රාවය

රැලෙක්ස්

රැලෙක්ස්

අරුණ ජයවර්ධන

රැලෙක්ස් රණසිංහ හෙවත් ‘රැලා’ගේ නම කෙලින්ම ගෑවෙන්නේ ඡායාරූප කරණයත් සමඟ. එහෙත්, රැලා, විවිධ කලා ඉසව් ගණනාවක එක විට වැඩ පෙන්නූ විශිෂ්ට කලාකරුවෙක්. 1935දී උපන්, 2006දී මියගිය රැලෙක්ස් ජීවත්ව සිටි කාලය ලංකාවේ ඡායාරූප කලා ඉතිහාසයේ වැදගත් කාල පරිච්ඡෙදයක්. රැලා ඡායාරූපකරණය ආරම්භ කරන විට, කැමරාවක් අතේ තිබීම ඉහළ පන්තියට අයත් බව හඟවන සංකේතයක්. ඒ නිසා ඡායාරූප කලාව තිබුණේ පොදු ජනතාවට ඈතින්. පාදිලියකු වන්නට සෙමනේරියක ඉගෙනුම ආරම්භ කර කෙටි කලකින් එය අතහැර ගිය රැලාට මුලින්ම හමුවන්නේ ඉතා සරල, කොර්නෙට් වර්ගයේ පෙට්ටි කැමරාවක්. එයින් පටන් ගන්නා ඔහුට, තමා මිය යන කාලය වන විට ලංකාව වර්ණ ඡායාරූප කරණයේ හා මුද්‍රණයේ වේගවත් විප්ලවයක යෙදී සිටියා වුණත්, තමාගේ මුද්‍රාව ලංකාවේ ඡායාරූප කලාවේ තබා මැරෙන්නට හැකිවුණා. අදත්, ඡායාරූපයක් දුටු විට, ‘මේක රැලෙක්ස්ගේ එකක්’ කියන්නට හැකිවන තරමේ අනන්‍යතාවක් ඔහුගේ කලාවට තිබුණා.
ඔහු එක පැත්තකින් ඡායාරූප ශිල්පියෙක්. තවත් පැත්තකින්, චිත්‍රපට කලා අධ්‍යක්‍ෂවරයෙක්. ඒ එක්කම, පොත් කවර, කැසට් කවර, පෝස්ටර් නිර්මාණ කරුවෙක්. නාට්‍ය අංගරචනා, වේදිකා අලංකරණ ශිල්පියෙක්. පුවත්පත් රූ රටා සැලසුම්කරුවෙක්. මේ කුමන කලා ඉසව්වක වුණත්, නිර්මාණය බැලූ බැල්මටම මේක රැලාගේ කියන මුද්‍රාව තිබුණා. ලංකාවේ සිටින විශිෂ්ට ගණයේ කලා පුවත්පත් සංස්කාරකවරයකු, පිටුසැලසුම් හා අක්‍ෂර නිර්මාණ ශිල්පියකු මෙන්ම රැලෙක්ස්ගේ සමීපතමයකු වන ප්‍රේම් දිසානායක, රැලෙක්ස් ගැන මෙහෙම කියනවා. ‘රැලෙක්ස් යනු එක්තරා කාල පරිච්ඡේදයක පරමාදර්ශීවූ යුග පුරුෂයෙකි. ඔහු පරිහරණය කළ හැම කලා මාධ්‍යයකම පැවැති පාරම්පරික සම්ප්‍රදායට එරෙහිව යමින්, උඩුගං බලා පිහිනමින්, රසික ජනතාව වෙනස්ම මානයක් කරා යොමුකර ඔවුන්ගේ සිත්සතන් තුළ ආනන්දයත්, ප්‍රඥාවත් එකවර දැල්වූ හිතුවක්කාරයෙකි. ඔහු හැමවිටම පවතින ඒකාකාරී කොකිස් අච්චු සාම්ප්‍රදායික කලා රීතිවලට එරෙහිව නිදහස්ව නිවහල්ව නිර්මාණකරණයේ යෙදෙ මින් තම වෘත්තීයමය සන්තුෂ්ටිය අපේක්‍ෂා කළ ශිල්පියෙකි.’
රැලෙක්ස්ට තම වෘත්තිය කෙරෙහි බලවත් ගෞරවයක් තිබුණා. ඒ වෙනුවෙන් ඕනෑම ආර්ථික හෝ වෙනත් ප්‍රතිලාභයක් පරදුවට තැබුවා. වෘත්තිකභාවය රැකගැනීමට වාද කළා. අරගල කළා. සමහර අවස්ථාවලදී හිස් අතින්ම ගෙදර ගියා.
