ නෑ වගේම මාළුකාරයාගේ පුතා මාළුකාරයෙක් වෙන්න ඕනෑත් නෑ කියලා. තාත්තා හොඳට ඉගෙනගෙන විභාග දෙපාර්තමේන්තුවේ වැඩ කළා. අම්මාත් ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබපු අය. මේ වාසිය අපිටත් බලපෑවා. තාත්තා ගායකයෙක් වෙනවාට විරුද්ධ වුණේ ඒ මොහොතට අනුව. ඒ ඇරෙන්න මම කරන දේට තාත්තා විරුද්ධ වුණේ නෑ කවදාවත්.

වේලාව බලලා කියූ විදිහටම හිතුවක්කාර විවාහයක්ද කරගත්තේ?
ඔව්! ගෙදර සම්පූර්ණ විරුද්ධ වුණා. කතා නොකරත් හිටියා. ඒත් මට හිතුණාම මෙයා තමයි මට ගැළපෙනම කෙනා කියලා මම තනි තීන්දුවට ඇය මගේම කරගත්තා. ඒත් අන්තිමට කාලයක් යනකොට මගේ මව්පියන්ට මට වඩා ඇය දුවක වුණා. මගේ තේරීම හරියටම හරි කියලා ඒ අය තේරුම් ගත්තා.

මුල් කාලේ දැවැන්ත චරිත ආර්ථිකමය වශයෙන් කඩාවැටුණා. ඒත් පසු පරම්පරාව ආර්ථිකමය වශයෙන් ගොඩ ගියා. මෙහෙම වුණේ ඇයි?
ඕකට මම හොඳ කතාවක් කියන්නම්. දවසක මගේ ෆන්ක්ෂන් එකකට ඇවිල්ලා ප්‍රවීණයෙක්ට වැඩිවුණා. මම හැමදේම කෙටියෙන් තමයි. ඉතින් මම මේ ප්‍රවීණයාව ගෙදරට ඇරලන්න අරගෙන ගියා. ඔහු නිවෙස ළඟින් බස්සන කොට ඔහු මට අඬ අඬා කිව්වා මම උඹට වඩා හම්බ කළා. ඒත් මට කාර් එකක් ගන්න කවදාවත් බැරිවුණා. මට උඹ ගැන සතුටුයි. උඹලා අපෙන් හොඳ දේ ගත්තා. අපේ නරක දේ හැලුවා කියලා. මට මේ කතාව හරිම වේදනාකාරීයි. ඇත්තටම පෙර පරම්පරාව අතිදක්ෂයෝ. මුදලටම වැඩ කළේ නෑ. ඒ වගේම ඉතුරුවක් කළේත් නෑ. මගේ සිරිතක් තියෙනවා මම කාවවත් මග තියලා යන්නේ නෑ. මොකද මමත් ඒ දවස්වල රෑ වුණාම කාගේ හරි වාහනයක ගිහින් තියෙනවා. ඒ අවස්ථාව මොනතරම් වටිනවාද කියලා රැයක අතරමං වන අය දන්නවා. ඒ නිසා මට කාවවත් මග දාලා යන්න බැහැ.

ක්‍රීඩා මාධ්‍යකරණය ගැන මොකද හිතෙන්නේ?
ඒක මගේ විනෝදාංශය. අනෙක් නිවේදන කටයුතු තමයි මගේ වෘත්තිය. සංගීතය තමයි ජීවිතය. ක්‍රීඩාවේ සජීවි බව ජීවිතයේ සජීව බව ඇති කරනවා. ක්‍රිකට් නෙවෙයි ධාවන ඉසව් තමයි මාව කුල්මත් කරන්නේ. සුසන්තිකා ඔලිම්පික් පදක්කම දිනන එක මම සිඞ්නිවල සිට ඒ මොහොතේ සජීවීව මෙරට ජනතාවට ගෙන ආවා. ඒ හැඟීම පුදුමාකාරයි. එදා මම ඇඬුවා. ඒ තරම් ක්‍රීඩාව සජීවියි.

ඔබ අද කාටවත් යටත් නෑ නේද? ඒක මහා භාග්‍යයක්..
ඔව්! ඇත්තටම. මම ආයතනයක අවුරුදු දහයක් හිටියා. මාව එතැනට අරගෙන ගිය කෙනා ගියාම අපිත් අහවලාගේ අය කියලා අමුතු ලේබලයක් ඇලවුණා. මට හිතුණා දැන් හිටියා ඇති කියලා. මම ගිහින් දිලීප අබේසේකරට කිව්වා මචං මම අතනින් අයින් වෙන්න කියලා. දිලීප කිව්වා උඹ අයින් වෙයන් උඹත් ආයතනයක්නේ කියලා. බන්දුල පද්මකුමාරට කිව්වාම ඔහු කිව්වා ඔයා එළියට එන්න. ඔයාට එළියේ අවස්ථා වැඩියි කියලා. මම දොට්ට බැස්සා. බැස්සුවා කිව්වොත් හරි. ඒත් එහෙම කිරීම නිසා මම සතුටුයි. මොකද අයින් වෙනකොට මගේ වැටුප රුපියල් 45,000යි. ඒත් ඊළඟ මාසේ මම හෙව්වා දෙලක්ෂ තිස් දහසක්. ඒ තරමට මට වැඩ ආවා. මම මගේ ප්‍රධානියා බවට පත්වුණා. වැඩිම නිවාඩු තියෙන්නේ මට. ඕනෑනම් යනවා. නැත්නම් ඉන්නවා. මිනිහෙකුට රස්සාවක් ඕනෑ නෑ, ජීවත් වෙන්න ආදායමක් තියෙනවා නම්. ඒ සඳහා ආයතනගත වෙන්නම ඕනෑ නෑ. ඒ එළියට බැසීම නිසා මට ලොකු ලෝකයක් විවර වුණා. මම අද සාර්ථක මිනිහෙක්. ජීවිතය හොඳට විඳින කෙනෙක්.

ගායකයා නොවීම ගැන කනගාටුවක් නැද්ද?
අපෝ නෑ. සතුටුයි. ගායකයෝ ඕනෑ තරම් ඉන්නවා. ඒත් හොඳ නිවේදකයෝ අඩුයි. මම හිතනවා මට සම්මාන නැති වුණාට මමත් යමක් කළ හොඳ නිවේදකයෙක් කියලා. ඒ විශ්වාසය මට තියෙනවා. මොකද හැමදාම මට අභියෝගය තිබුණේ මාවමයි. මම ඒ අභියෝගයට මුහුණදෙමින් ඉන්නවා.■