රාවය

පැකර්ට මිලියන 330ක් දීම චම්පික දන්නවාද?

පැකර්ට මිලියන 330ක් දීම චම්පික දන්නවාද?

ලසන්ත රුහුණගේ

යහපාලනය යැයි කියාගත් ආණ්ඩු වක් ජනතාව විසින් බලයට පත්කරගනු ලැබූයේ රාජපක්‍ෂ පාලනය සමයේදී විවේචනයට ලක් වූ දේවල් ඒ ආකාරයටම ඉදිරියට ගෙන යෑමට හෝ ඒ ආකාරයේම කටයුතු සිදු කිරීමට නොවේ. එහෙත් වත්මන් යහපාලන ආණ්ඩුව යටතේද කරුණු කාරණා සිදු වෙමින් පවතින්නේ පැවති රාජපක්‍ෂ පාලන සමයේ මෙන්ය.
ඊට අවැසි තවත් එක් උදාහරණයක් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරිය යටතේ සිදුවෙමින් පවතින බව විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් එම අධිකාරියේ සභාපතිවරයාට යොමුකරන විගණන විමසුමක් මඟින් හෙළිවී ඇත.
මෙකී විගණන විමසුමට පාදක වන්නේ කොළඹ ඩීආර් විජේවර්ධන මාවතටත් චිත්තම්පලම් ඒ ගාර්ඩිනර් මාවතටත් මුහුණලා ලේක්හවුසිය ඉදිරිපිට ඇති පසුගිය කාලයේ රථවාහන නැවතුම්පලක් ලෙස භාවිතයට ගැනුණු ඉඩමය.
රාජපක්‍ෂ පාලන සමයේදී කැසිනෝ ක්‍රීඩාව ඇතුළු සූදු ක්‍රීඩා හා ඒවාට සබැඳි විනෝදාස්වාදය හා අනෙකුත් පහසුකම් ඇති ව්‍යාපාර බේරේ වැව වටකරගත් කොළඹ ඩීආර් විජේවර්ධන මාවත ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ කලාපයක් ලෙස ස්ථාපිත කිරීමට තීරණය කර තිබූ අතර අපගේ සාකච්ඡාවට ගැනෙන ඉහත සඳහන් ඉඩම්ද මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා කැසිනෝ ව්‍යාපාරික රවී විජේරත්න හිමිකරු වශයෙන් සඳහන් Lake Leisure Holding (PVT) Limited සමාගමට වසර 50ක දීර්ඝ කාලීන බදු පදනම මත රුපියල් මිලියන 2785ක් එකවර අයකර ගැනීමේ පදනම යටතේ 2009 වර්ෂයේදී ලබාදී ඇත. එම ඉඩම අක්කර 2යි රූඞ් 1යි පර්චස් 21.4කින් සමන්විත වන අතර ලෝක ප්‍රකට කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් සිය කැසිනෝ ව්‍යාපාරය ශ්‍රී ලංකාව තුළ ආරම්භ කරන්නේ රවී විජේරත්නගේ නමින් ඇති මෙම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය තුළ බව කථාබහට ලක්වූ ප්‍රකට කරුණක් විය.
කෙසේ වෙතත් රාජපක්‍ෂ පාලනය අවසන් වන තෙක්ම එම ඉඩම සඳහා ගිවිසගත් රුපියල් මිලියන 2785ක මුදල ලබාදීමට අදාළ සමාගම අපොහොසත් වී ඇති අතර 2009.08.04 දින සිට 2013.09.25 දින දක්වා අවස්ථා හතකදී වැට් හා එන්බීටී යන බදු මුදල් හැර ඉඩම වෙනුවෙන් රුපියල් මිලියන 557ක මුදලක් නාගරික සංවර්ධන අධිකාරියට ගෙවා ඇත. එය ගිවිසගත් මුදලේ ප්‍රතිශතයක් ලෙස ගත් කල මුළු මුදලෙන් 20%ක කොටසකි. ඉඩමට අදාළ ඉතිරි 80%ක මුදල වූ රුපියල් මිලියන 2208ක මුදලත්, ඊට අදාළ වැට් හා එන්බීටී බදුත් තක්සේරු ගාස්තු වන රුපියල් 6461300ක මුදලත් ගෙවන ලෙස නාගරික සංවර්ධන අධිකාරිය සමාගම් හිමිකරු රවී විජේරත්නට අවස්ථා කිහිපයකදී දැනුම්දී තිබිය දී ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් දක්වා තිබී නැත. එසේ ඉඩමේ සම්පූර්ණ මුදල ගෙවා තිබී නැත්තේ ඒ සඳහා ඇති කරගත් අවබෝධතා ගිවිසුමේ සඳහන් තක්සේරු මුදල තෙමසක් ඇතුළත මුළුමනින්ම ගෙවිය යුතු බවට ඇති කොන්දේසියක් තිබියදීය.