රැලෙක්ස් වැඩි කැමැත්තක් දැක්වූවේ කළුසුදු ඡායාරූපකරණයට. ඒ ඡායාරූප සඳහා ක්‍ෂණිකාලෝකය ඔහු පාවිච්චි නොකළ තරම්. ඒ වෙනුවට ස්වාභාවික ආලෝක කෙඳි තමාගේ ප්‍රස්තුතය පුරා ඒකාකාරි ලෙස විසිරෙන්නට දී, ඒවා මනා ලෙස පාලනය කරමින් ඔහු විස්මිත රූප මැව්වා. විශේෂයෙන් ඔහුගේ ආලේඛ්‍ය ඡායාරූපකරණය මේ ගුණය ඉහළින්ම විදහාපෑවා. 70,80,90 දශකවල සිලෙබි්‍රටීස් හෙවත් මහජන ආදරයට පාත්‍රවුණු නළු නිළියන්, වෙනත් කලාකරුවන් ගැන අපේ මතකයේ රසාලිප්තව නිදන්ව ඇති සියලුම මනස්කාන්ත ආලේඛ්‍ය ඡායාරූප බිහිවී ඇත්තේ රැලෙක්ස්ගේ ඇස් දෙකෙන්. අදත් සමහර කලා ශිල්පීන් කියන්නේ, තමන්ගේ ඡායාරූප එදා ගන්නට දුන්නේ රැලෙක්ස්ට පමණක් බවයි.
43 කණ්ඩායමේ සිටි ලයනල් වෙන්ඞ්ට් පුරුෂ නග්නත්වය විශිෂ්ට අයුරින් ඡායාරූපයට නගද්දී, රැලෙක්ස් නාරි දේහ ලාලිත්‍යය කෙරෙහි අපමණ ලාලසාවකින් යුක්තව නිර්මාණය කළ ඡායාරූප විශිෂ්ටයි. (ඒ කාරිය කළ තවත් විශිෂ්ටයකු වන්නේ දොස්තර එම්එස් වීරකෝන්.) ඉහත කී සිලෙබි්‍රටි ආලේඛ්‍ය ඡායාරූපයක වුණත්, නාරි දේහ ලාලිත්‍යය කියා-නොකියා ඉස්මතු කරවා, රසිකයා තුළ රසාලිප්ත හැඟීම් ඇතිකරන්නට රැලෙක්ස් අතිසමතෙක්. බැලූ බැල්මට ඉතාම විනීතයැ’යි පෙනෙන ඡායාරූපයක වුණත්, සිහින් හුයක් හැටියට ලිංගික සංඥා නිදන් කරන්නට රැලෙක්ස් වුවමනාවෙන්ම වගබලාගත් බව කීම ඔහුගේ විශිෂ්ට කලාවට කරන ගෞරවයක්. ඔහු සියොලඟින්ම රසවතෙක්. ගැඹුරු වින්දනයක් ඇත්තෙක්. ඒ ගැඹුර ඔහු මීවිතෙහි රස-ගුණට බැඳි පෙම හරහා තවත් වැඩිවන්නට ඇති.
පොත් කවර, පෝස්ටර්, කැසට් කවර ඇතුළු රැලෙක්ස්ගේ ග්‍රැෆික් නිර්මාණ මිනිමලිස්ට් හෙවත් අවමතාවාදී පොදු ගුණාකාරයක් සහිතයි. නිර්මාණ අවකාශය තුළ හතර පැත්තම පිරවීම වෙනුවට, හැකි තරම් හිස් ඉඩ තබමින්, තෝරාගත් ඉඩක පමණක් තමාගේ පණිවුඩය රැඳවීම ඔහුගේ ග්‍රැෆික් කලාකෘතිවල පැහැදිලිව පෙනෙනවා. ඒ නිර්මාණ, රසිකයාගේ රසිකත්වයට නිගා නොකර, රසිකයාට ගෞරව කරමින් කෘතිය කෙරෙහි ඇදබැඳ තබාගන්නවා. ලංකාවේ සම්මත කලා ශාස්ත්‍රාලවලට පිටින් සිටිමින්, සමකාලීන කලාවන් සඳහා මහත්වූ බලපෑමක් කළ, ද්විභාෂික කලාකාමීන්ගේ රසාලිප්ත එකතුවක් වුණු සුප්‍රකට ‘අපේ කට්ටියේ’ ජන්ම සගයකු වුණු රැලෙක්ස්, අපේ කට්ටියේ නාට්‍ය හා තවත් චිත්‍රපට සඳහා නිර්මාණය කළ පෝස්ටර් ඉතාම පොහොසත් දෘශ්‍ය සංරචනයන්ගෙන් යුක්තයි. බෝඩිංකාරයෝ, තට්ටු