ජනපති අගමැති එකඟවෙති විචාරණයක් නෑ


leed

තරිඳු උඩුවරගෙදර

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පසුගිය මාර්තු 27 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනමත විචාරණයකට නොයන අන්දමේ සංශෝධන ඇතුළත් ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කළ යුතුයැයි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකඟ වී ඇත.

බලතල බෙදීම, රජයේ ස්වභාවය සහ මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධීකරණය තීරණය කරනු ඇතැයි බලාපොරොත්තු වන අන්දමේ ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා විසින් එම සාකච්ඡාවේදී ව්‍යවස්ථාව පිළිබඳ මෙහෙයුම් කමිටුම නියෝජනය කරන නායකයන්ට පවසා ඇත.
අදාළ සාකච්ඡාවට විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන්, මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම්, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍ය රිෂාද් බදියුදීන්, අමාත්‍ය මනෝ ගනේෂන් ඇතුළු පිරිසක් සහභාගි වී ඇත.
එහිදී නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ජනමත විචාරණයකින් ආණ්ඩුව පරාජය විය හැකි බවයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද එය අනුමත කර ඇත.
එහෙත් රවුෆ් හකීම් ඇමතිවරයා සහ විපක්‍ෂනායක ආර්. සම්බන්ධන් ඊට විරෝධය පළ කර ඇති අතර විපක්‍ෂ නායකවරයා නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව පෙන්වා දී ඇත. රවුෆ් හකීම් අමාත්‍යවරයා පවසා ඇත්තේ ජනමත විචාරණයකට යා යුතුද යන්න තීරණය කළ යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය බවයි.
එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට අනුමාන කරන කෙටුම්පතක් සකස් කරන ලෙසයි. නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතු බව පවසා ඇති අතර ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමා ජනතාවට ඊට වෙනස් අදහසක් පවසා ඇති බවත් ශ්‍රීලනිපය එයට එකඟ නොවන බවත්ය.
කෙසේ වෙතත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස දැඩි ඉල්ලීමක් අගමැතිවරයා හෝ සාකච්ඡාවේ සිටි වෙනත් අයෙකුගෙන් ප්‍රකාශ වී නැත.
ජනමත විචාරණයකට නොයන අන්දමේ සංශෝධන ප්‍රථමයෙන් සිදුකොට පසුව අවශ්‍ය නම් නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට එහිදි අවසාන එකඟතාවකට පැමිණ ඇත.■