අවබෝධතා ගිවිසුම අනුව සිදුවිය යුතු කටයුතු එසේ සිදුවී නොතිබියදී 2013 දෙසැම්බර් 26 දින නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් සංවර්ධන හා කළමනාකරණ අංශයේ අධ්‍යක්‍ෂ විසින් එහි සභාපතිවරයා අමතා ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ, බදු මුදලේ ඉතිරිය රජයේ බදු සහ තක්සේරු ගාස්තු නොගෙවීම මත අවබෝධතා ගිවිසුම අවලංගු කර මෙතෙක් සමාගමක් විසින් ගෙවන ලද අත්තිකාරම් මුදල් රාජසන්තක කර ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට යළි පවරා ගැනීමට හිමිකම් ඇති බවය. එහෙත් වසර තුනකට අධික කාලයක් තිස්සේ කිසිදු පියවරක් ඒ සම්බන්ධයෙන් ගෙන නැත.
ඊටත් අමතරව 2014 ජනවාරි 31 දින නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් (මුදල්) දන්වා ඇත්තේ එම අවබෝධතා ගිවිසුම අවලංගු කරන බවත් අවබෝධතා ගිවිසුමේ කාලය දීර්ඝ කිරීම සඳහා ඉතිරි මුදල වෙනුවෙන් වාර්ෂික 12%ක පොලියද ඇතුළුව ඉතිරි මුදල ද ගෙවන ලෙසය. ඊට ද රවී විජේරත්න ප්‍රධාන අදාළ සමාගම කිසිදු ප්‍රතිචාරයක් දක්වා තිබී නැත.
යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු 2016 මැයි 11 දින මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ඉඩම් හා සැලසුම් සහකාර අධ්‍යක්‍ෂ විසින් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජෙනරාල් අමතන ලද ලිපියක් මඟින් දැනුම් දී ඇත්තේ රජයේ ඉඩම් සන්තකය ආපසු ලබාගැනීම යටතේ විෂයභාර ඇමතිවරයාගේ බලතල ප්‍රකාරව Lake Leisure Holding (PVT) Limitedආයතනය අදාළ ඉඩමෙන් ඉවත්කර එහි නිදහස් භුක්තිය ලබාගැනීමට කටයුතු කරන ලෙසය. විෂයභාර අමාත්‍යවරයාගේ එකී නියෝගය ක්‍රියාත්මක කිරීමටද නාගරික සංවර්ධන අධිකාරියේ වගකිව යුතු නිලධාරීන් කටයුතු කර නැත.
විෂයභාර අමාත්‍යවරයා එසේ නියෝග කර තිබියදීත් 2017 වසරේ පෙබරවාරි මාසයේදී පැවති රැස්වීමකදී නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ මණ්ඩලය සාකච්ඡා කර ඇත්තේ අදාළ ඉඩම පිළිබඳ සමාගම සමඟ තවදුරටත් සාකච්ඡා කර එහිදී ලැබෙන තීරණය ඉඩම් දීර්ඝ කාලීන බදු දීම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට දැනුම් දීමටය. ඒ අනුකමිටුව වූ කලි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් පත්කර ඇති ආර්. පාස්කරලිංගම්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවකි.
මෙම කරුණු මෙසේ සිදුවෙමින් තිබියදීම ඊට පෙර එනම්, 2016 නොවැම්බර් 17 දින සහිත ලිපියක් සමාගමේ හිමිකරු රවී විජේරත්න වෙත යොමු කරමින් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ජගත් මුණසිංහ සඳහන් කරන්නේ වර්තමාන තක්සේරුව අනුව එම ඉඩමේ වටිනාකම රුපියල් මිලියන 3620ක් බවත් එම ඉඩම වෙනුවෙන් සමාගම අධිකාරියට ගෙවා තිබූ රුපියල් මිලියන 577ක මුදල සඳහා 12%ක පොලිය වශයෙන් රුපියල් මිලියන 330.249ක මුදලක් ගණනය කර එම දෙකෙහිම එකතුව වන රුපියල් මිලියන 887.249 ක මුදලක් අඩුකර ඉතිරි මුදල වන රුපියල් මිලියන 2732.751ක් සහ වැට් හා එන්බීටී බදුද ඉඩමේ තක්සේරු ගාස්තුද ගෙවන ලෙසයි. එම ලිපියේ විශේෂත්වය වන්නේ රවී විජේරත්න විසින් 2016 නොවැම්බර් 15 වැනිදා දින සහිතව එවන ලද ලිපියකට හැරෙන තැපෑලෙන්ම එසේ දින දෙකකදී පිළිතුරු යැවීමය. තවදුරටත් එහි විශේෂත්වය වන්නේ ඉඩමේ වටිනාකමෙන් රුපියල් මිලියන 330ක් රවී විජේරත්නට ගෙවිය යුතු පොලිය වශයෙන් අඩු කිරීමට අධ්‍යක්‍ෂ මණ්ඩල තීරණයක් නොතිබියදී එම තීරණය ගෙන තිබීමයි.