ගෙවල්, හුණුවටයේ කතාවෙ, පුස්ලෝඩං, සුබ සහ යස, සෙක්කුව වැනි නාට්‍ය පෝස්ටර්ද, සිහින හතක්, සැඩොල් කඳුළු, සාමා, දුහුළු මලක්, පවුරු වළලු වැනි චිත්‍රපටි පෝස්ටර්ද, ස, සත්‍යයේ ගීතය, පවන, සඳකඩ පහණ වැනි ප්‍රසංග පෝස්ටර්ද ඔහුගේ දස්කම්වලට නිදසුන්. හැබැයි, මේ පෝස්ටර් කලාකෘති හැටියට එළියට එන්නට, මුද්‍රණයෙන් මහත් දායකත්වයක් සැපයූවේ එවකට මරදානේ අයිපීබී මුද්‍රණාලයේ අයිතිකාර දෙබෑයන් බවත් සටහන් කළ යුතුයි. ඒ, එඞ්වින් හා සෝමපාල හේවාකපුගේ. නන්දා මාලිනීගේ ‘හේමන්තයේදී’ ගී එකතුව සඳහා ඔහු නිර්මාණ අධ්‍යක්‍ෂණය කළ රූපවාහිනී වැඩසටහන, අදත් මතක ඇතියවුන්ගේ රස මනස අවුළනවා. කතෝලික සිනමා පර්ෂදයේ වාර්ෂික සිනමා උළෙලට ‘උත්තමාචාර’ නම දුන්නේත්, එහි සම්මානය නිර්මාණය කළේත් රැලෙක්ස්.
රැලෙක්ස්ගේ ප්‍රතිභාව විහිදුණු තවත් එක් ඉසව්වක් වන්නේ චිත්‍රපටි තේමා පාඨයි. බිත්ති හතර චිත්‍රපටියට ඔහු ලිව්වේ, ‘ජාතක කතා පොතෙන් ගිලිහුණු කතාව’ කියායි. සිහින හතක් චිත්‍රපටිය, ‘සුමානයේ අටවැනි දවසේ කතාන්දරය’ වුණා. ‘එක රැජිණට ඔටුනු දෙකක්’, විවාහයෙන් පිට ප්‍රේමයක පටලැවෙන කාන්තාවකගේ අන්දරයක් අඩංගු දුහුළු මලක් චිත්‍රපටියේ තේමා පාඨයයි.
රැලෙක්ස්, නව පරපුරට අමතක වෙමින් යන, එක් යුගයක නම රැන්දූ ශිල්පියෙක්. ඔහුගේ කලාකෘති ගැන පමණක් නොව කලා භාවිතාවත් ගැන හොයාබැලීම, අද නවීන ඩිජිටල් කැමරාවක් අතේ තියාගෙන ඉන්නා, ඒත් ඒ පිටුපසට තැබිය හැකි තරමේ ඇසක් අහිමිව ඉන්නා අලුත් පන්නයේ කලාකරුවන්ට වැදගත් අභ්‍යාසයක්. ඒ අභ්‍යාසය පටන්ගන්නට හොඳ නිමිත්තක් දැන් තිබෙනවා. ඒ, සුරස ප්‍රකාශකයන් විසින් ප්‍රකාශිත ‘රැලෙක්ස්’ නම් පොතයි. රැලෙක්ස් ගැන කෙටි හැඳින්වීමකුත්, ඔහුගේ තෝරාගත් ඡායාරූප හා ග්‍රැෆික් කෘති කිහිපයකුත්, මනරම් මුද්‍රණයකින් යුත් එහි අඩංගුයි. මීට ඉහත දැක්වූ ප්‍රේම් දිසානායකගේ අදහසත්, මේ ලිපියේ ඇති ඇතැම් කරුණුත් අඩංගු වන්නේ ඒ කෘතියේයි. ‘නිර්මාණශීලී හිතුවක්කාරයා’ නමින් ඒ පොතට කෙටි ලිපියක් ලියන ප්‍රේම් මෙහෙම කියනවා.
‘අද අපි සියලු තාක්‍ෂණ පහසුකම්වලින් සන්නද්ධව සිටින්නෙමු. එහෙත් බරපතළ නිර්මාණ අහේනියකින් පෙළෙන්නෙමු. හොඳ නිර්මාණ බිහිවන්නට තාක්‍ෂණය පමණක් තිබුණාට මදිය. එයට හොඳ ශිල්පීය හැකියාවකුත් තිබිය යුතුය. අනෙක රැලාලා වගේ හිතුවක්කාරයන්ද අවශ්‍යය.’■