එසේ වුවද එම රුපියල් මිලියන 330ක් කපා හැරීමේ තීරණය ගැනීමේදී අදාළ සමාගම තක්සේරු වටිනාකමේ ඉතිරි මුදල ගෙවීම පැහැර හැරීම හා සමාගමේ එම වරද නිසා බදු ගිවිසුම ප්‍රමාද වීම, ඉතිරි මුදල් නොදීම මත අදාළ ඉඩම ආපසු භාරදීමට සමාගම කටයුතු නොකිරීම, ඉඩම වාහන නැවතුම්පලක් (රථ ගාලක්) වශයෙන් භාවිත කිරීමෙන් සමාගම අදායම් ඉපැයීම, විෂයභාර අමාත්‍යවරයාගේ රජයේ ඉඩම් සන්තකය ආපසු ලබාගැනීමේ නියෝගය නොසලකා හැරීම, සමාගම රථ ගාලක් ලෙස එම ඉඩම භූක්ති විඳීම හා සම්පූර්ණ මුදල සමාගම ගෙවා තිබුණේ නම් එහි පොලිය වශයෙන් නාගරික සංවර්ධන අධිකාරියට වසර තුනක කාලයකදී උපයා ගැනීමට තිබූ රුපියල් මිලියන 983.79ක මුදල පිළිබඳව අවධානය යොමු කර නැති බව විගණනය සිය වාර්තාවෙන් පෙන්වාදෙයි.
එසේම එම රුපියල් මිලියන 330ක් කපා හැරීමේ තීරණය තවදුරටත් ඉදිරියට ගෙනයමින් 2017 පෙබරවාරි 16 දින Lake Leisure Holding (PVT) Limitedසමාගම සමඟ නාගරික සංවර්ධන අධිකාරිය බදු ගිවිසුමකට එළඹී ඇත. විගණන වාර්තාව සඳහන් කරන ආකාරයට එම බදු ගිවිසුම සඳහාද නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ මණ්ඩල අනුමැතියක් එය අත්සන් කරන දින වන විටත් තිබී නැත.
විගණනය වැඩිදුරටත් සඳහන් කරන්නේ විෂයභාර අමාත්‍යවරයා අදාළ ඉඩම අත්පත්කර ගැනීම සඳහා නියෝගයක් කර තිබියදී හා එය අවලංගු කර නොතිබියදී බදු ගිවිසුමට එළඹීමට ප්‍රථම අමාත්‍යවරයාගේ අනුමැතිය හෝ එකඟතාව ලබා ගැනීම අත්‍යවශ්‍ය වුවත් එපරිදි කටයුතු කර නැති බවත්, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති වරයාගේ පෞද්ගලික මත අනුව රුපියල් මිලියන 330.249ක මුදලත් අඩු කිරීමට හැකියාවක් නොමැති බවත්ය.
මේ මගින් පෙන්වන්නේ මුලින් සඳහන් කළාක් මෙන් යහපාලනය යැයි කියන ආණ්ඩුවේ යහපාලන ලක්‍ෂණ මැකී යමින් රාජපක්‍ෂ පාලනයේ ගති ලක්‍ෂණ මතුවෙමින් පවතින බවයි. රාජපක්‍ෂ පාලනයේදී ද නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම් සුපිරි ව්‍යාපෘති සඳහා බදු දීමේදී ඒ සඳහා ප්‍රසිද්ධ මිල කැඳවීම් නොකළ අතර එකී ආයෝජකයන් තෝරා ගත්තේ කෙසේද යන්න දන්නේ එම ආයෝජකයන් සමඟ අත යට ගනුදෙනු කරන දේශපාලක ව්‍යාපාරිකයන් පිරිස පමණය. ඒ නිසාම රාජපක්‍ෂ පන්නයේ මෙවැනි ගනුදෙනු තවදුරටත් යහපාලනය යැයි අපට කිව නොහැකි අතර යහපාලනය ගැන නිතරම කථා බහ කරන විෂයභාර අමාත්‍ය චම්පික රණවක මේ අලුත් ගනුදෙනුව ගැන දන්නවාදැයි අපි නොදනිමු. (ඔහුගෙන් කරුණු විමසීමට උත්සාහ ගත්තද දුරකථනයට සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.)
ඒ නිසාම අපට අමාත්‍යවරයාගෙන් ඇසීමට ප්‍රශ්නයක් ඇත. ඒ රවී විජේරත්න හෝ ජේම්ස් පැකර්ගේ කැසිනෝ ව්‍යාපාරයට දුන් ඉඩමෙන් මිලියන 330ක මුදලක් කපා හැරීම ඔබ දන්නේද යන්න හෝ ඔබ එය අනුමත කර ඇතිද යන්නය.■

ඇමතිතුමා දන්නැතිව කරන්න බැහැ
ජගත් මුණසිංහ සභාපති, නාගරික සංවර්ධන අධිකාරිය
ඩීආර් විජේවර්ධන මාවතේ ඇති ඉඩම සම්බන්ධයෙන් විමසීමටයි කථා කළේ.
මෙම ඉඩම පිළිබඳව අමාත්‍ය මණ්ඩල අනුකමිටුව අපිට කරුණු හතරක් සම්බන්ධයෙන් උපදෙස් ලබාදුන්නා. ඒ මේ සම්බන්ධව යම් දූෂණයක් සිදුවී ඇත්නම් එෆ්සීඅයිඩීයෙන් වාර්තා ලබා ගන්නා ලෙස, ඉඩමේ වර්තමාන වටිනාකම තක්සේරු කිරීම, නීතිමය පසුබිම විමසීම හා ඉදිරියට ඉඩම් පිළිබඳව කටයුතු කිරීම කියන කරුණු. මෙම ඉඩම පිළිබඳව එෆ්සීඅයිඩීයට කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වෙලා තිබුණේ නැහැ. ඒ වෙනකොටත් අපි ඉඩම පිළිබඳව වත්මන් තක්සේරුවක් අරගෙන තිබුණේ. අපේ නීති අංශයෙන් නීතිමය පසුබිම ගැන විමසීමක් කළා.
මම සභාපති විදියට ආවේ 2016 ජුලි මාසයේදී. මේ ඉඩම බදු ගත්ත අයිතිකාරයා (රවී විජේරත්න) අපිව හම්බවුණා. අපි අපේ තක්සේරු වටිනාකම් කිව්වා. ඔහු කිව්වා ඔහුට එච්චර මුදලක් ගෙවන්න බැහැ කියලා. ඒ අනුව එම කරුණු මම අධ්‍යක්‍ෂ මණ්ඩලයට ඉදිරිපත් කළා. ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරු වටිනාකමෙන් 10%ක් සමාන්‍යයෙන් එහා මෙහා විය හැකියි. ඒ අනුව ගනුදෙනුව ඉදිරියට ගෙන යන්න තීරණය කළා. ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරුව 10%කින් අඩුවෙනවා නම් එම අඩුව මිලියන තුන්සිය ගාණක් වෙන්න ඕනෑ. ඒ අඩුවන මුදලට පදනමක් තියෙන්න ඕනෑ නිසා තමයි අපි ඒ වෙනකොට ඔහු විසින් ගෙවා තිබූ මුදලට 11%ක පොලි මුදලක් ගණනය කරලා එම මිලියන 330ක මුදල අඩු කළේ.
වාහන පාක් කරලා එම සමාගම ඉඩමෙන් ඒ කාලය තුළදී ආදායම් ලබා ගත්තා නේද?
ඒ අය ඉදිරිපත් කළ තොරතුරු අනුව ඒක අඩු වටිනාකමක්. ඒ වගේම ඉඩම සංවර්ධනය කළා කියලාත් කිව්වා.
ගිවිසුම කඩකර ඇති බැවින් ඉඩම රජයට පවරා ගන්න චම්පික රණවක අමාත්‍යවරයා නියෝග කර තිබුණා නේද?
මම එන්න කලින් එම නියෝගය දීලා තිබුණේ. මම එනකොට කැබිනට් අනුකමිටු වාර්තා ඇවිත් ඉවරයි.
මුදල අඩු කිරීම සම්බන්ධයෙන් අධ්‍යක්‍ෂ මණ්ඩල අනුමැතියක් තියෙනවාද?
බෝඞ් එකට යන්න කලින් තමයි විගණන විමසුම ආවේ. ඒ වෙනකොට සාකච්ඡා කරමින් තිබුණේ. විස්තරාත්මක වාර්තාවක්. පසුව තමයි බෝඞ් එකට දැම්මේ.
මෙම කරුණු සම්බන්ධයෙන් විෂයභාර ඇමතිවරයා දැනුවත්ද? ඔහුගේ අනුමැතිය මේ සඳහා තියෙනවාද?
ඇමතිතුමා දන්නේ නැතුව කරන්න බැහැ. විවිධ කරුණු ගැන ප්‍රගති සමාලෝචන රැස්වීම් මාසයකට වරක් තියෙනවා ඇමතිතුමා සහභාගි වන. සමහර දේවල් නිලධාරීන් ඇමතිතුමාට දීලා නැහැ කියලා මම හිතන්නේ.■